Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නැවත බව්තීස්ම වීම ගැන සලකා බැලිය හැක්කේ කුමන තත්වයන් යටතේද?

සමහරවිට බව්තීස්ම ලත් පුද්ගලයෙකුට තමන්ගේ බව්තීස්මය වලංගු නොවන බව සිතෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔහු නැවත බව්තීස්ම වීමට කැමති විය හැකියි. උදාහරණයකට සභා ඇසුරෙන් ඉවත් කළ හැකි තරම් බරපතළ වරදක් බව්තීස්ම වන විටදී කෙනෙක් රහසිගතව කරමින් සිටියා කියා සිතන්න. එවැනි කෙනෙකුට තමා අවංකවම දෙවිට කැප වුණාද යන ප්‍රශ්නය මතු වෙන්න පුළුවන්. කෙනෙකුගේ බව්තීස්මය වලංගු එකක් වන්නේ ඔහු කරමින් සිටි වැරදි ක්‍රියා ඒ වන විට නතර කර දමා තිබුණොත් පමණයි. ඒ අනුව බලද්දී බව්තීස්ම වන විටදීත් කෙනෙක් බරපතළ වරදක් කරමින් සිටියා නම් ඔහුට නැවත බව්තීස්ම වීම ගැන කල්පනා කර බැලිය හැකියි.

අනික් අතට කෙනෙක් බව්තීස්ම වූ පසු විනිශ්චය කමිටුවක් මගින් හැසිරවිය යුතු බරපතළ වරදක් සිදු කළා කියා සිතන්න. ඔහු සමඟ වැඩිමහල්ලන් ඒ ගැන කතා කරන අවස්ථාවේදී ඔහු තම බව්තීස්මය ගැන එතරම් බැරෑරුම්ව නොසිතූ බව පැවසීමට ඉඩ තිබෙනවා. ඒ නිසා තමාගේ බව්තීස්මය වලංගු එකක් නොවෙයි කියා ඔහු පවසන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී වැඩිමහල්ලන් ක්‍රියා කළ යුත්තේ කොහොමද? එවැනි කෙනෙක් සමඟ සාකච්ඡා කරන විට ඔහුගේ කැප වීම හා බව්තීස්මයේ වලංගුභාවය ගැන කතා කිරීමට අවශ්‍ය නැහැ. මන්ද ඔහු බව්තීස්ම වීමට කලින් එහි වැදගත්කම පෙන්වන බයිබලය මත පදනම් කතාවකට සවන් දුන් අතර එහිදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්න දෙකට ඔහු එසේය කියා පිළිතුරුද දී තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ බව්තීස්ම වීමේ ඇති බැරෑරුම්කම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණු බවයි. ඒ නිසා ඔහුව බව්තීස්ම ලත් කෙනෙකු ලෙස සැලකිය යුතුයි.

පුද්ගලයෙක් තමාගේ බව්තීස්මයේ වලංගුභාවය ගැන වැඩිමහල්ලන්ගෙන් තොරතුරු විමසන විට ඒ ගැන සාකච්ඡා කරන මුරටැඹ ලිපි කියවීමට ඔහුව දිරිගන්වන්න ඔවුන්ට හැකියි. බව්තීස්ම වන අවස්ථාවේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන සැලකිය යුතු දැනුමක් ලබා නොතිබූ කෙනෙකුට නැවත බව්තීස්ම වීමට අවශ්‍ය බව සිතෙන්න පුළුවන්. එය ඔහු ගත යුතු පෞද්ගලික තීරණයක්.

වෙනත් අය සමඟ එකම නිවසේ පදිංචි වන විට ක්‍රිස්තියානියෙක් සලකා බැලිය යුතු කාරණා මොනවාද?

සෑම කෙනෙකුටම ජීවත් වීමට තැනක් අවශ්‍යයයි. කෙසේවෙතත් බොහෝදෙනෙකුට තමන්ටම කියා නිවසක් නැහැ. කෙනෙකුගේ ආර්ථික තත්වය හා වෙනත් හේතුන් නිසා පවුලේ සිටින විවාහ වූ සාමාජිකයන් හා නෑදෑයන් කිහිපදෙනෙකු සමඟ එකම නිවසේ ජීවත් වීමට සිදු වෙනවා. ඒ වගේම සමහර රටවල පවුලේ සාමාජිකයන් හා නෑදෑයන් කිහිපදෙනෙකුට එකම කාමරයක ජීවත් වීමටද සිදු වී තිබෙනවා.

ජීවත් විය යුතු ස්ථානය කුමක්ද, ජීවත් විය යුත්තේ කවුරුන් සමඟද හා කුමන තත්වයක් යටතේද කියා නීති මාලාවක් ලබා දීම යෙහෝවා දෙවිගේ සංවිධානය සතු කාර්යයක් නොවෙයි. ඒ වුණත් ඒ පිළිබඳව තීරණය කිරීමේදී දෙවිගේ ප්‍රතිපත්ති ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ සඳහා ප්‍රතිපත්ති කිහිපයක් පහත සඳහන් වෙනවා.

සලකා බැලිය යුතු ප්‍රධාන කාරණය නම් අප ජීවත් වන නිවසේ සිටින අය නිසා පෞද්ගලිකව අපටත් දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයටත් සිදු විය හැකි හානියයි. නිවසේ සිටින්නේ කොයි වගේ අයද? ඔවුන් යෙහෝවා දෙවිගේ නමස්කාරකයන්ද? ඔවුන් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙනවාද? ඒ ගැන සලකා බැලීමේදී පාවුල් පැවසූ මේ වචන මතක තබාගන්න. “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරි. 15:33.

යෙහෝවා දෙවි වේශ්‍යාකම හා දුරාචාරය හෙළාදකින බව බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙ. 13:4) ඒ නිසා විවාහ නොවූ දෙදෙනෙක් එකම කාමරයේ නිදාගැනීම දෙවිට පිළිකුල් ක්‍රියාවක්. ඒ වගේම අනාචාරය ගැන දෙවිගේ ප්‍රතිපත්ති කඩ කරන මිනිසුන් සිටින තැනක පදිංචි වීමද ක්‍රිස්තියානියෙකුට සුදුසු නැහැ.

දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කැමති සියලුදෙනාම “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” අවශ්‍ය බව බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරි. 6:18) ඒ නිසා අනාචාරයට පෙලඹීමක් ඇති විය හැකි ඕනෑම තැනක පදිංචි වීමෙන් ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතුයි. උදාහරණයකට ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුට එකම නිවසේ පදිංචි වීමට සිදු වෙනවා කියා සිතන්න. එවැනි අවස්ථාවකදී වැරදි දෙයක් කිරීමට පෙලඹීමක් ඇති විය හැකිද? නැත්නම් හදිසියේම සහෝදරයෙකුට හා සහෝදරියකට පමණක් තනියම නිවසේ සිටීමට අවස්ථාවක් උදා වෙයිද? ඒ වගේම ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන සිටින දෙදෙනෙක් එකම නිවසේ පදිංචි වී සිටීමද අනතුරුදායක විය හැකියි. ඒ නිසා ඥානවන්තම දෙය වන්නේ එවැනි අවස්ථා මඟහැරීමයි.

දික්කසාද වූ දෙදෙනෙක් එකම නිවසේ ජීවත් වීමද සුදුසු දෙයක් නොවෙයි. එය දුරාචාරයට මඟ පෑදිය හැකියි. ඊට හේතුව ඔවුන් කාලයක් අඹුසැමියන් ලෙස ජීවත් වූ නිසා සමහරවිට නැවත ලිංගික සම්බන්ධකම් ඇති කරගැනිමට පෙලඹීමක් ඇති විය හැකි වීමයි.—හිතෝ. 22:3.

සලකා බැලිය යුතු තවත් වැදගත් කාරණයක් තිබෙනවා. එනම් ජීවත් වීම සඳහා අප තෝරාගන්නා ස්ථානය කුමක්ද, ජීවත් වන්නේ කොයි වගේ අය සමඟද, කුමන තත්වයන් යටතේද යන කරුණු ගැන අසල්වාසීන් සිතන දෙයයි. සමහරවිට ජීවත් වීමට අප තෝරාගන්නා ස්ථානය සුදුසුයි කියා අපට හැඟුණත් ඒ ගැන අසල්වාසීන්ගේ කතාබහට ලක් විය හැකියි. යෙහෝවා දෙවිගේ නාමයට අපහාසයක් සිදු වන ආකාරයේ ක්‍රියාවක් කිරීමට අපි කවුරුත් කැමති නැහැ. ඒ ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “යුදෙව්වන්ටවත් ග්‍රීකයන්ටවත් දෙවිගේ සභාවට අයත් සියලුදෙනාටවත් හානියක් විය හැකි දෙයක් කිරීමෙන් වැළකී සිටින්න. මගේ උත්සාහය වන්නේ මගේම වාසිය හෝ ප්‍රයෝජනය ගැන නොව වැඩිදෙනාගේ ප්‍රයෝජනයට හේතු වන දේ ගැන සිතමින් සෑම දෙයකදීම සියලුදෙනාව සතුටු කිරීමයි. මා එසේ කරන්නේ ඔවුන්ව ගලවාගැනීම සඳහාය. ඔබත් එසේම කරන්න.”—1 කොරි. 10:32, 33.

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට කැමති අයට පදිංචියට සුදුසු ස්ථානයක් සොයාගැනීම අභියෝගයක් විය හැකියි. කෙසේවෙතත් ක්‍රිස්තියානීන් ‘ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔවුන්ටම තහවුරු කරගන්න’ අවශ්‍යයි. තමා පදිංචිව සිටින ස්ථානයේ කිසිම අවිනීත දෙයක් සිදු නොවන බවට ඔවුන් වගබලා ගත යුතුයි. (එෆී. 5:5, 10) ඒ වගේම ක්‍රිස්තියානීන් එකිනෙකාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමත් වැදගත්. ඒ නිසා අනාචාරයට පෙලඹීමක් ඇති නොවන ආකාරයේ ස්ථානයක් පදිංචිය සඳහා සොයාගැනීමට ක්‍රිස්තියානීන් සැලකිලිමත් විය යුතුයි. යෙහෝවා දෙවිගේ නාමයට කැළැලක් නොවන ආකාරයෙන් එය කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා මඟ පෙන්වීම් පතා දෙවිට යාච්ඤා කරන්න.