Skip to content

පටුනට යන්න

ඔබ හොඳ මිතුරෙක්ද?

ඔබ හොඳ මිතුරෙක්ද?

ඔබ හොඳ මිතුරෙක්ද?

“මම ඔබට මේ දේවල් අණ කරමි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න.”—යොහන් 15:17.

1. පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් කිට්ටු මිතුරන් වීම අත්‍යවශ්‍ය වුණේ ඇයි?

පොළොව මත ගත කළ අවසාන රාත්‍රියේදී යේසුස් තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට දිරිගැන්නුවේ ඔවුන්ගේ මිත්‍රත්වය දිගටම පවත්වාගන්න කියායි. එමෙන්ම ඔවුන් අතරේ ප්‍රේමය ඇත්නම් ඔවුන් තමාගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගන්නා බවද යේසුස් ඔවුන්ට පැවසුවා. (යොහ. 13:35) යේසුස් ඔවුන්ට ලබා දෙන කාර්යය ඉටු කිරීමටත් ඔවුන්ට ඇති වන පීඩා විඳදරාගැනීමටත් ඔවුන් අතර කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීම අවශ්‍ය වුණා. පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්, දෙවි කෙරෙහි හා එකිනෙකා කෙරෙහි ඔවුන්ට තිබූ ඉමහත් ප්‍රේමය සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටියා.

2. (අ) අප අදිටන් කරගෙන සිටින්නේ කුමක් කිරීමටද? ඒ ඇයි? (ආ) අප දැන් සලකා බලන ප්‍රශ්න මොනවාද?

2 පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අනුගමනය කරන සහෝදර කැලක් අද දින ලෝක ව්‍යාප්තව සිටීම මොන තරම් අගනා දෙයක්ද! නමුත් මේ අවසාන කාලයේ සිටින මිනිසුන් එකිනෙකාට ද්‍රෝහිව කටයුතු කරන අතර තමන්ගේ අය කෙරෙහිවත් සෙනෙහසක් දක්වන්නේ නැහැ. (2 තිමෝ. 3:1, 3) ඔවුන් මිත්‍රත්වයන් ඇති කරගන්නේ තමන් ගැන පමණක් සිතමිනුයි. එමෙන්ම ඒවා ශක්තිමත් මිත්‍රත්වයන්ද නොවෙයි. නමුත් අප ඔවුන් මෙන් විය යුතු නැහැ. අප සියලුදෙනාම අදිටන් කරගෙන සිටින්නේ අන් අයට ප්‍රේම කරන්න කියා යේසුස් දුන් ආඥාවට කීකරු වීමටයි. එය කළ හැකි ආකාරය ගැන දැනගැනීමට අප මෙම ප්‍රශ්න සලකා බලමු. කිට්ටු මිතුරන් ඇති කරගන්න අත්‍යවශ්‍යම දෙය කුමක්ද? අපට කිට්ටු මිතුරන් ඇති කරගන්න පුළුවන් කොහොමද? මිත්‍රත්වයක් නවතා දැමිය යුත්තේ කුමන අවස්ථාවේදීද? හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට කළ යුත්තේ කුමක්ද?

මිත්‍රත්වයක් පවත්වාගැනීමට අත්‍යවශ්‍යම දෙය

3, 4. ශක්තිමත් මිත්‍රත්වයන් ඇති කරගන්න අත්‍යවශ්‍යම දෙය කුමක්ද? ඒ ඇයි?

3 දෙදෙනෙක් අතර ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගන්න නම් දෙදෙනාටම යෙහෝවා දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ ගැන සලමොන් රජ පැවසුවේ “තනිව සිටින කෙනෙකුව පැරදවීම සතුරෙකුට අපහසු දෙයක් නොවේ. එහෙත් ඔහුට විරුද්ධව නැඟී සිටීමට දෙදෙනෙකුට පුළුවන. එමෙන්ම තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක” කියායි. (දේශ. 4:12, නව ලොව පරිවර්තනය, NW) එහිදී මිත්‍රත්වය තුන්පට ලණුවකට සමාන කර තිබෙනවා. එහි තුන්වන පොට වන්නේ යෙහෝවා දෙවියි. දෙවිව සම්බන්ධ කරගෙන ඇති කරගන්නා එවැනි මිත්‍රත්වයන් බොහෝ කල් පවතිනවා.

4 කෙසේනමුත් යෙහෝවා දෙවිට ප්‍රේම නොකරන අයටත් යහපත් මිතුරන් ඇති කරගන්න පුළුවන්. නමුත් දෙවිට ප්‍රේම කරන දෙදෙනෙක් අතර තිබෙන මිත්‍රත්වය ලෙහෙසියෙන් බිඳදැමිය නොහැකියි. එවැනි මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින අය අතර එකඟ නොවීම් ඇති වන අවස්ථාවලදී ඔවුන් එකිනෙකාට සලකන්නේ යෙහෝවා දෙවි සතුටු වන ආකාරයටයි. ඒ නිසා දෙවිගේ සතුරන් ක්‍රිස්තියානීන් අතර ඇති මිත්‍රත්වය බිඳ දැමීමට උත්සාහ කිරීම නිෂ්ඵල දෙයක් බව තේරුම්ගෙන තිබෙනවා. ඉතිහාසයේ සිට ඔප්පු වී ඇති දෙයක් වන්නේ යෙහෝවා දෙවිගේ සේවකයන් තම මිතුරන් වෙනුවෙන් තමන්ගේ ජීවිත දෙන්න පවා සූදානමින් සිටි බවයි.—1 යොහන් 3:16 කියවන්න.

5. රූත් හා නායොමි අතර තිබූ ශක්තිමත් මිත්‍රත්වයට මූලික හේතුව වුණේ කුමක්ද?

5 රූත් හා නායොමි අපට ඒ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක්. මිත්‍රත්වයන් සම්බන්ධයෙන් බයිබලයේ සඳහන්ව ඇති වාර්තා අතරින් ඔවුන් දෙදෙනා ඇති කරගෙන තිබූ මිත්‍රත්වය කැපීපෙනෙනවා. ඔවුන්ට එවැනි කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න හැකි වුණේ කොහොමද? රූත් නායොමිට පැවසූ මේ දෙයින් ඊට පිළිතුරු සොයාගත හැකියි. ‘ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවියි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!’ (රූත් 1:16, 17NW) රූත් හා නායොමිට යෙහෝවා දෙවි කෙරෙහි මහත් ප්‍රේමයක් තිබුණා. ඒ නිසා ඔවුන් එකිනෙකාට සැලකුවේ දෙවි සතුටු වන ආකාරයටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ දෙදෙනාටම දෙවි බොහෝ සේ ආශීර්වාද කළා.

හොඳ මිතුරන් ඇති කරගනිමු

6-8. (අ) මිත්‍රත්වය ශක්තිමත් කරගන්න අප කළ යුත්තේ කුමක්ද? (ආ) ඒ සඳහා මුල් පියවර ගන්න ඔබට පුළුවන් කොහොමද?

6 රූත් හා නායොමි අතර තිබුණා හා සමාන මිත්‍රත්වයක් අප අතරත් ඇති කරගැනීමට නම් අපට ඒ වෙනුවෙන් දැඩි වෑයමක් දැරීමට හා බොහෝ පරිත්‍යාග කිරීමට සිදු වෙනවා. සැබෑ ක්‍රිස්තියානි පවුල්වල සිටින දරුදැරියන් අතර කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔවුන් එවැනිම වෑයමක් දැරිය යුතුයි. එසේ අපට කිට්ටු මිතුරන් ඇති කරගන්න පුළුවන් කොහොමද?

7 මුල් පියවර ගන්න. පාවුල් රෝමයේ සිටි තම මිතුරන්ට “ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න” කියා දිරිගැන්නුවා. (රෝම 12:13) එය අප වෙනුවෙන් වෙන කෙනෙකුට කළ හැකි දෙයක් නොව අප විසින්ම පුරුද්දක් ලෙස කළ යුතු දෙයක්. (හිතෝපදේශ 3:27 කියවන්න.) එය කළ හැකි එක් ආකාරයක් වන්නේ ආහාර වේලක් සඳහා සභාවේ සිටින විවිධ අයට විටින් විට තම නිවසට ආරාධනා කිරීමයි. ආගන්තුක සත්කාරය දැක්වීම පුරුද්දක් කරගන්න ඔබටත් පුළුවන්ද?

8 කිට්ටු මිත්‍රයන් ඇති කරගැනීමට මුල් පියවර ගත හැකි තවත් ආකාරයක් වන්නේ ඔබ සමඟ දේවසේවයේ යෑමට විවිධ අයට ආරාධනා කිරීමයි. එවැනි අවස්ථාවක ඔබේ මිත්‍රයා යෙහෝවා දෙවි ගැන නිවැසියාට කතා කරන විට යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට ඇති ප්‍රේමය මොන තරම්ද කියා ඔබට වැටහේවි. එය ඔහුට හෝ ඇයට තවත් කිට්ටු වෙන්න ඔබට හේතු වන බව නිසැකයි.

9, 10. මිත්‍රයන් ඇති කරගැනීම සම්බන්ධයෙන් පාවුල් ආදර්ශයක් වන්නේ කොහොමද? අපට ඔහුව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

9 සියලුදෙනාට සෙනෙහස දක්වන්න. (2 කොරින්ති 6:12, 13 කියවන්න.) මිතුරන් ලෙස ආශ්‍රය කළ හැකි කිසිවෙක් සභාවේ නැහැයි කියා ඔබට හැඟී තිබෙනවාද? ඊට හේතුව ඔබ සමඟ ආශ්‍රය කිරීමට ඔවුන් සුදුසු තත්වයක නොසිටින බව ඔබට හැඟීමද? එවන් තත්වයකදී පාවුල්ගේ ආදර්ශය සලකා බැලීම වටිනවා. ඔහු සියලුදෙනා කෙරෙහි සෙනෙහසක් දැක්වූ කෙනෙක්. වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහු කෙදිනකවත් නොසිතන්න ඇති. නමුත් ඔහු යේසුස්ගේ නියෝජිතයෙකු ලෙස වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කළා.—රෝම 11:13.

10 එමෙන්ම පාවුල් මිතුරු වුණේ ඔහුගේ වයසේ අය සමඟ පමණක් නොවෙයි. උදාහරණයකට ඔහු හා තිමෝති වෙනස් පසුබිම්වලින් පැමිණි, වයස් පරතරයක් ඇති දෙදෙනෙක් වුණත් ඔවුන් කිට්ටු මිතුරන් වුණා. අද දිනත් සභාවේ සිටින යෞවනයන් මහලු අය සමඟ ඔවුන්ට ඇති මිත්‍රත්වයන් බොහෝ සේ අගය කරනවා. විසි ගණන්වල පසුවන වැනෙස්සා තමාගේ මිතුරියක් ගැන මෙසේ පවසනවා. “මට හුඟක් කට්ටු මිතුරියක් ඉන්නවා. එයාට අවුරුදු 50ක් විතර ඇති. එයා මට ගොඩක් ආදරේ නිසා මගේම වයසේ කෙනෙකුට කියන්න පුළුවන් හැම දෙයක්ම මම එයාට කියනවා. ඒ වගේ කෙනෙක්ව හොයාගන්න මට ලොකු උත්සාහයක් දරන්න සිද්ධ වුණා.” ඔබගේ වයසේ නොසිටින කෙනෙක් සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න ඔබ කැමතිද? ඔබ ඒ සඳහා වෑයමක් දැරුවොත් ඊට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා නිසැකයි.

11. යොනාතාන් හා දාවිත්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 විශ්වාසවන්ත වන්න. ඒ ගැන සලමොන් රජ පැවසුවේ මෙසේයි. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” (හිතෝ. 17:17NW) ඔහු එසේ පවසද්දී ඔහුගේ පියා වන දාවිත්ට යොනාතාන් සමඟ තිබූ මිත්‍රත්වය ඔහුගේ මනසේ තිබෙන්න ඇති. (1 සාමු. 18:1) සාවුල් රජ තමාගේ රජකම ඔහුගේ පුත් යොනාතාන්ට දෙන්න කැමති වුණත් දෙවි ඒ සඳහා දාවිත්ව තෝරාගෙන ඇති බව යොනාතාන් පැහැදිලිව දැනගෙන සිටියා. එමෙන්ම යොනාතාන්ට සාවුල් මෙන් දාවිත් කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වුණේද නැහැ. දාවිත්ට ලැබුණු ප්‍රශංසාව ගැන ඔහු අමනාප නොවූ අතර සාවුල් රජ දාවිත්ට විරුද්ධව පැතිරූ බොරු ප්‍රචාර ඔහු විශ්වාස කළෙත් නැහැ. (1 සාමු. 20:24-34) අපත් අපගේ මිතුරන්ට යම් වරප්‍රසාද ලැබෙන විට යොනාතාන් මෙන් ඒ ගැන සතුටු වෙනවාද? ඔවුන් අමාරු තත්වයන්ට මුහුණ දෙද්දී ඔවුන්ට සහනය හා උපකාරය ලබා දෙනවාද? අපගේ මිත්‍රයාට විරුද්ධව පතුරුවන ඕපාදූප විශ්වාස කිරීමට ඉක්මන් වෙනවාද? නැත්නම් යොනාතාන් මෙන් අපගේ මිත්‍රයාව ආරක්ෂා කිරීමට අප පියවර ගන්නවාද?

මිතුරුකම අවසන් කළ යුතු අවස්ථාව

12-14. නවකයන්ට මුහුණ දීමට සිදු වන ගැටළුව කුමක්ද? එවැනි අයට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද?

12 පුද්ගලයෙක් බයිබලය ගැන ඉගෙනගෙන ඔහුගේ ජීවිතය වෙනස් කරගන්නා විට ඔහුට ඇති මිත්‍රත්වයන් ගැන බැරෑරුම්ව කල්පනා කරනවා. ඔහු ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන සමහරුන් බයිබල් ප්‍රමිති රකින්නේ නැති අය විය හැකියි. ඒ නිසා ඔවුන් සමඟ ඇසුරු කිරීම සීමා කරන්න ඔහු තීරණය කළ හැකියි. (1 කොරි. 15:33) එසේ කිරීම නිසා තමන් විශ්වාසවන්ත මිතුරෙක් නොවෙයි කියා ඔහුට හැඟෙන්න පුළුවන්.

13 බයිබලය පාඩම් කරන ඔබට ඒ ගැටළුව තිබෙනවා නම් කුමක් කළ හැකිද? ඔබේ මිතුරා සැබෑ මිතුරෙක් නම් ඔබ යහපත් කෙනෙක් වීමට යන බව ඔබේ මිතුරන් දකිද්දී ඔහු ඒ ගැන සතුටු විය යුතු බව මතක තබාගන්න. ඒ නිසා ඔබගේ වෙනස්කම් දකින ඔවුන්ද දෙවි ගැන ඉගෙනගන්න කැමති විය හැකියි. අනික් අතට ඔවුන්ගේ අශිෂ්ට ක්‍රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා ඔවුන් ඔබට නින්දා කරනවා නම් ඔවුන් සැබෑ මිතුරන් නොවෙයි. (1 පේතෘ. 4:3, 4) ඉන් පෙනී යන්නේ ඔබ ඔවුන්ට අවිශ්වාසවන්ත වුණා නොව ඔවුන් ඔබට අවිශ්වාසවන්ත වූ බවයි.

14 බයිබලය පාඩම් කරන අය සභාව සමඟ ඇසුරු කරද්දී කලින් ඔවුන්ට සිටි සමහර මිතුරන් ඔවුන්ගෙන් ඈත් වෙනවා. නමුත් ඒ අඩුව පුරවන්න සභාවේ සිටින ඔබට පුළුවන්. (ගලා. 6:10) ඔබේ සභාවේ රැස්වීම්වලට පැමිණෙන නවකයන් සිටිනවාද? ඔවුන්ට හොඳ මිතුරෙක් වන්න ඔබට පුළුවන්ද?

15, 16. (අ) අපගේ මිත්‍රයෙක් දෙවිට සේවය කිරීම නතර කළොත් අපට කුමක් කළ හැකිද? (ආ) දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබෙන බව පෙන්වන්න අපට පුළුවන් කොහොමද?

15 සභාවේ සිටින ඔබේ මිත්‍රයෙක් යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කළොත් නැත්නම් ඔහුව හෝ ඇයව සභා ඇසුරෙන් ඉවත් කළොත් එය ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. එක් සහෝදරියක් තමාගේ කිට්ටු මිතුරිය යෙහෝවා දෙවිට සේවය කිරීම නතර කළ විට තමාට හැඟුණු ආකාරය මෙසේ විස්තර කළා. “මට ඒ වෙලාවේ දැනුණේ මගේ මුළු ලෝකයම අඳුරු වුණා වගේයි. මම හිතුවේ මගේ යාළුවාට යෙහෝවා දෙවි ගැන හොඳ විශ්වාසයක් තිබුණා කියලා. නමුත් මම හිතපු විදිහ වැරදියි. මම හිතන්නේ එයා දෙවිට සේවය කරලා තියෙන්නේ පවුලේ අයව සතුටු කරන්නයි. ඇත්තටම ඒ සිද්ධිය මම දෙවිට සේවය කරන හේතුව ගැන හිතන්න මාව පෙලඹෙව්වා. මම ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මම දෙවිට සේවය කරන්නේ ඔහුට මම හුඟක් ප්‍රේම කරන නිසා මිස ඔහුගේ සංවිධානෙන් මට මිත්‍රයන් ලබා දෙන නිසා නෙමෙයි කියලා දෙවිට පෙන්වන්න මම තීරණය කළා.”

16 දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නවතා දැමූ කෙනෙක් සමඟ අප දිගටම මිත්‍රත්වය පවත්වාගෙන යනවා නම් අප දෙවිගේ මිතුරෙක් කියා කියන්න බැහැ. ඒ ගැන යාකොබ් මෙසේ ලිව්වා. “ලෝකය සමඟ මිතුරුකම දෙවි සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින්, යමෙකු ලෝකයේ මිතුරෙකු වන්න කැමති නම් ඔහු තමාව දෙවිගේ සතුරෙක් කරගන්නේය.” (යාකො. 4:4) අප දෙවිට විශ්වාසවන්තව සිටියොත් මිතුරෙක් නැති වීමෙන් ඇති වන දුක දරාගන්න ඔහු අපට උපකාර කරන බවට විශ්වාසයක් තබාගනිමු. එය අප දෙවිට ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන් ආකාරයක්. (ගීතාවලිය 18:25 කියවන්න.) කලින් සඳහන් කළ සහෝදරිය ඒ සම්බන්ධයෙන් මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිට හෝ අපට ප්‍රේම කරන්න කියා කෙනෙකුට බල කරන්න අපිට බැහැ. ඒක ඒ පුද්ගලයා විසින්ම කරන්න ඕන දෙයක්.” එසේනම් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති අය සමඟ දිගටම මිත්‍රත්වයක් තබාගන්න අප කුමක් කළ යුතුද?

මිත්‍රත්වය දිගටම පවත්වාගනිමු

17. සැබෑ මිතුරන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගන්නේ කොහොමද?

17 දිගටම මිතුරන්ව සිටීමට හොඳ අදහස් හුවමාරුව අත්‍යවශ්‍ය දෙයක්. ඔබට රූත් සහ නායොමි, දාවිත් සහ යොනාතාන්, පාවුල් සහ තිමෝති අතර තිබූ මිත්‍රත්වයන් ගැන බයිබලයේ සඳහන් වාර්තා කියවා බලන්න පුළුවන්. එමගින් හොඳ මිතුරන් නිදහසේ අදහස් හුවමාරු කරන බවත් එසේ කරද්දී එකිනෙකාට ගෞරවය දක්වන බවත් ඔබ තේරුම්ගනීවි. අප අදහස් හුවමාරු කළ යුතු ආකාරයක් ගැන පාවුල්ද මෙසේ පැවසුවා. “ඔබේ කතාව සැමවිටම ප්‍රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා!” ඔහු එහිදී කතා කළේ “පිටත සිටින අය” එනම්, දෙවිට සේවය නොකරන අය සමඟ කතා කළ යුතු ආකාරය ගැනයි. (කොලො. 4:5, 6) එවැනි අය සමඟ කතා කරද්දී අප ඔවුන්ට ගෞරව කළ යුතු නම් අපගේ සහෝදර සහෝදරියන් සමඟ කතා කරද්දී අප ඔවුන්ට ඊට වඩා කොපමණ වැඩියෙන් ගෞරව කළ යුතුද!

18, 19. මිතුරන්ගෙන් ලැබෙන උපදෙස් අප සලකන්න අවශ්‍ය කොහොමද? එමෙන්ම එෆීස සභාවේ වැඩිමහල්ලන් ඒ සම්බන්ධයෙන් අපට ආදර්ශයක් වන්නේ කොහොමද?

18 හොඳ මිතුරන් එකිනෙකාගේ අදහස්වලට ගරු කරන නිසා ඔවුන් එකිනෙකා සමඟ කතා කරන්නේ කාරුණිකව හා විවෘතවයි. සලමොන් රජ එවැනි මිතුරන් ගැන පැවසුවේ මෙසේයි. “තෙලින්ද සුවඳ දුම්වලින්ද සිත සතුටු වෙයි. එලෙසම ආදරයෙන් උපදෙස් දෙන මිතුරෙකුගේ ඇසුරත් ඉතා ප්‍රසන්නය.” (හිතෝ. 27:9NW) ඔබට මිතුරෙක් උපදෙස් දෙන විට ඔබ එය සලකන්නේ එලෙසද? (ගීතාවලිය 141:5 කියවන්න.) ඔබ ගන්නා වැරදි පියවරක් ගැන ඔබේ මිතුරා ඔහුට හැඟෙන ආකාරය පැවසුවොත් ඔබ ක්‍රියා කරන්නේ කොහොමද? එය ඔහු ඔබට ප්‍රේම කරන නිසා දෙන උපදෙසක් ලෙස ඔබ සලකනවාද? නැත්නම් ඒ ගැන අමනාප වෙනවාද?

19 පාවුල්ට බොහෝ මිතුරන් සිටියා. ඔහුට එෆීස සභාවේ වැඩිමහල්ලන් සමඟද කිට්ටු මිත්‍රත්වයක් තිබුණා. ඔවුන්ගෙන් සමහරුන්ව ඔහු දැන සිටියේ සමහරවිට ඔවුන් ක්‍රිස්තියානීන් වූ අවස්ථාවේ සිටයි. ඔවුන්ව හමු වූ අවසාන අවස්ථාවේදී පාවුල් ඔවුන්ට සෘජු උපදෙස් ලබා දුන්නා. ඒ වෙලාවේ ඔවුන් ඔහු සමඟ අමනාප වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන් කෙරෙහි දැක්වූ සැලකිල්ල ඔහුගේ මිතුරන් හුඟක් අගය කළා. එමෙන්ම පාවුල්ව නැවත දැකගැනීමට නොහැකි වන නිසා ඔවුන් බොහෝ සේ දුක් වුණා.—ක්‍රියා 20:17, 29, 30, 36-38.

20. සැබෑ මිතුරෙක් කරන්නේ කුමක්ද?

20 හොඳ මිතුරන් උපදෙස් පිළිගන්නවා පමණක් නොව තම මිතුරන්ට උපදෙස් දීමටද උනන්දු වෙනවා. කෙසේවෙතත් එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ පෞද්ගලික කාරණාවලට අනවශ්‍ය ලෙස ඇඟිලිගැසීමෙන් වැළකී සිටිය යුතුයි. (1 තෙස. 4:11) ඒ වගේම අපි එක් එක් කෙනා “තම තමා ගැන දෙවිට ගණන්” දිය යුතු බවද එහිදී අප මතක තබාගත යුතුයි. (රෝම 14:12) නමුත් තමාගේ මිතුරාට ඇත්තටම ප්‍රේම කරන කෙනෙක් අවශ්‍ය අවස්ථාවලදී දෙවිගේ ප්‍රමිති ගැන ඔහුට මතක් කර දෙනවා. (1 කොරි. 7:39) උදාහරණයකට ඔබේ යාළුවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන බව ඔබට දැනගන්න ලැබුණොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබේ යාළුකමට හානියක් වෙයි කියා ඔබ ඒ ගැන ඔහුට කිසිවක් නොකියා සිටිනවාද? යාළුවාට ඔබ උපදෙස් දුන්නත් ඔහු එය ගණන් නොගෙන සිටිනවා නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබ හොඳ මිතුරෙක් නම් ඔබේ යාළුවාට උපකාර කරන්න කියා ඔබ වැඩිමහල්ලන්ට පවසනවා. එවැනි දෙයක් කිරීමට ඔබට ධෛර්යය අවශ්‍යයි. නමුත් ඔබ දෙදෙනාගේම කැමැත්ත යෙහෝවා දෙවිව සතුටු කිරීම නම් ඔබේ යාළුකමට දිගුකාලීන හානියක් ඇති වන්නේ නැහැ.

21. බොහෝවිට අප අතින් සිදු වන්නේ කුමක්ද? සභාව තුළ ශක්තිමත් මිත්‍රත්වයන් ඇති කරගැනීම වටිනා දෙයක් වන්නේ ඇයි?

21 කොලොස්සි 3:13, 14 කියවන්න. සමහර අවස්ථාවලදී අප කළ කී දෙයක් නිසා අපගේ මිත්‍රයා අප සමඟ අමනාප විය හැකියි. ඒ වගේම ඔවුන් කළ යම් දේවල් නිසා අපටද ඔවුන් ගැන යම් අමනාපයක් තිබිය හැකියි. යාකොබ් ඒ ගැන පැවසුවේ, “අපි සියලුදෙනාම බොහෝ වර වැරදි කරන්නෙමු” කියායි. (යාකො. 3:2) කෙසේවෙතත් අපගේ මිත්‍රත්වයන් ශක්තිමත් වෙන්නේ එකිනෙකා කරන වැරදිවලට සමාව දීමෙනුයි. එසේ එකිනෙකාට මුළු හදවතින්ම සමාව දීමෙන් හා විවෘතව අදහස් හුවමාරු කිරීමෙන් ශක්තිමත් මිත්‍රත්වයන් ඇති කරගැනීම කොතරම් වැදගත්ද! ප්‍රේමය සියලුදෙනාවම ‘එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්’ වන නිසා අප අපගේ මිත්‍රත්වයන් ඒ මත ගොඩනඟා ගැනීම මොන තරම් වටිනා දෙයක්ද!

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• ඔබට සැබෑ මිතුරන් ඇති කරගන්න පුළුවන් කොහොමද?

• මිත්‍රත්වයන් අවසන් කළ යුත්තේ කුමන අවස්ථාවේදීද?

• මිත්‍රත්වයන් ශක්තිමත්ව පවත්වාගෙන යන්න අපට කරන්න පුළුවන් කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

රූත් සහ නායොමිගේ මිත්‍රත්වය ශක්තිමත් වුණේ කුමක් නිසාද?

[19වන පිටුවේ පින්තූරය]

ආගන්තුක සත්කාරය දැක්වීම ඔබ පුරුද්දක් කරගෙන තිබෙනවාද?