Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න

දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න

දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න

‘ඔබේ කාර්යයෙහි කම්මැළි නොවන්න. දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යන්න. යෙහෝවා දෙවිට වෙහෙස මහන්සි වී සේවය කරන්න.’—රෝම 12:11.

1. ඊශ්‍රායෙල්වරුන් සත්ව පූජා හා අනිකුත් පූජා ඉදිරිපත් කළේ ඇයි?

යෙහෝවා දෙවිට ප්‍රේම කරමින්, ඔහුගේ නීති ප්‍රතිපත්තිවලට යටත් වෙමින් ඔහුට කැමැත්තෙන්ම පූජා ඉදිරිපත් කරද්දී ඔහු හුඟක් සතුටු වෙනවා. දෙවි, මෝසෙස්ට දුන් නීතියට අනුව පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් සත්ව පූජා හා වෙනත් පූජා ඉදිරිපත් කළ විට ඔහු ඒ ගැන සතුටු වුණා. ඒ තුළින් ඔවුන්ට තම පව්වලට සමාව ලබාගැනීමට හැකි වූ අතර තමන් වෙනුවෙන් දෙවි කර ඇති දේ ගැන ස්තුතිය ප්‍රකාශ කිරීමටද හැකි වුණා. නමුත් අද යෙහෝවා දෙවි අපෙන් එවැනි පූජා බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේවෙතත් රෝම 12වන පරිච්ඡේදයේ දෙවි අපෙන් බලාපොරොත්තු වන වෙනත් ආකාරයේ පූජාවක් ගැන පාවුල් සඳහන් කරනවා. එය කුමක්ද කියා දැන් අප සලකා බලමු.

ජීවමාන පූජාවක්

2. ක්‍රිස්තියානීන් ලෙස අප ගත කළ යුත්තේ කුමනාකාරයේ ජීවිතයක්ද? ඊට අයත් වන්නේ කුමක්ද?

2 රෝම 12:1, 2 කියවන්න. පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ මුලදී සඳහන් කරන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් යුදෙව්වෙකු හෝ වෙනත් ජාතිකයෙකු වුණත් ඔහු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වන්නේ ඔහුට දෙවිකෙරෙහි ඇති විශ්වාසය මත මිස නීතියේ සඳහන් ක්‍රියාවලින් නොවන බවයි. (රෝම 1:16; 3:20-24) ඊළඟට 12වන පරිච්ඡේදයේදී අපට පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කිරීමෙන් යෙහෝවා දෙවිට අපේ ස්තුතිය ප්‍රකාශ කළ හැකි බව ඔහු පවසනවා. නමුත් අපේ පව්කාර තත්වය නිසා අප සිටින්නේ ‘පාපයේ හා මරණයේ නීතිය’ යටතෙයි. (රෝම 8:2) ඒ නිසා අප ‘අපේ මනස අලුත් කරගන්න’ එනම්, අප සිතන ආකාරය සම්පූර්ණයෙන් වෙනස් කරගන්න අවශ්‍යයි. (එෆී. 4:23) අපට එය කළ හැක්කේ දෙවිගේ බලයේ උපකාරයෙන් පමණයි. ඒ වගේම අපද “කල්පනා ශක්තිය” භාවිත කරමින් ඒ සඳහා දැඩි වෑයමක් දැරීම අවශ්‍යයි. ඉන් අදහස් කරන්නේ අප ‘ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වැළකී’ සිටිය යුතු බවයි. එනම් පිරිහුණු ගතිපැවතුම්, පහත් විනෝදාස්වාදය හා නරක සිතුවිලි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපට හැකි සියල්ල කළ යුතු බවයි.—එෆී. 2:1-3.

3. අප ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ ඇයි?

3 පාවුල් අපව උනන්දු කරන්නේ අපේ “කල්පනා ශක්තිය” භාවිත කරමින් “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත” කුමක්ද කියා අපටම තහවුරු කරගන්නයි. ඒ නිසා අප අපගෙන්ම මෙසේ අසාගනිමු. මම දිනපතා බයිබලය කියවා ඒ ගැන කල්පනා කරන්නේ ඇයි? මම යාච්ඤා කරන්නේ, රැස්වීම්වලට සහභාගි වන්නේ හා ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ ඇයි? මම ඒ වගේ දේවල් කරන්නේ වැඩිමහල්ලන් නිතර නිතර මට ඒ ගැන උනන්දු කරන නිසාද? ඇත්තයි, අප වැඩිමහල්ලන් දෙන එවැනි මතක් කිරීම් බොහෝසේ අගය කරනවා. නමුත් අප එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වී ඔහුට ප්‍රේම කරන්න එය අපව පොලඹවන නිසයි. එමෙන්ම එය දෙවිගේ කැමැත්ත බව අප ඒත්තු ගෙන තිබීමත් ඊට තවත් හේතුවක්. (සෙක. 4:6; එෆී. 5:10) දෙවි බලාපොරොත්තු වන ආකාරයේ ජීවිතයක් ගත කිරීමෙන් දෙවිට පිළිගත හැකි පුද්ගලයෙක් වන්නත් ඉන් මහත් ප්‍රීතියක් හා තෘප්තියක් ලබන්නත් අපට හැකියි.

විවිධාකාර දීමනා

4, 5. වැඩිමහල්ලන් තමන්ට ලැබී තිබෙන දීමනා යොදාගත යුත්තේ කොහොමද?

4 රෝම 12:6-8, 11 කියවන්න. පාවුල් පැවසුවේ, “අපට දී තිබෙන මහත් කරුණාව අනුව විවිධ දීමනා අපට ඇත” කියායි. පාවුල් එහි සඳහන් කරන දීමනාවලින් සමහරක් වන්නේ අන් අයව උනන්දු කිරීම සහ පෙරමුණ ගෙන ක්‍රියා කිරීමයි. එය විශේෂයෙන්ම අදාළ වන්නේ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ටයි.

5 වැඩිමහල්ලන් තමන්ට ලැබී තිබෙන ඒ දීමනා සභාවේ සෙසු සාමාජිකයන්ගේ යහපත උදෙසා යෙදවීමට සතුටු විය යුතු අතර ඒ සඳහා ‘සැබෑ උනන්දුවක්ද’ ඔවුන්ට තිබිය යුතුයි. (රෝම 12:7, 8; 1 පේතෘ. 5:1-3) ඊට අමතරව ඔවුන් ගුරුවරුන් ලෙස තම “දේවසේවය” ඉටු කළ යුත්තේද සැබෑ උනන්දුවෙන් බව පාවුල් පැවසුවා. එහි අවට පදවලින් පැහැදිලි වන ආකාරයට ඔහු සඳහන් කරන්නේ ‘ශරීරයක්’ ලෙස හඳුන්වන සභාව තුළ වැඩිමහල්ලන් කරන සේවය ගැනයි. (රෝම 12:4, 5) “අපි යාච්ඤාවේද වචනය ඉගැන්වීමේ සේවයේද යෙදී සිටින්නෙමු” කියා ක්‍රියා 6:4හි සඳහන් වන්නේද ඊට සමාන දෙයක්. ඔවුන්ගේ සේවයට ඇතුළත් වන්නේ කුමක්ද? දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කර අධ්‍යයනය කිරීම, ඉගැන්වීම හා සභාවේ සාමාජිකයන්ව ඔවුන්ගේ නිවෙස්වලට ගොස් හමු වී දිරිගැන්වීමයි. එමගින් ඔවුන්ට සභාවේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය නිවැරදි උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දිය හැකියි.

6. රෝම 12:11හි සඳහන් උපදෙස අනුගමනය කරන්න අපට පුළුවන් කොහොමද?

6 මෙම ලිපියේ තේමා බයිබල් පදය වන්නේ, ‘ඔබේ කාර්යයෙහි කම්මැළි නොවන්න. දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යන්න. යෙහෝවා දෙවිට වෙහෙස මහන්සි වී සේවය කරන්න’ යන්නයි. නමුත් දෙවිගේ සේවය වෙනුවෙන් අපට ඇති උද්‍යෝගය අඩු බව හැඟෙනවා නම් අපගේ අධ්‍යයන පුරුදු ගැන නැවත සලකා බලන්න අපට පුළුවන්. එමෙන්ම දෙවිගේ බලය ඉල්ලා ඉතා ඕනෑකමින් යාච්ඤා කිරීමද වැදගත්. (ලූක් 11:9, 13; එළි. 2:4; 3:14, 15, 19) පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට දෙවිගේ බලවත් ක්‍රියා ගැන කතා කරන්න අවශ්‍ය ශක්තිය දෙවි ලබා දුන්නා. (ක්‍රියා 2:4, 11) ඒ වගේ අපටත් උද්‍යෝගයෙන් දේවසේවයේ යෙදීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න දෙවිට හැකියි.

යටහත්පහත් වන්න

7. අප යටහත්පහත් විය යුත්තේ ඇයි?

7 රෝම 12:3, 16 කියවන්න. අපට ඇති සියලු දීමනා ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවිගේ “මහත් කරුණාව” නිසයි. එමෙන්ම “අප ප්‍රමාණවත් ලෙස සුදුසුකම් ලබන්නේ දෙවිගෙන්” කියාද පාවුල් පැවසුවා. (2 කොරි. 3:5) ඒ නිසා අප අපවම උසස් කොට සැලකීම සුදුසු වන්නේ නැහැ. දේවසේවයේදී අපට ලැබෙන ප්‍රතිඵල කුමක් වුණත් ඒ සියල්ල දෙවිගෙන් ලැබෙන ආශීර්වාද මිස අපගේ දක්ෂතා නිසා ලැබෙන ඒවා නොවෙයි. (1 කොරි. 3:6, 7) පාවුල් මෙවැනි දෙයක්ද පැවසුවා. ‘තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතන්න.’ නමුත් ඉන් අදහස් කරන්නේ තමන් වටින්නේ නැති කෙනෙක් කියා සිතීම නොවෙයි. ඒ වෙනුවට දෙවිට සේවය කිරීමෙන් සතුටක් හා තෘප්තියක් ලබාගැනීම සඳහා තමා ගැන යම් ආකාරයක ගෞරවනීය හැඟීමක් තබාගැනීම වැදගත්. කෙසේවෙතත් යටහත්පහත් වී අපේ සීමාවන් මොනවාද කියා තේරුම්ගැනීමෙන් නිතරම තමන් නිවැරදියි යන ආකල්පයෙන් වැළකිය හැකියි. ඉන් අදහස් කරන්නේ අප සාධාරණව සිතන්න පුරුදු විය යුතු බවයි.

8. අප ‘ඥානවන්ත අය’ කියා සිතීමෙන් වැළකිය යුත්තේ ඇයි?

8 ‘වර්ධනය වීමට සලස්වන්නේ දෙවි’ නිසා අප අන් අයට වඩා උතුම් කියා සිතීම මෝඩකමක්. (1 කොරි. 3:7) දෙවි කෙරෙහි විශ්වාසයක් අප තුළ ඇති වුණේ ඔහුගේම උපකාරයෙන් බව අප මතක තබාගත යුතුයි. ඒ නිසා දෙවිගේ සේවය තුළ අප යම් දේවල් ඉටු කරනවා නම් ඒ දේ කරන්නේ දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට අප ප්‍රතිචාරය දැක්වූ නිසයි. පාවුල් තවදුරටත් පවසන්නේ, “තමන් ගැන ඇති හැඟීමම අනුන් ගැනත් ඇති කරගන්න” කියායි. ඔහු තවත් ලිපියක අපට උනන්දු කරන්නේ මෙසේයි. “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත්පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න.” (ෆිලි. 2:3) අපට වඩා අන් අය උතුම් බව පිළිගැනීමට නම් අප දැඩි වෑයමක් දැරිය යුතු අතර නිහතමානී අයද විය යුතුයි. මන්ද නිහතමානී පුද්ගලයෙක් තමන් ‘ඥානවන්තයි කියා සිතන්නේ නැහැ.’ අපට ලැබී ඇති සමහර විශේෂ වගකීම් නිසා සභාවේ සහෝදර සහෝදරියන් අප කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් බව ඇත්තයි. නමුත් අප “නිහතමානී දේ” එනම්, මිනිසුන්ගේ අවධානය ඇද ගන්නේ නැති දේවල් වුණත් කිරීමට කැමති විය යුතුයි. ඒ වගේම ඉන් අපට ප්‍රීතියක්ද දැනෙන්න අවශ්‍යයි.—1 පේතෘ. 5:5.

අප අතර ඇති එකමුතුකම

9. පාවුල්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ශරීරයක අවයවවලට සමාන කරන්නේ ඇයි?

9 රෝම 12:4, 5, 9, 10 කියවන්න. පාවුල්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ශරීරයක අවයවවලට සමාන කරනවා. ඊට හේතුව ඔවුන් එම ශරීරයේ හිස වන ක්‍රිස්තුස් යටතේ එක්සත්ව සේවය කිරීමයි. (කොලො. 1:18) පාවුල් ඔවුන්ට මතක් කරන්නේ ශරීරයක විවිධ කාර්යයන් ඉටු කරන අවයව තිබෙනවා හා සමානව ඔවුන් “බොහෝදෙනෙකුව සිටියත් ක්‍රිස්තුස් සමඟ එක්සත්ව සිටින එක ශරීරයක්” බවයි. එෆීසයේ සිටින ක්‍රිස්තියානීන්ටද ඒ හා සමාන අදහසක් පාවුල් මෙසේ පැවසුවා. “හිසව සිටින ක්‍රිස්තුස් යටතේ සියලු කාරණාවලදී ප්‍රේමයෙන් වැඩෙමු. ඔහු මාර්ගයෙන් මුළු ශරීරයම ඒකාබද්ධ කරනු ලැබ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සලස්වා තිබේ. එසේ වන්නේ සෑම සන්ධියක්ම අවශ්‍ය කාර්යය ඉටු කිරීමෙනුත් එක් එක් අවයවය යුතු ලෙස ක්‍රියා කිරීමෙනුත්ය. මෙසේ ශරීරය ප්‍රේමයෙන් යුක්තව ගොඩනැඟෙන පිණිස මුළු ශරීරයම එහි වර්ධනය උදෙසා ක්‍රියා කරන්නේය.”—එෆී. 4:15, 16.

10. “වෙනත් බැටළුවන්” පිළිගත යුත්තේ කුමක්ද?

10 “වෙනත් බැටළුවන්” ක්‍රිස්තුස්ගේ ශරීරයේ කොටසක් නොවුණත් ඒ උදාහරණයෙන් ඔවුන්ට බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. (යොහ. 10:16) යෙහෝවා දෙවි ‘[ක්‍රිස්තුස්ගේ] පාදවලට සියල්ල යටත් කර, සභාවේ සියලු දේ කෙරෙහි ඔහුව හිස ලෙස පත් කළා’ කියා පාවුල් පැවසුවා. (එෆී. 1:22) යෙහෝවා දෙවි යේසුස්ට යටත් කළ ‘සියල්ලට’ වෙනත් බැටළුවන් අයත් වෙනවා. එමෙන්ම ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ විශ්වාසයෙන් යුතුව යේසුස් බාර දී ඇති ‘ඔහු සන්තක සියල්ලටද’ මේ අය අයත්. (මතෙ. 24:45-47) ඒ නිසා ඔවුන් ක්‍රිස්තුස්ව හිස ලෙස පිළිගත යුතු අතර විශ්වාසවන්ත නුවණ ඇති දාසයාටත් එහි පාලක මණ්ඩලයටත් වැඩිමහල්ලන්ටත් ඔවුන් යටත් විය යුතුයි. (හෙබ්‍රෙ. 13:7, 17) එසේ කිරීමෙන් ඔවුන් සියලුදෙනාටම එකමුතුව සිටීමට හැකි වෙනවා.

11. අපේ එකමුතුකමට ප්‍රධාන හේතුව කුමක්ද? පාවුල් දුන් තවත් උපදෙස් මොනවාද?

11 ක්‍රිස්තියානීන් තුළ ඇති එකමුතුකමට හේතුව ඔවුන් අතර ඇති ප්‍රේමයයි. ‘එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්’ බව පාවුල් පවසන්නේ ඒ නිසයි. (කොලො. 3:14) එම ප්‍රේමය “කුහකකමින් තොරව” තිබිය යුතු බවද පාවුල් රෝම 12වන පරිච්ඡේදයේ පවසනවා. එමෙන්ම අප ‘සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතුව සිටිය යුතු බවද ඔහු පැවසුවා. අප එවන් ප්‍රේමයක් පෙන්වද්දී ඒ තුළින් අන් අයට ගෞරවය පෙන්වීමටද හැකි වෙනවා. ඒ ගැනද පාවුල් මෙසේ සඳහන් කළා. “එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.” කෙසේවෙතත් පාවුල් මෙවැනි උපදෙසක්ද දුන්නා. “දුෂ්ට දේට ද්වේෂ කරන්න. යහපත් දේට ඇලුම් වන්න.” ඒ නිසා එකිනෙකාට ප්‍රේම කිරීමේදී ඔවුන් කරන බරපතළ වැරදි නොසලකා නොහැරීම වැදගත්. මන්ද වැරදි කරන අයගෙන් සභාව ආරක්ෂා කිරීමට අපට හැකි වන්නේ එවිටයි.

ආගන්තුක සත්කාරයට ළැදිව සිටින්න

12. ආගන්තුක සත්කාරය දැක්වීම ගැන අපට මැසිඩෝනියාවේ ක්‍රිස්තියානීන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 රෝම 12:13 කියවන්න. සෙසු සහෝදරයන්ගේ “අවශ්‍යතාවලදී” ඔවුන්ට උපකාර කරන්න අපව පොළඹවන්නේ ඔවුන් කෙරෙහි අපට ඇති ප්‍රේමයයි. පාවුල් මැසිඩෝනියාවේ සිටි ක්‍රිස්තියානීන්ට ඒ ගැන මෙසේ පැවසුවා. “පීඩා යටතෙහි ඔවුන් අද්දුටු මහත් පරීක්ෂාවේදී ඔවුන්ගේ අධික ප්‍රීතිය හා මහත් දිලිඳුකම නිසා ඔවුන් දැක්වූ ත්‍යාගශීලීවන්තකමේ වටිනාකම වැඩි විය. මන්ද ඔවුහු තමුන්ට හැකි පමණින් එසේ කළෝය. ඔව්, තමුන්ට හැකි පමණටත් වඩා වැඩියෙන් ඔවුහු කළෝයයි මම සාක්ෂි දෙමි. කාරුණිකව පරිත්‍යාග කිරීමෙහි හා [යුදයේ සිටි] ශුද්ධ තැනැත්තන්ට සේවය කිරීමෙහි පංගුකාරයන් වීමේ වරප්‍රසාදය ඔවුහු සිය කැමැත්තෙන්ම අපෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියෝය.” (2 කොරි. 8:2-4) මැසිඩෝනියාවේ සිටි ක්‍රිස්තියානීන් දුප්පත් වුණත් ඔවුන් ඉතා ත්‍යාගශීලීවන්තව කටයුතු කළා. ඔවුන් එය සැලකුවේ වරප්‍රසාදයක් ලෙසයි.

13. “ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

13 “ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක අදහසට මුල් පියවරගැනීම යන අදහසද ඇතුළත්. එක් බයිබල් පරිවර්තනයක එය සඳහන්ව ඇත්තේ ‘ආගන්තුක සත්කාරය පෙන්විය හැකි අවස්ථා සොයන්න’ කියායි. එය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ආහාර වේලක් සඳහා කෙනෙකුට ආරාධනා කිරීමයි. නමුත් අපට එසේ කළ නොහැකි අවස්ථාවලදී කුමක් කළ හැකිද? අප ආගන්තුක සත්කාරය පෙන්වීමට මුල් පියවර ගෙන ඒ සඳහා අවස්ථා සොයනවා නම් එසේ කළ හැකි වෙනත් බොහෝ ක්‍රම අපට සොයගත හැකියි. උදාහරණයකට තේ පැන් සංග්‍රහයක් වැනි දෙයක් සඳහා කෙනෙකුට ආරාධනා කළ හැකියි. ඒ සඳහා අපව පෙලඹවිය යුත්තේ ඔවුන් කෙරෙහි අපට ඇති ප්‍රේමයයි.

14. විදේශිකයන්ට ආගන්තුක සත්කාරය දැක්විය හැකි එක් ආකාරයක් කුමක්ද?

14 අප ආගන්තුකයන්ට හා වෙනත් භාෂාවක් කතා කරන අයට ආගන්තුක සත්කාර දැක්විය හැකි එක් ක්‍රමයක් ගැන සලකා බලමු. එය නම් ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. ඒ සඳහා සමහර ක්‍රිස්තියානීන් තමන්ගේ සභාවට අයත් ප්‍රදේශයේ සිටින වෙනත් භාෂාවක් කතා කරන අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔවුන්ගේ භාෂාව ඉගෙනගන්න උනන්දු වෙනවා. නමුත් සියලුදෙනාටම වෙනත් භාෂාවක් ඉගෙනගන්න බැරි විය හැකියි. එවැනි අයට වුණත් සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොත මාර්ගයෙන් වෙනත් භාෂාවක් කතා කරන අයට ශුභාරංචිය ඉදිරිපත් කළ හැකියි. එම පොතේ බොහෝ භාෂාවලින් ශුභාරංචිය ඉදිරිපත් කර තිබෙනවා. දේවසේවයේ යෙදෙන විට එම පොත භාවිත කිරීමෙන් ඔබ හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබෙනවාද?

අන් අයව තේරුම්ගන්න

15. රෝම 12:15හි සඳහන් දෙය යේසුස්ගේ ආදර්ශයෙන් දැකගන්න පුළුවන් කොහොමද?

15 රෝම 12:15 කියවන්න. පාවුල් පැවසූ දෙයෙහි අර්ථය වන්නේ, කෙනෙකු සතුටින් සිටියත් දුකෙන් සිටියත් ඔවුන්ගේ හැඟීම් තේරුම්ගෙන ඔවුන් ගැන සැලකිල්ලක් දැක්විය යුතු බවයි. අප දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යනවා නම් අප අන් අය කෙරෙහි සැබෑ සැලකිල්ලක් දක්වන බව ඔවුන් දකිනවා. යේසුස්ගේ අනුගාමිකයන් 70දෙනා ශුභාරංචිය ප්‍රකාශ කර ආපසු පැමිණ තමන් ලැබූ හොඳ අද්දැකීම් ගැන යේසුස්ට පැවසූ විට ‘දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වී ඔහු අතිශයින් ප්‍රීති’ වුණා. (ලූක් 10:17-21) තවත් අවස්ථාවක ඔහුගේ මිත්‍රයා වන ලාසරුස් මිය ගිය විට යේසුස්ද යුදෙව්වරු සමඟ ඇඬුවා. (යොහ. 11:32-35) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ට අන් අයගේ දුක හා වේදනාව දැනුණු බවයි.

16. අන් අය කෙරෙහි අපට තිබෙන සැලකිල්ල පෙන්වන්න පුළුවන් කොහොමද? එය විශේෂයෙන්ම අදාළ කරගත යුත්තේ කවුද?

16 අන් අය ගැන සැලකිල්ල දැක්වීම පිළිබඳව යේසුස් ලබා දුන් ආදර්ශය අප අනුකරණය කරමු. සෙසු ක්‍රිස්තියානියෙකු සතුටින් සිටින විට අපත් ඔහු හෝ ඇය සමඟ සතුටු වෙමු. එමෙන්ම ඔවුන් දුකෙන් හෝ වේදනාවෙන් සිටින විට ඔවුන්ට කරුණාව පෙන්වමු. යම් හේතුවක් නිසා සිත් වේදනාවෙන් සිටින අපේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට ඉතා ඕනෑකමින් ඇහුම්කන් දීම මගින් අප ඔවුන් ගැන සැලකිලිමත් වන බව පෙන්වන්න අපට පුළුවන්. එවැනි සමහර අවස්ථාවලදී අපට ඔවුන් සමඟ අඬන්න පවා සිදුවිය හැකියි. (1 පේතෘ. 1:22) අන් අය ගැන සැලකිලිමත් වීම පිළිබඳව පාවුල් දුන් උපදෙස විශේෂයෙන්ම වැඩිමහල්ලන් අදාළ කරගත යුතුයි.

17. අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් ඉගෙනගත්තේ කුමක්ද? ඊළඟ ලිපියෙන් අප සලකා බලන්නේ කුමක්ද?

17 අප මෙතෙක් රෝම 12වන පරිච්ඡේදයේ සලකා බැලූ පදවලින් සාකච්ඡා කළේ අපේ පෞද්ගලික ජීවිතයට සහ අපගේ සහෝදර සහෝදරියන් අතර එකමුතුකම පවත්වාගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ගැනයි. අප ඊළඟ ලිපියෙන් රෝම 12වන පරිච්ඡේදයේම පාවුල් ඊළඟට දුන් උපදෙස් සලකා බලනවා. එහිදී සැබෑ ක්‍රිස්තියානීන් නොවන අය ගැන අපට තිබිය යුතු ආකල්පය හා ඔවුන්ට අප සැලකිය යුතු ආකාරය ගැන ඉගෙනගන්නවා. ඊට අපට විරුද්ධවාදීකම් කරන හා පීඩා කරන අයද ඇතුළත්.

ඔබට මතකද?

• දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යන්න අපට පුළුවන් කොහොමද?

• අප යටහත්පහත් විය යුත්තේ ඇයි?

• අන් අය ගැන අප සැලකිලිමත් බව පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[4වන පිටුවේ පින්තූර]

අප මෙවැනි ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ ඇයි?

[6වන පිටුවේ පින්තූරය]

වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට පුළුවන් කොහොමද?