Skip to content

පටුනට යන්න

‘ධර්මිෂ්ඨයන් සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’

‘ධර්මිෂ්ඨයන් සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’

‘ධර්මිෂ්ඨයන් සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’

“ඒ කාලයේදී ධර්මිෂ්ඨයන් තම පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි.”—මතෙ. 13:43.

1. යේසුස් උපමා භාවිත කළේ දේවරාජ්‍යය හා සම්බන්ධ කුමන කාරණා පහදා දීමටද?

දේවරාජ්‍යය හා සම්බන්ධ කාරණා පහදා දීමට යේසුස් බොහෝ උදාහරණ හා උපමා භාවිත කළා. ඔහු “සියල්ල සමූහයන්ට පැවසුවේ උපමා යොදාගෙනය. ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැත” කියා මතෙව් වාර්තා කරනවා. (මතෙ. 13:34) යේසුස් වපුරන්නෙකුගේ උපමාවක් ගැන සඳහන් කළා. එහිදී ඔහු පැහැදිලි කළේ ශුභාරංචිය පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ එය අසන පුද්ගලයා බවයි. ඒ වගේම කෙනෙක් ක්‍රිස්තියානියෙක් ලෙස ලබන දියුණුවට යෙහෝවා දෙවි සම්බන්ධ වන ආකාරයද ඔහු එහිදී සඳහන් කළා. (මාක් 4:3-9, 26-29) ශුභාරංචිය පිළිගන්නා අයගේ වර්ධනය හා එය මුලදී පැහැදිලිව දැකගැනීමට නොහැකි වන ආකාරය ගැන සඳහන් උපමාද යේසුස් පැවසුවා. (මතෙ. 13:31-33) ඒ වගේම ශුභාරංචිය පිළිගන්නා සියලුදෙනාම දේවරාජ්‍යයේ යටත්වැසියන් වීමට සුදුසුකම් ලබන්නේ නැති බව පෙන්වීමටද යේසුස් උපමාවක් යොදාගත්තා.—මතෙ. 13:47-50. *

2. තිරිඟු හා කිරිඳි පිළිබඳ උපමාවේ හොඳ බීජවලින් නියෝජනය කරන්නේ කවුරුන්වද?

2 තමා සමඟ දේවරාජ්‍යයේ පාලනයට හවුල් වීමට තොරාගන්නා අය ගැනද උපමාවක් යේසුස් සඳහන් කළා. එය මතෙව් 13වන පරිච්ඡේදයේ සඳහන් වන අතර කිරිඳි හා තිරිඟු පිළිබඳ උපමාව ලෙස එය හඳුන්වනවා. යේසුස් වෙනත් උපමාවක, වපුරන ලද බීජ ‘රාජ්‍යය පිළිබඳ පණිවිඩයට’ සමාන කළා. නමුත් කිරිඳි හා තිරිඟු පිළිබඳ උපමාවේදී හොඳ බීජ ‘රාජ්‍යයේ පුත්‍රයන්ට’ සමාන බව යේසුස් විස්තර කළා. (මතෙ. 13:19, 38) ඒ ‘පුත්‍රයන්’ දේවරාජ්‍යයේ උරුමක්කාරයන් මිස එහි යටත්වැසියන් නොවෙයි.—රෝම 8:14-17; ගලාති 4:6, 7 කියවන්න.

තිරිඟු හා කිරිඳි පිළිබඳ උපමාව

3. උපමාවේ සඳහන් මිනිසාට මුහුණ දීමට සිදු වන ගැටලුව කුමක්ද? ඔහු එය විසඳාගත්තේ කොහොමද?

3 දැන් අපි යේසුස් පැවසූ තිරිඟු හා කිරිඳි පිළිබඳ උපමාව සලකා බලමු. “තම කෙතෙහි හොඳ බීජ වැපුරූ මිනිසෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කළ හැකියි. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියා. තිරිඟු පැළ වැඩී පල දරන්න පටන්ගත් විට කිරිඳිත් මතු වුණා. එවිට ඔහුගේ දාසයන් ඇවිත්, ‘ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ වැපුරුවේ හොඳ බීජ පමණයි නේද? එසේනම් එහි කිරිඳි තිබෙන්නේ කොහොමද’ කියා ඔහුගෙන් ඇසුවා. ‘මේ දේ කර ඇත්තේ සතුරෙක්’ කියා ඔහු ඔවුන්ට පැවසුවා. එවිට ඔවුන්, ‘එසේනම් අප ගොස් ඒවා උදුරා දමන්නද’ කියා ඔහුගෙන් ඇසුවා. ඔහු පිළිතුරු දුන්නේ මෙසේයි. ‘එසේ කරන්න එපා. මන්ද එසේ කළොත් කිරිඳි උදුරද්දී ඒ සමඟම තිරිඟු පැළත් ඉදිරෙන්න පුළුවන්. කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න. එවිට කපන කාලයේදී මුලින්ම කිරිඳි උදුරා මිටි බැඳ ඒවා පුලුස්සා දැමිය හැකියි. ඉන්පසුව තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න කියා අස්වැන්න නෙළන අයට කියන්න මට පුළුවන්.”—මතෙ. 13:24-30.

4. (අ) උපමාවේ සඳහන් මිනිසා කවුද? (ආ) යේසුස් බීජ වපුරන්න පටන්ගත්තේ කවදාද? කොහොමද?

4 කෙතේ හොඳ බීජ වැපුරූ මිනිසා කවුද? යේසුස් එම උපමාවේ අර්ථය පහදා දෙමින් ඊට මෙසේ පිළිතුරු දුන්නා. “හොඳ බීජ වපුරන තැනැත්තා නම් මනුෂ්‍ය පුත්‍රයායි.” (මතෙ. 13:37) “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් පොළොවේදී වසර තුනහමාරක කාලයක් පුරා දේවසේවය කරමින් බීජ වැපිරීම සඳහා පස සකස් කළා. (මතෙ. 8:20; 25:31; 26:64) පසුව ඔහු ක්‍රිස්තු වර්ෂ 33 සිට ‘රාජ්‍යයේ පුත්‍රයන්’ වන හොඳ බීජ වපුරන්න පටන්ගත්තා. එනම් යෙහෝවා දෙවිගේ නියෝජිතයා ලෙස යේසුස් තම අනුගාමිකයන්ට දෙවිගේ බලය ලබා දී ඔවුන්ව දෙවිගේ පුත්‍රයන් ලෙස අභිෂේක කළා. * (ක්‍රියා 2:33) හොඳ බීජවලින් හොඳ අස්වැන්නක් ලබාගැනීමට හැකි වෙනවා. ඒ හා සමානව උපමාවේ සඳහන් ලෙස යේසුස් හොඳ බීජ වැපිරීමට හේතුව වුණේ තමා සමඟ දේවරාජ්‍යයේ පාලනය කිරීමට යන සම්පූර්ණ සංඛ්‍යාව එකතු කිරීමයි.

5. උපමාවේ සඳහන් සතුරා කවුද? කිරිඳිවලින් නියෝජනය කළේ කාවද?

5 උපමාවේ සඳහන් සතුරා කවුද? කිරිඳිවලින් අදහස් කළේ කාවද? “සතුරා නම් යක්ෂයා” කියාත් කිරිඳි “දුෂ්ටයාගේ පුත්‍රයෝ” කියාත් යේසුස් පැවසුවා. (මතෙ. 13:25, 38, 39) විෂ සහිත ඒ කිරිඳි පැළ වැඩෙන කාලයේදී ඒවා බොහෝදුරට තිරිඟු පැළවලට සමානයි. තමන් රාජ්‍යයේ පුත්‍රයන් කියා පවසා සිටියත් හොඳ පල නොදරන ව්‍යාජ ක්‍රිස්තියානීන්ව විස්තර කිරීමට යේසුස් භාවිත කළේ මොන තරම් කදිම උපමාවක්ද! ඇත්තෙන්ම යේසුස්ගේ අනුගාමිකයන් තමන් බව කියා සිටියත් ඔවුන් සාතන්ගෙන් “පැවත එන්නන්” බව පැහැදිලියි.—උත්. 3:15.

6. කිරිඳි වැපිරුවේ කුමන වෙලාවේදීද? ඒ වෙලාවේදී මිනිසුන් ‘නිදා සිටියා’ කීමෙන් අදහස් කළේ කුමක්ද?

6 ව්‍යාජ ක්‍රිස්තියානීන් නමැති කිරිඳි වැපිරුවේ කුමන වේලාවේදීද? “මිනිසුන් නිදා සිටියදී” කියා යේසුස් පැවසුවා. (මතෙ. 13:25) එය සිදු වුණේ කොහොමද? ඊට පිළිතුර පාවුල් එෆීසයේ සිටි වැඩිමහල්ලන්ට පැවසූ දෙයින් සොයාගත හැකියි. “මම ඔබෙන් සමුගත් පසු රැළට කිසිම ආදරයක් නොදක්වන රෞද්‍ර වෘකයන් හා සමාන පිරිසක් ඔබ අතරට එන බව මම දන්නවා. ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.” (ක්‍රියා 20:29, 30) පාවුල් ඔවුන්ට හොඳ සිහිකල්පනාවෙන් ඉන්න කියාද උනන්දු කළා. යේසුස්ගේ නියෝජිතයන් සත්‍ය නමස්කාරයට විරුද්ධව ඇති වූ මහ කැරැල්ල “මැඩපැවැත්වීමට” ක්‍රියා කළා. නමුත් ඔවුන් මරණය නමැති නින්දට වැටුණායින් පසු බොහෝ ක්‍රිස්තියානීන්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නැති වී ගියා. හරියට ඔවුන්ද නින්දට වැටුණා හා සමානයි. (2 තෙසලෝනික 2:3, 6-8 කියවන්න.) සැබෑ නමස්කාරයට විරුද්ධව ඇති වූ මහ කැරැල්ල ප්‍රබලව ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ ඒ කාලයේදීයි.

7. තිරිඟු පැළ කිරිඳි බවට පත් වුණාද? විස්තර කරන්න.

7 තිරිඟු, කිරිඳි බවට පත් වන බව යේසුස් පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ තිරිඟු අතරේ කිරිඳි වපුරා ඇති බවයි. ඒ නිසා සැබෑ නමස්කාරයෙන් ඉවත් වී යන ක්‍රිස්තියානීන්ව ඒ උපමාවෙන් විස්තර කරන්නේ නැහැ. ඒ වෙනුවට දුෂ්ට මිනිසුන්ව යොදාගෙන ක්‍රිස්තියානි සභාව දූෂ්‍ය කිරීමට සාතන් හිතාමතාම ගන්නා වෑයමක් ගැන එහි විස්තර කරනවා. යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාගෙන් අවසාන නියෝජිතයා වූ යොහන් මහලුව සිටින කාලයේදීද මේ මහ කැරැල්ල ක්‍රියාත්මක වෙමින් තිබුණා.—2 පේතෘ. 2:1-3; 1 යොහ. 2:18.

“දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න”

8, 9. (අ) දාසයන්ට ස්වාමියා දුන් පිළිතුර ගැන යේසුස්ගේ ගෝලයන් පුදුම නොවුණේ ඇයි? (ආ) උපමාවේ සඳහන් තිරිඟු සහ කිරිඳි එකට වැඩුණේ කොහොමද?

8 සිදු වූ දේ තම ස්වාමියාට විස්තර කිරීමෙන් පසු දාසයන් මෙසේ අසනවා. “එසේනම් අප ගොස් [කිරිඳි] උදුරා දමන්නද?” (මතෙ. 13:27, 28) ස්වාමියා එනම්, යේසුස් ඊට දුන් පිළිතුර අසාමාන්‍ය එකක් මෙන් පෙනෙන්න පුළුවන්. නමුත් ඔහුගේ ගෝලයන්ට නම් එය පුදුමයට හේතුවක් වුණේ නැහැ. මන්ද වැඩෙන කාලයේදී තිරිඟු හා කිරිඳි වෙන් කර හඳුනාගැනීම කොතරම් අපහසු කාර්යයක්ද කියා ඔවුන් දැන සිටියා. සාමාන්‍යයෙන් කිරිඳි හා තිරිඟු එකට වැඩෙන විට ඒවායේ මුල් එකට පැටලී තිබෙන බව ගොවීන් දන්නවා. * අස්වැන්න නෙළන කාලය එනතුරු බලා සිටින්න කියා ස්වාමියා පැවසුවේ ඒ නිසයි.

9 ගත වූ ශතවර්ෂ ගණනාව පුරා, මුලින්ම රෝමානු කතෝලික හා ඕතඩොක්ස් පල්ලි මඟින් සහ පසුව රෙපරමාදු ආගම් විසින් බොහෝ කිරිඳි වපුරා තිබෙනවා. ඒ කාලයේදී හොඳ බීජ වන තිරිඟුද සුළු වශයෙන් දකින්න ලැබුණා. ඒ කෙසේවෙතත් උපමාවේ සඳහන් ස්වාමියා අස්වැන්න නෙළන කාලය පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියා. ඒ සඳහා ඔහුට බොහෝ කාලයක් බලා සිටින්න සිදු වුණත් අස්වැන්න නෙළීමට ගත වන්නේ ඊට වඩා අඩු කාලයක්.

අස්වැන්න කපන කාලය

10, 11. (අ) අස්වැන්න කපන්නේ කුමන කාලයේදීද? (ආ) ගබඩාවට තිරිඟු රැස් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

10 “කපන කාලයෙන් අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි. අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි” කියා යේසුස් පැවසුවා. (මතෙ. 13:39) පවතින සමාජයේ අවසාන කාලයේදී රාජ්‍යයේ පුත්‍රයන්ව කිරිඳි නමැති දුෂ්ටයාගේ පුත්‍රයන්ගෙන් වෙන් කරනු ලබනවා. එය සිදු වන ආකාරය ගැන පේතෘස් මෙසේ පවසනවා. “විනිශ්චය සඳහා කාලය පැමිණ තිබේ. එය මුලින්ම පටන්ගන්නේ දෙවිගේ ගෘහයෙනි. මුලින්ම විනිශ්චය කරනු ලබන්නේ අපව නම් දෙවිගේ ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන අයට කවර අවසානයක් තිබෙයිද?”—1 පේතෘ. 4:17.

11 එලෙස ‘රාජ්‍යයේ පුත්‍රයන්ගෙන්’ ‘දුෂ්ටයාගේ පුත්‍රයන්’ වෙන් කිරීම ආරම්භ වුණේ “පවතින මේ සමාජයේ අවසාන කාලය” ආරම්භයේදියි. එහිදී තමන් ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන්යයි කියා සිටින සියලුදෙනාව විනිශ්චයට ලක් වුණා. “මුලින්ම” අසත්‍ය උගන්වන ආගම් නියෝජනය කරන මහ බැබිලෝනිය වැටුණා. “ඉන්පසුව” රාජ්‍යයේ පුත්‍රයන්ව එකතු කිරීම ආරම්භ වුණා. ඉන් අදහස් කළේ අස්වැන්න කපන කාලය ආරම්භ වී ඇති බවයි. (මතෙ. 13:30) ගබඩාවට තිරිඟු රැස් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? රාජ්‍යයේ පුත්‍රයන්ව සැබෑ ක්‍රිස්තියානි සභාවට ගෙන ඒමයි. එහිදී ඔවුන් දෙවිගේ ආශීර්වාදය හා රැකවරණය ලබනවා. ඒ වගේම මිය ගොස් සිටි රාජ්‍යයේ පුත්‍රයන්ට ඔවුන්ගේ ස්වර්ගික ත්‍යාගය ලැබෙනවා.

12. අස්වැන්න කැපීම කොතරම් කාලයක් පවතිනවාද?

12 අස්වැන්න කපන කාලය හෙවත් විනිශ්චය කිරීම කොතරම් කාලයක් පවතිනවාද? යේසුස් පැවසුවේ කපන ‘කාලය’ දක්වා කියායි. ඉන් අදහස් කරන්නේ විනිශ්චය කිරීම සඳහා යම් කාලයක් ගත වන බවයි. (එළි. 14:15, 16) එහිදී සෑම අභිෂේක ලත් ක්‍රිස්තියානියෙකුම දෙවිට විශ්වාසවන්තව සිටිනවාද නැද්ද කියා විනිශ්චය කරනු ලබනවා. මෙය අවසාන කාලය පුරාම සිදු වෙනවා. එය අවසන් වන්නේ ඔවුන් අවසන් මුද්‍රාව ලැබූ පසු එනම්, ස්වර්ගික ජීවිතයට සුදුසු අය බව ඔප්පු වීමෙන් පසුවයි.—එළි. 7:1-4.

13. කිරිඳි ලෙස හඳුන්වන අය අන් අයව පාපයට පොලඹවා තිබෙන්නේ කොහොමද? ඔවුන් දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන්නේ කොහොමද?

13 රාජ්‍යයෙන් පිටත රැස් කරන්නේ කාවද? ඔවුන් මිනිසුන්ව පාපයට පොළඹවන්නේ හා දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන්නේ කොහොමද? (මතෙ. 13:41) කිරිඳි නමැති ව්‍යාජ ක්‍රිස්තියානි පූජකයන් නිරය හා ත්‍රිත්වය වැනි ඉගැන්වීම්වලින් ශතවර්ෂ ගණනාවක සිට මිලියන ගණනක්දෙනාව මුළා කරමින් සිටිනවා. එම ඉගැන්වීම්වලින් දෙවිවද අගෞරවයට පත් කර තිබෙනවා. ඒ ආකාරයට ඔවුන් මිනිසුන්ව පාපයට පොලඹවා තිබෙන අතර බොහෝ ආගමික නායකයන් ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීමෙන් හා අනාචාරයේ යෙදීමෙන් නරක ආදර්ශයක්ද තබා තිබෙනවා. (යාකො. 4:4) ඊට අමතරව ඔවුන්ගේ සාමාජිකයන් කරන අනාචාර ක්‍රියා ඔවුන් දිගින් දිගටම නොසලකා හරිනවා. (යූද් 4 කියවන්න.) ඒ ආකාරයට ඔවුන් දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරමින් සිටිනවා. නමුත් ඔවුන් පෙනී සිටීමට උත්සාහ කරන්නේ යහපත් හා භක්තිමත් අය ලෙසයි. කෙසේවෙතත් පාපයට පොලඹවන බලපෑම් හා බොරු ඉගැන්වීම්වලින් ඉවත්ව සිටීමට ලැබීම ගැන රාජ්‍යයේ පුත්‍රයන් මොන තරම් සන්තෝෂ වෙනවාද!

14. කිරිඳි ලෙස හඳුන්වන අයට “හැඬීමටත් දත්මිටි කෑමටත්” සිදු වන්නේ කොහොමද?

14 කිරිඳි ලෙස හඳුන්වන අයට “හැඬීමටත් දත්මිටි කෑමටත්” සිදු වන්නේ කොහොමද? (මතෙ. 13:42) ‘රාජ්‍යයේ පුත්‍රයන්,’ ‘දුෂ්ටයාගේ පුත්‍රයන්ගේ’ විෂ සහිත අසත්‍ය ඉගැන්වීම් අනාවරණය කරන නිසා ඔවුන්ට එය හිසරදයක් වී තිබෙනවා. ඒ වගේම පල්ලි සාමාජිකයන්ගේ උපකාරය ඔවුන්ට අඩු වන නිසාත් තවදුරටත් තමන්ගේ පාලනය යටතේ එම සාමාජිකයන්ව තබාගැනීමට නොහැකි වී තිබෙන නිසාත් ඔවුන් කනස්සල්ලෙන් සිටිනවා.යෙසායා 65:13, 14 කියවන්න.

15. කිරිඳි ගින්නෙන් පුලුස්සා දමනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

15 කිරිඳි එකතු කර ගින්නෙන් පුලුස්සා දමනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (මතෙ. 13:40) ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමයි. (එළි. 20:14; 21:8) වංචාකාරයන් වන ව්‍යාජ ක්‍රිස්තියානීන්ගේ ඒ විනාශය සිදු වන්නේ “මහත් පීඩාව” අතරතුරයි.—මතෙ. 24:21.

ඔවුන් ‘සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’

16, 17. දෙවිගේ සංකේතාත්මක මාලිගාව ගැන මලාකි පැවසූ අනාවැකිය කුමක්ද? එය ඉටු වීම ආරම්භ වුණේ කවදාද?

16 තිරිඟු ලෙස හඳුන්වන අය ‘සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙන්නේ’ කුමන අවස්ථාවේද? (මතෙ. 13:43) ඊට පිළිතුර මලාකි පැවසූ අනාවැකියකින් සොයාගත හැකියි. දෙවිගේ මාලිගාව පිරිසිදු කිරීම ගැන ඔහු මෙසේ පැවසුවා. “සැබෑ ස්වාමීන් තම ගෘහයට පැමිණෙනු ඇත. ඔබ මඟ පෙන්වීම් පතන ඒ තැනැත්තා ඔබ නොසිතන වේලාවක පැමිණෙන්නේය. ඔබ ආශාවෙන් බලා සිටින තැනැත්තා වන ගිවිසුමට සම්බන්ධ දූතයාද ඔහු සමඟ පැමිණෙන්නේය. ඔහු නිසැකවම පැමිණෙනු ඇත. ඒ දේ දන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. ඔහු පැමිණෙන දවසේදී විඳදරාගනිමින් ස්ථිරව සිටිය හැක්කේ කාටද? මන්ද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් මෙන්ද රෙදි සේදීමට භාවිත කරන සබන් මෙන්ද ක්‍රියා කරනු ඇත. රිදී උණු කර පවිත්‍ර තත්වයකට පත් වන තුරු ඒ දෙස බලා සිටින රන්කරුවෙකු මෙන් ඔහු ලෙවීගේ පුත්‍රයන්ව පවිත්‍ර කරන්නේය. රන් හා රිදීවල තිබෙන බොර ඉවත් කරන්නාක් මෙන් ඔහු ඔවුන් තුළ ඇති අපවිත්‍ර දේ ඉවත් කරනු ඇත. ඉන්පසු ඔවුහු යෙහෝවා දෙවිට ධර්මිෂ්ඨ සිතකින් පූජා ඔප්පු කරන්නෝය.”—මලා. 3:1-3.

17 යෙහෝවා දෙවි තම “ගිවිසුමට සම්බන්ධ දූතයා” වන යේසුස් ක්‍රිස්තුස් සමඟ ඔහුගේ සංකේතාත්මක දේවමාලිගාව පරික්ෂා කිරීමට පැමිණීම ආරම්භ කළේ 1918දියි. ඒ පිරිසිදු කිරීම අවසන් වූ පසු සිදු වන දේ මලාකි මෙසේ විස්තර කරනවා. “ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.” (මලා. 3:18) අසත්‍ය උගන්වන ආගම්වලින් සැබෑ ක්‍රිස්තියානීන්ව වෙන් කළ පසු ඔවුන්ට නව පණක් ලැබුණ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වේගවත් වුණා. ඒ නිසා අස්වැන්න නෙළීම ආරම්භ වුණේ ඒ කාලයේදී කියා පැවසිය හැකියි.

18. වර්තමානයේ ඉටු වන දානියෙල් පැවසූ අනාවැකිය කුමක්ද?

18 යේසුස්ගේ උපමාවට සමාන අපගේ කාලයේ ඉටු වන අනාවැකියක් ගැන දානියෙල්ද මෙසේ පැවසුවා. “ගැඹුරු අවබෝධය ඇති අය දීප්තිමත් අහස මෙන් බැබළෙන්නෝය. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරන සියලුදෙනා තාරකා මෙන් සදාකාලයෙන් සදාකාලයටම බැබළෙන්නෝය.” (දානි. 12:3) දීප්තිමත් ලෙස බැබළෙන අය කවුද? ඔවුන් වෙන කිසිවෙකු නොව යේසුස් කිරිඳි හා තිරිඟු උපමාවේ සඳහන් කළ තිරිඟු ලෙස හඳුන්වන අභිෂේක ලත් ක්‍රිස්තියානීනුයි. නමුත් කිරිඳි ලෙස හඳුන්වන ව්‍යාජ ක්‍රිස්තියානීන්ව විනාශයට නියම කර ඇති බව අවබෝධ කරගන්න බොහෝදෙනා, වෙනත් බැටළුවන්ට එකතු වෙමින් සිටිනවා. දේවරාජ්‍යයේ යටත්වැසියන් ලෙස ඔවුන් අභිෂේක ලත් ඉතුරු අය සමඟ එකතු වී මේ අන්ධකාර ලෝකයේ ඔවුන්ගේ ආලෝකය බැබළීමට සලස්වනවා.—සෙක. 8:23; මතෙ. 5:14-16; ෆිලි. 2:15.

19, 20. ‘රාජ්‍යයේ පුත්‍රයන්’ උනන්දුවෙන් බලා සිටින්නේ කුමක් සඳහාද? අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

19 අද දින සිටින ‘රාජ්‍යයේ පුත්‍රයන්’ ඔවුන්ගේ තේජවත් ස්වර්ගික ජීවිතය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. (රෝම 8:18, 19; 1 කොරි. 15:53; ෆිලි. 1:21-24) එතෙක් ඔවුන්ට දිගටම දෙවිට විශ්වාසවන්තව, දීප්තිමත් ලෙස බැබළෙමින් හා ‘දුෂ්ටයාගේ පුත්‍රයන්ගෙන්’ වෙන් වී සිටීමට සිදු වෙනවා. (මතෙ. 13:38; එළි. 2:10) “කිරිඳි උදුරා” දමන කාලයේ ජීවත් වීමට ලැබීම ගැන අප මොන තරම් සතුටු විය යුතුද!

20 නමුත් පාරාදීස පොළොවක සදාකල් ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටින අය හා රාජ්‍යයේ පුත්‍රයන් අතර ඇති සම්බන්ධය කුමක්ද? එම ප්‍රශ්නයට පිළිතුර ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 1 ඡේ. ඒ උපමා ගැන වැඩි විස්තර දැනගැනීමට 2008 ජූලි 15, මුරටැඹ කලාපයේ 12-21 පිටු බලන්න.

^ 4 ඡේ. මෙහි කතා කරන්නේ ශුභාරංචිය දේශනා කිරීම හා යේසුස්ගේ ගෝලයන් වීමට ජනයාට උපකාර කිරීමේ කාර්යය ගැන නොවෙයි. යේසුස් පැවසුවේ ‘හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයන්’ කියා මිස ඉදිරියේදී රාජ්‍යයේ පුත්‍රයන් වීමට යන අය කියා නොවෙයි. කෙත නමැති ලෝකයේ බීජ වැපිරීමෙන් අදහස් කළේ රජ්‍යයේ පුත්‍රයන්ව අභිෂේක කිරීමයි.

^ 8 ඡේ. කිරිඳි පැළයේ මුල්, තිරිඟු පැළයේ මුල්වල පැටලී තිබෙන නිසා ඒවා කුඩා කාලයේදී උදුරා දැමීමෙන් තිරිඟු පැළවලටද හානි සිදු වෙනවා.—Insight on the Scriptures, Volume 1, page 1178 බලන්න.

ඔබට මතකද?

කිරිඳි හා තිරිඟු පිළිබඳ යේසුස් පැවසූ උපමාවට අනුව පහත සඳහන් දේවලින් අදහස් කරන්නේ කුමක්ද?

• හොඳ බීජ

• බීජ වැපුරූ මිනිසා

• බීජ වැපිරීම

• සතුරා

• කිරිඳි

• අස්වැන්න කපන කාලය

• ගබඩාව

• හැඬීම හා දත්මිටි කෑම

• ගින්නෙන් පුලුස්සා දැමීම

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූර]

හොඳ බීජ වැපිරීම ආරම්භ වුණේ ක්‍රි.ව 33 පෙන්තකොස්ත දවසේදියි

[23වන පිටුවේ පින්තූරය]

සංකේතාත්මක තිරිඟු දැන් යෙහෝවා දෙවිගේ ගබඩාවට එකතු කරනවා

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.