Skip to content

පටුනට යන්න

මට ලොකු බලපෑමක් කළ සමුළු තුනක්

මට ලොකු බලපෑමක් කළ සමුළු තුනක්

මට ලොකු බලපෑමක් කළ සමුළු තුනක්

ජෝජ් වොරන්චෙක්

ඔබේ ජීවිතයේ විශාල වෙනස්කම් කරන්න ඔබව පෙලඹවූ සමුළුවකට ඔබ සහභාගි වෙලා තියෙනවාද? මට ඒ වගේ අද්දැකීමක් තියෙනවා. මගේ ජීවිතයේ විශාල වෙනස්කම් කරන්න සමුළු තුනක් මට උපකාරවත් වුණා. පළවෙනි එක මට තිබුණු ලැජ්ජාශීලීකම හා බයාදුගතිය අඩු කරගන්න උපකාර කළා. දෙවෙනි එක සරළ ජීවිතයක් ගැන හිතන්න මාව පෙලඹුවා. තුන්වෙනි සමුළුවෙන් කැප කිරීම් කරන්න අවශ්‍ය බව මම ඉගෙනගත්තා. ඒ සියල්ල ගැන විස්තර කරන්න කලින් මම මගේ කුඩා කාලය ගැන ඔයාලට කියන්නම්.

මම පවුලේ බාලයා. මම ඉපදුණේ 1928දීයි. මමයි මගේ අක්කලා දෙන්නා වන මාජී හා ඔල්ගායි හැදී වැඩුණේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි සවුත් බවුන්ඩ් බෲක්වලයි. ඒ කාලයේ ඒ නගරයේ මිනිස්සු 2,000ක් විතර හිටියා. අපි දුප්පත් වුණත් අපේ අම්මා හරිම ත්‍යාගශීලීවන්තයි. අපිට මුදල් තිබුණ වෙලාවක අම්මා රස කෑමක් හැදුවොත් එයා ඒක අසල්වාසීන් එක්කත් බෙදාගන්නවා. මට වයස අවුරුදු නවයක් වගේ වෙද්දී දවසක් හංගේරියානු භාෂාව කතා කරන සාක්ෂිකරුවෙක් අපේ ගෙදර ආවා. හංගේරියානු භාෂාව අපේ අම්මාගේ මව් භාෂාව වූ නිසා ඇය කියපු දේට අම්මා හොඳින් ඇහුම්කන් දුන්නා. ඊට පස්සේ විසිගණන්වල සිටි බර්තා නමැති සහෝදරිය මගේ අම්මත් එක්ක බයිබලය පාඩම් කරමින් ඇයට සාක්ෂිකරුවෙක් වෙන්න උපකාර කළා.

මට පොඩි කාලේ ඉඳලම බයාදුගතියක් තිබුණා. අම්මා මට කරපු කියපු සමහර දේවල් නිසා මගේ ඒ බයාදුගතිය තවත් වැඩි වුණා. දවසක් මම අඬ අඬා අම්මගෙන් ඇහුවා “ඇයි ඔයා මට මෙහෙම කරන්නේ” කියලා. එතකොට අම්මා කිව්වා එයා මට ආදරේ වුණත් මාව හුරතල් කරලා නරක් කරන්න කැමති නැති නිසයි එහෙම කරන්නේ කියලා. මට තේරුණා අම්මට හොඳ චේතනාවක් තිබුණා කියලා. නමුත් ඒක පෙන්නන්න අම්මට හරියට තේරුණේ නැති නිසා මම හිටපු තත්වයෙන් ගොඩ එන්න මට ගොඩක් අමාරු වුණා.

එක දවසක් අසල්වාසී කාන්තාවක් ඇගේ දරුවන් දෙන්නව පල්ලියේ ඉරුදින පාසැලට රැගෙන යන්න කියලා මට කිව්වා. මම එහෙම කළොත් යෙහෝවා දෙවි අසතුටු වන බව මම දැනගෙන හිටියා. නමුත් ඇය කාරුණාවන්ත කෙනෙක් වූ නිසා ඇයව අසතුටු කරන්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුණත් මම මාස ගණනාවක්ම ඒක කළා. මිනිසුන්ට තිබූ භය නිසා පාසැලේදීත් හෘදය සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න මම පෙලඹුණා. ඒ විතරක් නෙවෙයි අපේ පාසැලේ විදුහල්පති සැරපරුෂ කෙනෙක්. ඔහු නීතියක් පනවා තිබුණා සියලුම ශිෂ්‍යයන් කොඩියට ආචාර කළ යුතුයි කියලා. ඒ නිසා මමත් කොඩියට ආචාර කළා. ඒ විදිහට අවුරුද්දක් විතර ගත වුණාට පස්සේ ලොකු වෙනසක් ඇති වුණා.

නිර්භීතකම ගැන පාඩමක්

වර්ෂ 1939දී අපේ ගෙදර පොත් පාඩමක් පටන්ගත්තා. ඒ පාඩම කළේ බෙන් මිස්කාල්ස්කි නමැති තරුණ පුරොගාමී සහෝදරයායි. එයා හුඟක් උස මහත කෙනෙක් නිසා අපි එයාට කතා කළේ බිග් බෙන් කියලයි. ඒ වුණත් එයා හරිම කරුණාවන්තයි. ඒ නිසා එයා එක්ක ඇසුරු කරන්න මට කිසි භයක් තිබුණේ නැහැ. දිනක් බිග් බෙන් එක්ක සේවයේ හවුල් වෙන්න ඔහු මට ආරාධනා කරද්දී මම ඒකට කැමති වුණා. එදා ඉඳලා අපි හොඳ මිතුරන් වුණා. මම හුඟක් දුකෙන් හිටිය අවස්ථාවලදී එයා මට අයියා කෙනෙක් වගේ සැලකුවා. ඒක මට ලොකු සහනයක් වුණා වගේම මාව එයාට හුඟක් ළං කළා.

වර්ෂ 1941දී මිසූරිවල පිහිටි සාන්ත ලූවිස්හි පැවත්වූ සමුළුවකට ඔහුගේ වාහනෙන් යන්න බෙන් අපේ පවුලටම ආරාධනා කළා. මම මීට කලින් ගිහිල්ලා තියෙන වැඩිම දුර කිලෝමීටර් 80යි. නමුත් දැන් මම ලැස්ති වෙන්නේ කිලෝමීටර් 1,500ක දුරක් යන්නයි. මට ඇති වුණ සතුට කියලා නිම කරන්න බැහැ! නමුත් සාන්ත ලූවිස්වල සිටි මිනිසුන් සමුළුවට එන සහෝදරයන්ට නවානැන් දෙන්න සූදානම් කරලා තිබුණත් ඒ ප්‍රදේශයේ පූජකයා නවාතැන් නොදෙන ලෙස ඔවුන්ට අණ කරලා තිබුණා. බොහෝදෙනෙක් ඔහුට ඇහුම්කන් දුන්නත් අපිට නවාතැන් දීමට පොරොන්දු වූ අය නම් එය වෙනස් කළේ නැහැ. ඒ අයට තිබුණු නිර්භීතකම මගේ සිත්ගත්තා.

මගේ සහෝදරියන් දෙදෙනාම ඒ සමුළුවේදී බව්තීස්ම වුණා. බෘක්ලින් බෙතෙල්හි සේවය කළ සහෝදර රදෆඩ් එදින ඉතාමත් දිරිගන්වන සුළු කතාවක් ඉදිරිපත් කළා. ඒ කතාවේදී ඔහු දෙවිගේ කැමැත්ත කරන්න කැමති සියලුම දරුවන්ට නැඟී සිටින්න කියා පැවසුවා. ඒ වෙලාවේ නැඟිට සිටි 15,000ක් පමණ දෙනා අතරේ මමත් හිටියා. තමන්ගේ උපරිමයෙන් දේශනා සේවයේ සහභාගි වෙන්න කැමති අයට “එසේය” කියා පවසන ලෙස ඔහු ආරාධනා කළා. අපි සියලුදෙනාම “එසේය” කියා ශබ්ද නඟා පවසද්දී අනික් හැමෝම අත්පොළසන් දුන්නා. ඒක මට ලොකු දිරිගැන්වීමක් වුණා.

සමුළුවෙන් පස්සේ අපි බටහිර වර්ජිනියාවේ සහෝදරයෙකුව බලන්න ගියා. ඔහු අපිට අද්දැකීමක් කිව්වා. දවසක් ඔහු දේශනා සේවයේ යද්දී කුපිත වූ පිරිසක් ඔහුට ගහලා, ඔහුගේ ඇඟේ තාර වක්කරලා, කුරුළු පිහාටු විසි කරලා තියෙනවා. නමුත් ඒ සහෝදරයා මෙහෙම කිව්වා.“හැබැයි මම නම් කවදාවත් දේශනා සේවය නතර කරන්නේ නැහැ.” එදා ඒ නිවසින් පිට වෙලා යද්දී මට හිතුණා මම දාවිත් වගේ වෙන්න ඕනේ කියලා. ඔහු නිර්භීතව ගොලියත් ඉදිරියට ගියා වගේ මමත් මගේ විදුහල්පති මුණගැහෙන්න තීරණය කළා.

මම විදුහල්පති ළඟට ගියාම ඔහු මං දිහා රවලා බැලුවා. ඒ වෙලාවේ මම නිශ්ශබ්දව යෙහෝවා දෙවිට කෙටි යාච්ඤාවක් කළා. ඊට පස්සේ මම ඔහුට මෙහෙම කිව්වා. “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට ගියා. මීට පස්සේ නම් මම කොඩියට ආචාර කරන්නේ නැහැ.” කිසි කතාවක් නැතුව ඔහු ටික වෙලාවක් මං දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ඔහු මං ළඟට ඇවිත් හුඟක් තරහෙන් මෙහෙම කිව්වා. “කොඩියට ආචාර කරනවාද නැත්නම් මං ඔයාව පාසැලෙන් අස් කරන්නද?” මං ඒ වෙලාවේ නිර්භීතව ක්‍රියා කරපු නිසා මට ලොකු සතුටක් දැනුණා.

ඒ සිද්ධිය බෙන්ට කියන්න මම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. ඔහුව රාජ්‍ය ශාලාවේ දැක්ක ගමන්ම මම කෑගහලා මෙහෙම කිව්වා. “මම කොඩියට ආචාර කළේ නැති නිසා මාව පාසැලෙන් අස් කළා.” ඒ වෙලාවේ බෙන් මාව ආදරයෙන් වැලඳගෙන මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි ඔයාට ගොඩාක් ආදරේ ඇති.” (ද්වි. 31:6) ඒ වචන මට ලොකු දිරිගැන්වීමක් වුණා. මම 1942 ජූනි 15වෙනි දා බව්තීස්ම වුණා.

සරල ජීවිතයකට පුරුදු වීම

දෙවන ලෝක මහ යුද්ධයෙන් පස්සේ රටේ ආර්ථිකය දියුණු වුණ නිසා බොහෝදෙනෙක් ධන සම්පත් රැස් කරන්න පටන්ගත්තා. මට හොඳ රැකියාවක් තිබුණ නිසා හීනෙකින්වත් නොහිතපු දේවල් ගන්න මට පුළුවන් වුණා. මගේ සමහර යහළුවන් යතුරු පැදි ගත්තා. තවත් අය එයාලගේ ගෙවල් දොරවල් අලුත්වැඩියා කරගත්තා. මමත් අලුත් කාර් එකක් ගත්තා. සැපපහසු ජීවිතයක් ගත කරන්න මට තිබුණ ආශාව නිසා දේවසේවය සඳහා තිබුණ උනන්දුව ටිකෙන් ටික අඩු වුණා. මම කරන්නේ වැරදි දෙයක් බව මටතේරුණා. නමුත් හොඳ තීරණයක් ගන්න මට උපකාර ලැබුණේ 1950දී නිව් යෝර්ක් නගරයේ තිබුණු සමුළුවෙනුයි.

ඒ සමුළුවේදී හැම කථිකයෙක්ම දේවසේවයේ උනන්දුවෙන් හවුල් වෙන්න කියා අපව දිරිගැන්නුවා. “අනවශ්‍ය දේවල් පැත්තකින් තියා දිවීමට සහභාගි වෙන්න” කියා එක් කථිකයෙක් පවසද්දී මට හැඟුණේ ඒක මටම කිව්වා වගෙයි. සමුළුව අතරතුරදී ගිලියද් පාසැලේ ශිෂ්‍යයන්ට පැවරුම් ලබා දෙන අවස්ථාවකට සහභාගි වෙන්නත් මට පුළුවන් වුණා. ‘මගේම වයසේ ඉන්න මේ අයට තමන්ගේ රටවල්වල සැපපහසු ජීවිත පරිත්‍යාග කරලා වෙනත් රටක සේවය කරන්න පුළුවන් නම් මගේම රටේ ඉඳලා එහෙම කරන්න ඇයි මට බැරි?’ කියලා එදා මම කල්පනා කළා. ඊට පස්සේ ඒ සමුළුව අවසන් වෙද්දී පුරෝගාමි සේවය කරන්න මම තීරණය කළා.

ඒ කාලේදීම වගේ මම හිටපු සභාවේ උද්‍යෝගයෙන් දෙවිට සේවය කරමින් සිට සහෝදරියක් වන එව්ලන් මොන්ඩාක් එක්ක මම ආශ්‍රයක් පටන්ගත්තා. ඇගේ අම්මා දරුවන් හයදෙනෙක්වම ඇති දැඩි කළ නිර්භීත කාන්තාවක්. ඇය කොයි තරම් නිර්භීතද කියනවා නම් ඇගේ ගමේ තිබූ කතෝලික පල්ලිය ඉදිරිපිට ඇය නිතරම වීදි සේවය කළා. පල්ලියේ පූජකයා ඇයට එතනින් යන්න කියලා කිව්වත් ඇය එහෙම කළේ නැහැ. එව්ලන්නුත් හරියට ඇගේ අම්මා වගේමයි. ඇයත් මිනිසුන්ට භය නැහැ.—හිතෝ. 29:25.

වර්ෂ 1951දී මම එව්ලන් එක්ක විවාහ වුණා. අපේ රැකියාවන් අත්හැරලා අපි පුරෝගාමි සේවය පටන්ගත්තා. අපිට අමගන්සෙට්වලට පදිංචියට යන්න කියලා චාරිකා සේවයේ යෙදුණු එක් සහෝදරයෙක් දිරිගැන්නුවා. ඒ ප්‍රදේශය පිහිටා තිබුණේ නිව් යෝර්ක් නගරයෙන් කිලෝමීටර් 160ක් පමණ ඈතින් අත්ලාන්තික් මුහුදු තීරයේයි. නමුත් අපිට නවාතැනක් හොයලා දෙන්න එහෙ සහෝදරයන්ට පහසු වුණේ නැහැ. නිවසක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් හොයාගන්න අපි උත්සාහ කළත් අපේ වත්කමට ගැළපෙන එකක් හොයාගන්න අපිට බැරි වුණා. හැබැයි ඒ වගේ අබලන් වෙච්ච වහානයක් නම් තිබුණා. ඒකෙ අයිතිකරු ඒකට ඩොලර් 900ක් ඉල්ලුවා. අපේ විවාහ උත්සවයේදී ලැබුණු මුදල් ප්‍රමාණයත් ඩොලර් 900යි. ඒකෙන් අපි ඒ වාහනය අරගෙන අලුත්වැඩියා කරලා අපේ අලුත් ප්‍රදේශයට රැගෙන ගියා. ඊට පස්සේ අපිට සේවය කරන්න කිසිම මුදලක් ඉතුරු වුණේ නැහැ.

රැකියාවක් හැටියට එව්ලන් ගෙවල් සුද්ද පවිත්‍ර කළා. මම හැම රාත්‍රියකම හෝටලයක පිරිසිදු කිරීම් කළා. එහි අයිතිකරු මට කිව්වා “ඉතුරු කෑම ගෙදර අරන් යන්න” කියලා. මම වැඩ ඉවර කරලා කෑම අරගෙන ගෙදර යද්දී හැමදාම පාන්දර දෙක වෙනවා. ඒ වගේ කෑමක් විශේෂයෙන්ම සීත කාලයේ රත් කරගෙන කද්දී ඒක අපිට රජබොජුන් වගේ. ඒ විතරක් නෙමෙයි සහෝදරයෝ සමහර දවස්වල විශාල මාළු කූරියෙක් අපේ දොරකොඩ තියලා යනවා. අමගන්සෙට් සභාවේ ඉන්න ඒ ප්‍රේමණීය සහෝදරයන් සමඟ සේවය කළ අවුරුදු කිහිපය තුළ ජීවිතයේ මුලික දේවලින් සෑහීමට පත් වීමෙන් සැබෑ සතුට අත් කරගන්න පුළුවන් කියලා අපි ඉගෙනගත්තා.

කැප කිරීම් කරන්න පෙලඹීමක්

වර්ෂ 1953 ජූලි මාසයේ නිව් යෝර්ක් නගරයේ ජාත්‍යන්තර සමුළුවක් තිබුණා. එහිදී අපට විවිධ රටවල්වලින් පැමිණි මිෂනාරිවරුන් සිය ගණනක්ව හමු වුණා. ඔවුන් හුඟක් දිරිගන්වන සුළු අද්දැකීම් අපට පැවසුවා. ඔවුන්ට තිබුණු මහත් උද්‍යෝගය අප තුළත් ඇති වුණා. තවමත් දෙවිගේ රාජ්‍ය පිළිබඳ පණිවිඩය ලැබී නැති ප්‍රදේශ ගණනාවක් තිබෙන බව ඒ සමුළුවේදී එක් කථිකයෙක් පැවසුවා. අපි කරන සේවය වැඩි කළ යුතු බව ඒ වෙලාවේදී අපිට හැඟුණා. අපි ඒ සමුළුවේදීම මිෂනාරි පුහුණුව සඳහා ඉල්ලුම් කළා. ඒ අවුරුද්දෙම අපිට ගිලියද් පාසැලේ 23වන පන්තියට සහභාගි වෙන්න ආරාධනා ලැබුණා. ඒ පාසැල ආරම්භ වුණේ 1954 පෙබරවාරි මාසයේයි. එය අපට ලැබුණු උතුම් වරප්‍රසාදයක්!

අපේ පැවරුම බ්‍රසීලය බව දැනගනිද්දී අපි හුඟක් සතුටු වුණා. අපිට එහෙට යන්න දවස් 14ක් නැවක ගමන් කරන්න සිද්ධ වුණා. අපි යන්න කලින් බෙතෙල්හි සහෝදරයෙක් මට මෙහෙම කිව්වා. “ඔයයි ඔයාගේ බිරිඳයි එක්ක තවත් තනිකඩ මිෂනාරි සහෝදරියන් නවදෙනෙක් බ්‍රසීලයට යනවා. එයාලවත් හොඳින් බලාගන්න ඕනේ.” මම තරුණියන් දහදෙනෙක් එක්ක නැවට ගොඩ වෙද්දී එහි සේවකයන් පුදුමයෙන් අපි දිහා බලාගෙන හිටියා. නමුත් ඒ සහෝදරියන්ට නම් ඒක එච්චර දැනුණේ නැහැ. කොහොමනමුත් අපි බ්‍රසීලයට ආවම මට ලොකු සතුටක් දැනුණා.

පෘතුගීසි භාෂාව ඉගෙනගත්තට පස්සේ දකුණු බ්‍රසීලයේ ප්‍රාන්තයක් වන රියේ ග්‍රෑන්ඩෙ ඩො සූල්හි චාරිකා සේවයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මට කලින් එහි සේවය කළේ තනිකඩ චාරිකා අවේක්ෂකයෙක්. ඔහු අපිට කිව්වා “මෙහෙ සේවය කරන්න විවාහක යුවළක්ව එවපු එක ගැන මට හරි පුදුමයි. මොකද මේක හරිම දුෂ්කර පලාතක්” කියලා. ඔව්, ඒක ඇත්තටම දුෂ්කර පලාතක්. එහෙ තිබුණු සභාවන් අතර විශාල දුරක් තිබුණා. සමහර සභාවලට යන්න පුළුවන් වුණේ ට්‍රක් රථවලින් විතරයි. ඒ රියදුරෙකුට කෑම පාර්සලයක් දුන්නොත් ඔහුගේ ට්‍රක් රථයේ යන්න ඔහු අවස්ථාව ලබා දෙනවා. ට්‍රක් රථයේ හුඟක් බඩු පටවලා තිබුණු නිසා අපිට සිද්ද වුණා එවා උඩ ඉදගෙන, එවා ගැටගහලා තිබුණු පටි අල්ලාගෙන, හරියට අශ්වයෙකුගේ පිට උඩ යනවා වගේ යන්න. ට්‍රක් රථය ලොකු වංගුවක් ගනිද්දී ප්‍රපාතයට වැටෙයි කියන භයට අපි ඒ පටි තදින් අල්ලාගත්තා. ගමන එතරම් දුෂ්කර වුණත් අපි එන තුර බලාගෙන සිටි සහෝදරයන්ගේ සතුටින් පිරුණු මුහුණු දැක්කම කියා නිම කරන්න බැරි ප්‍රීතියක් අපිට දැනුණා.

අපි නවාතැන් ගත්තේ සහෝදරයන්ගේ ගෙවල්වලයි. ඔවුන් දිලිඳු අය වුණත් ඉතා ත්‍යාගශීලීවන්තයි. එක ප්‍රදේශයක හිටපු හැම සහෝදරයෙක්ම වැඩ කළේ එකම තැනකයි. ඔවුන්ට ලැබුණු පඩිය ඉතා අඩු නිසා ඔවුන් දවසකට කෑවේ එක වේලක් විතරයි. ඔවුන් දවසක් වැඩ කළේ නැත්නම් ඔවුන්ට එදාට පඩියත් නැහැ. ඒ වුණත් අපි ඒ සභාවන්වලට ගිය අවස්ථාවලදී ඔවුන් දින දෙකක්ම වැඩට නොගිහින් සභාවේ වැඩකටයුතුවලට අපිට සහයෝගය දැක්වුවා. ඔවුන් සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවිව විශ්වාස කළා. දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඒ නිහතමානී සහෝදරයන්ගෙන් කවදාවත් අමතක නොවන පාඩමක් අපි ඉගෙනගත්තා. ඒ සහෝදරයන් ගැන හිතද්දී මගේ ඇස්වල කඳුළු පිරෙනවා.

අසනීපව සිටි මගේ මවට සාත්තු කරන්න අපි 1976දී නැවත එක්සත් ජනපදයට ආවා. බ්‍රසීලයේ ජීවත් වීම දුෂ්කර එකක් වුණත් ඒ රටේ ප්‍රචාරකයන්ගේ හා සභාවන්වල වර්ධනය දැකගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපිට බ්‍රසීලයේ සහෝදර සහෝදරියන්ගෙන් ලියුම් ලැබෙද්දී අපි එහි ගත කළ ප්‍රීතිමත් කාලය මට මැවිලා පේනවා.

පරණ මිතුරන් යළි හමු වී

මගේ මවට සාත්තු කරන අතරතුරදී රැකියාවක් ලෙස පිරිසිදු කිරීම් කරමින් අපි දිගටම පුරෝගාමීන් ලෙස සේවය කළා. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ මගේ මව 1980දී මිය ගියා. ඉන් පසුව එක්සත් ජනපදයේ චාරිකා සේවය කිරීමට මට ආරාධනාවක් ලැබුණා. මගේ බිරිඳ සහ මම 1990දී කනෙක්ටිකට්වල තිබූ සභාවක සේවය කරන්න ගියා. එහිදී අපිට විශේෂ පුද්ගලයෙක්ව හමු වුණා. ඒ මීට වසර 50කට පමණ කලින් මට ලොකු දිරිගැන්වීමක් ලබා දුන් බෙන් මිස්කාල්ස්කියි. ඔහු ඒ සභාවේ වැඩිමහල්ලෙක්. ඒ වෙලාවේ අපිට දැනුණ ප්‍රීතිය නම් කියලා නිම කරන්න බැහැ.

වර්ෂ 1996 සිට එව්ලන් හා මම නිව් ජර්සිහි පිහිටි එළිසබෙත්වල පෘතුගීසි භාෂාව කතා කරන සභාවක විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කරනවා. මට සෞඛ්‍ය ගැටලු තිබුණත් මගේ ආදරණීය බිරිඳ මට උපකාර කරන නිසා මම හැකි උපරිමයෙන් සේවයේ හවුල් වෙනවා. මගේ බිරිඳ දුර්වල සෞඛ්‍යයකින් සිටින මහලු අසල්වැසිකුටත් උපකාර කරනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි, වසර 70කට කලින් මගේ මවට සාක්ෂිකරුවෙක් වෙන්න උපකාර කළ බර්තායි. අපගේ පවුලට යෙහෝවා දෙවි ගැන දැනගැනීමට ඇය කළ උපකාරයට ප්‍රතිඋපකාර කරන්න ලැබුණු මේ අවස්ථාව ගැන අපි හුඟක් සතුටු වෙනවා.

සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීත පියවරක් ගන්න, මගේ ජීවිතය සරල කරගන්න සහ මගේ සේවය වැඩි කරන්න මට පෙලඹීමක් ලබා දුන්න ඒ සමුළු තුන ගැන යෙහෝවා දෙවිට මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම ඒ සමුළු මට ලොකු බලපෑමක් කළා!

[23වන පිටුවේ පින්තූරය]

එව්ලන්ගේ මව (වම) සහ මගේ මව

[23වන පිටුවේ පින්තූරය]

මගේ යාළුවා බෙන්

[24වන පිටුවේ පින්තූරය]

බ්‍රසීලයේදී

[25වන පිටුවේ පින්තූරය]

අද දින එව්ලන් සහ මම