Skip to content

පටුනට යන්න

බයිබල් අධ්‍යයනයට ඔබ වේලාවක් වෙන් කළාද?

බයිබල් අධ්‍යයනයට ඔබ වේලාවක් වෙන් කළාද?

බයිබල් අධ්‍යයනයට ඔබ වේලාවක් වෙන් කළාද?

පවුලේ නමස්කාරයට වැඩි කාලයක් ලබා දීම සඳහා අපගේ රැස්වීම්වල වෙනසක් ඇති කරන බව පාලක මණ්ඩලය පසුගිය වසරේ නිවේදනය කළා. ඔබ පවුල් මූලිකයෙක් නම් පවුලේ සියලුදෙනාටම ප්‍රයෝජනවත් විය හැකි ආකාරයෙන් ඔවුන් සමඟ නිතිපතා බයිබල් පාඩමක් පැවැත්විය යුතුයි. ඔබ දරුවන් නොමැති විවාහක යුවළක් නම් ඔබ දෙදෙනාට එකට බයිබලය අධ්‍යයනය කිරීම සඳහා මේ අවස්ථාව යොදාගන්න පුළුවන්. තනිකඩ සහෝදර සහෝදරියන්ට මේ කාලය පෞද්ගලික බයිබල් අධ්‍යයනය සඳහා යොදාගත හැකියි.

පවුලේ නමස්කාරය සඳහා කාලයක් වෙන් කිරීමේ මේ සැලැස්ම ගැන බොහෝදෙනා ඔවුන්ගේ අගය පාලක මණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබෙනවා. වැඩිමහල්ලෙක් වන කෙවන් මෙසේ පවසනවා. “සභාවේ සියලුදෙනාම ඔබට බොහෝ සෙයින් ස්තුති කරනවා. පාලක මණ්ඩලය අපෙන් බලාපොරොත්තු වන ආකාරයට පවුලේ පාඩම කරන්න මේ අවස්ථාව යොදාගන්නේ කොහොමද කියලා වැඩිමහල්ලන් හැටියට අපි සාකච්ඡා කළා.”

වැඩිමහල්ලෙකුගේ භාර්යාවක් වන ජෝඩි මෙසේ පවසනවා. “අපිට අවුරුදු 2ක්, 11ක් හා 15ක් වයසැති දුවලා තුන්දෙනෙක් ඉන්නවා. අපි මෑතකදී සංඥා භාෂාව භාවිත කරන සභාවක සේවය කරන්න පටන්ගත්තා. ඒ භාෂාවෙන් රැස්වීම්වලට සූදානම් වෙන්න අපිට සෑහෙන වෙලාවක් යනවා. නමුත් මේ අලුත් සැලැස්ම නිසා අපිට පවුලේ නමස්කාරය සඳහා වෙනමම සවස් වරුවක් දැන් තියෙනවා.”

ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කරන ජෝන් හා ජොඇන් යුවළ මෙසේ පවසනවා. “අපිට පුරෝගාමීන් හැටියට සභාවේ කරන්න වැඩ ගොඩක් තිබුණා. ඒ නිසා අපි අපේ පවුලේ පාඩම කළේ කඩින්කඩයි. මේ අලුත් සැලැස්ම අපිට යෙහෝවා දෙවි ලබා දුන්න තෑග්ගක්. ඒ කාලය අපි හරි විදිහට පාවිච්චි කළොත් අපිට අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන්න පුළුවන්.”

තම විසිගණන්වල පසුවන තනිකඩ සහෝදරයෙක් වන ටෝනි සෑම අඟහරුවාදාවකම සැන්දෑවරුව තම පෞද්ගලික අධ්‍යයනය සඳහා යොදාගන්නවා. ඔහු සභා රැස්වීම්වලට සූදානම් වන්නේ සතියේ අනික් දවස්වලයි. ඔහු ඒ ගැන මෙසේ සඳහන් කරනවා. “මම අඟහරුවාදා හවස එනකල් ආශාවෙන් බලාගෙන ඉන්නවා. මොකද මම ඒ කාලය වෙන් කරලා තියෙන්නේ යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්නයි. ඊට සම්බන්ධ විෂයන් ගැන අධ්‍යයනය කරන්න මම පැය දෙකක් විතර ගත කරනවා. ඒ නිසා මට බයිබල් පද ගැන ගැඹුරින් සිතා බලන්න වැඩි කාලයක් තියෙනවා.” එයින් ලැබුණු ප්‍රතිඵල ගැන ඔහු මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි මට උගන්වන දේවල් දැන් මගේ හිතට හොඳින් කාවදිනවා. දවසක් මම ඉන්සයිට් පොතෙන් දාවිත් සහ යොනාතාන් අතර තිබූ මිත්‍රත්වය ගැන කියෙව්වා. යොනාතාන් එයා ගැනවත් හිතන්නේ නැතුව කටයුතු කළ ආකාරයෙන් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. සැබෑ මිතුරෙක් වෙන්නේ කොහොමද කියලා හොඳින් තේරුම්ගන්න මට ඔහුගේ ආදර්ශය උපකාරවත් වුණා. සෑම අඟහරුවාදාවකම අනර්ඝ මැණික් වගේ තවත් අලුත් දේවල් සොයන්න මම ආශාවෙන් බලාගෙන ඉන්නවා.”

පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ කාලය හොඳින් යොදාගන්නා දෙවිගේ සියලුම සේවකයන්ට එයින් බොහෝ ආශීර්වාද ලැබෙන බව ස්ථිරයි.