Skip to content

පටුනට යන්න

සැදුම්කරුව සිහි කිරීමට යෞවනයන්ට උපකාරයක්

සැදුම්කරුව සිහි කිරීමට යෞවනයන්ට උපකාරයක්

සැදුම්කරුව සිහි කිරීමට යෞවනයන්ට උපකාරයක්

මීට වසර 3,000කට පමණ පෙර සලමොන් රජ මෙවැනි දෙයක් පැවසුවා. ‘යෞවනයෙනි, ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න.’ (දේශ. 12:1) ලොව පුරා සිටින යෞවනයන්ට ඔවුන්ගේ සැදුම්කරුව සිහි කිරීමට උපකාරවත් වන තවත් අලුත් දෙයක් දැන් ලැබී තිබෙනවා. එය නම් 2008-2009 වසරේ පැවති “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” නමැති දිස්ත්‍රික් සමුළුවේදී මුදාහැරිය යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතේ දෙවන වෙළුමයි. *

එහි පිටකවරයේ ඇතුල් පැත්තේ පාලක මණ්ඩලය විසින් යෞවනයන්ට ලියන ලද ලිපියක් ඇතුළත් කර තිබෙනවා. එහි මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න හා තීරණ ගන්නා විට ඒවා දෙවිගේ කැමැත්තට එකඟව ගන්න මෙම පොත ඔබට උපකාරවත් වෙයි කියා අප යාච්ඤා කරනවා.”

දෙමාපියන්ගේ ආශාව වන්නේත් “යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද” තම දරුවන්ව ඇතිදැඩි කිරීමයි. (එෆී. 6:4) කෙසේවෙතත් තමන්ට නිවැරදි තීරණ ගැනීමට ශක්තියක් නැහැයි කියා යෞවනයන් සිතනවා. ඒ නිසා ඔවුන්ට මඟ පෙන්වීම් අවශ්‍යයි. ඔබ ඒ වයසේ පසුවන දරුවන් සිටින දෙමාපියෙක් නම් මෙම පොතෙන් ප්‍රයෝජන ගැනීමට ඔබේ දරුවාට උපකාර කළ හැකි යෝජනා කිහිපයක් පහත සඳහන් වෙනවා.

එහි තොරතුරු ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. ඉන් අදහස් කරන්නේ එය නිකම්ම කියවීම පමණක් නොවේ. ඒ වෙනුවට එහි තොරතුරු ඉදිරිපත් කර තිබෙන ආකාරය සැලකිල්ලට ගැනීමයි. උදාහරණයකට කළ යුතු දේ ගැන දරුවාට කියනවා වෙනුවට ඔහුටම නිවැරදි තීරණයක් ගැනීමට ඔහුගේ “වටහාගැනීමේ හැකියාව” පුහුණු කිරීමට මේ පොත උපකාරවත් වෙනවා. (හෙබ්‍රෙ. 5:14) ඒ වගේම හරි දේ කරන ආකාරය ගැන යෝජනා එහි ඉදිරිපත් කර තිබෙනවා. උදාහරණයකට 15වන පරිච්ඡේදයේ මිතුරන්ගෙන් එල්ල වන පීඩනවලට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කරනවා. (2003 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ 28-30 පිටු බලන්න.) එවන් අවස්ථාවලදී මිතුරන්ට ඥානවන්තව පිළිතුරු දිය හැකි ආකාරය හා ඒ සඳහා යොදාගත හැකි බයිබල් ප්‍රතිපත්ති එහි සඳහන් කර තිබෙනවා. එමගින් “එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම” ඉගෙනගැනීමට දරුවාට හැකියි.—කොලො. 4:6.

අදහස් ලිවීමට ඇති කොටස් ප්‍රයෝජනයට ගන්න. එම කොටස් සකසා තිබෙන්නේ යෞවනයන් වෙනුවෙන් වුණත් ඔබටත් කැමති නම් ඔබගේ අදහස් එහි ලිවිය හැකියි. * උදාහරණයකට මේ පොතේ 16වන පිටුවේ සඳහන් ප්‍රශ්න දෙකට පිළිතුරු ලිවීමේදී ඔබ ඔබේ දරුවාගේ වයසේ සිටින විට ඔබට හැඟුණු ආකාරය එහි සඳහන් කළ හැකියි. (2007 ජනවාරි පිබිදෙව්! කලාපයේ 29 පිටුව බලන්න.) ඉන්පසු ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘ගත වූ වසර ගණනාව පුරා ඒ ගැන මට තිබුණු අදහස් කොයි තරම් වෙනස් වෙලා තියෙනවාද? ඒ විෂය ගැන මම දැන් ලබා තිබෙන්නේ මොන වගේ අවබෝධයක්ද? එය මගේ දරුවාට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද?’

ඔවුන්ගේ අදහස් ලිවීමට දිරිගන්වන්න. එහි අරමුණ වන්නේ ඔබේ දරුවාට අදාළ විෂය ගැන හැඟෙන දේ ලිවීමට හෝ ඒ ගැන දරුවාට සිතීමට සැලැස්වීමයි. එහිදී ඔබ දරුවාගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කළ යුතුයි. මෙම පොතේ තුන්වන පිටුවේ දෙමාපියන්ට මෙවැනි යෝජනාවක් කර තිබෙනවා. “ඔබේ දරුවාට හැඟෙන දේ ලියන්න ඔහුව හෝ ඇයව දිරිගන්වන්න. නමුත් ඔවුන් ලියූ දේ කියවන්න එපා. සමහරවිට පසු කලකදී ඔවුන් ඒවා ඔබ සමඟ සාකච්ඡා කිරීමට කැමති විය හැකියි.”

පවුලේ පාඩමට උපකාරයක්

යෞවනයන් අසන ප්‍රශ්න දෙවන වෙළුම පවුලේ නමස්කාරය සඳහාද භාවිත කළ හැකියි. මෙම පොත ප්‍රශ්නෝත්තර ක්‍රමයට සකසා නොමැති නිසා එය භාවිත කිරීමට ඔබට පුළුවන් කොහොමද? ඔබගේ දරුවන්ට ගැළපෙන ආකාරයට එම සාකච්ඡාව පැවැත්වීමට ඔබට හැකියි.

උදාහරණයකට සමහර පවුල් මෙම පොතේ 132 සහ 133වන පිටුවල ඇති තොරතුරු පෙරහුරු කරනවා. (ඒ සඳහා 2010 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 18වන පිටුවේ ඇති කොටුව බලන්න.) එහි ප්‍රශ්න දෙකක් අසා තිබෙනවා. ඔබගේ දරුවාට අභියෝගයක් වන්නේ කුමන තත්වයක්ද කියා තේරුම්ගැනීමට පළමු ප්‍රශ්නය උපකාරවත් වෙනවා. එවැනි තත්වයකට මුහුණ දීමට සිදු විය හැකි ස්ථානය දැනගැනීමට දෙවන ප්‍රශ්නය උපකාරවත් වෙනවා. තම මිත්‍රයන් ඉදිරිපත් කරන යෝජනාවට එකඟ වුණොත් සිදු වන දේ හා ඊට විරුද්ධ වුණොත් සිදු වන දේ ගැන තොරතුරුද එහි සඳහන් කර තිබෙනවා. පසුව ඔවුන්ටම එවැනි තත්වයකදී පිළිතුරු දිය හැකි ආකාරය ගැන කල්පනා කර, එම තොරතුරු ලිවීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා. එමගින් අභියෝගවලට ඥානවන්තව මුහුණ දීමට දරුවන් තුළ විශ්වාසයක් ඇති වෙනවා.—ගීතා. 119:46.

අදහස් හුවමාරුවට උපකාරයක්

යෞවනයන් අසන ප්‍රශ්න දෙවන වෙළුම තුළින් ලිංගික කාරණා වැනි දෙමාපියන් සමඟ කතා කිරීමට අදිමදි කරන විෂයන් ගැන කතා කරන්නත් දරුවන්ව දිරිගන්වා තිබෙනවා. ඉන් ප්‍රයෝජන ලැබූ 13 හැවිරිදි දැරියක් ඒ ගැන මෙසේ පවසනවා. “මගේ හිතේ තියෙන දේවල් වගේම මම කරපු සමහර දේවල් මගේ දෙමාපියන් එක්ක කතා කරන්න මේ පොත නිසා මට අවශ්‍ය ශක්තිය ලැබුණා.”

මෙම පොතේ සෑම පරිච්ඡේදයක් අවසානයේදීම දරුවාට සිතා බැලීම සඳහා ප්‍රශ්න කිහිපයක් අසා තිබෙනවා. එම ප්‍රශ්න පවුලේ නමස්කාරය සඳහා යොදාගැනීමට ඔබට හැකියි. ඒ වගේම සෑම පරිච්ඡේදයකම අවසානයේදී දරුවා ඉගෙනගත් දේ අදාළ කරගත හැකි ආකාරය ලිවීමටද කොටසක් වෙන් කර තිබෙනවා. එම කොටසේ අවසානයේදී මෙවැනි ප්‍රශ්නයක් අසා තිබෙනවා. “මේ විෂය ගැන මගේ දෙමාපියන්ගෙන් මට දැනගැනීමට අවශ්‍ය වන්නේ මොනවාද?” එමගින් දෙමාපියන්ගෙන් වටිනා උපදෙස් ලබාගැනීමට දරුවාට හැකියි.

සිතේ ඇති දේ තේරුම්ගන්න

ඔබේ දරුවාගේ සිතේ ඇති දේ තේරුම්ගැනීමට මෙම පොත ඔබට උපකාරවත් වෙනවා. අවංකව අදහස් හුවමාරු කරගැනීමට තම දියණියව දිරිගැන්වීම සඳහා මෙම පොත යොදාගත් පියෙකුගේ අද්දැකීම සලකා බලන්න.

ඔහු මෙවැනි දෙයක් පවසනවා. “රෙබෙකායි මමයි සමහර අවස්ථාවල නිවිහැනහිල්ලේ කතා කරනවා. ඒ වගේ වෙලාවට එයා එයාගේ හිතේ තියෙන දේවල් මට කියනවා.

“අපි මුළින්ම සලකා බැලුවේ පාලක මණ්ඩලයේ ලිපිය හා දෙමාපියන් සඳහා තිබුණු කොටසයි. මට ඕන වුණා මගේ දුව ඇගේ අදහස් පොතේ ලියද්දී මම ඒවා බලන්නේ නැහැයි කියන විශ්වාසය ඇය තුළ ඇති කරන්න. එතකොට එයාට නිදහසේ එයාගේ අදහස් ලියන්න පුළුවන්. ඒ ගැන තුන්වන පිටුවේ සඳහන් වෙලා තියෙනවා.

“කැමති පරිච්ඡේදයක් තෝරගන්න රෙබෙකාට මම ඉඩහැරියා. ඇය මුළින්ම තෝරාගත්ත පරිච්ඡේද අතර පරිගණක ක්‍රීඩා ගැන සඳහන් වුණ පරිච්ඡේදය තිබුණා. මම කීයටවත් හිතුවේ නැහැ ඇය ඒ වගේ විෂයක් තෝරගනියි කියලා. නමුත් ඇයට ඒක තෝරගන්න හොඳ හේතු තිබුණා. ඇගේ මිත්‍රයන් බොහෝදෙනෙක් සැහැසියාව අඩංගු පරිගණක ක්‍රීඩාවල නිරත වෙනවා. ඒවාවල තිබුණු සැහැසික ක්‍රියා හා පහත් භාෂාව ගැන අහලා මට පුදුම හිතුණා. ඇගේ හිතේ තියෙන දේවල් මට දැනගන්න ලැබුණේ ඒ පරිච්ඡේදයේ අවසානයට සඳහන් වෙලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කළ නිසයි. ඉදිරියේදී රෙබෙකාට පරිගණක ක්‍රීඩාවල යෙදෙන්න කියා කෙනෙක් බලපෑම් එල්ල කළොත් ඇය කියන්නේ මොනවාද කියා ලියන්නත් ඇයට හැකි වුණා.

“අවංකව අදහස් ලිවීමට ඇති කොටසේ රෙබෙකා ලියපු දේවල් දැන් එයාම මාත් එක්ක කියනවා. අපේ පාඩම හරියට නොනවතින සාකච්ඡාවක් වගේ. අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඡේද කියවනවා. ඒ පරිච්ඡේදවල තියෙන හැම කොටසක් ගැනම සාකච්ඡා කරන්න රෙබෙකා කැමතියි. මම ඇගේ වයසේ ඉද්දී මට හිතුණු දේවලුත් මම ඇයට කියනවා. ඊට පස්සේ ඇය කියනවා ඒ දේවල් දැන් කොයි තරම් වෙනස් වෙලාද කියලා. දැන් ඇයට ඇගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න අවශ්‍යයි.”

ඔබ දෙමාපියෙක් නම් මේ පොත මුදාහැරීම ගැන ඔබ සතුටට පත් වන්න ඇති. දැන් ඔබට එය ප්‍රයෝජනයට ගත හැකියි. යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු දෙවන වෙළුම ඔබේ මුළු පවුලටම ප්‍රයෝජනවත් එකක් වේවි කියා පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. යෞවන අය ඇතුළු සියලුදෙනාටම “දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න” මෙම පොත තුළින් උපකාරයක් ලැබෙන බව නිසැකයි.—ගලා. 5:16.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මෙම පොත සිංහල භාෂාවෙන් දැනට ලබාගත නොහැකියි. එම නිසා මෙම ලිපියේ ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පිබිදෙව්! කලාපවල ඇති “යෞවන අය අසති” නමැති ලිපි යොදාගත හැකියි.

^ 6 ඡේ. මෙහි ඇති සමහර අභ්‍යාස ඕනෑම වයසක සිටින කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයකට ඔබේ කෝපය පාලනය කරගන්න පුළුවන් කෙසේද යන්න ගැන 221 පිටුවේ සඳහන් තොරතුරු ඔබේ දරුවාට වගේම ඔබටද ප්‍රයෝජනවත් විය හැකියි. (2009 සැප්තැම්බර් පිබිදෙව්! කලාපයේ 17-19 පිටු බලන්න.) ඒ වගේම 132-133 පිටුවල, 163 පිටුවේ (2006 ජූනි පිබිදෙව්! කලාපයේ 10-13 පිටු) සහ 314 පිටුවේ (2006 ජූලි පිබිදෙව්! කලාපයේ 23-25 පිටු) ඇති තොරතුරුද ඔබට ප්‍රයෝජනවත් වෙයි.

[30වන පිටුවේ කොටුව]

යෞවනයන් දක්වන අදහස්

“මේ පොත නිස්කලංකව කියවලා ගැඹුරින් කල්පනා කරලා බලන්න අවශ්‍ය පොතක්. ඒක හරියට දින පොතක් වගේ. ජීවිතය සතුටින් ගත කරන්න ඒ පොත උපකාරවත් වෙනවා. ඒක කියවද්දී පැන්සලක් ලඟ තියෙනවා නම් හොඳයි.”—නිකොලා.

“ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න කියලා බොහෝදෙනෙක් මාව පොලඹවනවා. සමහර අය ඒක කරන්නේ හොඳ චේතනාවක් ඇතුවයි. නමුත් මේ පොතේ පළමු කොටස කියෙව්වට පස්සේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න මම තාමත් සූදානම් නැහැ කියලා මම තේරුම්ගත්තා.”—කට්රිනා.

“මේ පොතේ බව්තීස්මය ගැන තියෙන පරිච්ඡේදය කියෙව්වට පස්සේ බව්තීස්මය මොන තරම් බැරෑරුම් දෙයක්ද කියලා තේරුම්ගන්න මට හැකි වුණා. මගේ පාඩම් කිරීමේ පුරුදු හා යාච්ඤා කිරීමේ පුරුදු ගැන නැවත කල්පනා කරලා බලන්න ඒක මට උපකාරවත් වුණා.”—ඈෂ්ලි.

“මගේ දෙමාපියන් මට පොඩි කාලේ ඉඳලම බොහෝ දේවල් ඉගැන්නුවත් ජීවත් වන ආකාරය ගැන හිතන්න මේ පොත මට උපකාර කළා. ඒ වගේම මගේ දෙමාපියන් එක්ක ඕනෑම දෙයක් කතා කරන්නද මේ පොත නිසා මට පුළුවන් වුණා.”—ශමීරා.

[31වන පිටුවේ පින්තූරය]

දෙමාපියනි, මෙම පොත හා පිබිදෙව්! කලාපවල ඇති තොරතුරු ගැන හොඳ අවබෝධයක් ලබාගන්න

[32වන පිටුවේ පින්තූරය]

දරුවාගේ සිතේ ඇති දේ තේරුම්ගැනීමට උත්සාහ කරන්න