Skip to content

පටුනට යන්න

දේවවචනය නමැති කඩුව දක්ෂ ලෙස භාවිත කරන්න

දේවවචනය නමැති කඩුව දක්ෂ ලෙස භාවිත කරන්න

දේවවචනය නමැති කඩුව දක්ෂ ලෙස භාවිත කරන්න

‘දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව එනම්, දේවවචනය අතට ගන්න.’—එෆීස 6:17.

1, 2. අස්වැන්න නෙළීමේ කාර්යය වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක්ද?

“අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න” කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවා. ඔහු එසේ පැවසුවේ දෙවි ගැන ඉගෙනගැනීමට මනුෂ්‍යයන්ට මොන තරම් උනන්දුවක් තිබෙනවාද කියා දුටු නිසයි. ඒ විතරක් නොවෙයි, “ඔහු තම ගෝලයන් දොළොස්දෙනා කැඳවා” අස්වැන්න නෙළීමට නැත්නම් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන්ව පිටත් කර හැරියා. (මතෙ. 9:35-38; 10:1, 5) පසුව ඒ සඳහා යේසුස් ‘තවත් හැත්තෑදෙනෙකුව තෝරාගෙන ඔවුන්වද දෙදෙනා බැගින්’ පිටත් කර හැරියා.—ලූක් 10:1, 2.

2 අද දිනත් දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමට බොහෝදෙනෙකුගේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ බව 2009 වසරේ යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට පැමිණි 1,81,68,323දෙනාගෙන් පැහැදිලියි. එම උත්සවයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාවට වඩා මිලියන 10ක් පමණ පැමිණියා. ඉන් පැහැදිලි වන්නේ අස්වැන්න නෙළීමට කාලය දැන් බවයි. (යොහ. 4:34, 35) ඒ නිසා තවත් සේවකයන් එවන ලෙස අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරමු. එම යාච්ඤාවට එකඟව අපට කුමක් කළ හැකිද? ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා යේසුස්ගේ ගෝලයන් වීමට ජනයාට උපකාර කිරීමේ වැඩයෙහි අපි උද්‍යෝගයෙන් හවුල් වෙමින් දක්ෂ දේවසේවකයන් වෙමු.—මතෙ. 28:19, 20; මාක් 13:10.

3. දක්ෂ දේවසේවකයන් වීමට අපට උපකාර කිරීමට දෙවිගේ බලයට පුළුවන් කොහොමද?

3 දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කිරීමෙන් අපට “දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න” හැකි බව අප කලින් ලිපියේ සාකච්ඡා කළා. (ක්‍රියා 4:31) දක්ෂ දේවසේවකයන් වීමට අපට උපකාර කරන්නත් දෙවිගේ බලයට හැකියි. බයිබලය දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියා ඇති නිසා අප දේවසේවයේදී එය භාවිත කරනවා නම් දේවසේවකයන් ලෙස අපගේ කාර්යය වඩාත් හොඳින් ඉටු කරන්න අපට පුළුවන්. (2 තිමෝ. 3:16) එමෙන්ම අප එහි ඇති තොරතුරු නිවැරදිව පහදා දෙනවා නම් අප දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරනවා කියා පැවසිය හැකියි.

‘දෙවිගේ වදන් බලවත්’

4. දෙවිගේ වචනය කොතරම් බලවත්ද?

4 දෙවිගේ වචනයට මොන තරම් බලයක් තිබෙනවාද! (හෙබ්‍රෙ. 4:12) එය මිනිසුන් සාදන ලද ඕනෑම කඩුවකට වඩා මුවහත්. ඊට සන්ධිවලින් ඇටමිදුලු වෙන් කළ හැකියි. ඉන් අදහස් කරන්නේ කෙනෙකුගේ සිතුවිලි හා චේතනා මොනවාද කියා ඔහුටම අවබෝධ කර දීමට බයිබලයට හැකි බවයි. ඇත්තටම දෙවිගේ වචනයට මිනිසුන්ගේ ජීවිත තුළ සැබෑ වෙනසක් ඇති කළ හැකියි.කොලොස්සි 3:10 කියවන්න.

5. බයිබලය තුළින් මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කුමන දේවල් සඳහාද? ඒවා අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5 වෙන කිසිම තැනකින් සොයාගත නොහැකි ප්‍රඥාවක් බයිබලයෙන් සොයාගත හැකියි. ගැටලුවලින් පිරුණු මේ ලෝකය තුළ සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ආකාරය ගැන තොරතුරු එහි ඇතුළත් වෙනවා. ඒ වගේම අනාගතයේදී යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අප කළ යුතු දේවල් ගැනත් එහි සඳහන් වෙනවා. ඒ අනුව දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් හා මාවතට එළියක් හා සමානයි කියා පැවසිය හැකියි. (ගීතා. 119:105) එමෙන්ම මිත්‍රයන්, විනෝදාංශ, රැකියාව හා ඇඳුම්පැළඳුම් වැනි දේවල් ගැන තීරණ ගැනීමටත් අපට ගැටලු ඇති වන විට ඊට පිළිතුරු සොයාගැනීමටත් බයිබලය අපට උපකාර කරනවා. (ගීතා. 37:25; හිතෝ. 13:20; යොහ. 15:14; 1 තිමෝ. 2:9) බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් අපට අන් අය සමඟ සාමයෙන් කටයුතු කරන්නත් පුළුවන්. (මතෙ. 7:12; ෆිලි. 2:3, 4) ඒ විතරක් නොවෙයි අප දැන් ගන්නා තීරණ අපගේ අනාගතයට බලපාන ආකාරය ගැනද බයිබලය තුළින් අපට අවබෝධයක් ලබාගත හැකියි. (1 තිමෝ. 6:9) අනාගතය සඳහා දෙවි අරමුණු කර ඇති දේත් අප ඊට එකඟව ජීවත් විය යුතු ආකාරය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (මතෙ. 6:33; 1 යොහ. 2:17, 18) කෙනෙක් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන විට ඔහුට මොන තරම් සතුටින් පිරි ජීවිතයක් ගත කළ හැකිද!

6. අපගේ සටනට බයිබලයෙන් ලැබෙන උපකාරය කුමක්ද?

6 සාතන් හා ඔහුගේ භූතයන්ට විරුද්ධව අප කරන සටනට බයිබලය තුළින් අපට ලැබෙන උපකාරය මොන තරම්ද! පාවුල් එය ‘කඩුවකට’ සමාන කළා. (එෆීස 6:12, 17 කියවන්න.) එම කඩුව භාවිත කරන විට මිනිසුන් මිය යන්නේ නැහැ. ඒ වෙනුවට ඉන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා. අප දක්ෂ ලෙස දෙවිගේ වචනයේ ඇති තොරතුරු මිනිසුන්ට පැහැදිලි කර දෙනවා නම් සාතන්ගේ ග්‍රහණය යටතේ සිටින ඔවුන්ව ඉන් මුදාගත හැකියි. එමනිසා දෙවිගේ වචනය නමැති කඩුව දක්ෂ ලෙස භාවිත කිරීමට අප වෑයම් කළ යුතු නොවේද!

නිවැරදිව භාවිත කරන්න

7. “දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” භාවිත කිරීමට පුහුණු විය යුත්තේ ඇයි?

7 යුද්ධයකදී සොල්දාදුවෙකුට දක්ෂ ලෙස ආයුධ භාවිත කිරීමට හැකි වන්නේ ඔහු ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් හා පුහුණුවක් ලැබුවොත් පමණයි. “දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” වන බයිබලය භාවිත කිරීමත් ඒ හා සමානයි. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවිගේ අනුමැතිය ලබා ඇති සේවකයෙකු ලෙස පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන, සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වන්න.”—2 තිමෝ. 2:15.

8, 9. බයිබල් පදයක් නිවැරදිව තේරුම්ගැනීමට කළ හැක්කේ කුමක්ද? උදාහරණයක් දෙන්න.

8 ‘දෙවිගේ වචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වීමට’ අපට උපකාරවත් වන්නේ කුමක්ද? බයිබලයේ ඇති තොරතුරු අන් අයට පැහැදිලිව ඉගැන්වීමට නම් පළමුව අප එය නිවැරදිව තේරුම්ගත යුතුයි. ඒ සඳහා බයිබල් පදයක අවට පද කියවීම උපකාරවත් වෙනවා.

9 එය තේරුම්ගැනීමට ගලාති 5:13හි සඳහන් මේ දෙය සලකා බලමු. “සහෝදරයෙනි, ඔබව කැඳවනු ලැබුවේ නිදහස් අය ලෙස සිටීමටය. නමුත් ඒ නිදහස ඔබේම ආශාවන් පිනවීමට භාවිත නොකරන්න. ඒ වෙනුවට ප්‍රේමයෙන් එකිනෙකා වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කරන්න.” එහිදී පාවුල් කතා කළේ කුමනාකාරයේ නිදහසක් ගැනද? ඒ, පාපයෙන් හා මරණයෙන් නිදහස් වීම ගැනද නැත්නම් අසත්‍ය ඉගැන්වීම්වලින් හෝ වෙනත් දෙයකින් නිදහස් වීම ගැනද? අවට පද කියවා බැලීමෙන් පැහැදිලි වන්නේ පාවුල් කතා කළේ “නීතියෙන් ඇති වූ ශාපයෙන්” නිදහස් වීම ගැන බවයි. (ගලා. 3:13, 19-24; 4:1-5) එනම් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීම නිසා ලැබෙන නිදහස ගැනයි. එය අවබෝධ කරගත් කෙනෙක් අන් අය කෙරෙහි ඇති ප්‍රේමය නිසා ඔවුන් වෙනුවෙන් මහන්සි වී සේවය කරනවා. නමුත් එය අවබෝධ කර නොගත් කෙනෙක් කටයුතු කරන්නේ අන් අයව රිදවන ආකාරයටයි.—ගලා. 5:15.

10. බයිබල් පදයක් නිවැරදිව තේරුම්ගැනීමට අපට උපකාරවත් වන තොරතුරු මොනවාද? ඒවා සොයාගන්නේ කොහෙන්ද?

10 බයිබල් පදයක් නිවැරදිව තේරුම්ගැනීමට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ එම පදය අඩංගු පොත ලියා ඇත්තේ කවුද, කවදාද හා කුමන තත්වයක් යටතේද යන තොරතුරු සලකා බැලීමයි. ඒ වගේම ඒ පොත ලිවීමට හේතු වූ කාරණා මොනවාද, ඒ කාලයේ තිබූ සමාජය මොන වගේද, ජනයාගේ ගතිපැවතුම් හා ආගමික සිරිත් විරිත් මොනවාද යන කරුණු ගැන අවබෝධයක් ලබාගැනීමද ඒ සඳහා ප්‍රයෝජනවත්. *

11. බයිබල් පද පහදා දෙන විට අප සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?

11 “සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත” කිරීමේදී එනම්, එය පැහැදිලි කර දෙන විට මිනිසුන්ව අපහසුතාවට පත් නොකිරීමට අප වගබලා ගත යුතුයි. යක්ෂයාට පිළිතුරු දීමට යේසුස් ශුද්ධ ලියවිලි පද යොදාගත්තා හා සමානව අපටත් සත්‍යය තොරතුරු තහවුරු කිරීමට බයිබලය යොදාගත හැකියි. ඒ වුණත් අප කියන දේ පිළිගන්න කියා අසන්නන්ට බල කිරීම සුදුසු නැහැ. (ද්වි. 6:16; 8:3; 10:20; මතෙ. 4:4, 7, 10) ඒ වෙනුවට අපි පාවුල්ගේ මෙම උපදෙස අදාළ කරගනිමු. “ඔබේ හදවත්වලින් ක්‍රිස්තුස්ව ස්වාමීන් ලෙස පිළිගෙන ශුද්ධ කෙනෙකු ලෙස ඔහුට ගෞරවය දෙන්න. ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි. එවැනි අවස්ථාවකදී මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.”—1 පේතෘ. 3:15.

12, 13. දේවවචනයට “බලකොටු හා සමාන” කුමන විශ්වාසයන් බිඳ දැමිය හැකිද? උදාහරණයක් දෙන්න.

12 දේවවචනය නිවැරදිව භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද? (2 කොරින්ති 10:4, 5 කියවන්න.) “බලකොටු හා සමාන” අසත්‍ය ඉගැන්වීම්, හානිකර පුරුදු හා දර්ශනවාදයන් වැනි “දෙවි පිළිබඳ දැනුමට විරුද්ධ” දේවල් බිඳ හෙළන්න ඊට හැකියි. බයිබලය ඉගෙනගැනීමෙන් දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්නද කෙනෙකුට පුළුවන්.

13 ඉන්දියාවේ ජීවත් වන වයස අවුරුදු 93ක් වූ කාන්තාවකගේ අද්දැකීම සලකා බලන්න. ඇය කුඩා කාලයේ සිට පුනරුත්පත්තිය නමැති ඉගැන්වීම විශ්වාස කළ කෙනෙක්. ඇය විදේශ ගත වී සිටින ඇගේ පුතා සමඟ ලිපි මාර්ගයෙන් බයිබලය ඉගෙනගැනීමට පටන්ගත්තා. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් ඉගෙනගත් දේවල් සත්‍යය බව ඇය ඉතා කැමැත්තෙන්ම පිළිගත්තා. නමුත් පුනරුත්පත්තිය නමැති ඉගැන්වීම ඇගේ සිතට කොතරම් තදින් කාවැදී තිබුණාද කියනවා නම් මිය ගිය අයගේ තත්වය ගැන ඇගේ පුතා ලියූ දේවල් විශ්වාස කිරීමට ඇය කැමති වුණේ නැහැ. ඒ ගැන ඇය මෙසේ ලිව්වා. “ඔයා බයිබලයෙන් පැහැදිලි කරන හැම දෙයක්ම මට පිළිගන්න බැහැ. මනුෂ්‍යයෙක් තුළ අමරණීය යමක් තියෙනවා කියලා හැම ආගමකම උගන්වනවා. අපි මිය ගියත් අපේ ශරීරයේ නොමැරෙන යමක් නැවත ඉපදෙන බවත් ඒක 84,00,000 වාරයක් සිදු වන බවත් මම විශ්වාස කරනවා. ඒක වැරදි දෙයක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ හැම ආගමක්ම වැරදිද?” එවැනි මතයන් තුළ දැඩි ලෙස එල්බගෙන සිටින අයව වෙනස් කිරීමට “දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” වන බයිබලයට හැකියි. තවදුරටත් තොරතුරු බයිබලයෙන් ඉගෙනගත් පසු ඒ කාන්තාව මෙසේ ලිව්වා. “දැන් මම මළවුන්ගේ සැබෑ තත්වය ගැන හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. මිය ගිය අපේ නෑදෑ හිතමිතුරන් අනාගතයේදී නැවත නැඟිටින බව දැනගැනීම මට ලොකු සතුටක්. දෙවිගේ රාජ්‍යය ඉක්මනින්ම ආවොත් හොඳයි කියලා මම හිතනවා.”

තර්කානුකූලව පහදා දෙන්න

14. බයිබලයේ සඳහන් ඉගැන්වීම් තර්කානුකූලව පහදා දීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

14 දේවසේවයේදී බයිබලය දක්ෂ ලෙස යොදාගැනීමෙන් අදහස් කරන්නේ එය නිකම්ම කියවීම පමණක් නොවෙයි. ඒ වෙනුවට පාවුල් මෙන් අප එය තර්කානුකූලව පහදා දිය යුතුයි. (ක්‍රියා 19:8, 9; 28:23 කියවන්න.) එසේ කිරීමට නම් අප කියන දේ සත්‍යය බව අසන්නාට ඒත්තුගන්වන්න අවශ්‍යයි. එවිට ඔහු ඒවා විශ්වාස කිරීමට පෙලඹෙනවා. ඒ සඳහා පහත සඳහන් ක්‍රම ඔබට යොදාගත හැකියි.

15. දේවවචනයට ගෞරවය ලැබෙන ආකාරයෙන් ඊට අවධානය යොමු කිරීමට අපට පුළුවන් කොහොමද?

15 දේවවචනයට ගෞරවය ලැබෙන ආකාරයෙන් ඊට අවධානය යොමු කරන්න. දේවසේවයේදී බයිබල් පදයක් කියවීමට පෙර ඒ විෂය ගැන දෙවි සිතන ආකාරය දැනගැනීමේ ඇති වැදගත්කම අසන්නාට කාවද්දන්න. උදාහරණයකට ගෙහිමියාගෙන් යම් ප්‍රශ්නයක් අසා ඔහු ඊට පිළිතුරු දුන් පසු ඔබට මෙවැනි දෙයක් පැවසිය හැකියි. ‘මේ ගැන දෙවි කියන්නේ මොකක්ද කියලා බලමුද?’ ඒ ආකාරයෙන් බයිබලය වෙතට ජනයාගේ අවධානය යොමු කරද්දී එය දෙවිගේ වචනය බවත් ඊට ගෞරවයක් ලබා දිය යුතු බවත් අසන්නා තේරුම්ගන්නවා. දෙවිව පිළිගන්නා නමුත් බයිබලයේ ඇති ඉගැන්වීම් ගැන එතරම් අවබෝධයක් නැති අයට කතා කරන විට එම ක්‍රමය යොදාගැනීම බොහෝ සේ ප්‍රයෝජනවත්.—ගීතා. 19:7-10.

16. ශුද්ධ ලියවිලි පද පැහැදිලි කර දීමට ඔබට පුළුවන් කොහොමද?

16 බයිබල් පද කියවා එය පැහැදිලි කරන්න. තමා ඉගැන්වූ දේවල් “ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරයට” පැහැදිලි කර දීම පාවුල් පුරුද්දක් කරගෙන සිටියා. (ක්‍රියා 17:3) බොහෝවිට බයිබල් පදයක පැති කිහිපයකින් අදාළ කළ හැකි කරුණු කිහිපයක් තිබෙනවා. ඒ නිසා ඔබ සාකච්ඡා කරන විෂයට අදාළ කරුණ පමණක් කාවැද්දවීම වැදගත්. ඒ සඳහා එම විෂයට අදාළ අදහස උලුප්පා දක්වන වචන නැවත කීම හෝ එම වචන මොනවාද කියා අසන්නාට අවබෝධ වන ආකාරයෙන් ප්‍රශ්න ඇසීම ප්‍රයෝජනවත්. ඉන්පසු එම වචනවල අදහස පැහැදිලි කරන්න ඔබට පුළුවන්. ඒ වගේම එය ඔහුට පෞද්ගලිකව අදාළ වන ආකාරය තේරුම්ගැනීමට උපකාර කිරීමත් අවශ්‍යයි.

17. ශුද්ධ ලියවිල්ලෙන් කරුණු තර්කානුකූලව පහදා දීමට ඔබට පුළුවන් කොහොමද?

17 පැහැදිලි අවබෝධයක් ලැබෙන ආකාරයෙන් ශුද්ධ ලියවිලි තර්කානුකූලව පහදා දෙන්න. පාවුල් “ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා” දුන්නා. ඔහු එය කළේ කාරුණික ආකාරයෙනුයි. (ක්‍රියා 17:2, 4) අපත් අපට ඇහුම්කන් දෙන අයගේ සිතට කාවදින ආකාරයෙන් කතා කිරීමට උත්සාහ කළ යුතුයි. කාරුණිකව ප්‍රශ්න ඇසීමෙන් අපගේ අසන්නා වැඩියෙන් උනන්දු වන්නේ කුමක් ගැනද කියා දැනගැනීමට උත්සාහ කරන්න. (හිතෝ. 20:5) ඔවුන්ගේ විශ්වාසයන් බොරු ඒවා බව පැවසීමට ඉක්මන් නොවන්න. අසන්නාට තේරුම්ගත හැකි ආකාරයේ සාක්ෂි ඉදිරිපත් කරන්න. එවිට ඔවුන්ගේ ‘සිත් දිනාගැනීමට’ ඔබට හැකියි. (හිතෝ. 16:23) ඒ වගේම ඔබ ඉදිරිපත් කරන කරුණු පැහැදිලි හා තර්කානුකූල ඒවා විය යුතු අතර බයිබලයට එකඟ වෙන්නද අවශ්‍යයි. එක දිගට බයිබල් පද කිහිපයක් කියවනවාට වඩා එක පදයක් කියවා උදාහරණ මගින් එය පැහැදිලි කර දීම ප්‍රයෝජනවත්. සමහරවිට තවත් තොරතුරු සොයා බැලීමටද සිදු විය හැකියි. කලින් සඳහන් කළ වයසක කාන්තාවට, මිනිසා තුළ අමරණීය යමක් තිබෙන බවට වූ ඉගැන්වීම බොහෝදෙනෙක් පිළිගන්නේ ඇයි කියා දැනගැනීමට අවශ්‍ය වුණා. එම ඉගැන්වීම ආරම්භ වූ ආකාරය හා ආගම්වලට එය ඇතුල් වූ ආකාරය ගැන තොරතුරු අවබෝධ කරගත් පසු ඒ ගැන බයිබලයේ ඇති දේ විශ්වාස කිරීමට ඇයට හැකි වුණා.

දක්ෂ ලෙස භාවිත කරන්න

18, 19. “දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” වන බයිබලය දක්ෂ ලෙස යොදාගත යුත්තේ ඇයි?

18 “මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින්” පවතින බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම දුෂ්ට මිනිසුන් තව තවත් නරක අතට හැරෙමින්ද සිටිනවා. (1 කොරි. 7:31; 2 තිමෝ. 3:13) ඒ නිසා “බලකොටු තරම් බලවත්” වූ ඉගැන්වීම් බිඳ හෙළීමට ‘දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව එනම්, දේවවචනය’ යොදාගැනීම වැදගත්.

19 දෙවිගේ වචනය වන බයිබලය අපට ලැබී තිබීම ගැන අප මොන තරම් සතුටු විය යුතුද! අවංක හදවත් ඇති ජනයා විශ්වාස කරන සමහර ඉගැන්වීම් අසත්‍ය බව තේරුම් කර දීමට බයිබලය යොදාගැනීමට හැකි වීම ගැන අප බොහෝ සේ සතුටු වෙනවා. වෙන කිසි ඉගැන්වීමකට වඩා බයිබලයේ සඳහන් ඉගැන්වීම් බලවත්. එසේනම් දේවරාජ්‍යය පිළිබඳව ශුභාරංචිය ප්‍රකාශ කරද්දී “දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” වන බයිබලය දක්ෂ ලෙස යොදාගැනීමට අපි උපරිමයෙන් වෑයම් කරමු.

[පාදසටහන]

^ 10 ඡේ. එවැනි තොරතුරු සොයාගැනීමට, “මුළු ශුද්ධ ලියවිල්ල” විශ්වාසවන්තය, ප්‍රයෝජනවත්ය යන පොත් පෙළද ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂණ බුද්ධිය යන වෙළුම් දෙකද (සිංහලෙන් නැත) මුරටැඹ කලාපවල පළ වන “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානය” වැනි ලිපිද උපකාරවත් වෙනවා.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• දෙවිගේ වචනය කොතරම් බලවත්ද?

• ‘සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත’ කරන්න අපට පුළුවන් කොහොමද?

• බයිබලය යොදාගෙන අපට කුමක් කළ හැකිද?

• දේවසේවයේදී කරුණු තර්කාණුකූලව පහදා දීම සඳහා ඔබට කුමක් කළ හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කාරණා තර්කානුකූලව පහදා දීමට බයිබලය යොදාගත හැකි ආකාර

▪ දේවවචනය කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න

▪ බයිබල් පද පහදා දෙන්න

▪ හදවතට කාවදින ආකාරයෙන් කරුණු ඒත්තුගන්වන්න

[11වන පිටුවේ පින්තූරය]

“දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” දක්ෂ ලෙස යොදාගැනීමට ඉගෙනගන්න