Skip to content

පටුනට යන්න

හොඳ පුරුදු දෙවිට ගෞරවය ගෙන දෙයි

හොඳ පුරුදු දෙවිට ගෞරවය ගෙන දෙයි

හොඳ පුරුදු දෙවිට ගෞරවය ගෙන දෙයි

“දෙවිව අනුකරණය කරන්නන් වන්න.”—එෆී. 5:1.

1, 2. (අ) හොඳ පුරුදු කොතරම් වැදගත්ද? (ආ) මේ ලිපියෙන් සලකා බලන්න යන්නේ කුමක් ගැනද?

‘අපිට හොඳ පුරුදු තියෙනවා කියලා අපි හැම වෙලාවෙම පෙන්වන්න අවශ්‍යයි. ඒවා කොතැනටත් ගැළපෙනවා’ කියා ආචාරධර්ම පිළිබඳ ප්‍රවීණයෙක් පැවසුවා. කාරුණික වීම වැනි හොඳ පුරුදු මිනිසුන් තුළ තිබෙන විට බොහෝ ගැටලු අඩු කරගැනීමට හැකි වන අතර සමහරවිට ඒවා සම්පූර්ණයෙන්ම විසඳාගත හැකියි. නමුත් අන් අයට අකාරුණිකව සැලකීමෙන් මතභේද හා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්.

2 ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනා තුළ නම් හොඳ පුරුදු බොහෝමයක් දැකගන්න පුළුවන්. නමුත් අප අවට සිටින බොහෝදෙනෙකුට නරක පුරුදු තිබෙන නිසා අප පරෙස්සම් විය යුතුයි. එවන් පුරුදුවලින් ආරක්ෂා වීමට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත යුතු ආකාරයත් අපගේ හොඳ පුරුදු නිසා බොහෝදෙනෙක් දෙවිගේ නමස්කාරකයන් බවට පත් වී ඇති ආකාරයත් අපි සලකා බලමු. හොඳ පුරුදු සම්බන්ධයෙන් යෙහෝවා දෙවි සහ යේසුස් අපට විශිෂ්ට ආදර්ශයක්. ඔවුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා මුලින්ම අපි සලකා බලමු.

හොඳම ආදර්ශ

3. කාරුණික වීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අපට ආදර්ශයක් වන්නේ කොහොමද?

3 හොඳ පුරුදු සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශය සපයන්නේ යෙහෝවා දෙවියි. ඔහු මුළු විශ්වයේම පාලකයා වුණත් මිනිසුන්ට සලකන්නේ ඉතා කාරුණිකවයි. එමෙන්ම දෙවි ඔවුන්ට නිසි ගෞරවයද ලබා දෙනවා. ආබ්‍රහම් හා මෝසෙස් වැනි සේවකයන්ට දෙවි ආයාචනාත්මක ස්වරයකින් කතා කළ අවස්ථාද තිබුණා. (උත්. 13:14) ඒ වගේම ඔහුගේ සේවකයන් අතින් වැරදි සිදු වන විට ඔහු ඒවාට සමාව දෙනවා. ඒ, ඔහු ‘දයාන්විත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන සහ අතිමහත් ප්‍රේමයක්’ ඇති කෙනෙකු නිසයි. (ගීතා. 86:15NW) තමන් බලාපොරොත්තු වූ ආකාරයට කෙනෙක් යම් දෙයක් ඉටු නොකළ විට කෝප වන මිනිසුන්ට වඩා දෙවි බොහෝ සෙයින් වෙනස්.

4. කෙනෙක් අප සමඟ කතා කරන විට අපට යෙහෝවා දෙවිව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

4 හොඳ පුරුද්දක් වන ඇහුම්කන් දීම සම්බන්ධයෙන්ද යෙහෝවා දෙවි අපට හොඳ ආදර්ශයක්. සොදොම් නුවරේ සිටි ජනයා ගැන ආබ්‍රහම් දෙවිගෙන් ඇසූ විට ඔහු ඊට ඇහුම්කන් දී, ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නා. (උත්. 18:23-32) එලෙස ආබ්‍රහම් සමඟ කතා කිරීම කාලය නාස්ති කිරීමක් ලෙස දෙවි සැලකුවේ නැහැ. ඒ වගේම දෙවි තම සේවකයන්ගේ යාච්ඤාවලට හා පසුතැවිලි වන වරදකරුවන්ගේ අයැදීම්වලටද ඇහුම්කන් දෙනවා. (ගීතාවලිය 51:11, 17 කියවන්න.) අපත් අන් අයට ඇහුම්කන් දීමෙන් යෙහෝවා දෙවිව අනුකරණය කරමු.

5. කරුණාවන්ත වීම ගැන යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න අපට පුළුවන් කොහොමද?

5 කරුණාවන්ත වීම සම්බන්ධයෙන් යේසුස්, යෙහෝවා දෙවිගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා. ඔහු දේවසේවයේ ඉතා කාර්යබහුලව සිටින අවස්ථාවලදී වුණත් අන් අය සමඟ ක්‍රියා කළේ ඉවසිලිවන්තව හා කරුණාවන්තවයි. එමෙන්ම තමන්ට උපකාර කිරීමට යේසුස් කැමැත්තෙන් සිටින බව ලාදුරු රෝගීන්, අන්ධ අය හා උපකාර අවශ්‍ය වෙනත් අය හොඳින් දැන සිටියා. යේසුස් කාර්යබහුලව සිටිද්දී මනුෂ්‍යයන් පැමිණ ඔහුගෙන් උපකාර ඉල්ලා සිටි විට ඔහු අහක බලාගත්තේ නැහැ. අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා ඔහු බොහෝවිට තමන් කරමින් සිටි කාර්යය පවා නතර කළා. ඒ වගේම තමන්ව විශ්වාස කළ අය ගැන ඔහු වැඩි අවධානයක් දුන්නා. (මාක් 5:30-34; ලූක් 18:35-41) ක්‍රිස්තියානීන් ලෙස අපත් කාරුණික වීමෙන් හා උපකාර කිරීමට කැමැත්තෙන් සිටීමෙන් යේසුස්ව අනුකරණය කරනවා. එවැනි ක්‍රියා යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන අතර අපටද සන්තෝෂය ලබා දෙනවා. අප කරන එවැනි ක්‍රියා අපගේ නෑදෑයන්, අසල්වාසීන් හා වෙනත් අයගේ අවධානයටද ලක් වෙනවා.

6. මිත්‍රශීලී වීම ගැන යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?

6 යේසුස් මාර්තා, මරියා, සකෙවුස් හා තවත් අයට ඔවුන්ගේ නම්වලින් ඇමතීමෙන් ඔවුන්ට ගෞරව කළා. (ලූක් 10:41, 42; 19:5) නමුත් යුදෙව් ආගමික නායකයන් නම් මනුෂ්‍යයන්ට එසේ සැලකුවේ නැහැ. නීතිය ගැන දැනුමක් නැති අයව ඔවුන් සැලකුවේ ‘ශාප ලත් සෙනඟක්’ ලෙසයි. (යොහ. 7:49) අපගේ සංස්කෘතිය හා අප මුහුණ දෙන අවස්ථාවට අනුව පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය වෙනස් වුණත් අප ඔවුන්ට නිසි ගෞරවය ලබා දී සියලුදෙනා සමඟ මිත්‍රශීලී වීමට වෑයම් කරනවා. * එමෙන්ම අපි සෙසු ක්‍රිස්තියානීන්ට හා ගෞරවය ලැබිය යුතු වෙනත් අයට ගෞරව කිරීමේදී ඔවුන්ගේ තරාතිරම බලන්නේද නැහැ.යාකොබ් 2:1-4 කියවන්න.

7. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම අන් අයට ගෞරව කරන්න උපකාරයක් වන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවි සහ යේසුස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට සලකන්නේ එක හා සමානවයි. එසේ සැලකීම එවැනි අයට ගෞරවයක් වන අතර ඒ නිසා බොහෝදෙනා දෙවි ගැන ඉගෙනගන්නද පෙලඹෙනවා. අපත් එසේ කළ යුතුයි. කොහොමවුණත් හොඳ පුරුදුවලට ඇතුළත් වන දේවල් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ඒ නිසා පුරුදු සම්බන්ධයෙන් දැඩි නීති ඇතුව සිටීම සුදුසු නැහැ. ඒ වෙනුවට දෙවි ලබා දී තිබෙන ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ලෝකයේ සිටින ඕනෑම කෙනෙකුට ගෞරව කරන්න අපට හැකියි. අචාරශීලී වීම දේවසේවයටද ප්‍රයෝජනවත්. දැන් අපි ඒ ගැන සලකා බලමු.

ආචාර කර, කතා කරන්න

8, 9. (අ) නරක පුරුද්දක් බවට පත් විය හැක්කේ කුමක්ද? (ආ) මිනිසුන් සමඟ කටයුතු කරද්දී යේසුස්ගේ වචන අපට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

8 අද සිටින බොහෝදෙනා කාර්යබහුලයි. ඒ නිසා තමන්ට මුණගැසෙන කෙනෙකුට වචනයක්වත් නොපවසා ඔහුව පසුකරගෙන යාම අද සුළභව දකින්න ලැබෙන දෙයක්. නමුත් විශාල සෙනඟක් ගැවසෙන පාරක ගමන් කරන විට අපට හමු වන සියලුදෙනා සමඟම කතා කරන්න බැරි බව ඇත්තයි. නමුත් එසේ කළ හැකි වෙනත් බොහෝ අවස්ථා අපට උදා වෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ට ආචාර කිරීම ඔබ පුරුද්දක් කරගෙන තිබෙනවාද? නැත්නම් ඔබ අහක බලාගෙන යනවාද? සමහරවිට එවැනි අවස්ථාවක කතා නොකර යන්නේ වැරදි චේතනාවකින් නොවෙන්න පුළුවන්. නමුත් පසුකාලීනව ඒ ක්‍රියාව පුරුද්දක් බවට පත් විය හැකියි.

9 යේසුස් මෙසේ පැවසුවා. ‘ඔබ සුබ පතන්නේ ඔබේ සහෝදරයන්ට පමණක් නම් එහි ඇති විශේෂත්වය කුමක්ද? වෙනත් ජාතීන් පවා ඒ දේම කරනවා නොවෙයිද?’ (මතෙ. 5:47) හොඳින් අදහස් හුවමාරු කිරීම ගැන උපදේශකයෙක් වන ඩොනල්ඩ් වයිස්ද මෙවැනි අදහසක් පල කරනවා. ‘කෙනෙකුව නොදැක්ක ගානට ඔහුව පහු කරගෙන යනවාට කවුරුත් කැමති නැහැ. එහෙම කරන්න සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නත් බැහැ. කරන්න තියෙන්නේ සුළු දෙයක්. ඒ, හමු වන අයට අචාර කර ඔවුන් එක්ක කතා කිරීමයි.’ අප මිත්‍රශීලී අය නම් අපට හමු වන අයට ආචාර කර ඔවුන් සමඟ කතා කරන්න අප ආශා කරනවා. ඉන් අපට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

10. හොඳ පුරුදු ඇති කරගැනීම දේවසේවයට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? ( “සුහද සිනහවකින් ආරම්භ කරන්න” යන කොටුව බලන්න.)

10 හොඳ පුරුදු ඇති කරගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. උතුරු ඇමරිකාවේ විශාල නගරයක ජීවත් වන ටොම් සහ කැරල්ගේ මේ අද්දැකීමෙන් ඒ බව පැහැදිලියි. ඔවුන් අසල්වාසීන් සමඟ ශුභාරංචිය බෙදාගන්න විශේෂ ක්‍රමයක් යොදාගන්නවා. යාකොබ් 3:18 ගැන සඳහන් කරමින් ටොම් මෙසේ පවසනවා. ‘නිවෙස්වල මිදුලට වෙලා ඉන්න අයත් එක්කත් ඒ පැත්තේ වැඩ කරන අයත් එක්කත් අපි ටිකක් කතා කරනවා. මුලින්ම අපි ඔවුන් එක්ක හිනා වෙලා ඔවුන්ට ආචාර කරනවා. පස්සේ ඔවුන්ගේ දරුවන්, නිවෙස්, රැකියාවන්, සුරතලුන් වැනි ඔවුන් උනන්දු වන දේවල් ගැන කතා කරනවා. ඊට පස්සේ ඔවුන් අපිත් එක්ක යාලු වෙනවා.’ කැරල්ද මෙසේ පවසනවා. ‘ආයෙත් වතාවක් ඔවුන්ව මුණගැසුණාම අපි අපේ නම් ඔවුන්ට කියනවා. ඔවුන්ගේ නම් මොනවාද කියලත් අපි අහනවා. ඊට පස්සේ අපි කරන සේවය ගැන කෙටියෙන් ඔවුන්ට කියලා ඔවුන් එක්ක ශුභාරංචිය බෙදාගන්නවා.’ මේ යුවළ ඔවුන්ගේ අසල්වාසීන් බොහෝදෙනෙකු සමඟ ඒ ආකාරයට මිත්‍ර වී තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් ප්‍රකාශන ලබාගෙන තිබෙන අතර කිහිපදෙනෙක් බයිබලය ගැන ඉගෙනගන්නද කැමති වී තිබෙනවා.

දුෂ්කර අවස්ථාවලදීත් කරුණාව පෙන්වීම

11, 12. සේවයේදී විරුද්ධවාදිකම් පැමිණෙයි කියා අප බලාපොරොත්තු විය යුත්තේ ඇයි? එවැනි අවස්ථාවලදී අප ක්‍රියා කළ යුත්තේ කොහොමද?

11 දේවසේවයේදී මනුෂ්‍යයන් අපට අකරුණාවන්තව සලකන අවස්ථා තිබෙනවා. එවැනි ප්‍රතිචාර අප බලාපොරොත්තු වෙන්න අවශ්‍යයි. මන්ද යේසුස් මෙසේ අනතුරු අඟවා තිබෙනවා. ‘ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.’ (යොහ. 15:20) අපට බැණවදින අයට අපත් බැණවදිනවා නම් ඉන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අප ක්‍රියා කළ යුතු ආකාරය ගැන පේතෘස් මෙසේ පවසනවා. ‘ඔබේ හදවත්වලින් ක්‍රිස්තුස්ව ස්වාමීන් ලෙස පිළිගෙන ශුද්ධ කෙනෙකු ලෙස ඔහුට ගෞරවය දෙන්න. ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි. එවැනි අවස්ථාවකදී මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.’ (1 පේතෘ. 3:15) එලෙස අපි මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් ක්‍රියා කරනවා නම් අපට විරුද්ධවාදිකම් පාන අයගේ ආකල්ප වෙනස් වීමට ඉඩ තිබෙනවා.—තීත. 2:7, 8.

12 මිනිසුන් අපට කරන අපහාස විඳදරාගනිමින් දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා අපට කළ හැකි දේ පාවුල් මෙසේ පවසනවා. ‘නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.’ (කොලො. 4:6) අපි අපගේ පවුලේ අයට, රැකියා ස්ථානයේ අයට, සභාවේ අයට හා අසල්වාසීන්ට ගෞරවය ලබා දෙමින්, ඔවුන් සමඟ කතා කිරීම පුරුද්දක් කරගනිමු. එම පුරුද්ද නිසා කෙනෙක් අපට නින්දා කරන විටත් උසුළුවිසුළු කරන විටත් එකට එක නොකර සිටින්න අපට හැකියි.රෝම 12:17-21 කියවන්න.

13. දුෂ්කර අවස්ථාවකදී ආචාරශීලී වීමේ ඇති වැදගත්කම පෙන්වන උදාහරණයක් දෙන්න.

13 දුෂ්කර අවස්ථාවකදී වුණත් ආචාරශීලී වීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. උදාහරණයකට ජපානයේ සිටින සහෝදරයෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඔහු දිනක් දේවසේවයේ යද්දී නිවෙස් හිමියෙක් හා එම නිවසට පැමිණ සිටි අමුත්තෙක් බැණවැදුණා. නමුත් ඔහු සිනා මුසු මුහුණෙන් ඒ නිවසින් පිට වී අනික් නිවසට ගියා. ඔහු කලින් ගිය නිවසේ සිටි අමුත්තා ඈතින් සිට තමා දෙස බලා සිටිනවා ඔහු දැක්කා. පසුව මේ සහෝදරයා ඔහු ළඟට යද්දී ඔහු මෙහෙම කිව්වා. “සිද්ධ වුණ දේ ගැන මට හරිම කනගාටුයි. අපි ඔයාට බැන්නත් ඔයාගේ මුහුණේ කිසිම දුකක් තිබුණේ නැහැ. මමත් ආසයි එහෙම ඉන්න.” ඒ වන විට ඒ පුද්ගලයාගේ රැකියාව ඔහුට අහිමි වෙලා තිබුණා. ඒ වගේම ඔහුගේ මවද දින කිහිපයකට කලින් මිය ගොස් තිබුණා. ඒ නිසා ඔහු සිටියේ කිසිම බලාපොරොත්තුවක් නැතුවයි. ඊට පසු මේ සහෝදරයා බයිබලය ගැන ඉගෙනගන්න කියා ඔහුට ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගත් ඔහු සතියට දෙවතාවක් බයිබල් පාඩම කළා.

හොඳ පුරුදු ඇති කරගත හැකි හොඳම ක්‍රමය

14, 15. පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් තම දරුවන්ව පුහුණු කළේ කොහොමද?

14 තම දරුවන්ට හොඳ පුරුදු කියා දෙන්න දෙමාපියන් බොහෝ සේ උනන්දු වෙනවා. පුරාණයේ සිටි දෙවිට ගරුබිය දක්වන දෙමාපියන්ද එසේ කළා. උත්පත්ති 22:7හි සඳහන්ව ඇති ආබ්‍රහම් හා ඔහුගේ පුත් ඊසාක් එකිනෙකා සමඟ කතා කරගත් ආකාරය ඊට එක් උදාහරණයක්. යෝසෙප්ද ඔහුගේ දෙමාපියන්ගෙන් හොඳ පුරුදු ඉගෙනගත්තා. ඔහු සිරගෙදර සිටින විට එහි සිටි සෙසු සිරකරුවන්ට කාරුණිකව සැලකුවේ ඒ නිසයි. (උත්. 40:8, 14) උසස් නිලයක් දරන කෙනෙකුට කතා කරන ආකාරය යෝසෙප් ඉගෙනගෙන තිබුණු බව ඔහු පාරාවෝ සමඟ කතා කළ ආකාරයෙන් පැහැදිලියි.—උත්. 41:16, 33, 34.

15 දරුවන් ඇති කරගත යුතු හොඳ පුරුදු ගැනද බයිබලයේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවි දසපනත ලබා දුන් විට ඊට මෙවැනි ආඥාවක්ද එකතු කළා. “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.” (නික්. 20:12NW) නිවසේදී හොඳින් හැසිරීමෙන් දෙමාපියන්ට ගෞරව කරන බව පෙන්වන්න දරුවන්ට පුළුවන්. යෙප්තාගේ දුව ඊට කදිම ආදර්ශයක්. ඇයට බොහෝ දේවල් කැප කරන්න සිදු වුණත් ඇගේ පියා යෙහෝවා දෙවිට කළ පොරොන්දුව ඉටු කිරීමට ඉඩ සැලසීමෙන් ඇය තම පියාට ගෞරව කරන බව පෙන්නුවා.—විනි. 11:35-40.

16-18. (අ) දරුවන්ට හොඳ පුරුදු ඉගැන්වීමට දෙමාපියන්ට පුළුවන් කොහොමද? (ආ) ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

16 දරුවන්ට හොඳ පුරුදු කියා දීම ඉතාමත් වැදගත්. අන් අයට ආචාර කරන ආකාරය, දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන ආකාරය හා අන් අය සමඟ එකට ආහාර වේලක් ගන්නා නිවැරදි ආකාරය ගැන දරුවන් ඉගෙනගත යුතුයි. එමෙන්ම වයස්ගත කෙනෙකුට හා අසනීපයෙන් සිටින කෙනෙකුට කාරුණිකව සැලකීම, බර දෙයක් උසුලාගෙන යන කෙනෙකුට උපකාර කිරීම වැනි දේවල වැදගත්කමද දරුවන් තේරුම්ගත යුතුයි. ඒ විතරක් නොවෙයි “මම ඔයාට උදව් කරන්නද?,” “මට සමාවෙන්න,” “ස්තුතියි” වැනි දේ පැවසීමේ ඇති වැදගත්කමත් යමක් ඉල්ලීමේදී කාරුණික වීමේ ඇති වැදගත්කමත් ඔවුන් වටහා ගත යුතුයි. එවිට ඔවුන් වැඩිහිටියන් වූ පසුවත් ඒ පුරුදු ඔවුන්ට ප්‍රයෝජනවත් වෙනවා.

17 එවැනි පුරුදු දරුවන්ට ඉගැන්වීම අපහසු දෙයක් නොවෙයි. එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ දෙමාපියන් ආදර්ශවත් වීමයි. විසිපස්වන වියේ පසු වන කර්ට්, ඔහුත් ඔහුගේ සහෝදරයන් තුන්දෙනාත් හොඳ පුරුදු ඉගෙනගත් ආකාරය ගැන මෙසේ පවසනවා. “අපේ අම්මයි තාත්තයි එකිනෙකාට කතා කරගත්තේ කාරුණිකවයි. ඒ වගේම ඔවුන් අනික් අය එක්ක ඉවසීමෙන් වැඩ කරමින් ඔවුන්ට ගෞරව කළා. රාජ්‍ය ශාලාවේදී තාත්තා වැඩිහිටි සහෝදර සහෝදරියන් එක්ක කතා කරද්දී මාවත් අරගෙන ගියා. තාත්තා ඒ අයට ආචාර කරන හැටි, ඔවුන්ට ගෞරවයෙන් සලකපු හැටි මම දැක්කා. කාලයක් යද්දී මමත් ඒ පුරුදුම ඇති කරගත්තා. ඊට පස්සේ අනික් අයට ගෞරව කරන්න මම නිරායාසයෙන්ම පෙලඹුණා. ඒක අවශ්‍ය නිසා කළ යුතු දෙයක් නෙමෙයි, කැමැත්තෙන්ම කරන්න අවශ්‍ය දෙයක්.”

18 දෙමාපියන් තම දරුවන්ට හොඳ පුරුදු ඉගැන්වීමෙන් දරුවන්ද ප්‍රයෝජන ලබනවා. හොඳ මිතුරන් ඇති කරගන්නත් අන් අය සමඟ සමාදානයෙන් සිටින්නත් එමගින් ඔවුන්ට හැකි වෙනවා. ඒ වගේම රැකියා ස්ථානයේ ස්වාමියා හා සෙසු සේවකයන් සමඟ හොඳින් වැඩ කරන්නත් ඔවුන්ට එය උපකාරයක්. එලෙස දරුවන් හොඳ පුරුදු ඇතුව දෙවිගේ ප්‍රමිති රකිමින් ජීවත් වන විට එය දෙමාපියන්ට සන්තෝෂය හා තෘප්තිය ලබා දෙනවා.හිතෝපදේශ 23:24, 25 කියවන්න.

හොඳ පුරුදු වෙනසක් ඇති කරයි

19, 20. යෙහෝවා දෙවිගේ සහ ඔහුගේ පුත්‍රයාගේ ආදර්ශ අනුකරණය කළ යුත්තේ ඇයි?

19 ‘ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න’ කියා පාවුල් සඳහන් කළා. (එෆී. 5:1) යෙහෝවා දෙවිව හා යේසුස්ව අනුකරණය කිරීමට නම් අප බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත යුතුයි. එවන් ප්‍රතිපත්ති කිහිපයක් අප මෙම ලිපියේ සාකච්ඡා කළා. අප ඒවා අදාළ කරගන්නවා නම් උසස් කෙනෙකුගේ ප්‍රසාදය දිනාගැනීමට හෝ වෙනත් වාසි ප්‍රයෝජන ලබාගැනීමට පමණක් අප කාරුණික ක්‍රියා කරන්නේ නැහැ.—යූද් 16.

20 තම පාලනයේ අන්තිම කාලය වන අදදින සාතන් උපරිමයෙන් වෑයම් කරන්නේ යෙහෝවා දෙවි ඇති කර තිබෙන හොඳ පුරුදු නැති කර දමන්නයි. නමුත් සැබෑ ක්‍රිස්තියානීන් තුළ ඇති හොඳ පුරුදු සම්පූර්ණයෙන්ම නැති කරන්න සාතන්ට හැකි වන්නේ නැහැ. ඒ නිසා අපි සියලුදෙනාම අපගේ ප්‍රේමණීය දෙවි යෙහෝවා හා ඔහුගේ පුත්‍රයාගේ ආදර්ශය අනුකරණය කිරීමට අදිටන් කරගනිමු. එවිට නරක පුරුදු ඇති කරගෙන සිටින අයට වඩා අප බොහෝ සේ වෙනස් බව කැපීපෙනෙනවා. එමෙන්ම අපගේ හැසිරීම දකින සමහර අයද දෙවිට නමස්කාර කිරීමට පෙලඹෙන බව නිසැකයි. එමගින් හොඳ පුරුදු අපට ඉගැන්වූ අපේ දෙවි යෙහෝවාට ප්‍රශංසාව ලැබෙනවා.

[පාදසටහන]

^ 6 ඡේ. වැඩිහිටියෙකුගේ කැමැත්තක් නොමැතිව ඔහුට ඔහුගේ මුල් නම කියා ඇමතීම සමහර සංස්කෘතීන්වල නරක පුරුද්දක් ලෙස සලකනවා. එවැනි චාරිත්‍රවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද ගරු කරනවා.

ඔබට මතකද?

• හොඳ පුරුදු සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගෙන් සහ යේසුස්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

• අපට හමු වන අයට ආචාර කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

• කරුණාවන්ත වීම දේවසේවයට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

• දරුවන්ට හොඳ පුරුදු ඉගැන්වීමට දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ කොටුව]

 සුහද සිනහවකින් ආරම්භ කරන්න

හඳුනන්නේ නැති කෙනෙකු සමඟ කතා කරන්න බොහෝදෙනා අදිමදි කරනවා. නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් ඊට වඩා වෙනස්. දෙවිටත් අසල්වාසීන්ටත් ඇති ප්‍රේමය නිසා බයිබලයේ ඇති තොරතුරු අන් අය සමඟ බෙදාගන්න ඔවුන් උපරිමයෙන් වෑයම් කරනවා. ඒ නිසා අන් අය සමඟ සුහදව කතා කළ හැකි ආකාරය ඔවුන් ඉගෙනගන්නවා. ඔබටත් එසේ කළ හැකිද?

ඔබට ඒ සඳහා උපකාරවත් වන වටිනා ප්‍රතිපත්තියක් ෆිලිප්පි 2:4හි මෙසේ සඳහන් වෙනවා. ‘ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.’ ඊට එකඟව අපටත් අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන්න පුළුවන්. පළමුවතාවට ඔබට මුණගැසෙන කෙනෙක් ඔබව සලකන්නේ අමුත්තෙක් ලෙසයි. එවැනි කෙනෙකු සමඟ කතා කිරීමට මුල් පියවර ගන්න පුළුවන් කොහොමද? සුහද සිනහව හා ආචාර කිරීම ඒ සඳහා උපකාරවත් විය හැකියි. ඊට පසුව කළ යුතු දේවල්ද තිබෙනවා.

ඔබ කෙනෙක් සමඟ කතා කරන්න යද්දී ඔහු වෙනත් කල්පනාවක සිටිනවා විය හැකියි. ඒ නිසා ඔබ කතා කිරීමට සිතාගෙන සිටි දේ ඔහු සමඟ කතා කරනවා වෙනුවට ඔහු කල්පනා කරමින් සිටියේ කුමක්ද කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. එය යොදාගෙන ඔහු සමඟ සංවාදයක් ආරම්භ කරද්දී ඔහු ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. යේසුස් ළිඳක් අසල සිටි සමරිතානු ස්ත්‍රියකට කතා කළ අවස්ථාවේ එවැනි දෙයක් කළා. (යොහ. 4:7-26) ඇය ඒ මොහොතේ කල්පනා කරමින් සිටියේ වතුර ගැන නිසා එම විෂය යොදාගෙන යේසුස් සංවාදයක් ආරම්භ කළා. ඒ නිසා දෙවි ගැන ඇය සමඟ කතා කරන්න යේසුස්ට හැකි වුණා.

[26වන පිටුවේ පින්තූර]

මිත්‍රශීලී වීමෙන් හොඳ සාක්ෂියක් දීමට අපට හැකියි

[28වන පිටුවේ පින්තූරය]

හොඳ පුරුදු සෑමවිටම ප්‍රයෝජනවත්