Skip to content

පටුනට යන්න

පවුලේ පාඩම අත්‍යවශ්‍ය දෙයක්

පවුලේ පාඩම අත්‍යවශ්‍ය දෙයක්

පවුලේ පාඩම අත්‍යවශ්‍ය දෙයක්

“දෙවිගේ මහත් දවසේ යුද්ධය” කොයි තරම් බිය උපදවන්නක්ද කියා ඔබට සිතාගත හැකිද! (එළි. 16:14) අනාගතවක්තෘ මීකා එහි භයානකකම මෙසේ විස්තර කරනවා. “කඳු දිය වී යන්නේය. තැනිතලා බිම්ද ඉරි තැළී ගොස් කඩා වැටෙයි. ඒවා ගින්නට දිය වී යන ඉටි මෙන්ද උස් තැනකින් ඇද හැළෙන ජල ධාරාවක් මෙන්ද වැටෙනු ඇත.” (මීකා 1:4, නව ලොව පරිවර්තනය, NW) ඒ විනාශයේදී යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අයට සිදු වන්නේ කුමක්ද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා.“ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.”—යෙරෙ. 25:33NW.

දෙවි ලබා දී තිබෙන එවැනි අනතුරු ඇඟවීම් නිසා තීරණ ගත හැකි වයසේ පසුවන දරුවන් සිටින පවුල් මූලිකයන් (පියා නැති විට මව මූලිකත්වය ගනියි) තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘මේ භයානක විනාශයෙන් මගේ දරුවන්ට බේරෙන්න පුළුවන් වෙයිද?’ ඔවුන්ගේ වයසට අනුව දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙනවා නම් ඔවුන් ඒ විනාශයෙන් බේරෙන බවට දෙවි සහතික කරනවා.—මතෙ. 24:21.

කාලය වෙන් කිරීම වැදගත්

පවුල් මූලිකයෙනි, “යෙහෝවාගේ හික්මවීමෙන්ද ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඔබේ දරුවන්ව ඇති දැඩි කිරීමට ඔබට හැකි සියල්ල කරන්න. (එෆී. 6:4) එය කළ හැකි හොඳම ක්‍රමය නම් ඔබේ දරුවන් සමඟ එකතු වී බයිබලය අධ්‍යයනය කිරීමයි. ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් ලියූ මේ දේ සැලකිල්ලට ගන්න. “මාගේ ප්‍රේමණීය තැනැත්තෙනි, මා ඔබ ළඟ සිටියදී පමණක් නොව, මා ඔබෙන් ඈත්ව සිටින විටදීත් ඔබ ඊටත් වඩා කැමැත්තෙන් කීකරුව සිටියාක් මෙන් භයෙන් සහ වෙවුලමින් යුතුව ඔබගේම ගැලවීම ඉටු කරගන්න.” (ෆිලි. 2:12) එහිදී ඔවුන් කැමැත්තෙන්ම දෙවිට කීකරු වීම ගැන පාවුල් ඔවුන්ට ප්‍රශංසා කළා. ඔබටත් අවශ්‍ය ඔබේ දරුවන් ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන් මෙන් දෙවිට කැමැත්තෙන් කීකරු වෙනවා දකින්න නම් ඔබ පවුලේ පාඩම (පවුලේ නමස්කාරය) කළ යුතුයි.

ඔබ ළඟ නැති අවස්ථාවලදී ඔබේ දරුවන් යෙහෝවා දෙවිට කීකරු වෙනවාද? පාසැලේදී ඔවුන් කටයුතු කරන්නේ කොහොමද? එවැනි ඕනෑම අවස්ථාවකදී යෙහෝවා දෙවිට කීකරු වීම ප්‍රඥාවන්ත දෙයක් බව ඔබේ දරුවන්ට ඒත්තුගන්වන්න ඔබට පුළුවන් කොහොමද?

ඒ සඳහා පවුලේ පාඩම ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා. ඔබේ පවුලේ පාඩම සාර්ථක කරගැනීමට උපකාරවත් වන වැදගත් කරුණු තුනක් අපි දැන් සාකච්ඡා කරමු.

නොකඩවා කරන්න

දේවදූතයන් දෙවි ඉදිරියේ නියමිත දවස්වලදී පෙනී සිටි බව බයිබලයේ වාර්තා වෙනවා. (යෝබ් 1:6) ඒ ආකාරයට ඔබත් ඔබේ දරුවන් සමඟ පවුලේ පාඩම කිරීමට නියමිත දවසක් හා වේලාවක් වෙන් කර, එය නොකඩවා කරන්න. නමුත් ඔබට යම් හේතුවක් නිසා පවුලේ පාඩම නියමිත දවසේ කිරීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දවසක් කලින්ම සැලසුම් කර තබාගන්න.

කාලයක් ඔබ එසේ පවුලේ පාඩම කරගෙන යද්දී ඉඳහිට පාඩම අතපසු වීම ගැටලුවක් නොවන බව ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් එය අතපසු කරන්න එපා. මන්ද එය ඔබේ මූලික වගකීමක්. ඒ වගේම සාතන් ඔබේ දරුවන්ව ගොදුරක් කරගැනීමට මාන බලමින් සිටින බවද අමතක කරන්න එපා. (1 පේතෘ. 5:8) පවුලේ නමස්කාරය සඳහා ඔබ වෙන් කර තිබෙන සන්ධ්‍යාව රූපවාහිනිය නැරඹීමට හෝ වෙනත් වැදගත්කමින් අඩු දෙයකට යෙදෙව්වොත් සාතන්ට ඔවුන්ව ගොදුරක් කරගැනීමට පහසු වෙනවා.—එෆී. 5:15, 16; 6:12; ෆිලි. 1:10.

සෑම දෙනාටම ප්‍රයෝජනවත් ලෙස කරන්න

පවුලේ පාඩම සඳහා වෙන් කළ සන්ධ්‍යාව නිකම්ම තොරතුරු පමණක් සාකච්ඡා කරන්න යොදා නොගන්න. ඒ වෙනුවට එම කාලය සෑම කෙනෙක්ටම ප්‍රයෝජනවත් විය හැකි ආකාරයකින් යොදාගන්න වෑයම් කරන්න. විවිධ අවස්ථාවලදී ඔවුන්ට මුහුණ දීමට සිදු වන තත්වයන් ගැන ඔබට ඔවුන් සමඟ සාකච්ඡා කළ හැකියි. උදාහරණයකට දේවසේවයේ යෙදෙන විට කතා කළ යුතු ආකාරය සහ විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන ආකාරය දරුවා සමඟ ඔබ පෙරහුරු කරනවා නම් ඔබේ දරුවන්ට විශ්වාසයකින් යුතුව සේවයේ හවුල් වෙන්න පුළුවන්. (2 තිමෝ. 2:15) එවිට ගෙයින් ගෙට යෑමෙන් පමණක් නොව වෙනත් විවිධ ක්‍රමවලින් සාක්ෂි දැරීමෙන්ද විශාල ප්‍රීතියක් අද්දකින්න ඔවුන්ට හැකි වෙනවා.

මිතුරන්ගෙන් එල්ල වන බලපෑම්වලට සාර්ථකව මුහුණ දෙන ආකාරයත් පවුලේ පාඩමේදී දරුවන් සමඟ පෙරහුරු කරන්න ඔබට පුළුවන්. ඒ සඳහා 2008 අගෝස්තු 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති, වැරදි පෙලඹීමකට හසු නොවී සිටින්න මට හැකිද?” යන ලිපියේ ඇති යෝජනා ඔවුන් සමඟ සාකච්ඡා කරන්න ඔබට පුළුවන්.

ඒ විතරක් නොවෙයි දෙවිට කරන සේවය තුළ තබාගත හැකි ඉලක්ක ගැනද දරුවන් සමඟ ඔබට සාකච්ඡා කළ හැකියි. ඒ සඳහා 2006 ජූලි පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති, මගේ ජීවිතයේ ඉලක්ක මොනවාද?” යන ලිපියේ ඇති වටිනා තොරතුරු යොදාගන්න පුළුවන්. එහිදී යෙහෝවා දෙවිට තමා කරන සේවය ජීවිතේ මුල් තැනට දැමීමෙන් උපරිම සතුටක් ලබාගත හැකි බව දරුවාට තේරුම්ගැනීමට උපකාර කරන්න. එමෙන්ම පුරෝගාමී සේවය, බෙතෙල් සේවය, දේවසේවා පුහුණු පාසැලට සහභාගි වීම හෝ වෙනත් ආකාරයකින් පූර්ණකාලීන සේවයේ හවුල් වීමට ඔබේ දරුවා තුළ ආශාවක් ඇති කරන්න.

හොඳ ඉලක්ක තබාගැනීමට ඔබේ දරුවන්ව දිරිගැන්වීම හොඳ දෙයක් වුණත් ඔබ පරෙස්සම් විය යුතු පැත්තක්ද තිබෙනවා. එනම් දරුවා අනාගතයේදී කුමනාකාරයේ පුද්ගලයෙක් විය යුතුද කියා ඔබ දරන මතය දරුවා ඉටු කළ යුතුයි කියා ඔහුට බල නොකිරීමයි. ඔබ එසේ කළොත් දරුවා ඒ වන විටත් කරන හොඳ දේවල් ඔබට නෙපෙනීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දරුවා බොහෝ සෙයින් කලකිරීමට පත් විය හැකියි. (කොලො. 3:21) ඔබේ පුතා හෝ දුව යෙහෝවා දෙවිට ප්‍රේම කළ යුත්තේ ඔහුගේම හෝ ඇයගේම මුළු හදවතින් බව නිතරම මතක තබාගන්න. (මතෙ. 22:37) ඒ නිසා ඔබේ දරුදැරියන් කරන හොඳ දේවල් වෙනුවෙන් ඔවුන්ට ප්‍රශංසා කරන්න. ඔවුන් නොකරන දේවල් ගැන නිතරම ඔවුන්ට දොස් කීමෙන් වළකින්න. යෙහෝවා දෙවි කර තිබෙන සෑම දෙයක් සඳහාම අගය කිරීමක් ඔවුන් තුළ ඇති කරන්න. එවිට ඔබේ දරුවා මුළු හදවතින්ම පෙලඹී යෙහෝවා දෙවිට සේවය කරයි.

සතුටක් ලැබෙන අයුරින් කරන්න

පවුලේ පාඩම සාර්ථක කරගැනීමට අවශ්‍ය තවත් වැදගත් දෙයක් වන්නේ එය සියලුදෙනාටම සතුටක් ලැබෙන ආකාරයෙන් කිරීමයි. එය ඔබට කරන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පටිගත කළ බයිබල් නාට්‍යයකට සවන් දී හෝ වීඩියෝ තැටියක් නරඹා ඒ ගැන සාකච්ඡා කරන්න ඔබට පුළුවන්. එසේත් නැත්නම් බයිබලයෙන් තෝරාගත් කොටසක් කියවීමට පවුලේ එක් එක් සාමාජිකයන්ට පවරන්න ඔබට හැකියි.

පවුලක් වශයෙන් සාකච්ඡා කිරීමට මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල විවිධ අංග ඇතුළත් වෙනවා. උදාහරණයකට පිබිදෙව්! කලාපයේ 31වන පිටුවේ ඇති “දැනුම මිනුම” නමැති කොටස යොදාගන්න ඔබට පුළුවන්. ඒ වගේම මුරටැඹ පොදු කලාපයේ “යොවුන් ඔබට” නමැති කොටසත් “ඔබේ දරුවන්ට උගන්වන්න” නමැති කොටසත් පවුලේ පාඩමේදී සාකච්ඡා කරන්න ඔබට හැකියි.

යොවුන් දරුවන් සිටින දෙමාපියන්ට පිබිදෙව්! කලාපයේ පළ වන යෞවන අය අසති ලිපි පවුලේ පාඩම සඳහා යොදාගත හැකියි. ඒ ලිපිවල අවසානයේ තිබෙන “සිතා බලන්න” නමැති කොටසේ සඳහන් ප්‍රශ්න යොදාගෙන ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කරන්න ඔබට පුළුවන්.

එවැනි සාකච්ඡාවලදී ඔබේ දරුවාගෙන් හුඟක් ප්‍රශ්න ඇසීමෙන් වළකින්න. ඒ වගේම “යෞවන අය අසති” ලිපිවල පෞද්ගලික අදහස් ලිවීමට අසා ඇති ප්‍රශ්නවලට ඔබේ දරුවන් ලියා ඇති පිළිතුරු ශබ්ද නඟා කියවන්න කියා බල කරන්නත් එපා. මන්ද එසේ කිරීමෙන් ඔවුන් අපහසුතාවකට පත් වෙන්න පුළුවන්. සමහරවිට ඔවුන් පසුව ඔබ සමඟ විවෘතව ඔවුන්ගේ අදහස් බෙදාගැනීමට ඉඩ තිබෙනවා.

ඔබ පවුලේ පාඩම නොකඩවා, සෑම කෙනෙක්ටම ප්‍රයොජනවත් ලෙස සහ පවුලේ සැමට සතුටක් ලැබෙන අයුරින් කරනවා නම් යෙහෝවා දෙවි ඔබ ගන්නා වෑයමට බොහෝ සෙයින් ආශීර්වාද කරයි. ඒ වගේම ඔබ පවුලේ නමස්කාරය සඳහා වෙන් කරන එම කාලය ඔබ හුඟක් ආදරය කරන ඔබේ පවුලේ අයව යෙහෝවා දෙවිට තවත් ළං කරන්නත් දෙවි කෙරෙහි ඔවුන්ට ඇති විශ්වාසය ශක්තිමත්ව තබාගන්නත් උපකාරවත් වන බව නිසැකයි.

[31වන පිටුවේ කොටුව]

විවිධත්වයක් ඇති කරන්න

“අපි සමහර අවස්ථාවල අපේ පුංචි දියණියන් සමඟ පවුලේ පාඩම සඳහා කරන්නේ සභා රැස්වීමකට සූදානම් වෙන එකයි. පාඩමේදී එයාලට කාවැදුණු යම් දේවල් චිත්‍රයකට නඟන්න කියලා අපි එයාලට කිව්වා. සමහර අවස්ථාවලදී අපි බයිබලයේ සඳහන් සිද්ධියක් එකට රඟපෑවා. තවත් අවස්ථාවලදී අපි සේවයේ යද්දී කතා කරන ආකාරය ගැන පෙරහුරු කළා. අපි නිතරම වෑයම් කළේ ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයකින් සහ ඔවුන්ට සතුටක් හා දිරිගැන්වීමක් ලැබෙන ආකාරයකින් පවුලේ පාඩම කරන්නයි.”—එක්සත් ජනපදයේ ජේ. එම්.

“අකුළන ලියවිල්ලක් පාවිච්චි කරන එක කොච්චර අමාරුද කියලා තේරුම්ගන්න මම බයිබලය පාඩම් කළ පවුලක සිටි කුඩා දරුවෙකුට උපකාර කළා. ඒ සඳහා අපි යෙසායා පොතේ පරිච්ඡේද හා ඡේදවල අංක නැතුව මුළු පොතම නැවත මුද්‍රණය කරලා ඒ පිටු එකිනෙක ඇලෙව්වා. ඊට පස්සේ අකුළන ලියවිල්ලක් වගේ ඒකේ කෙළවරවල් බට දෙකක එතුවා. පස්සේ අපි ඒ දරුවට ලූක් 4:16-21 කියවන්න කිව්වා. එහි සඳහන් වුණේ ‘යේසුස් යෙසායාගේ ලියවිල්ල දිගහැර’ තමන්ට අවශ්‍ය කොටස සොයාගත් ආකාරයයි. (යෙසා. 61:1, 2) දැන් අපි ඒ දරුවට කිව්වා යේසුස් කළ දේ කරන්න කියලා. නමුත් එයාට ඒක කරන්න බැරුව ගියා. යේසුස්ගේ දක්ෂකම ගැන පුදුමයට පත් වුණු ඒ දරුවා, ‘යේසුස් නම් නියමයි!’ කියලා එකපාරටම කිව්වා.”—ජපානයේ වයි. ටී.

[30වන පිටුවේ පින්තූරය]

මිතුරන්ගෙන් ඇති වන බලපෑම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට දරුවන්ට උගන්වන්න

[31වන පිටුවේ පින්තූරය]

පවුලේ පාඩම සියලුදෙනාටම සතුටක් ලැබෙන ආකාරයෙන් කරන්න