Skip to content

පටුනට යන්න

ඔබව අධෛර්යයට පත් කිරීමට සාතන්ට ඉඩ නොදෙන්න

ඔබව අධෛර්යයට පත් කිරීමට සාතන්ට ඉඩ නොදෙන්න

ඔබව අධෛර්යයට පත් කිරීමට සාතන්ට ඉඩ නොදෙන්න

ඇසිරියාවේ සෙනකෙරිබ් රජගේ නියෝජිතයෙක් වූ රබ්ෂාකේ, යෙරුසලමේ සිටි අයට මෙසේ පැවසුවා. ‘රැවටෙන්න එපා. ඔබට උදව් කරන්න ඔබේ දෙවිට බැහැ. ඒ නිසා යටත් වෙන්න. නැත්නම් දඬුවම් විඳින්න සිදු වෙයි.’ ඒ වන විටත් ඇසිරියානු හමුදාව යූදා දේශය ආක්‍රමණය කර තිබුණා. ඉහත වචන පැවසීමෙන් රබ්ෂාකේට අවශ්‍ය වුණේ යෙරුසලමේ සිටි අයව බියගන්වා අධෛර්යයට පත් කර ඔවුන්ව යටත් කරගැනීමටයි.—2 රාජා. 18:28-35.

ඇසිරියානුවන් ප්‍රසිද්ධව සිටියේ කුරිරු වධ හිංසා පමුණුවන අය ලෙසයි. ඔවුන් විසින් යටත් කරගත් අයට දරුණු ලෙස වධ හිංසා දුන් ආකාරය ප්‍රසිද්ධ කිරීමෙන් ඔවුන් තම සතුරන්ව බියට පත් කළා. ඉතිහාසඥ ෆිලිප් ටේලර් ඒ ගැන මෙසේ විස්තර කරනවා. ‘ඔවුන් මිනිසුන්ට දරුණු ලෙස වධ හිංසා කළා. එමෙන්ම ඔවුන් විසින් යටත් කරගත් ජනයාව බියගන්වා තමන් යටතේම තබාගැනීම සඳහාත් ඉදිරියේදී සතුරන් විය හැකි අයව බියගැන්වීම සඳහාත් ඔවුන් දුන් දඬුවම්වල ඇති කුරිරුකම් ගැන බොරු ප්‍රචාරයන් කළා. ඊට බිත්ති මත ත්‍රාසජනක රූප කෙටීමද ඇතුළත් වුණා.’ ඇත්තෙන්ම මිනිසුන්ව බියගැන්වීම ඔවුන්ව අධෛර්යයට පත් කළ හැකි ප්‍රබල ක්‍රමයක්.

සැබෑ ක්‍රිස්තියානීන්ට ‘තිබෙන පොරබැදීම ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව නොව භූත සේනාවන්ට විරුද්ධවයි.’ එනම් දෙවිට විරුද්ධව කැරලිගැසූ භූතයන්ට විරුද්ධවයි. (එෆී. 6:12) ඒ අය අතර ප්‍රධානතම සතුරා වන්නේ සාතන් නමැති යක්ෂයායි. ඔහුද අපව නොයෙක් ආකාරවලින් බියගැනිවීමෙන් අධෛර්යයට පත් කරවනවා.

එසේ කිරීමෙන් දෙවිගේ සියලුම සේවකයන් දෙවිට දක්වන විශ්වාසවන්තකම නැති කිරීමට තමාට හැකි බව සාතන් කියා සිටිනවා. යෝබ් සම්බන්ධ සිද්ධියේදී සාතන් යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා. ‘මිනිසෙකු තම ජීවිතය බේරාගන්න තමා සතු සියල්ල වුවත් පරිත්‍යාග කරයි.’ සාතන් ඉන් ඇඟවූයේ පීඩා වැඩි වන විට මනුෂ්‍යයන් දෙවිට දක්වන විශ්වාසවන්තකම නැති කරගන්න බවයි. (යෝබ් 2:4) ඉන් අදහස් කරන්නේ අප දෙවිට දක්වන විශ්වාසවන්තකමට සීමාවක් තිබෙන බවද? ජීවිතය බේරාගැනීමට සිදු වන තත්වයක් උදා වුණොත් අප දෙවිගේ ප්‍රතිපත්ති කඩනවාද? අප තුළ එවැනි අදහසක් ඇති කරවමින් අපව බියගැන්වීමට සාතන් සූක්ෂම ක්‍රම යොදාගන්නවා. ඒ ක්‍රම මොනවාද සහ ඉන් අපට ආරක්ෂා විය හැකි ආකාර මොනවාද කියා අපි දැන් සලකා බලමු.

ඔවුන් අත්තිවාරම දමා ඇත්තේ දූවිල්ලේ

දෙවිට විශ්වාසවන්තව සිටීමට මනුෂ්‍යයන්ට නොහැකි බව යෝබ්ට ඒත්තුගැන්වීමට සාතන් එලිෆස්ව යොදාගත්තා. මිනිසාව මැටි ගෙවල්වලට සමාන කරමින් එලිෆස්, යෝබ්ට මෙසේ පැවසුවා. “දූවිල්ලේ අත්තිවාරම් දැමූ, මැටි ගෙවල්වල වසන්නාවූ අය ගැන කුමක් කිව හැකිද? කාවුන්ටත් වඩා පහසුවෙන් ඔවුන්ව පොඩි කර දැමිය හැකිය. ඔවුන් උදේ සිට සවස් වන තුරුම මැරි මැරී වැටුණත් කිසිවෙක් එය ගණනකටවත් ගන්නේ නැත. ඔවුහු සදහටම මෙලොවින් සමුගනිති.”—යෝබ් 4:19, 20.

ශුද්ධ ලියවිල්ලේ අපව ‘මැටි භාජනවලටද’ සමාන කර තිබෙනවා. (2 කොරි. 4:7) මැටි භාජන මෙන් දුර්වල දෙයකට අපව සමාන කර තිබෙන්නේ අප පව්කාරයන් වන නිසයි. (රෝම 5:12) ඒ නිසා අපට අපගේම හැකියාවෙන් සාතන්ට විරුද්ධ වෙන්න බැහැ. ඒ සඳහා යෙහෝවා දෙවිගේ උපකාරය අපට අත්‍යවශ්‍යයි. අපට මොන තරම් දුර්වලකම් තිබුණත් යෙහෝවා දෙවි අපව සලකන්නේ ඉතා වටිනා වස්තුවක් ලෙසයි. (යෙසා. 43:4) ඒ නිසා යෙහෝවා දෙවිගෙන් බලය ඉල්ලන අයට ඔහු එය ලබා දෙනවා. (ලූක් 11:13) ඔහු ලබා දෙන “සාමාන්‍ය ඉක්මවූ බලය” නිසා සාතන් ගෙන එන ඕනෑම පීඩාවකට මුහුණ දීමට අපට හැකියි. (2 කොරි. 4:7; ෆිලි. 4:13) අප “ස්ථිර විශ්වාසයකින්” යුතුව සාතන්ට විරුද්ධව සිටිනවා නම් දිගටම එසේ සිටීමට දෙවි අපට ශක්තිය ලබා දෙනවා. (1 පේතෘ. 5:8-10) ඒ නිසා අප සාතන්ට බිය විය යුතු නැහැ.

මිනිසා ‘අධර්මිෂ්ඨකම් කිරීමට ලොල්කමක් දක්වයි’

“මව්කුසෙන් නික්මෙන මිනිසා කවදා හෝ නිදොස් විය හැකිද? දූවිලි වැනි වූ මිනිසා පවිත්‍ර විය හැක්කේ කෙසේද?” කියා එලිෆස් ඇසුවා. ඊට ඔහුම මෙසේ පිළිතුරු දුන්නා. “දෙවිට තම දූතයන් කෙරෙහිවත් විශ්වාසයක් නැත. ස්වර්ගයත් ඔහු සලකන්නේ අපවිත්‍ර ස්ථානයක් ලෙසය. එසේනම් අධර්මිෂ්ඨකම් කිරීමට ලොල්කමක් දක්වන්නාවූ දූෂිත තත්වයක සිටින පිළිකුල් මිනිසා ගැන [දෙවි] කුමක් සිතන්නේද?” (යෝබ් 15:14-16) එහිදී එලිෆස්, යෝබ්ට පැවසුවේ යෙහෝවා දෙවි කිසි මිනිසෙකුව ධර්මිෂ්ඨයෙකු ලෙස නොසලකන බවයි. සාතන් කැමති අපත් ඒ ආකාරයටම සිතනවාටයි. අතීතයේ කළ වැරදි නිසා දෙවිට සේවය කිරීමට තරම් අප වටින්නේ නැහැ කියා සිතනවාටත් දෙවි අපට සමාව ලබා දෙන එකක් නැහැ කියා සිතනවාටත් ඔහු කැමතියි. ඒ වගේම අපට කරන්න බැරි දේවල් දෙවි අපෙන් බලාපොරොත්තු වන බව අප සිතනවා දකින්නත් සාතන්ට අවශ්‍යයි. ඒ විතරක් නොවෙයි අපගේ වැරදිවලට සමාව දෙන්න, ඒ වැරදි නිවැරදි කරගැනීමට උපකාර කරන්න හා කරුණාව පෙන්වන්න තරම් දෙවි ප්‍රේමණීය කෙනෙක් නොවන බව අප සිතනවාටත් ඔහු කැමතියි.

ඇත්තයි, අප සියලුදෙනාම ‘පව් කර තිබෙන නිසා දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට අසමත් වෙනවා.’ ඒ නිසා යෙහෝවා දෙවිගේ පරිපූර්ණ ප්‍රතිපත්ති රැකීමට කිසිම මිනිසෙකුට හැකියාවක් නැහැ. (රෝම 3:23; 7:21-23) ඉන් අදහස් කරන්නේ දෙවිට අපව වටින්නේ නැහැ කියා නොවෙයි. “අපව දූවිල්ලෙන් සෑදූ බව” සිහි කරන ඔහු “අප අතින් සිදු වන වැරදි සැමදා මතකයේ තබාගන්නේ” නැහැ. (ගීතා. 103:8, 9, 14) ඒ වගේම අපගේ පව්කාර තත්වයෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගන්නේ ‘යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුල් සර්පයා’ බව යෙහෝවා දෙවි දන්නවා.—එළි. 12:9, 10.

ඒ නිසා ඔහු මෙවැනි දෙයක් පවසනවා. “ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.” (යෙසා. 1:18) ඉන් අදහස් කරන්නේ කෙනෙක් තමා කරමින් සිටි වරදක් අත්හැර, අවංකවම පසුතැවිලි වී යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලනවා නම් දෙවි ඔහුට ‘මුළු හදින්ම සමාව දෙන’ බවයි. (යෙසා. 55:7; ගීතා. 51:17) ඒ නිසා අප කිසිදාක දෙවිගේ කැමැත්ත කිරීම අත් නොහැරීමට අදිටන් කරගනිමු.

අප පව්කාරයන් වන නිසා අපගේම උත්සාහයෙන් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වෙන්න අපට බැහැ. ආදම් සහ ඒව පරිපූර්ණත්වය හා සදාකාල ජීවිතය නැති කරගත්තා පමණක් නොව අපටද එය අහිමි කළා. (රෝම 6:23) නමුත් යෙහෝවා දෙවි මනුෂ්‍යයන්ට බොහෝ සේ ප්‍රේම කරන නිසා යේසුස්ගේ ජීවිත පූජාව ලබා දුන්නා. එම පූජාව කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට අපගේ පව්වලට සමාව ලබාගැනීමට මාර්ගය විවෘත වුණා. (මතෙ. 20:28; යොහ. 3:16) දෙවි ඔහුගේ මහත් කරුණාව කොතරම් විශිෂ්ට ආකාරයකින් පෙන්වා තිබෙනවාද! (තීත. 2:11) ඒ නිසා අපගේ පාපවලට සමාව ලබාගැනීමට නොහැකි බවට අප තුළ සිතුවිල්ලක් ඇති කිරීමට සාතන්ට ඉඩ නොදෙමු.

“ඔහුගේ ශරීරයට පහර දෙන්න”

යෝබ්ට තිබූ යහපත් සෞඛ්‍ය තත්වය නැති වුණොත් ඔහු දෙවි කෙරෙහි ඇති විශ්වාසය නැති කරගන්න බව සාතන් කියා සිටියා. යෙහෝවා දෙවිට අභියෝග කරමින් ඒ ගැන සාතන් මෙසේ පැවසුවා. “ඔබේ බලය පාවිච්චි කර ඔහුගේ ශරීරයට පහර දෙන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න.” (යෝබ් 2:5) අසනීප නිසා අප කිසි වැදගැම්මකට නැති අය යන සිතුවිල්ල අප තුළ ඇති කිරීමට සාතන්ට හැකි වුණොත් ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවා.

අප දෙවිට කරමින් සිටි සේවය තවදුරටත් කිරීමට නොහැකි වන විට දෙවි අපව ප්‍රතික්ෂේප කරයිද? නැහැ. උදාහරණයකට ඔබගේ මිත්‍රයෙකුට අනතුරක් සිදු වුණා කියා සිතන්න. කලින් ඔහු ඔබට කළ දේවල් තවදුරටත් කිරීමට ඔහුට නොහැකි නිසා ඔබ ඔහුව නොසලකා හරිනවාද? කොහෙත්ම නැහැ. ඔබ දිගටම ඔහුට ප්‍රේම කරමින් ඔහු ගැන සැලකිලිමත් වන බව ස්ථිරයි. විශේෂයෙන්ම ඔහු එම අනතුරට මුහුණ දුන්නේ ඔබට යම් උපකාරයක් කිරීමට යන විට නම් ඔබ ඔහු ගැන වඩාත් සැලකිලිමත් වන බව නිසැකයි. දෙවි ඊට වඩා වෙනස් ආකාරයකට ක්‍රියා කරයි කියා ඔබ සිතනවාද? යෙහෝවා දෙවි ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.”—හෙබ්‍රෙ. 6:10.

බයිබලයේ එක්තරා දිලිඳු වැන්දඹුවක් ගැන සඳහන් වෙනවා. ඇය දේවමාලිගාවේ තිබූ මුදල් බඳුනකට “ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක්” දමනවා යේසුස් දුටුවා. සමහරවිට ඇය වසර ගණනාවක් පුරා එසේ කරන්න ඇති. ඇය කළ ඒ ක්‍රියාව එතරම් වටින්නේ නැති දෙයක් ලෙස යේසුස් සැලකුවාද? නැහැ. ඒ වෙනුවට සැබෑ නමස්කාරය වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීම ගැන යේසුස් ඇයට ප්‍රශංසා කළා.—ලූක් 21:1-4.

මහලු විය හෝ අසනීප නිසා අප කුමන තත්වයක සිටියත් දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් ඔහු සමඟ ඇති අපගේ මිත්‍රත්වයට කිසිදු හානියක් නොවන බව ස්ථිරයි. යම් යම් හේතු නිසා අපට දෙවිට සේවය කිරීමට සීමා තිබුණත් දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව කිසි දිනක අත්හරින්නේ නැහැ.—ගීතා. 71:9, 17, 18.

“ගැලවීම නමැති හිස්වැස්ම” පැළඳගන්න

අපව බියගන්වා අධෛර්යයට පත් කිරීම සඳහා සාතන් යොදන උපක්‍රමවලින් ආරක්ෂා වීමට අපට පුළුවන් කොහොමද? පාවුල් ඊට මෙසේ පිළිතුරු දෙනවා. “ස්වාමීන්ගෙන් දිගටම බලය ලබාගෙන ශක්තිමත් වන්න. යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.” එම යුද්ධායුධ කට්ටලයට අයත් එක් උපාංගයක් වන්නේ ‘ගැලවීම නමැති හිස්වැස්මයි.’ (එෆී. 6:10, 11, 17) සාමාන්‍යයෙන් සොල්දාදුවෙක් තම හිස ආරක්ෂා කරගැනීමට හිස්වැස්මක් පළඳිනවා. ඒ හා සමානව අපව බියගන්වා අධෛර්යයට පත් කිරීමට සාතන් යොදාගන්නා විවිධ දේවලින් අපගේ මනස ආරක්ෂා කරගැනීම සඳහා “ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව” නමැති හිස්වැස්ම පැළඳ සිටීම අත්‍යවශ්‍යයි. එනම් පාරාදීස පොළොව ගැන දෙවිගේ පොරොන්දුව ඉටු වන බවට වූ විශ්වාසය අපට අත්‍යවශ්‍යයි. (1 තෙස. 5:8) උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපට එම බලාපොරොත්තුව ස්ථිරව තබාගත හැකියි.

යෝබ්, සාතන් ගෙනා ඉතා කුරිරු පීඩා සියල්ල විඳදරාගත්තා. ඔහු මරණාසන්නව සිටියත් අධෛර්යයට පත් නොවුණේ නැවත නැඟිටීම ගැන ඔහුට තිබුණු ස්ථිර විශ්වාසය නිසයි. එය ඔහු යෙහෝවා දෙවිට පැවසූ මේ වචනවලින් පැහැදිලියි. “ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.” (යෝබ් 14:15) තම විශ්වාසවන්ත සේවකයන්ට දෙවි ප්‍රේම කරන නිසා ඔවුන්ව නැවත නැඟිටුවන්න දෙවි ආශාවෙන් සිටින බව යෝබ් විශ්වාස කළා. ඒ නිසා ඔහු දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා.

අපටත් සැබෑ දෙවි කෙරෙහි ඒ ආකාරයේම විශ්වාසයක් තිබීම අත්‍යවශ්‍යයි. සාතන් හා ඔහුගේ පැත්තේ සිටින සියලුදෙනා අපට විරුද්ධව කරන සෑම දෙයක්ම නැති කර දැමීමට යෙහෝවා දෙවිට හැකියි. ඒ නිසා පාවුල් පැවසූ මේ වචන අපි මතකයේ තබාගනිමු. “දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට” හැකියි.—1 කොරි. 10:13.

[20වන පිටුවේ පින්තූරය]

ඔබ විශ්වාසවන්තව කළ සේවය දෙවි බොහෝ සේ අගය කරනවා

[21වන පිටුවේ පින්තූරය]

ගැලවීම නමැති හිස්වැස්ම පැළඳගන්න