Skip to content

පටුනට යන්න

‘දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’

‘දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’

‘දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’

‘ඔවුන් තුළ දෙවිගේ බලය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න පටන්ගත්තෝය.’—ක්‍රියා 4:31.

1, 2. මිනිසුන්ගේ හදවතට කාවදින ආකාරයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වෑයම් කළ යුත්තේ ඇයි?

යේසුස් තම මරණයට දින තුනකට පෙර තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” ඒ වගේම ඔහු ස්වර්ගයට යෑමට පෙර තම අනුගාමිකයන්ට මෙවැනි ආඥාවක්ද දුන්නා. ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මාගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’ එමෙන්ම, “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” ඔහු තම අනුගාමිකයන් සමඟ සිටින බවට පොරොන්දු වුණා.—මතෙ. 24:14; 26:1, 2; 28:19, 20.

2 පළමු ශතවර්ෂයේදී ආරම්භ වූ එම කාර්යයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප ඉතා උද්‍යෝගයෙන් නියැලිය යුතුයි. අපට කළ හැකි වැදගත්ම කාර්යය එයයි. මන්ද ඉන් මිනිසුන්ට සදාකාල ජීවනය ලබාගැනීමට හැකියි. එසේනම් මිනිසුන්ගේ හදවතට කාවදින ආකාරයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම මොන තරම් වැදගත්ද! අපට නිර්භීතව එහි හවුල් වීමට දෙවිගේ බලය උපකාර කරන ආකාරය මෙම ලිපියෙන් සලකා බලමු. දක්ෂ ලෙස ඉගැන්වීමට හා දිගටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවිගේ බලය අපට උපකාර කරන අයුරු ඊළඟ ලිපි දෙකෙන් සලකා බලනවා.

නිර්භීතකම අවශ්‍යයි

3. ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නිර්භීතකම අවශ්‍ය වන්නේ ඇයි?

3 ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවි අපට ලබා දී තිබෙන වරප්‍රසාදය අප ගෞරවයෙන් සලකනවා. නමුත් එය කිරීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. සමහරුන් අපගේ පණිවිඩය පිළිගත්තත් බොහෝදෙනා ඊට ප්‍රතිචාරය දක්වන්නේ නෝවාගේ කාලයේ සිටි මිනිසුන් ප්‍රතිචාරය දැක්වූ ආකාරයටයි. “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ” කියා යේසුස් පැවසුවා. (මතෙ. 24:38, 39) ඒ වගේම ශුභාරංචිය ප්‍රකාශ කරන විට අපට සමච්චල් කරන හා විරුද්ධ වන අයත් සිටිනවා. (2 පේතෘ. 3:3) එලෙස විරුද්ධ වන අය අතර බලධාරීන්, පාසැලේ හෝ රැකියා ස්ථානයේ මිතුරන් හා පවුලේ අය සිටින්න පුළුවන්. ඒ වගේම අපව කොන් කරයි යන හැඟීම හා ලැජ්ජාව වැනි අපගේම දුර්වලකම්ද ඊට බලපානවා. ඒ නිසා “කිසි බියක් සැකක් නැතුව” ශුභාරංචිය දිගටම ප්‍රකාශ කිරීම අපට පහසු දෙයක් නොවිය හැකියි. (එෆී. 6:19, 20) එසේනම් ඒ සඳහා අවශ්‍ය නිර්භීතකම ඇති කරගන්නේ කොහොමද?

4. (අ) නිර්භීත පුද්ගලයෙක් ක්‍රියා කරන්නේ කොහොමද? (ආ) තෙසලෝනිකයේ සිටි අයට කතා කිරීමට පාවුල්ට නිර්භීතකම ලැබුණේ කොහොමද?

4 “නිර්භීතකම” යන්නට යොදා ඇති ග්‍රීක වචනයට ‘සෘජුව හා පැහැදිලිව කතා කිරීම’ ඇතුළත් වෙනවා. ඒ වගේම එවැනි පුද්ගලයෙක් නිතරම කතා කරන්නේ ධෛර්යවන්තව හා විශ්වාසයකින් යුතුවයි. නමුත් එවැනි කෙනෙක් රළු හෝ අකාරුණික ලෙස කතා කරන්නේ නැහැ. (කොලො. 4:6) ක්‍රිස්තියානීන් ලෙස අප ශුභාරංචිය ප්‍රකාශ කරන විට නිර්භීතව කතා කරනවා වගේම අන් අය සමඟ සමාදානයෙන් සිටීමටද වෑයම් කරන්න අවශ්‍යයි. (රෝම 12:18) ඒ වගේම ඥානවන්ත වීමද වැදගත්. එසේ නොවුණොත් අන් අය අනවශ්‍ය ලෙස අපහසුතාවට පත් විය හැකියි. ඒ නිසා නිර්භීතකම සමඟ යහපත් ගුණාංගද විදහා පෙන්වීමට අප දැඩි වෑයමක් දැරිය යුතුයි. නමුත් එය අපගේම උත්සාහයෙන් කළ හැකි දෙයක් නොවෙයි. පාවුල් සහ ඔහු සමඟ සේවය කළ අය ‘ෆිලිප්පියේ සිටි විට බොහෝ නින්දාවන්ට’ මුහුණ දුන්නත් තෙසලෝනිකයේදී නිර්භීතව කතා කළා. ඔවුන්ට එසේ කිරීමට හැකි වුණේ ‘දෙවිගේ උපකාරය’ ලැබුණු නිසා බව පාවුල් පැවසුවා. (1 තෙසලෝනික 2:2 කියවන්න.) අපගේ බිය නැති කරගෙන නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපටත් උපකාර කිරීමට යෙහෝවා දෙවිට හැකියි.

5. පේතෘස්, යොහන් හා සෙසු ක්‍රිස්තියානීන්ට නිර්භීතව ක්‍රියා කිරීමට යෙහෝවා දෙවි උපකාර කළේ කොහොමද?

5 යේසුස් ගැන උගන්වන්න එපා කියා ‘යුදෙව් පාලකයන්, වැඩිමහල්ලන් හා නීතිය පිටපත් කරන්නන්,’ පේතෘස් හා යොහන්ට තර්ජනය කළ විට ඔවුන් මෙසේ පැවසුවා. “දෙවිට සවන් දෙනවාට වඩා ඔබට සවන් දීම දෙවි ඉදිරියෙහි හරිද කියා ඔබම තීරණය කරන්න. නමුත් අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ.” ඉන්පසු ඔවුන් දෙදෙනා සහ සෙසු ක්‍රිස්තියානීන් එකතු වී දෙවිට යාච්ඤා කළා. ඒ අවස්ථාවේදී පීඩා නතර කරන්න කියා දෙවිගෙන් ඉල්ලා සිටිනවා වෙනුවට ඔවුන් යාච්ඤා කළේ මෙසේයි. “යෙහෝවා දෙවියනි, ඔවුන් කරන තර්ජන දෙස බලන්න. ඔබේ දාසයන්ට කිසිම බියක් සැකක් නැතුව ඔබ පවසන දේවල් දිගටම කතා කරන්න හැකියාව ලබා දෙන්න.” (ක්‍රියා 4:5, 19, 20, 29) යෙහෝවා දෙවි ඔවුන්ගේ ඉල්ලීමට පිළිතුරු දුන්නේ කොහොමද? (ක්‍රියා 4:31 කියවන්න.) නිර්භීතව ක්‍රියා කරන්න දෙවි ඔහුගේ බලය තුළින් ඔවුන්ට උපකාර කළා. ඒ හා සමානව අපට උපකාර කිරීමටද දෙවිගේ බලයට හැකියි. දෙවිගේ බලයේ උපකාරය ලබාගෙන එහි මඟ පෙන්වීම්වලට එකඟව දේවසේවයේ යෙදෙන්න අපට පුළුවන් කොහොමද?

නිර්භීතකම ඇති කරගන්නේ කොහොමද?

6, 7. දෙවිගේ බලය ලබාගත හැකි ප්‍රධානතම ක්‍රමය කුමක්ද? උදාහරණ දෙන්න.

6 යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔබ දන්නවා. එසේනම් යමෙක් ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඔහුට ඒ දේ ලබා දෙයිද!” (ලූක් 11:13) ඉන් පැහැදිලි වන්නේ අපට අවශ්‍ය ඕනෑම මොහොතක දෙවිගේ බලය ලබාගත හැකි ප්‍රධානතම ආකාරය එය ඔහුගෙන් ඉල්ලීම බවයි. ඒ නිසා අප දෙවිගේ බලය ඉල්ලා නොකඩවා යාච්ඤා කළ යුතුයි. උදාහරණයකට වීදි සේවය හා ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දැරීම වැනි දේවසේවයේ විවිධ අංගවල හවුල් වීමට අප අදිමදි කරනවාද? දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමෙන් නිර්භීතව එහි හවුල් වෙන්න අපට පුළුවන්.—1 තෙස. 5:17.

7 ඒ සම්බන්ධයෙන් රෝසාගේ අද්දැකීම සලකා බලන්න. * ඇය සමඟ සේවය කළ පාසැල් ගුරුවරියක් ළමුන්ට හිරිහැර කිරීම ගැන වෙනත් පාසැලක වාර්තාවක් කියවමින් සිටියා. ඉන් ඇය කොතරම් කලකිරීමට පත් වුණාද කියනවා නම් “මේ ලෝකයට මොනවා වෙලාද?” කියා ඇය ශබ්ද නඟා පැවසුවා. මෙය ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබුණු හොඳ අවස්ථාවක් බව රෝසා තේරුම්ගත්තා. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ඇය ලබාගත්තේ කොහොමද? “මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගෙන් උපකාර ඉල්ලුවා” කියා ඇය පැවසුවා. පසුව ඇයට ඒ කාන්තාවට සාක්ෂි දැරීමට හා ඒ ගැන තවත් තොරතුරු කතා කිරීමට වෙනත් වේලාවක් යොදාගැනීමට හැකි වුණා. නිව් යෝර්ක් නගරයේ ජීවත් වන වයස අවුරුදු පහක් වන මිලානිගේ අද්දැකීම දැන් සලකා බලමු. “පාසැල් යන්න කලින් අම්මයි මමයි හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා” කියා මිලානි පවසනවා. ඔවුන් එසේ යාච්ඤාවෙන් ඉල්ලන්නේ පාසැලේදී දෙවි ගැන නිර්භීතව කතා කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියායි. මිලානිගේ මව ඒ ගැන මෙසේ පවසනවා. “උපන් දින හා විශේෂ නිවාඩු දින උත්සව ගැන මිලානි විශ්වාස කරන දේවල් අනික් අයට පැහැදිලි කරන්නත් එවැනි උත්සවවලට හවුල් නොවී ඉන්නත් ඒ යාච්ඤා මිලානිට උපකාරවත් වුණා.” එම අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ නිර්භීතකම අවශ්‍ය වන ඕනෑම අවස්ථාවකදී දෙවිට යාච්ඤා කිරීමෙන් එය ලබාගත හැකි බව නොවේද?

8. නිර්භීතව ක්‍රියා කිරීමට යෙරෙමියාට හැකි වූ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

8 නිර්භීතව ක්‍රියා කිරීමට අනාගතවක්තෘ යෙරෙමියාට උපකාරවත් වුණේ කුමක්ද? යෙහෝවා දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කළ අවස්ථාවේදී ඔහු ඊට අදිමදි කරමින් මෙසේ පැවසුවා. “මම තවම තරුණයෙක්. අනික මම කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි.” (යෙරෙ. 1:4-6) නමුත් කල් යත්ම යෙරෙමියා මොන තරම් උද්‍යෝගයෙන් දෙවිගේ පණිවිඩය ජනයාට දැන්නුවාද කියනවා නම් මිනිසුන් ඔහුව හැඳින්නුවේ විනාශය ගැන පමණක් කතා කරන කෙනෙක් ලෙසයි. (යෙරෙ. 38:4) එලෙස ඔහු වසර 65ක් පුරා නිර්භීතව යෙහෝවා දෙවිගේ විනිශ්චයේ පණිවිඩය ප්‍රකාශ කළා. ඒ නිසා ඔහු නිර්භීත දේශනාකරුවෙක් ලෙස ඊශ්‍රායෙල් දේශය පුරා ප්‍රසිද්ධ වුණා. ඊට වසර 600කට පමණ පසු යේසුස් නිර්භීතව කතා කළ විට යෙරෙමියා නැවත ජීවත් වෙනවා කියා එදා සිටි ජනයා පැවසුවේ ඒ නිසයි. (මතෙ. 16:13, 14) ලැජ්ජාශීලී පුද්ගලයෙක් වූ යෙරෙමියා එය නැති කරගත්තේ කොහොමද? ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “ඔබේ වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය. මට එය තවදුරටත් සිතේ තද කරගත නොහැකි විය.” (යෙරෙ. 20:9) නිර්භීතව කතා කිරීමට යෙරෙමියාව පොලඹවන්න යෙහෝවා දෙවිගේ වචනවලට හැකි වුණු බව ඉන් පැහැදිලියි.

9. අපව ක්‍රියාවට පෙලඹවීමට දෙවිගේ වචනයට හැකි වන්නේ ඇයි?

9 පාවුල් හෙබ්‍රෙව්වරුන්ට මෙසේ ලිව්වා. “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය. ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. එය කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දැක්වීමටත් එයට පුළුවන. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.” (හෙබ්‍රෙ. 4:12) දෙවි පැවසූ දේවල්, යෙරෙමියාව ක්‍රියාවට පෙලඹවූ ආකාරයටම අපවත් පෙලඹවිය හැකියි. බයිබලයේ සඳහන් දේවල් ලිවීමට දෙවි මිනිසුන්ව යොදාගත්තත් එහි ඇත්තේ මිනිසුන්ගේ අදහස් නොවේ. ඒ වෙනුවට එය ලියනු ලැබුවේ දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේයි. දෙවන පේතෘස් 1:21හි ඒ ගැන මෙසේ පවසනවා. “අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.” එමනිසා අප බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට කාලය ගන්නවා නම් දෙවිගේ බලය අපට ලැබෙනවා. (1 කොරින්ති 2:10 කියවන්න.) එහි තිබෙන දේවල් “ගින්නක් මෙන්” අප තුළ දැල්වෙන නිසා ඒ ගැන අන් අයට නොපවසා සිටිය නොහැකියි.

10, 11. (අ) නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා අප බයිබලය අධ්‍යයනය කළ යුත්තේ කොහොමද? (ආ) අර්ථවත් ලෙස බයිබලය අධ්‍යයනය කිරීම සඳහා ඔබ ගැනීමට බලාපොරොත්තු වන පියවර කුමක්ද?

10 අප බයිබලය අධ්‍යයනය කළ යුත්තේ එහි සඳහන් තොරතුරු අපගේ මනසට තදින් කාවදින ආකාරයටයි. උදාහරණයකට එසකියෙල් දුටු දර්ශනයක් ගැන සලකා බලන්න. මුරණ්ඩු මිනිසුන්ට ප්‍රකාශ කිරීමට තිබූ පණිවිඩයක් අඩංගු ලියවිල්ලක් කන්න කියා පවසනවා ඔහුට ඇසුණා. ඉන් අදහස් කළේ ඔහු එම පණිවිඩය සම්පූර්ණයෙන් තේරුම්ගත යුතු බව හා එය ජනයාට පැවසීමට ඔහු සතු වගකීම අවබෝධ කරගත යුතු බවයි. එම පණිවිඩය ප්‍රකාශ කිරීම ඔහුට මී පැණි මෙන් මිහිරි දෙයක් වන්නේ එසේ කළොත් පමණයි.එසකියෙල් 2:8–3:4, 7-9 කියවන්න.

11 අප සිටින්නේද එසකියෙල් සිටියා හා සමාන තත්වයකයි. අද සිටින බොහෝදෙනාද ශුභාරංචියට ඇහුම්කන් දීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ දිගටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නම් අප බයිබලයේ ඇති දේවල් හොඳින් තේරුම්ගත හැකි වන ආකාරයෙන් එය අධ්‍යයනය කළ යුතුයි. එය කඩින් කඩ නොව නිතිපතා පුරුද්දක් ලෙස කළ යුතුයි. එවිට අපට ගීතිකාකරු මෙන් මෙසේ පැවසිය හැකියි. “මාගේ පර්වතයද මාගේ ගැලවුම්කරුද වන යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා!” (ගීතා. 19:14) අප අධ්‍යයනය කරන දේ ගැන කල්පනා කිරීමට කාලය ගැනීම මොන තරම් වැදගත්ද! මන්ද බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අපගේ මනසට තදින් කාවදින්නේ එසේ කළොත් පමණයි. ඒ නිසා අර්ථවත් ලෙස පෞද්ගලික අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. *

12. දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලැබීමට රැස්වීම් උපකාරවත් වන්නේ ඇයි?

12 දෙවිගේ බලයේ උපකාරය ලබාගත හැකි තවත් ආකාරයක් තිබෙනවා. එය නම් ‘එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමයි.’ (හෙබ්‍රෙ. 10:24, 25) ඒ නිසා නිතිපතා රැස්වීම්වලට ගොස් හොඳින් සවන් දී ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගැනීමට වැයම් කරනවා නම් අප තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන බව පැවසිය හැකියි.එළිදරව් 3:6 කියවන්න.

නිර්භීතව ක්‍රියා කිරීමේ ඇති ප්‍රයෝජන

13. පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් ඉටු කළ දෙයින් පැහැදිලි වන්නේ කුමක්ද?

13 විශ්වයේ ඇති ප්‍රබලතම බලය වන්නේ දෙවිගේ බලයයි. දෙවිගේ කැමැත්ත කිරීමට අවශ්‍ය ශක්තිය මිනිසුන්ට ලබා දෙන්න ඊට හැකියි. පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට ‘අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයාටම’ ශුභාරංචිය දේශනා කිරීමට හැකි වුණේ දෙවිගේ බලයේ උපකාරය නිසයි. (කොලො. 1:23) එලෙස ශුභාරංචිය ප්‍රකාශ කළ බොහෝදෙනා “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” වූ නිසා එම දැවැන්ත කාර්යය ඉටු කිරීමට ඔවුන්ට ප්‍රබල බලයක් අවශ්‍ය වූ බවට නම් කිසිම සැකයක් නැහැ.—ක්‍රියා 4:13.

14. දෙවිගේ බලය අප තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

14 දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ජීවත් වන විට අපටත් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පෙලඹීමක් ඇති වෙනවා. නිරතුරුවම දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කිරීම, උනන්දුවෙන් පෞද්ගලික අධ්‍යයනය කිරීම, කියවන දේ හොඳින් තේරුම්ගැනීමට දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කර ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම හා නිතිපතා රැස්වීම්වලට සහභාගි වීම වැනි දේවල් “දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත්” වීමට අපට උපකාරවත් වෙනවා. උදාහරණයකට ‘දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාව තිබූ අපොලොස් නම් යුදෙව්වෙක්’ ගැන බයිබලයේ සඳහන් වෙනවා. “දෙවිගේ බලය ඔහු තුළ ප්‍රබලව ක්‍රියාත්මක වූ නිසා ඔහු ඉතා උද්‍යෝගයෙන් කටයුතු කළ අතර යේසුස් ගැන ඉතා නිවැරදිව කතා කරමින් හා උගන්වමින් සිටි” බවද එහි සඳහන් වෙනවා. (ක්‍රියා 18:24, 25) “දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත්” වීමෙන් අපටත් ගෙයින් ගෙට සහ වෙනත් ආකාරයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී නිර්භීතව කටයුතු කළ හැකියි.—රෝම 12:11.

15. නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් අපට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. එසේ කිරීමෙන් දේවසේවයේ තිබෙන වැදගත්කම මෙන්ම එයින් අත් වන ප්‍රයෝජන අපගේ සිතට තවත් හොඳින් කාවදිනවා. ඒ වගේම අප දේවසේවයේ සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න විට ලැබෙන ප්‍රීතිය නිසා අපේ උද්‍යෝගයද වැඩි වෙනවා. ඒ විතරක් නොවෙයි අප ජීවත් වන්නේ අන්තිම දවස්වල නිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීම මොන තරම් හදිසි දෙයක්ද කියාත් අපට හොඳින් අවබෝධ වෙනවා.

16. දේවසේවය සඳහා අපගේ උද්‍යෝගය අඩු වී ඇත්නම් අපට කුමක් කළ හැකිද?

16 දේවසේවය සඳහා අපගේ උද්‍යෝගය අඩු වී ඇත්නම් අපට කුමක් කළ හැකිද? ඊට පාවුල් මෙසේ පිළිතුරු දුන්නා. “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.” (2 කොරි. 13:5) ඒ සඳහා ඔබට ඔබගෙන්ම මෙසේ අසාගත හැකියි. ‘දෙවිගේ බලය මට තිබෙන බව මට දැනෙනවාද? මම දෙවිගේ බලය ඉල්ලා ඔහුට යාච්ඤා කරනවාද? දෙවිගේ කැමැත්ත කිරීමට මට ඔහුගේ උපකාරය අවශ්‍ය බව මම යාච්ඤාවෙන් දෙවිට පවසනවාද? මට විශ්වාසයෙන් බාර දී තිබෙන දේවසේවය අගය කරන බව මගේ යාච්ඤාවෙන් ඇඟවෙනවාද? මම කියවන හා ඉගෙනගන්න දේවල් ගැන කල්පනා කරන්න කොතරම් කාලයක් වැය කරනවාද? මම රැස්වීම්වලට හොඳින් සහභාගි වෙනවාද?’ එවැනි ප්‍රශ්න සලකා බැලීමෙන් ඔබ තුළ ඇති දුර්වලකම් හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න ඔබට හැකියි.

දෙවිගේ බලය ලබා නිර්භීත වන්න

17, 18. (අ) වර්තමානයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන පවසන්න පුළුවන් කුමක්ද? (ආ) “නිර්භීතව හා මහත් උද්‍යෝගයකින්” ශුභාරංචිය ප්‍රකාශ කරන්න අපට පුළුවන් කොහොමද?

17 යේසුස් නැවත නැඟිටීමෙන් පසු තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) පළමු ශතවර්ෂයේ ආරම්භ වූ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් අද දින සිදු කරනවා. වසරකට පැය බිලියන 1.5ක් වැය කරමින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන හතක් පමණ රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. නැවත කිසි දිනක සිදු නොවන එම කාර්යයෙහි උද්‍යෝගයෙන් හවුල් වීමට ලැබීම මොන තරම් වටිනා දෙයක්ද!

18 පළමු ශතවර්ෂයේදී මෙන් අද දිනත් ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුවයි. අප එම මඟ පෙන්වීම් පිළිගන්නවා නම් “නිර්භීතව හා මහත් උද්‍යෝගයකින්” දේවසේවයේ හවුල් විය හැකියි. (ක්‍රියා 28:31) එසේනම් අපි සියලුදෙනාම දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ශුභාරංචිය ප්‍රකාශ කරමු.

[පාදසටහන්වල]

^ 7 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. බයිබලය කියවීමෙන් හා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ආකාරය ගැන තොරතුරු දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනය ගනිමු නමැති පොතේ 21- 32 දක්වා පිටුවල ඇති “කියවීමට අවධානය යෙමු කරන්න” සහ “අධ්‍යයනය මහඟු ඵලවිපාක ලබා දෙයි” යන ලිපි බලන්න.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී නිර්භීතව කටයුතු කළ යුත්තේ ඇයි?

• පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට නිර්භීතව සාක්ෂි දැරීමට උපකාරවත් වුණේ කුමක්ද?

• නිර්භීතකම ඇති කරගන්නේ කොහොමද?

• නිර්භීතව කටයුතු කිරීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ පින්තූරය]

නිර්භීතව කටයුතු කිරීමට දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

[8වන පිටුවේ පින්තූරය]

නිර්භීතව දේවසේවයේ හවුල් වීමට යාච්ඤාව උපකාරවත් වෙනවා