Skip to content

පටුනට යන්න

සැමට එක සේ ප්‍රේම කරන්න

සැමට එක සේ ප්‍රේම කරන්න

සැමට එක සේ ප්‍රේම කරන්න

‘ක්‍රිස්තුස් ඔබට ප්‍රේම කළා සේ ඔබත් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න.’—එෆී. 5:2.

1. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලකුණ කුමක්ද?

අප ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කරන විට අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව ජනයා හඳුනාගන්නවා. නමුත් යේසුස් තම සැබෑ අනුගාමිකයන්ව හඳුනාගැනීම සඳහා ලබා දුන් ලකුණ ඊට වඩා වෙනස්. ඒ ලකුණ ගැන ඔහු මෙසේ පැවසුවා. ‘මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.’—යොහ. 13:34, 35.

2, 3. අප සහෝදර සහෝදරියන්ට පෙන්වන ප්‍රේමය නවකයන්ට බලපාන්නේ කොහොමද?

2 සැබෑ ක්‍රිස්තියානීන් අතර ඇති ප්‍රේමය වෙන කොතැනකින්වත් සොයාගන්න බැහැ. අප අතර තිබෙන ප්‍රේමය හරියට කාන්දමක් වගෙයි. කාන්දමක් යකඩ කැබැල්ලක් ඇදගන්නවා හා සමානව ප්‍රේමයද දෙවිගේ සේවකයන්ව එකිනෙකාට ඇද බැඳ තබාගන්නවා. එය දකින අවංක හදවත් ඇති මිනිසුන් දෙවිට නමස්කාර කරන්න පෙලඹෙනවා. ඒ සම්බන්ධයෙන් මේ අද්දැකීම සලකා බලන්න. කැමරූන් රටේ ජීවත් වන මාසිලීනෝ නම් තැනැත්තාට රැකියාවේ නිරත වන විට සිදු වූ අනතුරකින් ඔහුගේ පෙනීම අහිමි වුණා. ඔහුට එය සිදු වුණේ ඔහු කොඩිවින කරන කෙනෙක් වූ නිසා බවට කටකතාවක් පැතිරුණා. ඔහුට යම් සහනයක් ලබා දෙනවා වෙනුවට ඔහුගේ පල්ලියේ පූජකයා හා අනික් සාමාජිකයන් ඔහුව පල්ලියෙන් නෙරපා දැමුවා. පසුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ඔහුට රැස්වීමකට ආරාධනා කළා. තවත් අපහාස විඳින්න අකමැති වූ නිසා මුළදී ඔහු ඊට අදිමදි කළා.

3 කෙසේවෙතත් ඔහු රැස්වීමකට සහභාගි වුණු අතර එහි සිටි සියලුදෙනාම ඔහුව පිළිගත් ආකාරය ගැන ඔහු පුදුම වුණා. එහිදී ඔහු ඉගෙනගත් දේවලින් ඔහුට සහනයක්ද ලැබුණා. ඉන්පසු ඔහු සියලුම රැස්වීම්වලට පැමිණ, ඉක්මනින් දියුණු වී 2006දී බව්තීස්ම වුණා. දැන් ඔහු ඔහුගේ පවුලේ අය හා අසල්වාසින් සමඟ ශුභාරංචිය බෙදාගන්නවා. ඒ වගේම ඔහු කිහිපදෙනෙකු සමඟ බයිබල් පාඩම්ද පවත්වනවා. දෙවිගේ සෙනඟ අතර ඔහු අද්දැක්ක ප්‍රේමය ඔහු සමඟ බයිබලය පාඩම් කරන අයත් අද්දකිනවාට මාසිලීනෝ කැමතියි.

4. ප්‍රේමය පෙන්වීම ගැන පාවුල් දුන් උපදෙස අප සිතට ගත යුත්තේ ඇයි?

4 ක්‍රිස්තියානීන් අතර ඇති ප්‍රේමය ඉතා ආකර්ෂණීයයි. නමුත් ඒ බැඳීම ඉබේම ඇති වන දෙයක් නොවෙයි. ඒ සඳහා අපි විශාල වෑයමක් දරන්න අවශ්‍යයි. එය උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැකියි. සීතල රැයක ගිනිමැලයක් ළඟ සිටින්න මිනිසුන් හරි කැමතියි. නමුත් ගිනිමැලය දිගටම දල්වා තබාගැනීමට නම් ඊට දර දැමිය යුතුයි. එසේ නොකළොත් එය නිවී යනවා. ඒ හා සමානව අපි එක් එක් කෙනා අපගේ උපරිමය කළේ නැත්නම් අප අතර ඇති ප්‍රේමණීය බැඳීම දුර්වල වෙන්න පුළුවන්. අපට එම බැඳීම ශක්තිමත් කරන්න පුළුවන් කොහොමද? පාවුල් ඊට මෙසේ පිළිතුරු දෙනවා. ‘ක්‍රිස්තුස් ඔබට ප්‍රේම කළා සේම ඔබත් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න. මන්ද ඔහු ඔබ වෙනුවෙන් තම ජීවිතය දෙවිට පූජාවක් ලෙස ඔප්පු කළේය. එය දෙවිට මිහිරි සුවඳක් හා සමානය.’ (එෆී. 5:2) ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න පුළුවන් කොහොමද කියා අපි දැන් සලකා බලමු.

බොහෝදෙනෙකුට ප්‍රේමය පෙන්වන්න

5, 6. කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන් අන් අයට තව තවත් ප්‍රේම කළ යුතුයි කියා පාවුල් පැවසුවේ ඇයි?

5 කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලිව්වා. ‘කොරින්තිවරුනි, අපි කිසිවක් නොසඟවා සියල්ල විවෘතව ඔබට ප්‍රකාශ කළෙමු. අපගේ හදවත්වල ඔබ වෙනුවෙන් ඇති ප්‍රේමය තව තවත් වැඩි වී ඇත. ඔබට සෙනෙහස පෙන්වන්න අප අදිමදි නොකළත් සෙනෙහස පෙන්වන්න ඔබ අදිමදි කරන බව අපට පෙනේ. මා දැන් ඔබට කතා කරන්නේ මගේම දරුවන්ට කතා කරනවා හා සමානවය. එහෙයින් ඔබත් ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.’ (2 කොරි. 6:11-13) ඔවුන්ගේ ප්‍රේමය තවත් වැඩි කරගන්න කියා පාවුල් ඔවුන්ට පවසන්නේ ඇයි?

6 ඊට පිළිතුර දැනගැනීමට පෙර කොරින්ති සභාව ආරම්භ වූ ආකාරය ගැන බලමු. පාවුල් ක්‍රිස්තු වර්ෂ 50 අගභාගයේදී කොරින්තියට පැමිණ එහි සිටි ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කළා. ඊට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණත් පාවුල් දිගටම දේශනා කළා. ටික කලකට පසු එම නගරයේ සිටි බොහෝදෙනා ශුභාරංචිය පිළිගත්තා. පාවුල් ඔහු සතු සියල්ල වැය කරමින් ‘අවුරුද්දකුත් මාස හයක්’ අලුතින් පිහිටෙවූ සභාවේ උගන්වමින් සහ එය ශක්තිමත් කරමින් එහි නැවතී සිටියා. එයින් පෙනී යන්නේ ඔහුට කොරින්ති සභාවේ සිටි ක්‍රිස්තියානීන් ගැන මහත් ප්‍රේමයක් තිබුණු බවයි. (ක්‍රියා 18:5, 6, 9-11) ඒ නිසා පාවුල්ට ප්‍රේම කරන්නත් ගෞරව කරන්නත් කොරින්තිවරුන්ට හොඳ හේතු තිබුණා. නමුත් සමහරුන් ඔහු සමඟ ඇසුරු කිරීම නතර කළා. ඒ, ඔවුන් පාවුල් දුන් සෘජු උපදෙස්වලට අකමැති වූ නිසා විය හැකියි. (1 කොරි. 5:1-5; 6:1-10) තවත් අය එසේ කරන්න ඇත්තේ ‘මහ ඉහළින් ඔවුන් සැලකු නියෝජිතයන්’ පාවුල්ට කළ අපහාස ඔවුන් පිළිගත් නිසා විය හැකියි. (2 කොරි. 11:5, 6) නමුත් සෑම කෙනෙක්ම තමාට ප්‍රේම කරනවාට පාවුල් කැමති වුණා. තමන්ටත් අනික් සහෝදර සහෝදරියන්ටත් තව තවත් ප්‍රේම කරන්න කියා පාවුල් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි.

7. සියලු සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වන්න අපට පුළුවන් කොහොමද?

7 සියලු සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වන්න අපට පුළුවන් කොහොමද? එකම වයස් මට්ටමේ හා එකම ජාතියේ සිටින අයට එකමුතුව සිටීම පහසු දෙයක් විය හැකියි. ඒ වගේම එකම විනෝදාංශවලට ආශා කරන අයද වැඩියෙන් එකට කාලය ගත කරනවා විය හැකියි. නමුත් අපි එලෙස තෝරාගත් අය සමඟ පමණක් ඇසුරු කරනවා නම් අපගේ ඇසුර සීමා වෙනවා. ඒ වෙනුවට වැඩි දෙනෙකුට ප්‍රේමය පෙන්විය හැකි ආකාර සොයා බැලීම වැදගත්. ඒ සඳහා අපි අපගෙන්ම මෙසේ අසාගනිමු. ‘මිත්‍රයන් හැටියට මම ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන අයට අයත් නොවන සහෝදරයන් සමඟ මම දේවසේවයේ හා වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ කලාතුරකින්ද? සභාවට අලුතින් එන කෙනෙකුට මාත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න ඕනෙ නම් ඔහු තමයි මා ළඟට එන්න ඕනෙ කියා සිතමින් ඔහු සමඟ ආශ්‍රය කිරීම සීමා කරනවාද? මම සභාවේ සිටින බාල අයටත් මහලු අයටත් ආචාර කර ඔවුන්ව පිළිගන්නවාද?

8, 9. රෝම 15:7හි සඳහන් උපදෙස අපට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

8 සහෝදර සහෝදරියන්ව පිළිගැනීම සඳහා හොඳ හේතුවක් පාවුල් සඳහන් කළා. (රෝම 15:7 කියවන්න.) ‘පිළිගන්න’ යන්නට ග්‍රීක භාෂාවෙන් යොදා ඇති වචනයට ‘කෙනෙකුව කාරුණිකව භාරගැනීම හා ඔහුව මිත්‍රයෙක් ලෙස පිළිගැනීම’ යන අදහස් ඇතුළත් වෙනවා. පුරාණ කාලයේ ආගන්තුක සත්කාරයට කැමති කෙනෙකුගේ නිවසට මිත්‍රයෙක් පැමිණි විට, ඔහුගේ පැමිණීම තමන්ට කොතරම් ප්‍රීතියක්ද කියා නිවෙස් හිමියා ඔහුට දැනෙන්න සලස්වනවා. ඒ හා සමානව ක්‍රිස්තුස්ද අපව ඔහුගේ සභාවට පිළිගෙන තිබෙනවා. ඒ නිසා පාවුල් අපට උනන්දු කරන්නේ යේසුස්ව ආදර්ශයට ගනිමින් එකිනෙකාව පිළිගන්න කියායි.

9 අප රාජ්‍ය ශාලාවේදී හෝ වෙනත් ස්ථානයක රැස් වන විට අපට මෑතකදී හමු නොවූ හෝ කතා නොකළ අය සිටිනවාද කියා සොයා බැලීම සුදුසුයි. එවැනි කෙනෙකු සමඟ විනාඩි කිහිපයක් ගත කරන්න අප කැමතිද? ඊළඟ රැස්වීමේදී තවත් කෙනෙකු සමඟ එයාකාරයටම කරන්න අපට පුළුවන්ද? අප එසේ කරනවා නම් අපගේ සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකු සමඟ සුහද කතා බහක යෙදෙන්න අපට හැකියි. නමුත් එක රැස්වීමකදී සියලුදෙනා සමඟ කතා කරන්න අවස්ථාව නොලැබුණා කියා අප දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම සෑම රැස්වීමකදීම සෑම සහෝදර සහෝදරියෙක්ම තමා සමඟ කතා කළ යුතුයි කියාද කෙනෙක් නොසිතිය යුතුයි.

10. සභාවේ සියලුදෙනාට ලැබෙන මහඟු අවස්ථාව කුමක්ද? ඉන් උපරිම ප්‍රයෝජන ගන්න අපට පුළුවන් කොහොමද?

10 මිත්‍රත්වයන් ඇති කරගැනීම සඳහා මුල්ම පියවර වන්නේ කෙනෙකුට ආචාර කර ඔහුව පිළිගැනීමයි. එය සුහද සාකච්ඡාවකට ආරම්භයක්. උදාහරණයකට එක්රැස්වීම් හා සමුළුවලට පැමිණෙන අය එකිනෙකාව පිළිගෙන තමන්ව හඳුන්වා දී ඔවුන් සමඟ සුහද කතා බහක යෙදෙනවා. ඒ තුළින් ඔවුන් මිතුරු වන අතර නැවත වතාවක් එකිනෙකාව දැකගන්නද ආශාවෙන් සිටිනවා. එමෙන්ම රාජ්‍ය ශාලා ඉදිකිරීම් ව්‍යාපෘතිවල හා සහනාධාර කටයුතුවල යෙදෙන අය අතරත් කිට්ටු මිත්‍රත්වයන් ඇති වෙනවා. මන්ද ඔවුන්ට ඇති එක හා සමාන අද්දැකීම් නිසා එකිනෙකාව හොඳින් තේරුම්ගන්න ඔවුන්ට හැකි වෙනවා. කල්පවතින මිත්‍රත්වයන් ඇති කරගැනීමට ඒ හා සමාන බොහෝ අවස්ථා යෙහෝවා දෙවිගේ සංවිධානය තුළින් අපට ලැබෙනවා. එවැනි මිත්‍රත්වයන් ඇති කරගන්නා විට අප සියලුදෙනා අතර ඇති ප්‍රේමයත් එක්සත්කමත් තවත් ශක්තිමත් වෙනවා.

අන් අය වෙනුවෙන් කාලය දෙන්න

11. මාක් 10:13-16හි සඳහන් ආකාරයට යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?

11 යේසුස් මෙන් සියලුම ක්‍රිස්තියානීන් මිත්‍රශීලී අය විය යුතු බව මෙම උදාහරණයෙන් පැහැදිලි වෙනවා. දෙමාපියන් තම දරුවන්ව යේසුස් ළඟට ගෙන ඒම වළක්වන්න ගෝලයන් උත්සාහ කළ විට යේසුස් ඊට මෙසේ ප්‍රතිචාරය දැක්වුවා. ‘එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි. ඉන්පසු ඔහු දරුවන්ව තමන් ළඟට ගෙන ඔවුන්ව තුරුලු කරගෙන ඔවුන් පිට අත් තබා ආශීර්වාද’ කළා. (මාක් 10:13-16) ඒ දරුවන්ට ශ්‍රේෂ්ඨතම ගුරුවරයාගෙන් ආදරය ලැබෙද්දී ඔවුන් කොයි තරම් සතුටට පත් වන්න ඇද්ද!

12. සාකච්ඡාවකට බාධා විය හැකි පුරුදු මොනවාද?

12 සෑම ක්‍රිස්තියානියෙක්ම තමන්ගෙන් මෙසේ අසාගැනීම වැදගත්. ‘මම අනික් අය සමඟ කතා කරන්න කාලය ගන්නවාද? නැත්නම් අනික් අයට මාත් එක්ක කතා කරන්න බැරි තරමට මම කාර්යබහුලව සිටිනවාද?’ සමහරවිට අප ඇති කරගෙන තිබෙන සමහර පුරුදු නිසා අනික් අය අප සමඟ කතා කිරීමට අප ළඟට නොඑනවා විය හැකියි. උදාහරණයකට අපි අනික් අය ඉදිරියේ නිතරම ජංගම දුරකතන භාවිත කරනවා නම් හෝ හෙඩ්ෆෝනයකින් නිතරම සංගීතයට සවන් දෙනවා නම් නැත්නම් වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරනයක් නිතර නිතර භාවිත කරනවා නම් ඉන් පෙන්වන්නේ අනික් අය සමඟ කතා කිරීමට අප එතරම් කැමැත්තක් නොදක්වන බවයි. “නිහඬව සිටීමට” කාලයක් තිබෙන බව ඇත්තයි. නමුත් පිරිසක් සමඟ සිටිද්දී බොහෝවිට ඉන් අඟවන්නේ එය “කතා කිරීමට කාලය” බවයි. (දේශ. 3:7 නව ලොව පරිවර්තනය, NW) කෙනෙක් මෙසේ සිතන්න පුළුවන්. “මම පැත්තකට වෙලා ඉන්න කැමතියි.” නැත්නම් “උදේට තව කෙනෙක් එක්ක කතා කරන්න මට හිතෙන්නේ නැහැ.” එවැනි අවස්ථාවකදී වුණත් අප තව කෙනෙකු සමඟ කතා කරනවා නම් ඉන් පෙන්වන්නේ අප ඔවුන්ට ප්‍රේම කරන බවයි. මන්ද ප්‍රේමය “තමන්ගේම කාරණා සොයන්නේ” නැහැ.—1 කොරි. 13:5.

13. සභාවේ අයට සැලකිය යුතු ආකාරය ගැන පාවුල් තිමෝතිට පැවසුවේ කුමක්ද?

13 සභාවේ සිටින සියලුදෙනාටම ගෞරව කරන්න කියා පාවුල් තිමෝතිට පැවසුවා. (1 තිමෝති 5:1, 2 කියවන්න.) අපත් සභාවේ සිටින වැඩිහිටියන්ව, මව්වරුන් හා පියවරුන් ලෙසත් අනික් අයව අපගේම පවුලේ සහෝදර සහෝදරියන් ලෙසත් සැලකිය යුතුයි. එසේ කරනවා නම් ඒ අයට අප සමඟ මිත්‍ර වෙන්න පහසුයි.

14. අනික් අය සමඟ දිරිගන්වන කතා බහක යෙදීමෙන් ඇති වන ප්‍රයෝජන මොනවාද?

14 අප අන් අය සමඟ කතා කරන විට ඔවුන්ව දිරිගන්වනවා නම් එය ඔවුන්ගේ දියුණුවටත් සතුටටත් දායක වෙනවා. එලෙස දිරිගැන්වීමක් ලැබූ සහෝදරයෙකුගේ මේ අද්දැකීම සලකා බලන්න. බෙතෙල් පවුලේ වැඩිහිටි සාමාජිකයන් කිහිපදෙනෙක් මේ සහෝදරයා සමඟ නිතර නිතර කතා බහ කළ බව ඔහු මතක් කරනවා. ඔවුන් පැවසූ දිරිගන්වන දේවල් නිසා බෙතෙල් සාමාජිකයන් තමන්ට ඇත්තටම ප්‍රේම කරනවා කියා හොඳින් වැටහුණු බවද ඔහු පවසනවා. දැන් ඒ සහෝදරයාද අනික් බෙතෙල් සාමාජිකයන් සමඟ කතා බහ කරමින් ඔවුන්ව දිරිගන්වනවා.

සාමය ඇති කිරීම සඳහා යටහත්පහත් වන්න

15. ක්‍රිස්තියානීන් අතරද මතභේද ඇති වන බව පැහැදිලි වන්නේ කුමකින්ද?

15 ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානි සහෝදරියන් දෙදෙනෙක් වන යුවෝදියා හා සින්ටිකී අතර විසඳාගැනීමට අමාරු ගැටලුවක් ඇති වුණා. (ෆිලි. 4:2, 3) සෙසු ක්‍රිස්තියානීන් දැන සිටි ගැටලුවක් පාවුල් සහ බානබස් අතරද ඇති වුණා. ඒ විතරක් නොවෙයි ඒ නිසා ඔවුන් දෙදෙනා යම් කලකට එකිනෙකාගෙන් වෙන්වද සිටියා. (ක්‍රියා 15:37-39) ඒ සිද්ධීන්වලින් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානීන් වන අප අතර යම් මතභේද ඇති විය හැකි බවයි. නමුත් ඒවා විසඳාගෙන නැවත මිත්‍රයන් සේ කටයුතු කිරීමට යෙහෝවා දෙවි අපට උපකාර කරනවා. ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද කියා දැන් බලමු.

16, 17. (අ) ගැටලු විසඳාගන්න යටහත්පහත්කම මොන තරම් වැදගත්ද? (ආ) ඒසව් මුණගැසුණු විට යාකොබ් කළ දෙයින් යටහත්පහත්කම ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?

16 ඔබ ඔබේ මිත්‍රයා සමඟ වාහනයකින් ගමනක් යෑමට සූදානම් වෙනවා කියා සිතන්න. ගමන ආරම්භ කිරීම සඳහා වාහනය පනගැන්වීමට නම් යතුර අවශ්‍යයි. ඒ හා සමානව දෙදෙනෙක් අතර ඇති වන ආරවුලක් විසඳාගන්නත් යතුරක් තිබෙනවා. එය නම් යටහත්පහත්කමයි. (යාකොබ් 4:10 කියවන්න.) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන මතභේද විසඳාගන්න එය අපට උපකාර කරනවා. ඒ සම්බන්ධයෙන් මේ සිද්ධිය සලකා බලන්න.

17 තමාගේ කුලුඳුල්කම යාකොබ් ලබාගත් නිසා ඔහු සමඟ කෝප වූ ඒසව් ඔහුව මරා දමන්න තීරණය කළත් ඔහුට එය ඉටු කරගැනීමට නොහැකි වුණා. නමුත් අවුරුදු 20කට පමණ පසු නැවත එකිනෙකාව මුණගැසීමට ඔවුන්ට අවස්ථාව ලැබුණා. එසේ මුණගැසුණු විට තමාට ඒසව්ගෙන් අනතුරක් සිදු විය හැකි බව සිතූ යාකොබ්, “අතිශයින් භය වී කලබල” වුණා. ඒ නිසා ඒසව් බලාපොරොත්තු නොවූ දෙයක් යාකොබ් කළා. ඒසව් ඈතින් එනවා දුටු යාකොබ්, ‘හිස නමා ආචාර කරමින් තම සහෝදරයා ළඟට ගියා.’ එය දුටු ඒසව් ‘යාකොබ් වෙතට දිව ඇවිත් ඔහුව බදාගෙන සිපගත්තා. ඉන්පසු දෙදෙනාම අඬන්න පටන්ගත්තා.’ යාකොබ් කළ ඒ දේ නිසා සිදු වීමට ගිය ආරවුලක් වළක්වාගන්න ඔහුට හැකි වුණා. යාකොබ් ගැන ඒසව්ට ඒ වෙද්දී යම් වෛරයක් තිබුණා නම් එය නැති වුණේ යාකොබ් පෙන්වූ යටහත්පහත්කම නිසයි.—උත්. 27:41; 32:3-8; 33:3, 4NW.

18, 19. (අ) මතභේද ඇති වන විට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට අප මුල් පියවර ගත යුත්තේ ඇයි? (ආ) මතභේද විසඳාගන්න අප ගන්නා පළමු උත්සාහය අසාර්ථක වුණොත් කළ යුත්තේ කුමක්ද?

18 මතභේද විසඳාගන්නා ආකාරය ගැන ඉතා වටිනා උපදෙස් බයිබලයේ සඳහන් වෙනවා. (මතෙ. 5:23, 24; 18:15-17; එෆී. 4:26, 27) * අප යටහත්පහත්ව එම උපදෙස් අනුගමනය කළොත් මතභේද විසඳාගෙන අප අතර ඇති සාමයද රැකගන්න පුළුවන්. ඒ නිසා අනික් තැනැත්තා යටහත්පහත් වන තුරු බලා නොසිට අපි යටහත්පහත් අය බව පෙන්වමු.

19 මතභේදයක් විසඳාගැනීමට අප ගන්නා මුල් පියවර යම් හේතුවක් නිසා අසාර්ථක වුණොත් එය විසඳාගැනීම ගැන අපට ඇති බලාපොරොත්තුව අත් නොහැරිය යුතුයි. මන්ද ඒ ගැටලුව ගැන අනික් තැනැත්තාට හැඟෙන ආකාරය වෙනස් කරගන්න ඔහුට යම් කාලයක් අවශ්‍ය විය හැකියි. ඒ සම්බන්ධයෙන් යෝසෙප්ගේ මේ සිද්ධිය සලකා බලන්න. තරුණ වයසේ සිටි යෝසෙප්ට ඔහුගේ සහෝදරයන් ඉතා දුෂ්ට ලෙස සැලකුවා. ඔහුගේ සහෝදරයන් ඔහුගෙන් සමාව අයැද සිටියේ යෝසෙප් ඊජිප්තු රජගේ දෙවෙනියා බවට පත් වී කාලයක් ගත වීමෙන් පසුවයි. නමුත් යෝසෙප් ඔවුන්ට සමාව ලබා දුන්නා. පසුව දෙවි, යෝසෙප්ගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ පරම්පරාව තම සෙනඟ ලෙස තෝරාගත්තා. (උත්. 50:15-21) එලෙස අපත් සෙසු ක්‍රිස්තියානීන් සමඟ සමාදානයෙන් සිටිනවා නම් එය සභාවේ එකමුතුකමට හා ප්‍රීතියට හේතු වෙනවා.කොලොස්සි 3:12-14 කියවන්න.

‘ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු’

20, 21. ගෝලයන්ගේ පාද සේදීමේ සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

20 යේසුස් තම මරණයට පෙර දින රාත්‍රියේදී සාමාන්‍යයෙන් නිවසක සිටින දාසයෙක් කරන ක්‍රියාවක් කළා. එනම් ඔහු තම ගෝලයන්ගේ පාද සේදුවා. ඉන් අනතුරුව ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. ‘මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.’ (යොහ. 13:15) යේසුස් ඒ ක්‍රියාව සිදු කළේ නිකම්ම චාරිත්‍රයක් ඉටු කිරීමටවත් කරුණාව පෙන්වීමටවත් පමණක් නොවෙයි. ඒ වෙනුවට ඔහු තම ගෝලයන්ට සැබවින්ම ප්‍රේම කළ නිසයි. ඉහත සිදුවීම වාර්තා කිරීමට පෙර යොහන් මෙසේ ලිව්වේ ඒ නිසයි. ‘ලෝකයේ සිටි තමාට හිතවත් වූ අයට ඔහු බොහෝ සෙයින් ප්‍රේම කළේය. ඇත්තෙන්ම ඔහු අවසානය දක්වා ඔවුන්ට මහත් සේ ප්‍රේම කළේය.’ (යොහ. 13:1) තමන්ද නිහතමානී වී එකිනෙකාට උපකාර කළ යුතු බව යේසුස්ගේ එම ක්‍රියාවෙන් ඔහුගේ ගෝලයන් තේරුම්ගත්තා. අපත් අපගේ සහෝදර සහෝදරියන්ට සැබෑ ලෙසම ප්‍රේම කරනවා නම් ඔවුන් සියලුදෙනා ගැන අප සැලකිලිමත් බව පෙන්වන්න පුළුවන්.

21 යේසුස් පාද සේදූ අය අතර සිටි පේතෘස් ඉන් වැදගත් දෙයක් ඉගෙනගත්තා. ඒ ගැන ඔහු මෙසේ ලිව්වා. ‘දැන් ඔබ සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වීමෙන් ඔබේ ජීවිත පවිත්‍ර කරගෙන ඇති නිසා ඔබ තුළ අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක් දක්නට තිබිය යුතු අතර ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.’ (1 පේතෘ. 1:22) යේසුස් පාද සේදු අය අතර සිටි තවත් කෙනෙක් වන යොහන්ද මෙවැනි දෙයක් පැවසුවා. ‘ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු.’ (1 යොහ. 3:18) එම නිසා අපත් අපගේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන බව අපගේ ක්‍රියාවලින් පෙන්වීමට අදිටන් කරගනිමු.

[පාදසටහන]

^ 18 ඡේ. වර්ෂ 2007 ජූලි අපගේ රාජ්‍ය සේවාවේ 5-6 පිටු හෝ Organized to Do Jehovah’s Will නමැති පොතේ 144-150 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• බොහෝදෙනෙකුට ප්‍රේමය පෙන්වන්න අපට පුළුවන් කොහොමද?

• අන් අය සමඟ කතා කරන්න අපට කාලය ගන්න පුළුවන් කොහොමද?

• සාමය ඇති කරන්න යටහත්පහත්කම උපකාරවත් වන්නේ කොහොමද?

• සෙසු ක්‍රිස්තියානීන් ගැන සැලකිලිමත් වීමට අපව පොලඹවන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

සහෝදර සහෝදරියන්ව සාදරයෙන් පිළිගන්න

[23වන පිටුවේ පින්තූරය]

අන් අය සමඟ කතා කිරීමට තිබෙන අවස්ථාව නැති කර නොගන්න