Skip to content

පටුනට යන්න

මගේ ආගම තීරණය කරන්නේ මමද මගේ දෙමාපියන්ද?

මගේ ආගම තීරණය කරන්නේ මමද මගේ දෙමාපියන්ද?

මගේ ආගම තීරණය කරන්නේ මමද මගේ දෙමාපියන්ද?

පෝලන්තයේ සිටින බොහෝදෙනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මෙසේ පවසනවා. “මම ඉපදුනෙත් මේ ආගමේ, මැරෙන්නෙත් මේ ආගමේ.” ඉන් ඇඟවෙන්නේ ඔවුන් ආගම පරම්පරාවෙන් උරුම වන දෙයක් ලෙස සලකන බවයි. ඒ නිසා එය නිකම්ම පවුලේ චාරිත්‍රයක් බවට පත් වී තිබෙනවා. ඔබ ජීවත් වන ප්‍රදේශයේ තත්වයත් එයද? තම දෙමාපියන්ගෙන් හෝ ආච්චිලා සීයලාගෙන් යෙහෝවා දෙවි ගැන අනර්ඝ සත්‍යය ලැබී තිබෙන දරුවන් ගැන කුමක් කිව හැකිද? ඔවුනුත් තමන්ට ලැබුණු වටිනා උරුමය සලකන්නේ නිකම්ම චාරිත්‍රයක් ලෙසද?

තිමෝති නම් එය එසේ සැලකුවේ නැහැ. “ළදරු වියේ පටන්” දෙවිව විශ්වාස කිරීමටත් දෙවිට ප්‍රේම කිරීමටත් ඔහුගේ අම්මයි ආච්චියි ඔහුට ඉගැන්නුවා. පසුව තිමෝතිද ඔවුන් මෙන් තමන් ඉගෙනගත් දේවල් සත්‍යය බව තේරුම්ගත්තා. ඒ නිසා ඔහු යේසුස් ක්‍රිස්තුස් ගැන ශුද්ධ ලියවිලි තුළින් ඉගෙනගත් දේවල් මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණා. (2 තිමෝ. 1:5; 3:14, 15) තිමෝතිට එම ඉගැන්වීම් ගැන ඉමහත් ඇල්මක් තිබුණා පමණක් නොව ඔහු ඊට එකඟව ජීවත් වුණා. අද දිනත් ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ට දෙවිගේ සේවකයන් බවට පත් වීමට තමන්ට හැකි සියල්ල කරනවා. නමුත් දරුවන්ද ඒ සඳහා ආශාවක් තමන් තුළ ඇති කරගත යුතුයි.—මාක් 8:34.

සෑම ක්‍රිස්තියානියෙක්ම තමන් ඉගෙනගන්නා දේ සත්‍යය බව තමන්ටම තහවුරු කරගත යුතුයි. එවිට ඔහු කුමන තත්වයකට මුහුණ දුන්නත් ඒ සෑම තත්වයකදීම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමටත් ප්‍රේමයෙන් පෙලඹී ඔහුට සේවය කිරීමටත් ඔවුන්ට හැකියි. එවිට දෙවි සමඟ තිබෙන ඔහුගේ බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා.—එෆී. 3:17; කොලො. 2:6, 7.

දරුවන්ගේ වගකීම

“දෙවි ගැන සත්‍යය නිවැරදිව උගන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා මට නිතරම හැඟුණා. නමුත් මම ජීවත් වෙන්න ඕනේ විදිහ ගැන ඒ අය කියපු දෙවල්වලට මම එච්චර කැමති වුණේ නැහැ” කියා සාක්ෂිකාර පවුලක හැදී වැඩුණු ඇල්බට් * පවසනවා. ඔබ යෞවනයෙක් නම් ඔබටත් ඔහුට මෙන් හැඟෙන්න පුළුවන්. නමුත් අප ජීවත් විය යුතු ආකාරය ගැන දෙවි පවසා ඇති දේ තේරුම්ගෙන ඒ ආකාරයට ජීවත් වෙනවා නම් ඉන් සතුටක් ලබන්න ඔබට හැකියි. (ගීතා 40:8) ඇල්බට් තමාට හැඟුණු ආකාරය වෙනස් කරගත්තා. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “මම මුලින්ම දෙවිට යාච්ඤා කළා. ඒක එච්චර ලෙහෙසි දෙයක් වුණේ නැහැ. නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. මම හරි දේ කරන්න වෑයම් කරද්දී දෙවි මාව වටිනා කෙනෙක් හැටියට සලකනවා කියලා මට තේරුණා. ඒක මට මගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගන්න ලොකු උපකාරයක් වුණා.” ඔබත් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගන්නා විට ඔහු ඔබෙන් බලාපොරොත්තුවන දේ කිරීමට ඔබ තුළත් පෙලඹීමක් ඇති වෙනවා නිසැකයි.—ගීතා 25:14; යාකො. 4:8.

යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කළ හැකි ආකාරය තේරුම්ගැනීමට අපි මෙවැනි දෙයක් සලකා බලමු. ඔබ කැමති ක්‍රීඩාවක් ගැන සිතන්න. ඒ ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ගැන ඔබ හරිහැටි දන්නේ නැත්නම් ඉන් ප්‍රීතියක් ඔබට නොලැබෙන අතර එය ඔබට ඉක්මනින්ම නිරස දෙයක් වෙනවා. නමුත් එය ක්‍රීඩා කරන ආකාරය හොඳින් ඉගෙනගෙන දක්ෂ ලෙස ක්‍රීඩා කළොත් ඔබට එය දිගටම කිරීමට ආශාවක් ඇති වෙයි. ඒ විතරක් නෙවෙයි, ඒ සඳහා නිතරම අවස්ථා සොයාගැනීමට ඔබ පෙලඹෙන බවටද කිසිම සැකයක් නැහැ. ඔබ දෙවිට කරන සේවයත් ඒ හා සමානයි. එය ප්‍රීතියෙන් කිරීමට නම් රැස්වීම්වලට හොඳින් සූදානම් වී ඊට සහභාගි වන්න. ඔබ එසේ කරන විට ඔබගේ වයස කුමක් වුණත් ඔබගේ ආදර්ශය මගින් අන් අයව දිරිගැන්වීමට ඔබට හැකියි.—හෙබ්‍රෙ. 10:24, 25.

ඔබ දෙවි ගැන අන් අයට පැවසීමෙන් සතුටක් ලැබීමට නම් එය කළ යුත්තේ දෙවි කෙරෙහි ඇති ප්‍රේමය නිසා මිස බල කිරීම නිසා නොවෙයි. ඒ නිසා ඔබෙන්ම මෙසේ අසා ගන්න. ‘මම යෙහෝවා දෙවි ගැන අන් අයට කියන්න ඕනේ ඇයි? දෙවිට ප්‍රේම කරන්න මට තියෙන හේතු මොනවාද?’ එම ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබෙන්නේ යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය පියෙක්ද කියා ඔබ තේරුම්ගත් විටයි. දෙවි යෙරමියා තුළින් මෙසේ පැවසුවා. “ඔබ මුළු හදවතින්ම මා වෙතට හැරී මාගේ මඟ පෙන්වීම් පතන නිසා මට නමස්කාර කිරීමට ඔබට හැකි වනු ඇත.” (යෙරෙ. 29:13, 14, නව ලොව පරිවර්තනය, NW) එසේ දෙවිට නමස්කාර කිරීම සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද? ක්‍රිස්තියානියෙක් වන යාකුබ් ඒ ගැන මෙසේ පවසනවා. “මම දේවල් ගැන හිතන විදිහ මට වෙනස් කරගන්න වුණා. මම පොඩි කාලේ ඉඳලා රැස්වීම් හා සේවයේ ගියත් ඒවා කළේ කරන්න ඕනේ නිසයි. මම යෙහෝවා දෙවිව හොඳින් හඳුනාගෙන ඔහුත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තට පස්සේ තමයි ඇත්තටම ඒ දෙවල් සතුටින් කරන්න පෙලඹුණේ.”

ඔබව දේවසේවයට දිරිගන්වන අය සමඟ ආශ්‍රය කිරීමෙන් එම සේවය සතුටින් කිරීමට ඔබට හැකියි. ඒ ගැන හිතෝපදේශයක මෙසේ සඳහන් වෙනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.” (හිතෝ. 13:20NW) ඒ නිසා දෙවිට සේවය කිරීමේ ඉලක්ක ඇති අය හා එසේ කිරීමෙන් සතුටක් ලබන අය සමඟ නිතරම ආශ්‍රය කරන්න. යෝලා නමැති යෞවනිය ඒ ගැන පවසන දේ බලන්න. “දෙවිට සේවය කිරීමට මුල් තැන දුන් අය එක්ක ආශ්‍රය කිරීමෙන් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා. ඒ නිසා මම නොකඩවා සේවයේ හවුල් වුණා. ඒ වගේම ඉන් ලොකු ප්‍රීතියක්ද ලැබුවා.”

දෙමාපියන්ගේ වගකීම

“මට යෙහෝවා දෙවි ගැන ඉගැන්වීම ගැන මගේ දෙමාපියන්ට මම හුඟක් ස්තුතිවන්ත වෙනවා” කියා යෝලා තවදුරටත් පවසනවා. ඇත්තයි, දරුවන් ගන්නා තීරණ සඳහා යහපත් බලපෑමක් ඇති කරන්න දෙමාපියන්ට පුළුවන්. ‘පියවරුනි, ඔබේ දරුවන්ව යෙහෝවා දෙවිගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න’ කියා පාවුල් උපදෙස් දුන්නේ ඒ නිසයි. (එෆී. 6:4) එයින් පැහැදිලි වන්නේ දෙමාපියන් තමන් සිතන ආකාරයට නොව යෙහෝවා දෙවි සිතන ආකාරයට සිතන්න තම දරුවන්ට ඉගැන්විය යුතු බවයි. ඔබේ ජීවිතේ ඔබ අත් කරගන්න උත්සාහ කළ දේවල් ඔබේ දරුවාට අත් කරගන්න උනන්දු කරනවා වෙනුවට යෙහෝවා දෙවිගේ අරමුණට එකඟව දරුවන්ටම ඉලක්ක අත් කරගන්න උපකාර කිරීම කොතරම් වැදගත්ද!

ඒ සඳහා දෙවිගේ උපදෙස් ඔබේ දරුවන්ට කාවද්දන්න ඔබට හැකියි. එමෙන්ම “නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.” (ද්වි. 6:6, 7NW) දරුවන් තුන්දෙනෙක් සිටින යුවළක් වන ඊවා හා රිෂාඩ් එසේ කළා. ඔවුන් ඒ ගැන පවසන්නේ මෙසේයි. “අපි පූර්ණකාලීන සේවයේ විවිධ පැති ගැන අපේ දරුවන් එක්ක නිතර කතා කළා.” එහි ප්‍රතිඵල ගැන ඔවුන් මෙසේ පැවසුවා. “පුතාලා තුන්දෙනාට පොඩි කාලේ ඉඳලම දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වෙන්න හා ප්‍රචාරකයන් වෙන්න ඕන වුණා. දෙවිට කැප වී බව්තීස්ම වෙන්න එයාලම තීරණය කළා. පස්සේ ඔවුන් බෙතෙල් සේවකයන් සහ පුරෝගාමීන් ලෙස සේවය කළා.”

දෙමාපියෙනි, මෙහිදී ඔබගේ ආදර්ශය ඉතා වැදගත්. රිෂාඩ් ඒ ගැන මෙවැනි දෙයක් පවසනවා. “අපි නිවසේ එක විදිහකටත් සභාවේදී තවත් විදිහකටත් හැසිරෙමින් දෙයාකාර ජීවිතයක් ගත නොකරන්න අධිෂ්ඨාන කරගත්තා.” ඒ නිසා දෙමාපියන් වන ඔබ ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම දරුවන්ට දෙන්නේ මොන වගේ ආදර්ශයක්ද? දේවසේවය, විනෝදාස්වාදය හා මුදල් ගැන මට ඇති ආකල්පය තුළින් මම යෙහෝවා දෙවිට ඇත්තටම ආදරය කරන බව ඔවුන් දකිනවාද? මම එසේ දෙවිට ප්‍රේම කරන බව මගේ යාච්ඤාවලින් හා පෞද්ගලික අධ්‍යයන පුරුදුවලින් ඔවුන් දකිනවාද? සභාවේ සෙසු සහෝදර සහෝදරියන් ගැන මම පවසන දේවලින් දරුවන් තේරුම්ගන්නේ කුමක්ද? (ලූක් 6:40) ඔබ කියන දේ හා කරන දේ අතර වෙනසක් තිබෙනවාද කියා දරුවන් හොඳ අවධානයකින් සිටින බව අමතක කරන්න එපා.

දරුවන්ව හදා වඩා ගැනීමේදී ඔවුන්ව හික්මවීමත් ඉතා වැදගත්. ඒ ගැන දේවවචනයේ මෙසේ පවසනවා. “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.” (හිතෝ. 22:6NW) ඊවා හා රිෂාඩ් ඒ සඳහා මෙවැනි දෙයක් කළා. “අපි දරුවන් එක්ක වෙන වෙනම බයිබලය පාඩම් කළා.” නමුත් දරුවන් සමඟ වෙනවෙනම බයිබල් පාඩමක් කරනවාද නැද්ද කියා දෙමාපියන් වන ඔබට තීරණය කළ හැකියි. කොහොමනමුත් සෑම දරුවෙක් ගැනම පෞද්ගලිකවම සැලකිලිමත් වීම අවශ්‍යයි. ඒ වගේම තත්වයන්ට අනුව සකස් වීම හා සාධාරණ වීමද වැදගත්. උදාහරණයකට සමහර සංගීතයන් වැරදියි කියා නිකම්ම කියනවා වෙනුවට ඒ සඳහා ඇති බයිබල් ප්‍රමිති පැහැදිලි කර, ඥානවන්තව තීරණ ගන්නා ආකාරය ඔවුන්ට පෙන්වා දෙන්න.

ඔබ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඔවුන් දන්නවා වෙන්න පුළුවන්. එමෙන්ම ඔවුන් ඊට එකඟව ක්‍රියා කරන බව පෙනෙන්නද පුළුවන්. බයිබලයෙහි පවසන්නේ “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි” කියායි. (හිතෝ. 20:5NW) ඒ නිසා ඔවුන්ගේ සිතේ තිබෙන දේ තේරුම්ගන්න දෙමාපියන් උත්සාහ කළ යුතුයි. ඔවුන්ට යම් ගැටළුවක් තිබෙන බව ඔබට වැටහුණොත් එය විසඳාගැනීමට ඉක්මනින් ඔවුන්ට උපකාර කරන්න. ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන බවද ඔවුන්ට පෙන්වන්න. ඔවුන්ට බැණවදින්නේ නැතුව ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්න. නමුත් අනවශ්‍යය ලෙස ප්‍රශ්න අසන්න එපා. එවිට ඔබ දරුවන්ට ආදරය කරන බව ඔවුන් තේරුම්ගනියි. එය ඔවුන්ට උපකාර කිරීමට ඔබට පහසුවක් වෙනවා.

සභාවේ වගකීම

සභාවේ සිටින යෞවනයන්ට ලැබී තිබෙන වටිනා උරුමයක් වන සත්‍යය අගය කරන්න ඔවුන්ට උපකාර කරන්න සෙසු සහෝදර සහෝදරියන්ට හැකිද? ඒ සඳහා මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ට වුණත් සභාවේ අයට විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට දෙමාපියන් දරන වෑයමට සහය විය හැකියි. මව හෝ පියා පමණක් සාක්ෂිකරුවෙක් වන පවුල්වලට උපකාර කිරීම මෙහිදී හුඟක් වැදගත්.

යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමටත් ඔවුන්ව සභාවට හුඟක් වටිනවා කියා යෞවනයන්ට තේරුම්ගැනීමටත් උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? පෝලන්තයේ සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන මායූෂ් ඒ සඳහා කළ යුතු දේ මෙසේ පවසනවා. ‘වැඩිමහල්ලන් නිතරම යෞවනයන් එක්ක කතා කරන එක හුඟක් වැදගත්. ඒකට ගැටළුවක් ඇති වන තුරු ඉන්න ඕන නැහැ. දේවසේවය යන විට, රැස්වීමෙන් පස්සේ හෝ නිවසේදී ඔබට යෞවනයන් එක්ක කතා කරන්න පුළුවන්.’ ඔවුන් සමඟ කතා කරන විට, ‘ඔයා සභාවේ සන්තෝෂයෙන්ද ඉන්නේ’ වැනි ප්‍රශ්නයක් ඇසීම ප්‍රයෝජනවත් විය හැකියි. ඒ තුළින් යෞවනයන්ට සභාවේ අය සමඟ ළඟින් ඇසුරු කිරීමේ ආශාවක් ඇති වන අතර ඔවුන් සභාවට වටිනා අය යන හැඟීමද ඔවුන්ට ඇති කරගැනීමට උපකාර කළ හැකියි.

ඔබ සභාවේ වැඩිමහල්ලෙක් නම් ඔබේ සභාවේ යෞවනයන්ව වඩාත් හොඳින් හඳුනාගන්න ඔබ උත්සාහ කරනවාද? කලින් සඳහන් කළ ඇල්බට් යෞවන කාලයේදී බොහෝ දුෂ්කර තත්වයන්ට මුහුණ දුන්නා. දැන් වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන ඔහු මෙසේ පවසනවා. “තරුණයෙක් හැටියට මට වැඩිමහල්ලන්ගේ උපකාරය හුඟක් අවශ්‍ය වුණා.” දිගටම දෙවිට සේවය කිරීමටත් ඔහු සමඟ කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගැනීමටත් යෞවනයන්ට උපකාර කරන්න කියා දෙවිගෙන් ඉල්ලන්න වැඩිමහල්ලන්ට හැකියි. ඒ තුළින් වැඩිමහල්ලන් තමන් ගැන සැලකිලිමත් වන බව යෞවනයන් තේරුම්ගන්නවා.—2 තිමෝ. 1:3.

යෞවනයන්ව සභාවේ වැඩකටයුතුවලට හවුල් කරගැනීමත් හොඳ දෙයක්. ඒ සඳහා ඔබට ඔවුන් සමඟ දේවසේවයේ හවුල් විය හැකියි. ඔවුන් සමඟ කාලය ගත කරමින් ඔබව විශ්වාස කරන්න සහ ඔබ සමඟ මිත්‍ර වෙන්න හැකි බව ඔවුන්ට දැනෙන්න සලස්වන්නත් ඔබට හැකියි. එසේ කටයුතු කිරීම සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන ඉලක්ක අත් කරගැනීමෙන් වැළකී සිටීමට යෞවනයන්ට උපකාරයක්. යෝලාට උපකාරවත් වූ දේ ගැන ඇය මෙසේ පවසනවා. “පුරෝගාමී සහෝදරියක් මං ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවා. මම මුල් වතාවට කැමැත්තෙන්ම දේවසේවයේ ගියේ ඇයත් සමඟයි.”

ඔබේ කැමැත්ත

යෞවනයෙනි, ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මගේ ඉලක්ක මොනවාද? මම බව්තීස්ම වී නැත්නම් එසේ කිරීමට මම ඉලක්ක කරගෙන තිබෙනවාද?’ ඔබ එසේ දෙවිට කැප වී බව්තීස්ම විය යුත්තේ ඔහුට ඇති ප්‍රේමය නිසා මිස ඔබේ පවුලේ චාරිත්‍රයක් ඉටු කළ යුතු නිසා නොවෙයි.

යෞවනයෙනි, යෙහෝවා දෙවි ඔබේ කිට්ටු මිත්‍රයා කරගන්න. බයිබලයෙන් ඔබ ඉගෙනගෙන ඇති සත්‍යය, වස්තුවක් මෙන් සලකන්න. දෙවි ඔබට මෙසේ පවසනවා. “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.” ඔබ දෙවිගේ මිතුරෙක් ලෙස සිටින තාක් කල් දෙවිද ඔබ සමඟ සිටින බව මතක තබාගන්න. ඔහු ඔබව ශක්තිමත් කර, ‘ධර්මිෂ්ඨකම නමැති ඔහුගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නා’ බව ස්ථිරයි.—යෙසා. 41:10.

[පාදසටහන]

^ 6 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[4වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවාගේ සිතේ ඇති දේ තේරුම්ගන්න උත්සාහ කරන්න

[6වන පිටුවේ පින්තූරය]

ඔබ බව්තීස්ම වීමට තීරණය කළ යුත්තේ යෙහෝවා දෙවිට ඇති ප්‍රේමය නිසයි