Skip to content

පටුනට යන්න

මාක් ‘ඉතා වටිනා සේවයක් කළා’

මාක් ‘ඉතා වටිනා සේවයක් කළා’

මාක් ‘ඉතා වටිනා සේවයක් කළා’

පාවුල් හා බානබස් අන්තියෝකියේ සභාවේ සිටින විට ඔවුන් අතර “බහින් බස් වීමක් ඇති” වුණා. ඒ, මිෂනාරි ගමනක් සැලසුම් කරද්දී ඔවුන් සමඟ හවුල් කරගන්නේ කාවද යන්න පිළිබඳවයි. (ක්‍රියා 15:39) ඉන්පසු ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව ගියා. ඒ සියලු දේට හේතු වුණේ මාක්.

මාක් කියන්නේ කවුද? පාවුල් සහ බානබස් ඔහු ගැන බහින් බස් වුණේ ඇයි? පසුව එම ප්‍රශ්නය විසඳුණාද? මාක්ගෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මාක්ගේ යෞවන කාලය

යෙරුසලමේ හැදී වැඩුණු මාක් ධනවත් පවුලක කෙනෙක් වූවා විය හැකියි. ඔහු ගැන පැහැදිලිව හඳුන්වා දෙන මුල්ම අවස්ථාව වන්නේ ක්‍රිස්තියානි සභාව පිහිටෙවූ මුල් කාලයයි. ක්‍රිස්තු වර්ෂ 44දී පමණ පළමුවන හෙරොද් අග්‍රිපා රජ, පේතෘස්ව සිරගත කිරීමෙන් පසු දේවදූතයෙක් ඔහුව ආශ්චර්යවත් ලෙස නිදහස් කළා. පසුව පේතෘස් ‘මාක් යන වාසගම දැරූ යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියා. ඒ අවස්ථාවේදී බොහෝදෙනෙක් එහි රැස් වී යාච්ඤා කරමින් සිටියා.’—ක්‍රියා 12:1-12. *

මාක්ගේ මවගේ නිවස රැස්වීම් සඳහා භාවිත කළ බව එමගින් පැහැදිලි වෙනවා. එම නිවසේ “බොහෝදෙනෙක්” රැස්ව සිටි බව පැවසීමෙන් එය විශාල නිවසක් වූ බවද පැහැදිලියි. ඒ වගේම මරියාට රෝදා නම් සේවිකාවක් සිටියා. පේතෘස් මරියාගේ නිවසේ “දොරටුව අසලට ගොස් දොරට තට්ටු කළ විට” ඇවිත් බැලුවේ ඒ සේවිකාවයි. ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ මරියා ධනවත් කාන්තාවක් බවයි. ඒ වගේම ඇය සිටි නිවස ඇගේ පුරුෂයාගේ නිවස කියා සඳහන් කරනවා වෙනුවට ඇගේ නිවස කියා සඳහන් කර තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ ඇය වැන්දඹුවක් වී සිටින්න ඇති බව හා මාක් ඒ වන විට තරුණයෙක්ව සිටින්න ඇති බවයි.—ක්‍රියා 12:13.

යාච්ඤා කිරීම සඳහා එදා එම නිවසේ රැස්ව සිටි අය අතර මාක්ද සිටින්න ඇති. ඔහු යේසුස්ගේ නියෝජිතයන් හා යේසුස්ව හඳුනන අය සමඟ හොඳ ඇසුරක් භුක්ති විඳින්නද ඇති. යේසුස්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු පසුපස ගිය හා පසුව තම ලිනන් වස්ත්‍රය අත්හැර පලා ගිය බවට බයිබලයේ සඳහන් තරුණයා මාක් විය හැකියි.—මාක් 14:51, 52.

මාක් සභාවේ දැරූ වගකීම්

අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ව ඇසුරු කිරීම මාක්ගේ දියුණුවට බලපෑ බවට කිසිම සැකයක් නැහැ. ක්‍රිස්තු වර්ෂ 46 පමණ වන විට යෙරුසලමේ ඇති වූ සාගතයක් නිසා අන්තියෝකියෙන් සහනාධාර රැගෙන පාවුල් සහ බානබස් යෙරුසලමට පැමිණි අවස්ථාවේදී මාක්ගේ උද්‍යෝගය ඔවුන්ගේ අවධානයට ලක් වුණා. ඒ නිසා ඔවුන් නැවත අන්තියෝකියට පැමිණෙන විට මාක්වද රැගෙන ආවා.—ක්‍රියා 11:27-30; 12:25.

මේ තිදෙනා අතර ක්‍රිස්තියානි සහෝදරයන් ලෙස තිබුණු සම්බන්ධය හැර වෙන කිසි සම්බන්ධයක් නොතිබූ බව සමහරුන්ට සිතෙන්න පුළුවන්. නමුත් මාක් සහ බානබස් අතර නෑදෑකමක් තිබුණ බව පාවුල් එක් ලිපියක සඳහන් කරනවා. (කොලො. 4:10) පාවුල් හා බානබස් අතර ගැටලුව ඇති වීමට හේතුව යම් දුරකට අවබෝධ කරගැනීම සඳහා ඒ කාරණය අපට උපකාර කරනවා.

ඉන් වසරක් පමණ ගත වූ පසු පාවුල් හා බානබස්ට මිෂනාරි ගමනක නිරත වෙන්න කියා දෙවිගේ බලයෙන් මඟ පෙන්වීම් ලැබුණා. ඒ අනුව ඔවුන් අන්තියෝකියේ සිට සයිප්‍රසයට යෑමට තීරණය කළා. යොහන් මාක්ද ඔවුන්ගේ “සහයට” ඔවුන් සමඟ ගියා. (ක්‍රියා 13:2-5) ඔහු පාවුල් හා බානබස්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වූ නිසා ඔවුන්ට සභාවල වැඩකටයුතු වෙනුවෙන් මුළු අවධානයම යොමු කිරීමට හැකි වුණා.

පාවුල්, බානබස් හා මාක් සයිප්‍රසයේ ශුභාරංචිය ප්‍රකාශ කර, පසුව කුඩා ආසියා ප්‍රදේශය බලා පිටත් වුණා. ඔවුන් තිදෙනා පර්ගා නුවරට ගිය විට “යොහන් ඔවුන්ව අත්හැර නැවත යෙරුසලමට” ගියා. (ක්‍රියා 13:13) යොහන් මාක් ගත් ඒ තීරණය නිසා පාවුල්ට ඔහු ගැන කලකිරීමක් ඇති වුණා. මාක් එවැනි තීරණයක් ගැනීමට හේතුව බයිබලයේ සඳහන් වී නැහැ.

ඉන් වසර කිහිපයකට පසුව මේ තිදෙනා නැවත අන්තියෝකියේ සිටිනවා. පාවුල් සහ බානබස් පළමු මිෂනාරි ගමනේදී හමු වූ අයව තවදුරටත් දිරිගැන්වීම සඳහා දෙවන වතාවටත් ඒ ප්‍රදේශවලට යෑමට සැලසුම් කළා. බානබස්ට ඔහුගේ නෑදෑයෙක් වූ මාක්වද රැගෙන යෑමට අවශ්‍ය වුණා. නමුත් පළමු මිෂනාරි ගමන අතරමඟදී මාක් ඔවුන්ව අත්හැර ගිය නිසා මේ වතාවේදී ඔහුව රැගෙන යනවාට පාවුල් කිසිසේත්ම කැමති වුණේ නැහැ. බානබස් හා පාවුල් අතර බහින් බස් වීමක් ඇති වීමට හේතුව එයයි. පසුව බානබස් ඔහුගේ ගම වන සයිප්‍රසයේ සේවය කිරීම සඳහා මාක්ව රැගෙන ගිය අතර පාවුල් සිරියාවට ගියා.—ක්‍රියා 15:36-41.

සමාදාන වීම

ඒ සිදුවීම නිසා මාක්ට කනගාටුවක් ඇති වූ බවට කිසිම සැකයක් නැහැ. ඒ වුණත් ඔහු දිගටම විශ්වාසවන්තව සේවය කළා. පාවුල්, මාක්ගෙන් වෙන් වී වසර 11කට හෝ 12කට පමණ පසු නැවත මාක්, පාවුල් සමඟ සිටින බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වෙයි.

අපි දැන් ඒ ගැන සලකා බලමු. පාවුල් ක්‍රි.ව. 60-61 අතර කාලයේදී රෝමයේ සිරගත වී සිටියා. එහිදී ඔහු අවට සභාවලට ලිපි කිහිපයක් ලිව්වා. ඔහු කොලොස්සිවරුන්ට ලියූ ලිපියේ මෙවැනි දෙයක් සඳහන් කළා. ‘මා සමඟ සිරභාරයේ සිටින අරිස්තාකස්ද බානබස්ගේ නෑදෑයෙකු වන මාක්ද ඔබට සුබ පැතුම් එවති. (මාක් යම් දිනක ඔබ වෙතට පැමිණියොත් අප ඔබට දී ඇති මඟ පෙන්වීම්වලට අනුව ඔහුව සාදරයෙන් පිළිගන්න.) දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් මට සහයෝගය දෙමින් සේවය කරන්නේ ඔවුන් පමණි. ඇත්තෙන්ම ඔවුහු මට ඉමහත් ශක්තියක් හා ධෛර්යයක් වී ඇත.’—කොලො. 4:10, 11.

මුලදී මාක් ගැන පැහැදීමකින් නොසිටියත් පසුව ඔහුව වටිනා හවුල් සේවකයෙක් ලෙස පාවුල් සැලකුවා. එය මොන තරම් වෙනස් වීමක්ද! සමහරවිට පාවුල් කොලොස්සිවරුන් වෙතට මාක්ව එවන බවට කලින් ලිපියක සඳහන් කරන්න ඇති. ඉන් පැහැදිලි වන්නේ පාවුල් මාක්ව තම නියෝජිතයා ලෙස යැවීමට අදහස් කරගෙන සිටි බවයි.

පාවුල්, මාක් සම්බන්ධයෙන් ඕනෑවට වඩා දැඩිව ක්‍රියා කළා විය හැකිද? මාක්, පාවුල් ක්‍රියා කළ ආකාරය තමාට ලැබුණු තරවටුවක් ලෙස සලකා ඉන් ප්‍රයෝජන ගන්න ඇද්ද? සමහරවිට ඒ දෙයාකාරයම සිදු වන්න ඇති. ඒ කෙසේවෙතත් ඔවුන් දෙදෙනා සමාදාන වීමෙන් පැහැදිලි වන්නේ සිදු වූ දෙවල් අමතක කර ඔවුන් ක්‍රිස්තියානීන් ලෙස අවබෝධයෙන් ක්‍රියා කළ බවයි. සෙසු ක්‍රිස්තියානියෙක් සමඟ එකඟ නොවීමක් ඇති වන කෙනෙකුට මෙය මොන තරම් කදිම ආදර්ශයක්ද!

සංචාරකයෙක්

මාක් බොහෝ සංචාරවල යෙදුණා. ඔහු යෙරුසලමේ සිට අන්තියෝකියට ගිය අතර එතැනින් සයිප්‍රසය හා පර්ගාවටද ගමන් කළා. ඉන්පසු ඔහු රෝමයට ගියා. පසුව ඔහුව කොලොස්සියට යැවීමට පාවුල්ට අවශ්‍ය වුණා. ඔහුගේ සංචාරය එතැනින් අවසන් වුණේ නැහැ.

ඔහු බැබිලෝනියටද ගියා. ඔහු එහි ගියේ වසර ගණනාවකට කලින් ඔහුගේ මවගේ නිවසේ රැස්වීම්වලට පැමිණි පේතෘස් සමඟ සේවය කිරීමටයි. ක්‍රි.ව. 62-64 අතර කාලයේදී පේතෘස් ලියූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “බැබිලෝනියේ වාසය කරන තැනැත්තියද මගේ පුත් මාක්ද ඔබට සුබ පතති.”—1 පේතෘ. 5:13.

මාක් එෆීසයටද ගිය බව පාවුල් ක්‍රි.ව. 65දී පමණ තිමෝතිට ලියූ ලිපියකින් පැහැදිලි වෙනවා. ඒ වන විට පාවුල් දෙවන වතාවට රෝමයේ සිරගතව සිටියා. ඔහු තිමෝතිට එෆීසයේ සිට රෝමයට පැමිණෙන ලෙස පවසද්දී මෙවැනි දෙයක්ද සඳහන් කළා. “ඔබ පැමිණෙන විට මාක්වද රැගෙන එන්න.” (2 තිමෝ. 4:11) පාවුල් කළ එම ආරාධනාව මාක් සතුටින් පිළිගත් බවට කිසිම සැකයක් නැහැ. ඒ කාලයේ ගමන්බිමන්වල යෙදීම පහසු දෙයක් නොවුණත් මාක් ඒ සියලු සංචාරවල යෙදුණේ ඉතා කැමැත්තෙන්මයි.

විශේෂ වරප්‍රසාදයක්

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ශුභාරංචි පොත් හතරෙන් එකක් ලිවීමේ විශේෂ වරප්‍රසාදය මාක්ට ලැබුණා. මාක් පොත ලියූ ලේඛකයා ගැන එහි කිසි සඳහනක් නොතිබුණත් පැරණි වාර්තාවලින් පැහැදිලි වන්නේ එය මාක් ලියූ බවයි. ඒ වගේම ඔහුට එම තොරතුරු සියල්ලක්ම වාගේ ලැබුණේ ඒ දේවල් ඇසින් දුටු පේතෘස්ගෙන් බව ඒවායේ සඳහන් වෙනවා.

මාක් පොත පිළිබඳව අදහස් දක්වන අය පවසන්නේ ඔහු එය යුදෙව් නොවන ජාතීන් සඳහා ලියූ බවයි. ඔහු එම පොත තුළ යුදෙව් චාරිත්‍ර වාරිත්‍ර ගැනසඳහන් කළේ වෙනත් ජාතීන්ට තේරුම්ගැනීමට පහසු වන ආකාරයෙනුයි. (මාක් 7:3; 14:12; 15:42) ඒ වගේම ඔහු යුදෙව් නොවන අයගේ ප්‍රයෝජනය සඳහා ඇරමයික වචනද එහි අර්ථයද ඔහුගේ පොතේ සඳහන් කර තිබෙනවා. (මාක් 3:17; 5:41; 7:11, 34; 15:22, 34) ඔහු බොහෝ ලතින් වචනද භාවිත කළා. ඒ වගේම ග්‍රීක භාෂාවේ පොදුවේ භාවිත කරන වචන පැහැදිලි කර දීමට ලතින් භාෂාවේ වචනද ඔහු යොදාගත්තා. ඒ සියලු තොරතුරුවලින් පැහැදිලි වන තවත් දෙයක් වන්නේ මාක් ඔහුගේ පොත රෝමයේ සිට ලියූ බවයි.

“ඉතා වටිනා සේවයක් ඉටු කරයි”

“ඔබ පැමිණෙන විට මාක්වද රැගෙන එන්න” කියා පාවුල් තිමෝතිට පැවසූ බව ඔබට මතක ඇති. තමා එසේ ලිවීමට හේතුව පාවුල් මෙසේ විස්තර කළා. “ඔහු මා වෙනුවෙන් ඉතා වටිනා සේවයක් ඉටු කරයි.” (2 තිමෝ. 4:11) ඉන් පැහැදිලි වන්නේ මාක් රෝමයේ සිටි විට ශුභාරංචි පොත ලිවීමට අමතරව තවත් සේවයක් කළ බවයි.

මාක් ගැන අවසන් වතාවට සඳහන් වන්නේ පාවුල් තිමෝතිට ලියූ ඉහත සඳහන් අවස්ථාවේදීයි. ඉන් අපට ඔහු මොන වගේ කෙනෙක්ද කියා තේරුම්ගත හැකියි. මාක් සභාවේ කළ සේවය සම්බන්ධයෙන් ලියද්දී ඔහු යේසුස්ගේ නියෝජිතයෙක්, පෙරමුණ ගෙන කටයුතු කළ කෙනෙක් හෝ අනාගතවක්තෘවරයෙක් කියා කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු අන් අය වෙනුවෙන් ඉතා වටිනා සේවයක් ඉටු කළ කෙනෙක් බව සඳහන් වෙනවා. තමාගේ ජීවිතයේ අවසන් කාලයේදී පාවුල්, මාක්ගේ උපකාරය ලබන්න කැමති වුණේ ඒ නිසා විය හැකියි.

මාක් ගැන සඳහන්ව ඇති තොරතුරුවලින් පැහැදිලි වන්නේ ඔහු ඕනෑම තැනකට ගොස් උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නත් අන් අයට උපකාර කරන්නත් කැමැත්තෙන් සිටි බවයි. අධෛර්යයට පත් නොවී දිගටම සේවය කිරීම නිසා මාක්ට මොන තරම් වටිනා වරප්‍රසාදයන් භුක්ති විඳීමට හැකි වුණාද!

මාක් මෙන් අපත් උද්‍යෝගයෙන් දේවරාජ්‍යය පිළිබද ශුභාරංචිය ප්‍රකාශ කරමු. ඔහු මෙන් අපගෙන් සමහර දෙනෙකුටද වෙනත් ප්‍රදේශයකට හෝ රටකට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එසේ කිරීමට නොහැකි අයටත් මාක්ව ආදර්ශයට ගත හැකියි. ඔහු තමාගේම පහසුව ගැන නොසලකා ක්‍රිස්තියානීන්ට උපකාර කළා හා සමානව අපටත් අපගේ සෙසු සහෝදර සහෝදරියන්ට දෙවිට සේවය කිරීම සඳහා උපකාර කළ හැකියි. එසේ කරන විට අපට දිගටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබෙන බව නිසැකයි.—හිතෝ. 3:27; 10:22; ගලා. 6:2.

[පාදසටහන]

^ 5 ඡේ. මාක් ජීවත් වූ කාලයේ සිටි අය හෙබ්‍රෙව් හෝ වෙනත් විදේශ ආභාසයක් ඇති වාසගමක් භාවිත කිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණා. යුදෙව්වෙක් වූ ඔහුගේ නම යොහනන්. එය සිංහලෙන් යොහන් කියා උච්චාරණය කරනවා. ඔහුගේ වාසගම වුණේ මාකස්. එය ලබාගෙන තිබුණේ ලතින් භාෂාවෙනුයි. සිංහලෙන් එය උච්චාරණය කරන්නේ මාක් කියායි.—ක්‍රියා 12:25.

[8, 9වන පිටුවල සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

මාක් සංචාරය කළ නගර කිහිපයක්

රෝමය

එෆීසය

කොලොස්සිය

පර්ගා

අන්තියෝකිය (සිරියාවේ)

සයිප්‍රසය

මධ්‍යධරණී මුහුද

යෙරුසලම

බැබිලෝනිය