Skip to content

පටුනට යන්න

බිහිරි සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වමු

බිහිරි සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වමු

බිහිරි සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වමු

අප සියලුදෙනාම යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් ඔහුට නමස්කාර කරන විශාල පවුලකට අයත්ව සිටිනවා. ඊට පුරාණයේ සිටි සාමුවෙල්, දාවිත්, සැම්සන්, රාහබ්, මෝසෙස්, ආබ්‍රහම්, සාරා, නෝවා හා ආබෙල් වැනි අයද ඇතුළත්. ඒ විතරක් නොවෙයි අපගේ ලෝක ව්‍යාප්ත සහෝදර සංගමය තුළ බොහෝ බිහිරි අයද සිටිනවා. මොංගෝලියාවේ මුලින්ම සාක්ෂිකරුවන් බවට පත් වුණේද බිහිරි යුවළක්. ඒ වගේම රුසියාවේ සිටින අපගේ බිහිරි සහෝදර සහෝදරියන් නිසා මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයේ ගොණු කර තිබූ නඩුවක් පවා ජය ගන්න හැකි වුණා.

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” වර්තමානයේදී බිහිරි අය සඳහා සංඥා භාෂාවෙන් ප්‍රකාශන ලබා දී තිබෙනවා. ඒ වගේම ඔවුන් සංඥා භාෂාවෙන් රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු පවත්වනවා. (මතෙ. 24:45) එම සැපයුම්වලින් බිහිරි අය බොහෝ ප්‍රයෝජන ලබනවා. * එම සැපයුම් කිසිවක් නොමැතිව දෙවි ගැන ඉගෙනගෙන ක්‍රිස්තියානීන් ලෙස දියුණු වන්න බිහිරි අයට කොයි තරම් අපහසු වන්න ඇද්ද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිටින බිහිරි අයට උපකාර කිරීමට ඔබට කරන්න පුළුවන් මොනවාද?

තාක්ෂණික දියුණුවට පෙර

දෙවි ගැන ඉගෙනගන්න පෙලඹුණු ආකාරය ගැන බොහෝ කාලයක් දෙවිට සේවය කර තිබෙන බිහිරි කෙනෙකුගෙන් ඔබ අසා තිබෙනවාද? මුලින්ම දෙවිගේ නම දැනගත් විට ඔවුන්ට ඇති වුණු ප්‍රීතිය ගැන සමහරවිට ඔවුන් ඔබට පවසාවි. වර්තමානයේ ඇති DVD තැටි තුළින් බයිබලය පිළිබඳ ගැඹුරු තොරතුරු ඉගෙනගන්න පෙර, දෙවිගේ නම දැනගැනීමෙන් පමණක් ඔවුන් තමන්ගේ ජීවිත කොයි තරම් වෙනස් කරගත්තාද කියාත් එය ඔවුන්ට කොතරම් ශක්තියක් වුණාද කියාත් ඔවුන් ඔබට පවසන්න පුළුවන්. එමෙන්ම ඒ කාලයේදී ඔවුන් අසල සිටි කෙනෙක් රැස්වීම අතරතුර එහි ඉදිරිපත් කරන තොරතුරු කොළයක ලියා දෙවි ගැන ඉගෙනගන්න ඔවුන්ට උපකාර කළ ආකාරය ගැනද ඔවුන් ඔබට පවසාවි. එක් බිහිරි සහෝදරයෙක් ඔහුට පරිවර්තකයෙක් ලැබෙන තුරු වසර හතක් පුරා දෙවි ගැන ඉගෙනගත්තේ ඒ ආකාරයටයි.

අන් අයට ශුභාරංචිය ප්‍රකාශ කළ ආකාරය එවැනි ක්‍රිස්තියානීන්ට තවමත් මතකයි. ඒ කාලයේ ඔවුන් කාඩ්බෝඩ් කැබැල්ලක ශුභාරංචිය ලියා එක අතකින් එය ගෙහිමියාට පෙන්වන ගමන් අනික් අතින් මුරටැඹ හා පිබිදෙව්! සඟරා පෙන්වනවා. ඔවුන්ට මුද්‍රිත ප්‍රකාශනයේ ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම නොතේරුණ නිසා එය යොදාගෙන තවත් බිහිරි පුද්ගලයෙකුට බයිබල් පාඩමක් පැවැත්වීම ඒ කාලයේදී ඔවුන්ට අපහසු දෙයක් වුණා. එවැනි අවස්ථාවලදී ඔවුන් හුඟක් කලකිරීමට පත් වී තිබෙනවා. ඒ වගේම ඔවුන් යෙහෝවා දෙවිට මුළු හදවතින්ම ප්‍රේම කළත් එය ක්‍රියාවෙන් පෙන්වන්න සමහර අවස්ථාවලදී පසුබට වී තිබෙනවා. ඊට හේතුව ඒ සම්බන්ධයෙන් ඔවුන් සතු අවබෝධය නිවැරදිද කියා ඔවුන්ට ස්ථිර නොවීමයි.

ඒ සියලු බාධක මැද පවා අපගේ බිහිරි සහෝදර සහෝදරියන් ඉවසිලිවන්තව හා දෙවිට විශ්වාසවන්තව සේවය කර තිබෙනවා. (ගීතා. 37:7; යෝබ් 2:3) එමෙන්ම යෙහෝවා දෙවි ඔවුන් බලාපොරොත්තු වුණාටත් වඩා වැඩියෙන් ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා.

සංඥා භාෂාවෙන් වීඩියෝ පට නොතිබූ කාලයේදී පවුල් මූලිකයෙක් වන බිහිරි සහෝදරයෙක් නොකඩවා පවුලේ පාඩම කරන්න විශාල උත්සාහයක් ගත්තා. ඒ ගැන ඔහුගේ පුතා මෙසේ පවසනවා. “පොත් පත් යොදාගෙන අපිට පවුලේ පාඩම කරන්න ඕන නිසා තාත්තට ඒක අමාරු දෙයක් වුණා. හුඟක් වෙලාවට තාත්තට ඒ පොත්වල තිබුණු සමහර දේවල් හරියට තේරුණේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපි තාත්තට උදව් කරනවා වෙනුවට කළේ තාත්තට වරදිනකල් බලන් හිටිය එක විතරයි. කොහොමවුණත් තාත්තා දිගටම අපේ පාඩම කළා. තාත්තා යම් අපහසුතාවලට මුහුණ දුන්නත් අපිට යෙහෝවා දෙවි ගැන මොනවා හරි දෙයක් ඉගැන්නුවා.”

හැත්තෑගණන්වල පසුවන රිචඩ්, ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලීන් නගරයේ ජීවත් වන බිහිරි සහ අන්ධ සහෝදරයෙක්. ඔහු නිතිපතා රැස්වීම්වලට පැමිණෙන කෙනෙක් ලෙස ප්‍රසිද්ධව සිටියා. ඔහු රැස්වීම්වලට ගියේ දුම්රියෙන්. එයින් බැසීමට අවශ්‍ය නියමිත ස්ථානය ඔහු දැනගත්තේ දුම්රිය නවත්වන ස්ථාන ගණන් කිරීමෙනුයි. එක් ශීත කාලයක තද හිම කුණාටුවක් ඇති වූ දවසක, ඔහුගේ සභාවේ එදිනට තිබූ රැස්වීම අවලංගු කළා. ඒ පණිවිඩය සභාවේ සිටි සියලුදෙනාට දැනුම් දුන්නත් රිචඩ්ට ඒ පිළිබඳව දැනුම් දෙන්න බැරි වුණා. නමුත් පසුව ඔහුට ඒ බව දැනුම් දෙන්න සහෝදරයන් උත්සාහ කළත් ඒ වන විට ඔහු රාජ්‍ය ශාලාවට ගොස් තිබුණා. ඔහු රාජ්‍ය ශාලාවේ දොර අසලට වී බලා සිටිනවා ඔහුව සොයන්න ගිය සහෝදරයන් දැක්කා. මේ තරම් කුණාටුවක් තියෙද්දීත් රැස්වීමට පැමිණියේ ඇයි කියා ඔහුගෙන් අසද්දී ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “මම යෙහෝවා දෙවිට හුඟක් ආදරෙයි.”

ඔබට කරන්න පුළුවන් කුමක්ද?

ඔබ ජීවත් වන ප්‍රදේශයෙත් බිහිරි අය සිටිනවාද? ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා ඔබට සංඥා භාෂාව ඉගෙනගන්න පුළුවන්ද? කෙනෙකුට සංඥා භාෂාව උගන්වන්න බිහිරි අය සිටින්නේ මහත් ආශාවකින්. ඒ වගේම ඔවුන් එය කරන්නේ ඉතා කාරුණිකව හා ඉවසිලිවන්තවයි. ඔබ දේවසේවයේ යද්දී හෝ වෙනත් අවස්ථාවකදී ඔබට බිහිරි පුද්ගලයෙක් මුණගැසී තිබෙනවාද? එසේ මුණගැසුණොත් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්න. ඒ සඳහා ඔබට අංග චලනය, සටහන්, චිත්‍ර හා පින්තූර යොදාගන්න පුළුවන්. දෙවි ගැන ඔබ ඔවුන්ට පවසන දේට ඔවුන් එතරම් උනන්දුවක් නොදැක්වුවත් ඔවුන් ගැන සංඥා භාෂාව දන්නා සහෝදරයෙකුට හෝ සහෝදරියකට පවසන්න. මන්ද සමහරවිට සංඥා භාෂාවෙන් ඔහුට ශුභාරංචිය ප්‍රකාශ කළොත් ඔහු හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තිබෙනවා.

ඔබ සංඥා භාෂාව ඉගෙනගනිමින් එම භාෂාව භාවිත කරන සභාවක සේවය කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබේ හැකියාවන් දියුණු කරගන්න ඔබට පුළුවන් කොහොමද? ඔබ සිටින සංඥා භාෂාව භාවිත කරන සභාවේ සමහර ප්‍රචාරකයන්ට කතා කරන්න පුළුවන් විය හැකියි. ඒ නිසා සංඥා භාෂාව භාවිත නොකර, ඔවුන් සමඟ ඔබට හුරු භාෂාවෙන් කතා කරන්න ඔබ පෙලඹෙන්න පුළුවන්. නමුත් එසේ නොකර ඔවුන් සමඟත් සංඥා භාෂාව යොදාගෙන අදහස් හුවමාරු කරන්න වෑයම් කරන්න. එවිට ඔබ එම භාෂාව භාවිත කරන අය හිතන විදිහට හිතන්න පුරුදු වෙනවා.

එලෙස සංඥා භාෂාව භාවිත කිරීමට වෑයම් කිරීමෙන් අපගේ බිහිරි සහෝදර සහෝදරියන්ට අප ප්‍රේම කරන බවත් ගෞරව කරන බවත් පෙන්වන්න පුළුවන්. පාසැලේ හා රැකියා ස්ථානයේ සිටින අය සමඟ කතා කරන්න බිහිරි අයට නොහැකි නිසා ඔවුන්ට ඇති වන කලකිරීම ගැන මදකට සිතා බලන්න. ඒ ගැන එක් බිහිරි සහෝදරයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “මාත් එක්ක ඉන්න හැම කෙනෙක්ටම කතා කරන්න පුළුවන්. ඒ නිසා මට හැඟෙන්නේ මාව කොන් කරලා වගෙයි. සමහරවිට ඒ නිසා මට කේන්තිත් යනවා. ඒ වගේ සමහර අවස්ථාවලදී මට හැඟෙන විදිහ විස්තර කරන්න වචන නැහැ.” නමුත් ඊට වෙනස්ව අපගේ රැස්වීම් බිහිරි සහෝදර සහෝදරියන්ට, සියලුදෙනාත් සමඟ අදහස් හුවමාරු කරගත හැකි හා උණුසුම් ආශ්‍රයක් භුක්ති විඳිය හැකි ප්‍රසන්න ස්ථානයක් විය යුතුයි.—යොහ. 13:34, 35.

සමහර සභාවල සංඥා භාෂාව කතා කරන කණ්ඩායම් තිබෙනවා. එවන් අවස්ථාවලදී රැස්වීම්වල ඉදිරිපත් කරන කොටස් සංඥා භාෂාවට පරිවර්තනය කරනවා. එම පරිවර්තනය හොඳින් තේරුම්ගන්න අවශ්‍ය නිසා බිහිරි සහෝදර සහෝදරියන් රාජ්‍ය ශාලාවේ ඉදිරිපෙළ අසුන්වල හිඳගන්නවා. සමුළුවලදී, එක්රැස්වීම්වලදී හා කතා පරිවර්තනය කරන සමහර අවස්ථාවලදී ඉහත ක්‍රමයම අනුගමනය කරනවා. එලෙස වේදිකාවේ සිට සංඥා භාෂාවට පරිවර්තනය කිරීම මුලදී සමහරුන්ගේ අවධානයට බාධාවක් විය හැකි වුණත් ඉතා ඉක්මනින් ඔවුන් එයට හුරු වෙනවා. සරලව හා තේරුම්ගත හැකි ආකාරයකට සංඥා භාෂාවට කොටස් පරිවර්තනය කරන සහෝදර සහෝදරියන්ව අපි අගය කළ යුතු නැද්ද!

එවැනි කණ්ඩායමක් ඇති සභාවක ඔබ සේවය කරනවා නම් එහි සිටින බිහිරි සහෝදර සහෝදරියන් ගැන ඔබ සැලකිලිමත් වන බව පෙන්වන්නේ කොහොමද? ඔබගේ නිවසට ඔවුන්ට ආරාධනා කරන්න ඔබට හැකියි. එමෙන්ම සංඥා කරන ආකාරය සුළු වශයෙන් හෝ ඉගෙනගන්න උත්සාහ කරන්න. ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්න බැහැයි කියා කනගාටු වෙන්න එපා. ඔබ කෙසේ හෝ අදහස් හුවමාරු කරන ක්‍රමයක් ඉගෙනගනීවි. ඒ ආකාරයට ඔවුන් වෙනුවෙන් ඔබ පෙන්වන ප්‍රේමය සහ ඉන් ඔබ ලැබූ සතුට ඔබට බොහෝ කල් මතක තියේවි. (1 යොහ. 4:8) අපගේ බිහිරි සහෝදර සහෝදරියන්ගෙන් අපට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔවුන් අදහස් හුවමාරු කරන්න හරිම කැමති, අපව හොඳින් තේරුම්ගන්න හා මිත්‍රශීලී අයයි. බිහිරි දෙමාපියන් සිටින එක් සහෝදරයෙක් ඒ ගැන මෙසේ පවසනවා. “මම මේ වෙනකල් ජීවත් වෙන්නේ බිහිරි අය එක්කයි. ඔවුන්ගෙන් මම හුඟක් දේවල් ඉගෙනගත්තා. ඒවායේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.”

බිහිරි අය ඇතුළු දෙවිගේ සියලුම සේවකයන්ට දෙවි බොහෝ සේ ප්‍රේම කරනවා. ඔවුන්ගේ විශ්වාසවන්තකම හා විඳදරාගැනීම යෙහෝවා දෙවිගේ සංවිධානයේ සිටින සියලුදෙනාටම විශාල ශක්තියක්. ඒ නිසා අපි අපගේ බිහිරි සහෝදර සහෝදරියන් සියලුදෙනාටම බොහෝ සේ ප්‍රේම කරමු.

[පාදසටහන]

^ 3 ඡේ. වැඩි විස්තර සඳහා 2009 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ “යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වා තිබෙනවා” යන ලිපිය බලන්න.

[31වන පිටුවේ පින්තූරය]

බිහිරි කෙනෙකුට සංඥා භාෂාවෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කරන විට ඊට ඔහු හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තිබෙනවා

[32වන පිටුවේ පින්තූර]

අපගේ රැස්වීම්, බිහිරි සහෝදර සහෝදරියන්ට අන් අය සමඟ අදහස් හුවමාරු කරගත හැකි, උණුසුම් ආශ්‍රයක් භුක්තිවිඳිය හැකි ප්‍රසන්න ස්ථානයක් විය යුතුයි