Skip to content

පටුනට යන්න

‘දෙවිගේ බලය හා මනාලිය මාර්ගයෙන් ලැබෙන ආරාධනය’

‘දෙවිගේ බලය හා මනාලිය මාර්ගයෙන් ලැබෙන ආරාධනය’

‘දෙවිගේ බලය හා මනාලිය මාර්ගයෙන් ලැබෙන ආරාධනය’

‘දෙවිගේ බලය හා මනාලිය මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි. කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.’—එළි. 22:17.

1, 2. අපගේ ජීවිතයේ දෙවිගේ රාජ්‍යයට දිය යුතු ස්ථානය කුමක්ද? ඒ ඇයි?

අපගේ ජීවිතයේ දෙවිගේ රාජ්‍යයට දිය යුතු ස්ථානය කුමක්ද? යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ උනන්දු කළා. ‘නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න.’ එසේ කළොත් ඔවුන්ට අවශ්‍ය සියලු දේ දෙවිගෙන් ලැබෙන බවට යේසුස් සහතික වුණා. (මතෙ. 6:25-33) ඔහු දේවරාජ්‍යය වටිනා මුතු ඇටයකට සමාන කළා. එය කොතරම් වටිනවාද කියනවා නම් වෙළෙන්දෙක් ඔහු “සතු සෑම දෙයක්ම විකුණා එය මිල දී ගත්තා.” (මතෙ. 13:45, 46) දේවරාජ්‍යය එතරම්ම වටිනා දෙයක් නිසා ඒ පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා යේසුස්ගේ ගෝලයන් වීමට මිනිසුන්ට උපකාර කිරීම අපගේ ජීවිතයේ වැදගත්ම දේ කරගත යුතු නොවේද?

2 නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් හා දේවසේවයේදී බයිබලය දක්ෂ ලෙස භාවිත කිරීමෙන් පෙන්වන්නේ අප දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරන බවයි. ඒ ගැන අප කලින් ලිපි දෙකෙන් සාකච්ඡා කළා. අපට නිතිපතා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට උපකාර කරන්නත් දෙවිගේ බලයට හැකියි. ඒ කොහොමද කියා අපි මෙම ලිපියෙන් සලකා බලමු.

සියලුදෙනාටම ආරාධනාවක්!

3. “එන්න” කියා ආරාධනා කරන්නේ කුමක් සඳහාද?

3 දෙවිගේ බලය මාර්ගයෙන් සියලුදෙනාටම ආරාධනාවක් ලැබෙනවා. (එළිදරව් 22:17 කියවන්න.) එහි “එන්න” කියා ආරාධනා කරන්නේ සාමාන්‍යයෙන් අප එදිනෙදා භාවිත කරන ජලය පානය කිරීමට නොවෙයි. ජීවත් වීම සඳහා ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ළිඳ ළඟ සිටි සමරිතානු ස්ත්‍රියට ජලය ගැන කතා කළ විට යේසුස් ඉන් අදහස් කළේ වෙන දෙයක් ගැනයි. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ. මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි. එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.” (යොහ. 4:14) මිනිසුන් එම විශේෂ ජලය පානය කළොත් ඔවුන්ට සදාකාලයටම ජීවත් වීමට හැකියාව ලැබෙනවා.

4. ජීවනදායක ජලය පානය කිරීමේ අවශ්‍යතාව ඇති වුණේ කොහොමද? එම ජලයෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 ජීවනදායක ජලය පානය කිරීමේ අවශ්‍යතාව ඇති වුණේ ආදම් සහ ඒව ඔවුන්ගේ නිර්මාණකරු වන යෙහෝවා දෙවිට අකීකරු වූ අවස්ථාවේදීයි. (උත්. 2:16, 17; 3:1-6) පසුව දෙවි, ආදම් “සදහටම ජීවත් නොවන පිණිස ජීවන වෘක්ෂයේ පල කන්න ඔහුට ඉඩ” නොදී ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කළා. (උත්. 3:22) ඒ නිසා ආදම්ගෙන් මුළු මිනිස් වර්ගයාටම මරණය උරුම වුණා. (රෝම 5:12) ජීවනදායක ජලයෙන් අදහස් කරන්නේ කුමක්ද? පාපයෙන් හා මරණයෙන් නිදහස් වී පාරාදීස පොළොවක පරිපූර්ණ ජීවිතයක් ලබාගැනීමට කීකරු මිනිසුන්ට දෙවි ලබා දී ඇති සියලුම සැපයුම් ඉන් අදහස් කරනවා. අපට ඒ සැපයුම් ලබාගැනීමට හැකි වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි.—මතෙ. 20:28; යොහ. 3:16; 1 යොහ. 4:9, 10.

5. ‘ජීවනදායක වතුර නොමිලේ ලබාගැනීමේ’ සැපයුම ඇති කළේ කවුද? පැහැදිලි කරන්න.

5 සදාකාලයටම ජීවත් වීම සඳහා ලැබෙන සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජන අත් වන්නේ දහස් අවුරුදු පාලන කාලය තුළයි. ඒ සැපයුම් “පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්” කියා පැවසිය හැක්කේ එවිටයි. එම ගංගාව ගලන්නේ “දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය” වෙතිනුයි. (එළි. 22:1) ඉන් පැහැදිලි වන්නේ “බැටළු පැටවා” වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපට ජීවනදායක ජලය ලබා දෙන්නේ ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවි බවයි. (යොහ. 1:29; ගීතා. 36:9) ආදම්ගේ අකීකරුකම නිසා මිනිසුන්ට සිදු වූ හානිය නැති කරන්න දෙවි ඇති කර තිබෙන සැලැස්ම එම ගංගාවෙන් නියෝජනය කරනවා. එය ඇති කළේ යෙහෝවා දෙවියි. ඒ නිසා ඒ ආරාධනය යෙහෝවා දෙවිගේ ආරාධනයක් කියා පැවසිය හැකියි.

6. “ජීවන වතුර ඇති ගංගාව” ගලන්න පටන්ගත්තේ කවදා සිටද?

6 “ජීවන වතුර ඇති ගංගාව” ගලන්න පටන්ගත්තේ ‘ස්වාමීන්ගේ දවසේයි.’ එනම් “බැටළු පැටවා” වන ක්‍රිස්තුස් රජ වූ 1914 සිටයි. (එළි. 1:10) ඉන් අනතුරුව සදාකාලයටම ජීවත් වීම සඳහා අවශ්‍ය යම් යම් සැපයුම් ලබාගැනීමට හැකි වුණා. දෙවිගේ වචනය වන බයිබලය වතුරට සමාන කර තිබීමෙන් පැහැදිලි වන්නේ එයද එම සැපයුම්වලට ඇතුළත් බවයි. (එෆී. 5:26) ජීවන වතුර ලබාගන්න කියා ස්වාමීන්ගේ දවස තුළ සියලුදෙනාටම ආරාධනා කරන්නේ කවුද?

“එන්න” කියා “මනාලිය” පවසයි

7. ස්වාමීන්ගේ දවසේදී “එන්න” කියා කරන ආරාධනය මුලින්ම කළේ කවුද? කාටද?

7 ස්වාමීන්ගේ දවසේදී “එන්න” කියා ආරාධනා කිරීමට පටන්ගත්තේ ක්‍රිස්තුස්ගේ මනාලියට අයත් අභිෂේක ලත් අය විසිනුයි. ඔවුන් තමන්ටම “එන්න” කියා ආරාධනා කරගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් එම ආරාධනය කරන්නේ ‘සියලු බලැති දෙවිගේ මහත් දවසේ සිදු වන යුද්ධයෙන්’ පසු මේ පොළොව මත සදාකාලයටම ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටයි.එළිදරව් 16:14, 16 කියවන්න.

8. වර්ෂ 1918 සිට අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දෙවිගේ ආරාධනාව ඉදිරිපත් කරන බව පවසන්න පුළුවන් ඇයි?

8 වර්ෂ 1918 සිට අභිෂේක ලත් අය එම ආරාධනය කරමින් සිටිනවා. එම වසරේදී ඉදිරිපත් කරනු ලැබූ “දැන් ජීවත් වන මිලියන ගණන්දෙනා කිසිදා මිය නොයයි” යන ප්‍රසිද්ධ කථාවේදී හර්මගෙදොන් යුද්ධයෙන් පසු බොහෝදෙනෙකුට පාරාදීස පොළොවක ජීවත් විය හැකියි යන අදහස ඉදිරිපත් කළා. ඉන්පසු 1922 ඇමරිකා එක්සත් ජනපදයේ සීඩා පොයින්ට් ඔහායෝහි පැවැත්වූ සමුළුවකදී ඉදිරිපත් කළ කතාවක් තුළින් ‘රජ සහ ඔහුගේ රාජ්‍යය ගැන දැනුම් දෙන්න’ කියා පැමිණ සිටි අයට උනන්දු කළා. වඩා වැඩි දෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කරන්න සියලුම අභිෂේක ලත් අයට එමගින් දිරිගැන්වීමක් ලැබුණා. එළිදරව් 22:17 තේමා බයිබල් පදය ලෙස යොදාගෙන “කාරුණික ආරාධනාවක්” යන තේමාවෙන් යුත් ලිපියක් 1929 මාර්තු 15 මුරටැඹ කලාපයේ පළ වුණා. එම ලිපියේ කොටසක මෙසේ සඳහන් වුණා. ‘අභිෂේක ලත් ඉතුරු අය විශ්වයේ සිටින උසස්ම තැනැත්තා සමඟ එකතු වී ‘එන්න’ කියන ආරාධනය ඉදිරිපත් කරනවා. සත්‍ය ඉගැන්වීම්වලට හා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට කැමති අයට එම ආරාධනාව ඉදිරිපත් කිරීමට කාලය දැනුයි.’ එදා සිට මේ දක්වා මනාලියට අයත් අය එම ආරාධනාව ඉදිරිපත් කරමින් සිටිනවා.

“සවන් දෙන තැනැත්තාද, ‘එන්න’ කියා පැවසිය යුතුයි”

9, 10. “එන්න” කියා කළ ආරාධනය පිළිගත් අයට ලැබුණු දිරිගැන්වීම කුමක්ද?

9 “එන්න” කියා පවසන ආරාධනයට සවන් දෙන අය කුමක් කළ යුතුද? ඔවුන්ද වෙනත් අයට “එන්න” කියා පැවසිය යුතුයි. උදාහරණයකට වර්ෂ 1932 අගෝස්තු මුරටැඹ කලාපයේ 232වන පිටුවේ (සිංහලෙන් නැත) මෙසේ සඳහන් වුණා. “අභිෂේක ලත් අය අන් අයටත් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කරන්න කියා දිරිගැන්විය යුතුයි. නමුත් ශුභාරංචිය ප්‍රකාශ කරන අය අභිෂේක ලත් අය විය යුතුම නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියලුදෙනාටම එහි හවුල් විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ අවසන් යුද්ධයෙන් බේරී පරාදීස පොළොවක සදාකල් ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව ඔවුන්ට උදා වීම මොන තරම් ආශීර්වාදයක්ද!

10 සවන් දෙන තැනැත්තාට, “එන්න” කියා වෙනත් අයට පැවසීමට තිබෙන වගකීම ගැන 1934 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 249වන පිටුවේ (සිංහලෙන් නැත.) මෙසේ සඳහන් වුණා. “ශුභාරංචිය ප්‍රකාශ කරන සියලුදෙනාම අභිෂේක ලත් අය වෙන්න අවශ්‍ය නැති නිසා යේහුගෙන් නියෝජනය කරන අභිෂේක ලත් අය මෙන්ම යෝනාදාබ්ගෙන් නියෝජනය කරන අයත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හවුල් විය යුතුයි.” වර්ෂ 1935දී එළිදරව් 7:9-17හි සඳහන් “මහත් සමූහය” ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණු නිසා එදා සිටි සියලුදෙනාටම තවත් උද්‍යෝගයෙන් එම ආරාධනය කිරීමට පෙලඹීමක් ඇති වුණා. එදා සිට මහත් සමූහයට අයත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. දැන් එම සංඛ්‍යාව මිලියන හතකටත් වඩා වැඩියි. එම ආරාධනාව පිළිගත් අය දෙවිට කැප වී බව්තීස්ම වූ පසු යේසුස්ගේ මනාලියට අයත් අය සමඟ එකතු වී, තවත් අයට “ජීවනදායක වතුර නොමිලේ” ගන්න කියා උද්‍යෝගයෙන් ආරාධනා කරමින් සිටිනවා.

‘දෙවිගේ බලය මාර්ගයෙන් ලැබෙන ආරාධනය’

11. පළමු ශතවර්ෂයේදී ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට දෙවිගේ බලයේ උපකාරය ලැබුණේ කොහොමද?

11 නාසරෙත් නුවර සිනගෝගයක දේශනා කරමින් සිටින විට යේසුස් යෙසායාගේ ලියවිල්ලේ කොටසක් කියෙව්වා. එහි සඳහන් වුණේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ කරුණාවේ අවුරුද්ද ගැන දේශනා කිරීමටයි.” ඉන් අනතුරුව එය තමන්ටම අදාළ කරගනිමින් යේසුස් මෙසේ පැවසුවා. “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා.” (ලූක් 4:17-21) පසුව ඔහු ස්වර්ගයට යෑමට පෙර තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. ‘ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ පොළොවේ දුර ඈත කෙළවරවල මා ගැන සාක්ෂි දරයි.’ (ක්‍රියා 1:8) ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ පළමු ශතවර්ෂයේදී ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට හැකි වුණේ ඊට දෙවිගේ බලයේ උපකාරය බෙහෝ සෙයින් ලැබුණු නිසා බවයි.

12. වර්තමානයේදී ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා දෙවිගේ බලයේ උපකාරය ලැබෙන්නේ කොහොමද?

12 වර්තමානයේදී එම ආරාධනය ඉදිරිපත් කිරීමට දෙවිගේ බලය උපකාර කරන ආකාරය දැන් අපි සලකා බලමු. මනාලියට අයත් අයට දෙවිතම බලය මාර්ගයෙන් බයිබලයේ ඇති දේවල් තේරුම්ගැනීමට උපකාර කරනවා. පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම සඳහා ජනයාට ආරාධනා කරන්නත් ශුද්ධ ලියවිලි සත්‍යයන් ඔවුන්ට පහදා දෙන්නත් දෙවිගේ බලය, අභිෂේක ලත් අයව පොලඹවනවා. එම ආරාධනය පිළිගෙන එය අන් අයට ඉදිරිපත් කරන අයටත් දෙවිගේ බලය ලැබෙනවාද? ඔව්. ඔවුන් ‘දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගෙන’ බව්තීස්ම වී සිටින නිසා ඒ බලයේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන විට දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබෙනවා. (මතෙ. 28:19) අභිෂේක ලත් අය හා මහත් සමූහය ප්‍රකාශ කරන ශුභාරංචිය ඔවුන් රැගෙන තිබෙන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ලියැවුණු බයිබලය තුළිනුයි. එයින්ද පැහැදිලි වන්නේ එම ආරාධනාව දෙවිගේ බලය මාර්ගයෙන් ලැබෙන බවයි. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට දෙවිගේ බලයේ උපකාරය ප්‍රබල ලෙස ලැබෙන බව අප දන්නා නිසා එම කාර්යයේ වැඩියෙන් හවුල් විය යුතු නැද්ද!

ඔවුන් “නිරතුරුවම” ආරාධනා කරමින් සිටිනවා

13. එම ආරාධනය “නිරතුරුවම” ලැබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

13 ‘දෙවිගේ බලය හා මනාලිය, එන්න’ කියා පවසන්නේ නිකම්ම එක වතාවක් පමණක් නොවෙයි. ඒ වෙනුවට ඔවුන් “නිරතුරුවම” එසේ පවසනවා. ඉන් අදහස් කරන්නේ දෙවිගේ ආරාධනය දිගටම කළ යුතු බවයි. එම ආරාධනය අසන අය කුමක් කළ යුතුද? ඔවුන්ද තවත් අයට “එන්න” කියා ආරාධනා කළ යුතුයි. එය පිළිගන්නා මහත් සමූහයට අයත් අය ‘දිවා රෑ දෙකෙහි දේවමාලිගාවෙහි ඔහුට පරිශුද්ධ සේවයක් පිරිනමනවා’ කියා බයිබලයේ පවසනවා. (එළි. 7:9, 15) ඔවුන් එසේ කරන බව පවසන්න පුළුවන් කොහොමද? (ලූක් 2:36, 37; ක්‍රියා 20:31; 2 තෙසලෝනික 3:8 කියවන්න.) අනාගතවක්තෘවරියක් වන හන්නා හා පාවුල්ගේ උදාහරණවලින් පැහැදිලි වන ආකාරයට දිවා රෑ දෙකෙහි සේවය කිරීමෙන් අදහස් කරන්නේ, දිගටම හා දැඩි වෑයමක් දරමින් දේවසේවය කළ යුතු බවයි.

14, 15. නොකඩවා දෙවිට සේවය කිරීමේ ඇති වැදගත්කම දානියෙල්ගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ කොහොමද?

14 නොකඩවා දෙවිට සේවය කිරීමේ ඇති වැදගත්කම අනාගතවක්තෘ දානියෙල්ගේ ජීවිතයෙන්ද පැහැදිලි වෙනවා. (දානියෙල් 6:4-10, 16 කියවන්න.) “ඔහු දවසට තුන් වතාවක්ම” දෙවිට යාච්ඤා කිරීමට “පුරුදු වී” සිටියා. එය වෙනස් කිරීමට ඔහු කිසිවිටෙකත් කැමති වුණේ නැහැ. එය මසකට වෙනස් නොකළොත් තමන්ව සිංහ ගුහාවට දමන බව දැන සිටියත් ඔහු එය වෙනස් කළේ නැහැ. ඒ නිසා ඔහුව සිංහ ගුහාවට දැමුවා.

15 පසු දා උදෑසන සිංහ ගුහාවේ සිටි දානියෙල්ව බැලීමට පැමිණි රජ මෙසේ පැවසුවා. “අනේ දානියෙල්, ඔබ අත් නෑර නමස්කාර කරන ඔබේ ජීවමාන දෙවි ඔබව බේරාගත්තාද?” දානියෙල් ඉක්මනින්ම මෙසේ පැවසුවා. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා! සිංහයන්ගෙන් මට කිසි හානියක් වුණේ නැහැ. මා නිදොස් බව දෙවි දන්නවා. රජතුමනි, මම ඔබට විරුද්ධව කිසි වරදක් කළේ නැහැ. ඒ නිසා දෙවි ඔහුගේ දූතයෙකුව එවා සිංහයන්ගේ කටවල් වසා දැමුවා.” යෙහෝවා දෙවි තමාට “අත් නෑර” සේවය කළ දානියෙල්ට එලෙස ආශීර්වාද කළා. (දානි. 6:19-22) නොකඩවා යෙහෝවා දෙවිට නමස්කාර කිරීම තරම් වැදගත් වෙනත් දෙයක් නැති බව ඉන් පැහැදිලි වෙනවා.—මතෙ. 5:16.

16. දේවසේවය ගැන අප අපගෙන්ම අසා ගත යුතු ප්‍රශ්න මොනවාද?

16 නොකඩවා දෙවිට සේවය කිරීම නිසා මිය යෑමට සිදු වන බව දැන සිටියත් දානියෙල් එය අතපසු කළේ නැහැ. අපත් එලෙස අදිටන් කරගෙන සිටිනවාද? නොකඩවා ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ඔබ දැනටමත් කර තිබෙන්නේ මොන වගේ පරිත්‍යාගයන්ද? ඉදිරියටත් එසේ කිරීමට ඔබ කැමැත්තෙන් සිටිනවාද? දානියෙල් මෙන් අපත් යෙහෝවා දෙවිට සේවය නොකර මාසයක්වත් ගත වීමට ඉඩ නොදිය යුතුයි. හැකි නම් සෑම සතියකම අප දේවසේවයේ යෙදීමට වෑයම් කළ යුතුයි. වඩාත් දුර්වල සෞඛ්‍ය තත්වයක සිටින කෙනෙකු දේවසේවයේ හවුල් වන්නේ මසකට විනාඩි 15ක් වුණත් එය වාර්තා කළ හැකියි. මන්ද අපගේ ආශාව වන්නේ දෙවිගේ බලය හා මනාලිය සමඟ එකතු වී නොකඩවා “එන්න” කියා පැවසීමයි. එසේනම් ප්‍රචාරකයෙක් ලෙස නිතිපතා දේවසේවයේ හවුල් වීමට අපිට හැකි සියල්ල කරමු.

17. අප අතපසු නොකළ යුත්තේ ආරාධනාව ඉදිරිපත් කිරීමට අපට ඇති කුමන අවස්ථාද?

17 අප ශුභාරංචිය ප්‍රකාශ කළ යුත්තේ ඊට වෙන් කර ඇති කාලය තුළ පමණක් නොවෙයි. හැකි සෑම අවස්ථාවකදීම එය කළ යුතුයි. උදාහරණයකට සාප්පු යන විට, ගමන්බිමන් යන විට, නිවාඩුවකට යන විට, රැකියාව හා පාසැලට යන විට අපට එය කළ හැකියි. ඒ ආකාරයට ‘එන්න ඇවිත් ජීවනදායක වතුර නොමිලේ ලබාගන්න’ යන ආරාධනාව ඉදිරිපත් කිරීමට අපට ලැබී තිබෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! ශුභාරංචිය ප්‍රකාශ කිරීමට බලධාරීන් සීමා තහංචි දැමුවත් ඥානවන්තව අපට එය දිගටම කළ හැකියි. ඒ සඳහා සෑම නිවසකටම පිළිවෙළකට නොගොස් අතරින්පතර නිවෙස්වලට යෑම සුදුසු විය හැකියි. නැත්නම් අපට වෙනත් ආකාරයට සාක්ෂි දරන්නද පුළුවන්.

නිරතුරුවම “එන්න” කියා පවසන්න

18, 19. දෙවිගේ හවුල් සේවකයෙකු වීමේ වරප්‍රසාදය අගය කරන බව ඔබ පෙන්වන්නේ කොහොමද?

18 දෙවිගේ බලය හා මනාලිය දශක නවයකට වඩා වැඩි කාලයක් පුරා ජීවනදායක වතුර සඳහා පිපාසයෙන් සිටින අයට “එන්න” කියා ආරාධනා කරමින් සිටිනවා. ඔබ එම ආරාධනාව පිළිගෙන තිබෙනවාද? එසේනම් එම ආරාධනාව අන් අයටද පවසන්න කියා ඔබට උනන්දු කරන්න කැමතියි.

19 යෙහෝවා දෙවි එම ප්‍රේමණීය ආරාධනාව තව කොපමණ කාලයක් සිදු කරයිද කියා අප දන්නේ නැහැ. නමුත් එම ආරාධනාව ඉදිරිපත් කරද්දී අප කටයුතු කරන්නේ දෙවිගේ හවුල් සේවකයන් ලෙසයි. (1 කොරි. 3:6, 9) එය මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! දේවසේවයේ නිතිපතා හවුල් වීමෙන් අපි එම වරප්‍රසාදය අගය කරන බව පෙන්වමු. එවිට අපට ‘දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කළ’ හැකියි. (හෙබ්‍රෙ. 13:15) අපි සියලුදෙනාම මනාලියට අයිති අභිෂේක ලත් අය සමඟ එකතු වී “එන්න” ඇවිත් ජීවනදායක වතුර නොමිලේ ගන්න කියා තවත් අයට ආරාධනා කරමු.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• “එන්න” කියා ආරාධනා කරන්නේ කාටද?

• “එන්න” කියා ආරාධනා කරන්නේ යෙහෝවා දෙවි බව පවසන්න පුළුවන් ඇයි?

• “එන්න” කියා කරන ආරාධනයට දෙවිගේ බලය තුළින් ලැබෙන උපකාරය කුමක්ද?

• නොකඩවා දේවසේවයේ හවුල් වීමට අප වෑයම් කළ යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ වගුව/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

නිරතුරුවම “එන්න” කියා පවසන්න

1914

ප්‍රචාරකයන් 5,100

1918

බොහෝදෙනෙකුට පාරාදීස පොළොව මත ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා

1922

“රජ හා ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න”

1929

අභිෂේක ලත් ඉතුරු අය “එන්න” කියා පවසයි

1932

අභිෂේක ලත් අයට අමතරව තවත් අයටත් “එන්න” කියා ආරාධනා කරනවා

1934

යෝනාදාබ්ගෙන් නියෝජනය කරන අයටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ආරාධනා කළා

1935

“මහත් සමූහය” කවුද කියා හඳුනාගනියි

2009

ප්‍රචාරකයන් 73,13,173