Skip to content

පටුනට යන්න

අපගේ යාච්ඤා තුළින් හෙළි වන්නේ කුමක්ද?

අපගේ යාච්ඤා තුළින් හෙළි වන්නේ කුමක්ද?

අපගේ යාච්ඤා තුළින් හෙළි වන්නේ කුමක්ද?

“යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත”—ගීතා. 65:2 නව ලොව පරිවර්තනය, NW.

1, 2. දෙවිට යාච්ඤා කරද්දී අපට කුමක් ගැන නිසැක විය හැකිද?

දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ගේ යාච්ඤාවලට ඕනෑම අවස්ථාවකදී ඇහුම්කන් දෙන බවට නිසැක වෙන්න අපට පුළුවන්. ඔහුගේ සෙනඟ මිලියන ගණනක් එකවිට ඔහුට යාච්ඤා කළත් දෙවි ඒ සෑම යාච්ඤාවකටම හොඳින් ඇහුම්කන් දෙනවා.

2 තම යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙයි කියා දාවිත්ට විශ්වාසයක් තිබුණා. ඒ ගැන ඔහු මෙසේ ගායනා කළා. “යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.” (ගීතා. 65:2NW) දාවිත්ගේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දුන්නේ ඔහු විශ්වාසවන්ත සේවකයෙකු වූ නිසයි. අපගේ ආශාව වන්නේත් දෙවි අපගේ යාච්ඤාවලට ඇහුම්කන් දීම නිසා අපි අපගෙන්ම මෙසේ අසාගනිමු. ‘මම යෙහෝවා දෙවිව විශ්වාස කරන බවත් ඔහුට නමස්කාර කිරීම මගේ ජීවිතයේ මුල් තැන ගෙන තිබෙන බවත් මගේ යාච්ඤා තුළින් පැහැදිලි වෙනවාද? මගේ යාච්ඤාවලින් මා ගැන හෙළි වන්නේ කුමක්ද?

යටහත්පහත් වන්න

3, 4. (අ) යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න නම් අප කුමන අය විය යුතුද? (ආ) බරපතළ පාපයක් ගැන අපගේ ‘සිත වධ දෙනවා’ නම් කළ යුත්තේ කුමක්ද?

3 අපගේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙන්නේ අප යටහත්පහත් අය නම් පමණයි. (ගීතා. 138:6) ඒ නිසා දාවිත් කළාක් මෙන් අපත් යාච්ඤා කරමු. “අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලා මට සදහටම මඟ පෙන්වන්න.” (ගීතා. 139:23, 24NW) එසේ යාච්ඤා කිරීමෙන් පසු දෙවිට අපව සෝදිසි කරන්න ඉඩ දෙමු. එමෙන්ම ඔහුගේ වචනය තුළින් ලැබෙන මඟ පෙන්වීම් පිළිගනිමු. මන්ද සදාකාල ජීවනය ලබාගැනීමට හැකි වන ලෙස අපට “මඟ පෙන්වන්න” යෙහෝවා දෙවිට හැකියි.

4 අප කළ බරපතළ වරදක් ගැන අපගේ ‘සිත වධ දෙනවා’ නම් කුමක් කළ හැකිද? (ගීතාවලිය 32:1-5 කියවන්න.) එම වරද සඟවන්න උත්සාහ කරනවා නම් ඉන් සිදු වන්නේ අපගේ සතුට අහිමි වීමයි. එවිට අප මැලවුණු ගසක් හා සමාන වෙනවා. දාවිත් කළ පාපය නිසා ඔහුගේ ප්‍රීතිය ඔහුට අහිමි වුණා විතරක් නොවෙයි ඒ නිසා ඔහු අසනීප වන්නද ඇති. නමුත් ඔහුගේ පාපය ගැන දෙවිට පවසද්දී ඔහුට ඉන් මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද! දෙවි ඔහුට ‘සමාව දී ඇති බව’ ඔහුට දැනුණු විට ඔහුට ඇති වුණු ප්‍රීතිය ඔබට සිතාගත හැකිද! අප කළ වැරදි ගැනද දෙවිට පැවසීමෙන් අපටද සහනයක් ලබාගත හැකියි. ඒ වගේම එය සභාවේ වැඩිමහල්ලන්ට පැවසීමෙන් දෙවි සමඟ තිබුණු සම්බන්ධය නැවත ගොඩනඟා ගන්න ඔවුන් අපට උපකාර කරනවා.—හිතෝ. 28:13; යාකො. 5:13-16.

කන්නලව් සමඟ ස්තුතිද කරන්න

5. දෙවිට කන්නලව් කළ හැක්කේ කුමන අවස්ථාවලදීද?

5 අප කනස්සල්ලෙන් සිටින විට පාවුල් දුන් මේ උපදෙස අදාළ කරගන්න පුළුවන්. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.’ (ෆිලි. 4:6) විශේෂයෙන්ම අප යම් දුෂ්කර තත්වයකට හෝ පීඩාවකට මුහුණ දෙන විට දෙවිගේ උපකාරය හා මඟ පෙන්වීම් ඉල්ලා ඔහුට යාච්ඤා කළ යුතුයි.

6, 7. අපගේ යාච්ඤාවලදී දෙවිට ස්තුති කළ හැකි දේවල් මොනවාද?

6 යාච්ඤාවේදී අප නිතරම කරන්නේ දෙවිගෙන් අපට අවශ්‍ය දේවල් ඉල්ලන එක පමණක්ද? පාවුල් පැවසුවේ අපගේ කන්නලව් දෙවිට දැන්විය යුත්තේ “ස්තුති දීම” සමඟ බවයි. අපට කුමක් ගැන දෙවිට ස්තුති කළ හැකිද? අපටත් දාවිත් මෙන් දෙවිට මෙලෙස ස්තුති කළ හැකියි. ‘යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ, බලවත්, අති උත්කෘෂ්ට දෙවි ඔබයි. සියලු ගෞරවය හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි. යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි. සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි. අපි ස්තුති කරන්නේ ඔබටයි. අපි ප්‍රශංසා කරන්නේ ඔබේ ශ්‍රේෂ්ඨ නාමයටයි.’—1 ලේක. 29:11-13NW.

7 යේසුස්ද ඒ සම්බන්ධයෙන් අපට හොඳ ආදර්ශයක්. උදාහරණයකට ඔහු ආහාර ගැනීමට පෙර සහ තම මරණය සිහි කළ අවස්ථාවේ භාවිත කළ රොටි හා වයින් වෙනුවෙන් දෙවිට ස්තුති කළා. (මතෙ. 15:36; මාක් 14:22, 23) අපටත් එවැනි දේවල් සඳහා යෙහෝවා දෙවිට ස්තුති කළ හැකියි. ඊට අමතරව දෙවි ලබා දී ඇති “ධර්මිෂ්ඨ තීන්දු” ගැනත් ඔහුගේ වචනය වන බයිබලය අපට ලබා දීම ගැනත් “මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල්” ගැනත් ඔහුට ‘ස්තුති කරන්න’ අපට හැකියි.—ගීතා. 119:62, 105; 107:15NW.

අන් අය වෙනුවෙන් යාච්ඤා කරන්න

8, 9. අප සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් පෙන්වන්නේ කුමක්ද?

8 අපගේ ඕනෑ එපාකම් ගැන සඳහන් කරමින් යාච්ඤා කරනවා වගේම අන් අය ගැනත් අප යාච්ඤා කළ යුතුයි. ඊට අප පෞද්ගලිකව නොහඳුනන සහෝදර සහෝදරියන්ද අයත් වෙනවා. පාවුල්ද කොලොස්සියේ සිටි සියලුම ක්‍රිස්තියානීන්ව පෞද්ගලිකව දැන හඳුනා නොගෙන සිටියා විය හැකි වුණත් ඔහු ඔවුන්ට මෙසේ ලිව්වා. ‘අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි පියාණන්ට ස්තුති කරමු. මන්ද ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය ගැනත් සියලු ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් ඔබට තිබෙන ප්‍රේමය ගැනත් අපට ආරංචි වී ඇත.’ (කොලො. 1:3, 4) ඒ වගේම ඔහු තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන් වෙනුවෙන්ද යාච්ඤා කළා.—2 තෙස. 1:11, 12.

9 අපත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යාච්ඤා කරන විට දෙවිගේ සංවිධානය ගැන සැලකිලිමත් වන බව පෙන්වනවා. (යොහ. 10:16) උදාහරණයකට ‘ශුභාරංචියේ පරිශුද්ධ රහස කතා කිරීමට’ හැකි වන ලෙස තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියා පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියා. (එෆී. 6:17-20) ඒ ආකාරයෙන් අපත් සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කරනවාද?

10. අන් අය වෙනුවෙන් යාච්ඤා කරන විට ඇති වන යහපත් ප්‍රතිඵල මොනවාද?

10 අන් අය ගැන යාච්ඤා කිරීමෙන් අපට ඔවුන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න පුළුවන්. උදාහරණයකට අප අමනාපයෙන් සිටින කෙනෙකු ගැන යාච්ඤා කරනවා නම් ඔහු සමඟ තවදුරටත් අමනාපයෙන් සිටින්න අපට හැකිද? (1 යොහ. 4:20, 21) එලෙස යාච්ඤා කිරීම අපගේ සමහර ආකල්ප නිවැරදි කරගන්නත් සෙසු නමස්කාරකයන් සමඟ එකමුතුව සිටින්නත් උපකාරවත් වෙනවා. එයින් අප ක්‍රිස්තුස් මෙන් අන් අයට ප්‍රේම කරන බවද පැහැදිලි වෙනවා. (යොහ. 13:34, 35) එවැනි ප්‍රේමයක් අප තුළ ඇති වන්නේ දෙවිගේ බලය ක්‍රියාත්මක වීම නිසයි. එසේ නම් අප ‘ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම’යන ගුණාංග අප තුළ වර්ධනය කරගන්න දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරනවාද? (ලූක් 11:13; ගලා. 5:22, 23) අප එසේ නොකඩවා යාච්ඤා කරනවා නම් දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වන බව අපගේ වචනවලින් හා ක්‍රියාවලින් අප පෙන්වනවා.—ගලාති 5:16, 25 කියවන්න.

11. අප වෙනුවෙන් යාච්ඤා කරන ලෙස අන් අයගෙන් ඉල්ලා සිටීම සුදුසුයි කියා ඔබ පවසන්නේ ඇයි?

11 විභාගයක් වංචා කිරීමේ උගුලට අපගේ දරුවන් හසු වීමට ඉඩ තිබෙන අවස්ථාවලදීත් අපට ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන්. ඒ වගේම බයිබලයේ ඇති මඟ පෙන්වීම් ඔවුන්ට ලබා දීමද වැදගත්. එවිට අවංකව ක්‍රියා කරන්නත් වැරදි දෙයක් නොකර සිටින්නත් ඔවුන්ට හැකියි. පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන් වෙනුවෙන් මෙලෙස යාච්ඤා කළා. ‘ඔබ අතින් කිසි වරදක් සිදු නොවන්න කියා ඉල්ලා අපි දැන් දෙවිට යාච්ඤා කරන්නෙමු.’ (2 කොරි. 13:7) එලෙස අප කරන යාච්ඤාවලට යෙහෝවා දෙවි කැමති වන අතර අප කුමනාකාර පුද්ගලයන්ද කියාත් ඉන් පැහැදිලි වෙනවා. (හිතෝපදේශ 15:8 කියවන්න.) අනික් අතට අප ගැනත් යාච්ඤා කරන්න කියා අපට අන් අයගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න’ කියා පාවුල්ද සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියා.—හෙබ්‍රෙ. 13:18.

යාච්ඤාවෙන් අප ගැන හෙළි වන දේවල්

12. අපගේ යාච්ඤාවල ප්‍රධාන තැනක් ගත යුත්තේ කුමන දේවල්ද?

12 අප සන්තෝෂවත් මෙන්ම උද්‍යෝගිමත් දේවසේවකයන් බව අපගේ යාච්ඤා තුළින් හෙළි වෙනවාද? දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීම, ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්ය, සියල්ල පාලනය කිරීමට යෙහෝවා දෙවි සතු අයිතිය තහවුරු කිරීම හා ඔහුගේ නමට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීම වැනි කරුණු අප කරන යාච්ඤාවල ප්‍රධාන තැනක් ගන්නවාද? යේසුස් ඔහුගේ ආදර්ශ යාච්ඤාවේදී එහි වැදගත්කම මෙසේ කාවැද්දුවා. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍ය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!’—මතෙ. 6:9, 10.

13, 14. අපගේ යාච්ඤාවලින් අප ගැන හෙළි වන දේවල් මොනවාද?

13 අපගේ යාච්ඤා තුළින් අප උනන්දු වන්නේ කුමන දේවල් සඳහාද, අප ආශා කරන දේවල් මොනවාද සහ අපගේ චේතනා මොනවාද කියා යෙහෝවා දෙවිට තේරුම්ගන්න පුළුවන්. ඒ ගැන හිතෝපදේශ 17:3හි [NW] මෙසේ පවසනවා. “රිදී පවිත්‍ර කිරීම සඳහා භාජනයක්ද රන් පවිත්‍ර කිරීම සඳහා උදුනක්ද තිබේ. එහෙත් සිත් සෝදිසි කරන්නේ යෙහෝවා දෙවිය.” ඉන් පැහැදිලි වන්නේ දෙවිට අපගේ සිතේ ඇති දේ තේරුම්ගැනීමට හැකි බවයි. (1 සාමු. 16:7) අපගේ රැස්වීම්, දේවසේවය, සහෝදර සහෝදරියන් ගැන අපට හැඟෙන ආකාරයත් දෙවි හොඳින් දන්නවා. ඒ වගේම ක්‍රිස්තුස්ගේ “සහෝදරයන්” එනම්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන අප සිතන්නේ කුමක්ද කියාත් ඔහු දන්නවා. (මතෙ. 25:40) එමෙන්ම අප වුවමනාවෙන් යාච්ඤා කරනවාද නැත්නම් එකම දේ නැවත නැවත කියනවාද කියාත් ඔහු දන්නවා. එවැනි යාච්ඤා ගැන යේසුස් පැවසුවේ මෙසේයි. ‘ඔබ යාච්ඤා කරන විට වෙනත් ජාතීන් කරන ආකාරයට එකම දේ නැවත නැවතත් නොකියන්න. ඔවුන් සිතන්නේ වචන රාශියක් පැවසුවොත් දෙවි ඔවුන්ට සවන් දෙයි කියායි.’—මතෙ. 6:7.

14 අප දෙවි මත කොතරම් ප්‍රමාණයකට රඳා සිටිනවාද කියාත් අපගේ යාච්ඤාවලින් හෙළි වෙනවා. දාවිත් සම්පූර්ණයෙන්ම දෙවි මත රඳා සිටි නිසා ඔහු මෙසේ යාච්ඤා කළා. “ඔබ [යෙහෝවා දෙවි] මාගේ රැකවරණයය. සතුරු ප්‍රහාර හමුවේ ශක්තිමත් බලකොටුවය. සදහටම මම ඔබේ කූඩාරමේ ආගන්තුකයෙකු ලෙස සිටින්නෙමි. ඔබේ පියාපත් සෙවණේ සැඟවී මම රැකවරණය ලබන්නෙමි.” (ගීතා. 61:3, 4NW) දෙවි සංකේතාත්මක ආකාරයකින් ඔහුගේ ‘කූඩාරම අපට ඉහළින් විහිදුවන’ විට ඔහුගේ රැකවරණය අපට ලැබෙනවා. (එළි. 7:15) අප දෙවිට දක්වන විශ්වාසවන්තකම දුර්වල කළ හැකි අවස්ථා උදා වෙද්දී ‘යෙහෝවා දෙවි අපගේ පැත්තේ සිට’ අපට උපකාර කරනවා. ඒ බව දැන සිටීම අපට කොතරම් සහනයක්ද!—ගීතාවලිය 118:5-9 කියවන්න.

15, 16. සභාවේ අමතර වගකීම් දැරීමට ඇති ආශාව ගැන අපගේ යාච්ඤාවලින් හෙළි වන්නේ කුමක්ද?

15 අප ආශා කරන දේවල් ගැන අවංකව යාච්ඤා කරද්දී ඒවාට අප ආශා කරන සැබෑ හේතුව අපට තේරුම්ගත හැකියි. උදාහරණයකට සභාවේ අමතර වගකීම් දරන්න අප ආශා කරන්නේ ශුභාරංචිය හා සභාව වෙනුවෙන් සේවය කිරීමට අපට තිබෙන අවංක ආශාව නිසාද? එසේත් නැත්නම් “මුල් තැන” ගැනීමේ හෝ ‘අන් අයව පාලනය’ කිරීමේ ආශාව නිසාද? දෙවිගේ සෙනඟ අතර සිටින කිසිවෙක් තුළ එවැනි ආකල්පයක් නොතිබිය යුතුයි. (3 යොහන් 9, 10; ලූක් 22:24-27 කියවන්න.) අපට ඒ හා සමාන ආකල්පයක් තිබෙනවා නම් එය සිතේ මුල් බැස ගැනීමට පෙර ඒ ගැන දෙවිට යාච්ඤා කළ යුතුයි. එවිට අපගේ ආකල්ප වෙනස් කරගන්න දෙවි අපට උපකාර කරනවා නිසැකයි.

16 තම ස්වාමිපුරුෂයා සහයක සේවකයෙක් ලෙස හා පසුව වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවාට කැමති භාර්යාවන් සිටිනවා. එවැනි අය ඔවුන්ගේ කැමැත්ත ගැන පවසා දෙවිට යාච්ඤා කරනවා. ඒ යාච්ඤාවලට එකඟව ඔවුන් තම හැසිරීම ආදර්ශවත් ලෙස තබාගැනීමද ඉතා වැදගත්. ඊට හේතුව සභාවේ වගකීම් දැරීමට ආශාවෙන් සිටින පුරුෂයන්ගේ පවුල්වල අයගේ කතාබහ සහ හැසිරීම, වගකීම් දැරීම සඳහා ඔවුන්ට තිබිය යුතු සුදුසුකම්වලට බලපෑමයි.

ප්‍රසිද්ධියේ කරන යාච්ඤා

17. පෞද්ගලිකව යාච්ඤා කරන විට නිස්කලංක තැනක් අවශ්‍ය වන්නේ ඇයි?

17 යේසුස් යාච්ඤා කිරීම සඳහා නිස්කලංක තැනකට ගියා. (මතෙ. 14:13; ලූක් 5:16; 6:12) අපත් යාච්ඤා කිරීම සඳහා එවැනි ස්ථානයක් තෝරාගැනීම සුදුසුයි. එවැනි ස්ථානයක සිට යාච්ඤා කරන විට අපගේ සිතේ ඇති සෑම දෙයක් ගැනම දෙවිට කියන්න අපට පුළුවන්. එවිට දෙවිගේ කැමැත්තට එකඟව හොඳ තීරණ ගන්න අපට හැකි වෙනවා. යේසුස් ප්‍රසිද්ධියේද යාච්ඤා කළා. අපටත් එවැනි අවස්ථා උදා වන නිසා එය දෙවිට පිළිගත හැකි ආකාරයකින් කරන්නේ කොහොමද කියා සලකා බැලීම වැදගත්.

18. ප්‍රසිද්ධියේ යාච්ඤා කරද්දී මතක තබාගත යුතු කරුණු මොනවාද?

18 දෙවිට පක්ෂපාතව සිටින ආදර්ශවත් පුරුෂයන් අප සියලුදෙනාවම නියෝජනය කරමින් රැස්වීම්වලදී යාච්ඤා කරනවා. (1 තිමෝ. 2:8) ඊට සවන් දෙන සියලුදෙනාම “ආමෙන්” එනම්, “එසේම වේවා” කියා පැවසීමට නම් ඔවුන් ඒ සහෝදරයා පැවසූ දේවලට එකඟ වෙන්න අවශ්‍යයි. එමෙන්ම ඔහු ප්‍රසිද්ධියේ යාච්ඤා කරද්දී එක් එක් කෙනාගේ පෞද්ගලික තොරතුරු ඊට ඇතුළත් නොකළ යුතුයි. එවැනි තොරතුරු ඇතුළත් කිරීම සුදුසු වන්නේ පෞද්ගලිකව කරන යාච්ඤාවලටයි. ඒ වගේම අන් අය විසින් දැන නොගත යුතු කරුණුද ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවලට ඇතුළත් නොකළ යුතුයි. යේසුස්ද ඔහුගේ ආදර්ශ යාච්ඤාවේදී අසන්නන්ව පුදුමයට පත් කරවන හෝ අපහසුතාවයට පත් කරවන කිසිවක් සඳහන් කළේ නැහැ. (ලූක් 11:2-4) එමෙන්ම යේසුස් ප්‍රසිද්ධියේ කළ යාච්ඤාවලදී තම අසන්නන්ගේ ප්‍රශ්න එකිනෙක සඳහන් කළේද නැහැ.

19. සහෝදරයෙක් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විට අප හැසිරිය යුත්තේ කොහොමද?

19 ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවකට අප හවුල් වෙනවා නම්, ‘දෙවිට ගරුබියක්’ ඇති ආකාරයෙන් අප හැසිරිය යුතුයි. (1 පේතෘ. 2:17) මන්ද වෙනත් අවස්ථාවලදී සුදුසු වන හැසිරීම සභා රැස්වීම්වලදී නුසුදුසු විය හැකියි. (දේශ. 3:1) උදාහරණයකට යාච්ඤා කරද්දී කණ්ඩායමක් ලෙස එකට අත් අල්ලාගෙන සිටිනවාට කෙනෙක් කැමති වෙන්න පුළුවන්. නමුත් එවැනි හැසිරීමක් නවකයන්ව අපහසුතාවට පත් කළ හැකියි. කෙසේවෙතත් එවන් අවස්ථාවක අත් අල්ලාගෙන සිටීමට විවාහක යුවළක් කැමති වුණත් ඔවුන් එය කළ යුත්තේ අන් අයගේ අවධානය ඇදගන්නා ආකාරයට නොවෙයි. නමුත් ඔවුන් ඒ අවස්ථාවේදී වැලඳගෙන සිටිනවා නම් එය සුදුසු නැහැයි කියා කෙනෙකු සිතන්න පුළුවන්. එම යුවළ වැඩි අවධානයක් දෙන්නේ ඔවුන්ගේ හැඟීම් ගැන මිස දෙවිට ගෞරවය ගෙනෙන ආකාරයේ හැසිරීමකට නොවන බව සමහරවිට එවැනි කෙනෙක් තීරණය කළ හැකියි. එමනිසා අප සියලුදෙනාම ‘දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් සියල්ල කරමු.’ එමෙන්ම තව කෙනෙකුගේ විශ්වාසයට හානියක් වෙන කිසි දෙයක් නොකර සිටිමු.—1 කොරි. 10:31, 32; 2 කොරි. 6:3.

යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද?

20. ඔබ රෝම 8:26, 27හි සඳහන් දෙය විස්තර කරන්නේ කොහොමද?

20 පීඩාකාරී අවස්ථාවකදී ‘යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද’ කියා සමහරවිට අපට නොතේරෙනවා විය හැකියි. එවැනි අවස්ථාවලදී ‘අපගේ හැඟීම් වචනවලට පෙරළිය නොහැකි වුවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් ඒවා එළිදරව් වෙයි. එහෙයින් තම බලයෙන් එළිදරව් වන දේ තේරුම්ගැනීමට සිත් සෝදිසි කර බලන දෙවිට හැක’ කියා පාවුල් ලිව්වා. (රෝම 8:26, 27) ඉන් අදහස් කරන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් යාච්ඤා ලිවීමට ලේඛකයන්ට තම බලය ලබා දුන් හේතුව යෙහෝවා දෙවි දන්නවා. එමෙන්ම අපගේ ගැටලුව නිසා අප සිටින තත්වයත් දෙවි හොඳින්ම දන්නවා. ඒ නිසා දෙවිට කියන්නේ කුමක්ද කියා අපට නොතේරෙන අවස්ථාවක අප සිටින තත්වයට සමාන තත්වයක සිටි තම විශ්වාසවන්ත සේවකයෙකුගේ යාච්ඤාව අප වෙනුවෙන් දෙවි පිළිගන්නවා. දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් ඒවා එළිදරව් වන්නේ ඒ ආකාරයටයි. නමුත් දෙවිගේ වචනය ගැන අප සතු දැනුම වැඩි වෙද්දී යාච්ඤාවෙන් කිව යුතු දේවල් ගැන අපට හොඳ අවබෝධයක් ලැබෙනවා.

21. අප ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ කුමක්ද?

21 අප කරන යාච්ඤා තුළින් අප කොයි වගේ අයද කියා හෙළි වන බව ඉගෙනගත්තා. උදාහරණයකට අපගේ යාච්ඤා තුළින් දෙවි සමඟ අපට මොන තරම් කිට්ටු මිත්‍රත්වයක් තිබෙනවාද කියාත් ඔහුගේ වචනය ගැන ඇති අවබෝධය කොතරම්ද කියාත් හෙළි වෙනවා. (යාකො. 4:8) අප ඊළඟ ලිපියේදී සාකච්ඡා කරන්නේ බයිබලයේ වාර්තා කර ඇති යාච්ඤා කිහිපයක් ගැන සහ යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ අවස්ථා කිහිපයක් ගැනයි. ඒවා අධ්‍යයනය කිරීමෙන් අපගේ යාච්ඤා වඩාත් අර්ථවත් කරගත හැකි ආකාරයද අපි සලකා බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න නම් අප කුමන අය විය යුතුද?

• අප සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් පෙන්වන්නේ කුමක්ද?

• අපගේ යාච්ඤාවලින් අප ගැන හෙළි වන දේවල් මොනවාද?

• සහෝදරයෙක් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විට අප හැසිරිය යුත්තේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[4වන පිටුවේ පින්තූරය]

ඔබ නොකඩවා යෙහෝවා දෙවිට ස්තුතියත් ප්‍රශංසාවත් ඉදිරිපත් කරනවාද?

[6වන පිටුවේ පින්තූරය]

අප ප්‍රසිද්ධ යාච්ඤාවලට හවුල් වන විට දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් හැසිරිය යුතුයි