Skip to content

පටුනට යන්න

ඔබ ‘හොඳින් මුල් ඇද අත්තිවාරම මත පිහිටා’ සිටිනවාද?

ඔබ ‘හොඳින් මුල් ඇද අත්තිවාරම මත පිහිටා’ සිටිනවාද?

ඔබ ‘හොඳින් මුල් ඇද අත්තිවාරම මත පිහිටා’ සිටිනවාද?

තද සුළඟකට එහා මෙහා වැනෙන ගසක් ඔබ දැක තිබෙනවාද? සුළඟ කොතරම් දරුණු වුණත් ඒ ගසට ඊට ඔරොත්තු දිය හැකියි. ඒ ඇයි? පොළොවේ ගැඹුරටම ගිය ශක්තිමත් මුල් ඒ ගසට තිබීමයි. අපටත් පීඩා ප්‍රශ්න පැමිණෙද්දී ඒ ගස මෙන් ශක්තිමත්ව සිටිය හැකියි. එසේ සිටීමට නම් අප ‘හොඳින් මුල් ඇද අත්තිවාරම මත පිහිටා’ සිටින්න අවශ්‍යයි. (එෆී. 3:14-17) ඒ අත්තිවාරම කුමක්ද?

ඒ අත්තිවාරම වන්නේ යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගෙන් සමන්විත ක්‍රිස්තියානි සභාවයි. එම “අත්තිවාරමේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුස් යේසුස්” කියා බයිබලයේ සඳහන් වෙනවා. (එෆී. 2:20; 1 කොරි. 3:11) ඒ නිසා බයිබලය අපව උනන්දු කරන්නේ ‘ඔහු සමඟ එක්සත්ව දිගටම ගමන් කරමින්, ඔහු ඉගැන්වූ ලෙස ඔහු තුළ මුල් ඇද වර්ධනය වෙමින් සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව සිටින්න’ කියායි. අප එසේ සිටිනවා නම් ‘බොරු තර්ක හා හිස් මතිමතාන්තර’ වැනි දේවලින් අප දෙවිට දක්වන විශ්වාසවන්තකම නැති කිරීමට ඉඩ දෙන්නේ නැහැ.—කොලො. 2:4-8.

“සත්‍යයෙහි පළලත් දිගත් උසත් ගැඹුරත්” වටහාගන්න

අපට ක්‍රිස්තුස් නමැති අත්තිවාරම මත ‘මුල් ඇද ශක්තිමත්ව’ සිටින්න පුළුවන් කොහොමද? එය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කිරීමයි. යෙහෝවා දෙවිට අවශ්‍ය වන්නේ අප ‘සියලු ශුද්ධ තැනැත්තන් සමඟ සත්‍යයෙහි පළලත් දිගත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන් වටහාගන්නවා’ දකින්නයි. (එෆී. 3:18) ඒ නිසා සෑම ක්‍රිස්තියානියෙක්ම දෙවිගේ වචනයේ ඇති ‘මූලික දේවලින්’ පමණක් සෑහීමට පත් නොවිය යුතුයි. (හෙබ්‍රෙ. 5:12; 6:1) ඒ වෙනුවට අප සියලුදෙනාම බයිබලයේ ඇති ගැඹුරු දේවල් අවබෝධ කරගැනිමට උනන්දු විය යුතුයි.—හිතෝ. 2:1-5.

ඉන් අදහස් කරන්නේ අපට සත්‍යයේ ‘මුල් ඇද ශක්තිමත්ව’ සිටීමට බයිබල් දැනුම පමණක් ප්‍රමාණවත් කියා නොවෙයි. මන්ද සාතන්ට පවා බයිබලයේ ඇති දේවල් ගැන දැනුමක් තිබෙනවා. ඊට වෙනස්ව අප “දැනුම අබිබවා යන ක්‍රිස්තුස්ගේ ප්‍රේමය” පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි. (එෆී. 3:19) එවැනි අවබෝධයක් ලබාගැනීමට නම් අප දෙවිගේ වචනය අධ්‍යයනය කළ යුතුයි. අප යෙහෝවා දෙවිට ප්‍රේම කරන නිසාත් බයිබලය තුළින් ඉගෙනගෙන ඇති සත්‍යයන්ට ඇලුම් කරන නිසාත් එවැනි අධ්‍යයනයක් තුළින් අපට සත්‍යය ගැන ඇති අවබෝධය තවත් වැඩි වෙනවා. එමෙන්ම දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසයද තවත් ශක්තිමත් වෙනවා.—කොලො. 2:2.

ඔබේ අවබෝධය මැන බලන්න

බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන ඔබ සතු අවබෝධය වැඩි වෙද්දී තවදුරටත් බයිබලය අධ්‍යයනය කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙනවා. ඔබේ අවබෝධය එලෙස වැඩි කිරීම සඳහා ඔබට මෙවැනි දෙයක් කළ හැකියි. එෆීස පොතේ මුල් ඡේද කියවන්න. ( “එෆීසවරුන්ට ලියන ලද ලිපිය” යන කොටුව බලන්න) ඉන්පසු ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘කොටුවේ තද කළු අකුරෙන් සඳහන්ව ඇති කොටස්වල අදහස මට තේරෙනවාද?’ අපි දැන් ඒ කොටස් එකිනෙක සලකා බලමු.

“ලෝකය පිහිටුවීමට කලින්” තෝරාගැනීම

පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. ‘යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් තම පුත්‍රයන් ලෙස අපව පිළිගැනීමට දෙවි කලින්ම නියම කළා.’ ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටින ඔහුගේ පරිපූර්ණ පවුලේ සාමාජිකයන් වීමට මිනිසුන් පිරිසක්ව තම පුත්‍රයන් වීමට තෝරාගත් බවයි. ඒ අය රජවරුන් හා පූජකයන් ලෙස ක්‍රිස්තුස් සමඟ මේ පොළොව පාලනය කිරීමට නියමිතයි. (රෝම 8:19-23; එළි. 5:9, 10) දෙවි ඔවුන්ව මේ පොළොවේ පවතින දුෂ්ටකම නැති කිරීමටත් ඒවාට මුල් වූ තැනැත්තා වන සාතන්ව විනාශ කිරීමටත් යොදාගැනීම මොන තරම් යෝග්‍ය දෙයක්ද! මන්ද දෙවි නිර්මාණය කළ මිනිසාගේ යම් අඩුපාඩුකම් ඇති බව සාතන් ඒදන් උයනේදී මතු කළ ප්‍රශ්නයෙන් ඇඟෙව්වා. කෙසේවෙතත් යේසුස් සමඟ මේ පොළොව පාලනය කරන්න තෝරාගන්නේ කාවද කියා දෙවි කලින්ම තීරණය කළේ නැහැ. ඒ වෙනුවට ඔහු තීරණය කළේ යම් කණ්ඩායමක් ක්‍රිස්තුස් සමඟ පාලනය කරන බවයි.—එළි. 14:3, 4.

පාවුල්, “ලෝකය පිහිටුවීමට කලින්” කියා සඳහන් කරද්දී “ලෝකය” යන්නෙන් ඔහු අදහස් කළේ කුමක්ද? ඔහු එහිදී සඳහන් කළේ දෙවි පොළොවේ මිනිසුන්ව නිර්මාණය කිරීමට පෙර කාලය ගැන නොවෙයි. දෙවි එසේ කළා නම් එය ඔහුගේ යුක්තියට පටහැනියි. ආදම් සහ ඒව තමාට අකීකරු වන බව දෙවි කළින්ම තීරණය කළා නම් ඔවුන් දෙදෙනා කළ වරදට ඔවුන් වග කිව යුතු වන්නේ කොහොද? එසේනම් ආදම් සහ ඒව සාතන් සමඟ එකතු වී දෙවිගේ පාලනයට විරුද්ධ වීම නිසා සිදු වූ දේ නිවැරදි කිරීමට දෙවි තීරණය කළේ කුමන අවස්ථාවේද? දෙවි එම තීරණය ගත්තේ ඔවුන් දෙදෙනා ඔහුට අකීකරු වූ පසුවයි. නමුත් ඒ වන විට ඔවුන්ට දරුවන් සිටියේ නැහැ.

“ඔහුගේ මහත් කරුණාවේ සම්පතට අනුව”

ඉහත සඳහන් සියල්ල දෙවි සිදු කළේ “ඔහුගේ මහත් කරුණාවේ සම්පතට අනුව” කියා පාවුල් පැවසුවේ ඇයි? ඔහු එසේ කළේ පව්කාර මිනිසුන්ට ඉන් මිදීමට මඟක් ඇති කිරීමට යෙහෝවා දෙවි බැඳී නැති බව කාවැද්දවීමටයි.

පව්කාර තත්වයෙන් මිදීමට අපට අපේ හැකියාවෙන් කිසිවක් කළ නොහැකියි. නමුත් අපට ඇති මහත් ප්‍රේමය නිසා යෙහෝවා දෙවි අපව එම තත්වයෙන් ගලවාගන්න පියවර ගත්තා. පාවුල් පැවසූ ලෙස දෙවි අපට ඔහුගේ මහත් කරුණාව පෙන්වා තිබෙනවා.

දෙවිගේ කැමැත්තේ පරිශුද්ධ රහස

සාතන් සිදු කළ බරපතළ වරද නැවත නිවැරදි කරන්නේ කෙසේද යන්න ගැන සියලු තොරතුරු යෙහෝවා දෙවි මුලදී පැවසුවේ නැහැ. එය ‘පරිශුද්ධ රහසක්ව’ පැවතුණා. (එෆී. 3:4, 5) නමුත් ක්‍රිස්තියානි සභාව පිහිටුවීමෙන් පසුව මිනිසුන් සහ පොළොව සඳහා ඔහුගේ අරමුණ කුමක්ද කියා ඔහු එළිදරව් කළා. ඒ සඳහා දෙවි ‘නියම කරන ලද කාලවල් සම්පූර්ණ වූ විට පරිපාලනයක්’ ඇති කළා. එනම්, ස්වර්ගයේ සහ පොළොවේ සිටින සියලුදෙනාව දෙවි සමඟ නැවත එක්සත් කිරීමට ක්‍රමයක් ඇති කළා.

එක්සත් කිරීම මුලින්ම ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ දෙවි ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීමට යන අයව තෝරාගැනීමට පටන්ගත් විටයි. (ක්‍රියා 1:13-15; 2:1-4) ඊට පසු එම පාලනය යටතේ පාරාදීස පොළොවක ජීවත් වීමට සෙනඟක්ව තෝරාගනු ලබනවා. (එළි. 7:14-17; 21:1-5) “පරිපාලනය” කියා පැවසීමෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස්ගේ පාලනය නොවෙයි. මන්ද එය පිහිටුවනු ලැබුවේ 1914දීයි. ඒ වෙනුවට ඉන් අදහස් කරන්නේ ස්වර්ගයේ සහ පොළොවේ සිටින සියලුදෙනාව තමා සමඟ එක්සත් කිරීමට යෙහෝවා දෙවි මූලික වී කටයුතු කිරීමයි.

‘වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව සිටින්න’

අපි සාකච්ඡා කළ ඒ සියලු තොරතුරුවලින් පෞද්ගලික අධ්‍යයනය මොන තරම් වැදගත්ද කියා ඔබ තේරුම්ගන්න ඇති. එසේ කිරීමෙන් “සත්‍යයෙහි පළලත් දිගත් උසත් ගැඹුරත්” හොඳින් වටහාගන්න ඔබට හැකි වෙනවා. නමුත් වර්තමානයේ පවතින කාර්යබහුල ජීවිතය යොදාගෙන අපගේ අධ්‍යයන පුරුදු දුර්වල කිරීමට හෝ නැති කිරීමට සාතන් කටයුතු කළ හැකියි. ඔබට එසේ කිරීමට සාතන්ට ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට ‘වැඩිහිටියෙකු මෙන්’ තේරුම් ඇතුව කටයුතු කිරීම සඳහා දෙවි ඔබට ලබා දී ඇති ‘වටහාගැනීමේ හැකියාව’ යොදාගන්න. (1 යොහ. 5:20; 1 කොරි. 14:20) ඔබ විශ්වාස කරන දේ සඳහා පදනමක් තිබෙනවාද කියා නිතරම ඔබටම තහවුරු කරගන්න. එමෙන්ම ‘ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන’ අසන අයට ඊට හේතු සපයන්න සූදානමින්ද සිටින්න.—1 පේතෘ. 3:15.

පාවුල්ගේ ලිපිය එෆීසවරුන්ට කියවන අවස්ථාවේදී ඔබත් එතන සිටියා කියා සිතන්න. එය අසා සිටින ඔබට ‘දෙවිගේ පුත්‍රයා පිළිබඳ නිවැරදි දැනුම’ ලබාගැනීමට ආශාවක් ඇති වන්නේ නැද්ද? (එෆී. 4:13, 14) එවැනි ආශාවක් ඔබට ඇති වෙනවා නිසැකයි. එසේනම් අද දිනත් ඔබට එවැනිම ආශාවක් තිබිය යුතුයි. ‘ශක්තිමත් ගසක් මෙන් හොඳින් මුල් ඇද අත්තිවාරම මත පිහිටා’ සිටින්න නම් යෙහෝවා දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් සහ ඔහුගේ වචනය ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීම අවශ්‍යයි. එය මේ දුෂ්ට සමාජය විනාශ වීමට පෙර සාතන් ගෙනෙන ඕනෑම පීඩාවකට මුහුණ දීමට ඔබට හැකියාව ලබා දෙයි.—ගීතා 1:1-3; යෙරෙ. 17:7, 8.

[27වන පිටුවේ කොටුව/පින්තූරය]

 “එෆීසවරුන්ට ලියන ලද ලිපිය”

“අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන් වන තැනැත්තාට ආශීර්වාද වේවා! මන්ද ඔහු ස්වර්ගීය ස්ථානවල ඇති සියලු ආත්මික ආශීර්වාදවලින් ක්‍රිස්තුස් තුළ අපට ආශීර්වාද කර තිබේ. එමෙන්ම ලෝකය පිහිටුවීමට කලින් ඔහු ඒ තැනැත්තා තුළ අපව තෝරාගත්තේය. එසේ කළේ අප ඔහු ඉදිරියෙහි ප්‍රේමය ඇතිව ශුද්ධව නිකැළැල්ව සිටින පිණිසය. මන්ද, ඔහු තම කැමැත්තට අනුව ප්‍රසන්න වූ දේ හා එකඟව යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් තම පුත්‍රයන් ලෙස අපව පිළිගැනීමට කලින්ම නියම කළේය. ඔහු එසේ කළේ තම ප්‍රේමණීය තැනැත්තා මාර්ගයෙන් අපට කාරුණිකව දුන් තමන්ගේ තේජාන්විත වූ මහත් කරුණාවේ ප්‍රශංසාව සඳහාය. ඒ තැනැත්තාගේ රුධිරය මාර්ගයෙන් ගෙවන ලද මිදීමේ මිලය නිසා අපි නිදහස ලබා ඇත්තෙමු. එනම් අපි ඔහුගේ මහත් කරුණාවේ සම්පතට අනුව අපේ වැරදිවලට සමාව ලැබුවෙමු. බහුලව දුන් ඒ මහත් කරුණාව සමඟ ඔහු අපට සියලු ප්‍රඥාව හා සිහිනුවණ දුන්නේය. එනම්, ඔහු තම කැමැත්තේ පරිශුද්ධ රහස අපට දැන්නුවේය. ඔහු එය අරමුණු කළේ තමන් ප්‍රසන්න වූ දේට අනුවය. එම අරමුණ නම්, නියම කරන ලද කාලවල් සම්පූර්ණ වූ විට, පරිපාලනයක් ඇති කිරීමය. එනම්, ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කිරීමය. එසේය, ඔහු තුළ එසේ කිරීමය.”—එෆී. 1:3-10.