Skip to content

පටුනට යන්න

දරුවෙනි කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්න

දරුවෙනි කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්න

දරුවෙනි කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්න

“යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න.”—දේශ. 12:1.

1. ඊශ්‍රායෙලයේ සිටි කුඩා දරුවන්ට කළ ආරාධනය කුමක්ද?

මීට වසර 3,500කට පෙර යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙලයේ සිටි වැඩිමහල්ලන්ට හා පූජකයන්ට මෙසේ පැවසුවා. නමස්කාරය සඳහා ‘දේශයේ වාසය කරන සියලුම පුරුෂයන්, ස්ත්‍රීන් හා කුඩා දරුවන් රැස් විය යුතුයි. එවිට නීතියට සවන් දෙන්නත් එය හොඳින් ඉගෙනගන්නත් ඔවුන් සියලුදෙනාටම හැකි වෙයි. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්නත් මේ නීතියේ සඳහන් සියලු දේ හොඳින් පිළිපදින්නත් ඔවුන් පුරුදු වෙයි.’ (ද්වි. 31:12) එහිදී රැස්වන්න කියා උපදෙස් දෙනු ලැබුවේ පුරුෂයන් හා ස්ත්‍රීන්ට පමණක් නොවෙයි. කුඩා දරුවන්ටත් යෙහෝවා දෙවි ලබා දෙන මඟ පෙන්වීම්වලට සවන් දී ඉගෙනගැනීමට ආරාධනා කළා.

2. පළමු ශතවර්ෂයේ සිටි දරුවන් ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වුණ බව අප දන්නේ කොහොමද?

2 පළමු ශතවර්ෂයේදීත් තම සෙනඟ අතර සිටි දරුවන් ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වුණා. උදාහරණයකට සභාවලට ලියූ ලිපිවල දරුවන්ට අදාළ වන මඟ පෙන්වීම් ඇතුළත් කිරීමට දෙවි පාවුල්ට මඟ පෙන්වූවා. (එෆී. 6:1; කොලො. 3:20 කියවන්න.) ඒවා අදාළ කරගත් දරුවන්ට ඔවුන්ගේ ප්‍රේමණීය ස්වර්ගික පියා කෙරෙහි ඇති ආදරය වැඩි කරගැනීමටත් ඔහුගෙන් ආශීර්වාද ලබාගැනීමටත් හැකි වුණා.

3. අද දින සිටින දරුවන් දෙවිට සේවය කිරීමට තමන්ට ආශාවක් ඇති බව පෙන්වන්නේ කොහොමද?

3 තමාට නමස්කාර කිරීම සඳහා අද දින සිටින දරුවන්ටත් දෙවි ආරාධනා කරනවාද? ඔව්! එම ආරාධනාව පිළිගත් දෙවිගේ සෙනඟ අතර සිටින දරුවන් විශාල පිරිසක් පාවුල්ගේ මෙම දිරිගන්වනසුලු වචන පිළිපැදීම ඇත්තෙන්ම ප්‍රීතියට කාරණයක්. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙ. 10:24, 25) ඒ වගේම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දරුවන් දෙමාපියන් සමඟ උද්‍යෝගයෙන් හවුල් වෙනවා. (මතෙ. 24:14) ඒ විතරක් නොවෙයි යෙහෝවා දෙවිට ප්‍රේම කරන දරුවන් දහස් ගණනක් සෑම වසරකම ඔහුට කැප වී බව්තීස්ම වී ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස ලැබෙන ආශීර්වාදද භුක්ති විඳිමින් සිටිනවා.—මතෙ. 16:24; මාක් 10:29, 30.

ආරාධනාව පිළිගන්න

4. සැදුම්කරුව සිහි කිරීමට වයස් සීමාවක් තිබෙනවාද?

4 දේශනාකාරයා 12:1හි මෙවැනි දෙයක් පවසනවා. “යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න.” එසේ කිරීමට සුදුසු වයස් සීමාවක් තිබෙනවාද? නැහැ. ඒ සඳහා බයිබලයේ නිශ්චිත වයස් සීමාවක් සඳහන් කර නැහැ. ඒ නිසා යෙහෝවා දෙවිට ඇහුම්කන් දීමටත් ඔහුට සේවය කිරීමටත් ඔබ පොඩි වැඩියි කියා සිතන්න එපා. ඔබ කුමන වයසක පසු වුණත් දෙවි කරන ආරාධනය පිළිගන්නා ලෙස ඔබව උනන්දු කරන්න කැමතියි.

5. දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

5 දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන එය ශක්තිමත් කරගන්න බොහෝ දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන් උපකාර කර තිබෙනවා. තිමෝතිටද එවැනි උපකාරයක් ලැබුණා. ඔහුගේ මව වන යූනිස් හා ආච්චි ලොයිස් තිමෝතිගේ ළදරු කාලයේ පටන් ඔහුට ශුද්ධ ලියවිලි ඉගැන්නුවා. (2 තිමෝ. 3:14, 15) ඒ හා සමානව ඔබ සමඟ බයිබලය අධ්‍යයනය කිරීමෙන්, යාච්ඤා කිරීමෙන්, දේවසේවයේ හවුල් වීමෙන් සහ ඔබව රැස්වීම්වලට හා එක්රැස්වීම්වලට රැගෙන යෑමෙන් ඔබේ දෙමාපියන්ද ඔබව පුහුණු කරනවා ඇති. එය දෙමාපියන්ට යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඉතා බැරෑරුම් වගකීමක්. එසේ ඔවුන් ඔබ කෙරෙහි දක්වන සැලකිල්ල හා ප්‍රේමය ඔබ අගය කරනවාද?—හිතෝ. 23:22.

6. (අ) ගීතාවලිය 110:3ට අනුව යෙහෝවා දෙවිව සතුටු කිරීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද? (ආ) අප ඊළඟට සලකා බලන්නේ කුමක්ද?

6 ඔබ ටිකෙන් ටික ලොකු මහත් වෙද්දී තිමෝති කළා හා සමානව “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා” ඔබම හොඳින් වටහාගන්නවාට දෙවි කැමතියි. (රෝම 12:2) එසේ කිරීමෙන් ඔබ පෙන්වන්නේ ඔබ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ දෙවිගේ කැමැත්ත කිරීමට ඇති ආශාව නිසා මිස ඔබේ දෙමාපියන් කියන නිසා නොවන බවයි. ඒ ආකාරයට ඔබේම කැමැත්තෙන් දෙවිට සේවය කරන විට ඔහු ඒ ගැන සතුටු වෙනවා. (ගීතා. 110:3) නමුත් යෙහෝවා දෙවිට ඇහුම්කන් දී ඔහුගේ මඟ පෙන්වීම් පිළිගැනීමට කැමති බව ඔබට පෙන්වන්න පුළුවන් කොහොමද? එය කළ හැකි ආකාර තුනක් අපි සලකා බලමු. ඒවා නම් අධ්‍යයනය, යාච්ඤාව හා හැසිරීමයි.

දෙවි ඔබට සැබෑ පුද්ගලයෙක්ද?

7. ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් වන්නේ කොහොමද? ඔහුට ඒ සඳහා උපකාර කළේ කවුද?

7 දිනපතා බයිබලය කියවීමෙන්, යෙහෝවා දෙවිට ඇහුම්කන් දී ඔහුගේ මඟ පෙන්වීම් පිළිගැනීමට කැමති බව ඔබට පෙන්විය හැකියි. (මතෙ. 5:3) ඒ සම්බන්ධයෙන් යේසුස් ඔබට හොඳ ආදර්ශයක්. වයස අවුරුදු 12 වන විට එක් අවස්ථාවකදී යේසුස් ‘දේවමාලිගාවේ ගුරුවරුන්ට සවන් දෙමින් ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් සිටියා.’ (ලූක් 2:44-46) ඉන් පැහැදිලි වන්නේ ශුද්ධ ලියවිලි තේරුම්ගැනීමට යේසුස්ට කුඩා කල සිටම ආශාවක් තිබුණු බවයි. ඒ සඳහා ඔහුට ඔහුගේ මව වන මරියා සහ ඔහුව රැකබලා ගත් පියා වන යෝසෙප් බොහෝ සෙයින් උපකාර කළා. දෙවිගේ සේවකයන් ලෙස ඔවුන් දෙදෙනා යේසුස්ට ළදරු කාලයේ සිට දෙවි ගැන උගන්වා තිබුණා.—මතෙ. 1:18-20; ලූක් 2:41, 51.

8. (අ) තම දරුවා තුළ දේවවචනය කෙරෙහි ඇල්මක් ඇති කළ යුත්තේ කවදා සිටද? (ආ) එහි ඇති වැදගත්කම දැක්වෙන අද්දැකීමක් විස්තර කරන්න.

8 බයිබලයේ ඇති දේවල් ගැන අවබෝධයක් ලබාගැනීමට කුඩා කල සිටම තම දරුවන් තුළ ආශාවක් ඇති කිරීම මොන තරම් වැදගත්ද කියා දෙමාපියන් දන්නවා. (ද්වි. 6:6-9) තම පළමුවන පුතා වූ ජෝසෆ් ඉපදුණු දා පටන් ඔහුගේ මව වන රූබි එවැනි දෙයක් කළා. ඇය සෑම දිනකම මගේ බයිබල් කතන්දර පොතෙන් කොටසක් ඔහුට ඇසෙන්න කියෙව්වා. ඔහු ටිකෙන් ටික ලොකු වෙද්දී බයිබල් පද කටපාඩම් කරගන්න රූබි ඔහුට උපකාර කළා. එම පුහුණුවෙන් ජෝසෙෆ් බොහෝ ප්‍රයෝජන ලැබුවා. ඔහුට කතා කිරීමට හැකි වයසට පැමිණෙන විට බයිබල් කතන්දර බොහොමයක් ඔහුගේම වචනයෙන් විස්තර කිරීමට ඔහුට හැකි වුණා. ඒ වගේම ඔහුට වයස අවුරුදු පහක් වන විට දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වුණා.

9. බයිබලය කියවීම හා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම වැදගත් ඇයි?

9 කුඩා කල සිටම පුරුද්දක් ලෙස දිනපතාම බයිබලය කියවීම වැදගත්. (ගීතා. 71:17) දෙවි සමඟ ඇති ඔබේ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට එය ඔබට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? යේසුස් පැවසූ මේ දෙයින් ඊට පිළිතුරු සොයාගත හැකියි. ‘සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබව දැන හඳුනා ගැනීමයි.’ (යොහ. 17:3) ඔබ යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගන්නා විට ඔහු කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය වැඩි වන අතර ඔහු ඔබට සැබෑ පුද්ගලයෙක්ද වෙනවා. (හෙබ්‍රෙ. 11:27) ඒ නිසා ඔබ බයිබලය කියවන සෑම අවස්ථාවකදීම ඔබ කියෙවූ කොටස තුළින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද කියා කර බලන්න. ඒ සඳහා ඔබට මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම අසාගත හැකියි. ‘දෙවි සැබෑ පුද්ගලයෙක් බව මම කියෙවූ කොටසෙන් තේරුම්ගන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවිට මා කෙරෙහි ඇති ප්‍රේමය හා සැලකිල්ල ඉන් පැහැදිලි වන්නේ කොහොමද?’ එවැනි ප්‍රශ්න ගැන කල්පනා කර බැලීමට කාලය ගැනීමෙන් යෙහෝවා දෙවිට හැඟෙන හා සිතෙන ආකාරය මෙන්ම ඔහු ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැනත් බොහෝ දේවල් ඔබට ඉගෙනගත හැකියි. (හිතෝපදේශ 2:1-5 කියවන්න.) එවිට තිමෝති මෙන් බයිබලයෙන් ඉගෙනගන්නා දේ “මුළු සිතින් විශ්වාස කිරීමට” ඔබ පෙලඹෙයි. ඒ වගේම යෙහෝවා දෙවිට කැමැත්තෙන්ම නමස්කාර කිරීමට ආශාවක්ද ඔබ තුළ ඇති විය හැකියි.—2 තිමෝ. 3:14.

දෙවි කෙරෙහි ඇති ප්‍රේමය වැඩි කරන යාච්ඤාව

10, 11. යෙහෝවා දෙවිට ඇහුම්කන් දී ඔහුගේ මඟ පෙන්වීම් පිළිගැනීමට ඔබ කැමති බව පෙන්වීමට යාච්ඤාව උපකාරවත් වන්නේ කොහොමද?

10 යෙහෝවා දෙවිට ඇහුම්කන් දී ඔහුගේ මඟ පෙන්වීම් පිළිගැනීමට ඔබ කැමති බව පෙන්විය හැකි දෙවන ආකාරය වන්නේ යාච්ඤා කිරීමයි. ගීතාවලිය 65:2හි මෙවැනි දෙයක් සඳහන් කරනවා. “යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.” යෙහෝවා දෙවි සෑම ජාතියකටම අයත් මිනිසුන්ට සලකන්නේ එක හා සමානවයි. ඒ නිසා ඔහුගේ ආඥා පිළිපදින ඕනෑම කෙනෙක් ඔහුට යාච්ඤා කරන විට දෙවි ඊට සවන් දෙන බව ස්ථිරයි. (හිතෝ. 15:8) උදාහරණයකට, දෙවි තම විශේෂ සෙනඟ ලෙස ඊශ්‍රායෙල්වරුන්ව තෝරාගෙන තිබුණත් දේවමාලිගාවට පැමිණි විදේශිකයන්ටද ඔහුට යාච්ඤා කිරීමට අවස්ථාව තිබුණා. (1 රාජා. 8:41, 42) දරුවෙනි ඔබත් යම් ජාතියකට අයත් නිසා “සෑම ජාතියකටම අයත් මිනිස්සු” කියද්දී ඔබත් ඊට ඇතුළත්.

11 ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් හොඳ අදහස් හුවමාරුවක් අවශ්‍යයි. එහිදී ඔබගේ කිට්ටු මිතුරාට ඔබ සැලකිලිමත් වන දේවල් හා ඔබගේ හැඟීම් ගැන ඔබ පවසනවා. ඒ හා සමානව ඔබ මුළු හදවතින්ම යාච්ඤා කරන විට ඔබගේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු සමඟ ඔබ අදහස් හුවමාරු කරගන්නවා. (ෆිලි. 4:6, 7) ඒ නිසා ඔබේ ප්‍රේමණීය මව හෝ පියාට නැත්නම් කිට්ටු මිත්‍රයෙකුට කතා කරන ආකාරයටම ඔබේ සිතේ ඇති දේ අවංකව යෙහෝවා දෙවිට පවසන්න. ඔබට දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් තිබෙනවාද කියා ඔබේ යාච්ඤාව තුළින් ඔබටම තේරුම්ගත හැකියි. දෙවි සමඟ ඇති මිත්‍රත්වය ශක්තිමත් වන විට ඔබගේ යාච්ඤාවද බොහෝ සෙයින් අර්ථවත් වෙයි.

12. (අ) ඔබගේ යාච්ඤා අර්ථවත් කරගන්න පුළුවන් කොහොමද? (ආ) යෙහෝවා දෙවි ඔබට ළංව සිටින බව තේරුම්ගැනීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

12 ඔබගේ යාච්ඤාව හිස් වූ වචන රාශියක් නොවිය යුතුයි. ඒ වෙනුවට ඒවා අර්ථවත් කරගැනීමට නම් දෙවිට ඇති ප්‍රේමය, ගැඹුරු ගෞරවය හා ඔහුගේ මඟ පෙන්වීම් ලැබීමට තිබෙන ආශාව ඉන් පිළිබිඹු විය යුතුයි. දෙවි ඔබේ යාච්ඤාවලට පිළිතුරු දෙන විට ‘ඔහු තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටින බව’ ඔබට හොඳින්ම වැටහේවි. (ගීතා. 145:18) ඔබ දෙවිට අවංකව යාච්ඤා කරන විට ඔහු ඔබට ළං වන අතර සාතන්ට විරුද්ධව සිටීමටත් නිවැරදි තීරණ ගැනීමටත් අවශ්‍ය උපකාරද ඔහු ඔබට ලබා දෙනවා.යාකොබ් 4:7, 8 කියවන්න.

13. (අ) දෙවි සමඟ තිබූ මිත්‍රත්වය එක් සහෝදරියකට ප්‍රයෝජනවත් වුණේ කොහොමද? (ආ) මිතුරන්ගෙන් ඇති වන බලපෑම්වලට හසු නොවී සිටීමට දෙවි සමඟ ඇති මිත්‍රත්වය ඔබට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතිව සිටීමෙන් ෂෙරී ප්‍රයෝජන ලැබුවා. ඇය පාසැලේදී ඉගෙනගැනීමටත් ක්‍රීඩාවටත් ඉතා දක්ෂ කෙනෙක් වූ නිසා සම්මාන පවා හිමි කරගෙන තිබුණා. තම මූලික අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු උසස් අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යත්වයක් පවා ඇයට ලැබුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මට ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණා. පාසැලේ පුහුණුකරුවන් සහ මගේ මිතුරන් මට ඒ ශිෂ්‍යත්වය භාරගන්න කියලා හැම වෙලාවෙම උනන්දු කළා.” නමුත් එය භාරගැනීමෙන් අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් බොහෝ කාලයක් වැය කිරීමට සිදු වන නිසා දෙවිට කරන නමස්කාර කටයුතුවලට කාලය ඉතුරු නොවන බව ඇය තේරුම්ගත්තා. ඒ නිසා ඇය කළේ කුමක්ද? “මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඊටපස්සේ ඒ ශිෂ්‍යත්වය භාර නොගෙන ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය කරන්න මම තීරණය කළා” කියා ඇය පවසනවා. මේ වන විට ඇය අවුරුදු පහක් පුරා පුරෝගාමියෙක් ලෙස සේවය කරමින් සිටිනවා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම ගත්ත තීරණය ගැන මම පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. දෙවිව සතුටු කරන ආකාරයේ තීරණයක් ගැනීම ගැන මම සතුටු වෙනවා. අපි දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවා නම් අපට අවශ්‍ය සියලු දේ ලැබෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ.”—මතෙ. 6:33.

යහපත් හැසිරීමෙන් හෙළි වන දේ

14. යහපත් හැසිරීමක් පවත්වාගැනීම වැදගත් වන්නේ ඇයි?

14 යෙහෝවා දෙවිට ඇහුම්කන් දී ඔහුගේ මඟ පෙන්වීම් පිළිගැනීමට ඔබ කැමති බව පෙන්විය හැකි තුන්වන ආකාරය වන්නේ යහපත් හැසිරීමක් පවත්වාගැනීමයි. එවැනි හැසිරීමක් පවත්වාගන්නා දරුවන්ට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා. (ගීතාවලිය 24:3-5 කියවන්න.) ඒ සම්බන්ධයෙන් සාමුවෙල් කදිම ආදර්ශයක්. ඔහු උත්තම පූජක ඒලීගේ පුත්‍රයන්ගේ නරක හැසිරීම අනුකරණය නොකර යහපත් හැසිරීමක් පවත්වාගත්තා. “සාමුවෙල් යෙහෝවා දෙවි හා මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසාදය ලබමින් වැඩුණේය” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—1 සාමු. 2:26.

15. ඔබේ හැසිරීම යහපත්ව පවත්වාගත යුතු හේතු සමහරක් මොනවාද?

15 පාවුල් පැවසූ ලෙස අප ජීවත් වන්නේ මිනිසුන් තමන් ගැනම සිතන, උඩඟු, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන, දරුණු, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන ලෝකයකයි. (2 තිමෝ. 3:1-5) ඒ නිසා යහපත් හැසිරීමක් පවත්වාගැනීම ඔබට අභියෝගයක් විය හැකියි. කෙසේවෙතත් ඔබ නරක දේ ප්‍රතික්ෂේප කර හරි දේ කරන සෑම අවස්ථාවකදීම ඔබ පෙන්වන්නේ සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ඔබ පිළිගන්නා බවයි. (යෝබ් 2:3, 4) ඒ වගේම යෙහෝවා දෙවිගේ මෙම ප්‍රේමණීය ඇරයුමටද ඔබ ප්‍රතිචාරය දක්වනවා. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.” (හිතෝ. 27:11) යහපත් හැසිරීමක් පවත්වාගැනීමෙන් ඔබට යෙහෝවා දෙවිගේ අනුමැතිය තිබෙන බව දැනෙන නිසා ඔහුට සේවය කිරීමට තිබෙන ආශාවද තවත් වැඩි වෙයි.

16. එක් සහෝදරියක් යෙහෝවා දෙවිගේ සිත සතුටු කළේ කොහොමද?

16 කැරල් නමැති යෞවන සහෝදරිය පාසැල් යන කාලයේදී බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කළ අතර එය අන් අයගේ අවධානයටද ලක් වුණා. ඇය ආගමික උත්සව හා දේශානුරාගී උත්සවවලට හවුල් නොවූ නිසා ඇයට පාසැලේ මිතුරන්ගේ අපහාසවලට මුහුණ දීමට සිදු වුණා. එවැනි අවස්ථාවලදී ඇගේ විශ්වාසයන් ගැන ඇය තම මිතුරන්ට පැවසුවා. වසර ගණනාවකට පසු කැරල්ට ඇගේ පන්තියේ මිතුරියකගෙන් කාඩ්පතක් ලැබුණා. එහි මෙසේ සඳහන් වුණා. “මම ඔයාට ස්තුති කරන්න ගොඩක් කල් ඉඳලා බලාගෙන හිටියා. ආගමික උත්සව ගැන ඔයාට තිබුණු ස්ථාවරයට, ඔයාගේ හැසිරීමට මගේ හිත ඇදිලා ගියා. මට මුලින්ම හමු වුණු සාක්ෂිකාරිය වුණේ ඔයයි.” පාසැලේදී කැරල් හැසිරුණු ආකාරය නිසා ඇගේ මිතුරියට බයිබලය ගැන ඉගෙනගැනීමට ආශාවක් ඇති වුණා. ඇගේ මිතුරිය ඒ වන විටත් බව්තීස්ම වී වසර 40කට වඩා ගත වී තිබුණා. දරුවෙනි, ඔබත් කැරල් මෙන් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන විට තවත් අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමට පෙලඹීමක් ඇති විය හැකියි.

දෙවිට ප්‍රශංසා කරන දරුවන්

17, 18. (අ) සභාවේ සිටින දරුවන් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? (ආ) දෙවිට ගරුබිය ඇති දරුවන්ට ලැබෙන ආශීර්වාද මොනවාද?

17 දරුවන් දහස් ගණනක් උද්‍යෝගයෙන් යෙහෝවා දෙවිට නමස්කාර කරනවා දැකීම ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු දෙවිගේ සියලුම සේවකයන්ට සතුටට කාරණයක්. (හිතෝ. 23:24, 25) දිනපතා බයිබලය කියවීමෙන්, යාච්ඤාවෙන් හා යහපත් හැසිරීමක් පවත්වාගැනීමෙන් යෙහෝවා දෙවිට ඇහුම්කන් දී ඔහුගේ මඟ පෙන්වීම් පිළිගැනීමට කැමති බව ඔවුන් පෙන්වනවා.

18 පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමට යන මහත් සමූහය අතර දෙවිට විශ්වාසවන්ත දරුවන්ද සිටිනවා. (එළි. 7:9, 14) යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන්ට ඇති ප්‍රේමය පාරාදීස පොළොවේදී තවත් වැඩි වන අතර ඔහුගෙන් අසීමිත ආශීර්වාදද අද්දකිනවා. එමෙන්ම ඔවුන්ට සදාකාලයටම දෙවිට ප්‍රශංසා කිරීමටද අවස්ථාව ලැබෙනවා.—ගීතා. 148:12, 13.

ඔබට පැහැදිලි කළ හැකිද?

• දරුවන්ට අද දින සැබෑ නමස්කාරයේ හවුල් වෙන්න පුළුවන් කොහොමද?

• බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම සඳහා කියෙවූ දේ ගැන ගැඹුරින් කල්පනා කිරීම ඔබට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

• යෙහෝවා දෙවිට ළං වීමට යාච්ඤාව උපකාරවත් වන්නේ කොහොමද?

• යහපත් හැසිරීමක් පවත්වාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ පින්තූරය]

දිනපතාම බයිබලය කියවීම ඔබ පුරුද්දක් කරගෙන තිබෙනවාද?