Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි කෙරෙහි තිබූ අපේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා

යෙහෝවා දෙවි කෙරෙහි තිබූ අපේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා

යෙහෝවා දෙවි කෙරෙහි තිබූ අපේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා

ඒඩා ඩෙලෝ ස්ට්‍රිටෝ

මට වයස අවුරුදු 36යි. මම මේ දැන් අදට නියමිත දිනපදය මගේ සටහන් පොතේ ලිව්වා විතරයි. ඒ පේළි ටික ලියන්න මට පැය දෙකක් විතර ගියා. ඇයි එච්චර වෙලා ගියේ? මගේ අම්මා ඔයාලට ඒක විස්තර කරයි.—ජොයෙල්

මමයි මගේ මහත්තයයි 1968දී යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා. අපිට ඩේවිඩ්, මාක් හා ජොයෙල් කියලා පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. බාලයා වන ජොයෙල් ඉපදුණේ 1973 බෙල්ජියමේ බ්‍රසල්ස් සිට කිලෝමීටර් 60ක් දකුණට වෙන්න බෙන්ෂ්වල ඇති රෝහලකයි. ඔහු ඉපදෙන විට කිලෝග්‍රෑම් 1.7ක නොමේරූ දරුවෙක්. ඊටපස්සේ මට රෝහලෙන් යන්න අවස්ථාව ලැබුණත් ජොයෙල්ට රෝහලේම ඉන්න වුණා.

සති ගණනාවක් ජොයෙල් රෝහලේ හිටියත් වෙනසක් සිදු වුණේ නැති නිසා මමයි මගේ මහත්තයා ලුයිජී එයාව ළමා රෝග විශේෂඥයෙකුට පෙන්නුවා. ජොයෙල්ව හොඳින් පරීක්ෂා කරලා ඔහු මෙහෙම කිව්වා. “මෙයාගේ අයියලා දෙන්නට නැති ගැටලු ගණනාවක් මෙයාට තියෙනවා.” ඒක ඇහුණට පස්සේ හැමෝම නිශ්ශබ්ද වුණා. මට තේරුණා මගේ පුංචි පුතාට බරපතළ අසනීපයක් තියෙනවා කියලා. වෛද්‍යවරයා මගේ මහත්තයාව පැත්තකට එක්කගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා. ‘ඔයාගේ පුතාට තියෙන්නේ ට්‍රයිසෝමි 21 කියන ආබාධයයි.” * එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඩවුන් සින්ඩ්‍රෝමය හෙවත් මන්දබුද්ධික තත්වය ලෙසයි.

අපි ජොයෙල්ව තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට අරගෙන ගියා. ඔහු වචනයක්වත් කතා නොකර ජොයෙල්ව පැය දෙකක් විතර පරීක්ෂා කළා. ඒක මටයි ලුයිජීටයි දැනුණේ අවුරුදු ගණනාවක් වගෙයි. අවසානයේදී වෛද්‍යවරයා අපි දිහා බලලා “පුතාට ඔයාලාගේ උපකාර ගොඩක් ඕනේ වේවි” කියලා කිව්වා. පසුව ඉතා කාරුණික ස්වරයකින් එයා මෙහෙම කිව්වා. “නමුත් ඔයාලා ජොයෙල්ට හුඟක් ආදරේ නිසා එයා සන්තෝෂයෙන් ඉදීවි.” ඒ වෙලාවේ මට ලොකු සහනයක් දැනුණා. මම පුතාව තුරුලු කරගෙන ගෙදර එක්කගෙන ආවා. ඒ වෙනකොට එයා ඉපදිලා සති අටයි.

දේවසේවය හා රැස්වීම්වලින් ලැබුණු උපකාර

ජොයෙල්ව තවදුරටත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ විට එයාට හෘද වස්තුවේ ආබාධයක් හා ඇටකටුවල දුර්වලතාවක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ජොයෙල්ගේ හෘද වස්තුව විශාල නිසා ඒක එයාගේ පෙණහලුවලට තෙරපීමක් ඇති කළා. ඒ නිසා එයාට පහසුවෙන්ම වෙනත් ලෙඩ බෝ වෙන්න ඉඩ තිබුණා. එයාට මාස හතරක් වෙද්දී නිව්මෝනියාව හැදුණා. ඒ නිසා අපි එයාව රෝහලකට එක්කගෙන ගියා. එහිදී එයාට ප්‍රතිකාර කළේ රෝග බෝ නොවන විශේෂ ස්ථානයක තබාගෙනයි. එයා ඇතුළේ වේදනාවෙන් දඟලන කොට අපිට ගොඩක් දුක හිතුණා. එයාව තුරුලු කරගන්න ආශාවෙන් හිටියත් එයාව අල්ලන්නවත් සති දහයක් යන තුරු අපට ඉඩක් ලැබුණේ නැහැ. මටයි ලුයිජීටයි කරන්න ඉතුරු වෙලා තිබුණේ යාච්ඤා කරන එක විතරයි.

ඒ අමාරු කාලයේදීත් අපි ඩේවිඩ් හා මාක් එක්ක දිගටම රැස්වීම්වලට සහභාගි වුණා. එතකොට ඩේවිඩ්ට අවුරුදු හයයි. මාක්ට අවුරුදු තුනයි. අපි රාජ්‍ය ශාලාවේ ඉද්දී යෙහෝවා දෙවිගේ සැලකිල්ල අපට හොඳින්ම දැනුණා. සහෝදර සහෝදරියන් සමඟ පැය කිහිපයක් ගත කරන කොට අපට ලොකු සහනයක් දැනුණා. ඒ වගේම අපේ බර අපි යෙහෝවා දෙවිට දීලා තියෙනවා කියලා අපිට තේරුණා. (ගීතා. 55:22) අමාරු අවස්ථාවලට හොඳින් මුහුණ දෙන්න අපිට රැස්වීම් කොයි තරම් උපකාරවත් වුණාද කියලා ජොයෙල්ව බලා ගත්තු හෙදියන් පවා දැක්කා.

මේ කාලයේදී දේවසේවයේ යන්න මට උපකාර කරන්න කියලා මම යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවා. ගෙදරට වෙලා අඬඅඬා ඉන්නේ නැතුව අසනීප නැති කාලයක් සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ පොරොන්දුව ගැන අනික් අයට කියන්න මට ඕනේ වුණා. මම දේවසේවයේ ගිය හැම අවස්ථාවකදීම දෙවි මගේ යාච්ඤාවලට උත්තර දුන්නා කියලා මට හැඟුණා.

“මේක නම් පුදුමයක්”

සෑහෙන කාලයකට පස්සේ ජොයෙල්ව ගෙදර එක්කගෙන එන්න ලැබුණ එක ගැන අපි ගොඩක් සතුටු වුණා. නමුත් ඊළඟ දවසේ එයා ආයෙත් අසනීප වුණා. ඒ නිසා අපි එයාව ආයෙත් රෝහලට එක්ගෙන ගියා. එයාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් මෙහෙම කිව්වා. “ජොයෙල් ජීවත් වෙන්නේ තව මාස හයක් විතරයි.” ඊට මාස දෙකකට පස්සේ ජොයෙල්ගේ තත්වය තවත් නරක අතට හැරුණ නිසා වෛද්‍යවරුන් කියපු දේ සිදු වෙන්න ළඟයි කියලා අපිට හිතුණා. පසුව එක් වෛද්‍යවරයෙක් අපිට මෙහෙම කිව්වා. “මට හරි කනගාටුයි. අපිට මීට වඩා දෙයක් කරන්න බැහැ. දැන් නම් ඔයාලාට උදව් කරන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිට විතරයි.”

ඒ වෙලාවේ මම මානසිකව ඇද වැටිලා හිටියත් ජොයෙල් ළඟටම වෙලා හිටියා. සභාවේ සහෝදරියන් කිහිපදෙනෙක්ද මාත් එක්ක මාරුවෙන් මාරුවට හිටියා. ලුයිජී අනික් දරුවෝ දෙන්නව බලාගත්තා. ඒ විදිහට සතියක් ගත වුණාට පස්සේ හදිසියේම ජොයෙල්ට පපුවේ අමාරුවක් හැදුණා. හෙදියන් ඉක්මනින් එතැනට ආවත් ජොයෙල්ව බේරගන්න ඔවුන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. විනාඩි කිහිපකට පස්සේ එක් කෙනෙක් කිව්වා “එයා නැති වුණා” කියලා. මම අඬාගෙන කාමරයෙන් එළියට ආවා. ඒ වෙලාවේ මම යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න උත්සාහ කළත් මගේ වේදනාව කියාගන්න මට වචන ආවේ නැහැ. විනාඩි 15ක් විතර ගියාට පස්සේ එක හෙදියක් ඇවිත් “ජොයෙල් ජීවත් වෙනවා. එන්න ඔයාට එයාව බලන්න පුළුවන් “ කියලා මාව එයාගේ අතින් අල්ලාගෙන එක්ක ගියා. මම එතනට යද්දී ජොයෙල් හුස්ම ගන්නවා. ඒ ආරංචිය මුළු රෝහල පුරාම පැතිරුණා. පුතාව බලන්න ආපු වෛද්‍යවරුයි හෙදියනුයි හැමෝම කිව්වේ “මේක නම් පුදුමයක්” කියලා.

නොසිතූ වෙනසක්

“ජොයෙල්ට ඔයාලාගේ ආදරය හුඟක් අවශ්‍යයි” කියලා එයාව පරීක්ෂා කළ වෛද්‍යවරයා නිතරම කිව්වා. පුතා ඉපදුණ දවසේ ඉඳලා යෙහෝවා දෙවිගේ සැලකිල්ල අපි වැඩියෙන් අද්දැක්ක නිසා අපිටත් ඕනේ වුණේ පුතාට පුළුවන් තරම් ආදරයෙන් සලකන්නයි. එයාට හැම දෙයක්ම කරන්න අපේ උපකාර අවශ්‍ය වුණු නිසා එයාට ආදරයෙන් සලකන්න අපට ඕනේ තරම් අවස්ථා ලැබුණා.

ජොයෙල්ට අවුරුදු හතක් වන තුරුම හැම අවුරුද්දකම ඔක්තෝබර් හා මාර්තු අතර කාලයේදී එයා නිතර නිතර අසනීප වුණ නිසා එයාව රෝහලට එක්කගෙන යන්න සිදු වුණා. ඒ වගේම ඩේවිඩ් හා මාක් වෙනුවෙනුත් කාලය යොදවන්න මම මගේ උපරිමය කළා. ඔවුනුත් ජොයෙල්ට ගොඩක් උපකාර කළා. ජොයෙල්ට ඇවිදින්න බැරිවෙයි කියලා බොහෝ වෛද්‍යවරුන් පවසා තිබුණත් එයාට අවුරුදු හතරක් වෙද්දී එක් දවසක් මාක් එයාට මෙහෙම කිව්වා. “ඔයාට ඒක කරන්න පුළුවන් කියලා අම්මට පෙන්නන්න.” ජොයෙල් ඇවිදිනවා දැක්කාම මට පුදුම හිතුණා. අපි හැමදෙනාම එකතු වෙලා ඒ වෙලාවේ යෙහෝවා දෙවිට ස්තුති කරලා යාච්ඤා කළා. ඒ වගේම ජොයෙල් මොනවා හරි අලුතෙන් දෙයක් කළොත් අපි එයාට ඒ ගැන ප්‍රශංසා කළා.

දෙවි ගැන ඉගැන්වීමේ ප්‍රතිඵල

පුළුවන් හැම වෙලාවේදීම අපි ජොයෙල්ව රැස්වීම්වලට අරගෙන ගියා. එයා ඉක්මනින්ම අසනීප වෙන නිසා එයාව විසබීජවලින් ආරක්ෂා කරන්න අපි එයාව දාගෙන ගියේ ප්ලාස්ටික් ආවරණයක් ඇති විශේෂ කරත්තයකයි. එහෙම හරි රැස්වීම්වලට යන්න ලැබුණු එක ගැන එයා හුඟක් සන්තෝෂ වුණා.

අපට අවශ්‍ය කරලා තිබුණු උපකාරය හා ප්‍රේමය අපගේ සහෝදර සහෝදරියන් කිසිම අඩුවක් නැතුව ලබා දුන්නා. එක් සහෝදරයෙක් යෙසායා 59:1හි තියෙන මේ වචන අපිට නිතර නිතර මතක් කළා. “ඔබව බේරාගැනීමට යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි කියා ඔබ සිතනවාද? ඔබේ කන්නලව් නෑසෙන තරමටම දෙවිගේ ඇසීම දුර්වලයිද?” යෙහෝවා දෙවි කෙරෙහි ඇති විශ්වාසය දිගටම තබාගන්න අපට ඒ වචන උපකාරවත් වුණා.

ජොයෙල් ලොකු මහත් වෙද්දී යෙහෝවා දෙවිට කරන සේවයෙන් සතුටක් ලබන්න පුළුවන් ආකාරය අපි එයාට කියලා දුන්නා. දෙවි එක්ක එයාට තියෙන ප්‍රේමය වැඩි වෙන විදිහට අපි එයාට දෙවි ගැන කතා කළා. අපි ගන්න ඒ වෑයම්වලට ආශීර්වාද කරන්න කියලා අපි නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කළා.

ජොයෙල් යෞවන වයසට එද්දී තමන්ට මුණගැහෙන අය එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන කතා කරන්න ආස වුණා. බරපතළ ශල්‍යකර්මයකින් පස්සේ එයා මට මෙහෙම කියද්දී මට ලොකු සතුටක් ඇති වුණා. “අම්මේ මම ඩොක්ටර්ට සදා ජීවනය පොත දෙන්නද?” අවුරුදු කිහිපයකට පස්සේ එයාට තවත් ශල්‍යකර්මයක් කරන්න සිද්ධ වුණා. අපි හිතුවේ එයා ඒකෙන් පස්සේ ජීවත් වෙන එකක් නැහැයි කියලයි. එයා අපිත් එක්ක එකතු වෙලා රුධිරය සම්බන්ධයෙන් එයාගේ ස්ථාරවය ගැන ලියපු ලියුමක් වෛද්‍යවරුන්ට දුන්නා. වෛද්‍යවරයා එයාගෙන් ඇහුවා “ඔයා මේකට එකඟද” කියලා. එයා නිර්භීතව “ඔව්” කියලා කිව්වා. පුතාට එයාගේ නිර්මාණකරු ගැන තියෙන විශ්වාසයත් ඔහුව සතුටු කරන්න තිබුණ වුවමනාවත් දැකලා අපිට එයා ගැන ආඩම්බරයක් ඇති වුණා. රෝහලේ කාර්යය මණ්ඩලය අපිට ගොඩක් උපකාර කළ නිසා අපි එයාලට ස්තුතිවන්ත වෙනවා.

සත්‍යය තුළ ජොයෙල් ලැබූ දියුණුව

වයස අවුරුදු 17දී ජොයෙල් දෙවිට කැප වී බව්තීස්ම වුණා. අපිට ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා ඉඳලා යෙහෝවා දෙවිට තියෙන ප්‍රේමයත් උද්‍යෝගයෙන් ඔහුට සේවය කිරීමට තියෙන ආශාවත් ජොයෙල් නැති කරගත්තේ නැහැ. එයාට මුණගැහෙන හැම කෙනෙකුට එයා කියන්නේ “සත්‍යය තමයි මගේ ජීවිතය” කියලා. එයා ඒ විදිහට දියුණු වෙනවා දකිද්දී අපිට ලොකු සතුටක් දැනුණා.

ඊටපස්සේ එයා ලොකු වෑයමක් දරා කියවන්න හා ලියන්න ඉගෙනගත්තා. එයා ලියපු හැම වචනයක්ම එයා ලබපු ජයග්‍රහණයක් කියා පවසන්න පුළුවන්. එදා ඉඳලා හැමදාම උදේ ජොයෙල් දිනපදය බැලුවා. ඊටපස්සේ එයා හරි අමාරුවෙන් එදාට නියමිත දිනපදය එයාගේ සටහන් පොතේ ලිව්වා. ඒ වගේ පොත් එයාට දැන් හුඟක් තියෙනවා.

ජොයෙල්ට රාජ්‍ය ශාලාවට එන අයව පිළිගන්න ඕනෙ වුණ නිසා වේලාසනින්ම රැස්වීම්වලට යන්න එයාට අවශ්‍ය වුණා. රැස්වීම්වලදී උත්තර දෙන්නත් නිරූපණවලට හවුල් වෙන්නත් එයා හුඟක් කැමතියි. ශබ්ද විකාශන අංශයට වගේම වෙනත් වැඩවලටත් එයා උදව් කරනවා. එයාගේ සෞඛ්‍යය තත්වය හොඳින් තියෙන හැම වෙලාවකම එයා අපිත් එක්ක දේවසේවයේ හවුල් වෙනවා. එයා 2007දී සහයක සේවකයෙක් ලෙස පත් වුණා. ඒක සභාවේ නිවේදනය කරද්දී ඇති වුණ සතුට නිසා අපිට අඬුණා. එය යෙහෝවා දෙවිගේ ලැබුණු මොන තරම් ආශීර්වාදයක්ද!

යෙහෝවා දෙවිගේ උපකාරය අපට දැනුණා

වර්ෂ 1999දී සිදු වූ රිය අනතුරක් නිසා ලුයිජීට එයාගේ කකුලක් කපන්න වුණා. එයාගේ කොන්දට ශල්‍යකර්ම කිහිපයක් කරන්නත් සිද්ධ වුණා. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට ශක්තිය ලබා දෙන ආකාරය අපි ඒ මොහොතේදීත් අද්දැක්කා. (ෆිලි. 4:13) ලුයිජී දැන් ආබාධිත වුණත් අපි ඒ ගැන දුක් වෙවී ඉන්නේ නැහැ. එයාට රැකියාවක් කරන්න බැරි නිසා දැන් ජොයෙල්ව බලාගන්න වැඩි වෙලාවක් ගත කරන්න එයාට පුළුවන්. ඒ නිසා මට නමස්කාර කටයුතුවල වැඩියෙන් හවුල් වෙන්න පුළුවන් වුණා. ලුයිජීටත් පවුලේ නමස්කාර කටයුතුවලටයි සභාවේ කටයුතුවලටයි වැඩි අවධානයක් දෙන්න පුළුවන් වුණා. ඒ නිසා එයාට දිගටම සභාවේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක හැටියට සේවය කරන්න හැකි වුණා.

අපි සිටින තත්වය නිසා අපිට පවුලක් හැටියට වැඩි කාලයක් එකට ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. අනික් අයගෙන් පමණට වඩා දේවල් බලාපොරොත්තු නොවී ඉන්නත් අපි ඉගෙනගත්තා. අධෛර්යයට පත් වෙන අවස්ථාවලදී අපි ඒ ගැන දෙවිට යාච්ඤා කරනවා. ඩේවිඩ් හා මාක් වැඩිහිටියන් වුණාට පස්සේ එයාලගේ පදිංචිය මාරු කළා. ඒ වගේම ටිකෙන් ටික දෙවිට සේවය කරන එකත් ඒ අය නතර කළා. ඒ ගැන අපි හුඟක් කනගාටු වෙනවා. නමුත් එයාලා නැවතත් දෙවිට සේවය කරන්න පටන්ගන්න කල් අපි ආශාවෙන් බලාගෙන ඉන්නවා.—ලූක් 15:17-24.

අපිට මුහුණ දෙන්න සිදු වුණු ඕනෑම අභියෝගයකදී දෙවි කෙරෙහි විශ්වාසය තබන්න අපි ඉගෙනගෙන තියෙනවා. එහෙම කරද්දී දෙවි අපිට උපකාර කරන ආකාරය අපි මේ අවුරුදු ගණනාව පුරා අද්දැක තිබෙනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය” කියා යෙසායා 41:13 තියෙන වචන අපිට ලොකු ශක්තියක්. ඒ හැම දෙයකින්ම වුණේ යෙහෝවා දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය තවත් ශක්තිමත් වීමයි.

[පාදසටහන]

^ 5 ඡේ. ඔහුට සෑදී තිබුණේ උපතින්ම මොළයේ වර්ධනය බාල කරන ට්‍රයිසෝමි 21 (Trisomy 21) නමැති රෝගයයි. සමාන්‍යයෙන් කෙනෙකු තුළ වර්ණදේහ බෙදෙන්නේ යුගළ වශයෙනුයි. නමුත් ට්‍රයිසෝමි රෝගය ඇති දරුවන්ගේ වර්ණදේහ යුගළවලින් අඩුම තරමේ එක යුගළයක අමතර වර්ණදේහයක් පිහිටනවා. මෙම දරුවාගේ 21වෙනි වර්ණදේහ යුගළයේ වර්ණදේහ තුනක් පිහිටා තිබෙනවා.

[16, 17වන පිටුවල පින්තූර]

ජොයෙල් ඔහුගේ මව ඒඩා සමඟ

[18වන පිටුවේ පින්තූරය]

ඒඩා, ජොයෙල් සහ ලුයිජී

[19වන පිටුවේ පින්තූරය]

රාජ්‍ය ශාලාවේදී සහෝදර සහෝදරියන්ව පිළිගන්න ජොයෙල් හරිම ආසයි