Skip to content

පටුනට යන්න

“සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න”

“සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න”

“සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න”

“පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:18.

1, 2. (අ) යේසුස් ඔහුගේ මරණයට පෙර දින රාත්‍රියේදී තම අනුගාමිකයන්ට පැවසුවේ කුමක්ද? (ආ) විරුද්ධවාදීකම්වලට මුහුණ දිය හැකි ආකාරය ගැන උපදෙස් සොයාගත හැක්කේ කොතැනින්ද?

යේසුස් තම මරණයට පෙර දින රාත්‍රියේදී ඔහුගේ අනුගාමිකයන්ට ඉතා වැදගත් දෙයක් පැවසුවා. එනම් ඔවුන්ට මිනිසුන්ගේ විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට සිදු වන බවයි. පසුව ඊට හේතුව ඔහු මෙසේ සඳහන් කළා. “ඔබ ලෝකයේ කොටසක්ව සිටියා නම්, ඔබ ලෝකයට අයිති නිසා ලෝකය ඔබට ඇලුම් වනවා ඇත. නමුත් ඔබ ලෝකයේ කොටසක් නොවන නිසාත්, මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබෙන නිසාත්, ලෝකය ඔබට වෛර කරන්නේය.”—යොහ. 15:19.

2 යේසුස් පැවසූ දේ සත්‍යය බව පාවුල් ඔහුගේ ජීවිතයෙන් අද්දැක්කා. ඔහු ඒ ගැන තිමෝතිට මෙසේ ලිව්වා. ‘මගේ ඉගැන්වීමද, මගේ ජීවන මාර්ගයද, මගේ අරමුණද, මගේ ඇදහිල්ලද [එනම් විශ්වාසයද], මගේ මහත් ඉවසිල්ලද, මගේ ප්‍රේමයද, මගේ විඳදරාගැනීමද මගේ පීඩා හා මගේ දුක් විඳීම්ද ඔබ හොඳින් නිරීක්ෂණය කළෙහිය.’ පසුව ඔහු මෙසේද පැවසුවා. “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය.” (2 තිමෝ. 3:10-12) පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ පීඩා හා විරුද්ධවාදීකම්වලට මුහුණ දිය යුතු ආකාරය ගැන උපදෙස් දුන්නා. ඒ උපදෙස් රෝම පොතේ 12වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒවා අවසාන කාලයේ ජීවත් වන අපට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙනවා. අප දැන් ඒවා සලකා බලමු.

“යහපත්ව තිබෙන දේවල් කරන්න”

3, 4. (අ) පවුලේ සාමාජිකයන් සියලුදෙනාම සාක්ෂිකරුවන් නොවන විට, (ආ) අසල්වාසීන් සමඟ කටයුතු කරන විට, රෝම 12:17හි සඳහන් උපදෙස අදාළ කරගන්න පුළුවන් කොහොමද?

3 රෝම 12:17 කියවන්න. අප විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන විට එකට එක නොකරන්න කියා පාවුල් පැහැදිලි කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන පවුල් සාමාජිකයන් සිටින විට මේ උපදෙස අදාළ කරගැනීම ඉතා වැදගත්. එවැනි පවුලක් තුළ යම් ගැටලුවක් ඇති වූ විට ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අකාරුණික වචන පැවසීමෙන් හෝ අකාරුණික ක්‍රියාවන් කිරීමෙන් එකට එක නොකිරීමට වගබලා ගන්නවා. මන්ද ‘නපුරට නපුර’ කිරීමෙන් සිදු වන්නේ තත්වය තවත් බරපතළ වීම පමණයි.

4 එවැනි තත්වයකදී කටයුතු කිරීමට සුදුසුම ආකාරය පාවුල් මෙසේ පවසනවා. “සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න සිතෙහි තබාගන්න.” පවුල තුළ මෙම උපදෙසද අදාළ කරගත හැකියි. ස්වාමිපුරුෂයා, භාර්යාවගේ විශ්වාසයන්ට විරුද්ධව යම් අදහස් ඉදිරිපත් කරන අවස්ථාවලදී පවා ඇය ඔහුට කාරුණාවන්තව සලකනවා නම් එම තත්වය ආරවුලක් දක්වා දුර දිග යාමෙන් වළක්වාගත හැකියි. (හිතෝ. 31:12) දැන් බෙතෙල් පවුලේ සමාජිකයෙක් වන කාලොස් ඔහුගේ පියාගේ දැඩි විරුද්ධවාදීකම්වලට ඔහුගේ මව මුහුණ දුන් ආකාරය විස්තර කරනවා. ඇය නිතරම කාරුණිකව කටයුතු කිරීමෙන් හා නිවසේ වැඩකටයුතු හොඳින් බලා කියා ගැනීමෙන් ඊට සාර්ථකව මුහුණ දුන් බව කාලොස් පවසනවා. ඔහු තවදුරටත් ඒ ගැන මෙසේ පවසනවා. “තාත්තට ගෞරව කරන්න කියලා අම්මා අපිට නිතරම උනන්දු කළා. තාත්තා ආසම ක්‍රීඩාවක් තිබුණා. හැබැයි මම ඒකට ආස නැහැ. ඒ වුණත් තාත්තා එක්ක ඒ ක්‍රීඩාව කරන්න කියලා අම්මා මට කිව්වා. මම එහෙම කළාම ඒකෙන් තාත්තා ලොකු සතුටක් ලැබුවා.” පසු කාලයකදී කාලොස්ගේ පියා බයිබලය ගැන ඉගෙනගෙන දෙවිට කැප වී බව්තීස්ම වුණා. “සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න” අපට හැකි තවත් ආකාරයක් වන්නේ විපතකදී අසල්වාසීන්ට උපකාර කිරීමයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන කෙනෙකුට ඇති වැරදි ආකල්ප නිවැරදි කරගැනීමට එවැනි අවස්ථා හේතු වී තිබෙනවා.

‘හිස පිට ගිනි අඟුරු ගොඩගසන්න’

5, 6. (අ) “හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) රෝම 12:20හි ඇති උපදෙස අදාළ කරගැනීමෙන් ලැබූ යහපත් ප්‍රතිඵල ගැන ඔබ දන්නා අද්දැකීමක් විස්තර කරන්න.

5 රෝම 12:20 කියවන්න. එම වචන පවසද්දී පාවුල්ට හිතෝපදේශ 25:21, 22හි (නව ලොව පරිවර්තනය, NW) ඇති මෙම වචන මතකයට නැඟෙන්න ඇති. “ඔබට වෛර කරන කෙනා බඩගින්නේ සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට වතුර ටිකක් බොන්න දෙන්න. එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා ඇත. තවද යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරන්නේය.” “හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා” කීමෙන් පාවුල් අදහස් කළේ අපේ විරුද්ධවාදීන්ට දඬුවම් කිරීම හෝ ඔවුන්ව ලැජ්ජාවට පත් කිරීම නොවෙයි. ඒ වෙනුවට එහි විස්තර කරන්නේ පුරාණ කාලයේ ලෝහ උණු කිරීමට යොදාගත් ක්‍රමයක් ගැන විය හැකියි. එය භාවිත කර ඇත්තේ නිදර්ශනයක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් 19වන සියවසේ සිටි විශාරදයෙක් වන චාල්ස් බ්‍රිජස් මෙසේ පැහැදිලි කළා. ‘ඉතා දැඩි ලෝහ උණු කිරීමට නම් ඊට යටින් පමණක් නොව උඩින්ද ගිනි අඟුරු ගොඩගසන්න අවශ්‍යයි. එවිට එය පහසුවෙන් දිය කිරීමට හැකි වෙනවා. අප ගැන ඕනෑවට වඩා නොසිතා, ඉවසීමෙන් යුක්තව පෙන්වන අවංක ප්‍රේමය ගින්නකට සමාන කරන්න පුළුවන්. එවැනි ප්‍රේමයක් පෙන්වනවා නම් කුමන සිතද මොළොක් නොවන්නේ?’

6 ගිනි අඟුරුවලින් ලෝහ උණු කිරීමට හැකි ලෙසම ප්‍රේමයෙන් පෙලඹී කරන කාරුණික ක්‍රියා තුළින් අපගේ විරුද්ධවාදීන්ට අප ගැන පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. එමඟින් ඔවුන්ගේ දැඩි හදවත්ද මොළොක් විය හැකියි. එමෙන්ම ඔවුන් අප ප්‍රකාශ කරන පණිවිඩයට දක්වන ප්‍රතිචාරයත් වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “ලෝකයා අතරේ ඔබේ හැසිරීම යහපත් ලෙස පවත්වාගන්න. එවිට ඔබ අපරාධකරුවන්යයි කියමින් ඔවුන් ඔබට විරුද්ධව කතා කළත් ඔබේ යහපත් ක්‍රියා දැක, විභාග කිරීමේ දවසේදී ඔවුහු දෙවිව මහිමයට [එනම් ගෞරවයට] පත් කරන්නෝය.”—1 පේතෘ. 2:12.

“සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න”

7. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ලබා දෙන සමාදානය කුමක්ද? එය අපව පොලඹවන්නේ කුමක් කිරීමටද?

7 රෝම 12:18 කියවන්න. යේසුස් පොළොව මත ගත කළ අවසාන රාත්‍රියේදී ඔහුගේ අනුගාමිකයන්ට මෙවැනි දෙයක් පැවසුවා. “මම ඔබට සමාදානය තබා යමි. මාගේ සමාදානය ඔබට දෙන්නෙමි.” (යොහ. 14:27) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ලබා දෙන සමාදානය කුමක්ද? එය නම් යෙහෝවා දෙවිගෙත් යේසුස්ගෙත් ප්‍රේමය හා අනුමැතිය තමන්ට ලැබී ඇති බව දැන සිටීමෙන් සිතේ ඇති වන සමාදානයයි. අප තුළ ඇති වන එම හැඟීම නිසා අන් අය සමඟ සාමකාමීව කටයුතු කරන්න අප තුළ පෙලඹීමක් ඇති විය යුතුයි. ඇත්තෙන්ම සැබෑ ක්‍රිස්තියානීන් සාමයට ප්‍රිය කරන අයයි. ඔවුන් සාමය ඇති කිරීමටද උපරිමයෙන් වෑයම් කරනවා.—මතෙ. 5:9.

8. පවුල තුළ හා සභාව තුළ සමාදානය ඇති කරන්න අපට පුළුවන් කොහොමද?

8 පවුල තුළ සමාදානය ඇති කරන්න පුළුවන් කොහොමද? එක් ක්‍රමයක් නම් එකඟ නොවීමක් ඇති වන අවස්ථාවකදී එය දුර දිග යෑමට පෙර ඉතා ඉක්මනින් විසඳාගැනීමයි. (හිතෝ. 15:18; එෆී. 4:26) එලෙස කටයුතු කිරීමෙන් ක්‍රිස්තියානි සභාව තුළද සමාදානය ඇති කළ හැකියි. සමාදානය ලුහුබැඳීමට දිව පාලනය කරගැනීමත් අවශ්‍ය බව පේතෘස් පැවසුවා. (1 පේතෘ. 3:10, 11) යාකොබ්ද ඊර්ෂ්‍යාව හා විවාදශීලීකම ගැන මෙන්ම දිව නිවැරදිව පාවිච්චි කිරීම ගැන අවවාද කිරීමෙන් පසු මෙවැනි දෙයක් පැවසුවා. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට නිර්මලය; ඊළඟට සාමකාමීය; සාධාරණය; කීකරු වීමට සූදානම්ය; දයාවෙන් සහ යහපත් පලවලින් පූර්ණය; සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය; කුහකකමින් තොරය. තවද, සාමය ඇති කරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ පලය සමාදානය ඇති විට වපුරනු ලැබේ.”—යාකො. 3:17, 18.

9. “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” උත්සාහ කරන විට අප වගබලා ගත යුත්තේ කුමක් නොකිරීමටද?

9 රෝම 12:18හි පාවුල් පවසන්නේ පවුල තුළ හා සභාව තුළ සමාදානය ඇති කිරීම ගැන පමණක් නොවෙයි. අප “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” අවශ්‍ය බවත් ඔහු පවසනවා. එයට අපේ අසල්වාසීන්, රැකියා ස්ථානයේ හා පාසැලේ මිතුරන් සහ දේවසේවයේ හමු වන අය ඇතුළත් වෙනවා. ඒ වගේම පාවුල්, “පුළුවන් නම්, ඔබට හැකි පමණින්” එසේ කරන්න කියාද පැවසුවා. ඉන් අදහස් කරන්නේ “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” අපට හැකි සියල්ල අප කළ යුතු බවයි. නමුත් එසේ කරද්දී දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කඩ නොකිරීමට හෝ බාල නොකිරීමට අප වගබලා ගත යුතුයි.

යුක්තිය ඉටු කිරීමේ අයිතිය දෙවි සතුයි

10, 11. ‘දෙවිගේ උදහස ප්‍රකාශ කිරීමට ඉඩහරින්න’ අපට පුළුවන් කෙහොමද? එය සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ ඇයි?

10 රෝම 12:19 කියවන්න. ඇතැම් අය අපගේ දේශනා සේවයට හා අප ප්‍රකාශ කරන පණිවිඩයට “කැමැත්තක් නොදක්වන” විටත් ඊට විරුද්ධව ක්‍රියා කරන විටත් ඔවුන් කරන ‘නපුරු දේවල් ඉවසා දරාගෙන, මෘදුකමින් යුක්තව’ කටයුතු කරන්න අප වෑයම් කළ යුතුයි. (2 තිමෝ. 2:23-25) පාවුල් එහිදී ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ පළි නොගෙන ‘දෙවිගේ උදහස ප්‍රකාශ කිරීමට ඉඩහරින්න’ කියායි. ගීතිකාකරුද ඒ ගැන මෙසේ පැවසුවා. “කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න. මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.” (ගීතා. 37:8NW) එමෙන්ම සලමොන් රජද මෙසේ පැවසුවා. “ඔබට නපුරක් සිදු වූ විට, ‘මම පළිගන්නෙමි’ යයි නොකියන්න. යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න. ඔහු ඔබව ගලවනු ඇත.”—හිතෝ. 20:22NW.

11 විරුද්ධවාදීකම් කරන අය අපට හානියක් කළොත් අප කළ යුත්තේ කුමක්ද? ඒ කාරණය දෙවිට භාර දීම සුදුසුම ක්‍රියාමාර්ගයයි. මන්ද ඒ අයට දඬුවම් දීමට අවශ්‍යයි කියා දෙවිට හැඟුණොත් ඔහු අවශ්‍ය වෙලාවට එසේ කරනවා. පාවුල් පැහැදිලි කරන ආකාරයට යුක්තිය ඉටු කිරීමේ අයිතිය හා දඬුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. දෙවිගේ උදහසට ඉඩ හරින්න කියා පාවුල් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. (ද්වි. 32:35 බලන්න) නමුත් අප ඔවුන්ට දඬුවම් කරන්න ගියොත් ඉන් අදහස් කරන්නේ අප උඩඟු ලෙස දෙවිට පමණක් අයිති දෙයක් කිරීමට වෑයම් කරන බවයි. ඒ විතරක් නොවෙයි “මම විපාක දෙන්නෙමි” කියා යෙහෝවා දෙවි දී ඇති පොරොන්දුව කෙරෙහි විශ්වාසයක් නැති බවද ඉන් අප පෙන්වනවා.

12. යෙහෝවා දෙවි තම උදහස හෙළි කරන්නේ කවදාද? කොහොමද?

12 පාවුල් රෝමවරුන්ට ලියූ ලිපිය ආරම්භයේදී මෙවැනි දෙයක් සඳහන් කළා. “අධර්මිෂ්ඨ ලෙස සත්‍යය යටපත් කරන මිනිසුන්ගේ සියලු ආකාර අභක්තිකකමට හා අධර්මිෂ්ඨකමට විරුද්ධව දෙවිගේ උදහස ස්වර්ගයෙන් හෙළි කරනු ලැබේ.” (රෝම 1:18) යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයා මාර්ගයෙන් තම උදහස හෙළි කරන්නේ ‘මහත් පීඩාවේදීයි.’ (එළි. 7:14) එයින් පැහැදිලි වන්නේ දෙවි සෑම දෙයක්ම ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන බවයි. එය කරන ආකාරය පාවුල් ඔහුගේ තවත් ලිපියක මෙසේ විස්තර කරනවා. ‘දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ දෙය වන්නේ ඔබට පීඩා කරන අයට දෙවි විසින් පීඩා ගෙන එනු ලැබීමත්, පීඩා විඳින ඔබටද, අපටද සහනය ලබා දීමත්ය. මෙය සිදු වන්නේ, ස්වාමීන් වන යේසුස් තම බලවත් දූතයන් සමඟ ස්වර්ගයෙන් එළිදරව් වන විටදීය. ඔහු ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වී, දෙවිව නොදන්නා අයටද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයටද විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරනු ඇත.’—2 තෙස. 1:5-8.

දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න

13, 14. (අ) අපට විරුද්ධවාදීකම් පැමිණෙන විට අප පුදුම නොවිය යුත්තේ ඇයි? (ආ) පීඩා කරන්නන් වෙනුවෙන් අපට කරන්න පුළුවන් කුමක්ද?

13 රෝම 12:14, 21 කියවන්න. දෙවි ලබා දී ඇති පොරොන්දු ඔහු ඉටු කරන බවට අප තුළ ස්ථිර විශ්වාසයක් ඇති නිසා ඔහු අපට භාර දුන් පැවරුම වන ‘රාජ්‍යයේ මේ ශුභාරංචිය මුළු ජනාවාස පොළොව පුරාම’ ප්‍රකාශ කිරීමට අපට හැකි සියල්ල අපි කරමු. (මතෙ. 24:14) එසේ කරද්දී අපගේ විරුද්ධවාදීන්ගේ කෝපය තවත් වැඩිවන බව යේසුස් මෙලෙස විස්තර කළා. “මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත.” (මතෙ. 24:9) ඒ නිසා අප විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන විට ඒ ගැන පුදුමයට පත් වන්නේවත් අධෛර්යයට පත් වන්නේවත් නැහැ. ඒ ගැන පේතෘස් මෙසේ පැවසුවා. “ප්‍රේමණීය තැනැත්තෙනි, ඔබව පරීක්ෂා කිරීම සඳහා ඔබ අතරේ ඇවිළෙන ගින්න ගැන, අමුතු දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න. ඒ වෙනුවට, ඔබ ක්‍රිස්තුස්ගේ වධ විඳීමට පංගුකාරයන් වන බැවින් ප්‍රීතියෙන් සිටින්න.”—1 පේතෘ. 4:12, 13.

14 අපට විරුද්ධවාදීකම් කරන සමහර අය එසේ කරන්නේ අප කරන කාර්යය ගැන නිවැරදි අවබෝධයක් නොමැති නිසා විය හැකියි. ඒ නිසා ඔවුන්ට වෛර නොකර ශුභාරංචිය ප්‍රකාශ කරන්න අපි දිගටම වෑයම් කරමු. (2 කොරි. 4:4) “පීඩා කරන්නන්ට නොකඩවා ආශීර්වාද කරන්න. ශාප නොකර, ආශීර්වාදම කරන්න” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (රෝම 12:14) අපට එය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමයි. යේසුස්ද තම කන්ද උඩ දේශනයේදී මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට ශාප කරන්නන්ට ආශීර්වාද කරන්න. ඔබට නින්දා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න.” (ලූක් 6:27, 28) පාවුල් තම ජීවිතය තුළින් අද්දුටු දෙයක් වන්නේ ක්‍රිස්තියානීන්ට පීඩා කරන අය පසුව යේසුස්ගේ අනුගාමිකයන් වී උද්‍යෝගිමත් ලෙස දෙවිට සේවය කරන්න පෙලඹිය හැකි බවයි. (ගලා. 1:13-16, 23) තවත් ලිපියක පාවුල් ඒ සම්බන්ධයෙන් මෙවැනි දෙයක් සඳහන් කරනවා. “නිග්‍රහ කරන විට අපි ආශීර්වාද කරන්නෙමු. පීඩා කරන විට අපි දරාගෙන සිටින්නෙමු. අපකීර්තියට පත් කරන විට අපි අයැද සිටින්නෙමු.”—1 කොරි. 4:12, 13.

15. දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න අපට පුළුවන් කොහොමද?

15 සැබෑ ක්‍රිස්තියානීන් රෝම 12වන පරිච්ඡේදයේ අවසන් පදයේ ඇති මෙම අවවාදය සිතට ගන්නවා. “නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.” සියලු නපුරුකම් ආරම්භ වුණේ සාතන්ගෙනුයි. (යොහ. 8:44; 1 යොහ. 5:19) යේසුස් යොහන්ට දුන් එළිදරව්වේ නපුර ජය ගත හැකි හොඳම ක්‍රමය සඳහන් කළා. එහිදී තම අභිෂේක ලත් සහෝදරයන් ‘බැටළු පැටවාගේ රුධිරය නිසාද, තමුන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද [සාතන්ගෙන්] ජයගත්’ බව යේසුස් පැවසුවා. (එළි. 12:11) මින් පැහැදිලි වන්නේ සාතන්ගේ හා ඔහුගේ දුෂ්ට බලපෑම්වලින් ජය ගත හැකි හොඳම ක්‍රමය ශුභාරංචිය දේශනා කිරීම නමැති යහපත් වැඩය ඉටු කිරීම බවයි.

“බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න”

16, 17. රෝම 12වන පරිච්ඡේදයෙන් (අ) අප ජීවත් විය යුතු ආකාරය ගැන (ආ) සභාවේ ක්‍රියා කරන ආකාරය ගැන (ඇ) අපට පීඩා කරන අය සමඟ කටයුතු කරන ආකාරය ගැන ඉගෙනගත්තේ කුමක්ද?

16 මෙතෙක් සලකා බැලූ රෝම 12වන පරිච්ඡේදයෙන් අප බොහෝ දේ ඉගෙනගත්තා. අපි ඒවා නැවත මතක් කරගනිමු. දෙවිට කැප වූ ක්‍රිස්තියානීන් හැටියට අප යම් කැප කිරීම් කළ යුතු බව අප ඉගෙනගත්තා. දෙවිගේ බලයේ උපකාරය ඇතුව අප එම කැප කිරීම් කරන්නේ ඉතා කැමැත්තෙනුයි. ඊට හේතුව එය දෙවිගේ කැමැත්ත බව අප වටහාගෙන සිටීමයි. එමෙන්ම අප දෙවිගේ බලය ලබාගනිමින් හා අපට ලබා දී ඇති දීමනා යොදාගනිමින් ඔහුට උද්‍යෝගිමත්ව සේවය කරන අතර ක්‍රිස්තියානීන් ලෙස එකමුතුව සිටින්නත් නිහතමානීව සිටින්නත් අප අපගේ උපරිමය කරනවා. ඒ විතරක් නොවෙයි අප ආගන්තුක සත්කාරයට ළැදිව සිටින අතර අන් අයගේ හැඟීම් ගැනද සැලකිලිමත් වෙනවා.

17 විරුද්ධවාදීන් සමඟ කටයුතු කරන ආකාරය ගැනද අපට බොහෝ උපදෙස් රෝම 12වන පරිච්ඡේදයෙන් ලැබුණා. අප ඉගෙනගත් ලෙස කිසිදිනක එකට එක නොකර කරුණාවන්තව ක්‍රියා කිරීමෙන් පීඩා ජය ගැනීමට අප වෑයම් කළ යුතුයි. එමෙන්ම බයිබල් ප්‍රතිපත්ති කඩ නොකර අපට හැකි උපරිමයෙන් සියලු මිනිසුන් සමඟ සමාදානයෙන් සිටින්නද අවශ්‍යයි. එය පවුල් ජීවිතයේදීත් සභාවේදීත් රැකියා ස්ථානයේදීත් දේවසේවයේදීත් අසල්වාසීන් හා පාසැලේ මිතුරන් සමඟ කටයුතු කරද්දීත් එක සේ අදාළ කරගත යුතුයි. එපමණක්ද නොව යුක්තිය ඉටු කිරීමට අයිතිය ඇත්තේ යෙහෝවා දෙවිට පමණක් බව අප පිළිගන්න නිසා ඕනෑම දැඩි පීඩාවකට මුහුණ දෙන විට යහපතෙන් නපුර පරාජය කිරීමට අපි උපරිමයෙන් උත්සාහ කරමු.

18. රෝම 12:12හි පාවුල් සඳහන් කරන්නේ කුමන වැදගත් දේවල් ගැනද?

18 රෝම 12:12 කියවන්න. අප මෙතෙක් සලකා බැලූ එදිනෙදා ජීවිතයට අදාළ කරගත හැකි ප්‍රඥාවන්ත උපදෙස්වලට අමතරව අප කළ යුතු වැදගත් දේවල් තුනක් පාවුල් සඳහන් කරනවා. අප මෙම ලිපි දෙකෙන් ඉගෙනගත් සියල්ල දෙවිගේ උපකාරය නොමැතිව අපට කළ නොහැකි නිසා පාවුල් දිරිගැන්වූ ආකාරයට අපි ‘අත් නෑර නොකඩවා යාච්ඤා කරමු.’ එසේ කරමින් ‘පීඩා හමුවෙහි විඳදරාගැනීමට’ අවශ්‍ය ශක්තිය ලබාගනිමු. එමෙන්ම අපගේ අනාගත බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීම හෝ පොළොව මත ජීවත් වීම හෝ වේවා එම ‘බලාපොරොත්තුවෙහි ප්‍රීති වෙමින්’ ඒ කෙරෙහි අපගේ මුළු අවධානයම යොමු කර තබාගනිමු.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න අපට පුළුවන් කොහොමද?

• සමාදානය ඇති කිරීමට අප වෑයම් කළ යුත්තේ කුමන අවස්ථාවලදීද? එමෙන්ම ඒ කොහොමද?

• අප පළිගැනීමෙන් වැළකිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

අසල්වාසීන්ට උපකාර කිරීමෙන් අප ගැන ඇති වැරදි ආකල්ප නිවැරදි කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා

[9වන පිටුවේ පින්තූරය]

සභාව තුළ සාමය ඇති කරන්න ඔබ උනන්දු වෙනවාද?