Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කළ යුත්තේ ඇයි?

ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කළ යුත්තේ ඇයි?

ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කළ යුත්තේ ඇයි?

‘මගේ දෙවිගේ දූතයෙක් මා ළඟ සිටගෙන සිටියා.’—ක්‍රියා 27:23.

1. කෙනෙක් බව්තීස්ම වීමට කලින් ගත යුතු පියවර මොනවාද? අප සලකා බලන්න යන ප්‍රශ්න මොනවාද?

බව්තීස්ම කතාව අවසානයේදී බව්තීස්ම අපේක්ෂකයන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසනවා. “ඔබ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාවේ පදනම මත ඔබේ පව් ගැන පසුතැවිලි වී, යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔහුට කැප වී සිටිනවාද?” මේ ගැන කල්පනා කර බලන්න. කෙනෙක් යෙහෝවා දෙවිට තම ජීවිතය කැප කළ යුත්තේ ඇයි? දෙවිට කැප වීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කොහොමද? දෙවිට කැප නොවී ඔහුට පිළිගත හැකි අයුරින් නමස්කාර කරන්න අපට නොහැකි ඇයි? එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට පෙර දෙවිට කැප වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියා අපි සලකා බලමු.

2. දෙවිට කැප වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

2 එක් අවස්ථාවක පාවුල් සෙනඟක් ඉදිරියේ යෙහෝවා දෙවිව “මගේ දෙවි” කියා හැඳින්නුවා. (ක්‍රියා 27:22-24 කියවන්න.) ඉන් අදහස් කළේ පාවුල් දෙවිට අයිතිව සිටි බවයි. මුළු ලෝකයම “දුෂ්ටයාගේ බලපෑමට යටත්” වුණත් සියලුම සැබෑ ක්‍රිස්තියානීන් අයිති වන්නේ යෙහෝවා දෙවිටයි. (1 යොහ. 5:19) කෙනෙක් දෙවිට අයිති වන්නේ ඔහුට පිළිගත හැකි ආකාරයෙන් කැප වීමෙන් පසුවයි. එය සිදු වන්නේ යාච්ඤාව තුළිනුයි. එය ඔහු දෙවිට සදහටම සේවය කරන බවට දෙන පොරොන්දුවක්. ඉන් පසුව ඔහු බව්තීස්ම වෙනවා.

3. යේසුස්ගේ බව්තීස්මයෙන් අදහස් කළේ කුමක්ද? ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීමට අපට පුළුවන් කොහොමද?

3 දෙවිට සේවය කිරීම සඳහා කැමැත්තෙන්ම තීරණයක් ගැනීමෙන් යේසුස් අපට ආදර්ශයක් තැබුවා. ඔහු උපත ලැබුවේ දෙවිට කැප වූ ඊශ්‍රායෙල් ජාතියට අයත් කෙනෙකු ලෙසයි. ඒ නිසා ඔහු උපතේ සිටම දෙවිට කැප වූ කෙනෙක්. ඒ වුණත් ඔහු බව්තීස්ම වීමෙන් මෝසෙස්ගේ නීතියෙන් බලාපොරොත්තු වූ දේට වඩා වැඩි දෙයක් කළා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මෙන්න, මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි.” (හෙබ්‍රෙ. 10:7; ලූක් 3:21) ඒ අනුව යේසුස්ගේ බව්තීස්මයෙන් අදහස් කළේ ඔහු තම පියාගේ කැමැත්ත කිරීමට ඉදිරිපත් වූ බවයි. ඔහුව අනුකරණය කරමින් ඔහුගේ අනුගාමිකයන්ද බව්තීස්ම වෙනවා. නමුත් ඔවුන්ගේ බව්තීස්මයෙන් අඟවන්නේ ඔවුන් යාච්ඤාවෙන් පෞද්ගලිකව දෙවිට කැප වී ඇති බවයි.

දෙවිට කැප වීමෙන් අප ලබන ප්‍රයෝජන

4. දාවිත් හා යොනතාන්ගේ මිත්‍රත්වයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

4 දෙවිට කැප වීම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු දෙයක්. එය සාමාන්‍යයෙන් මිනිසුන් ඇති කරගන්නා ගිවිසුමක් මෙන් නොවෙයි. එය තේරුම්ගැනීමට මුලින්ම මිත්‍රත්වය ගැන අපි සලකා බලමු. හොඳ මිත්‍රත්වයක් භුක්ති විඳීමට නම් ඔබට යම් වෙහෙසක් දැරීමටත් ඔබේ මිත්‍රයා ගැන සැලකිලිමත් වීමටත් සිදු වෙනවා. මිත්‍රත්වයන් ගැන බයිබලයේ ඇති වාර්තා අතරින් දාවිත් හා යොනතාන් අතර තිබූ මිත්‍රත්වය සුවිශේෂි එකක්. ඔවුන් මිත්‍රත්වය වෙනුවෙන් ගිවිසුමක්ද ඇති කරගත්තා. (1 සාමුවෙල් 17:57; 18:1, 3 කියවන්න.) එවැනි මිත්‍රත්වයන් අද දින සොයාගැනීම අපහසු දෙයක් විය හැකියි. නමුත් ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගැනීමට තමන්ද වෙහෙසිය යුතු බව තේරුම්ගන්නා කෙනෙකුට හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යා හැකියි.—හිතෝ. 17:17; 18:24.

5. යහපත් ස්වාමියෙකුට සේවය කිරීමෙන් දාසයෙකුට ප්‍රයෝජන ලබාගත හැක්කේ කොහොමද?

5 මීළඟට අපි, දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන් නීතියේ සඳහන් ලෙස දාසයෙක් තම ස්වාමියාට සේවය කිරීමට පොරොන්දු වීමෙන් ලබන ප්‍රයෝජන ගැන සලකා බලමු. දාසයෙකුට යම් කාලයකට පසුව ඔහු කළ සේවයෙන් නිදහස් වීමට අවස්ථාව තිබුණා. ඒ වුණත් යහපත් ස්වාමියෙකු යටතේ සේවය කළ දාසයෙක් දිගටම තම ස්වාමියාගේ රැකවරණය යටතේ සිටීමට කැමති නම් ඒ සම්බන්ධයෙන් ඔහු ස්වාමියා සමඟ ගිවිසුමක් ඇති කරගත යුතු වුණා. එය සිදු වන ආකාරය ගැන නීතියේ සඳහන් වූයේ මෙසේයි. “නිදහස් කරන අවස්ථාවේදී, ‘මම මගේ ස්වාමියාටත් මගේ භාර්යාවටත් දරුවන්ටත් බොහෝ සෙයින් ආදරය කරමි. ඒ නිසා මට නිදහස් වී යා නොහැකියි’ කියා දාසයා පැවසුවොත් ඔහුගේ ස්වාමියා ඔහුව සැබෑ දෙවි ඉදිරියට කැඳවිය යුතුයි. ඔහුව දොර ළඟට හෝ උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන විදිය යුතුයි. එසේ කළ පසු ඔහු හැමදාටම තම ස්වාමියාට අයිතිය.”—නික්. 21:5, 6.

6, 7. (අ) ගිවිසුම් ඇති කරගැනීමෙන් ජනයා ප්‍රයෝජන ලබන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට එය බලපාන්නේ කොහොමද?

6 නීත්‍යානුකූල ගිවිසුමකට අනුව විවාහ වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දැන් අපි සලකා බලමු. එලෙස විවාහ වන දෙදෙනෙක් අතර කිට්ටු බැඳීමක් තිබිය යුතුයි. කෙසේවෙතත් විවාහ නොවී එකට ජීවත් වන දෙදෙනෙකුට වගකීමක් නැති නිසා ඔවුන්ට හා ඔවුන්ගේ දරුවන්ට කිසි දිනක සැබෑ සුරක්ෂිතබවක් දැනෙන්නේ නැහැ. නමුත් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව විවාහ වී සිටින දෙදෙනෙකුට සුරක්ෂිතබවක් දැනෙනවා. ඊට හේතුව යම් ගැටලු ඇති වන විට ශුද්ධ ලියවිලිවල ඇති ප්‍රතිපත්තිවලට අනුව ඒවා ප්‍රේමණීයව විසඳගන්න ඔවුන් බැඳී සිටීමයි.—මතෙ. 19:5, 6; 1 කොරි. 13:7, 8; හෙබ්‍රෙ. 13:4.

7 රැකියා හෝ ව්‍යාපාර කටයුතුවලදී ඇති කරගන්නා ගිවිසුම් ගැන සලකා බලන්න. පුරාණයේ සිටි අය එවැනි ගිවිසුම් ඇති කරගැනීමෙන් ප්‍රයෝජන ලැබුවා. (මතෙ. 20:1, 2, 8) එදා මෙන් අදත් කෙනෙක් ආයතනයක රැකියාවක් කිරීමට පෙර හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර ගිවිසුමක් ඇති කරගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලබනවා. මිත්‍රත්වය, විවාහය හා රැකියාව සම්බන්ධයෙන් ලබා දෙන පොරොන්දු හෝ ඇති කරගන්නා ගිවිසුම්වලින් ප්‍රයෝජන ලැබෙන බව අප මෙතෙක් කළ සාකච්ඡාවෙන් තේරුම්ගත්තා. එසේනම් මුළු හදවතින්ම දෙවිට කැප වීමෙන් ඔහු සමඟ ඇති කරගන්නා මිත්‍රත්වයෙන් ඔබට මොන තරම් ප්‍රයෝජන අත් වෙයිද!

දෙවිට කැප වීමෙන් ඊශ්‍රායෙල්වරුන් ලැබූ ප්‍රයෝජන

8. ඊශ්‍රායෙල්වරුන්ගේ කැප වීමෙන් අදහස් කළේ කුමක්ද?

8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව සීනයි කන්ද අසල රැස් කර ඔවුන්ට මෙසේ පැවසුවා. “මාගේ සෑම වචනයකටම කීකරු වී මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම් සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.” ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල් ජාතිය මෙසේ පොරොන්දුවක් වෙමින් දෙවිට කැප වුණා. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.” (නික්. 19:4-8) ඊශ්‍රායෙල්වරුන්ගේ කැප වීමට පොරොන්දුවකට වඩා වැඩි දෙයක් අයත් වුණා. එය නම් ඔවුන් යෙහෝවා දෙවිට අයිති ‘විශේෂ සෙනඟක්’ වීමයි.

9. දෙවිට කැප වීමෙන් ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

9 දෙවිට අයිති සෙනඟක් ලෙස ඊශ්‍රායෙල්වරුන් බොහෝ ප්‍රයෝජන ලැබුවා. ප්‍රේමණීය මවක් හෝ පියෙක් තම දරුවාව රැකබලා ගන්නවා හා සමානව යෙහෝවා දෙවි විශ්වාසවන්තව ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගත්තා. ඒ ගැන දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද? තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට ඇය අනුකම්පා නොකර සිටියිද? මවක තම දරුවාව අමතක කළත් මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි.” (යෙසා. 49:15) යෙහෝවා දෙවි තම නීතිය මගින් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීමත් අනාගතවක්තෘවරුන් මගින් දිරිගැන්වීමත් දේවදූතයන් මගින් ආරක්ෂාවත් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ගීතිකාකරුවෙක් මෙසේ ලිව්වා. “තම වදන් ඔහු යාකොබ්ට ප්‍රකාශ කරන්නේය. තම නියෝග සහ තීන්දු ඔහු ඊශ්‍රායෙල් ජනයාට කියා දෙන්නේය. වෙන කිසි ජාතියකට ඔහු එසේ නොකළේය.” (ගීතා. 147:19, 20; ගීතාවලිය 34:7, 19; 48:14 කියවන්න.) තමාට අයිති සෙනඟක් ලෙස දෙවි ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගත්තා හා සමානව අද දිනත් ඔහුට කැප වී සේවය කරන අයව ඔහු රැකබලා ගන්නවා.

අපගේ ජීවිත දෙවිට කැප කළ යුත්තේ ඇයි?

10, 11. අප උපත ලැබුවේ දෙවිගේ විශ්වනීය පවුලට අයත්වද? පැහැදිලි කරන්න.

10 කෙනෙක් මෙසේ කල්පනා කළ හැකියි. ‘දෙවිට කැප නොවී ඔහුට නමස්කාර කරන්න මට බැරි ඇයි?’ ඊට පිළිතුර දැනගැනීමට අප දැන් සිටින තත්වය තේරුම්ගැනීම වැදගත්. ආදම් කළ පාපය නිසා සියලුදෙනාම උපත ලබන්නේ දෙවිගේ පවුලට අයත් අය ලෙස නොවේ. (රෝම 3:23; 5:12) ඒ නිසා දෙවිගේ විශ්වනීය පවුලට දෙවි අපව පිළිගන්න නම් අප ඔහුට කැප විය යුතුයි. එසේ පැවසීමට හේතුව අපි සලකා බලමු.

11 අපට සදාකාල ජීවිතය ලබා දීමට හැකි පියෙක් මේ පොළොවේ නැහැ. (1 තිමෝ. 6:19) ඊට හේතුව ආදම් සහ ඒව දෙවිට අකීකරු වීමයි. ඒ නිසා අපගේ ප්‍රේමණීය පියා හා නිර්මාණකරු වන දෙවිගේ දරුවන් වීමේ විශේෂ වරප්‍රසාදයද අපට අහිමි වී තිබෙනවා. (ද්විතීය කතාව 32:5 බලන්න.) එදා පටන් මුළු මනුෂ්‍යවර්ගයාම සිටින්නේ දෙවිගෙන් ඈත්වයි.

12. (අ) පව්කාර මිනිසුන් වන අපට දෙවිගේ පවුලට අයිති වීමට පුළුවන් කොහොමද? (ආ) බව්තීස්ම වීමට පෙර අප ගත යුතු පියවර මොනවාද?

12 කොහොමවුණත් අපව දෙවිගේ පවුලට පිළිගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්න අපට හැකියි. * පව්කාරයන් වන අපට එය කරන්න පුළුවන් කොහොමද? පාවුල් ඊට මෙසේ පිළිතුරු දුන්නා. “අප සිටියේ දෙවිගේ සතුරන් ලෙසය. නමුත් දෙවි සමඟ සමාදාන වීමේ ප්‍රස්තාව ඔහුගේ පුත්‍රයාගේ මරණය තුළින් අපට උදා විය.” (රෝම 5:10) දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා අපට නිදොස් හෘදය සාක්ෂියක් ලබා දෙන්න කියා බව්තීස්ම වන අවස්ථාවේදී අප දෙවිගෙන් ඉල්ලා සිටිනවා. (1 පේතෘ. 3:21) කෙසේවෙතත් බව්තීස්ම වීමට පෙර අප ගත යුතු පියවර කිහිපයක්ද තිබෙනවා. ඒවා නම් දෙවි ගැන අවබෝධයක් ලබාගැනීම, අපගේ පව් ගැන පසුතැවිලි වී අප ජීවත් වන ආකාරය වෙනස් කරගැනීම හා නිතරම දෙවිගේ මඟ පෙන්වීම් සෙවීමට පුරුදු වීමයි.—යොහ. 17:3; ක්‍රියා 3:19; හෙබ්‍රෙ. 11:6.

13. දෙවිගේ පවුලට අයත් වීමට නම් ඔහුට කැප වීම සාධාරණ දෙයක් වන්නේ ඇයි?

13 යෙහෝවා දෙවිගේ විශ්වනීය පවුලට අයිති වීමට නම් ඔහුට බැරෑරුම් පොරොන්දුවක්ද විය යුතුයි. එය තේරුම්ගැනීමට අපි මෙම නිදර්ශනය බලමු. කාරුණික පියෙක් අනාථ දරුවෙකුව තම පවුලේ සාමාජිකයෙකු ලෙස පිළිගැනීමට කැමැත්තෙන් සිටිනවා. නමුත් ඒ දරුවාව තම පුත්‍රයා ලෙස පිළිගැනීමට පෙර ඔහුගෙන් පොරොන්දුවක් ගැනීමට ඒ පියාට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔහු දරුවාට මෙසේ පවසනවා. “මම ඔයාව මගේ පුතා හැටියට පිළිගන්න කලින් මට දැනගන්න ඕනේ ඔයා ඔයාගේම තාත්තාට වගේ මට ආදරයෙන් සලකලා, ගෞරව කරනවාද කියලා.” ඔහු තම පවුලට ඒ දරුවාව පිළිගන්නේ දරුවා ඒ ගැන පොරොන්දුවක් වුණොත් පමණයි. එය සාධාරණ දෙයක් නොවෙයිද? ඒ හා සමානව යෙහෝවා දෙවිද අප ඔහුගේ පවුලේ සාමාජිකයෙක් ලෙස පිළිගන්නේ ඔහුට කැමැත්තෙන්ම කැප වුණොත් පමණයි. ‘ඔබගේ ශරීර දෙවිට කැප කළ, ඔහුට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන්න’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි.—රෝම 12:1, නව අනුවාදය.

ප්‍රේමය හා විශ්වාසය පෙන්විය හැකි ක්‍රමයක්

14. දෙවිට ප්‍රේම කරන බව ඔහුට කැප වීමෙන් පෙන්වන්න පුළුවන් කොහොමද?

14 දෙවිට කැප වීමෙන් අප ඔහුට මුළු හදවතින්ම ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන්. එය යම් දුරකට විවාහ පොරොන්දුවකට සමානයි. විවාහ වන අවස්ථාවේදී මනාලියට විශ්වාසවන්තව සිටින්න මනාලයා පොරොන්දු වෙනවා. එය නිකම්ම පොරොන්දුවක් නොවෙයි. ඒ වෙනුවට කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් ජීවිත කාලය පුරා එකට සිටින බවට දෙන පොරොන්දුවක්. ඒ තුළිත් මනාලියට ප්‍රේම කරන බව මනාලයා පෙන්වනවා. නමුත් විවාහ පොරොන්දුව ලබා නොදී මනාලිය සමඟ එකට ජීවත් වීමට නොහැකි බව මනාලයා දන්නවා. ඒ හා සමානව, දෙවිගේ පවුලට එකතු වී ඉන් ප්‍රයෝජන ලබන්න නම් අප දෙවිට කැප විය යුතුයි. අප එසේ කරන්නේ දෙවිට අයිති වීමට අප තුළ ආශාවක් තිබෙන නිසා හා ඔහුට විශ්වාසවන්තව සිටින්න අප අධිෂ්ඨාන කරගෙන සිටින නිසයි.—මතෙ. 22:37.

15. දෙවිට කැප වන කෙනෙක් විශ්වාස කරන්නේ මොනවාද?

15 යෙහෝවා දෙවිට ළං වීමෙන් යහපතක් සිදු වන බව විශ්වාස කරන කෙනෙක් ඔහුට කැපවෙනවා. එවැනි කෙනෙකුට දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා කියා පැවසිය හැකියි. (ගීතා. 73:28) අප “වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක් අතරේ” ජීවත් වන නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගෙන යෑම පහසු දෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා අප ගන්නා උත්සාහයට දෙවි උපකාර කරන බවට අපට විශ්වාසයක් තිබෙනවා. (ෆිලි. 2:15; 4:13) අප පව්කාරයන් නිසා අප අතින් සිදු වන වැරදිවලට දෙවි සමාව දෙන බව අප විශ්වාස කරනවා. (ගීතාවලිය 103:13, 14; රෝම 7:21-25 කියවන්න.) එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට අප ගන්නා වෑයම්වලට ඔහු ආශීර්වාද කරන බවද අප දන්නවා.—යෝබ් 27:5.

දෙවිට කැප වීමෙන් සන්තෝෂය ලැබිය හැකියි

16, 17. යෙහෝවා දෙවිට කැප වීමෙන් සන්තෝෂයක් ලබන්න පුළුවන් කොහොමද?

16 අප යෙහෝවා දෙවිට කැප වන විට අපගේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් ලබා දීමට අප පොරොන්දු වන නිසා ඉන් අපට සතුටක් ලැබෙනවා. එය සත්‍යයක් බව යේසුස් පැවසූ මේ දෙයින් පැහැදිලියි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” (ක්‍රියා 20:35) යේසුස්ද පොළොව මත සේවය කළ කාලයේදී තමන් සතු දේවල් අන් අය වෙනුවෙන් ලබා දීමෙන් සතුටක් ලැබුවා. මනුෂ්‍යයන්ට සදාකාල ජීවිතය ලබා දීමට යේසුස්ට අවශ්‍ය වූ නිසා සමහර අවස්ථාවලදී ඔහු තම විවේක කාලය, කෑම හා සුව පහසුව පවා පරිත්‍යාග කළා. (යොහ. 4:34) ඒ වගේම තම පියාව සතුටු කිරීමෙන්ද යේසුස් සන්තෝෂයක් ලැබුවා. “මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—යොහ. 8:29; හිතෝ. 27:11.

17 යේසුස් තම අනුගාමිකයන්ටද පැවසුවේ ‘යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කළ’ යුතු බවයි. (මතෙ. 16:24) එසේ කිරීමෙන් ඔවුන්ටත් සන්තෝෂය ලැබිය හැකියි. ඒ වගේම ඉන් දෙවි සමඟ ඇති මිත්‍රත්වයද ශක්තිමත් වෙනවා. දෙවි තරම් අප ගැන ප්‍රේමණීය සැලකිල්ල දක්වන වෙන කිසිවෙක් නැති නිසා ඔහුට අපගේ ජීවිත කැප කිරීම මොන තරම් ඥානවන්ත දෙයක්ද!

18. දෙවිට කැප වීමෙන් සන්තෝෂය වැඩි කරගන්න පුළුවන් කොහොමද?

18 වෙන කිසිවෙකුට හෝ යම් දෙයකට කැප වී ලබන සන්තෝෂයට වඩා වැඩි සන්තෝෂයක් දෙවිට කැප වීමෙන් හා ඔහුගේ කැමැත්ත කිරීමෙන් අපට ලබන්න පුළුවන්. උදාහරණයකට බොහෝදෙනා ඔවුන්ගේ ජීවිත ධන සම්පත් සෙවීමට කැප කළත් ඔවුන්ට සැබෑ සතුට හා තෘප්තිය ලැබෙන්නේ නැහැ. නමුත් යෙහෝවා දෙවිට කැප වී ඔහුට සේවය කරන අය නම් සැබෑ සතුට භුක්ති විඳිනවා. (මතෙ. 6:24) “දෙවිගේ හවුල් වැඩකරුවන්” වීම ඔවුන්ට ලැබී තිබෙන ගෞරවයක් නිසා ඉන් ඔවුන් සන්තෝෂය ලබනවා. නමුත් ඔවුන් කැප වෙන්නේ එම කාර්යය සඳහා නොව යෙහෝවා දෙවිටයි. (1 කොරි. 3:9) තමන්ට කැමැත්තෙන්ම සේවය කරන අයව දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඔහුට විශ්වාසවන්තව සේවය කරන මහලු අයව නැවත යෞවන තත්වයට ගෙන ඒමටත් දෙවිට හැකියි.හෙබ්‍රෙව් 6:10 කියවන්න; යෝබ් 33:25.

19. යෙහෝවා දෙවිට කැප වන අය භුක්ති විඳින මහත් වරප්‍රසාදය කුමක්ද?

19 අපගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කිරීමෙන් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකියි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකො. 4:8; ගීතා. 25:14) යෙහෝවා දෙවිට අයිති වීමට අප ගත් තීරණය නිවැරදි එකක් බවට නිසැක වන්න අපට පුළුවන් කොහොමද කියා අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 12 ඡේ. ‘වෙනත් බැටළුවන්ව’ දහස් අවුරුදු පාලනය අවසන් වන තුරු දෙවිගේ පුත්‍රයන් ලෙස හඳුන්වන්නේ නැහැ. කෙසේවෙතත් ඔවුන් දෙවිට කැප වූ පසු ඔහුට “පියාණෙනි” ලෙස ඇමතීමටත් යම් ආකාරයකින් දෙවිගේ පවුලේ සාමාජිකයන් වීමටත් ඔවුන්ට පුළුවන්.—යොහ. 10:16; යෙසා. 64:8; මතෙ. 6:9; එළි. 20:5.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• දෙවිට කැප වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දෙවිට කැප වීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද?

• කෙනෙක් යෙහෝවා දෙවිට ජීවිතය කැප කළ යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[6වන පිටුවේ පින්තූරය]

කැප වීමට එකඟව ජීවත් වීමෙන් සැබෑ සන්තෝෂය ලැබෙනවා