Skip to content

පටුනට යන්න

ඔබ යෙහෝවා දෙවිව ඔබේම පියා ලෙස සලකනවාද?

ඔබ යෙහෝවා දෙවිව ඔබේම පියා ලෙස සලකනවාද?

ඔබ යෙහෝවා දෙවිව ඔබේම පියා ලෙස සලකනවාද?

“අපටත් යාච්ඤා කරන්නේ කොහොමද කියා උගන්වන්න” කියා යේසුස්ගේ අනුගාමිකයෙක් ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “යාච්ඤා කරන විට මෙසේ කියන්න. ‘පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!’” (ලූක් 11:1, 2) ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිව “සියලු බලැති තැනැත්තා,” “උදාර උපදේශකයාණන්,” ‘නිර්මාණකරු,’ “පුරාතන තැනැත්තා” හා “සදාකාලික රජ්ජුරුවන්” යන පදවි නාමවලින් ඇමතීමට යේසුස්ට හැකියාව තිබුණා. (උත්. 49:25; යෙසා. 30:20; 40:28; දානි. 7:9; 1 තිමෝ. 1:17) නමුත් ඔහු දෙවිව ඇමතුවේ “පියාණෙනි” කියායි. සමහරවිට එසේ දෙවිව ඇමතීමෙන් යේසුස්ට අවශ්‍ය වුණේ දරුවෙක් ප්‍රේමණීය පියෙකුව අමතන ආකාරයෙන් විශ්වයේ උසස්ම තැනැත්තාට අප අමතනවා දැකීමට විය හැකියි.

යෙහෝවා දෙවිව පියෙකු ලෙස සැලකීම සමහර අයට පහසු දෙයක් නොවෙයි. අට්සුකෝ * නමැති සහෝදරියටත් ඒ ගැටලුව තිබුණා. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “මට බව්තීස්ම වෙලා අවුරුදු ගණනාවක් යනකල් යෙහෝවා දෙවිව මගේ ස්වර්ගික පියා ලෙස සලකා ඔහුට ළං වෙන්නත් යාච්ඤා කරන්නත් අපහසු වුණා.” ඊට හේතුව ගැන ඇය මෙසේ පවසනවා. “මගේ තාත්තා මට සෙනෙහස පෙන්වපු කාලයක් මට මතක නැහැ.”

අට්සුකෝට ඇති වුණා හා සමාන හැඟීමක් තවත් අයට ඇති වීම පුදුම විය යුතු දෙයක් නොවෙයි. මන්ද මේ අවසාන කාලයේදී පියෙකුගෙන් බලාපොරොත්තු වන “සෙනෙහස” දරුවෙකුට බොහෝවිට ලැබෙන්නේ නැහැ. (2 තිමෝ. 3:1, 3) කෙසේවෙතත් යෙහෝවා දෙවිව අපගේ ප්‍රේමණීය පියා ලෙස සැලකීමට අපට බොහෝ හේතු තිබෙනවා.

අපගේ ප්‍රේමණීය සැපයුම්කරු

යෙහෝවා දෙවිව අපගේ පියා ලෙස සැලකීමට නම් අපට ඔහු ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. යේසුස්ට තම පියා ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ. පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.” (මතෙ. 11:27) පියෙක් ලෙස යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය දැනගැනීමට නම් දෙවි ගැන යේසුස් එළිදරව් කළ දේවල් කල්පනා කළ යුතුයි. දෙවි ගැන යේසුස් එළිදරව් කළේ මොනවාද?

තම ජීවිතයේ උල්පත යෙහෝවා දෙවි බව පිළිගනිමින් යේසුස් මෙසේ පැවසුවා. “මා ජීවත් වන්නේ [පියාණන්] නිසයි.” (යොහ. 6:57) අප ජීවත් වන්නේත් අපගේ ස්වර්ගික පියා නිසයි. (ගීතා. 36:9; ක්‍රියා 17:28) එලෙස මනුෂ්‍යයන්ට ජීවිතය දීමට යෙහෝවා දෙවිව පෙලඹවූයේ ප්‍රේමයයි. ඒ නිසා අපට ජීවිතය නමැති ත්‍යාගය ලබා දුන් අපගේ ස්වර්ගික පියාට අපත් ප්‍රේම කළ යුතු නැද්ද!

යෙහෝවා දෙවි අපට ප්‍රේමය පෙන්වූ විශිෂ්ටතම ආකාරය වන්නේ ඔහුගේ පුත්‍රයාගේ ජීවිතය අප වෙනුවෙන් ලබා දීමයි. දෙවි ඒ ආකාරයෙන් පව්කාර මිනිසුන්ට ප්‍රේම කළ නිසා යේසුස් මාර්ගයෙන් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔවුන්ට හැකි වුණා. (රෝම 5:12; 1 යොහ. 4:9, 10) අපගේ ස්වර්ගික පියා පොරොන්දු ඉටු කරන කෙනෙක් නිසා ඔහුට ප්‍රේම කරන හා කීකරු වන අයට ඉදිරියේදී “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා” වෙනවා.—රෝම 8:21.

යෙහෝවා දෙවි අපට අවශ්‍ය සියලු දේද සපයනවා. අප යම් දේවල් ඉල්ලන්නත් කලින් අපට ඒ දෙවල් අවශ්‍ය බව ඔහු දන්නවා. උදාහරණයකට ඔහු අපට දිනපතාම ‘තම හිරු උදා කරවනවා.’ (මතෙ. 5:45) පාන්දරින් වැටෙන හිරු කිරණ අපට මොන තරම් නැවුම් බවක් ලබා දෙනවාද! ඒ නිසා අපගේ ප්‍රේමණීය දෙවිගේ නිර්මාණ ගැන හොඳින් නිරීක්ෂණය කිරීමට කාලය ගනිමු. එවිට ඔහු ඒවා ගැන සැලකිලිමත් වන ආකාරය අගය කිරීමට අප පෙලඹෙනවා.—මතෙ. 6:8, 26.

ප්‍රේමයෙන් රැකබලා ගන්නා පියෙක්

දෙවි ඔහුගේ සෙනඟට මෙවැනි සහතිකයක් ලබා දුන්නා. “කඳු පෙරළා දමයි. හෙල්ද කඩා වැටෙයි. එහෙත් ඔබ කෙරෙහි මට තිබෙන ප්‍රේමය කිසිදා නැති නොවෙයි. මා ඔබ සමඟ ඇති කරගත් සමාදානයේ ගිවිසුමද කිසිදා නැති නොවෙයි. එසේ පවසන්නේ ඔබට දයාව පෙන්වන යෙහෝවා දෙවිය.” (යෙසා. 54:10) මිනිසුන් කෙරෙහි යෙහෝවා දෙවිට තිබූ ප්‍රේමය ගැන යේසුස්ට හොඳ අවබෝධයක් තිබුණා. ඔහු තම මරණයට පෙර දින රාත්‍රියේදී තම අනුගාමිකයන් වෙනුවෙන් කළ මෙම යාච්ඤාවෙන් එය පැහැදිලි වෙනවා. “මම ලෝකයෙන් සමුගෙන ඔබ ළඟට එනවා. නමුත් ඔවුන් සිටින්නේ ලෝකයේ. ඒ නිසා ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න. ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න.” (යොහ. 17:11, 14) ඊට එකඟව මේ දක්වා යෙහෝවා දෙවි යේසුස්ගේ අනුගාමිකයන්ව ආදරයෙන් රැකබලා ගෙන තිබෙනවා.

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් නියම වේලාවට අපට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් යෙහෝවා දෙවි අපව රැකබලා ගන්නවා. ඒ නිසා අපට සාතන්ගේ උපායන්වලින් ආරක්ෂා විය හැකියි. (මතෙ. 24:45) “දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” නම් දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරන එම පෝෂණය ලබාගත යුතුයි. උදාහරණයකට “විශ්වාසය නමැති විශාල පලිහ” තුළින් “දුෂ්ටයා ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි” වෙනවා. (එෆී. 6:11, 16) එනම් අපට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙනවා නම් දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට කිසිදු හානියක් සිදු වීමට දෙවි ඉඩ දෙන්නේ නැහැ.

යේසුස් කටයුතු කළ ආකාරය කිට්ටුවෙන් අධ්‍යයනය කිරීමෙන් අපගේ ස්වර්ගික පියා අපව රැකබලා ගන්නා ආකාරය ගැන තවත් තොරතුරු තේරුම්ගත හැකියි. එක් අවස්ථාවකදී යේසුස් තම ගෝලයන්ට මෙවැනි දෙයක් පැවසුවා. “මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න.” (මාක් 10:13-16) ඔවුන් යේසුස් ළඟට පැමිණි විට ඔහු ඔවුන්ව ආදරයෙන් වැලඳගෙන ඔවුන්ට ආශීර්වාද කළා. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ මුහුණු කොතරම් සතුටින් පිරී යන්න ඇද්ද! තවත් අවස්ථාවක මෙවැනි දෙයක් යේසුස් පැවසුවා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.” යේසුස්ට එවැනි දෙයක් පැවසීමට හැකි වුණේ ඔහු තම පියා කටයුතු කළ ආකාරයට කටයුතු කළ නිසයි. ඉන් පැහැදිලි වන්නේ අප දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නවාට දෙවි කැමති බවයි.—යොහ. 14:9.

යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පතයි. ඒ නිසා ඔහු පෙන්වන ප්‍රේමය කිසි දිනක අඩු වන්නේ නැහැ. අපගේ සැපයුම්කරු හා රැකබලා ගන්නා ලෙසද ඔහු කටයුතු කරනවා. ඒ වගේම අප ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්නවාටද ඔහු කැමතියි. (යාකො. 4:8) ඒ අනුව බලද්දී අපට සිටින හොඳම පියා යෙහෝවා දෙවියි!

අප ප්‍රයෝජන ලබන ආකාරය

අපගේ ප්‍රේමණීය පියා වන යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි. (හිතෝ. 3:5, 6) තම පියා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම නිසා යේසුස් ප්‍රයෝජන ලැබුවා. දෙවිගේ උපකාරය තමන්ට සෑම මොහොතකම ලැබෙන බව ඔහු හොඳින්ම දැන සිටියා. තමා සිටින්නේ ‘තනිව නොව තමාව එවූ පියාණන් සමඟයි’ කියා ඔහු ගෝලයන්ට පැවසීමෙන් එය පැහැදිලි වෙනවා. (යොහ. 8:16) යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී දෙවි ඔහුට මෙවැනි සහතිකයක් ලබා දුන්නා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙ. 3:15-17) යේසුස්ද තම මරණයට ටික වේලාවකට කලින් “පියාණෙනි, මගේ ජීවිතය ඔබේ අතේ” කියා දෙවිට පැවසුවා. (ලූක් 23:46) ඔහුට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය ඒ අවස්ථාවේදීත් නොසැලී තිබූ බව ඉන් පැහැදිලි වෙනවා.

අපටත් එවැනි විශ්වාසයක් තබාගත හැකියි. යෙහෝවා දෙවි අපේ පැත්තේ සිටින නිසා අපට බිය වීමට කිසිම හේතුවක් නැහැ. (ගීතා. 118:6) කලින් සඳහන් කළ අට්සුකෝ තමන්ගේ ගැටලුවලට තනිවම මුහුණ දීමට පුරුදු වී සිටියා. නමුත් ඇය යේසුස්ගේ ජීවිතය හා දේවසේවය ගැන, විශේෂයෙන්ම යේසුස්ට ඔහුගේ පියා සමඟ තිබූ කිට්ටු මිත්‍රත්වය ගැන අධ්‍යයනය කළා. එහි ප්‍රතිඵල ගැන ඇය මෙසේ පවසනවා. “තාත්තා කෙනෙක් කොයි වගේද කියලත් එයාව විශ්වාස කරන්න පුළුවන් කියලත් මම ඉගෙනගත්තා. ඒ තුළින් මට සැබෑ සාමය හා සන්තෝෂය අද්දකින්න පුළුවන් වුණා. ඇත්තටම ප්‍රේමණීය පියෙක් ඉද්දී කිසිම දෙයක් ගැන දුක් වෙන්න අවශ්‍ය නැහැ.”

යෙහෝවා දෙවිව අපගේ පියා ලෙස සැලකීමෙන් අප තවදුරටත් ප්‍රයෝජන ලබන්නේ කොහොමද? තම දෙමාපියන්ට ප්‍රේම කරන දරුවන් ඔවුන් සතුටු වන දේවල් කිරීමට කැමැත්තක් දක්වනවා. දෙවිට ඇති ප්‍රේමය නිසා ඔහුගේ පුත් යේසුස්ගේ ‘එකම ආශාව වූයේද ඔහුගේ පියාට ප්‍රසන්න දේවල් කිරීමයි.’ (යොහ. 8:29) ඒ හා සමානව අපත් දෙවිට ප්‍රේම කරනවා නම් ඥානවන්තව ක්‍රියා කරන්නත් ඔහුට ‘ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්නත්’ අප පෙලඹෙනවා.—මතෙ. 11:25; යොහ. 5:19.

පියාණන් ‘අපගේ දකුණතින් අල්ලාගෙන සිටිනවා’

අපගේ “උපකාරයට” යෙහෝවා දෙවි ඔහුගේ බලයද ලබා දෙනවා. ‘සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීම සඳහා ඔබට මඟ පෙන්වීමට’ දෙවිගේ බලයට හැකි බව යේසුස් පැවසුවා. (යොහ. 14:15-17; 16:12, 13) “බලකොටු හා සමාන” අසත්‍ය ඉගැන්වීම් හා සිතට කාවැදී ඇති මත ඉවත් කිරීමට දෙවිගේ බලයට හැකියි. එනම් කෙනෙකු තුළ ඇති ‘සෑම සිතුවිල්ලක්ම මෙල්ල කර, ඒවා ක්‍රිස්තුස් සිතන ආකාරයට හැඩගැසුණු සිතුවිලි බවට වෙනස් කරන්න දෙවිගේ බලයට හැකියි.’ (2 කොරි. 10:4, 5) ඒ නිසා දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කරමු. එසේ කරද්දී ‘ස්වර්ගයෙහි සිටින පියාණන් එය ලබා දෙන’ බවට වූ ස්ථිර විශ්වාසය අප තුළ තිබිය යුතුයි. අප යාච්ඤා කරන විට දෙවිට තව තවත් ළං වීමට උපකාර ඉල්ලීමටද අමතක නොකරමු.—ලූක් 11:13.

තම පියාගේ අතින් අල්ලාගෙන යන කුඩා දරුවෙකුට කිසිම භයක් දැනෙන්නේ නැහැ. ඔබත් යෙහෝවා දෙවිව ඔබේ පියා ලෙස පිළිගන්නවා නම් මේ වචනවලින් සහනයක් ලබන්න ඔබට පුළුවන්. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.” (යෙසා. 41:13) දිගටම යෙහෝවා දෙවිව ඔබේ පියා ලෙස සලකමින් ඔහුගේ කැමැත්ත කරන විට ඔබට ඔහුගේ ප්‍රේමය, ඔහු ලබා දෙන ප්‍රීතිය හා රැකවරණය අද්දැකිය හැකියි. ඒ වගේම සදහටම දෙවිට සේවය කිරීමේ වරප්‍රසාදයද ඔබට හිමි වෙනවා.—මීකා 6:8.

[පාදසටහන]

^ 3 ඡේ. නම වෙනස් කර ඇත.