Skip to content

පටුනට යන්න

සභාව තුළ ඔබට හිමි වැඩ කොටස ඔබ අගය කරනවාද?

සභාව තුළ ඔබට හිමි වැඩ කොටස ඔබ අගය කරනවාද?

සභාව තුළ ඔබට හිමි වැඩ කොටස ඔබ අගය කරනවාද?

‘දෙවි, තමන් කැමති හැටියට එක් එක් අවයවය ශරීරයේ නියමිත තැන තබා ඇත.’—1 කොරි. 12:18.

1, 2. (අ) ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනාම සභාවට අත්‍යවශ්‍යයි කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) අප මෙම ලිපියෙන් සලකා බලන්න යන්නේ කුමන ප්‍රශ්න ගැනද?

යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව රැකබලා ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමට යොදාගන්නේ සභාවයි. එම සැලැස්ම දෙවි පුරාණයේ සිට ඇති කර තිබූ බව හායි නගරය අල්ලාගත් පසු සියලු ඊශ්‍රායෙල්වරුන් ඉදිරියේ යෝෂුවා කළ මේ දෙයින් පැහැදිලි වෙනවා. ඔහු ‘නීතිය පිළිපැදීමෙන් අත් වන ආශීර්වාදත් නීතිය කඩ කිරීමෙන් අත් වන ශාපත් ඇතුළුව නීතියේ සඳහන් සියල්ලම රැස්ව සිටි සියලුදෙනාට ඇසෙන සේ කියෙව්වා.’—යොෂු. 8:34, 35 නව ලොව පරිවර්තනය, NW.

2 පළමු ශතවර්ෂයේදීත් එවැනිම සැලැස්මක් ක්‍රියාත්මක වුණු බව පාවුල් තිමෝතිට පැවසූ මේ දෙයින් පැහැදිලියි. ඔහු ක්‍රිස්තියානි සභාව “දෙවිගේ ගෘහය” ලෙසත් ‘සත්‍යය උසුලන කණුවක් සහ ආධාරකයක්’ ලෙසත් හැඳින්නුවා. (1 තිමෝ. 3:15) අද දින “දෙවිගේ ගෘහය” වන්නේ සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාවයි. පාවුල් එය මනුෂ්‍ය ශරීරයකට සමාන කරමින් මෙසේ පැවසුවා. ‘දෙවි තම කැමැත්ත පරිදි ශරීරයේ සෑම අවයවයක්ම නියමිත තැන්වල තබා ඇත.’ ඒ සෑම අවයවයකම ඇති වැදගත්කම කාවද්දමින් ඔහු මෙසේද පැවසුවා. ‘වැදගත්කමින් අඩුයයි සලකන අවයවවලට පවා අපි වැඩි ගෞරවයකින් සලකමු.’ (1 කොරි. 12:18, 23) අපගේ ශරීරයේ අවයවවලින් කරන කාර්යයන් විවිධ වුණත් ඒ සෑම අවයවයක්ම අත්‍යවශ්‍යයි. ඒ හා සමානව ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනා කරන වැඩ කොටස් විවිධ වුණත් ඒ සියලුදෙනාම සභාවට අත්‍යවශ්‍යයි. ඒ නිසා සභාව තුළ එක් කෙනෙක් කරන වැඩ කොටස තවත් කෙනෙක් කරන වැඩ කොටසට වඩා උසස් වන්නේවත් පහත් වන්නේවත් නැහැ. එසේනම් සභාව තුළ තමන්ට හිමි වැඩ කොටස හඳුනාගෙන එය අගය කරන්න කෙනෙකුට පුළුවන් කොහොමද? එය තීරණය වන්නේ කුමක් මතද? අපට අපගේ ‘දියුණුව සියල්ලන්ට පෙනෙන්න’ සලස්වන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්න ගැන අපි මෙම ලිපියේදී සලකා බලමු.—1 තිමෝ. 4:15.

අපට හිමි වැඩ කොටස අගය කරමු

3. සභාව තුළ අපට ලැබී තිබෙන වැඩ කොටස අගය කරන බව පෙන්වන්න අපට පුළුවන් කොහොමද?

3 සභාව තුළ අපට ලැබී තිබෙන වැඩ කොටස අගය කරන්න අපට පුළුවන් කොහොමද? “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හා එහි පාලක මණ්ඩලය අපට ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමෙන් අපට එය කළ හැකියි. (මතෙව් 24:45-47 කියවන්න.) උදාහරණයකට විලාසිතා, විනෝදාංශ සහ අන්තර්ජාලයේ ඇති අනතුරුදායක පැති ගැන ඔවුන් අපට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම පවුලේ නමස්කාරයට සැන්දෑවක් වෙන් කරන්න කියා ඔවුන් අපට දිරිගන්වා තිබෙනවා. අප තනිකඩ කෙනෙක් නම් ඒ කාලය පෞද්ගලික අධ්‍යයනය සඳහා වෙන් කරන්න කියාද දාසයා අපට උපදෙස් දුන්නා. අප ඒ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවාද? ඊට අප කීකරු වෙනවා නම් යෙහෝවා දෙවි අපටත් අපගේ පවුලේ අයටත් ආශීර්වාද කරනවා නිසැකයි.

4. පෞද්ගලික තීරණ ගැනීමේදී අප සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?

4 විලාසිතා හා විනෝදාංශ වැනි දෙවල් ගැන තීරණ ගත යුත්තේ තමන් කැමති ආකාරයට බව සමහරුන්ට හැඟෙන්න පුළුවන්. නමුත් එවැනි තීරණ ගැනීමේදී ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ඔහුගේ වචනය තුළින් ලබා දී ඇති මඟ පෙන්වීම් මොනවාද කියා අප සලකා බැලිය යුතුයි. ඇත්තෙන්ම අප ඒ මඟ පෙන්වීම් අපගේ ‘පාදවලට පහනක් හා මාවතට එළියක්’ කරගන්න අවශ්‍යයි. (ගීතා. 119:105NW) පෞද්ගලික තීරණ ගැනීමේදී අප සැලකිලිමත් විය යුතු තවත් දෙයක් වන්නේ එම තීරණ අපගේ දේවසේවයටත් සහෝදර සහෝදරියන්ටත් වෙනත් අයටත් බලපාන ආකාරයයි. ඒ සෑම දෙයකින්ම පෙන්වන්නේ සභාව තුළ අපට ලැබී තිබෙන වැඩ කොටස අප අගය කරන බවයි.2 කොරින්ති 6:3, 4 කියවන්න.

5. තමන්ට රිසි සේ කටයුතු කිරීමේ ආකල්පයෙන් අප වැළකිය යුත්තේ ඇයි?

5 ‘මේ සමාජයේ සිටින මිනිසුන්ට බලපෑම් කරන තැනැත්තාගේ බලපෑම’ අප හුස්ම ගන්නා වාතය මෙන් සෑම තැනම පැතිරී තිබෙනවා. (එෆී. 2:2) ඒ නිසා යෙහෝවා දෙවි ඔහුගේ වචනය හා සංවිධානය මාර්ගයෙන් ලබා දෙන උපදෙස් පිළි නොගෙන තමන්ට රිසි සේ කටයුතු කිරීමේ ආකල්පයෙන් අප වැළකී සිටිය යුතුයි. එවැනි ආකල්පයක් දියොත්‍රෙෆස්ට තිබුණා. ඔහු ‘යොහන්ගෙන් ලැබූ කිසිවක් ගෞරවයෙන් පිළිගත්තේ නැහැ.’ (3 යොහ. 9, 10) ඔහු මෙන් වීමට අප කිසිවෙකුටත් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි දාස පන්තිය තුළින් ලබා දෙන උපදෙස් අප කිසිදිනක ප්‍රතික්ෂේප නොකරන බව අපගේ ක්‍රියාවලින් හා වචනවලින් පෙන්වමු. (ගණන්. 16:1-3) ඒ වගේම සභාව තුළ පෙරමුණ ගන්නා අයට කීකරුව හා යටත්ව සිටින්න අප උපරිමයෙන් වෑයම් කරන්න අවශ්‍යයි.හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.

6. දෙවිගේ සේවය තුළ අපට කළ හැකි දේ ගැන සෝදිසි කර බැලීම වැදගත් ඇයි?

6 අප කරන ‘සේවය මහත් ගෞරවයකින් සැලකීමට’ අපට තව කරන්න පුළුවන් කුමක්ද කියා සෝදිසි කර බැලීමෙන්ද සභාව තුළ අපට හිමි වැඩ කොටස අගය කරන බව පෙන්විය හැකියි. (රෝම 11:13) එසේ කළ සමහරුන් ස්ථාවර පුරෝගාමීන්, මිෂනාරිවරුන්, සංචාරක අවේක්ෂකයන් හා බෙතෙල් සේවකයන් ලෙස සේවය කිරීමට තෝරාගෙන තිබෙනවා. තවත් බොහෝ සහෝදර සහෝදරියන් රාජ්‍ය ශාලා ඉදිකිරීම් ව්‍යපෘතිවල සේවය කරනවා. ඒ විතරක් නොවෙයි දෙවිගේ සෙනඟ අතර සිටින විශාල පිරිසක් ඔවුන්ගේ පවුල්වල සිටින අයට දිගටම දෙවිට සේවය කිරීමට උපකාර කරනවා. ඒ වගේම ඔවුන් සෑම සතියකම උද්‍යෝගයෙන් දේවසේවයේ හවුල් වෙනවා. (කොලොස්සි 3:23, 24 කියවන්න.) එමගින් අපට යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළ හැකියි. ඒ ආකාරයෙන් අප මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කරන්න ආශා කරනවා නම් ඔහුගේ කැමැත්ත ඉටු කරන්න ඔහු අපව දිගටම යොදාගන්නා බව ස්ථිරයි.

කළ හැකි දේ විවිධයි

7. සභාව තුළ අපට හිමි වැඩ කොටස තීරණය වන්නේ අපට කළ හැකි දේවල් මත බව පවසන්න පුළුවන් ඇයි?

7 අපට කළ හැකි දේවල් ගැන නිතර නිතර සෝදිසි කිරීම වැදගත්. මන්ද සභාව තුළ අපට හිමි වැඩ කොටස බොහෝදුරට තීරණය වන්නේ අපට කළ හැකි දේවල් මතයි. උදාහරණයකට සමහර පැතිවලින් සභාවේ සිටින සහෝදරයන්ට තිබෙන වැඩ කොටස සහෝදරියන්ට තිබෙන වැඩ කොටසට වඩා වෙනස්. ඒ වගේම වයස, සෞඛ්‍ය හා වෙනත් දේවල් නිසා සභාවේ කෙනෙකුට කළ හැකි දේවල් වෙනස් වෙනවා. ඒ ගැන හිතෝපදේශ 20:29හි [NW] මෙසේ පවසනවා. “තරුණයන්ගේ අලංකාරය වන්නේ ඔවුන්ගේ ශක්තියයි. මහලු අයව ගෞරවයට පත් කරන්නේ ඔවුන්ගේ පැසුණු හිසකෙස්ය.” යෞවනයන්ට සභාවේ වැඩකටයුතුවල වෙහෙස මහන්සි වී හවුල් වෙන්න පුළුවන් විය හැකියි. නමුත් සභාවේ සිටින මහලු සහෝදර සහෝදරියන් ඔවුන් සතු අද්දැකීම් සහ දැනුම යොදාගෙන සභාවට උපකාර කරනවා. අපට කළ හැකි දේ කුමක් වුණත් ඒ සියල්ල අප කරන්නේ දෙවි ඔහුගේ මහත් කරුණාව නිසා අපට ලබා දී ඇති හැකියාවන් යොදාගෙන බව අපි මතක තබාගනිමු.—ක්‍රියා 14:26; රෝම 12:6-8.

8. අප ආශා කරන දේවල් හා සභාව තුළ අපට ඇති වැඩ කොටස අතර ඇති සම්බන්ධය කුමක්ද?

8 දෙවිගේ සේවය තුළ අප කිරීමට ආශා කරන දේවල් මතද සභාව තුළ අපට හිමි වැඩ කොටස තීරණය වෙනවා. එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ මේ උදාහරණයෙන් ඒ බව පැහැදිලියි. මේ දෙදෙනාම උසස් අධ්‍යාපනය ලබාගත්තා. ඔවුන්ගේ දෙමාපියන් ඔවුන් දෙදෙනාට නිතරම උනන්දු කළේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු ස්ථාවර පුරෝගාමී සේවය කරන්න කියායි. අධ්‍යාපන කටයුතු අවසන් කළ ඔවුන් දෙදෙනාගෙන් එක් කෙනෙක් පුරෝගාමී සේවය තෝරාගත්තත් අනික් කෙනා තෝරාගත්තේ පූර්ණකාලීනව රැකියාවක නිරත වෙන්නයි. ඔවුන් දෙදෙනා වෙනස් තීරණ ගත්තේ ඇයි? ඒ, ඔවුන් ආශා කළ දේ වෙනස් වූ නිසයි. අප සාමාන්‍යයෙන් කරන්න පෙලඹෙන්නෙත් අප ආශා කරන දේවල්. ඒ නිසා දෙවිගේ සේවය තුළ අප කිරීමට ආශා කරන දේවල් මොනවාද කියා බැරෑරුම්ව කල්පනා කිරීම වැදගත්. එසේ කල්පනා කරද්දී අපට ජීවිතයේ යම් වෙනස්කම් කරන්න සිදු වන බව හැඟෙන්න පුළුවන්. එවැනි වෙනස්කම් සිදු කරගෙන වුණත් දෙවිට වැඩියෙන් සේවය කරන්න ඔබ කැමතිද?—2 කොරි. 9:7.

9, 10. දෙවිගේ සේවය තුළ අපට උපරිමය කරන්න පෙලඹීමක් නැත්නම් අප කළ යුත්තේ කුමක්ද?

9 යෙහෝවා දෙවිගේ සේවය තුළ අපට උපරිමය කරන්න පෙලඹීමක් නැත්නම් හෝ සභාවේ වැඩකටයුතුවලට අප හවුල් වන්නේ ඕනෑවට එපාවට නම් ඉන් ගොඩ ඒමට උදව් කරන්න පුළුවන් කාටද? ඒ සඳහා අපට උපකාර කරන්න දෙවිට හැකියි. ඔහුට උද්‍යෝගයෙන් සේවය කිරීමට අප තුළ ආශාවක් ඇති කිරීමට ඔහු තම බලය යොදාගන්නවා. ඒ බව පාවුල් ෆිලිප්පිවරුන්ට පැවසූ මේ දෙයින් පැහැදිලියි. ‘ඔහුට ප්‍රසන්න දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.’—ෆිලි. 2:13; 4:13.

10 දෙවිට උද්‍යෝගයෙන් සේවය කිරීමට අප තුළ ආශාවක් ඇති කරන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටින්න අපට පුළුවන්. දාවිත් රජ එසේ කළා. ඔහු ඒ ගැන දෙවිට මෙසේ යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග දැනගැනීමට මට උපකාර කරන්න. ඔබේ මාවතේ ගමන් කිරීමට මට උගන්වන්න. සත්‍යය නමැති ඔබේ මාවතේ මාව ගෙන යමින් මට උගන්වන්න. මන්ද ඔබ මට ගැලවීම සලසා දෙන දෙවිය. දවස පුරා මා බලාපොරොත්තු තබන්නේ ඔබ කෙරෙහිය.” (ගීතා. 25:4, 5NW) ඒ වගේම යෙහෝවා දෙවි හා ඔහුගේ පුත්‍රයාගේ කැමැත්ත ඉටු කිරීමට අප කරන දේවල් ඔවුන්ට කොතරම් වටිනවාද කියා අප කල්පනා කර බැලිය යුතුයි. එවිට ඔවුන් දෙදෙනාව අගය කරන්න අප පෙලඹෙනවා. (මතෙ. 26:6-10; ලූක් 21:1-4) අප එසේ කරද්දී යෙහෝවා දෙවිට වැඩියෙන් සේවය කරන්න අප තුළ ආශාවක් ඇති වෙනවා. අනාගතවක්තෘ යෙසායා ඒ සම්බන්ධයෙන් අපට හොඳ ආදර්ශයක්. “මා යවන්නේ කාවද? අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කවුද?” කියා යෙහෝවා දෙවි පවසනවා ඔහුට ඇසුණු විට ඔහු, “මම යන්න කැමතියි. මාව යවන්න” කියා පිළිතුරු දුන්නා.—යෙසා. 6:8NW.

ඔබට දියුණු විය හැකිද?

11. (අ) සහෝදරයන් වගකීම් දැරීම සඳහා සුදුසුකම් අත් කරගැනීමේ අවශ්‍යතාව පෙනෙන්නේ කුමකින්ද? (ආ) එම අවශ්‍යතාව ඉටු කරන්න පුළුවන් කොහොමද?

11 වර්ෂ 2008 සේවා වසර තුළ ලොව පුරා 2,89,678දෙනෙක් බව්තීස්ම වුණා. එයින් පැහැදිලි වන්නේ සභාව තුළ වගකීම් දැරීමට සහෝදරයන් වැඩි දෙනෙකුගේ අවශ්‍යතාවයි. ඒ අවශ්‍යතාව ඉටු කරන්න සහෝදරයෙකුට පුළුවන් කොහොමද? සහයක සේවකයන් හා වැඩිමහල්ලන් සඳහා ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් අත් කරගන්න ඔවුන්ට උත්සාහ කළ හැකියි. (1 තිමෝ. 3:1-10, 12, 13; තීත. 1:5-9) උද්‍යෝගයෙන් දේවසේවයේ සහභාගි වෙමින් සභාවෙන් තමන්ට ලැබී තිබෙන වගකීම් උනන්දුවෙන් ඉටු කිරීමෙන්, රැස්වීමේදී අර්ථවත් ලෙස අදහස් දැක්වීමෙන් හා සෙසු ක්‍රිස්තියානීන් ගැන පෞද්ගලික සැලකිල්ලක් දැක්වීමෙන් සහෝදරයන්ට එම සුදුසුකම් අත් කරගන්න පුළුවන්. ඒ තුළින් ඔවුන් පෙන්වන්නේ සභාව තුළ ඔවුන්ට හිමි වැඩ කොටස අගය කරන බවයි.

12. යෞවනයන්ට තම දියුණුව පෙන්වන්න පුළුවන් කොහොමද?

12 යෞවන සහෝදරයන්ට ඔවුන්ගේ දියුණුව පෙන්වන්න පුළුවන් කොහොමද? ඒ සඳහා දෙවිගේ වචනය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ඔවුන් වෑයම් කළ යුතුයි. එමගින් ඔවුන්ට ‘ප්‍රඥාවත් දෙවිගේ බලය මගින් ලැබෙන වටහාගැනීමේ හැකියාවත්’ වර්ධනය කරගන්න පුළුවන්. (කොලො. 1:9) බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන් හා රැස්වීම්වලට උද්‍යෝගයෙන් හවුල් වීමෙන්ද ඔවුන්ට තම දියුණුව පෙන්විය හැකියි. එමෙන්ම ‘සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක්’ වන පූර්ණකාලීන සේවය සඳහා ඉලක්ක තබාගැනීමත් ඒ සඳහා ඔවුන්ට ප්‍රයෝජනවත්. (1 කොරි. 16:9) එලෙස යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් වෙනත් බොහෝ ආශීර්වාද ලබාගන්නත් යෞවනයන්ට හැකියි.දේශනාකාරයා 12:1 කියවන්න.

13, 14. සහෝදරියන් සභාවේ තමන්ට හිමි වැඩ කොටස අගය කරන බව පෙන්වන්නේ කොහොමද?

13 සභාවේ තමන්ට ලැබී තිබෙන වැඩ කොටස අගය කරන බව පෙන්වන්න සහෝදරියන්ටත් පුළුවන්. එය කළ හැකි ප්‍රධානතම ක්‍රමය වන්නේ යේසුස්ගේ ගෝලයන් වීමට මිනිසුන්ට උපකාර කිරීමේ කාර්යයෙහි හැකි උපරිමයෙන් හවුල් වීමයි. (මතෙ. 28:19, 20) ඒ සඳහා විවිධ කැපකිරීම් කරන්නත් අවශ්‍යයි. ඒ ආකාරයට ඔවුන් ගීතාවලිය 68:11හි [NW] සඳහන් අනාවැකිය ඉටු කිරීමටද හවුල් වෙනවා. එහි පවසන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය. එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.”

14 වැඩිහිටි සහෝදරියන්ටද සභාවට හොඳ ආදර්ශයක් විය හැකියි. පාවුල් තීතස්ට ලියන විට ඒ ගැන මෙසේ සඳහන් කළා. ‘වැඩිහිටි ස්ත්‍රීන් දෙවිට ගෞරවයක් ගෙන දෙන ආකාරයකින් හැසිරෙන, යහපත් දේවල් උගන්වන අය විය යුතුයි. ඔවුන් එලෙස කටයුතු කළොත් අසිහියෙන් ක්‍රියා කරන තරුණ ස්ත්‍රීන්ට අවබෝධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය උපකාර ලබා දීමට හැකි වන අතර එමගින් ඔවුන් තම ස්වාමිපුරුෂයන්ට ප්‍රේම කිරීමටත් තම දරුවන්ට ප්‍රේම කිරීමටත්, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත් ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත් පෙලඹෙනු ඇත. එවිට කිසි කෙනෙකුට දෙවිගේ පණිවිඩය නින්දාවට ලක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.’ (තීත. 2:3-5) ඒ වගේම ඔවුන් සභාවේ පෙරමුණ ගන්නා අයට ගෞරව කරනවා. විලාසිතා, විනෝදාංශ වැනි කාරණාවලදී ඥානවන්ත තීරණ ගන්නවා. ඒ සියල්ලෙන් ඔවුන් සභාවට ලබා දෙන්නේ මොන තරම් හොඳ ආදර්ශයක්ද! එයින් ඔවුන් පෙන්වන්නේ සභාවේ තමන්ට හිමි වැඩ කොටස අගය කරන බවයි.

15. තනිකඩ ජීවිතයට මුහුණ දෙන්න සහෝදරියකට පුළුවන් කොහොමද?

15 අවිවාහක සහෝදරියන්ටත් සභාව තුළ ඉටු කිරීමට වැඩ කොටසක් තිබෙනවා. නමුත් සමහරුන්ට එය නිවැරදිව හඳුනාගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එය එක් සහෝදරියකගේ අද්දැකීමකින් පැහැදිලි වෙනවා. ඇය මෙවැනි දෙයක් පවසනවා. “තනිකඩව ජීවත් වෙද්දී සමහර අවස්ථාවල හරිම පාළුවක් දැනෙනවා. නමුත් ඒකෙන් ගොඩ එන්න මට යාච්ඤාව හා පෞද්ගලික අධ්‍යයනය උපකාරවත් වුණා. ඒකෙන් සභාව තුළ මට හිමි වැඩ කොටස මොකක්ද කියලත් යෙහෝවා දෙවි මං ගැන හිතන්නේ කොහොමද කියලත් මම වටහාගත්තා. ඒ නිසා මං ගැන විතරක් හිතන්නේ නැතුව අනික් අය ගැනත් හිතන්න මට පුළුවන් වුණා.” යෙහෝවා දෙවි තනිකඩ සහෝදරියන් ඇතුළු සියලුදෙනා ගැනම සැලකිලිමත් වෙනවා. ඔහු දාවිත්ට ඒ ගැන පැවසූ දෙය ගීතාවලිය 32:8හි [NW] මෙසේ සඳහන් වෙනවා. “මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.” සභාව තුළ තම තමන්ට හිමි වැඩ කොටස අවබෝධ කරගන්න යෙහෝවා දෙවි අප සියලුදෙනාටම උපකාර කරන බව ස්ථිරයි.

ඔබට හිමි වැඩ කොටස අගය කරන්න

16, 17. (අ) යෙහෝවා දෙවි කර තිබෙන ආරාධනාව අප පිළිගෙන තිබීම, අප ගෙන තිබෙන හොඳම තීරණය වන්නේ ඇයි? (ආ) අපට හිමි වැඩ කොටස අප අගය කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

16 යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහු බොහෝදෙනෙකුව තමන් වෙතට ඇදගන්නවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. ‘කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි.’ (යොහ. 6:44) ලොව වටා සිටින බිලියන ගණනක් මිනිසුන් අතරින් තම සභාවේ කොටසක් වීම සඳහා යෙහෝවා දෙවි අපට ආරාධනා කර තිබෙනවා. එම ආරාධනාව පිළිගෙන තිබීම අප ගෙන තිබෙන හොඳම තීරණයයි. එය අපගේ ජීවිතයට බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. සභාව තුළ අපට කිරීමට වැඩ කොටසක් හිමි වී තිබීම නිසා අප ලබන සන්තෝෂය හා තෘප්තිය කොයි තරම්ද!

17 ඒ සන්තෝෂය හා තෘප්තිය අද්දුටු දාවිත්, ‘යෙහෝවා දෙවියනි, ඔබ වාසය කරන ඔබේ ගෘහයට මම ඇලුම් කරමි’ කියා ගායනා කළා. (ගීතා. 26:12NW) එහි ප්‍රතිඵල ගැන ඔහු මෙසේද පැවසුවා. “එවිට සමතලා බිමක ගමන් කිරීමට මට හැකි වනු ඇත. රැස්ව සිටින සෙනඟ සමඟ මමද යෙහෝවා දෙවි වන ඔබට ප්‍රශංසා කරන්නෙමි.” (ගීතා. 26:8NW) සැබෑ දෙවිගේ සංවිධානය තුළ අප සියලුදෙනාටම නියමිත වැඩ කොටසක් තිබෙනවා. දෙවිගේ මඟ පෙන්වීම් පිළිගැනීමෙන් හා ඔහුට උද්‍යෝගයෙන් සේවය කිරීමෙන් එය අගය කරන බව අපට පෙන්වන්න පුළුවන්.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• සභාවේ සිටින සියලුදෙනාටම වැඩ කොටසක් තිබෙන බව පවසන්න පුළුවන් ඇයි?

• අපට හිමි වැඩ කොටස අප අගය කරන බව පෙන්වන්නේ කොහොමද?

• සභාව තුළ අපට හිමි වැඩ කොටස තීරණය වන්නේ කුමන දේවලින්ද?

• යෞවනයන් හා වැඩිහිටියන් සභාව තුළ තමන්ට තිබෙන වැඩ කොටස අගය කරන බව පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූර]

සභාව තුළ අමතර වගකීම් දැරීමට සුදුසුකම් අත් කරගන්න සහෝදරයන්ට පුළුවන් කොහොමද?

[17වන පිටුවේ පින්තූරය]

සභාව තුළ තමන්ට ලැබී තිබෙන වැඩ කොටස අගය කරන බව පෙන්වන්න සහෝදරියන්ට පුළුවන් කොහොමද?