Skip to content

පටුනට යන්න

සදහටම පවතින ප්‍රේමය වර්ධනය කරගනිමු

සදහටම පවතින ප්‍රේමය වර්ධනය කරගනිමු

සදහටම පවතින ප්‍රේමය වර්ධනය කරගනිමු

‘ප්‍රේමය සියල්ල විඳදරාගනියි. එය සදාතනිකයි.’—1 කොරි. 13:7, 8.

1. (අ) ප්‍රේමය ගැන මිනිසුන් සිතන ආකාරය අප දැනගන්නේ කොහොමද? (ආ) බොහෝදෙනෙක් උනන්දුව දක්වන්නේ කුමන දේවලටද?

ප්‍රේමය ගැන බොහෝදෙනා විවිධ මත පළ කරනවා. ඒ ගැන සඳහන් කරමින් ගීත පවා රචනා කර තිබෙනවා. ප්‍රේමය මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අද බොහෝ චිත්‍රපට හා පොත් පත්වල ඇත්තේ මනඃකල්පිත ප්‍රේම කතන්දරයි. අද සිටින මිනිසුන් තුළද දෙවි සහ අසල්වාසීන් කෙරෙහි සැබෑ ප්‍රේමයක් නැති තරම්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.’—2 තිමෝ. 3:1-5.

2. වැරදි දේට ප්‍රේම කිරීම ගැන බයිබලයේ දී ඇති අනතුරු ඇඟවීම් මොනවාද?

2 සෑම මිනිසෙකුටම ප්‍රේමය පෙන්වීමේ හැකියාව තිබෙනවා. නමුත් වැරදි දේවලට ප්‍රේම කිරීම ගැනත් එහි ඇති හානිය ගැනත් දෙවිගේ වචනය අපට අනතුරු අඟවනවා. (1 තිමෝ. 6:9, 10) උදාහරණයකට දේමස් ගැන සිතන්න. ඔහු කලක් පාවුල් සමඟ ඇසුරු කළත් පසුව, පවතින සමාජයේ දේවලට ප්‍රේම කිරීමට පටන්ගත්තා. (2 තිමෝ. 4:10) නමුත් ලෝකයට ප්‍රේම කිරීමේ ඇති භයානකකම ගැන යොහන් ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවා තිබෙනවා. (1 යොහන් 2:15, 16 කියවන්න.) විනාශ වීමට නියමිත මේ සමාජයේ තිබෙන දේවලට ප්‍රේම කරන කෙනෙකුට, දෙවිට ප්‍රේම කිරීමටත් ඔහු ලබා දී ඇති දේවල් අගය කිරීමටත් නොහැකියි.

3. අපට පහසු දෙයක් නොවන්නේ කුමක්ද? අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 අප මේ ලෝකයේ ජීවත් වුණත් එහි සිටින මිනිසුන් කරන වැරදි දේවලට සම්බන්ධ වන්නේ නැහැ. නමුත් ප්‍රේමය ගැන ඔවුන්ට තිබෙන විකෘති අදහස් ප්‍රතික්ෂේප කිරීම පහසු දෙයක් නොවෙයි. ඒ නිසා ඉන් වැළකී සිටීමට පියවර ගැනීම ඉතා වැදගත්. අප සැබෑ ප්‍රේමය පෙන්විය යුත්තේ කාටද? සියල්ල විඳදරාගන්නා සදාතනික ගුණාංගයක් වන ප්‍රේමය වර්ධනය කරගන්න අපට උපකාරවත් වන සැපයුම් මොනවාද? එවන් ප්‍රේමයක් වර්ධනය කරගැනීම අදටත් අනාගතයටත් ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට බයිබලයෙන් පිළිතුරු සොයා බැලීමෙන් ඒ ගැන දෙවි සිතන ආකාරය තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට අපට හැකියි.

යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගන්න

4. දෙවි කෙරෙහි ඇති ප්‍රේමය වර්ධනය කරගන්නේ කොහොමද?

4 පස සකස් කරන්නත් බීජ පැල කරන්නත් හුඟක් වෙහෙසී වැඩ කරන ගොවියෙක් ගැන සිතන්න. ඔහු ඒ දේවල් කරන්නේ තමා පැල කරන බීජ වර්ධනය වෙනවා දැකීමට ඇති ආශාව නිසයි. (හෙබ්‍රෙ. 6:7) ඒ හා සමානව අපගේ ආශාව විය යුත්තේද දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය වර්ධනය වෙනවා දැකීමයි. ඒ සඳහා අපට කුමක් කළ හැකිද? දෙවිගේ රාජ්‍ය නමැති බීජය පැලවූ පස නමැති අපගේ හෘදය සකස් කරන්න අවශ්‍යයි. ඒ සඳහා අපට උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කළ හැකියි. එමගින් අපට දෙවි ගැන ඇති දැනුම තව තවත් වැඩි වෙනවා. (කොලො. 1:10) ඒ වගේම නිතිපතා රැස්වීම්වලට යෑමෙනුත් ඊට සහභාගි වීමෙනුත් අපගේ දැනුම වැඩි කරගත හැකියි. දෙවි පිළිබඳ දැනුම වැඩි කරගන්න අප නොකඩවා වෑයම් කරනවාද?—හිතෝ. 2:1-7.

5. (අ) දෙවි කුමනාකාර පුද්ගලයෙක්ද කියා අප ඉගෙනගන්නේ කොහොමද? (ආ) දෙවිගේ ප්‍රඥාව, යුක්තිය හා බලය ගැන අපට දැනගන්න පුළුවන් කොහොමද?

5 දෙවි කුමනාකාරයේ කෙනෙක්ද කියා බයිබලයෙන් අපට ඉගෙනගත හැකියි. එය අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ විශිෂ්ටතම ගුණාංගය වන ප්‍රේමය ඇතුළු යුක්තිය, ප්‍රඥාව හා බලය වැනි ගතිලක්ෂණ අගය කරන්න අප පෙලඹෙනවා. යෙහෝවා දෙවිගේ යුක්තිය ඔහු කරන සියලු දේවලින් හා ඔහුගේ පරිපූර්ණ නීතිය තුළින් දැකගත හැකියි. (ද්වි. 32:4; ගීතා. 19:7) ඔහුගේ නිර්මාණ ගැන කල්පනා කිරීමෙන් ඔහු සතු අතිමහත් ප්‍රඥාව අවබෝධ කරගන්න අපට පුළුවන්. (ගීතා. 104:24) එමෙන්ම දෙවිගේ ශක්තිය හා කිසිදා නැති නොවන ඔහුගේ බලයද විශ්වයේ ඇති දේවලින් පැහැදිලි වෙනවා.—යෙසා. 40:26.

6. දෙවි අපට ප්‍රේමය පෙන්නුවේ කොහොමද? ඒ නිසා ඔබ පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

6 යෙහෝවා දෙවිගේ ප්‍රේමය නිසා අප සියලුදෙනාම ප්‍රයෝජන ලබනවා. මුළු මනුෂ්‍ය වර්ගයාවම පාපයෙන් මුදවාගැනීම සඳහා යේසුස්ගේ ජීවිත පූජාව ලබා දීමෙන් ඔහු අපට ප්‍රේමය පෙන්නුවා. (රෝම 5:8 කියවන්න.) නමුත් ඉන් ප්‍රයෝජන ලබාගත හැකි වන්නේ දෙවිගේ එම ප්‍රේමණීය ක්‍රියාව අගය කරන හා යේසුස් කෙරෙහි විශ්වාසය තබන අයට පමණයි. (යොහ. 3:16, 36) එලෙස දෙවි අප වෙනුවෙන් පෙන්වූ ප්‍රේමය නිසා දෙවිට ප්‍රේම කරන්න අප බැඳී සිටිනවා.

7, 8. (අ) දෙවි කෙරෙහි අපට ඇති ප්‍රේමය පෙන්වීමට අප කළ යුත්තේ කුමක්ද? (ආ) අපගේ සහෝදර සහෝදරියන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කුමන තත්වයන් යටතේද?

7 දෙවිට ප්‍රේම කරන බව පෙන්වීමට අපට පුළුවන් කොහොමද? ඊට බයිබලයේ මෙසේ පිළිතුරු දෙනවා. ‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.’ (1 යොහ. 5:3) දෙවිගේ ආඥා පිළිපැදීමට අපව පොලඹවන්නේ ඔහු කෙරෙහි අපට ඇති ප්‍රේමයයි. අප දෙවිගේ නාමය හා රාජ්‍ය ගැන අන් අයට කතා කරන්නෙත් අප ඔහුට ප්‍රේම කරන නිසයි. අපට සවන් දෙන අයද ඉන් ප්‍රයෝජන ලබනවා. අප එය මුළු හදවතින්ම කරනවා නම් ඉන් ඔප්පු වන්නේ දෙවිගේ ආඥා පිළිපැදීමට අපට මහත් ආශාවක් ඇති බවයි.—මතෙ. 12:34.

8 ලොව පුරා සිටින අපගේ සහෝදර සහෝදරියන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දී තිබෙන ආඥාවට කීකරු වෙනවා. නමුත් සමහරුන් අප පවසන ශුභාරංචියට උනන්දුවක් නොදක්වන්න පුළුවන්. තවත් අය ඊට විරුද්ධ විය හැකියි. ඒ කෙසේවෙතත් තමන් කරන සේවය නතර කිරීමට දෙවිගේ සෙනඟ එවැනි දේවලට ඉඩ දෙන්නේ නැහැ. (2 තිමෝ. 4:5) ඒ හා සමානව දෙවි ගැන ඉගෙනගෙන ඇති දේ අන් අයට කියා දීමට හා ඔහුගේ අනිකුත් ආඥා පැවැත්වීමට අපත් අධිෂ්ඨාන කරගෙන සිටිනවා.

අප යේසුස්ට ප්‍රේම කිරීමට හේතු

9. යේසුස් විඳදරාගත්තේ කුමන පීඩාද? ඔහුට ඒ සියලු පීඩා විඳදරාගැනීමට හැකි වුණේ කුමක් නිසාද?

9 අප යෙහෝවා දෙවිට ප්‍රේම කරනවාට අමතරව යේසුස්ටද ප්‍රේම කරනවා. අප යේසුස්ව කිසි දිනක දැක නැතත් ඔහු ගැන අප ඉගෙනගන්නා දේවලින් ඔහු කෙරෙහි ඇති ප්‍රේමය තවත් වැඩි වෙනවා. (1 පේතෘ. 1:8) යේසුස්ට බොහෝ දේවල් විඳදරාගන්න සිදු වුණා. කිසිම හේතුවක් නැතුව මිනිසුන්ගේ වෛරයට, බොරු චෝදනාවලට, හිංසා පීඩාවලට හා වෙනත් නිග්‍රහත්මක දේවලට මුහුණ දීමට ඔහුට සිදු වුණා. (යොහන් 15:25 කියවන්න.) ඔහුට ඒ සියලු පීඩා විඳදරාගැනීමට හැකි වුණේ ඔහු දෙවිට ප්‍රේම කළ නිසයි. මිනිසුන් කෙරෙහි තිබූ ප්‍රේමය නිසා ඔහු තම ජීවිතයද පූජා කළා. එමගින් මිනිසාව පාපයෙන් ගලවාගැනීමට ඔහුට හැකි වුණා.—මතෙ. 20:28.

10, 11. යේසුස් අප වෙනුවෙන් කළ දේ අප අගය කරනවා නම් අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

10 යේසුස් අප වෙනුවෙන් කර ඇති දේ ගැන කල්පනා කරද්දී ඔහු කෙරෙහි අපට ඇති ප්‍රේමය තවත් වැඩි වෙනවා. ඔහුගේ අනුගාමිකයන් ලෙස අපත් අන් අය කෙරෙහි එවැනිම ප්‍රේමයක් වර්ධනය කරගත යුතුයි. එවිට ශුභාරංචිය ප්‍රකාශ කරන්න හා සෑම ජාතියකටම අයත් මිනිසුන්ට ඔහුගේ ගෝලයන් වීමට උපකාර කරන්න කියා ඔහු දුන් ආඥාව ඉටු කිරීමට අප දිගටම වෑයම් කරනවා.—මතෙ. 28:19, 20.

11 යේසුස් පෙන්වා ඇති ප්‍රේමය අප අගය කරන නිසා පවතින මේ සමාජයේ අවසානය පැමිණීමට පෙර ඔහු ලබා දුන් පැවරුම ඉටු කරන්න අප තුළ මහත් පෙලඹීමක් ඇති වෙනවා. (2 කොරින්ති 5:14, 15 කියවන්න.) දෙවිගේ අරමුණු ඉටු කිරීමට යේසුස්ව පෙලඹවූයේද ඔහුට තිබූ ප්‍රේමයයි. අප ඔහුගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරනවා නම් අපටත් දෙවිගේ අරමුණ ඉටු කිරීමට හවුල් විය හැකියි. ඒ සඳහා අපත් මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරන්න අවශ්‍යයි. (මතෙ. 22:37) එසේනම් යේසුස් අපට ඉගැන්වූ දේවල් හා ඔහුගේ ආඥා පැවැත්වීමෙන් ඔහුට ප්‍රේම කරන බව පෙන්වමු. එමෙන්ම යේසුස් මෙන් අපට කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් අපගේ අධිෂ්ඨානය දෙවිට විශ්වාසවන්තව සිටීම බවද පෙන්වමු.—යොහ. 14:23, 24; 15:10.

උතුම්ම මාර්ගය වන ප්‍රේමය

12. ප්‍රේමය ‘වඩා උතුම් මාර්ගය’ කියා පාවුල් පැවසුවේ ඇයි?

12 පාවුල්, ක්‍රිස්තුස්ව කිට්ටුවෙන් අනුකරණය කළ කෙනෙක්. ඒ නිසා තමාව අනුකරනය කරන්න කියා අපට පැවසීමට ඔහුට හොඳ හේතු තිබුණා. (1 කොරි. 11:1) පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට අනාවැකි කීම හා වෙනත් භාෂාවකින් කතා කිරීම වැනි දීමනා දෙවිගෙන් ලැබුණා. කොරින්තිවරුන්ද ඒවා නොකඩවා ලබාගැනීම සඳහා උත්සාහ කළ යුතු බව පාවුල් ඔවුන්ට පැවසුවා. ඒ වුණත් ඔවුන් අත් කරගැනීමට උත්සාහ කළ යුතු ඊටත් වඩා වැදගත් දෙයක් තිබෙන බව පාවුල් පැවසුවා. පළමුවන කොරින්ති 12:31හි සඳහන්ව ඇති ලෙස ඔහු එය ‘සියල්ලටම වඩා උතුම් මාර්ගය’ ලෙස හැඳින්නුවා. ඉන්පසු සඳහන් වන පදවලින් පැහැදිලි වන්නේ ඔහු කතා කරමින් සිටියේ ප්‍රේමය ගැන බවයි. එය උතුම්ම මාර්ගය වන්නේ කොහොමද කියා පාවුල් ඊළඟට විස්තර කරනවා. (1 කොරින්ති 13:1-3 කියවන්න.) පාවුල්ට විශිෂ්ට හැකියාවන් තිබුණත් ඔහු බොහෝ දේ කර තිබුණත් ඔහුට ප්‍රේමය නොතිබුණා නම් ඉන් කිසි පලක් නැති බව ඔහු පැවසුවා. ප්‍රේමය ඇතුව සිටීමේ වැදගත්කම ගැන පාවුල් එහිදී කොතරම් ප්‍රබල ලෙස කාවැද්දුවාද!

13. (අ) වර්ෂ 2010 වාර්ෂික පදය කුමක්ද? (ආ) ප්‍රේමය සදාතනික බව පවසන්න පුළුවන් ඇයි?

13 ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් හා එසේ නොකරන කෙනෙකුව හඳුනාගත හැකි ආකාරය ගැන පාවුල් ඊළඟට සඳහන් කරනවා. (1 කොරින්ති 13:4-8 කියවන්න.) ඒ අනුව ඔබ කොතරම් දුරකට ප්‍රේමය පෙන්වනවාද කියා සෝදිසි කර බලන්න ඔබට පුළුවන්. ඊට උපකාරයක් ලෙස 1 කොරින්ති 13වන පරිච්ඡේදයේ හත්වන ඡේදයේ අවසන් කොටස හා අටවන ඡේදයේ මුල් කොටසට අවධානය යොමු කිරීමට ඔබට හැකියි. එහි සඳහන් වන්නේ මෙසේයි. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන්නා සියල්ල විඳදරාගනියි. ප්‍රේමය සදාතනිකයි.’ වර්ෂ 2010 වාර්ෂික පදය වී ඇත්තේද එයයි. එම පරිච්ඡේදයේම අටවන පදයේ, ක්‍රිස්තියානි සභාව ආරම්භ වූ කාලයේ දෙවිගෙන් ලැබුණු දීමනා වන අනාවැකි කීම හා වෙනත් භාෂාවලින් කතා කිරීමේ හැකියාව නැති වී යන බව පාවුල් සඳහන් කරනවා. නමුත් යෙහෝවා දෙවි ප්‍රේමය නිසාත් ඔහු සදාකාලයටම සිටින නිසාත් ප්‍රේමය සදහටම පවතිනවා.—1 යොහ. 4:8.

ප්‍රේමය සියල්ල විඳදරාගනියි

14, 15. (අ) පීඩා විඳදරාගන්න ප්‍රේමය උපකාරවත් වන්නේ කොහොමද? (ආ) දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට එක් සහෝදරයෙකුට උපකාරවත් වුණේ කුමක්ද?

14 ක්‍රිස්තියානියෙකු කුමන පීඩාවකට මුහුණ දුන්නත් ඒවා විඳදරාගැනීමට ඔහුට උපකාරවත් වන්නේ කුමක්ද? සැබෑ ප්‍රේමයයි. තමන් සතු දෙයක් වෙනත් කෙනෙකුට දීමට වඩා වැඩි දෙයක් ඊට අයත් වෙනවා. සැබෑ ප්‍රේමයක් තිබෙන ක්‍රිස්තියානියෙක් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටිනවා. (ලූක් 9:24, 25) දෙවන ලෝක යුද්ධය පැවති කාලයේ හා ඉන්පසුව වධක කඳවුරුවල හා සිර කඳවුරුවල පීඩා වින්ද සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් සලකා බැලීම විඳදරාගැනීමට අපට උපකාරවත් වෙනවා.

15 ජර්මනියේ සිටි තරුණ සහෝදරයෙක් වන විල්හෙල්ම් ඊට හොඳ උදාහරණයක්. ඔහු දෙවිට විශ්වාසවන්තව සිටි නිසා නාට්සි හමුදාව අතින් මරණයට පත් වුණා. ඔහුගේ මරණයට පෙර ඔහු තම පවුලේ අයට ලියූ ලිපියක මෙසේ සඳහන් වී තිබුණා. “හැම දේටම වඩා අපි දෙවිට ප්‍රේම කරන්න ඕනේ. අපේ නායකයා වන යේසුස් අපට අණ කළෙත් එහෙම කරන්න කියලයි. අපි දෙවිට විශ්වාසවන්තව හිටියොත් ඔහු අපිට ආශීර්වාද කරනවා නිසැකයි.” ඔහුට එවැනි විශ්වාසයක් ඇති වීමට හේතුව ගැන ඔහුගේ පවුලේ සාමාජිකයෙක් පැවසූ දේ මුරටැඹ කලාපයක මෙසේ සඳහන් වුණා. “කුමන පීඩාකාරී අවස්ථාවකට මුහුණ දුන්නත් අපි මුලින්ම හිතුවේ යෙහෝවා දෙවි එක්ක තියෙන අපේ මිත්‍රත්වය රැකගැනීම ගැනයි.” වර්තමානයේ ආර්මේනියාවේ, එරිත්‍රියාවේ, දකුණු කොරියාවේ හා වෙනත් රටවල පීඩා විඳින සහෝදරයන්ද දිගටම එලෙස දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඔවුන් ඉන් පෙන්වන්නේ දෙවිට ප්‍රේම කරන බවයි.

16. මලාවිවල සිටි අපගේ සහෝදර සහෝදරියන් විඳදරාගත්තේ කුමන පීඩාද?

16 මලාවිවල සිටින අපගේ සහෝදර සහෝදරියන්ද විවිධාකාර පීඩාවලට මුහුණ දී තිබෙනවා. ඒ නිසා දෙවිට දක්වන විශ්වාසවන්තකම හා ඔවුන්ගේ විඳදරාගැනීම අභියෝගයට ලක් වී තිබෙනවා. උදාහරණයකට වසර 26ක් පුරා එහි සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු තහනම් කර තිබුණා. ඒ වගේම දරුණු විරුද්ධවාදීකම් හා විවිධ හිංසාවලට මුහුණ දෙන්නද ඔවුන්ට සිදු වුණා. නමුත් ඒ සියල්ල ඔවුන් විඳදරාගත් නිසා බොහෝ යහපත් ප්‍රතිඵල ඔවුන්ට ලැබුණා. පීඩා ආරම්භ වෙද්දී මලාවිවල සිටියේ සාක්ෂිකරුවන් 18,000ක් පමණක් වුණත් වසර 30කට පමණ පසු එම සංඛ්‍යාව 38,393ක් දක්වා වැඩි වී තිබෙනවා. දරුණු පීඩා තිබූ වෙනත් රටවලද ඒ හා සමාන වර්ධනයක් සිදු වී තිබෙනවා.

17. සමහර පවුල්වල සිටින යෞවනයන් මුහුණ දෙන්නේ කුමන පීඩාවලටද? ඔවුන්ට ඒවා විඳදරාගන්න උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද?

17 දෙවිගේ සෙනඟට ඔවුන්ගේ පවුලේ අයගේ හා නෑදෑයන්ගේ විරුද්ධවාදීකම්වලටද මුහුණ දීමට සිදු වෙනවා. ඒ බව යේසුස්ද කලින්ම පවසා තිබුණා. (මතෙ. 10:35, 36) පවුලේ අයගෙන් එල්ල වන එවැනි විරුද්ධවාදීකම් විඳදරාගැනීම බොහෝ සෙයින් අපහසු විය හැකියි. ඒ නිසා අපගේ සහෝදර සහෝදරියන් මානසිකවද පීඩා විඳිනවා. උදාහරණයකට දෙවිට සේවය කිරීම නිසා සමහර යෞවනයන්ව නිවසින් පිටමං කර තිබෙනවා. නමුත් එවැනි අයව රැකබලා ගන්න වෙනත් සහෝදර සහෝදරියන් ඉදිරිපත් වී තිබෙනවා. තවත් අයව පවුලෙන් කොන් කර තිබෙනවා. එවැනි පීඩා විඳදරාගන්න ඔවුන්ට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද? ඒ සඳහා සහෝදර සහෝදරියන් කෙරෙහි ඇති ප්‍රේමය උපකාරවත් වුණත් ඊට බොහෝ සෙයින් උපකාරවත් වී තිබෙන්නේ යෙහෝවා දෙවි හා ඔහුගේ පුත්‍රයා කෙරෙහි ඔවුන්ට ඇති ප්‍රේමයයි.—1 පේතෘ. 1:22; 1 යොහ. 4:21.

18. ප්‍රේමයෙන් සියල්ල විඳදරාගන්නා විට විවාහක යුවළකට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 ප්‍රේමය නිසා අප සියල්ල විඳදරාගන්නා විට ඉන් බොහෝ ප්‍රතිඵල ලබාගත හැකියි. උදාහරණයකට එකිනෙකාට සැබෑ ලෙස ප්‍රේම කරන යුවළක් ‘දෙවි ඔවුන්ව එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුය’ යන යේසුස්ගේ වචන ගැන බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුයි. (මතෙ. 19:6) ඒ වගේම යුවළක් ‘ජීවිතයේ දුෂ්කරතාවලට’ මුහුණ දෙන විට ඔවුන්ට උපකාර කිරීමට යෙහෝවා දෙවිට හැකි බව මතක තබාගත යුතුයි. (1 කොරි. 7:28) ප්‍රේමය සියල්ල විඳදරාගනියි කියා බයිබලයේ පවසන නිසා යුවළක් අතර එවන් ප්‍රේමයක් තිබෙනවා නම් ඔවුන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකියි.—කොලො. 3:14.

19. ස්වාභාවික විපත් සිදු වන විට දෙවිගේ සෙනඟ ක්‍රියා කර තිබෙන්නේ කොහොමද?

19 ස්වාභාවික විපත් සිදු වන අවස්ථාවකදීද සියල්ල දරාගැනීමට ප්‍රේමය උපකාරවත් වෙනවා. පේරූවල භුමිකම්පාවක් සිදු වූ අවස්ථාවේදී හා කට්රිනා සුළි සුළඟින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිකොන ප්‍රදේශයට බරපතළ හානි සිදු වූ අවස්ථාවේදී අපගේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ නිවෙස් හා වටිනා දේවල් නැති වුණා. විවිධ රටවල සිටින සහෝදර සහෝදරියන් ප්‍රේමයෙන් පෙලඹී, විපතට පත් වූ ඒ සහෝදරයන්ට උපකාර කිරීමට පැමිණියා. එමෙන්ම ඔවුන් විනාශ වූ නිවෙස් සාදා දීමට හා රාජ්‍ය ශාලා අලුත්වැඩියා කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඉන් පැහැදිලි වුණේ අපගේ සහෝදර සහෝදරියන් ඕනෑම අවස්ථාවක සෙසු නමස්කාරකයන්ට ප්‍රේමය පෙන්වන්නත් ඔවුන්ට උපකාර කරන්නත් කැමැත්තෙන් සිටින බවයි.—යොහ. 13:34, 35; 1 පේතෘ. 2:17.

ප්‍රේමය සදාතනිකයි

20, 21. (අ) ප්‍රේමය පෙන්වීම කොතරම් වැදගත්ද? (ආ) දිගටම ප්‍රේමය පෙන්වන්න ඔබ අදිටන් කරගෙන සිටින්නේ ඇයි?

20 කුඩා දරුවෙකු මෙන් සිටි ක්‍රිස්තියානි සභාව වැඩිහිටියෙකුගේ තත්වයට පත් වන විට දෙවිගේ බලය මගින් ලැබුණු දීමනා නැති වන බව පාවුල් පැවසුවා. නමුත් ඔහු ප්‍රේමය ගැන පැවසුවේ මෙසේයි. ‘දිගටම පවතින්නේ විශ්වාසය, බලාපොරොත්තුව හා ප්‍රේමයයි. නමුත් ඒවායින් උතුම්ම එක වන්නේ ප්‍රේමයයි.’ (1 කොරි. 13:13) උතුම්ම මාර්ගය වන ප්‍රේමය පෙන්වීම සෑම අවස්ථාවකටම ප්‍රයෝජනවත් වන බව දෙවිගේ සෙනඟ කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වෙනවා.

21 ඉදිරියේදී ඉටු වන බවට අප විශ්වාස කරන දේවල් ඉටු වූ පසු තවදුරටත් ඒ ගැන විශ්වාස කිරීමට අවශ්‍ය නැහැ. බලාපොරොත්තුවත් ඒ හා සමානයි. ඉදිරියේදී දෙවි ඉටු කිරීමට පොරොන්දු වී තිබෙන සියල්ල ඉටු කිරීමෙන් අනතුරුව අපට තවදුරටත් ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රේමය සදාතනිකයි. දෙවිගේ ප්‍රේමය ගැන සදාකාලයටම ඉගෙනගන්න තව බොහෝ දේ තිබෙනවා. උතුම්ම මාර්ගය වන සදාතනික ප්‍රේමය පෙන්වමින් දෙවිගේ කැමැත්ත කරන විට අපටත් සදාකල් ජීවනය ලබාගැනීමට හැකි වෙනවා නොඅනුමානයි.—1 යොහ. 2:17.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• අප වැරදි දේට ප්‍රේම කිරීමෙන් වැළකිය යුත්තේ ඇයි?

• ප්‍රේමය අපට උපකාර කරන්නේ කුමන දේවල් විඳදරාගැනීමටද?

• ප්‍රේමය සදාතනික බව පවසන්න පුළුවන් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

2010 වාර්ෂික පදය වන්නේ ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන්නා සියල්ල විඳදරාගනියි. ප්‍රේමය සදාතනිකයි.’—1 කොරි. 13:7, 8.

[25වන පිටුවේ පින්තූරය]

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපව පොලඹවන්නේ දෙවිට ඇති අපගේ ප්‍රේමයයි

[26වන පිටුවේ පින්තූරය]

මලාවිවල සහෝදර සහෝදරියන් පීඩා විඳදරාගත්තේ ඔවුන් දෙවිට ප්‍රේම කළ නිසයි