මැඩගස්කරයටත් දෙවිගේ වචනය
මැඩගස්කරයටත් දෙවිගේ වචනය
මැඩගස්කරය පිහිටා තිබෙන්නේ අප්‍රිකානු මහද්වීපයෙන් කිලෝමීටර් 400ක් ගිණිකොන දෙසට වෙන්නයි. එය බිග් රෙඩ් අයිලන්ඩ් කියාද හඳුන්වනවා. එය ලොව හතරවන විශාලතම දූපත වන අතර එහි ජනයා කතා කරන්නේ ඉතා අලංකාරවත් භාෂාවක් වන මැලගසි භාෂාවයි. ඔවුන් වසර 170ක තරම් ඈත කාලයක සිට යෙහෝවා යන දෙවිගේ නම හොඳින් දැන සිටියා. ඊට හේතුව මැලගසි භාෂාවෙන් ඇති බයිබලයේ දෙවිගේ නම සඳහන් වී තිබීමයි. කෙසේවෙතත් මැලගසි භාෂාවට බයිබලය පරිවර්තනය කිරීම සඳහා දැඩි උත්සාහයක් හා කැප කිරීමක් කරන්න සිදු වුණා. එය සිදු වූ ආකාරය දැන් අපි බලමු.
මැලගසි භාෂාවට බයිබලය පරිවර්තනය කිරීම මුලින්ම ආරම්භ වුණේ මැඩගස්කරයට යාබද දූපතක් වන මුරුසියේයි. වර්ෂ 1813දී එහි සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් රොබට් ෆාක්වා මුලින්ම බයිබලයේ සුවිශේෂ පොත් පරිවර්තනය කිරීමට පටන්ගත්තා. පසුව ඔහු බයිබලය පරිවර්තනය කිරීම සඳහා එංගලන්තයෙන් මිෂනාරි ගුරුවරුන්ව ගෙන්වන ලෙස මැඩගස්කරයේ පළමුවන රාඩමා රජුට පැවසුවා.
වර්ෂ 1818 අගෝස්තු 18වනදා ඩේවිඩ් ජෝන්ස් සහ තෝමස් බෙවන් මිෂනාරිවරුන් ලෙස මුරුසියේ සිට මැඩගස්කරයේ ටොවාමසිනා නගරයට පැමිණියා. මැඩගස්කරයේ ජනයා ආගම දහමට ලැදී, මුතුන්මිත්තන්ට නමස්කාර කරන, සාම්ප්‍රදායික වත්පිළිවෙත් අනුගමනය කිරීමට බොහෝ සේ කැමති ජන පිරිසක් බව ඔවුන් තේරුම්ගත්තා.
ඉතා ඉක්මනින් ඔවුන් එහි පාසැලක් ආරම්භ කළ අතර ඔවුන්ගේ පවුල්වල අයවත් ටොවාමසිනාවලට ගෙන්වාගත්තා. නමුත් කනගාටුදායක ලෙස ඔවුන් සියලුදෙනාටම මැලේරියාව වැළඳුණා. ඒ නිසා ජෝන්ස්ගේ බිරිඳ හා දරුවා මිය ගිය අතර ඊට මාස දෙකකට පමණ පසු බෙවන් ඇතුළු ඔහුගේ පවුලේ සියලුදෙනාත් මිය ගියා. ඉතුරු වුණේ ඩේවිඩ් ජෝන්ස් පමණයි.
ඒ සියලු දේවල් මැද වුණත් ජෝන්ස් අධෛර්යයට පත් වුණේ නැහැ. ඔහුගේ අධිෂ්ඨානය වුණේ මැඩගස්කරයේ ජනයාට ඔවුන්ගේ භාෂාවෙන්ම බයිබලය ලබා දීමයි. නමුත් ඔහු තම සෞඛ්‍ය හොඳ අතට හරවාගැනීම සඳහා නැවත මුරුසියට ගියා. එහිදී ඔහු මැලගසි භාෂාව ඉගෙනගැනීමේ අසීරු කාර්යය ආරම්භ කළා. ඉන් ටික කාලයකට පසු ඔහු යොහන්ගේ සුවිශේෂය පරිවර්තනය කිරීමේ මූලික වැඩ කටයුතු ආරම්භ කළා.
ජෝන්ස් නැවත 1820 ඔක්තෝබර් මාසයේදී මැඩගස්කරයට පැමිණ එහි අගනුවර වන ඇන්ටනානාරිවෝවල පාසැලක් ආරම්භ කළා. නමුත් පාසැලට අවශ්‍ය පොත් පත්, කළු ලෑලි හා මේස පුටු නොතිබීම නිසා ළමුන්ට ඉගැන්වීම ඉතා දුෂ්කර දෙයක් වුණා. නමුත් ළමුන් ඉගෙනගැනීමට මහත් ආශාවෙන් සිටියා.
මාස හතකට පමණ පසු ජෝන්ස්ගේ උපකාරයට තවත් මිෂනාරිවරයෙක් වන ඩේවිඩ් ග්‍රිෆිත්ස් පැමිණියා. ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සිය නොබලා මැලගසි භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ මූලික වැඩ කටයුතුවල නිරත වුණා.
පරිවර්තන කටයුතුවල ආරම්භය
වර්ෂ 1820 ගණන්වල මුල් කාලය වන තුරු මැලගසි භාෂාව ලිවීමට භාවිත කළේ අරාබි හෝඩියයි. නමුත් එය කියවීමට හැකි වුණේ ඉතා සුළු පිරිසකටයි. ඒ නිසා මිෂනාරිවරුන් පළමුවන රාඩමා රජු සමඟ සාකච්ඡා කර අරාබි හෝඩිය වෙනුවට ඉංග්‍රීසි හෝඩිය යොදාගැනීමට අවසර ලබාගත්තා.
ඉන්පසු ග්‍රිෆිත්ස් සහ ජෝන්ස් 1823 සැප්තැම්බර් 10වන දින බයිබලය පරිවර්තනය කිරීම ආරම්භ කළා. ජෝන්ස් උත්පත්ති සහ මතෙව් පොත්ද ග්‍රිෆිත්ස් නික්මයාම සහ ලූක් යන පොත්ද පරිවර්තනය කළා. ඊට අමතරව ඔවුන් උදෑසන හා සවස පාසැලේ ඉගැන්වීමේ කටයුතුවලද නිරත වුණා. ඒ අතරතුර ඔවුන් භාෂා තුනකින් පල්ලියේ මෙහෙයන්ද පැවැත්වුවා. නමුත් ඒ සියල්ලට වඩා ඔවුන් වැඩි අවධානයක් දුන්නේ බයිබලය පරිවර්තනය කිරීමටයි.
ඔවුන් ශිෂ්‍යයන් 12දෙනෙකුගේ උපකාරය ඇතුව මාස 18ක් ඇතුළත සම්පූර්ණ ග්‍රීක ශුද්ධ ලියවිල්ල හා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ බොහෝ පොත් ප්‍රමාණයක් පරිවර්තනය කර අවසන් කළා. ඊළඟ වසරේදී ඔවුන් සම්පූර්ණ බයිබලයම පරිවර්තනය කර අවසන් කළා. නමුත් එහි සෝදුපත් කියවීමටත් අඩුපාඩු නිවැරදි කිරීමටත් අවශ්‍යව තිබුණා. ඊට උපකාර කිරීම සඳහා භාෂාව පිළිබඳ ප්‍රවීණයන් දෙදෙනෙක් වන ඩේවිඩ් ජොන්ස් සහ ජෝසෆ් ෆ්‍රීමන් එංගලන්තයේ සිට පැමිණියා.
බාධා ජය ගැනීම
බයිබලය පරිවර්තනය කිරීම අවසන් වූ පසු එය මුද්‍රණය කිරීම සඳහා 1826 නොවැම්බර් 21වන දින චාල්ස් හාවන්ඩන් මැඩගස්කරයට පළමු මුද්‍රණ යන්ත්‍රය රැගෙන පැමිණියා. නමුත් ඉන් මාසයක් ගත වීමෙන් පසු ඔහු මැලේරියාව වැළඳී මිය ගියා. ඒ නිසා මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා කරවීමට දන්නා කිසිවෙක් සිටියේ නැහැ. පසුව ස්කොට්ලන්තයෙන් පැමිණි ජේම්ස් කැම්රන් නමැත්තා මුද්‍රණ යන්ත්‍රයේ අත් පොත යොදාගෙන එය ක්‍රියා කරවන ආකාරය සොයාගත්තා. බොහෝ අත්හදා බැලීම්වලින් පසු කැම්රන් 1827 දෙසැම්බර් 4වනදා උත්පත්ති පොතේ පළමුවන පරිච්ඡේදයේ කොටසක් මුද්‍රණය කළා. *
රාඩමා රජ බයිබලයේ පරිවර්තන කටයුතුවලට බොහෝ සෙයින් සහයෝගය දැක්වූ කෙනෙක්. ඒ ගැන ඩේවිඩ් ජෝන්ස් මෙසේ පැවසුවා. “රාඩමා රජ ඉතා කාරුණික මෙන්ම මිත්‍රශීලී කෙනෙක්. ඔහු අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කරන්න හරිම කැමතියි. තම ජනයා රත්රන්,රිදී සොයනවාට වඩා අධ්‍යාපනය ලබනවාට ඔහු කැමති වුණා.” නමුත් 1828 ජූලි 27වන දින පළමුවන රාඩමා රජු මිය ගිය නිසා බයිබලයේ මුද්‍රණ කටයුතු තවත් පසුබෑමට ලක් වුණා. ඉන්පසු බලයට පත් වුණේ ඔහුගේ බිරිඳ වන පළමුවන රානාවලෝනායි. නමුත් ඇය තම පුරුෂයා මෙන් පරිවර්තන කටයුතු සඳහා සහයෝගය දැක්වුවේ නැහැ.
රානාවලෝනා රැජින බලයට පත් වීමෙන් පසු එංගලන්තයෙන් පැමිණි කෙනෙක් පරිවර්තන කටයුතු ගැන ඇය සමඟ කතා කිරීමට අවස්ථාවක් දෙන මෙන් ඇගෙන් ඉල්ලා සිටියා. නමුත් ඇය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ජනයාට ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂාවත් තවත් බොහෝ දේත් ඉගැන්විය යුතු බව මිෂනාරිවරුන් ඇයට පැවසූ අවස්ථාවකද ඇය මෙවැනි ප්‍රතිචාරයක් දැක්වුවා. “මේ අයට ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂාව උගන්වනවාට වඩා හොඳයි සබන් හදනවා වගේ ප්‍රයෝජනවත් දෙයක් උගන්වන්න පුළුවන් නම්.” බයිබලයේ පරිවර්තන කටයුතු අවසන් කිරීමට පෙර තමන්ව රටින් පිටමං කරයි කියා සිතූ කැම්රන් ඒ ගැන සිතා බැලීමට සතියක කාලයක් ඉල්ලා සිටියා.
සතියකට පසුව කැම්රන් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සබන් කැට දෙකක් සාදා එය රැජිනට ලැබෙන්න සැලැස්සුවා. මිෂනාරිවරුන් කළ එම ක්‍රියාව හා වෙනත් පොදු කටයුතු නිසා රැජින ඔවුන් ගැන සතුටු වුණා. ඉන් ප්‍රයෝජන ගත් මිෂනාරිවරුන් ඒ කාලය තුළ හෙබ්‍රෙව් ලියවිල්ලේ බොහෝ පොත් මුද්‍රණය කර අවසන් කළා.
බලාපොරොත්තු සුන් වීම
වර්ෂ 1831 මැයි මාසයේදී සියලුදෙනාවම පුදුමයට පත් කරවමින් රානාවලෝනා රැජින ආඥාවක් නිකුත් කළා. එය නම් තම යටත් වැසියන් කැමති නම් ඔවුන්ට ක්‍රිස්තියානීන් ලෙස බව්තීස්ම විය හැකි බවයි. ඉන්පසු සිදු වූ දේ ගැන මැඩගස්කරයේ ඉතිහාසය ගැන සඳහන් පොතක මෙසේ විස්තර කළා. ‘බොහෝදෙනෙක් බව්තීස්ම වුණා. ඊට විරුද්ධ වූ රැජිනගේ නිලධාරීන් ඇයට පැවසුවේ මේ ක්‍රියාව බ්‍රිතාන්‍යයට දක්වන පක්ෂපාතකමක් කියායි.’ ඒ නිසා රැජින එම ආඥාව නිකුත් කිරීමෙන් මාස හයකට පසු එය අවලංගු කළා.
රැජින තම තීරණ නිතර නිතර වෙනස් කරන නිසාත් ඇගේ නිලධාරීන් බයිබලය පරිවර්තනය
කිරීමට දක්වන විරෝධය වැඩි වුණ නිසාත් මිෂනාරිවරුන් මුද්‍රණ කටයුතු වේගවත් කළා. ඒ වන විටත් ග්‍රීක ශුද්ධ ලියවිල්ල මුද්‍රණය කර පිටපත් දහස්ගණනක් බෙදාහැර තිබුණා. කෙසේවෙතත් 1835 මාර්තු 1වන දින මුද්‍රණයට තවත් බාධාවක් ඇති වුණා. එනම් ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක් බවටත් ඔවුන් සතු පොත් පත් ආණ්ඩුවට භාර දිය යුතු බවටත් වූ ආඥාවක් නිකුත් කිරීමයි.රැජිනගේ ආඥාව නිසා බයිබලය මුද්‍රණය කිරීමේ වැඩවලට සහය වීමට මැඩගස්කරයේ ජනයාට නොහැකි වුණා. ඒ නිසා මිෂනාරිවරුන් කිහිපදෙනාට මුද්‍රණ කටයුතු අවසන් වන තුරු දිවා රෑ වෙහෙස නොබලා වැඩ කිරීමට සිදු වුණා. අවසානයේදී එනම්, 1835 ජූනි මාසයේදී මැලගසි භාෂාවෙන් සම්පූර්ණ බයිබලයම මුද්‍රණය කර අවසන් කළා.
තහනම අතරතුර පවා බොහෝ බයිබල් පිටපත් වේගයෙන් බෙදාහැරියා. ඉන් පිටපත් 70ක් ආරක්ෂා කර තැබීම සඳහා රහසිගතව වළලනු ලැබුවා. එය ඉතා ඥානවන්ත දෙයක් වුණා. ඊට හේතුව ඉන් වසරක් ඇතුළත මිෂනාරිවරුන් දෙදෙනෙක් හැර අනික් සියලුදෙනාටම රටින් පිට වීමට සිදු වීමයි. කොහොමවුණත් බිග් රෙඩ් අයිලන්ඩ් කියා හඳුන්වන මැඩගස්කරය පුරාම දෙවිගේ වචනය ව්‍යාප්ත වෙමින් තිබුණා.
ඔවුන් බයිබලයට ආදරෙයි
තමන්ගේම භාෂාවෙන් දෙවිගේ වචනය කියවීමට ලැබීම ගැන මැඩගස්කරයේ ජනයා කොයි තරම් සතුටු වන්න ඇද්ද! එම පරිවර්තනයේ යම් යම් අඩුපාඩු තිබුණත් එහි භාෂාව යල් පැන ගිය එකක් වුණත් මැඩගස්කරයේ බයිබලය නැති නිවසක් සොයාගැනීමට නැති තරම්. ඒ වගේම බොහෝදෙනා එය නිතිපතා කියවනවා. එම පරිවර්තනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ හෙබ්‍රෙව් ලියවිල්ල පුරාම යෙහෝවා යන දෙවිගේ නම සඳහන් වී තිබීමයි. එහි මුල් පිටපත්වල, ග්‍රීක ලියවිල්ලෙත් දෙවිගේ නම සඳහන්ව තිබුණා. ඒ නිසා මැඩගස්කරයේ ජනයා දෙවිගේ නම හොඳින් දැන සිටියා.
තම මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය කළ ග්‍රීක ශුද්ධ ලියවිල්ල කියවා සතුටු වන අය දුටු බේකර් මහතා මෙසේ පැවසුවා. ‘මම අනාවැකි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දෙවිගේ වචනය මේ රටින් කවදාවත් නැති වෙන එකක් නම් නැහැ.’ ඔහු පැවසූ දෙය සත්‍යක්. මැලේරියාවටවත් දුෂ්කර භාෂාවක් ඉගෙනගැනීමේ අභියෝගයටවත් ආණ්ඩුවේ තහනමටවත් දෙවිගේ වචනය මැඩගස්කරය පුරා ව්‍යාප්ත කිරීම නතර කිරීමට හැකි වුණේ නැහැ.
මැඩගස්කරයේ ජනයාට ප්‍රීති වීමට දැන් තවත් හේතුවක් තිබෙනවා. එනම් 2008 සිට ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය මැලගසි භාෂාවෙන් ලබාගත හැකි වීමයි. එය සරල භාෂාවකින් යුත් පහසුවෙන් තේරුම්ගත හැකි පරිවර්තනයක්. ඒ නිසා දැන් මැඩගස්කරයේ ජනයාට දෙවි ගැන නිවැරදි අවබෝධයක් ලබාගත හැකියි.—යෙසා. 40:8.
[පාදසටහන]
^ 14 ඡේ. මැලගසි භාෂාවෙන් මුලින්ම මුද්‍රණය කළේ දසපනත හා යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවයි. ඒ 1826 අප්‍රේල් හෝ මැයි මාසයේ මුරුසියේදීයි. නමුත් එහි පිටපත් බෙදාහැරියේ රාඩමා රජ පවුලේ අය හා ආණ්ඩුවේ නිලධාරීන් අතරේ පමණයි.
[31වන පිටුවේ පින්තූරය]
මැලගසි භාෂාවෙන් ඇති “නව ලොව පරිවර්තනය” යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරයි