Skip to content

පටුනට යන්න

‘ඔබ මාගේ මිත්‍රයන්ය’

‘ඔබ මාගේ මිත්‍රයන්ය’

‘ඔබ මාගේ මිත්‍රයන්ය’

“මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් ඔබ මාගේ මිත්‍රයෝ වන්නහුය.”—යොහන් 15:14.

1, 2. (අ) යේසුස්ගේ මිත්‍රයන් පැමිණියේ කුමන පසුබිම්වලින්ද? (ආ) යේසුස් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම ඉතා වැදගත් ඇයි?

යේසුස් සමඟ පාස්කු උත්සවය සඳහා විවිධ පසුබිම්වලින් පැමිණි අය යෙරුසලමේ උඩුමහල් කාමරයක රැස්ව සිටියා. ඒ අය අතර සිටි පේතෘස් හා අන්දෘ ධීවරයන්. යුදෙව්වන් විසින් පහත් කොට සැලකූ රැකියාවක් වන බදු එකතු කරන්නෙකු වූ මතෙව්ද එතැන සිටියා. එහි සිටි යාකොබ් හා යොහන් යේසුස්ව ඔහුගේ කුඩා කල සිට දැන සිටින්න ඇති. ඔවුන් අතර නතානියෙල්ද ඔහු මෙන් යේසුස්ව වසර කිහිපයකට පෙර සිට හඳුනාගත් අයද සිටියා. (යොහ. 1:43-50) රැස්ව සිටි ඒ සියලුදෙනාම යේසුස්, පොරොන්දු වූ ගැලවුම්කරු හා දෙවිගේ පුත්‍රයා බව පිළිගත්තා. (යොහ. 6:68, 69) ඒ අවස්ථාවේදී “මම මාගේ පියාණන්ගෙන් ඇසූ සියල්ල ඔබට දන්වා තිබෙන හෙයින්, ඔබට මිත්‍රයන්යයි කියන්නෙමි” කියා යේසුස් පැවසූ විට ඔවුන් කෙරෙහි ඔහුගේ ප්‍රේමය මොන තරම්ද කියා ඔහුගේ ගෝලයන්ට දැනෙන්න ඇති!—යොහ. 15:15.

2 යේසුස් තම අනුගාමිකයන් 12දෙනාට පැවසූ ඒ වචන මූලිකවම අදාළ වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. ඊට අමතරව එය ‘වෙනත් බැටළුවන්ටත්’ අදාළ වෙනවා. (යොහ. 10:16) අපගේ පසුබිම කුමක් වුණත් යේසුස් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගැනීමේ මහඟු වරප්‍රසාදය අපට තිබෙනවා. ඔහු සමඟ ඇති මිත්‍රත්වය අපට ඉතා වැදගත්. මන්ද අපට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වන්නේ යේසුස් සමඟ අපට කිට්ටු මිත්‍රත්වයක් තිබුණොත් පමණයි. (යොහන් 14:6, 21 කියවන්න.) එසේනම් යේසුස් සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන එය දිගටම පවත්වාගෙන යන්න අපට කුමක් කළ හැකිද? ඒ වැදගත් ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට පෙර යේසුස් හොඳ මිත්‍රයෙක් වුණේ කොහොමද සහ ඔහුගේ අනුගාමිකයන් ඔහුගේ මිත්‍රත්වයට දැක්වූ ප්‍රතිචාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා සලකා බලමු.

හොඳ මිත්‍රයෙක් වූ යේසුස්

3. යේසුස් ප්‍රසිද්ධ වුණේ කුමනාකාරයේ පුද්ගලයෙකු ලෙසද?

3 “පොහොසතා මිතුරන්ගෙන් වට වී සිටින්නේය” කියා සලමොන් රජ පැවසුවා. (හිතෝ. 14:20, නව ලොව පරිවර්තනය) මිතුරන් ඇති කරගැනීමේදී අද පොදුවේ පවතින යමක් එයින් පෙන්නුම් කරනවා. එනම් කෙනෙක් තව කෙනෙක් සමඟ මිතුරු වන්නේ තමන්ට ලැබෙන දේ ගැන සිතා මිස තමන්ට දිය හැකි දේ ගැන සිතන නිසා නොවන බවයි. නමුත් යේසුස් මිත්‍රයන් ඇති කරගනිද්දී කෙනෙකුගේ සමාජ තත්වය හා ආර්ථික තත්වය ගැන සැලකිලිමත් වුණේ නැහැ. යේසුස් පොහොසත් තරුණයෙකුට දැක්වූ ප්‍රේමය නිසා තමාගේ අනුගාමිකයා වෙන්න කියා ඔහුට ආරාධනා කළා. නමුත් ඔහු ඊට පෙර තමන් සතු දේවල් විකුණා දිලිඳුන්ට දිය යුතු බව යේසුස් පැවසුවා. (මාක් 10:17-22; ලූක් 18:18, 23) යේසුස්, ප්‍රසිද්ධ මෙන්ම ධනවත් පුද්ගලයන්ගේ මිතුරෙක් ලෙස නොව සමාජය පහත් ලෙස සලකන අයගේත් දිලිඳු අයගේත් මිතුරෙක් ලෙස ප්‍රසිද්ධව සිටියා.—මතෙ. 11:19.

4. යේසුස්ගේ මිතුරන් අඩුපාඩුකම් ඇති අය බව පැවසීමට තිබෙන හේතු මොනවාද?

4 යේසුස්ගේ මිතුරන්ටත් අඩුපාඩුකම් තිබුණා. ඔහුගේ මිතුරෙක් වූ පේතෘස් වරක් දෙවිගේ කැමැත්තට අනුව කාරණා දිහා බලන්න අසමත් වුණා. (මතෙ. 16:21-23) එමෙන්ම යාකොබ් හා යොහන්ට අන් අයට වඩා ඉහළින් සිටීමේ ආශාව තිබුණු නිසා දේවරාජ්‍යයේ විශේෂ තැනක් ඔවුන් යේසුස්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් කළ ඒ ඉල්ලීම නිසා යේසුස්ගේ අනික් ගෝලයෝ කෝප වුණා. ඒ විතරක් නොවෙයි උතුම් පුද්ගලයා කවුද කියා ඔවුන් නිතර නිතර වාද කළා. කෙසේවෙතත් එවැනි අවස්ථාවලදී යේසුස් කෝපයෙන් ක්‍රියා නොකර ඉවසීමෙන් යුතුව ඔවුන්ගේ ආකල්ප නිවැරදි කළා.—මතෙ. 20:20-28.

5, 6. (අ) යේසුස් තම ගෝලයන් සමඟ මිත්‍රත්වයක් පවත්වාගත්තේ ඇයි? (ආ) යූදස් සමඟ තිබූ මිත්‍රත්වය යේසුස් නතර කර දැමුවේ ඇයි?

5 යේසුස් තම ගෝලයන්ව මිතුරන් ලෙස සැලකුවේ ඔහු ඔවුන්ගේ දුර්වලකම් ගණන් නොගෙන සිටි නිසා නොවෙයි. ඒ වෙනුවට ඔහු ඔවුන්ගේ යහපත් ගුණාංග හා ඔවුන්ට තිබූ හොඳ චේතනා ගැන වැඩි අවධානයක් දුන්නා. උදාහරණයකට යේසුස් මුහුණ දුන් ඉතා පීඩාකාරී අවස්ථාවේදී ඔහුට යම් සහනයක් ලබා දෙනවා වෙනුවට පේතෘස්, යාකොබ් හා යොහන් නිදාගත්තා. යේසුස්ට ඒ අවස්ථාවේදී දුකක් ඇති වුණත් ඔවුන් සිටි තත්වය වටහාගත් ඔහු මෙසේ පැවසුවා. “සිත නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය.”—මතෙ. 26:41.

6 නමුත් යූදස් ඉස්කාරියොත් සමඟ ඇති කරගෙන තිබුණු මිත්‍රත්වය යේසුස් නතර කර දැමුවා. ඔහු හොඳ මිත්‍රයෙක් බව පෙන්වීමට උත්සාහ කළත් ඔහු තම හදවත දූෂ්‍ය කරගෙන තිබූ බව යේසුස් තේරුම්ගත්තා. යූදස් ලෝකය සමඟ මිත්‍ර වීම නිසා දෙවිගේ සතුරෙක් බවට පත් වුණා. (යාකො. 4:4) ඒ නිසා තම විශ්වාසවන්ත ගෝලයන් 11දෙනා සමඟ තමන්ට තිබූ මිත්‍රත්වය තහවුරු කරන විට යේසුස්, යූදස්ව එතැනින් ඉවත් කර තිබුණා.—යොහ. 13:21-35.

7, 8. යේසුස් තම මිත්‍රයන් වෙනුවෙන් තමන්ට ඇති ප්‍රේමය පෙන්නුවේ කොහොමද?

7 යේසුස් තම මිතුරන්ගේ වැරදි ගැන අවධානය යොමු නොකර ඔවුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළා. උදාහරණයකට ඔවුන් පීඩාවලට මුහුණ දෙන විට ඔවුන්ව ආරක්ෂා කරන්න කියා ඔහු තම පියාගෙන් ඉල්ලා සිටියා. (යොහන් 17:11 කියවන්න.) එමෙන්ම ඔහු ගෝලයන්ට කළ හැකි ප්‍රමාණය ගැනද සැලකිලිමත් වුණා. (මාක් 6:30-32) ඒ විතරක් නොවෙයි යේසුස් තමන් සිතන ආකාරය ගැන ඔවුන්ට පැවසුවා පමණක් නොව ඔවුන්ට ඇහුම්කන් දෙමින් ඔවුන් සිතන්නේ කුමක්ද හා ඔවුන්ට ඒ ගැන හැඟෙන්නේ කෙසේද කියාත් තේරුම්ගන්න උනන්දු වුණා.—මතෙ. 16:13-16; 17:24-26.

8 යේසුස් ජීවත් වුණෙත් මිය ගියෙත් තමන්ගේ මිත්‍රයන් වෙනුවෙනුයි. තම පියාගේ යුක්තිය ඉටු කිරීමට නම් තම ජීවිතය පූජා කළ යුතු බව යේසුස් දැන සිටි බව ඇත්තයි. (මතෙ. 26:27, 28; හෙබ්‍රෙ. 9:22, 28) නමුත් ඔහු තම ජීවිතය ලබා දුන්නේ තම මිතුරන් කෙරෙහි ඔහුට තිබුණු ප්‍රේමය නිසයි. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “යමෙකු තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.”—යොහ. 15:13.

ගෝලයන් දැක්වූ ප්‍රතිචාර

9, 10. යේසුස්ගේ දීමේ ස්වභාවයට මිනිසුන් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

9 යේසුස් තමන්ගේ කාලය හා තමන් සතු දේවල් තම මිතුරන් වෙනුවෙන් ලබා දුන්නා පමණක් නොව ඔවුන්ට ගැඹුරු සෙනෙහසක්ද දැක්වුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් තව තවත් යේසුස්ට කිට්ටු වූ අතර ඔවුන් සතු දේවල් පවා ඔහු වෙනුවෙන් ලබා දීමට කැමති වුණා. (ලූක් 8:1-3) තමන් අද්දුටු එවැනි දේවල් නිසා ඔහු මෙසේ පැවසුවා. “දීමට පුරුදු වන්න. එවිට අන් අය ඔබටද දෙන්නෝය. ඔවුහු තද කර, සොලවා, ඉතිරී යන ලෙස මහත් ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දමන්නෝය. මන්ද ඔබ මනින මිම්මෙන්ම ඔබටත් නැවත මැන දෙනු ලැබේ.”—ලූක් 6:38.

10 සමහරු යේසුස්ව ඇසුරු කළේ තමන්ට ඔහුගෙන් ලබාගත හැකි දේ ගැන පමණක් සිතමිනුයි. ඒ බොරු මිත්‍රයන් එක් අවස්ථාවකදී යේසුස් පැවසූ දෙයක් වරදවා වටහාගෙන, වැරදි නිගමනයකට එළඹී ඔහුව ප්‍රතික්ෂේප කළා. ඊට වෙනස්ව යේසුස්ගේ සැබෑ මිත්‍රයන් ඔහු සමඟ දිගටම සිටියා. යම් අවස්ථාවලදී සුළු සුළු ගැටලු ඔවුන් අතර ඇති වුණත් යේසුස්ගේ දුකේදීත් සැපේදීත් ඔහුට උපකාර කරන්න ඔවුන් තමන්ට හැකි සියල්ල කළා. (යොහන් 6:26, 56, 60, 66-68 කියවන්න.) පොළොව මත යේසුස් ගත කළ අවසාන රාත්‍රියේදී තම මිත්‍රයන්ට තමන් සමඟ තිබූ බැඳීම අගය කරමින් ඔහු මෙසේ පැවසුවා. “මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය.”—ලූක් 22:28.

11, 12. යේසුස් තම ගෝලයන් සමඟ තිබුණු මිත්‍රත්වය තහවුරු කළේ කොහොමද? ඔවුන් ඊට එකඟව ක්‍රියා කළේ කොහොමද?

11 යේසුස් සමඟ ඇති මිත්‍රත්වය ගැන ඔහු තම ගෝලයන්ට ප්‍රශංසා කර වැඩි වේලාවක් යන්න කලින් ඒ අයම යේසුස්ව අත්හැර ගියා. ඊට හේතුව ඒ මොහොතේදී යේසුස්ට තිබූ ප්‍රේමයට වඩා මිනිසුන්ට තිබූ ඔවුන්ගේ භය වැඩි වීමයි. ඒ අවස්ථාවේදීත් යේසුස් ඔවුන්ට සමාව දුන්නා. එමෙන්ම ඔහුගේ නැවත නැඟිටීමෙන් පසු ඔහු තම ගෝලයන්ට තමාව නැවත දැකගන්න සැලැස්වීම තුළින්ද ඔවුන් සමඟ තිබුණු මිත්‍රත්වය නැවත තහවුරු කළා. යේසුස් ඔවුන්ට විශේෂ පැවරුමක්ද ලබා දුන්නා. ඒ, ‘පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා’ ඔහුගේ සාක්ෂිකරුවන් වී ‘සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට’ ඔහුගේ අනුගාමිකයන් වෙන්න උපකාර කරන්න කියායි. (ක්‍රියා 1:8; මතෙ. 28:19) යේසුස්ගේ ගෝලයන් ඊට එකඟව ක්‍රියා කළේ කොහොමද?

12 ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන් තමන්ට හැකි සියල්ල කළ නිසා යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව ඔවුන් ඉතා ඉක්මනින් යෙරුසලම පුරාම එය ප්‍රකාශ කළා. (ක්‍රියා 5:27-29) ඔවුන්ට ලැබුණු පැවරුම ඉටු කිරීම නතර කරන්න මරණ තර්ජනවලටවත් හැකි වුණේ නැහැ. යේසුස්ගෙන් ඒ පැවරුම ලැබී දශක කිහිපයකට පසු පාවුල් “අහසින් යට මුළු මැවිල්ලෙහි [එනම්, මුළු මිනිස් වර්ගයාට]” ශුභාරංචිය ප්‍රකාශ කළ බව පැවසුවේ ඒ නිසයි. (කොලො. 1:23) ඒ ආකාරයට යේසුස් සමඟ තිබූ මිත්‍රත්වය තමන් අගය කළ බව යේසුස්ගේ අනුගාමිකයන් ඔප්පු කර පෙන්නුවා.

13. යේසුස්ගේ අනුගාමිකයන් තම ජීවිතවල කළ වෙනස්කම් මොනවාද?

13 යේසුස්ගේ අනුගාමිකයන් වූ අය ඔහුගේ ඉගැන්වීම් නිසා තමන්ගේ ජීවිත වෙනස් කරගත්තා. බොහෝදෙනෙක් කලින් සමලිංගිකයන්, අනාචාරයේ යෙදෙන්නන්, සොරුන් හා බේබද්දන් වූ නිසා ඔවුන්ට ඒ සඳහා විශාල වෙනස්කම් කිරීමට සිදු වුණා. (1 කොරි. 6:9-11) තවත් අයට ජාතිවාදී ආකල්ප ඉවත් කරගැනීමටද සිදු වුණා. (ක්‍රියා 10:25-28) ඒ කෙසේවෙතත් ඔවුන් යේසුස්ට කීකරු වෙමින් ඔවුන් කලින් හැසිරුණු ආකාරය හා ඔවුන්ට තිබූ ආකල්ප වෙනස් කරගත්තා. (එෆී. 4:20-24) එමෙන්ම ඔවුන් “ක්‍රිස්තුස්ගේ මනස” එනම්, ඔහු සිතන හා ක්‍රියා කරන ආකාරය තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කළා.—1 කොරි. 2:16.

යේසුස් සමඟ අපට තිබෙන මිත්‍රත්වය

14. ‘පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය තුළදී’ කරන බවට යේසුස් පොරොන්දු වුණේ කුමක්ද?

14 පළමු සියවසේ සිටි බොහෝ ක්‍රිස්තියානීන් යේසුස්ව පෞද්ගලිකවම හඳුනාගෙන තිබුණා හෝ ඔහුගේ නැවත නැඟිටීමෙන් පසුව ඔහුව දැක තිබුණා. නමුත් අපට ඒ විශේෂ වරප්‍රසාදය ලැබී නැහැ. ඒ වුණත් අපට යේසුස්ගේ මිතුරෙක් විය හැකියි. එය කළ හැකි එක් ක්‍රමයක් සලකා බලමු. පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය තුළදී “තමන් සන්තක සියල්ල” කෙරෙහි දාසයෙක් පත් කරන බව යේසුස් පැවසුවා. (මතෙ. 24:3, 45-47) ඒ අනුව පොළොව මත සිටින යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගෙන් සෑදී ඇති එම විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමෙන් අපට යේසුස්ගේ මිතුරෙක් විය හැකියි. අප දාසයාගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට දක්වන ප්‍රතිචාරය යේසුස් සමඟ ඇති මිත්‍රත්වයට බලපාන්නේ කොහොමද?

15. පුද්ගලයෙක් බැටළුවන්ගෙන් සංකේතවත් වන කොටසට අයත්ද නැද්ද කියා පෙන්වන්නේ කොහොමද?

15 මතෙව් 25:31-40 කියවන්න. යේසුස් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව හැඳින්නුවේ තමන්ගේ සහෝදරයන් ලෙසයි. එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම ගැන යේසුස් දුන් නිදර්ශනයේදී ඔහු පැහැදිලිව පැවසුවේ ඔහුගේ සහෝදරයන්ට සලකන ආකාරය ඔහු සලකන්නේ තමන්ට සලකන ආකාරයට සමානව බවයි. ඒ අනුව කෙනෙක් එළුවන්ගෙන් සංකේතවත් කරන කොටසට අයත්ද නැත්නම් බැටළුවන්ගෙන් සංකේතවත් කරන කොටසට අයත්ද කියා තීරණය වන්නේ, එම තැනැත්තා යේසුස්ගේ “සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට” සලකන ආකාරය මතයි. ඒ අනුව යේසුස් සමඟ මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රධානම ක්‍රමය වන්නේ දාස පන්තියට සහයෝගය දැක්වීමයි.

16, 17. ක්‍රිස්තුස්ගේ සහෝදරයන් සමඟ අපට ඇති මිත්‍රත්වය පෙන්වන්න පුළුවන් කොහොමද?

16 ඔබට යේසුස්ගේ සහෝදරයන් සමඟ මිත්‍රත්වයක් ඇති බව පෙන්වන්න පුළුවන් කොහොමද? එය කළ හැකි ආකාර තුනක් අපි සලකා බලමු. පළමුව, යේසුස් තම සහෝදරයන්ට පැවරූ කාර්යය වන ශුභාරංචිය ලොව පුරා ප්‍රකාශ කිරීමට කැමැත්තෙන්ම හවුල් වීමයි. (මතෙ. 24:14) අද දින පොළොව මත සිටින යේසුස්ගේ සහෝදරයන්ට වෙනත් බැටළුවන්ගේ උපකාර නොමැතිව ඒ කාර්යය කිරීම අපහසු විය හැකියි. ඇත්තටම වෙනත් බැටළුවන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හවුල් වන සෑමවිටම ඔවුන් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට තම පරිශුද්ධ සේවය ඉටු කිරීමට උපකාර කරනවා. ඔවුන් කරන ඒ ක්‍රියාව විශ්වාසවන්ත දාසයා මෙන්ම යේසුස්ද බොහෝ සේ අගය කරනවා.

17 දෙවනුව, වෙනත් බැටළුවන් තමන් සතු ධන සම්පත් ශුභාරංචිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ලබා දීමෙන් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට උපකාර කරනවා. එක් අවස්ථාවක යේසුස් තම අනුගාමිකයන්ව දිරිගැන්නුවේ, “අධර්මිෂ්ඨ වස්තුවෙන්” මිත්‍රයන් ඇති කරගන්න කියායි. (ලූක් 16:9) ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි හා යේසුස් සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න මුදල් අවශ්‍ය බව නොවෙයි. ඒ වෙනුවට අපගේ ධන සම්පත් නමස්කාරය හා සම්බන්ධ කටයුතු සඳහා ලබා දීමයි. එමගින් අපට ඔවුන් කෙරෙහි ඇති මිත්‍රත්වය හා ප්‍රේමය වචනයෙන් පමණක් නොව “ක්‍රියාවෙනුත් සත්‍යතාවෙනුත් [එනම්, අවංකකමිනුත්]” පෙන්විය හැකියි. (1 යොහ. 3:16-18) දේවසේවය සඳහා යන වියදම් දැරීමෙන්, ගොඩනැඟිලි ඉදි කිරීම හා ඒවායේ නඩත්තු කිරීම සඳහා සම්මාදම් ඉදිරිපත් කිරීමෙන් අප අපගේ ධන සම්පත් නමස්කාරය හා සම්බන්ධ කටයුතු සඳහා ලබා දෙන බව පැවසිය හැකියි. එමෙන්ම ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහා සම්මාදම් කිරීමෙනුත් අපට එය කළ හැකියි. අප ලබා දෙන ප්‍රමාණය විශාල වුණත් කුඩා වුණත් කැමැත්තෙන්ම ලබා දෙන සම්මාදම් යෙහෝවා දෙවි හා යේසුස් ඉතා අගය කරනවා.—2 කොරි. 9:7.

18. වැඩිමහල්ලන් බයිබලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අප කීකරු විය යුත්තේ ඇයි?

18 තුන්වනුව, ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන් ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීම තුළින් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට සහයෝගය දක්වන බව අපට පෙන්විය හැකියි. මන්ද ඔවුන්ව තොරාගෙන තිබෙන්නේ දෙවිගේ බලයෙන් හා ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීමෙනුයි. (එෆී. 5:23) “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 13:17) සමහර අවස්ථාවලදී බයිබලය තුළින් වැඩිමහල්ලන් ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීම දුෂ්කර බව අපට දැනෙන්න පුළුවන්. අප ඔවුන්ගේ අඩුපාඩුකම් ගැන දන්න නිසා යම් යම් මඟ පෙන්වීම් ලබා දීමට ඔවුන් සුදුසු නැහැයි කියාද අපට සිතෙන්න පුළුවන්. කෙසේවෙතත් අපගේ සභාවේ හිස වන යේසුස්, අඩුපාඩුකම් ඇති ඔවුන්ව තම කාර්යය ඉටු කිරීම සඳහා යොදාගන්න කැමතියි. ඉන් පැහැදිලි වන්නේ අප ඔවුන්ගේ අධිකාරියට දක්වන ගෞරවය යේසුස් සමඟ අපට ඇති මිත්‍රත්වය කෙරෙහි බලපාන බවයි. එමනිසා වැඩිමහල්ලන්ගේ දුර්වලකම් දෙස නොබලා ඔවුන්ගේ මඟ පෙන්වීම් ප්‍රීතියෙන් පිළිගනිමින් අපි යේසුස්ට ප්‍රේම කරන බව පෙන්වමු.

සැබෑ මිතුරන් සොයාගන්නේ කොහෙන්ද?

19, 20. ක්‍රිස්තියානි සභාවෙන් අපට සොයාගන්න පුළුවන් කවුරුන්වද? අප ඊළඟ ලිපියෙන් සලකා බලන්න යන්නේ කුමක්ද?

19 යේසුස් අපව රැකබලා ගැනීමට ප්‍රේමණීය වැඩිමහල්ලන් පමණක් නොව සභාව තුළ මව්වරුන් හා සහෝදර සහෝදරියන්වද ලබා දී තිබෙනවා. (මාක් 10:29, 30 කියවන්න.) ඔබ දෙවිගේ සෙනඟ සමඟ ඇසුරු කරන්න පටන්ගත් මුල් කාලයේ ඔබගේ නෑදෑයන් ක්‍රියා කළේ කොහොමද? සමහරවිට දෙවි හා යේසුස්ට වඩාත් ළං වීමට ඔබ දැරූ වෑයමට ඔවුන් සහය වන්න ඇති. නමුත් “මිනිසෙකුගේ සතුරෝ වන්නේ ඔහුගේම ගෙයි වැසියෝ” කියා යේසුස් පැවසුවා. (මතෙ. 10:36) ඒ නිසා තමන්ගේ පවුලේ සහෝදරයන්ට වඩා තමන්ට ඇලුම් කරන අයව සභාව තුළින් සොයාගැනීමට හැකි වීම කොතරම් සහනයක්ද!—හිතෝ. 18:24.

20 යේසුස්ගේ අනුගාමිකයන්ටත් බොහෝ මිතුරන් සිටියා. පාවුල් රෝමවරුන්ට ලියූ තම ලිපිය අවසානයේදී කරන සුභ පැතුම්වලින් පෙනී යන්නේ ඔහුට කිට්ටු මිතුරන් සිටි බවයි. (රෝම 16:8-16) එමෙන්ම යොහන් තම තුන්වෙනි ලිපිය ලියද්දී, “එක් එක් මිත්‍රයාට මගේ සුබ පැතුම් දෙන්න” කියා පැවසුවා. (3 යොහ. 14) ඉන් පැහැදිලි වන්නේ ඔහුටද බොහෝ මිතුරන් සිටි බවයි. යේසුස් හා ඔහුගේ අනුගාමිකයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් අපගේ සහෝදර සහෝදරියන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න අපට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නයට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබට මතකද?

• යේසුස් හොඳ මිත්‍රයෙක් වුණේ කොහොමද?

• යේසුස්ගේ මිත්‍රත්වයට ඔහුගේ ගෝලයන් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

• යේසුස් සමඟ අපට මිත්‍රත්වයක් ඇති බව පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූරය]

යේසුස් තම මිත්‍රයන් සිතන ආකාරය හා ඔවුන්ට හැඟෙන ආකාරය ගැන සැලකිලිමත් වුණා

[16වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තුස්ගේ මිතුරෙක් වීමට අපට පුළුවන් කොහොමද?