Skip to content

පටුනට යන්න

ඔබට “අනතුරක්” සිදු වෙනවාට යෙහෝවා දෙවි කැමති නැහැ

ඔබට “අනතුරක්” සිදු වෙනවාට යෙහෝවා දෙවි කැමති නැහැ

ඔබට “අනතුරක්” සිදු වෙනවාට යෙහෝවා දෙවි කැමති නැහැ

පොළොවේ සිදු වන භයානකම දේ ඉදිරියේදී සිදු වන විට සියලු බලැති දෙවි තමන්ගේ අනුමැතිය ඇති සෙනඟව ඉන් “ගලවාගනු” ලබනවා. (යෝවෙ. 2:32) යෙහෝවා දෙවි “ජීවිතයේ උල්පත” නිසා ඔහුට සෑම පුද්ගලයෙක්වම ඉතා වටිනවා. ඒ නිසා ආරම්භයේ සිටම දෙවි ඔවුන්ව ආරක්ෂා කිරීමට පියවර ගත්තා.—ගීතා. 36:9.

පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ටද ජීවිතය ගැන තිබුණේ දෙවි දරන ආකල්පයයි. ඒ ගැන උදාහරණයක් සලකා බලමු. උත්පත්ති 33:18හි සඳහන් ලෙස යාකොබ් හා ඔහුගේ පවුලේ අය කිසිම “අනතුරක් නැතුව” ඉතා භායනක ගමනක් අවසන් කළා. යාකොබ් ඒ ගමන සඳහා දෙවිගේ ආරක්ෂාව පැතුවත් ඔහුගේ හා ඔහු සමඟ ගමන් කළ අයගේ ආරක්ෂාව සඳහා ඔහුද යම් පියවර ගත්තා. (උත්. 32:7, 8; 33:14, 15) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ඔබටත් අන් අයටත් සිදු වන අනතුරු අවම කරගත හැකියි. රාජ්‍ය ශාලා ඉදි කිරීමේදී, විපතට පත් අයට උපකාර කිරීමේදී හා වෙනත් ව්‍යාපෘතීන්වල වැඩ කිරීමේදී එය අදාළ වන ආකාරය සලකා බලමු.

මෝසෙස්ට දුන් නීතියේ සඳහන් දේ

යම් වැඩක නිරත වන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු බව මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වුණා. උදාහරණයකට, ඊශ්‍රායෙල්වරයෙක් නිවසක් සාදන විට එහි පැතලි වහල වටේ කුඩා තාප්පයක් ඉදි කර යුතු වුණා. ඊට හේතුව ඉන් බිමට වැටීමෙන් සිදු වන අනතුරු වළක්වාගැනීමට හැකි වීමයි. (1 සාමු. 9:26; මතෙ. 24:17) එම නීතිය පිළි නොපැදීම නිසා අනතුරක් සිදු වුණොත් ඒ සඳහා නිවෙස් හිමියා වග කිව යුතු බව දෙවි පැවසුවා.—ද්වි. 22:8.

නිවසේ ඇති කරන සතුන් සම්බන්ධ නීතිද එහි ඇතුළත් කර තිබුණා. ගවයෙක් කෙනෙකුට ඇන ඔහු මිය ගියොත් උගේ අයිතිකරු ඒ ගවයාව මැරිය යුතුයි. එසේ කිරීමෙන් වෙනත් අයට අනතුරු සිදු වීම වළක්වා ගත හැකියි. එසේ මරණ ලද ගවයාගේ මස් කන්නවත් විකුණන්නවත් අයිතිකරුට නොහැකි වූ නිසා එය ඔහුට විශාල පාඩුවක් වුණා. නමුත් අනින්න පුරුදුව සිටි ගවයෙකුව අයිතිකරු මරා දැමුවේ නැත්නම් කුමක් සිදු වෙයිද? එම ගවයාම නැවතත් වෙනත් කෙනෙකුට ඇන ඒ පුද්ගලයා මිය ගියොත් ඒ ගවයාත් උගේ අයිතිකරුවත් මැරිය යුතු වුණා. එම නීතිය තුළින් දෙවි කාවැද්දුවේ සතුන් ඇති කිරීමේදී නොසැලකිලිමත් ලෙස ක්‍රියා නොකළ යුතු බවයි.—නික්. 21:28, 29.

ආයුධ භාවිත කරන ආකාරය ගැනද නීතියේ සඳහන් වුණා. ඊට මේ උදාහරණය සලකා බලන්න. බොහෝ ඊශ්‍රායෙල්වරු දර කපන්න පොරොවක් භාවිත කළා. එම පොරොවේ තලය ගැලවී එතැන සිටින කෙනෙකුට වැදී ඔහු මිය ගියොත් දර කපන්නා ආරක්ෂිත නුවරකට පලා ගොස් උත්තම පූජකයා මිය යන තුරු එහි සිටිය යුතු වුණා. ඉන් අදහස් කළේ ඔහුට බොහෝ කාලයක් ඔහුගේ නිවස හා පවුලේ අයගෙන් වෙන් වී ජීවත් වීමට සිදු විය හැකි බවයි. යෙහෝවා දෙවිට කෙනෙකුගේ ජීවිතය මොන තරම් වටිනවාද කියා ඒ නීතිය මගින් ඊශ්‍රායෙල්වරුන්ට කාවැද්දුවා. ජීවිතය ගැන ඒ ආකාරයට සිතන කෙනෙක් ඔහු භාවිත කරන ආයුධ නිසි ලෙස නඩත්තු කරමින් ඒවා සැලකිලිමත්ව භාවිත කරනවා.—ගණන්. 35:25; ද්වි. 19:4-6.

ඊශ්‍රායෙල්වරුන්ට දුන් ඒ නීති මගින් දෙවිට අවශ්‍ය වුණේ ඔහුගේ සෙනඟ ආරක්ෂාකාරීව වැඩ කරනවා දැකීමයි. එසේ නොමැතිව අත්වැරද්දකින් හෝ කෙනෙක් තව කෙනෙකුට අනතුරක් සිදු කළොත් නැත්නම් ඔහුව මරණයට පත් කළොත් එය කළ පුද්ගලයා යෙහෝවා දෙවිට වග කිව යුතු වුණා. දෙවි ආරක්ෂාව ගැන එදා දැක්වූ සැලකිල්ල අදටත් වෙනස් වී නැහැ. (මලා. 3:6) ඒ නිසා ඔහුගේ නමස්කාරය වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කරන විට හා ඒවා නඩත්තු කරන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා.

ගොඩනැඟිලි ඉදි කරන විට

රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා හා ශාඛා කාර්යාල ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට හා ඒවා නඩත්තු කිරීමට මෙන්ම විපතට පත් අයට උපකාර කිරීමට හවුල් වෙන්න ලැබීම අප සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. එහිදී අපට පැවරෙන කාර්යය ඉතා පහසු එකක් වුණත් එය නිසි අයුරින් හා නිවැරදිව කිරීමෙන් අපටත් අන් අයටත් සිදු වන අනතුරු වළක්වාගත හැකියි. (දේශ. 10:9) ඇත්තෙන්ම ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමේ පුරුද්ද අපට තිබෙනවා නම් බොහෝ අනතුරු වළක්වාගත හැකියි.

“තරුණයන්ගේ අලංකාරය වන්නේ ඔවුන්ගේ ශක්තියයි. මහලු අයව ගෞරවයට පත් කරන්නේ ඔවුන්ගේ පැසුණු හිසකෙස්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝ. 20:29) යෞවනයන්ට ශක්තිය තිබෙන නිසා බර වැඩ සඳහා ඔවුන්ව අවශ්‍යයි. ඒ වගේම අද්දැකීම් ලත් වැඩිහිටි අයටත් ඔවුන්ගේ පළපුරුද්ද යොදාගෙන වෙනත් වැඩවලට හවුල් විය හැකියි. දැන් වයසට ගොස් සිටින අය ඔවුන්ගේ තරුණ කාලයේදී මෙවැනි ව්‍යාපෘතිවල බර වැඩ කර තිබෙනවා. ඔබ අලුතෙන් සේවය කරන කෙනෙක් නම් එවැනි අය වැඩ කරන ආකාරය නිරීක්ෂණය කරන්න. ඒ වගේම ඔවුන් දෙන උපදෙස් පිළිපදින්න. ඔබ ඉගෙනගන්න උනන්දුවෙන් සිටින කෙනෙක් නම් අනතුරුදායක භාණ්ඩ පරිහරණය කිරීම, බර උස්සන නිවැරදි ආකාරය වැනි බොහෝ දේ උගන්වන්න ඔවුන් ආශාවෙන් සිටිනවා. ඒ නිසා ඔබට කාර්යක්ෂමව, ආරක්ෂාකාරීව හා සන්තෝෂයෙන් වැඩ කිරීමට හැකියාව ලැබෙනවා.

වැඩබිමක සේවය කරන අය නිතරම සුපරීක්ෂාකාරීව සිටීම වැදගත්. උදාහරණයකට, පොළොවේ වළක් නොතිබූ තැනක යම් හේතුවක් නිසා වළක් හෑරී තිබෙන්න පුළුවන්. සමහරවිට ඉණිමඟක්, ලෑල්ලක් නැත්නම් තීන්ත බාල්දියක් කලින් තිබූ තැනින් වෙනත් තැනකට මාරු කර තිබිය හැකියි. ඔබ සුපරීක්ෂාකාරී නොවුණොත් එවැනි අවස්ථාවකදී ඔබට අනතුරක් සිදු විය හැකියි. වැඩබිමක ආරක්ෂාව ගැන සඳහන් නීතිරීතිවලට වැඩ කරන අය භාවිත කළ යුතු ආරක්ෂක උපකරණ ගැනද සඳහන් වෙනවා. ඇස් ආරක්ෂා කරන කණ්ණාඩි, ආරක්ෂක හිස් වැසුම් හා කරන කාර්යයට ඔබින පාවහන් වැනි දෑ නිසා බොහෝ අනතුරු වළක්වාගත හැකියි. නමුත් ඔබට ඉන් ආරක්ෂාවක් ලැබෙන්නේ ඔබ ඒවා පැළඳ සිටියොත් හා එම උපකරණ හොඳ තත්වයෙන් තිබුණොත් පමණයි.

භාවිත කිරීමට ඇති ආයුධ ඉතා පහසුවෙන් හසුරුවන්න පුළුවන් ඒවා වුණත් ඒවා ආරක්ෂාකාරීව හා දක්ෂව භාවිත කරන්න පුහුණුව අවශ්‍යයි. ඔබ භාවිත කිරීමට යන ආයුධය ගැන ඔබට නිවැරදි අවබෝධයක් නැත්නම් ඒ ගැන ඔබේ වැඩ අධීක්ෂකට දන්වන්න. එවිට ඔහු ඔබට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරයි. තමන් දන්නා හා නොදන්නා දේවල් නිහතමානීව පිළිගැනීමෙන් ඔබගේ හා අන් අයගේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් වන බව පෙන්විය හැකියි.—හිතෝ. 11:2.

වැඩබිමක බොහෝවිට අනතුරු සිදු වන්නේ උඩකින් වැටීම නිසයි. ඒ නිසා ඉණිමඟක හෝ පලංචියක නඟින විට එය නිවැරදිව සකස් කර තිබෙනවාද කියාත් හොඳ තත්වයෙන් තිබෙනවාද කියාත් සොයා බලන්න. ඔබ පලංචියක් හෝ වහලක් මත වැඩ කරනවා නම් බිමට නොවැටෙන පරිදි සිටීම සඳහා අවශ්‍ය ආරක්ෂාව තිබෙනවාද කියා හොඳින් සොයා බලන්න. එවැනි තැනක වැඩ කිරීමට පෙර ඒ ගැන ඔබට යම් ප්‍රශ්න තිබෙනවා නම් ඔබේ වැඩ අධීක්ෂකගෙන් ඒ ගැන අසා දැනගන්න. *

යෙහෝවා දෙවිට සේවය කිරීමට කැමති අයගේ ගණන වැඩි වන විට ලොව පුරා රාජ්‍ය ශාලා හා වෙනත් ගොඩනැඟිලි ඉදි කිරීමේ අවශ්‍යතාවද වැඩි වෙනවා. එවැනි ව්‍යාපෘති අධීක්ෂණය කරන අය ඔවුන් යටතේ සිටින දෙවිගේ වටිනා බැටළුවන්ව ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටිනවා. (යෙසා. 32:1, 2) එවැනි වගකීමක් ඔබට ලැබී තිබෙනවා නම් ඔබ යටතේ සිටින සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම මොන තරම් වැදගත්ද යන්න කිසිවිටක අමතක කරන්න එපා. ඒ නිසා වැඩබිම පිරිසිදුව හා පිළිවෙළකට තිබෙනවාද කියා සොයා බලන්න. ආරක්ෂාකාරීව වැඩ කරන ආකාරය ගැන විටින් විට පැහැදිලිව හා කාරුණිකව මතක් කර දෙන්න. ඒ වගේම වැඩි අවදානමක් ඇති ස්ථානවල වැඩ කිරීමට පුහුණුවක් නැති හෝ තරුණ අයට ඉඩ නොදෙන්න. ඉදිරියේදී ඇති විය හැකියැයි ඔබ සිතන ආපදා ගැන ඔබ සමඟ වැඩ කරන අයව දැනුවත් කරන්න. අපගේ අරමුණ වන්නේ ව්‍යාපෘතිය අනතුරු රහිතව අවසන් කිරීම බව අමතක කරන්න එපා.

ප්‍රේමය අත්‍යවශ්‍යයි

සැබෑ නමස්කාරය සඳහා භාවිත කරන රාජ්‍ය ශාලා හා අනිකුත් ගොඩනැඟිලි ඉදි කරන විට ඊට අනතුරුදායක කාර්යයන්ද ඇතුළත් වෙනවා. ඒ නිසා එවැනි ව්‍යාපෘතිවල සේවය කරන අය සුපරීක්ෂාකාරී විය යුතුයි. බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරමින් ලබා දී ඇති උපදෙස් පිළිපදින විට හා සිහිකල්පනාවෙන් වැඩ කරන විට සිදු විය හැකි අනතුරු අවම කරගත හැකි අතර ඔබගේ හා අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීමටද හැකියි.

අප ආරක්ෂාව ගැන බොහෝ සේ සැලකිලිමත් වීමට හේතුව ප්‍රේමයයි. අප යෙහෝවා දෙවිට ප්‍රේම කරන නිසා ඔහු මෙන් අපත් ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකනවා. ඒ වගේම අප අන් අයටත් ප්‍රේම කරන නිසා නොසැලකිලිමත්ව වැඩ කිරීමෙන් අන් අයට අනතුරක් සිදු කිරීමට අපට වුවමනාවක් නැහැ. (මතෙ. 22:37-39) ඒ නිසා ගොඩනැඟීමේ කටයුතු කරන විට කිසි කෙනෙකුට “අනතුරක්” සිදු නොවන ආකාරයෙන් එය කිරීමට අපි වගබලා ගනිමු.

[පාදසටහන]

^ 14 ඡේ. 30වන පිටුවේ ඇති “ආරක්ෂාකාරීව ඉණිමඟක වැඩ කරන ආකාරය” යන කොටුව බලන්න.

[30වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ආරක්ෂාකාරීව ඉණිමඟක් භාවිත කරන ආකාරය

මෑත වසරකදී එක්සත් ජනපදයේ පුද්ගලයන් 1,60,000කට වඩා වැඩි පිරිසක් ඉණිමංවලින් වැටීම නිසා අනතුරු සිදු කරගෙන තිබෙනවා. ඊට අමතරව 150ක් පමණ මිය ගොස් තිබෙනවා. එමනිසා ආරක්ෂාකාරීව ඉණිමඟක් භාවිත කළ හැකි ආකාරය ගැන මඟ පෙන්වීම් කිහිපයක් පහත සඳහන් වෙනවා.

◇ අබලන් වූ හෝ දිරාපත් වී ඇති ඉණිමඟක නඟින්න එපා. ඒ වගේම එය අලුත්වැඩියා නොකර විනාශ කර දමන්න.

◇ සෑම ඉණිමඟකටම දරාගත හැකි බරක් තිබෙනවා. ඔබගේ හා ඔබ ළඟ ඇති ආයුධවල බර ඒ සීමාව ඉක්මවා නොයන බවට සහතික වන්න.

◇ ඉණිමඟ ගන මතුපිටක තබන්න. කිසිවිටක එය පෙට්ටි වැනි දෙයක් මත නැත්නම් සමතලා නැති තැනක නොතබන්න.

◇ ඉණිමඟ දිගේ ඉහළට සහ පහළට යන එන විට ඉණිමඟට මුහුණලා සිටින්න.

◇ ඉණිමඟේ ඉහළම ඇති පඩි දෙක උඩ ඉඳගන්නවත් හිටගන්නවත් එපා.

◇ ඉණිමඟක් භාවිත කරන විට එය හේත්තු කරන ස්ථානයේ උසට වඩා අඩුම තරමින් අඩි තුනක්වත් ඉහළට සිටින සේ තබන්න. ඉණිමඟේ පහළ කෙළවර ලිස්සා නොයන ලෙස එය යමක ගැට ගසන්න හෝ බිමට ලෑලි කෑල්ලක් තබා ඇණ ගසන්න. ඔබට එලෙස කිරීමට නොහැකි නම් ඔබේ කාර්යය අවසන් වන තුරු වෙනත් කෙනෙකුට එය අල්ලාගන්න කියා පවසන්න. ඒ වගේම ඉණිමඟේ ඉහළ කෙළවර යමක ගැට ගසන්න. එවිට එය ලිස්සා යෑමෙන් වැළකෙනවා.

◇ ඉණිමං දෙකක පඩි මත හරහට ලැලී තබා එය පලංචියක් ලෙස භාවිත නොකරන්න.

◇ ඔබ සිටින තැන සිට අවශ්‍ය ක්‍රියාව කිරීමට අත දිග මදි නම් දැඩි ආයාසයක් දරා ඔබේ අත් ඒ දෙසට යොමු කිරීමෙන් වළකින්න. එසේ කළොත් ඉණිමඟේ සමබරතාව නැති වී යා හැකියි. ඒ නිසා ඔබේ කාර්යය පහසුවෙන් කළ හැකි ස්ථානයට ඉණිමඟ රැගෙන යන්න.

◇ ඔබ ඉණිමඟ තබන්නේ වසා ඇති දොරක් අසල නම් ඒ ගැන දැනුම් දෙන පුවරුවක් දොරේ එල්ලන්න. ඒ වගේම දොරේ අගුලු දාමා තිබේදැයි බලන්න. දොර වසා තැබීමට නොහැකි නම් එහා මෙහා යන අයට අනතුරු ඇඟවීම සඳහා කෙනෙකුව යොදාගන්න.

◇ එකම වෙලාවේදී දෙදෙනෙකුට භාවිත කළ හැකි ඉණිමඟක මිස තනි භාවිතයට ඇති ඉණිමඟක දෙදෙනෙක් වැඩ නොකරන්න. *

[පාදසටහන]

^ 33 ඡේ. ඉණිමඟක් භාවිත කරන විට සැලකිලිමත් විය යුතු දේවල් ගැන අමතර තොරතුරු 1999 අගෝස්තු 8 පිබිදෙව්! කලාපයේ පිටු 18-20හි සඳහන් කර ඇත.

[29වන පිටුවේ පින්තූරය]

නිවසක් සාදන විට එහි පැතලි වහල වටේ කුඩා තාප්පයක් ඉදි කරන්න කියා මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වුණා