Skip to content

පටුනට යන්න

ජීවන ගමනේදී හොඳම මාර්ගය තෝරාගන්න

ජීවන ගමනේදී හොඳම මාර්ගය තෝරාගන්න

ජීවන ගමනේදී හොඳම මාර්ගය තෝරාගන්න

“අප ජීවත් වුණත් මිය ගියත් අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.”—රෝම 14:8.

1. ජීවත් විය යුතු හොඳම ආකාරය ගැන යේසුස් ඉගැන්නුවේ කුමක්ද?

මනුෂ්‍යයන් තම තමන්ට කැමති ආකාරයට ජීවත් වෙනවා. නමුත් අප ජීවන ගමනේදී හොඳම මාර්ගය තෝරාගෙන සන්තෝෂයෙන් ජීවිතය ගත කරනවා දකින්න යෙහෝවා දෙවි කැමතියි. එය කළ හැකි හොඳම ආකාරය වන්නේ දෙවිගේ වචනයේ ඇති මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙමින් යේසුස්ගෙන් ඉගෙනගැනීමයි. යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවේද දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන්න කියායි. ඒ වගේම ඔහුගේ ගෝලයන් වීමට ජනයාට උපකාර කරන්න කියාද යේසුස් ඔවුන්ට ඉගැන්නුවා. (යොහ. 4:24; මතෙ. 28:19, 20) යේසුස් ඉගැන්වූ දේට එකඟව ජීවත් වීමෙන් අපට දෙවිව සතුටු කිරීමටත් ඔහු ලබා දෙන ආශීර්වාද භුක්ති විඳීමටත් හැකියි.

2. පළමු ශතවර්ෂයේ සිටි බොහෝදෙනා ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? “ස්වාමීන්ගේ මාර්ගයට” අයිති අය කියා ඔවුන්ව හැඳින්නුවේ ඇයි?

2 “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති වූ” අය බව්තීස්ම වන විට ඔවුන් ජීවිතය ගත කළ හැකි හොඳම මාර්ගය තෝරාගන්නවා. අප දැනටමත් ඒ මාර්ගයේ ගමන් කරන නිසා ඊට අලුතෙන් එකතු වන අයව පිළිගැනීමට අප බොහෝ සෙයින් සතුටු වෙනවා. (ක්‍රියා 13:48) පළමු ශතවර්ෂයේදීද විවිධ ජාතීන්ට අයත් දහස්ගණනක් දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබාගෙන බව්තීස්ම වුණා. (ක්‍රියා 2:41) ඔවුන් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තබමින් ඔහුගේ ආදර්ශය අනුගමනය කළ නිසා ඔවුන්ව “ස්වාමීන්ගේ මාර්ගයට” අයිති අය ලෙස හැඳින්නුවා.—1 පේතෘ. 2:21; ක්‍රියා 9:2; 19:23.

3. කෙනෙක් බව්තීස්ම වන්නේ ඇයි? පසුගිය වසර දහය ඇතුළත බව්තීස්ම වූ සංඛ්‍යාව කොපමණද?

3 මේ සමාජයේ අවසාන කාලයේදී ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය වේගවත් වී තිබෙනවා. දැන් රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක එය සිදු වෙනවා. පසුගිය වසර 10 ඇතුළත 27,00,000කට වැඩි පිරිසක් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ සතියකට 5,000කට වැඩි සංඛ්‍යාවක් බව්තීස්ම වී ඇති බවයි. කෙනෙක් බව්තීස්ම වීමට තීරණය කරන්නේ යෙහෝවා දෙවිට ප්‍රේම කරන නිසා, ශුද්ධ ලියවිලි පිළිබඳව ලබා ඇති දැනුම නිසා හා එයින් ඉගෙනගත් දේවල් විශ්වාස කරන නිසයි. බව්තීස්ම වීමෙන් පසු දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම ආරම්භ වන බැවින් එය කෙනෙකුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. පුරාණයේ සිටි තම විශ්වාසවන්ත සේවකයන්ට ජීවන ගමනේ හොඳම මාර්ගයේ දිගටම ගමන් කිරීමට දෙවි උපකාර කළා. (යෙසා. 30:21) ඒ හා සමානව අපටත් උපකාර කරන්න දෙවිට හැකියි. එය විශ්වාස කරන බව අපට පෙන්විය හැක්කේ බව්තීස්ම වීමෙනුයි.

බව්තීස්ම වීම අත්‍යවශ්‍යද?

4, 5. බව්තීස්ම වීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

4 ඔබ දෙවි ගැන දැනුම ලබා ජීවිතය වෙනස් කරගෙන බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් ලෙස සේවය කරනවා නම් ඔබට ප්‍රශංසා කරන්න අප කැමතියි. බයිබලයෙන් ඉගෙනගත් දේවලට අනුව ඔබගේ ජීවිතයේ මුල් තැන දිය යුත්තේ ධන සම්පත් සෙවීමට නොව නමස්කාරයේ කටයුතුවලට බව ඔබ දැන් හොඳින්ම දන්නවා. (ගීතාවලිය 148:11-13 කියවන්න; ලූක් 12:15) එසේනම් යාච්ඤාව තුළින් දෙවිට කැප වී බව්තීස්ම වීම ගැන ඔබ කල්පනා කර තිබෙනවාද? බව්තීස්ම වීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද කියා දැන් අපි සලකා බලමු.

5 ඔබ දෙවිට කැප වී බව්තීස්ම වීමෙන් ඔබට අර්ථවත් ජීවිතයක් ගත කළ හැකියි. ඒ වගේම දෙවිගේ කැමැත්ත කරන නිසා ඔබට සන්තෝෂයද ලැබෙනවා. (රෝම 12:1, 2) එමෙන්ම සමාදානය, විශ්වාසය වැනි ගතිලක්ෂණ වර්ධනය කරගන්න දෙවිගේ බලයේ උපකාරයද ඔබට ලැබෙනවා. (ගලා. 5:22, 23) ඒ විතරක් නොවෙයි දෙවි ඔබගේ යාච්ඤාවලට පිළිතුරු දෙන අතර දේවවචනයට එකඟව ජීවත් වීමට ඔබ ගන්නා වෑයමට ඔහු ආශීර්වාද කරනවා. දේවසේවයේ හවුල් වීමෙන් ප්‍රීතියක් ලබන්නද ඔබට පුළුවන්. ඒ වගේම දෙවිගේ අනුමැතිය ලැබෙන ආකාරයෙන් ජීවත් වීමෙන් සදාකාල ජීවිතය ගැන ඔබට ඇති බලාපොරොත්තුව ශක්තිමත් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීමට ආශාවක් තිබෙන බවද බව්තීස්ම වීමෙන් ඔබට පෙන්වන්න පුළුවන්.—යෙසා. 43:10-12.

6. බව්තීස්ම වීමෙන් අප පෙන්වන්නේ කුමක්ද?

6 යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වීමෙන් අප ඔහුට අයිති බව අන් අයට දැනගැනීමට සලස්වනවා. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම අප කවුරුත් ජීවත් වන්නේ අපගේම ගෞරවය උදෙසා නොවේ. කිසිවෙක් මිය යන්නේද තමාගේ ගෞරවය උදෙසා නොවේ. මන්ද අප ජීවත් වන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය. අපට මිය යන්න සිදු වුණත් එසේ මිය යන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය. ඒ අනුව අප ජීවත් වුණත් මිය ගියත් අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.” (රෝම 14:7, 8) තීරණ ගැනීමේ නිදහස ලබා දීමෙන් දෙවි අපවද ගෞරවයට පත් කර තිබෙනවා. එම නිදහස යොදාගෙන කැමැත්තෙන්ම අප ඔහුට කැප වීමට තීරණය කරනවා නම් ඔහු ඒ ගැන සතුටු වෙනවා. (හිතෝ. 27:11) බව්තීස්ම වීමෙන් යෙහෝවා දෙවි අපගේ පාලකයා බවත් මුළු විශ්වයම පාලනය කිරීමට ඔහුට අයිතියක් තිබෙනවා කියා පිළිගන්න බවත් අප පෙන්වනවා. (ක්‍රියා 5:29, 32) එවිට යෙහෝවා දෙවිද අපගේ පැත්තේ සිටින බව ස්ථිරයි. (ගීතාවලිය 118:6 කියවන්න.) දැනුත් අනාගතයේදීත් තවත් බොහෝ ආශීර්වාද ලබාගැනීමට බව්තීස්ම වීමෙන් අපට මාර්ගය විවෘත වෙනවා.

සහෝදර කැලට එක් වීමේ ආශීර්වාදය

7-9. (අ) තමන් සතු සියලු දේ අත්හරිමින් යේසුස්ව අනුගමනය කරන අයට ඔහු දුන් සහතිකය කුමක්ද? (ආ) මාක් 10:29, 30හි සඳහන් යේසුස්ගේ පොරොන්දු ඉටු වන්නේ කොහොමද?

7 පේතෘස් එක් අවස්ථාවකදී යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “බලන්න! අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා. ඇත්තටම අපට කුමක් ලැබෙයිද?” (මතෙ. 19:27) පේතෘස්ට දැනගැනීමට අවශ්‍ය වුණේ ඔහුටත් යේසුස්ගේ අනික් ගෝලයන්ටත් අනාගතයේදී ලැබෙන්නේ කුමක්ද යන්න ගැනයි. තමන්ගේ මුළු ජීවිතයම ශුභාරංචිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් යෙදවීමට ඔවුන්ට බොහෝ පරිත්‍යාගයන් කිරීමට සිදු වුණා. (මතෙ. 4:18-22) ඔවුන් කළ පරිත්‍යාග වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දේ ගැන යේසුස් දුන් සහතිකය කුමක්ද?

8 ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. ‘මා නිසාත් ශුභාරංචිය නිසාත් කෙනෙක් ගෙවල් දොරවල් හෝ සහෝදර සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර ඇත්නම්, ඔහුට මේ කාලයේදීම සිය ගුණයකින් ගෙවල්ද සහෝදර සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද වතුපිටිද ඒ සමඟ හිංසා පීඩාද ලැබෙනවා. ඒ වගේම මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයත් ඔහුට ලැබෙයි.’ යේසුස් එහිදී ඇඟවූයේ ඔවුන් එක්සත් සහෝදර කැලකට එකතු වීමට යන බවයි. (මාක් 10:29, 30) පළමු ශතවර්ෂයේ සිටි ලිදියා, අකිලා, ප්‍රිසිලා හා ගායස් වැනි අය ඔවුන්ගේ “ගෙවල්” සෙසු ක්‍රිස්තියානීන්ට ලබා දෙමින් ‘සහෝදර සහෝදරියන් හා මව්වරුන්’ මෙන් කටයුතු කළා.—ක්‍රියා 16:14, 15; 18:2-4; 3 යොහ. 1, 5-8.

9 යේසුස් ඉහත පැවසූ වචන අද දින ලෝක ව්‍යාප්තවම ඉටු වෙනවා. මිෂනාරිවරුන්, බෙතෙල් සාමාජිකයන් හා ජාත්‍යන්තර ස්වෙච්ඡා සේවකයන් ශුභාරංචිය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් තම වෘත්තිය කැමැත්තෙන්ම අත්හැර තිබෙනවා. “වතුපිටි” අත්හරිනවා කියා යේසුස් පැවසූ දෙයින් අදහස් කළේ එයයි. ඒ විතරක් නොවෙයි දෙවිට සේවය කිරීම සඳහා බොහෝ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ ගෙවල් දොරවල් පවා අත්හැර තිබෙනවා. නමුත් ඔවුන්ව දෙවි රැකබලා ගන්නා ආකාරයත් ඔහුට සේවය කිරීමෙන් ඔවුන් ලබන සතුටත් දකින විට අපට මහත් දිරිගැන්වීමක් ලැබෙනවා. (ක්‍රියා 20:35) ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සහෝදර කැලට අයත් අය ලෙස අපටත් ‘දෙවිගේ රාජ්‍යයට හා ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන’ දීමෙන් ඔහුගෙන් ආශීර්වාද ලබාගත හැකියි.—මතෙ. 6:33.

ආරක්ෂාව ලබාගත හැකි ‘රහස් ස්ථානය’

10, 11. ‘මහෝත්තම දෙවිගේ රහස් ස්ථානය’ කියා පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එහි සිටීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

10 දෙවිට කැප වී බව්තීස්ම වන කෙනෙකුට ලැබෙන තවත් ආශීර්වාදයක් වන්නේ “මහෝත්තම දෙවිගේ රහස් ස්ථානයේ” සිටීමට හැකි වීමයි. (ගීතාවලිය 91:1 කියවන්න.) දෙවි සමඟ ඇති අපගේ කිට්ටු මිත්‍රත්වයට සිදු විය හැකි හානිවලින් ආරක්ෂාව ලැබීම ඉන් අදහස් කරනවා. එය රහස් ස්ථානයක් වන්නේ දෙවිගේ ප්‍රතිපත්ති ගැන කිසි දැනුමක් නැති හා ඔහුව විශ්වාස නොකරන අයට එය අවබෝධ කරගැනීමට නොහැකි නිසයි. නමුත් අපගේ කැප වීමට එකඟව ජීවත් වෙමින් අප යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබනවා නම් අපට මෙසේ පැවසිය හැකියි. “ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය. මා විශ්වාසය තබන මාගේ දෙවිය.” (ගීතා. 91:2) ඒ වගේම යෙහෝවා දෙවිව අපගේ වාසස්ථානය කරගැනීමටද අපට හැකියි. (ගීතා. 91:9) ජීවත් වීමට අපට ඊට වඩා ආරක්ෂාකාරී තැනක් තිබෙනවාද?

11 යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානයේ” සිටීමට නම් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත යුතුයි. එය ආරම්භ වන්නේ දෙවිට කැප වී බව්තීස්ම වීමත් සමඟයි. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා බයිබලය අධ්‍යයනය කිරීම, යාච්ඤා කිරීම හා දෙවිට කීකරු වීම අවශ්‍යයි. (යාකො. 4:8) යේසුස්ට දෙවි සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් තිබුණා. ඒ නිසා දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය කිසිදාක අඩු වුණේ නැහැ. (යොහ. 8:29) අපගේ කැප වීමට එකඟව ජීවත් වෙමින් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපටද උපකාර කිරීමට දෙවිට හැකියි. ඔහු ඒ සඳහා ආශාවෙන් සිටින බවද අපි නිතරම මතක තබාගනිමු. (දේශ. 5:4) දෙවි අපට ප්‍රේම කරන බවත් අප ඔහුට සේවය කිරීමෙන් සතුටක් ලබනවාට ඔහු කැමති බවත් ඔහු ලබා දී ඇති සියලු සැපයුම්වලින් පැහැදිලි වෙනවා.

අප දැන් භුක්ති විඳින පාරාදීසය

12, 13. (අ) අද අප භුක්ති විඳින්නේ කුමනාකාර තත්වයක්ද? (ආ) නවකයන්ට උපකාර කිරීමට අපට පුළුවන් කොහොමද?

12 යෙහෝවා දෙවි හා එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින අය, පාරාදීසය හා සමාන තත්වයක් අද භුක්ති විඳිනවා. (ගීතා. 29:11; යෙසා. 54:13) දෙවිට කැප වී බව්තීස්ම වීමෙන් ඔබටත් එය භුක්ති විඳිය හැකියි. දෙවිගේ සෙනඟ අතර ඇති ඒ සාමකාමී වාතාවරණය ලෝකයේ වෙන කිසි තැනක දකින්න ලැබෙන්නේ නැහැ. දෙවිගේ සෙනඟ අතර ඇති එක්සත්කම මොන වගේද කියා ජාත්‍යයන්තර සමුළුවලින් පැහැදිලි වෙනවා. විවිධ ජාතීන්ට හා භාෂාවන්ට අයත් අය සාමයෙන් හා ප්‍රේමයෙන් එකට බැඳී සිටින ආකාරය එවන් අවස්ථාවලදී දැකගත හැකියි.

13 අද දින යෙහෝවා දෙවිගේ සෙනඟ භුක්ති විඳින සන්තෝෂය වෙන කිසි මනුෂ්‍යයෙක් තුළ දකින්න නැහැ. (යෙසායා 65:13, 14 කියවන්න.) ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් අන් අයටත් පාරාදීසයක් බඳු එම තත්වයට ඇතුල් වන්න කියා ආරාධනා කිරීමේ වරප්‍රසාදය අපට ලැබී තිබෙනවා. මෑතකදී ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කිරීමට පටන්ගත් අයව දේවසේවය සඳහා පුහුණු කිරීමට ලැබීමද අපට මහත් ආශීර්වාදයක්. අකිලා සහ ප්‍රිසිලා “දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක්” අපොලොස්ට ලබා දුන්නා හා සමානව වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීම යටතේ එවැනි අයට උපකාර කිරීමට ඔබටත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.—ක්‍රියා 18:24-26.

දිගටම යේසුස්ගෙන් ඉගෙනගන්න

14, 15. දිගටම යේසුස්ගෙන් ඉගෙනගැනීමට අපට තිබෙන හේතු මොනවාද?

14 දිගටම යේසුස්ගෙන් ඉගෙනගන්න අපට හොඳ හේතු තිබෙනවා. ඔහු පොළොවට පැමිණීමට පෙර ඔහුගේ පියා සමඟ වසර දහස් ගණනක් වැඩ කරමින් සිටියා. (හිතෝ. 8:22, 30) දෙවිට සේවය කරමින් ඔහු ගැන අන් අයට කතා කිරීම ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරය බව යේසුස් දැන සිටියා. (යොහ. 18:37) එලෙස ජීවිතය ගත නොකරන්නේ තමන් ගැන පමණක් සිතන අය බවද එය අඥාන දෙයක් බවද යේසුස් තේරුම්ගෙන සිටියා. ඒ වගේම දෙවිගේ කැමැත්ත කිරීම නිසා තමන්ට දරුණු පීඩාවලට මුහුණ දීමට සිදු වන බවත් තමන්ව මරණයට පත් කරන බවත් ඔහු දැන සිටියා. (මතෙ. 20:18, 19; හෙබ්‍රෙ. 4:15) ඒ කොහොමනමුත් දෙවිට විශ්වාසවන්තව සිටිමින් යේසුස් අපට හොඳ ආදර්ශයක් වුණා.

15 යේසුස්ගෙන් ඉගෙනගත හැකි තවත් දෙයක් අපි සලකා බලමු. ඔහු බව්තීස්ම වූ පසු ඔහුව වරදට පොලඹවා ගැනීමට සාතන් උත්සාහ කළා. (මතෙ. 4:1-11) එහිදී ඔහුට අවශ්‍ය වුණේ දෙවිගේ කැමැත්ත කරමින් යේසුස් ගත කළ ජීවිතය වෙනස් කිරීමටයි. නමුත් එය සාර්ථක වුණේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ සාතන් කුමන දේ කළත් අපට දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකි බවයි. අද දිනත් බව්තීස්ම වීමට බලාපොරොත්තුවෙන් සිටින හා අලුතෙන් බව්තීස්ම වූ අයව වරදට පොලඹවා ගැනීමට සාතන් උත්සාහ කරනවා. (1 පේතෘ. 5:8) සමහරවිට පවුලේ සාමාජිකයන් මාර්ගයෙන් ඔහු එලෙස පීඩා එල්ල කරනවා. උදාහරණයකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන පවසා ඇති අසත්‍ය තොරතුරු විශ්වාස කරන ඔවුන්, සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න එපා කියා අපට පැවසිය හැකියි. එවැනි අවස්ථාවලදී ඔවුන්ට සාක්ෂි දැරීමට අපට අවස්ථාවක් ලැබිය හැකියි. එය ගෞරවනීයව හා ඥානවන්තව කිරීමෙන් අපට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. (1 පේතෘ. 3:15) එසේ කිරීමෙන් අප පවසන දේ අසා සිටින අයට දෙවි ගැන ඉගෙනගැනීමටද ආශාවක් ඇති විය හැකියි.—1 තිමෝ. 4:16.

හොඳම මාර්ගයේ දිගටම ගමන් කරන්න

16, 17. (අ) ද්විතීය කතාව 30:19, 20හි සඳහන් මූලික කාරණා තුන කුමක්ද? (ආ) එම කරුණුවල වැදගත්කම යේසුස්, යොහන් සහ පාවුල් කාවැද්දුවේ කොහොමද?

16 යේසුස් පොළොවට පැමිණීමට වසර 1,500කට පමණ පෙර ජීවත් වූ මෝසෙස්, ඊශ්‍රායෙල්වරුන්ට ජීවන ගමනේදී හොඳම මාර්ගය තෝරාගන්න කියා මෙසේ උනන්දු කළා. “මා දැන් ඔබට කියන දේට ස්වර්ගයේ හා පොළොවේ වාසය කරන සියලුදෙනාම සාක්ෂිකරුවන් වෙයි. ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තිබෙනවා. එකක් ජීවනයේ මාර්ගය. අනික මරණයේ මාර්ගය. මෙයින් එකක් තෝරාගන්න. ඔබ තෝරාගන්නා මාර්ගය අනුව ඔබට ආශීර්වාද හෝ ශාප හිමි වෙයි. ඔබ තෝරාගත යුත්තේ ඔබටත් ඔබේ දූපුතුන්ටත් දිගු කල් ජීවත් වීමට හැකියාව ලබා දෙන ජීවනයට යන මාර්ගයයි. ඒ සඳහා ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න.” (ද්වි. 30:19, 20) එහිදී මෝසෙස් දිගු කල් ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය කාරණා තුනක් ගැන සඳහන් කළා. නමුත් ඊශ්‍රායෙල්වරුන් ඊට එකඟව ජීවත් වුණේ නැහැ. ඒ කොහොමනමුත් සදාකාල ජීවනය ලබාගැනීමට ඔහු සඳහන් කළ ඒ කාරණා තුනට එකඟව අප ජීවත් විය යුතුයි. යේසුස් හා වෙනත් අයද එම කාරණා ගැන සඳහන් කළා.

17 පළමු කාරණය නම් ‘අපගේ දෙවිට ප්‍රේම කිරීමයි.’ දෙවිගේ කැමැත්තට අනුව ජීවත් වීමෙන් අපට එය කළ හැකියි. (මතෙ. 22:37) දෙවැන්න නම් ‘දෙවිගේ හඬට සවන් දීමයි.’ බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා දෙවිගේ ආඥා පිළිපැදීමෙන් අපට එය කළ හැකියි. (1 යොහ. 5:3) ඒ සඳහා නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමද අවශ්‍යයි. (හෙබ්‍රෙ. 10:23-25) මන්ද රැස්වීම්වලදී සාකච්ඡා කරන්නේ දෙවිගේ වචනයේ ඇති තොරතුරුයි. තුන්වැන්න නම් ‘දෙවිට ළංව සිටීමයි.’ කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් හා ඔහුගේ පුත්‍රයාව අනුකරණය කිරීමෙන් අපට එය කළ හැකියි.—2 කොරි. 4:16-18.

18. (අ) බයිබලයේ ඇති සත්‍යයේ වටිනාකම 1914දී පළ වූ මුරටැඹ කලාපයක පැහැදිලි කළේ කොහොමද? (ආ) බයිබලයේ ඇති දැනුම ගැන අපට හැඟිය යුත්තේ කොහොමද?

18 බයිබලයෙන් අප ඉගෙනගත් දේවලට අනුව ජීවත් වීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! වර්ෂ 1914දී පළ වූ මුරටැඹ කලාපයක ඒ ගැන මෙසේ සඳහන් වුණා. “අප හැම අතින්ම ආශීර්වාද ලත් හා සන්තෝෂවත් සෙනඟක්. අප නමස්කාර කරන්නේ විශ්වාසවන්ත දෙවි කෙනෙකුටයි. මිනිසුන්ට තමන් කැමති කැමති දේවල් කියන්න, කරන්න හැකි වුණත් කිසි කෙනෙකුට මීට වඩා හොඳ දෙයක් හමු වුණා කියා පවසන්න බැහැ. හොඳම දෙය තිබෙන්නේ බයිබලයේයි. සැබෑ දෙවි ගැන අපට නිවැරදි දැනුමක් තිබෙන නිසා වචනවලින් විස්තර කළ නොහැකි සාමය, සන්තෝෂය හා වෙනත් ආශීර්වාද බොහෝමයක් අප භුක්ති විඳිනවා. ඒ වගේම දෙවිගේ ප්‍රඥාව, යුක්තිය, බලය හා ප්‍රේමය ගැන අප හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා අපට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ දෙවි පිළිබඳ දැනුමෙන් වර්ධනය වීම පමණයි. ඒ සඳහා වෙන කිසිම තැනකට යන්න අවශ්‍ය නැහැ.” එම හේතුන් නිසා ඔවුන්ට මෙන් අපටත් යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. එදා සිටි අයට වඩා අපට දෙවිගේ වචනය ගැන අවබෝධයක් තිබෙන නිසා අපට බොහෝ සෙයින් සන්තෝෂ විය හැකියි.—යෙසා. 2:5; ගීතා. 43:3; හිතෝ. 4:18.

19. බව්තීස්ම වීමට ප්‍රමාද නොවිය යුත්තේ ඇයි?

19 ‘යෙහෝවා දෙවි දෙන ආලෝකයෙන් ගමන් කරන්න’ ආශාවක් තිබුණත් ඔබ තවම බව්තීස්ම වී නොමැති නම් එය තවදුරටත් ප්‍රමාද කරන්නේ ඇයි? බව්තීස්මය සඳහා බයිබලයේ ඇති සුදුසුකම් අත් කරගැනීමට හැකි සියල්ල කරන්න. මන්ද දෙවි හා යේසුස් ඔබ වෙනුවෙන් කර ඇති දේවල් අගය කරන බව පෙන්වීමට ඔබට හැකි විශිෂ්ටතම ආකාරය එයයි. ඔබට ඇති වටිනාම දේ වන ඔබගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරන්න. යේසුස්ව අනුකරණය කිරීමෙන් දෙවිගේ කැමැත්ත කිරීමට ඔබට ආශාවක් තිබෙන බව පෙන්වන්න. (2 කොරි. 5:14, 15) ඔබගේ ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරය එයයි!

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දෙවිට කැප වී බව්තීස්ම වීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

• යේසුස්ගෙන් ඉගෙනගැනීම එතරම්ම වැදගත් ඇයි?

• ජීවිතය ගත කළ හැකි හොඳම මාර්ගයේ දිගටම ගමන් කිරීමට උපකාරවත් වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

ජීවන ගමනේදී හොඳම මාර්ගය තෝරාගෙන ඇති බව බව්තීස්ම වීමෙන් පැහැදිලි වෙනවා

[26වන පිටුවේ පින්තූර]

ඔබ “රහස් ස්ථානයේ” ආරක්ෂාව ලබනවාද?