Skip to content

පටුනට යන්න

ප්‍රශ්න ගැටලු මැද ප්‍රීතියෙන් සිටින්න

ප්‍රශ්න ගැටලු මැද ප්‍රීතියෙන් සිටින්න

ප්‍රශ්න ගැටලු මැද ප්‍රීතියෙන් සිටින්න

“[යෙහෝවා දෙවිගේ] රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය. සදහටම ඔවුහු සතුටින් ප්‍රීති ඝෝෂා නඟති.”—ගීතා. 5:11, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) අද දින ඇති වන විපත් සමහරක් මොනවාද? (ආ) විපත්වලට අමතරව ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන්නේ කුමකටද?

මිනිසුන්ට පොදුවේ ඇති වන විපත් එනම් අපරාධ, යුද්ධ, අයුක්තිය, ස්වාභාවික විපත්, දිලිඳුකම, අසනීප හා වසංගත වැනි දේවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද මුහුණ දෙනවා. ඉන් පැහැදිලි වන්නේ ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටින බවයි.’ (රෝම 8:22) එමෙන්ම වැරදි කිරීමට අපට ඇති නැඹුරුවාව නිසාත් අප දුක් වේදනාවලට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවලදී දාවිත් මෙන් සමහරවිට අපත් මෙසේ පවසනවා විය හැකියි. “මා කළ වැරදි මාගේ හිසටත් ඉහළින් තිබේ. විශාල බරක් මෙන් ඒවා මා පිට තිබේ. මට එය දරාගත නොහැක.”—ගීතා. 38:4NW.

2 ඉහත සඳහන් කළ විපත්වලට මුහුණ දෙනවාට අමතරව සැබෑ ක්‍රිස්තියානීන්ට වධකණුවක්ද උසුලාගෙන යෑමට සිදු වී තිබෙනවා. (ලූක් 14:27) එනම් යේසුස් මෙන් මිනිසුන්ගේ පීඩාවලට හා වෛරයට ලක් වීමට සිදු වී තිබෙනවා. (මතෙ. 10:22, 23; යොහ. 15:20; 16:2) ඊට මුහුණ දීමට නම් දැඩි උත්සාහයක් දැරීමත් විඳදරාගැනීමත් අවශ්‍යයි. මන්ද පාරාදීස පොළොවේදී ඒ සියලු දේවල් අවසන් වීමට නියමිතයි.—මතෙ. 7:13, 14; ලූක් 13:24.

3. සැබෑ ක්‍රිස්තියානීන් දිගටම දුකෙන් සිටීම, දෙවිගේ කැමැත්ත නොවන බව අප දන්නේ කොහොමද?

3 සැබෑ ක්‍රිස්තියානීන් මේ දුෂ්ට සමාජය විනාශ වන තුරු සිටිය යුත්තේ දුකෙන්ද? නැහැ. දෙවිගේ පොරොන්දු ඉටු වන තුරු බලා සිටින අතරතුරේදී ඔහුගේ සෙනඟ සන්තෝෂයෙන් සිටිනවා දකින්න ඔහු කැමතියි. ඒ බව බයිබලයේ බොහෝ ස්ථානවල සඳහන් වී තිබෙනවා. (යෙසායා 65:13, 14 කියවන්න.) ඒ ගැන ගීතාවලිය 5:11 [NW]හි මෙසේ සඳහන් වෙනවා. “[යෙහෝවා දෙවිගේ] රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය. සදහටම ඔවුහු සතුටින් ප්‍රීති ඝෝෂා නඟති.” අප විපත්වලට මුහුණ දුන්නත් ප්‍රීතිය ලබන්න, මනසේ සාමය ඇතුව සිටින්න සහ ලද දෙයින් සෑහීමට පත් වෙන්න අපට පුළුවන්. ඒ සම්බන්ධයෙන් බයිබලය අපට උපකාර කරන ආකාරය දැන් අපි සලකා බලමු.

‘ප්‍රීතිමත් දෙවි’ යෙහෝවා

4. කෙනෙක් තමන්ට විරුද්ධ වන විට ඒ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

4 ප්‍රීතියෙන් සිටීම ගැන යෙහෝවා දෙවිගේ ආදර්ශය සලකා බලන්න. ඔහු සියලු බලැති දෙවි නිසා මුළු විශ්වයම පවතින්නේ ඔහු යටතේයි. එමෙන්ම ඔහුට කිසිම දෙයකින් අඩුවක් නැහැ. ඔහුට කිසි කෙනෙකුගේ පිහිටක් අවශ්‍ය වන්නේද නැහැ. දෙවිට එවැනි අති මහත් බලයක් තිබුණත් ස්වර්ගයේ සිටින ඔහුගේ පුත්‍රයෙක් ඔහුට විරුද්ධව ක්‍රියා කිරීමෙන් සාතන් බවට පත් වූ විට දෙවිට යම් දුකක් දැනෙන්න ඇති. ඉන්පසු තවත් දේවදූතයන්ද සාතන්ට එකතු වුණා. ඒ විතරක් නොවෙයි පොළොවේ සිටි දෙවිගේ උසස්ම නිර්මාණය වන මුල් මිනිස් යුවළද දෙවිට අකීකරු වුණා. පසුව ඔවුන්ගෙන් පැවතෙන තවත් බිලියන ගණන් දෙනෙක් දෙවිව ප්‍රතික්ෂේප කළා. ඒ සියල්ල නිසා දෙවිට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද!—රෝම 3:23.

5. යෙහෝවා දෙවි බොහෝ සෙයින් දුක් වන්නේ කුමක් සිදු වන විටද?

5 සාතන් තවමත් දෙවිට විරුද්ධව ක්‍රියා කරමින් සිටිනවා. ඒ නිසා වසර 6,000ක් පුරා රූප වන්දනාව, අපරාධ, මිනී මැරුම් හා අනාචාර ක්‍රියා සිදු වෙනවා යෙහෝවා දෙවි දැක තිබෙනවා. (උත්. 6:5, 6, 11, 12) එමෙන්ම තමන්ට විරුද්ධව මිනිසුන් බොරු කියන ආකාරයත් අපහාස කරන ආකාරයත් ඔහුට ඇසෙනවා. ඔහුගේ සේවකයන් පවා යම් යම් අවස්ථාවලදී ඔහුව වේදනාවට පත් කර තිබෙනවා. එවැනි එක් අවස්ථාවක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් පාළුකරයේදී කොපමණ වාර ගණනක් ඔහුට විරුද්ධව කැරලිගැසුවාද! කාන්තාරයේදී කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වාද! ඔවුහු දිගින් දිගටම දෙවිගේ ඉවසීම පරීක්ෂාවට ලක් කළෝය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ සිතට වේදනා ඇති කළෝය.” (ගීතා. 78:40, 41NW) තම සෙනඟ එලෙස තමාට විරුද්ධ වන විට යෙහෝවා දෙවිට දැනෙන්නේ මහත් වේදනාවක්. (යෙරෙ. 3:1-10) ඉන් පැහැදිලි වන්නේ සෑම තැනකම සිදු වන නරක දේවල් දකින යෙහෝවා දෙවි ඒ ගැන බොහෝ සේ දුක් වන බවයි.—යෙසායා 63:9, 10 කියවන්න.

6. වේදනාකාරී දේවල් සිදු වන විට දෙවි ක්‍රියා කරන්නේ කොහොමද?

6 නරක දේවල් සිදු වන විට දෙවි වේදනාවට පත් වුණත් ඔහු ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගෙන සිටින්නේ නැහැ. බරපතළ තත්වයන් උද්ගත වන සමහර අවස්ථාවලදී ඉන් සිදු වන හානිය අවම කිරීමට ඒ අවස්ථාවේදීම දෙවි පියවර ගෙන තිබෙනවා. එමෙන්ම අනාගතයේදී ඔහුගේ කැමැත්ත සම්පූර්ණයෙන් ඉටු කිරීමටද දෙවි අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ සියල්ල කිරීමෙන් පසු, මුළු විශ්වය පාලනය කිරීමට තමන්ට ඇති අයිතිය තහවුරු වන කාලය එනතුරු හා එමගින් තමන්ට නමස්කාර කරන අයට ලැබෙන ආශීර්වාද ගැන ඔහු ප්‍රීතියෙන් බලා සිටිනවා. (ගීතා. 104:31) තමාට කොතරම් නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වුණත් යෙහෝවා දෙවි සිටින්නේ ඉතා ප්‍රීතියෙනුයි.—1 තිමෝ. 1:11; ගීතා. 16:11.

7, 8. ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට අපට යෙහෝවා දෙවිව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

7 යෙහෝවා දෙවි මෙන් ගැටලු විසඳීමේ හැකියාව අපට නැති බව ඇත්තයි. නමුත් අපට ඒ සම්බන්ධයෙන් ඔහුව අනුකරණය කරන්න පුළුවන්. අප සිතන ආකාරයෙන් දේවල් සිදු නොවන විට අපට දුකක් දැනුණත් දිගටම එසේ සිටින්න අවශ්‍ය නැහැ. ඊට හේතුව අපව නිර්මාණය කර තිබෙන්නේ දෙවිගේ ගතිලක්ෂණ ඇතුව නිසා අපට සිතීමේ හා ඥානවන්ත තීරණ ගැනීමේ හැකියාව තිබීමයි. ඒ නිසා අප මුහුණ දෙන ගැටලුව ගැන හොඳින් කල්පනා කිරීමටත් එය විසඳීමට හැකි අවස්ථාවලදී සුදුසු පියවර ගැනීමටත් අපට හැකියි.

8 ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දීමට උපකාරවත් වන වැදගත් දෙයක් වන්නේ සමහර දේවල් පාලනය කිරීමට අපට හැකියාවක් නොමැති බව තේරුම්ගැනීමයි. එවැනි දේවල් ගැන දුක් වීමෙන් සිදු වන්නේ අපගේ කලකිරීම තවත් වැඩි වීම පමණයි. එවිට සැබෑ නමස්කාරයෙන් අප ලබන ප්‍රීතිය අපෙන් ගිලිහී යන්න පුළුවන්. අපට ඇති ගැටලුව විසඳගන්න අවශ්‍ය පියවර ගැනීමෙන් පසු ඒ ගැන පමණට වඩා කල්පනා කරනවා වෙනුවට හොඳ ප්‍රතිඵල ලැබෙන දේවල් ගැන අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත්. එය පැහැදිලි කරන උදාහරණ දෙකක් අපි සලකා බලමු.

සාධාරණව කටයුතු කරන්න

9. හන්නා සාධාරණව කටයුතු කළේ කොහොමද?

9 අනාගතවක්තෘ සාමුවෙල්ගේ මව වන හන්නාගේ උදාහරණය සලකා බලන්න. මුලදී ඇයට දරුවන් නොසිටි නිසා ඇය සිටියේ මහත් දුකකින්. ඒ නිසා ඇයට බොහෝ නින්දා අපහාසවලටත් මුහුණ දීමට සිදු වුණා. ඇගේ දුක නිසා ඇය සමහර අවස්ථාවලදී නොකා නොබී හඬමින් සිටියා. (1 සාමු. 1:2-7) දවසක් හන්නා ශුද්ධස්ථානයට ගිය අවස්ථාවේදී “ඇගේ සිතේ තිබූ ශෝකය නිසා හඬහඬා යෙහෝවා දෙවිට යාච්ඤා කළා.” (1 සාමු. 1:10NW) ඉන්පසු උත්තම පූජක ඒලී ඇය ළඟට පැමිණ මෙසේ පැවසුවා. “දැන් ඉතින් සමාදානයෙන් යන්න. ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!” (1 සාමු. 1:17NW) තමාගේ ගැටලුව තමාට විසඳගන්න බැරි බව තේරුම්ගත් හන්නා තමාට හැකි දේ කරමින් සාධාරණව කටයුතු කළා. පසුව “ඇය එතැනින් පිටත්ව ගොස් කෑම කෑවාය. ඇය තවදුරටත් ඇගේ ප්‍රශ්නය ගැන කනස්සලු වූයේ නැත. ඇගේ මුහුණද මලානිකව නොතිබුණේය.”—1 සාමු. 1:18NW.

10. පාවුල් සාධාරණ ලෙස කටයුතු කළේ කොහොමද?

10 පාවුල්ගේ ආදර්ශයෙන්ද අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. ඔහුද යම් ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවකදී ඒ ගැන කල්පනා කරමින් දුක් වුණේ නැහැ. නමුත් ඔහු සිටියේ දැඩි වේදනාවකින්. ‘මගේ ශරීරයට ඇනී තිබෙන කටුවක්’ කියා ඔහු එය හැඳින්නුවේ ඒ නිසයි. (2 කොරි. 12:7) ඉන් මිදීමට පාවුල් ඔහුට හැකි සියල්ල කළා. ඒ ගැන සඳහන් කරමින් ඔහු දෙවිට තුන් වතාවක්ම යාච්ඤා කළා. තුන්වන අවස්ථාවෙන් පසු ඔහුට තිබුණු ගැටලුවට ආශ්චර්යයවත් ලෙස විසඳුමක් ලබා නොදෙන බව දෙවි ඔහුට පැවසුවා. ඉන්පසු පාවුල් දෙවිට උපරිමයෙන් සේවය කිරීමට තම සම්පූර්ණ අවධානය යොමු කළා.—2 කොරින්ති 12:8-10 කියවන්න.

11. ගැටලුවලට මුහුණ දීමට යාච්ඤාව අපට උපකාරවත් වන්නේ කොහොමද?

11 දෙවිට කිහිප විටක් යාච්ඤා කිරීමෙන් පසු තවදුරටත් එසේ නොකළ යුතු බව ඉහත උදාහරණවලින් අදහස් කරනවාද? නැහැ. (ගීතා. 86:7) ඒ වෙනුවට දේවවචනය අපගෙන් මෙසේ ඉල්ලා සිටිනවා. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.’ අප එසේ යෙහෝවා දෙවිට යාච්ඤා කරද්දී ඔහු ඊට පිළිතුරු දෙන ආකාරය ගැන බයිබලයේ මෙසේ පවසනවා. ‘ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’ (ෆිලි. 4:6, 7) සමහර අවස්ථාවලදී දෙවි අපගේ ගැටලු ආශ්චර්යයවත් ලෙස ඉවත් නොකරන්න පුළුවන්. නමුත් දෙවි, ගැටලුව ගැන කනස්සලු වීමෙන් ඇති වන හානිය තේරුම්ගන්න අපට උපකාර කරනවා. එලෙස ඔහු අපගේ මනස ආරක්ෂා කරනවා.

දෙවිගේ කැමැත්ත කිරීමෙන් ප්‍රීතිය ලබන්න

12. දිගටම කනස්සල්ලෙන් සිටීම ඉතා හානිකර දෙයක් වන්නේ ඇයි?

12 බොහෝ සේ අධෛර්යයට පත්ව ඇති අවස්ථාවලදී සමහර ක්‍රිස්තියානීන් දෙවිගේ වචනය කියවීම හා ඒ ගැන කල්පනා කිරීම නතර කර දමනවා. ඒ වගේම ඔවුන්ගේ යාච්ඤාද ඒකාකාරී වී තිබෙනවා. එමෙන්ම ඔවුන් සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කිරීමද නවතා දමන්න පුළුවන්. ඒ ගැන හිතෝපදේශ 24:10 [NW]හි මෙසේ පවසනවා. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” තවත් හිතෝපදේශයක “සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වෙයි” කියා පවසා තිබෙනවා. (හිතෝ. 15:13NW) එසේ දිගටම කනස්සල්ලෙන් සිටීම ඉතා හානිකර දෙයක් විය හැකියි.—හිතෝ. 18:1, 14.

13. කනස්සල්ලෙන් මිදීමටත් ප්‍රීතියෙන් සිටීමටත් අපට උපකාර කරන්නේ කුමක්ද?

13 ගැටලු නිසා දුක් වෙමින් සිටිනවා වෙනුවට ජීවිතයට ප්‍රයෝජනවත් දේවලට අවධානය යොමු කිරීමෙන් අපට ප්‍රීතියක් ලබන්න පුළුවන්. එසේ ප්‍රීතිය ලැබිය හැකි ආකාරයක් ගැන දාවිත් මෙසේ ලිව්වා. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි.” (ගීතා. 40:8NW) දේවවචනය කියවා එය හොඳින් සෝදිසි කරනවා නම් සන්තෝෂයෙන් සිටීමට අපට හැකි බව දෙවි පවසා තිබෙනවා. (ගීතා. 1:1, 2; යාකො. 1:25) ඇත්තෙන්ම රැස්වීම්වලින් හා බයිබලයෙන් දැනගන්න ලැබෙන “ප්‍රිය වදන්” අපට දිරිගැන්වීමක් හා අපගේ සිතට සුවයක් ගෙන දෙනවා. (හිතෝ. 12:25; 16:24NW) එමනිසා ගැටලු ඇති වන අවස්ථාවලදී අප මෙතෙක් සිදු කරමින් සිටි නමස්කාරයට සම්බන්ධ දේවල් නතර නොකිරීමට අපි වගබලා ගනිමු.

14. අපට ප්‍රීතියෙන් සිටීමට උපකාරවත් වන්නේ දෙවි ලබා දී ඇති කුමන පොරොන්දුවද?

14 ප්‍රීතියෙන් සිටීමට යෙහෝවා දෙවි අපට බොහෝ දේ සපයා දී තිබෙනවා. ගැලවීම ලබා දෙන බවට දෙවි දී ඇති පොරොන්දුවම අපට මහත් ප්‍රීතියක්. (ගීතා. 13:5) කුමන දේවලට මුහුණ දීමට සිදු වුණත් අප දෙවිගේ කැමැත්ත කිරීමට උනන්දු වෙනවා නම් ඔහු අපට ආශීර්වාද කරන බව ස්ථිරයි. (දේශනාකාරයා 8:12 කියවන්න.) දෙවිගේ පොරොන්දු කෙරෙහි හබක්කුක්ටද ස්ථිර විශ්වාසයක් තිබුණා. ඔහු එය මෙලෙස ප්‍රකාශ කළා. “අත්තික්කා ගසේ මල් හට නොගත්තත් මිදිවැල හා ඔලීව ගස පල නොදැරුවත් කෙත්වල අස්වැන්න නාස්ති වී ගියත් බැටළු රැළේ හා ගව රැළේ සතුන් විනාශ වී ගියත් යෙහෝවා දෙවි නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි. මට ගැලවීම ලබා දෙන දෙවි කෙරෙහි ප්‍රීති වන්නෙමි.”—හබ. 3:17, 18NW.

‘දෙවි ලෙස යෙහෝවාව පිළිගන්නා අය සන්තෝෂවත්’

15, 16. අනාගත ආශීර්වාද ලැබෙන තුරු ප්‍රීති වීමට යෙහෝවා දෙවි අපට ලබා දී ඇති සමහර දේවල් මොනවාද?

15 දෙවි පොරොන්දු වී ඇති ප්‍රීතිමත් අනාගතය අපට ලැබෙන තුරු ඔහු දැන් ලබා දී තිබෙන දේවල් ප්‍රීතියෙන් භුක්ති විඳිනවාට ඔහු කැමතියි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ජීවිත කාලය පුරාම යහපත කර සතුටු සිතින් සිටීම තරම් හොඳ දෙයක් නැති බව මම තේරුම්ගත්තෙමි. මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.” (දේශ. 3:12, 13NW) අප අන් අය වෙනුවෙන්ද ‘යහපත් දේවල්’ කළ යුතුයි. යේසුස්ද ගැනීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙන බව පැවසුවා. අපත් ප්‍රීතියෙන් සිටීමට නම් අපගේ සහකරුට, දරුවන්ට, දෙමාපියන්ට හා නෑදෑයන්ට කාරුණික ක්‍රියා කිරීම වැදගත්. (හිතෝ. 3:27) ඒ වගේම සභාවේ සහෝදර සහෝදරියන්ට කාරුණිකව සැලකීමෙන්, ආගන්තුක සත්කාරය පෙන්වීමෙන් හා සමාව දීමෙන් අපගේ ප්‍රීතිය බොහෝ සෙයින් වැඩි කරගන්න අපට පුළුවන්. ඒ ගැන දෙවිද සතුටු වෙනවා. (ගලා. 6:10; කොලො. 3:12-14; 1 පේතෘ. 4:8, 9) ඒ වගේම මහත් කැපවීමෙන් දේවසේවයේ හවුල් වීමද ප්‍රීතියට හේතුවක්.

16 ගැටලුවලට මුහුණ දෙන විට පවා දේශනාකාරයා පොතේ සඳහන් වන ලෙස කෑම බීම වැනි එදිනෙදා අප භුක්ති විඳින දේවලින්ද අපට ප්‍රීතියක් ලබන්න පුළුවන්. ඊට අමතරව අලංකාර හිරු බැස යෑමක්, වෙනත් ලස්සන දර්ශනයක්, සතුන් කරන සුරතල් දේවල් හා දෙවිගේ පුදුමාකාර වෙනත් නිර්මාණයන්වලින්ද අපට ප්‍රීතියක් ලැබිය හැකියි. ඉන් දෙවි කෙරෙහි අපට ඇති ගරුබියද ප්‍රේමයද තවත් වැඩි වෙනවා.

17. අනාගතයේදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට නම් අප කළ යුත්තේ කුමක්ද? අපට සහනයක් වන්නේ කුමක් දැන සිටීමද?

17 අප දෙවිට ප්‍රේම කරමින් ඔහුගේ ආඥාවලට කීකරු වෙමින් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසයක් තබනවා නම් අනාගතයේදී සදාකාලයටම ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳිය හැකියි. (1 යොහ. 5:3) අද අපට තිබෙන සහනය වන්නේ අප මුහුණ දෙන සෑම ගැටලුවක් ගැනම දෙවිට අවබෝධයක් ඇති බව දැන සිටීමයි. දාවිත් ඒ ගැන පැවසුවේ මෙසේයි. “මම ප්‍රීති වෙමි. ඔබ මට පෙන්වන මහත් ප්‍රේමය ගැන මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි. මන්ද මා විඳින දුක ඔබ දුටුවෙහිය. මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය.” (ගීතා. 31:7NW) යෙහෝවා දෙවි අපට ප්‍රේම කරන නිසා ඔහු අපව සියලු විපත්වලින් ගලවාගන්නා බව ස්ථිරයි.—ගීතා. 34:19.

18. දෙවිගේ සෙනඟ ප්‍රීතියෙන් සිටින්නේ ඇයි?

18 ප්‍රශ්න ගැටලු ඇති වන විට අපි අපගේ සන්තෝෂවත් දෙවි යෙහෝවාව අනුකරණය කරමින් ඔහු තම පොරොන්දු ඉටු කරන තුරු ඉවසීමෙන් බලා සිටිමු. එමෙන්ම කනස්සල්ලට පත් වීමෙන් දෙවිට කරන සේවය අඩු නොකරමු. අපගේ සිතීමේ හැකියාව හා ප්‍රඥාව යොදාගෙන ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දෙමු. අපගේ සිතුවිලි පාලනය කරගන්නත් ගැටලුව නිසා ඇති වී තිබෙන නරක ප්‍රතිඵල අවම කරගැනීමට අපට හැකි දේ කරන්නත් දෙවි අපට උපකාර කරන බව ස්ථිරයි. අප සියලුදෙනාම දෙවි ලබා දී ඇති සෑම දීමනාවක් ගැනම සතුටු වෙමු. ‘සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟයි.’ ඒ නිසා අපි ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමෙන් ප්‍රීතියක් ලබමු.—ගීතා. 144:15NW.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ගැටලුවලට මුහුණ දෙන විට යෙහෝවා දෙවිව අනුකරණය කරන්න අපට පුළුවන් කොහොමද?

• ගැටලුවලට මුහුණ දීමේදී සාධාරණව කටයුතු කිරීම උපකාරවත් වන්නේ කොහොමද?

• පීඩාකාරී අවස්ථාවකදී දෙවිගේ කැමැත්ත කිරීමෙන් සතුටක් ලබන්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවි අකමැති දේවල් සිදු වන විට ඔහු ඒ ගැන කනගාටු වෙනවා

[හිමිකම් විස්තර]

© G.M.B. Akash/​Panos Pictures

[18වන පිටුවේ පින්තූර]

අපට ප්‍රීතියෙන් සිටීමට අවශ්‍ය දේවල් දෙවි ලබා දී තිබෙනවා