Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“පියා කළ වරදට කිසි ලෙසකින්වත් පුත්‍රයෙකු වග කිව යුතු නැත” කියා එසකියෙල් 18:20හි සඳහන් වෙනවා. නමුත් නික්මයාම 20:5හි සඳහන් වී තිබෙන්නේ පුද්ගලයන්ගේ ‘වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා’ දක්වා දෙවි දඬුවම් කරන බවයි. එම අදහස් පරස්පර විරෝධිද?

නැහැ. එසකියෙල් 18:20හි අවධාරණය කරන්නේ වරදට වග කිව යුතු තැනැත්තා ගැනයි. නමුත් නික්මයාම 20:5හි අවධාරණය කරන්නේ කෙනෙකුගේ වැරදි නිසා ඔහුගේ පරම්පරාවේ අයට සමහරවිට එහි නරක ප්‍රතිඵල විඳීමට සිදු වන බවයි.

එසකියෙල් 18වන පරිච්ඡේදය සලකා බැලීමෙන් පැහැදිලි වන්නේ පුද්ගලයෙක් කරන ක්‍රියාවකට ඔහු වග කිව යුතු බවයි. එහි හතරවන පදයේ මෙසේ සඳහන් වෙනවා. “පව් කරන පුද්ගලයා අනිවාර්යයෙන්ම මිය යන්නේය.” නමුත් ‘යහපත්, යුක්තිගරුක ජීවිතයක් ගත කරමින් ධර්මිෂ්ඨව ක්‍රියා කරන මිනිසෙකුට’ සිදු වන්නේ කුමක්ද? ඔහු ‘අනිවාර්යයෙන්ම ජීවත් වෙනවා.’ (එස. 18:5, 9) ඉන් පැහැදිලි වන්නේ තීරණයක් ගැනීමට හැකි වයසක සිටින සෑම කෙනෙකුවම විනිශ්චය කරන්නේ ඔවුන් “එකිනෙකා ක්‍රියා කරන” ආකාරයට අනුව බවයි.—එස. 18:30.

ලෙවීවරයෙකු වූ කෝරාගේ සිද්ධියෙන් ඒ බව පැහැදිලි වෙනවා. කෝරාට යෙහෝවා දෙවි ලබා දුන් විශේෂ සේවා වරප්‍රසාදවලින් ඔහු සෑහීමට පත් වුණේ නැහැ. පූජකයන් සතු වගකීම් දැරීමට තිබූ ආශාව නිසා ඔහු තවත් අය සමඟ එකතු වී යෙහෝවා දෙවි පත් කළ නියෝජිතයන් වූ මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කැරලිගැසුවා. එලෙස උඩඟු වී ඔවුන්ට අයති නැති දෙයක් කිරීමට උත්සාහ කළ නිසා යෙහෝවා දෙවි ඔවුන්ව මරණයට පත් කළා. (ගණන්. 16:8-11, 31-33) කෙසේනමුත් කෝරාගේ පුත්‍රයන් එම කැරලිකාර ක්‍රියාවට හවුල් වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ පියා කළ වරදට දෙවි ඔවුන්ට දඬුවම් කළේ නැහැ. ඔවුන් දෙවිට විශ්වාසවන්තව සිටි නිසා ඔවුන්ගේ ජීවිත බේරුණා.—ගණන්. 26:10, 11.

දැන් අපි නික්මයාම 20:5හි සඳහන් අනතුරු ඇඟවීමෙන් අදහස් කරන දේ සලකා බලමු. මෙය තේරුම්ගැනීමටත් අවට පද සලකා බැලීම වැදගත්. යෙහෝවා දෙවි නීතිය ලබා දුන්නේ ඊශ්‍රායෙල් ජාතියටයි. එම නීති මොනවාද කියා දැනගත් පසු සියලුම ඊශ්‍රායෙල්වරු ප්‍රසිද්ධියේ මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.” (නික්. 19:5-8) ඒත් සමඟම මුළු ජාතියම යෙහෝවා දෙවි සමඟ විශේෂ බැඳීමක් ඇති කරගත්තා. ඉන් පැහැදිලි වන්නේ නික්මයාම 20:5හි සඳහන් දේ මූලිකවම අදාළ වන්නේ මුළු ඊශ්‍රායෙල් ජාතියටම බවයි.

ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටි විට ඔවුන් බොහෝ ප්‍රයෝජන ලැබුවා වගේම දෙවිගේ ආශීර්වාදද භුක්ති වින්දා. (ලෙවී. 26:3-8) නමුත් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කර බොරු දෙවිවරුන්ට නමස්කාර කළ විට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය හා රැකවරණය ඔවුන්ට නැතුව ගියා. ඒ නිසා ඔවුන් බොහෝ සේ දුක් වින්දා. (විනි. 2:11-18) ඊට සම්බන්ධ නොවී දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඔහුගේ ආඥා පිළිපැද්ද කිහිපදෙනෙක්ද සිටියා. (1 රාජා. 19:14, 18) ඊශ්‍රායෙල් ජාතියේ වැරදි නිසා ඔවුන්ට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වුණත් යෙහෝවා දෙවි ඔවුන්ට ඔහුගේ මහත් කරුණාව පෙන්නුවා.

ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ නීති බරපතළ ලෙස කඩ කළ නිසා දෙවිගේ නාමය වෙනත් ජාතීන් අතරේ සමච්චලයට ලක් වුණා. ඒ නිසා බැබිලෝනියේ වහල්භාවයට යෑමට ඉඩ හැරීමෙන් දෙවි ඔවුන්ට දඬුවම් කළා. ඒ අවස්ථාවේදී ඒ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන්ට මෙන්ම මුළු ජාතියටම දඬුවම් විඳින්න සිදු වුණා. (යෙරෙ. 52:3-11, 27) බයිබලයේ සඳහන් ලෙස මුළු ඊශ්‍රායෙල් ජාතියම කළේ ඉතා බරපතළ වැරදියි. ඒ නිසා නික්මයාම 20:5හි සඳහන් ආකාරයට ඔවුන්ගේ තුන්වන, හතරවන හෝ ඊටත් වඩා වැඩි පරම්පරා ගණනාවකට එහි ප්‍රතිඵල විඳීමට සිදු වුණා.

දෙමාපියන්ගේ වැරදි හැසිරීම නිසා දරුවන්ට දුක් විඳීමට සිදු වූ අවස්ථා ගැනද බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට උත්තම පූජක ඒලී, දුරාචාරයේ හැසිරුණු “කිසි කමකට නැති” ඔහුගේ පුත්‍රයන්ට දිගටම පූජකයන් ලෙස සේවය කරන්න ඉඩහැරියා. ඒ තුළින් ඔහු දෙවිව කෝපයට පත් කළා. (1 සාමු. 2:12-16, 22-25) ඔහු යෙහෝවා දෙවිට වඩා ඔහුගේ පුත්‍රයන්ට ගෞරවය දුන් නිසා ඔහුගේ පවුලේ අයව උත්තම පූජකකමින් ඉවත් කිරීමට දෙවි තීරණය කළා. ඒ අනුව ඒලීගේ හතරවන පරම්පරාවට අයත් කෙනෙක් වූ අබියාතර්ට හා ඔහුට පසුව සිටි අයට උත්තම පූජකයන් ලෙස සේවය කිරීමට හැකි වුණේ නැහැ. (1 සාමු. 2:29-36; 1 රාජා. 2:27) නික්මයාම 20:5හි ඇති දේ තේරුම්ගැනීම සඳහා ගෙහාසීගේ උදාහරණයද ප්‍රයෝජනවත් වෙනවා. ගෙහාසී එලිෂාගේ සේවකයා ලෙස දැරූ තනතුරෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගනිමින් සිරියානු නායක නාමන්ගෙන් තෑගිබෝග ලබාගත්තා. ඒ නිසා යෙහෝවා දෙවි එලිෂා මාර්ගයෙන් ගෙහාසීට මෙවැනි දඬුවමක් නියම කළා. “නාමන්ට වැලඳී තිබූ ලාදුරු රෝගය දැන් ඔබට වැලඳෙනවා. එම රෝගය වැලඳුණු කෙනෙක් හැමදාටම ඔබේ පවුල තුළ ඉදීවි.” (2 රාජා. 5:20-27) ඒ අනුව ගෙහසීගේ වරදට ඔහු පමණක් නොව ඔහුගෙන් පැවත එන අයත් දඬුවම් වින්දා.

අප සියලුදෙනාගේ නිර්මාණකරු ලෙස අප කරන වැරදි ක්‍රියාවකට දිය යුතු සුදුසුම දඬුවම කුමක්ද කියා තීරණය කිරීමට යෙහෝවා දෙවිට අයිතියක් තිබෙනවා. ඉහත සඳහන් උදාහරණවලින් පැහැදිලි වන්නේ තම දෙමාපියන් හෝ මුතුන්මිත්තන් කළ වැරදිවල ප්‍රතිඵල විඳීමට ඔවුන්ගෙන් පැවතෙන්නන්ට සිදු විය හැකි බවයි. කෙසේවෙතත් යෙහෝවා දෙවිව ඕනෑකමින් සොයන ‘පීඩිතයන්ගේ කන්නලව්වලට’ දෙවි සවන් දෙනවා. සමහරවිට එවැනි අයට ඔහුගේ අනුමැතිය මෙන්ම සහනයද ලබන්න පුළුවන්.—යෝබ් 34:28.

[29වන පිටුවේ පින්තූරය]

කෝරා සහ ඔහු සමඟ එකතු වූ අය ඔවුන් කළ වරදට දඬුවම් වින්දා