Skip to content

පටුනට යන්න

දෙවි තම අරමුණ ඉටු කිරීමට ඔහුගේ බලය යොදාගනියි

දෙවි තම අරමුණ ඉටු කිරීමට ඔහුගේ බලය යොදාගනියි

දෙවි තම අරමුණ ඉටු කිරීමට ඔහුගේ බලය යොදාගනියි

‘මාගේ මුවින් නික්මෙන මාගේ වචනය ඒ අයුරින්ම ඉටු වන්නේය.’—යෙසා. 55:11.

1. තමන්ගේ අරමුණ ඉටු කරගැනීම සම්බන්ධයෙන් මිනිසා හා දෙවි අතර ඇති වෙනස කුමක්ද?

තම අරමුණ ඉටු කරගැනීම සඳහා මිනිසුන් මෙන් සැලසුම් කිරීමට යෙහෝවා දෙවිට අවශ්‍ය නැහැ. එය තේරුම්ගැනීමට අපි මෙම උදාහරණය සලකා බලමු. ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ වී නිවසක් සාදාගෙන සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට ආශාවෙන් සිටිනවා කියා සිතන්න. ඒ සඳහා ඔවුන් බොහෝ දේ සැලසුම් කරනවා. නමුත් ස්වාභාවික විපතක්, රැකියා අහිමි වීමක්, අසනීපයක් හෝ මරණයක් වැනි අනපේක්ෂිත දෙයක් නිසා ඔවුන්ගේ සැලසුම් අසාර්ථක විය හැකියි. නමුත් යෙහෝවා දෙවිට තිබෙන අතිමහත් බලය නිසා ඔහුගේ අරමුණට බාධා කිරීමට කිසිම දෙයකට බැහැ. ඒ නිසා ඔහු අරමුණු කළ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.

2, 3. (අ) දෙවිගේ අරමුණට ඇතුළත් වන්නේ කුමක්ද? ආදම් සහ ඒව තමන්ට අකීකරු වූ අවස්ථාවේදී දෙවි කළේ කුමක්ද? (ආ) දෙවිගේ අරමුණ ඉටු වන ආකාරය ගැන අප අවධානයෙන් සිටිමින් ඊට එකඟව ක්‍රියා කළ යුත්තේ ඇයි?

2 මුළු පොළොවම පාරාදීසයක් කර පරිපූර්ණ මිනිසුන්ට එහි සාමයෙන් හා සන්තෝෂයෙන් සදාකල් ජීවත් වීමට අවස්ථාව දීම යෙහෝවා දෙවිගේ අරමුණයි. (උත්. 1:28) ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ අවස්ථාවේදී එම අරමුණට බාධා ඇති වුණත් ස්ත්‍රියගෙන් “පැවත එන තැනැත්තා” මාර්ගයෙන් එය ඉටු කරගැනීමට ඔහු අවශ්‍ය පියවර ගත්තා. (උත්පත්ති 3:15 කියවන්න.) එම “තැනැත්තා” සාතන්වත් ඔහු විසින් කර ඇති හානියත් නැති කර දමනවා. (හෙබ්‍රෙ. 2:14; 1 යොහ. 3:8) ඒ ආකාරයට දෙවි තම අරමුණ ක්‍රමානුකූලව ඉටු කරගන්නවා.—එෆී. 3:11.

3 එම අරමුණ ඉටු වීම නතර කිරීමට තරම් ප්‍රබල කෙනෙක් ස්වර්ගයේ හෝ පොළොවේ තවත් නැහැ. (යෙසා. 46:9-11) ඊට හේතුව විශ්වයේ ඇති අතිමහත් බලය හිමි තැනැත්තා යෙහෝවා දෙවි වීමයි. ඒ නිසා දෙවිගේ අරමුණ “එලෙසින්ම සිදු” වන බව පැවසිය හැකියි. (යෙසා. 55:10, 11) එය ඉටු වන ආකාරය ගැන අප අවධානයෙන් සිටිය යුතු අතර ඊට එකඟව ක්‍රියා කරන්නද අවශ්‍යයි. මන්ද අපගේ අනාගතය රඳා පවතින්නේ එහි ඉටු වීම මතයි. ඒ වගේම දෙවි තම අරමුණ ඉටු කරගැනීමට ඔහුගේ බලය යොදාගන්නා ආකාරය අවබෝධ කරගැනීමෙන් ඔහු කෙරෙහි ඇති අපගේ විශ්වාසය තවත් වැඩි වෙනවා. ඒ නිසා තම අරමුණ ඉටු කරගැනීම සඳහා අතීතයේදී දෙවි තම බලය යොදාගත් ආකාරය මෙන්ම වර්තමානයේදී හා අනාගතයේදී ඔහුගේ බලය යොදාගන්නා ආකාරය අපි සලකා බලමු.

අතීතයේදී දෙවි තම බලය යොදාගත් අයුරු

4. යෙහෝවා දෙවි තම අරමුණ ක්‍රමානුකූලව හෙළි කළේ කොහොමද?

4 ස්ත්‍රියගෙන් පැවත එන නැනැත්තා කවුද යන කාරණය මුල් කාලයේදී ‘පරිශුද්ධ රහසක්ව’ පැවතුණා. (1 කොරි. 2:7) ඒදන් උයනේදී දෙවි ඒ ගැන සඳහන් කර අවුරුදු 2,000කට පමණ පසුව ඒ සම්බන්ධයෙන් ආබ්‍රහම්ට කරුණු හෙළි කළා. (උත්පත්ති 12:7; 22:15-18 කියවන්න.) “ඔබෙන් පැවත එන තැනැත්තා” සම්බන්ධයෙන් දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුවට පුළුල් ඉටු වීමක් තිබුණා. ඒ තැනැත්තා පැමිණෙන පෙළපත විනාශ කර දෙවිගේ අරමුණ ඉටු වීමට බාධා කිරීම සඳහා සාතන් බලා සිටි බවට කිසිම සැකයක් නැහැ. නමුත් දෙවිගේ බලය නිසා සාතන්ට ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට නොහැකි වුණා.

5, 6. පොරොන්දු වූ තැනැත්තා පැමිණෙන පෙළපත දෙවි ආරක්ෂා කළේ කොහොමද?

5 ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තා ඉපදෙන තෙක් ඒ පරම්පරාව ආරක්ෂා කිරීම සඳහා දෙවි තම බලය යොදාගත්තා. ඒ බව සහතික කරමින් දෙවි ආබ්‍රහම්ට මෙසේ පැවසුවා. “මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.” (උත්. 15:1) ඒ වචනවලට අනුව දෙවි ක්‍රියා කළ බව මේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. එනම් ක්‍රිස්තු පූර්ව 1919දී ආබ්‍රහම් සහ සාරා ගේරාර්හි සිටි අවස්ථාවේදී සාරා ආබ්‍රහම්ගේ භාර්යාව බව නොදැන එහි රජ වූ අබිමෙලෙක්, ඇයව තම බිරිඳ කරගැනීමට සූදානම් වුණා. සාරා මාර්ගයෙන් ආබ්‍රහම්ට පරම්පරාවක් බිහි වීම වැළැක්වීම සඳහා එවැනි දෙයක් කළේ සාතන් විය නොහැකිද? ඒ ගැන බයිබලයේ සඳහන් කර නැහැ. නමුත් සාරාට අත නොතබන්න කියා සිහිනයකින් අබිමෙලෙක්ට පැවසීමෙන් ඒ සිදුවීමට යෙහෝවා දෙවි මැදිහත් වූ බව නම් බයිබලයේ සඳහන් වෙනවා.—උත්. 20:1-18.

6 එලෙස බොහෝ අවස්ථාවලදී දෙවි ආබ්‍රහම් හා ඔහුගේ පවුලේ අයව ආරක්ෂා කළා. (උත්. 12:14-20; 14:13-20; 26:26-29) ඒ ගැන ගීතිකාකරුද මෙසේ පැවසුවා. “ඔවුන්ට අයිති දේ පැහැරගැනීමට ඔහු කිසිවෙකුට ඉඩ නොදුන්නේය. ඔහු ඔවුන් නිසා රජවරුන්ට තරවටු කරමින් මෙසේ කීවේය. ‘මා අභිෂේක කළ අයට අත නොගසන්න. මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.’”—ගීතා. 105:14, 15.

7. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය ආරක්ෂා කළේ කොහොමද?

7 පොරොන්දු වූ තැනැත්තා පැමිණීමට නියමිතව තිබූ ඊශ්‍රායෙල් ජාතිය ආරක්ෂා කිරීමට යෙහෝවා දෙවි තම බලය යොදාගත්තා. ඊශ්‍රායෙල්වරුන්ට දෙවි තම නීති ලබා දුන්නේත් එම බලය යොදාගෙනයි. ඒ නීති පිළිපැදීමෙන් ඔවුන්ගේ නමස්කාරය පවිත්‍රව තබාගැනීමටත් වැරදි කිරීමෙන් වැළකී සිටීමටත් ශාරීරිකව පිරිසිදුව සිටීමටත් හැකි වුණා. (නික්. 31:18; 2 කොරි. 3:3) පසු කාලයේදී යෙහෝවා දෙවි විනිශ්චයකරුන්ට ඔහුගේ බලය ලබා දී ඔවුන් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ව සතුරන්ගෙන් ගලවාගත්තා. (විනි. 3:9, 10) එමෙන්ම යේසුස්ගේ උපත දක්වා ඔහු ගැන පැවසූ අනාවැකිවල ඉටු වීමට සම්බන්ධ ස්ථාන වන යෙරුසලම, බෙත්ලෙහෙම සහ දේවමාලිගාව ආරක්ෂා කිරීමටද දෙවි ඔහුගේ බලය යොදාගන්න ඇති.

8. යේසුස්ගේ ජීවිතයට හා දේවසේවයට දෙවිගේ උපකාරය ලැබුණු බව පැහැදිලි වන්නේ කොහොමද?

8 යේසුස්ගේ ජීවිතයට හා ඔහු කළ සේවයට දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් උපකාර කළා. මරණය උරුම කරගෙන සිටි ස්ත්‍රියක් වන මරියා මාර්ගයෙන් පරිපූර්ණ පුද්ගලයෙකු බිහි කිරීමට අවස්ථාව ලබා දීමෙන් දෙවි තම බලය යොදාගෙන කිසි දිනක සිදු නොවූ දෙයක් කළා. (ලූක් 1:26-31, 34, 35) කුඩා කාලයේදී යේසුස්ව මරණයෙන් ගලවාගැනීමටත් දෙවි තම බලය යොදාගත්තා. (මතෙ. 2:7, 8, 12, 13) යේසුස්ට වයස අවුරුදු 30ක් පමණ වන විට දෙවි ඔහුව තම බලයෙන් අභිෂේක කර ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පැවරුමක් දුන් අතර ඔහුව දාවිත්ගේ සිංහාසනයේ උරුමක්කරු ලෙසද පත් කළා. (ලූක් 1:32, 33; 4:16-21) රෝග සුව කිරීමට, කුසගින්නෙන් සිටි අයට කෑම දීමට හා මළවුන්ව නැඟිටුවීමට යේසුස්ට හැකි වුණේ දෙවිගේ බලය නිසයි. යේසුස් කළ ඒ ආශ්චර්යවත් දේවල් නිසා ඔහු අනාගතයේදී මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරයිද කියා අපට සිතා හැකියි.

9, 10. (අ) පළමු ශතවර්ෂයේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවිගේ බලයේ උපකාරය තිබුණු බවට ඇති සාක්ෂි මොනවාද? (ආ) දෙවි තම අරමුණ ඉටු කරගැනීම සඳහා පළමු ශතවර්ෂයේදී කළ වෙනස කුමක්ද?

9 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ සිට යේසුස් සමඟ රජකම් කිරීමට යන අයව අභිෂේක කිරීම සඳහා දෙවි තම බලය යොදාගත්තා. නමුත් ඊට ඇතුළත් බොහෝදෙනා ආබ්‍රහම්ගේ පරම්පරාවට අයිති වූ අය නොවෙයි. (රෝම 8:15-17; ගලා. 3:29) එලෙස අභිෂේක කළ පළමු ශතවර්ෂයේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ට උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් ආශ්චර්යවත් ක්‍රියා කිරීමටත් දෙවි බලය දුන්නා. (ක්‍රියා 1:8; 2:1-4; 1 කොරි. 12:7-11) ඉන් පැහැදිලි වුණේ දෙවිගේ සෙනඟ දේවමාලිගාවේදී සියවස් ගණනාවක් පුරා දෙවිට කළ නමස්කාර ක්‍රමය ඒ අවස්ථාවේ සිට දෙවි ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඉන්පසු ඔහු පිළිගත්තේ අලුතින් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවයි. එදා සිට දෙවි තම අරමුණ ඉටු කරගැනීමට යොදාගන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත එම සභාවයි.

10 පුරාණ කාලයේදී දෙවි තම අරමුණ ඉටු කරගැනීම සඳහා ඔහුගේ බලය යොදාගනිමින් ආරක්ෂාව ලබා දීම, ආශ්චර්යයන් කිරීමට හැකියාව ලබා දීම හා අභිෂේක කිරීම වැනි දේ කළා. අද දිනත් දෙවි ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට ඔහුගේ බලය යොදාගන්නවාද? අප දෙවිගේ බලය තුළින් ලැබෙන මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කිරීමට කැමති නිසා එම ප්‍රශ්නයට පිළිතුරු දැන සිටීම වැදගත්. දෙවි වර්තමානයේදී ඔහුගේ බලය යොදාගන්නා ආකාර හතරක් අපි දැන් සලකා බලමු.

වර්තමානයේදී දෙවි තම බලය යොදාගන්නා අයුරු

11. දෙවිගේ සෙනඟට සෑම අතින්ම පවිත්‍රව සිටීමට ඔහුගේ බලයේ උපකාරය ලැබෙන බව පැවසිය හැක්කේ ඇයි? ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඔබ ඉඩ දෙන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

11 දෙවි තම සෙනඟට සෑම අතින්ම පවිත්‍රව සිටීමට උපකාර කරනවා. එය වර්තමානයේදී ඔහු තම බලය යොදාගන්නා පළමු ආකාරයයි. නමුත් අපද සෑම අතින්ම පවිත්‍රව සිටීමට උත්සාහ කළ යුතුයි. (1 කොරින්ති 6:9-11 කියවන්න.) සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වීමට පෙර සමහරුන් වේශ්‍යාකම, අනාචාරය හා සමලිංගික ක්‍රියාවල හවුල් වී තිබෙනවා. එවැනි පව්කාර ක්‍රියාවල හවුල් වීමට කෙනෙකුට තිබෙන ආශාව බලවත් නිසා ඔවුන්ට ඉන් මිදීමට අපහසු විය හැකියි. (යාකො. 1:14, 15) නමුත් ඔවුන් සියල්ලන්වම “සෝදා පවිත්‍ර කර” තිබෙනවා. එනම් දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔවුන් තම ජීවිතවල අවශ්‍ය වෙනස්කම් කරගෙන තිබෙනවා. එවැනි දෙයක් කිරීමට ඔවුන්ට උපකාර කළේ කුමක්ද? පළමුවන කොරින්ති 6:11හි සඳහන් කරන ආකාරයට ඔවුන්ට උපකාර කළේ ‘දෙවිගේ බලයයි.’ සෑම අතින්ම පවිත්‍රව සිටීමට උත්සාහ කිරීමෙන් අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩ දෙන බව අපට පෙන්විය හැකියි.

12. (අ) එසකියෙල්ගේ දර්ශනයෙන් පැහැදිලි වන ආකාරයට යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානයට මඟ පෙන්වන්නේ කොහොමද? (ආ) දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කරන බව ඔබට පෙන්වන්න පුළුවන් කොහොමද?

12 දෙවන ආකාරය නම්, තමාට අවශ්‍ය පරිදි තම සංවිධානය මෙහෙයවීමයි. දෙවිගේ සංවිධානය, ස්වර්ගික හා භූමික යනුවෙන් කොටස් දෙකකින් සමන්විතයි. එහි ස්වර්ගික කොටස, එසකියෙල් දර්ශනයෙන් දුටු නොනවත්වා ගමන් කරන රථයට සමාන කළ හැකියි. දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා එම රථය යම් නිශ්චිත දිශාවකට ගෙන යන්නේ දෙවිගේ බලයයි. (එස. 1:20, 21) එලෙස ස්වර්ගික කොටසට දෙවිගේ බලයෙන් මඟ පෙන්වීම් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම භූමික කොටසටත් දෙවිගේ බලයෙන් මඟ පෙන්වීම් ලැබෙන බව පැවසිය හැකියි. දෙවිගේ සංවිධානයේ භූමික කොටස මගින් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමෙන්, ඔබ දෙවිගේ ස්වර්ගික සංවිධානයට කීකරු වන බවත් දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ඔබ ක්‍රියා කරන බවත් පෙන්විය හැකියි.—හෙබ්‍රෙ. 13:17.

13, 14. (අ) යේසුස් සඳහන් කළ ‘මේ පරම්පරාවට’ ඇතුළත් වන්නේ කවුද? (ආ) බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගැනීමට දෙවිගේ බලයේ උපකාරය ලැබෙන බවට උදාහරණ දෙන්න. (“බයිබලයේ සඳහන් ඉගැන්වීම් පිළිබඳ නිවැරදි අවබෝධයන්” යන කොටුව බලන්න.)

13 තුන්වන ආකාරය නම් බයිබලයේ සඳහන් ඉගැන්වීම් පිළිබඳ අලුත් අවබෝධයන් ලබා දීමට උපකාර කිරීමයි. (හිතෝ. 4:18) එම අලුත් අවබෝධයන් අන් අයට ලබා දීම සඳහා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මූලිකවම යොදාගන්නේ මෙම සඟරාවයි. (මතෙ. 24:45) උදාහරණයකට යේසුස් සඳහන් කළ ‘මේ පරම්පරාවට’ අයත් වන අය ගැන අප ලබා තිබෙන අලුත් අවබෝධය ගැන සිතා බලන්න. (මතෙව් 24:32-34 කියවන්න.) ඒ පිළිබඳ තොරතුරු, “යේසුස් පැමිණ සිටින කාලයේ වටිනාකම ඔබ වටහාගෙන තිබෙනවාද” යන ලිපියේ ඇතුළත් වුණා. එහි සඳහන් වූ ආකාරයට පරම්පරාව යන්නෙන් යේසුස් අදහස් කළේ දෙවිගේ බලයෙන් අභිෂේක කිරීමට නියමිතව සිටි ඔහුගේ අනුගාමිකයන් ගැන මිස දුෂ්ට මිනිසුන් ගැන නොවෙයි. * ඉන් පැහැදිලි වන්නේ යේසුස් පැවසූ ලකුණ ඉටු වන ආකාරය පමණක් නොව එහි නියම අර්ථය එනම්, ඔහු “දොරකඩ අසලම සිටින” බව වටහාගන්නා යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන් එම පරම්පරාවට අයත් වන බවයි. එම ලකුණේ මුල් ඉටුවීම පළමු ශතවර්ෂයේ සිටි යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන් දුටුවා.

14 එහි දෙවන ඉටුවීම ගැන දැන් අපි සලකා බලමු. “පරම්පරාව” යන යෙදුම භාවිත කර ඇති ආකාරය ගැන යම් කරුණු අප මතක තබාගැනීම වැදගත්. එහිදී “පරම්පරාව” කියා සඳහන් කරන්නේ යම් කාල පරිච්ඡේදයක සිටින අභිෂේක ලත් කණ්ඩායමකටයි. එම කණ්ඩායමට අයත් සමහර දෙනෙක් යේසුස් පැවසූ ලකුණ ඉටුවීමේ ආරම්භය දුටු අතර එය අවබෝධ කරගත්තා. ලකුණ ඉටුවීම ආරම්භ වුණේ 1914දීයි. ඒ කණ්ඩායමට අයත් තවත් අය එනම් ලකුණේ ආරම්භය දුටු අය මිය යෑමට කලින් ඉපදුණ අය, ලකුණේ අවසානය වන මහත් පීඩාවේ ආරම්භය දකිනවා. යේසුස් පැවසූ පරම්පරාවට ආරම්භයක් වගේම අවසානයක් තිබෙන බවත් එම කාලපරිච්ඡේදය දීර්ඝ එකක් නොවන බවත් ඉන් පැහැදිලියි. (නික්. 1:6) යේසුස් පැවසූ ලකුණේ විවිධ අංග ඉටු වීමෙන් පැහැදිලි වන්නේ මහත් පීඩාව ළං වී ඇති බවයි. ඔබ අවසාන කාලයේ සිටින බව මනසේ තබාගෙන සෝදිසියෙන් සිටීමෙන් බයිබලයේ සඳහන් ඉගැන්වීම් පිළිබඳ අලුත් අවබෝධයන්වලට අනුව හා දෙවිගේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරන බව ඔබට පෙන්විය හැකියි.—මාක් 13:37.

15. ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා අපව ශක්තිමත් කිරීමට දෙවිගේ බලයට හැකි බව පැවසිය හැක්කේ ඇයි?

15 හතරවන ආකාරය නම් ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා අපව ශක්තිමත් කිරීමයි. (ක්‍රියා 1:8) ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තිබෙන ලැජ්ජාව හා බිය නිසා ‘මම කවදාකවත් ගෙයින් ගෙට සේවයේ යන්නේ නැහැ’ කියා සමහරවිට ඔබට සිතෙන්න ඇති. නමුත් දැන් ඔබ උද්‍යෝගයෙන් එම කාර්යයේ නියැලෙනවා නොවේද! * යෙහෝවා දෙවි තම බලයේ උපකාරය ලබා දෙන නිසා ඔහුගේ බොහෝ සේවකයන් පීඩා හා විරුද්ධවාදීකම් මැද දිගටම ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. එම කාර්යයේ සෑම අංගයකටම උපරිමයෙන් හවුල් වෙනවා නම් ඔබ දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කරන බව පැවසිය හැකියි. පීඩා විරුද්ධවාදීකම්වලට හොඳින් මුහුණ දෙන්නත් අපගේ ශක්තියෙන් කළ නොහැකි දේවල් කරන්නත් අපට දෙවිගේ බලයේ උපකාරය අත්‍යවශ්‍යයි.—මීකා 3:8; මතෙ. 17:20.

අනාගතයේදී දෙවි තම බලය යොදාගන්නා අයුරු

16. මහත් පීඩාවේදී දෙවි ඔහුගේ සෙනඟව ආරක්ෂා කරයි කියා විශ්වාස කරන්න පුළුවන් ඇයි?

16 දෙවි තම අරමුණ ඉටු කරගැනීමට අනාගතයේදීත් තම බලය ඉතා ප්‍රබල ආකාරයකින් යොදාගන්නවා. අප කලින් සලකා බැලූ ලෙස යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව තනි තනිවමත් ජාතියක් ලෙසත් ආරක්ෂා කිරීමට තම බලය යොදාගත්තා. ඒ හා සමානව දෙවි තම බලය යොදාගෙන මහත් පීඩාවේදී ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන බව අපට ස්ථිරයි. ඔහු එය කරන්නේ කොහොමද කියා දැන් අපට සිතන්න අවශ්‍ය නැහැ. දෙවි ඔහුට ප්‍රේම කරන අය කොතැනක සිටියත් ඔවුන්ව ආරක්ෂා කරන නිසා අනාගතය ගැන කිසිම බියක් ඇති කරගත යුතු නැහැ.—2 ලේක. 16:9; ගීතා. 139:7-12.

17. පාරාදීස පොළොවේදී දෙවි තම බලය යොදාගන්නේ කොහොමද?

17 පාරාදීස පොළොවේදී යෙහෝවා දෙවි තම බලය යොදාගන්නේ කොහොමද? ඒ කාලයේදී අලුත් ලියවිලි ලබා දෙන්න දෙවි තම බලය යොදාගන්නවා. (එළි. 20:12) එම ලියවිලිවල ඇතුළත් වන්නේ මොනවාද? දහස් අවුරුදු පාලන කාලයේදී දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා එහි විස්තර කර තිබෙනවා. එම තොරතුරු අධ්‍යයනය කිරීමට ඔබ ආශාවෙන් බලා සිටින බව ස්ථිරයි. ඒ කාලයේදී යෙහෝවා දෙවි පොළොව සඳහාත් මිනිසුන් සඳහාත් ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට තම බලය යොදාගන්නවා. එවැනි කාලයක ජීවත් වීමට ලැබීම මොන තරම් සන්තෝෂවත් එකක් වේවිද කියා සිතා බලන්න!

18. ඔබගේ අධිෂ්ඨානය කුමක්ද?

18 යෙහෝවා දෙවි ඔහුගේ අරමුණ ඉටු කිරීම සඳහා තම බලය යොදාගන්නා නිසා එම අරමුණ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. එම අරමුණට ඔබත් ඇතුළත්. ඒ නිසා දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කිරීමටත් එහි මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වීමටත් අදිටන් කරගන්න. (ලූක් 11:13) එවිට ඔබට දෙවිගේ මුල් අරමුණ වන පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට හැකියාව ලැබෙනවා.

[පාදසටහන්වල]

^ 13 ඡේ. වර්ෂ 2008 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 21-25 පිටු බලන්න.

^ 15 ඡේ. ලැජ්ජාව හා බිය නැති කරගෙන උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කළ ආකාරය ගැන උදාහරණයක් 1993 සැප්තැම්බර් 15 මුරටැඹ කලාපයේ 18වන පිටුවේ සඳහන් වෙනවා.

ඔබට මතකද?

• අතීතයේදී දෙවි තම අරමුණ ඉටු කරගැනීමට ඔහුගේ බලය යොදාගත්තේ කොහොමද?

• වර්තමානයේදී දෙවි තම බලය යොදාගන්නේ කොහොමද?

• අනාගතයේදී දෙවි තම බලය යොදාගන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ කොටුව]

බයිබලයේ සඳහන් ඉගැන්වීම් පිළිබඳ නිවැරදි අවබෝධයන්

බයිබලය ගැන ඇති අවබෝධය ක්‍රමානුකූලව වැඩි කරගැනීමට යෙහෝවා දෙවි තම සෙනඟට උපකාර කරනවා. එවැනි අලුත් තොරතුරු කිහිපයක් පහත සඳහන් වෙනවා.

▪ මුහුන් පිළිබඳ උපමාවෙන් යේසුස්ගේ ගෝලයෙක් ලබන දියුණුව ගැන අප ඉගෙනගත්තේ කුමක්ද? (මතෙ. 13:33)—2008 ජූලි 15 මුරටැඹ කලාපයේ, 19-20 පිටු.

▪ ක්‍රිස්තියානීන්ව ස්වර්ගික ජීවිතය සඳහා තෝරාගැනීම අවසන් වන්නේ කවදාද?—2007 මැයි 1 මුරටැඹ කලාපයේ, 30-31 පිටු.

▪ මහත් සමූහය සේවය කරන්නේ දේවමාලිගාවේ කුමන මළුවේ සිටද? (එළි. 7:15)—2002 මැයි 1 මුරටැඹ කලාපයේ, 30-31 පිටු.

▪ එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම ආරම්භ වන්නේ කවදාද? (මතෙ. 25:31-33)—1995 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ, 18-28 පිටු.