Skip to content

පටුනට යන්න

දෙවිට ගෞරවය ලැබෙන ආකාරයෙන් ජීවත් වන්න

දෙවිට ගෞරවය ලැබෙන ආකාරයෙන් ජීවත් වන්න

දෙවිට ගෞරවය ලැබෙන ආකාරයෙන් ජීවත් වන්න

‘ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය ගැන උදෑසනින්ම මට ඇසීමට සලස්වන්න. දෙවියනි, මා යා යුතු මාර්ගය මට පෙන්වන්න’ කියා දාවිත් යාච්ඤා කළා. (ගීතා. 143:8) ඔබ උදෑසන අවදි වී ලැබී තිබෙන අලුත් දවස වෙනුවෙන් යෙහෝවා දෙවිට ස්තුති කරද්දී දාවිත් මෙන්, නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටිනවාද? ඔබ එසේ කරන බවට කිසිම සැකයක් නැහැ.

අප ජීවත් වන ආකාරය තුළින් දෙවිව ගෞරවයට හෝ අගෞරවයට පත් වන බව අප තේරුම්ගෙන තිබෙනවා. ඒ වගේම සාතන්, ක්‍රිස්තුස්ගේ සහෝදරයන් වන අභිෂේක ලත් අය ඇතුළු දෙවිගේ සියලුම සේවකයන්ට විරුද්ධව “දිවා රෑ දෙකෙහිම” චෝදනා එල්ල කරන බවත් අප දන්නවා. (එළි. 12:10) ඒ නිසා දෙවිට කැප වූ සේවකයන් ලෙස අප “කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න” වෑයම් කරනවා. (1 කොරි. 10:31) ඒ වගේම සාතන්ගේ චෝදනා බොරු බව ඔප්පු කරන්නත් “දිවා රෑ” දෙවිට පරිශුද්ධ සේවය පිරිනමමින් ඔහුගේ සිත සතුටු කරන්නත් අප අදිටන් කරගෙන සිටිනවා.—එළි. 7:15; හිතෝ. 27:11.

අපගේ එදිනෙදා ජීවිතයේදී දෙවිව ගෞරවයට පත් කළ හැකි වැදගත් ආකාර දෙකක් දැන් අපි සලකා බලමු. පළමු එක වන්නේ අපගේ ජීවිතයේ මුල් තැන ගත යුතු දේවල් මොනවාද කියා තීරණය කිරීමයි. දෙවැනි එක වන්නේ අන් අය ගැන සැලකිලිමත් වීමයි.

කැප වීමට එකඟව ජීවත් වන්න

අපගේ කැප වීම තුළින් අප පෙන්වන්නේ යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කිරීමට අපට ඇති ආශාවයි. “සදහටම” දෙවිගේ මාර්ගයේ ගමන් කරන බවටද ඒ අවස්ථාවේදී අප පොරොන්දු වෙනවා. (ගීතා. 61:5, 8) එම පොරොන්දුවට එකඟව අපට ජීවත් වෙන්න පුළුවන් කොහොමද? අප මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරන බව එදිනෙදා කටයුතුවලදී පෙන්වන්නේ කොහොමද?

අප ඉටු කළ යුතු වගකීම් මොනවාද කියා දෙවි ඔහුගේ වචනය වන බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. (ද්වි. 10:12, 13) ඉන් කිහිපයක් 22වන පිටුවේ ඇති  “දෙවිගෙන් ලැබී තිබෙන වගකීම්” නමැති කොටුවේ සඳහන් වී තිබෙනවා. ඒ සියලු වගකීම් ලබා දී ඇත්තේ දෙවි නිසා ඒ සෑම එකක්ම වැදගත්. නමුත් එකම අවස්ථාවකදී වගකීම් කිහිපයක් ඉටු කිරීමට සිදු වන විට අප මුල් තැන දිය යුත්තේ කුමකටද?

අප මුල් තැන දිය යුත්තේ බයිබලය අධ්‍යයනය, යාච්ඤාව, රැස්වීම් හා දේවසේවය වැනි අපගේ පරිශුද්ධ සේවයට අයත් දේවලටයි. (මතෙ. 6:33; යොහ. 4:34; 1 පේතෘ. 2:9) නමුත් අපගේ රැකියාව, අධ්‍යාපනය හා ගෙදරදොරේ වැඩකටයුතුවලටත් අප කාලය වෙන් කළ යුතු නිසා අපට මුළු දවසම ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකි වන්නේ නැහැ. ඒ වුණත් අප අපගේ එදිනෙදා කටයුතු සැලසුම් කළ යුත්තේ අපගේ පරිශුද්ධ සේවයට බාධාවක් නොවන ආකාරයෙනුයි. උදාහරණයකට අප නිවාඩුවක් ගත කිරීමට අදහස් කරනවා නම් චාරිකා සතිය, විශේෂ එක්දින එක්රැස්වීම, චාරිකා එක්රැස්වීම හෝ සමුළුව අතපසු නොවන ආකාරයට එය සැලසුම් කළ යුතුයි. සමහර අවස්ථාවලදී එක් වගකීමක් ඉටු කරන අතරතුර තවත් වගකීමක් ඉටු කිරීමේ හැකියාව තිබෙන්න පුළුවන්. උදාහරණයකට පවුලේ සියලුදෙනාම එක් වී යම් ක්‍රියාකාරකම්වල යෙදීමට සැලසුම් කරනවා නම් ඒ සඳහා රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීම වැනි දෙයක් තෝරාගන්න පුළුවන්. ඒ වගේම රැකියාවේ හෝ පාසැලේ විවේක වේලාව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට යොදාගත හැකියි. ඒ නිසා අපගේ රැකියාව, අධ්‍යාපනය හෝ මිතුරන් වැනි දේවල් ගැන තීරණ ගැනීමට සිදු වන විට අපගේ ප්‍රේමණීය දෙවි යෙහෝවාට කරන නමස්කාරයට බාධාවක් නොවන ආකාරයෙන් අප එම තීරණ ගත යුතුයි.—දේශ. 12:13.

අන් අය ගැන සැලකිලිමත් වන්න

අන් අය ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ට යහපත් දේ කරනවාට දෙවි කැමතියි. නමුත් සාතන්ට අවශ්‍ය මිනිසුන් තමන් ගැන පමණක්ම සිතා කටයුතු කරනවාටයි. ඔහු පාලනය කරන ලෝකයේ සිටින්නේද ‘තමන් ගැනම සිතන, විනෝදයට ඇල්මක් දක්වන’ හා ‘තම ආශාවන් පමණක් තෘප්තිමත්’ කරගන්නා අයයි. (2 තිමෝ. 3:1-5; ගලා. 6:8) ඒ නිසා තමන් කරන දේවල් අන් අයට බලපාන ආකාරය ගැන බොහෝදෙනා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එවැනි අය ක්‍රියා කරන්නේ ඔවුන්ගේ “පව්කාර ආශාවන්වලට” අනුවයි.—ගලා. 5:19-21.

අන් අය සමඟ කටයුතු කරන විට දෙවිගේ බලයේ උපකාරය ඇතුව ප්‍රේමය, කරුණාවන්තකම හා යහපත්කම වැනි ගුණාංග තම ජීවිතය තුළින් පිළිබිඹු කරන අය ඊට වඩා කොතරම් වෙනස්ද! (ගලා. 5:22) අප ගැන පමණක් නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේවල් ගැන සැලකිලිමත් වන ලෙස බයිබලයේ අපට උනන්දු කරනවා. නමුත් අප එසේ කරද්දී ඔවුන්ගේ පෞද්ගලික කාරණාවලට ඇඟිලි නොගැසීමට වගබලා ගත යුතුයි. (1 කොරි. 10:24, 33; ෆිලි. 2:3, 4; 1 පේතෘ. 4:15) අප විශේෂයෙන්ම සැලකිලිමත් වන්නේ සෙසු ක්‍රිස්තියානීන් ගැන වුණත් වෙනත් අයට උපකාර කිරීමටද අප උනන්දු විය යුතුයි. (ගලා. 6:10) කෙනෙකුට කරුණාව පෙන්විය හැකි අවස්ථා මොනවාද කියා සොයා බලන්න ඔබට හැකිද?—විසිතුන්වන පිටුවේ ඇති  “මේ අය ගැන සැලකිලිමත් වන්න” යන කොටුව බලන්න.

අන් අය ගැන සැලකිලිමත් වන්න විශේෂ අවස්ථාවක් හෝ වේලාවක් එනතුරු බලා සිටිය යුතු නැහැ. (ගලා. 6:2; එෆී. 5:2; 1 තෙස. 4:9, 10) ඒ වෙනුවට එදිනෙදා ඔවුන්ට උපකාර කළ හැකි අවස්ථා ගැන අවධානයෙන් සිටිමින් කැමැත්තෙන්ම ඔවුන්ට උපකාර කරමු. එසේ කරද්දී සමහරවිට අපට යම් අපහසුතාවලට මුහුණ දීමට සිදු විය හැකි වුණත් අප එසේ කළ යුතුයි. අපගේ කාලය, සම්පත්, අද්දැකීම් හා ප්‍රඥාව අන් අයගේ යහපත වෙනුවෙන් යෙදවීමට අප නිතරම කැමැත්තෙන් සිටිය යුතුයි. අප එලෙස ත්‍යාගශීලීව කටයුතු කරනවා නම් අපට ආශීර්වාද කරන බවට යෙහෝවා දෙවි සහතික වී තිබෙනවා.—හිතෝ. 11:25; ලූක් 6:38.

“දිවා රෑ” පරිශුද්ධ සේවය පිරිනමන්න

යෙහෝවා දෙවිට “දිවා රෑ” පරිශුද්ධ සේවය පිරිනමන්න පුළුවන්ද? ඔව්. ඒ සඳහා අප නොකඩවා, උද්‍යෝගයෙන් අපගේ නමස්කාරයේ සෑම අංගයකම නිරත විය යුතුයි. (ක්‍රියා 20:31) බයිබලය දිනපතා කියවීමෙන්, ඒ ගැන කල්පනා කිරීමෙන්, උනන්දුවෙන් යාච්ඤා කිරීමෙන්, රැස්වීම්වලට යෑමෙන් හා ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් දෙවිට කරන නමස්කාරයේ කටයුතුවල ක්‍රියාශීලීව හවුල් වන්න අපට පුළුවන්.—ගීතා. 1:2; ලූක් 2:37; ක්‍රියා 4:20; 1 තෙස. 3:10; 5:17.

අප එලෙස දෙවිට පරිශුද්ධ සේවය පිරිනමනවා නම් ඉන් අප පෙන්වන්නේ එදිනෙදා කරන දේවලින් දෙවිව සතුටු කරන්නත් සාතන්ගේ චෝදනාව බොරු බව ඔප්පු කරන්නත් අපට ආශාවක් තිබෙන බවයි. ඒ වගේම අප කුමක් කළත් අප කුමන තත්වයක සිටියත් යෙහෝවා දෙවිට ගෞරවය ලබා දීමට අප උනන්දු වෙනවා. අපගේ කතාව, හැසිරීම හා තීරණ දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟද කියා අප සොයා බලනවා. දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමෙන් හා අපට ඇති සියලු හැකියාවන් දෙවිගේ සේවය වෙනුවෙන් යෙදවීමෙන් අප පෙන්වන්නේ, දෙවි අප වෙනුවෙන් පෙන්වා ඇති ප්‍රේමණීය සැලකිල්ල හා අපට ලබා දී ඇති උපකාර අප අගය කරන බවයි. ඒ වගේම අපගේ පව්කාරකම නිසා දෙවිගේ ප්‍රමිති රකින්න නොහැකි වන අවස්ථාවලදී අප ඔහුගේ හික්මවීම්ද පිළිගන්නවා.—ගීතා. 32:5; 119:97; හිතෝ. 3:25, 26; කොලො. 3:17; හෙබ්‍රෙ. 6:11, 12.

අපි සෑම දිනකම දෙවිට ගෞරවය ලැබෙන ආකාරයෙන් ජීවත් වෙමු. එසේ කිරීමෙන් අපට මහත් සහනයක් හා දෙවිගේ ප්‍රේමණීය සැලකිල්ල ලැබිය හැකියි.—මතෙ. 11:29; එළි. 7:16, 17.

[22වන පිටුවේ කොටුව⁄පින්තූර]

 දෙවිගෙන් ලැබී තිබෙන වගකීම්

• නොකඩවා යාච්ඤා කිරීම.—රෝම 12:12.

• බයිබලය කියවා අධ්‍යයනය කර අපටම අදාළ කරගැනීම.—ගීතා. 1:2; 1 තිමෝ. 4:15.

• සභාවේදී දෙවිට ප්‍රශංසා කිරීම.—ගීතා. 35:18; හෙබ්‍රෙ. 10:24, 25.

• පවුලේ සාමාජිකයන්ට එදිනෙදා අවශ්‍ය දෙවල් සැපයීම, ඔවුන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වීම හා දෙවි සමඟ ඇති ඔවුන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කරන්න උපකාර කිරීම.—1 තිමෝ. 5:8.

• ශුභාරංචිය දේශනා කිරීම හා ගෝලයන් වීමට උපකාර කිරීම.—මතෙ. 24:14; 28:19, 20.

• ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්, සෞඛ්‍යය හා සතුට වෙනුවෙන් දේවල් කිරීම.—මාක් 6:31; 2 කොරි. 7:1; 1 තිමෝ. 4:8, 16.

• සභාවේ ඇති වගකීම් ගැන සැලකිලිමත් වීම.—ක්‍රියා 20:28; 1 තිමෝ. 3:1.

• අපගේ නිවසේ හා රාජ්‍ය ශාලාවේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම.—1 කොරි. 10:32.

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 මේ අය ගැන සැලකිලිමත් වන්න

• වයසක සහෝදරයෙක් හෝ සහෝදරියක්.—ලෙවී. 19:32.

• මානසිකව හෝ ශාරීරිකව අසනීපයෙන් සිටින කෙනෙක්.—හිතෝ. 14:21.

• හදිසි අවශ්‍යතාවකින් සිටින සභාවේ සාමාජිකයෙක්.—රෝම 12:13.

• පවුලේ සාමාජිකයෙක්.—1 තිමෝ. 5:4, 8.

• තම භාර්යාව හෝ පුරුෂයා මිය ගොස් සිටින කෙනෙක්.—1 තිමෝ. 5:9.

• සභාවේ මහන්සි වී වැඩ කරන වැඩිමහල්ලෙක්.—1 තෙස. 5:12, 13; 1 තිමෝ. 5:17.