Skip to content

පටුනට යන්න

වැදගැම්මකට නැති දේවලින් ඔබේ ඇස් අහකට ගන්න

වැදගැම්මකට නැති දේවලින් ඔබේ ඇස් අහකට ගන්න

වැදගැම්මකට නැති දේවලින් ඔබේ ඇස් අහකට ගන්න

“කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න. මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.”—ගීතා. 119:37.

1. අපගේ ඇස් අපට මොන තරම් ප්‍රයෝජනවත්ද?

අපගේ ඇස් අපට මොන තරම් වටිනවාද! අප වටා ඇති දේවල් දැකගැනීමට මෙන්ම අපට හානි වන දේවල් හා හානි නොවන දේවල් මොනවාද කියා හඳුනාගැනීමට ඇස් අපට උපකාර කරනවා. ඒ වගේම දෙවිගේ නිර්මාණ කොයි තරම් අලංකාරද හා පුදුමසහගතද කියා වටහාගැනීමටත් ඒ තුළින් දෙවි කෙනෙක් සිටින බවට සාක්ෂි දැකගැනීමටත් අපගේ ඇස් අපට ප්‍රයෝජනවත්. (ගීතා. 8:3, 4; 19:1, 2; 104:24; රෝම 1:20) මනසට තොරතුරු ඇතුල් කරගැනීමට අපට මූලිකවම උපකාර කරන්නේ ඇසයි. ඒ නිසා යෙහෝවා දෙවි ගැන දැනුම ලබාගෙන ඔහු කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමට අපගේ ඇස් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා.—යොෂු. 1:8; ගීතා. 1:2, 3.

2. අප බලන දේ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? ගීතිකාකරු කළ ආයාචනය කුමක්ද?

2 නමුත් අප බලන දේ අපගේ මනසට අහිතකර ලෙසද බලපාන්න පුළුවන්. එමෙන්ම ඉන් අප තුළ යම් දෙයකට ආශාවක් ඇති කරන්න හෝ වැඩි කරන්නත් පුළුවන්. සාතන් පාලනය කරන මේ ලෝකයේ දුෂ්ට මෙන්ම තම වැරදි ආශාවන් පිනවාගන්නා මිනිසුන් සිටින නිසා නුසුදුසු දර්ශන හා තොරතුරුවලින් අප වට වී සිටිනවා. එවැනි දේවල් දෙස සුළු මොහොතකට හෝ අපගේ ඇස් යොමු කළොත් අප නොමඟ යා හැකියි. (1 යොහ. 5:19) ඒ නිසා ගීතිකාකරු දෙවිට මෙසේ ආයාචනා කිරීම ගැන පුදුම විය යුතු නැහැ. “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න. මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.”—ගීතා. 119:37.

මුළා විය හැකි අයුරු

3-5. වැරදි දේවල් කිරීමට අපගේ ඇස් අපව පෙලඹවිය හැකි බව පෙන්වන උදාහරණ දෙන්න.

3 මුල්ම ස්ත්‍රිය වන ඒවට සිදු වූ දේ සලකා බලන්න. “හොඳ හා නරක හඳුනාගැනීම යන නමින් හැඳින්වෙන ගසෙන්” පල කෑවොත් ඇගේ “ඇස් ඇරෙන” බව සාතන් පැවසුවා. තමන්ගේ “ඇස් ඇරෙන” බවට සාතන් පැවසූ දේ ගැන ඒවට කුතුහලයක් ඇති වුණා විය හැකියි. පසුව සිදු වූ දේ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ඒව “ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණා.” ඇය ඒ දෙස මහත් ආශාවෙන් බලා සිටි නිසා දෙවිට අකීකරු වීමට ඇය පෙලඹුණා. ඉන්පසුව ඇගේ පුරුෂයා වන ආදම්ද ඒ ගසේ පල කෑවා. එහි නරක ප්‍රතිඵල මුළු මිනිස්වර්ගයාටම විඳින්න සිදු වුණා.—උත්. 2:17; 3:2-6; රෝම 5:12; යාකො. 1:14, 15.

4 නෝවාගේ කාලයේදී දේවදූතයන්ද ඔවුන් බැලූ දේවල් නිසා නුසුදුසු දේ කිරීමට පෙලඹුණා. ඔවුන් ගැන සඳහන් කරමින් උත්පත්ති 6:2හි මෙසේ පවසනවා. “ඒ කාලයේදී සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටුවෝය. ඔවුහු හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ කරගත්හ.” ඒ කැරලිකාර දේවදූතයන්ට ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ආශාවක් ඇති වුණේ ඔවුන් වැරදි චේතනාවකින් ඒ ස්ත්‍රීන් දෙස බැලූ නිසයි. දේවදූතයන්ව දෙවි නිර්මාණය කළේ එවැනි අරමුණක් ඇතුව නොවෙයි. කෙසේවෙතත් ඔවුන්ගේ ඒ ක්‍රියාව නිසා ඉපදුණ දරුවන් ඉතා දරුණු අය වුණා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස නෝවා හා ඔහුගේ පවුලේ අය හැර මුළු මිනිස්වර්ගයාම විනාශය අද්දැක්කා.—උත්. 6:4-7, 11, 12.

5 ඉන් ශතවර්ෂ ගණනාවකට පසු ජීවත් වූ ආකාන් ගැන සලකා බලන්න. යෙරිකෝ නගරය අල්ලාගත් විට එහි තිබූ යම් වටිනා භාණ්ඩ දැක ඔහු ඊට ආශා වී ඒවා සොරකම් කළා. නමුත් දෙවි අණ කර තිබුණේ දේවමාලිගාවට භාර දිය යුතු සමහර දේවල් හැර අනිකුත් සියලුම දේ විනාශ කළ යුතු බවයි. ඒ ගැන දෙවි මෙසේ අනතුරු ඇඟෙව්වා. ‘විනාශ කිරීමට නියම කර තිබෙන කිසිම දෙයකට අතවත් තියන්න එපා. එසේ කළොත් ඒ දේවලට ආශාවක් ඔබ තුළ ඇති වී ඒවා ගැනීමට ඔබ පෙලඹිය හැකියි.’ නමුත් ආකාන් ඒ අනතුරු ඇඟවීමට අකීකරු වූ නිසා ඊශ්‍රායෙල්වරුන් ආයි නගරයට විරුද්ධව යුද්ධ කළ විට ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට මිය යෑමට සිදු වුණා. තමා කළ වරද යෙහෝවා දෙවි හෙළි කරන තුරු ආකාන් එය සඟවාගෙන සිටියා. එය හෙළි වූ පසු ඔහු මෙවැනි දෙයක් පැවසුවා. ‘මට ඒවා දැක්කාම ආස හිතුණා. ඒ නිසා මම ඒවා ගත්තා.’ (යොෂු. 6:18, 19; 7:1-26) ඉන් අපට පැහැදලි වන්නේ දෙවි තහනම් කර තිබූ දේවල් කෙරෙහි ආශාවක් ආකාන්ට ඇති වූ බවයි.

තමාවම පාලනය කරගන්න

6, 7. අපව මුළා කිරීමට සාතන් යොදාගන්නා “කපටි” ක්‍රමයක් සඳහන් කරන්න. වෙළඳ ප්‍රචාරණ ආයතන එය යොදාගන්නේ කොහොමද?

6 ඒව, දේවදූතයන් හා ආකාන් මෙන් අපත් බලන දේ නිසා වැරදි කිරීමට පෙලඹෙන්න පුළුවන්. සාතන් මිනිසුන්ව වරදට පොලඹවාගැනීමට යොදාගන්නා “කපටි” ක්‍රම අතරින් එකක් වන්නේ “තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව” ඇති කිරීමයි. (2 කොරි. 2:11; 1 යොහ. 2:16) ඒ වගේම එහි ඇති බලපෑම මොන තරම් ප්‍රබලද කියා වර්තමානයේ ඇති වෙළඳ ප්‍රචාරණ ආයතනද හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ව්‍යාපාර සඳහා උපදෙස් ලබා දෙන ලේඛකයෙක් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “කෙනෙක් දකින දේ ඔහුගේ ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා. නිවැරදි කියලා දන්න දේ නොසලකාහැරලා ඊට වෙනස් දෙයක් කරන්න කෙනෙකුව පොලඹවන්න ඔහු දකින දේට පුළුවන්.”

7 ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ හා සේවාවන් අළෙවි කර දීම සඳහා වෙළඳ ප්‍රචාරණ ආයතන ආකර්ෂණීය දැන්වීම් පළ කිරීම ගැන අප පුදුම විය යුතු නැහැ. වෙළඳ දැන්වීම් මිනිසුන් කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කරනවාද යන්න ගැන අධ්‍යයනය කළ තැනැත්තෙක් මෙසේ පැවසුවා. “ඒවා නිර්මාණය කරලා තියෙන්නේ තොරතුරු ලබා දෙන්න විතරක් නෙවෙයි නරඹන්නන් තුළ ආශාවක් ඇති කරලා ඒවා මිල දී ගැනීමට ඔවුන්ව පොලඹවන්නයි.” ඒ සඳහා බොහෝවිට කාමුක දර්ශන යොදාගන්නවා. ඒ නිසා අපි බලනදේ ගැන හා අපේ මනසට ඇතුල් කරගන්නා දේ ගැන විමසිල්ලෙන් සිටීම මොන තරම් වැදගත්ද!

8. අප බලන දේ ගැන සැලකිලිමත් වීමේ වැදගත්කම බයිබලයේ පෙන්වා දෙන්නේ කොහොමද?

8 තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව හා තම ඉඳුරන් පිනවාගැනීමේ ආශාව සැබෑ ක්‍රිස්තියානීන් තුළද ඇති විය හැකියි. ඒ නිසා අප බලන දේ හා අපගේ ආශාවන් පාලනය කිරීමට දෙවිගේ වචනය අපව දිරිගන්වනවා. (1 කොරි. 9:25, 27; 1 යොහන් 2:15-17 කියවන්න.) දකින දේ හා ආශාවන් අතර සම්බන්ධයක් ඇති බව යෝබ් දැන සිටියා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි. එසේනම් මා වැරදි චේතනාවකින් තරුණියක දෙස බලන්නේ කෙසේද?” (යෝබ් 31:1) වැරදි චේතනාවකින් ස්ත්‍රියක ස්පර්ශ කිරීමට පමණක් නොව එවැනි චේතනාවකින් ස්ත්‍රියක දෙස බලන්නවත් යෝබ් සිතුවේ නැහැ. අපගේ මනස්වල කිසිම වැරදි සිතුවිල්ලක් නොතිබිය යුතු බව යේසුස්ද මෙසේ පැවසුවා. “මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇති බවයි.”—මතෙ. 5:28.

වැදගැම්මකට නැති දේවලින් වැළකී සිටිමු

9. (අ) අන්තර්ජාලය භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුත්තේ ඇයි? (ආ) යාන්තමින් හෝ කාමුක දර්ශන දෙස බැලීමෙන් සිදු විය හැක්කේ කුමක්ද?

9 කාමුක දර්ශන ඇතුළත් දේවල් නිතර නිතර නැරඹීම මිනිසුන් අතර සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. එවැනි දර්ශන අඩංගු වෙබ් අඩවි අන්තර්ජාලය තුළින් සොයාගැනීම එතරම් අපහසු දෙයක් නොවෙයි. ලිංගික හැඟීම් අවුස්සන දර්ශනයක් හදිසියේම ඔබේ පරිගණකයේ දිස් විය හැකියි. නැත්නම් එවැනි දර්ශනයක් ඇතුළත් ඊ-මේල් පණිවිඩයක් ඔබට ලැබිය හැකියි. එය විවෘත කර බලන තුරු එහි අඩංගු වන්නේ කුමක්ද කියා ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. එවැනි සමහර ඊ-මේල් පණිවිඩ සකස් කර තිබෙන්නේ විවෘත කළ පසු පහසුවෙන් වසා දැමීමට නොහැකි ලෙසයි. කෙනෙක් යාන්තමින් හෝ ඒ දෙස බැලුවොත් එය ඔහුගේ මනසින් ඉවත් කිරීම පහසු දෙයක් නොවෙයි. ඒ වගේම ඔහුගේ හෘදය සාක්ෂියද ඔහුට වධ දිය හැකියි. එසේනම් කාමුක දර්ශන “දිගින් දිගටම බලමින් සිටින” කෙනෙකුට එය කොයි තරම් නරක බලපෑමක් ඇති කරයිද? එවැනි කෙනෙක් එම නුසුදුසු ආශාව සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුයි.එෆීස 5:3, 4, 12 කියවන්න; කොලො. 3:5, 6.

10. කුඩා දරුවන් කාමුක දර්ශන නැරඹීමට යොමු විය හැක්කේ කුමන හේතුව නිසාද? ඉන් ඇති වන ප්‍රතිඵල මොනවාද?

10 කුඩා දරුවන්ට යම් දේවල් දැනගැනීමේ කුතුහලයක් තිබෙන නිසා ඔවුන් නොදැනුවත්වම කාමුක දර්ශන නැරඹීමට යොමු විය හැකියි. ඒවා නැරඹුවොත් ලිංගික කාරණා සම්බන්ධයෙන් ඔවුන් තුළ වැරදි ආකල්ප ඇති විය හැකියි. ඒ ගැන එක් වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. ලිංගික කාරණා පිළිබඳ විකෘති අදහස් ඇති වෙන්න පුළුවන්. එසේ නැතහොත් “එකිනෙකා සමඟ යහපත් සබඳතා ඇති කරගැනීමට නොහැකි වීම, ස්ත්‍රියක් දෙස පිරිසිදු චේතනාවකින් බැලීමට නොහැකි වීම වැනි අනතුරුදායක දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඊට ඇබ්බැහි වුණොත් දරුවාගේ පාසැල් ජීවිතයට, මිත්‍රත්වයන්ට හා පවුල් සබඳතාවලට බලපෑමක් එල්ල විය හැකියි.” ඒ විතරක් නොවෙයි අනාගතයේදී ඔහුගේ පවුල් ජීවිතය තුළත් බරපතළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

11. කාමුක දර්ශන නැරඹීමේ ඇති භායානකකම පෙන්වන උදාහරණ දෙන්න.

11 එක් සහෝදරයෙක් මෙසේ පැවසුවා. “මම සාක්ෂිකාරයෙක් වෙන්න කලින් ඇබ්බැහි වෙලා හිටිය දේවල්වලින් අත්හරින්න අමාරුම දේ වුණේ කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දයි. තාමත් මම නොහිතන අවස්ථාවලදී ඒ කියන්නේ සමහර සුවඳ වර්ග දැනෙද්දී, සමහර සංගීතයන් ඇහෙද්දී, සමහර දේවල් දකිද්දී, සමහර දේවල් ගැන හිතද්දී මම කලින් දැක්ක කාමුක දර්ශන මට මතක් වෙනවා. ඒවා මගේ මනසින් අයින් කරගන්න මම දවස ගාණේ සටන් කරනවා.” තවත් සහෝදරයෙක් සාක්ෂිකරුවෙක් නොවූ තම පියා බැලූ කාමුක දර්ශන ඇතුළත් සඟරා තමා කුඩා කාලයේදී බැලූ බව පැවසුවා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “මගේ මනසට ඒවා තදින් බලපෑවා. අවුරුදු 25ක් ගත වුණත් තාමත් මම දැක්ක සමහර රූප මගේ මනසින් ඉවත් කරන්න මට බැරි වෙලා තියෙනවා. මම දැන් ඒවා ගැන හිතන්නේ නැති වුණත් මගේ හෘදය සාක්ෂිය මට තාමත් වධ දෙනවා.” එම උදාහරණවලින් පැහැදිලි වන්නේ කිසි වැදගැම්මකට නැති දේවල් නැරඹීමෙන් ඇති විය හැකි සිත් වේදනාව වළක්වාගැනීමට නම් ඒවා දෙස නොබලා සිටිය යුතු බවයි. එය කරන්න පුළුවන් කොහොමද? ‘සෑම සිතුවිල්ලක්ම මෙල්ල කර ඒවා ක්‍රිස්තුස්ට කීකරු සිතුවිලි බවට වෙනස් කිරීමට’ වෑයම් කිරීමෙන් එය කළ හැකියි.—2 කොරි. 10:5.

12, 13. ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතු වැදගැම්මකට නැති දේවල් මොනවාද? ඒ ඇයි?

12 අප වැළකී සිටිය යුතු “කිසි කමකට නැති” තවත් දෙයක් වන්නේ ධනසම්පත්වලට දැඩි ආශාවක් ඇති කරන, භූතවාදය, ප්‍රචණ්ඩත්වය හා දරුණු ලේ වැගිරීම් වැනි දේවල් අඩංගු විනෝදාස්වාදයයි. (ගීතාවලිය 101:3 කියවන්න.) එමනිසා තම දරුවන් නිවසේදී නරඹන දේවල් ගැන සැලකිලිමත් වීම දෙමාපියන්ගේ වගකීමක්. සැබෑ ක්‍රිස්තියානීන් භූතවාදයට සම්බන්ධ කිසි දෙයකට හවුල් නොවන බව ඇත්තයි. නමුත් භූතවාදයට සම්බන්ධ දේවල් අඩංගු චිත්‍රපටි, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා සහ සමහර කාටූන් මෙන්ම ළමා පොත් පත් ගැනද දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුයි.—හිතෝ. 22:5.

13 ඔබ තරුණයෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩාවල හෝ කුරිරු ලෙස මිනිසුන් මරණ වීඩියෝ ක්‍රීඩාවල යෙදීමෙන් වැළකී සිටිය යුතුයි. (ගීතාවලිය 11:5 කියවන්න.) යෙහෝවා දෙවි හෙළාදකින කිසිම දෙයකට අපගේ මනස යොමු නොකිරීමට අප වගබලා ගත යුතුයි. ඒ වගේම සාතන් අපගේ මනස දූෂ්‍ය කිරීමට බලා සිටින බවද අප අමතක නොකළ යුතුයි. (2 කොරි. 11:3) අප සුදුසු විනෝදාස්වාදයන්වල යෙදුණත් ඉන් පවුලේ නමස්කාරය, දිනපතා බයිබලය කියවීම හා රැස්වීම්වලට සූදානම් වීම වැනි දේවලට බාධා ඇති වෙනවා නම් ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි.—ෆිලි. 1:9, 10.

යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න

14, 15. දෙවිගේ කැමැත්ත කිරීමෙන් යේසුස්ව වළක්වන්න සාතන් ගත් තුන්වන උත්සාහයේ ඇති විශේෂත්වය කුමක්ද? ඊට මුහුණ දීමට යේසුස්ට උපකාරවත් වුණේ කුමක්ද?

14 මේ දුෂ්ට ලෝකය තුළ නපුරු දේවල් දැකීමෙන් වැළකී සිටින්න අපට පුළුවන් වෙයි කියා සිතන්න බැහැ. යේසුස්ටත් එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණා. දෙවිගේ කැමැත්ත කිරීමෙන් යේසුස්ව වළක්වන්න ගත් තුන්වන උත්සාහයේදී ‘යක්ෂයා ඔහුව ඉතා උස් කන්දකට ගෙන ගොස් ඔහුට ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද පෙන්නුවා.’ (මතෙ. 4:8) සාතන් එසේ ලෝකයේ රාජ්‍යයන් දැක ප්‍රසිද්ධිය ලැබීමේ ආශාවක් යේසුස් තුළ ඇති වෙයි කියා සිතූ නිසා විය හැකියි. යේසුස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

15 තමාව වරදට පෙලඹවීමට සාතන් කළ යෝජනාව ගැන සිතසිතා සිටිනවා වෙනුවට යේසුස් වහාම එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසුවා. “සාතන්, අහකට යන්න!” (මතෙ. 4:10) සාතන්ට එවැනි පිළිතුරක් දීමට යේසුස්ට හැකි වුණේ දෙවිගේ කැමැත්ත කිරීම ඔහුගේ ජීවිතයේ ප්‍රධාන තැන කරගෙන තිබූ නිසයි. එමෙන්ම ඔහු තම මනස යොමු කර තබාගත්තේ යෙහෝවා දෙවි සමඟ තිබූ කිට්ටු බැඳීම කෙරෙහියි. (හෙබ්‍රෙ. 10:7) ඒ නිසා සාතන් යොදාගත් කපටි උපායට හසු නොවී සිටීමට යේසුස්ට හැකි වුණා.

16. සාතන්ගේ උපායන්වලට හසු නොවී සිටීම සම්බන්ධයෙන් අපට යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

16 යේසුස්ගේ ආදර්ශයෙන් අපට බොහෝ දේවල් ඉගෙනගත හැකියි. පළමුවන එක වන්නේ, සාතන් ඕනෑම කෙනෙකුව වරදට පොලඹවන්න උත්සාහ කරන බවයි. (මතෙ. 24:24) දෙවැන්න නම්, අප දිගින් දිගටම බලන දේවල් අපේ ආශාවන් වැඩි කිරීමට හේතු වන බවයි. එය අපගේ යහපතට හෝ අයහපතට හේතු විය හැකියි. තුන්වැන්න නම්, අපව දෙවිගෙන් ඈත් කිරීමට “දකින දකින දේ ලබාගැනීමේ ආශාව” සාතන් උපරිම ලෙස යොදාගැනීමයි. (1 පේතෘ. 5:8) හතරවැන්න නම්, සාතන්ගේ උපක්‍රමවලට හසු නොවී සිටීම සඳහා අප ඉක්මනින්ම ක්‍රියා කළ යුතු වීමයි.—යාකො. 4:7; 1 පේතෘ. 2:21.

ඔබේ ඇස වෙනතකට යොමු නොකරන්න

17. කළ යුතු දේ කුමක්ද කියා තීරණය කිරීමට වරදට පොලඹවන අවස්ථාවක් එන තුරු බලා සිටීම අඥාන දෙයක් වන්නේ ඇයි?

17 අප දෙවිට කැප වන විට කිසි වැදගැම්මකට නැති දේවලින් වැළකී සිටින බවටත් ඔහුට පොරොන්දු වෙනවා. එසේ කිරීමෙන් “ඔබේ වදන්වලට කීකරු වන පිණිස කිසි වැරදි මාර්ගයක ගමන් කිරීමට මාගේ පාදවලට මම ඉඩ නොදුන්නෙමි” කියා පැවසූ ගීතිකාකරු සමඟ අපද එකඟ වෙනවා. (ගීතා. 119:101) දෙවි පිළිකුල් කරන කාරණා ගැන බයිබලයෙන් අප ඉගෙනගෙන තිබෙන නිසා සාතන්ගේ උපායන් ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා වරදට පොලඹවන අවස්ථාවක් උදා වන තුරු බලා නොසිට එවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය ගැන කලින්ම සූදානම් වී සිටීම වැදගත්. ගල් රොටි බවට පත් කරන්න කියා සාතන් යේසුස්ට පැවසුවේ ඔහු දවස් 40ක් නිරාහාරව සිටීමෙන් පසු “බඩගින්න” දැණුණු අවස්ථාවේදීයි. (මතෙ. 4:1-4) ඉන් පැහැදිලි වන්නේ අපව පහසුවෙන්ම වරදට පෙලඹවිය හැකි අවස්ථාව අවබෝධ කරගැනීමට සාතන්ට හැකි බවයි. ඒ නිසා එවැනි අවස්ථාවක කළ යුතු දේ ගැන දැන්ම සූදානම් වී සිටීම වැදගත්. අප දෙවිට කැප වූ අවස්ථාවේදී දුන් පොරොන්දුව සෑම දිනකම මනසේ තබාගන්නවා නම් වැදගැම්මකට නැති දේවලින් වැළකී සිටීමට වූ අපගේ අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගත හැකියි.—හිතෝ. 1:5; 19:20.

18, 19. (අ) ‘වෙනතකට යොමු නොකරන’ ඇසක් හා ‘දුෂ්ට දේවලට යොමු වී’ තිබෙන ඇසක් අතර ඇති වෙනස කුමක්ද? (ආ) යහපත් දේවලට අපගේ මනස යොමු කර තබාගැනීම වැදගත් ඇයි? ඒ සම්බන්ධයෙන් ෆිලිප්පි 4:8හි ඇති උපදෙස කුමක්ද?

18 අපව මුළා කරවන ආකර්ෂණීය දේවල් එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා අපේ “ඇස වෙනතකට යොමු නොකර” තබාගන්නා ලෙස යේසුස් දුන් අවවාදයට කීකරු වීම වෙන කවරදාටත් වඩා අද දින අත්‍යවශ්‍ය දෙයක් වී තිබෙනවා. (මතෙ. 6:22, 23) එලෙස ක්‍රියා කරන කෙනෙක් ඔහුගේ ඇස දෙවිගේ කැමැත්ත කෙරෙහි පමණක් යොමු කර තබාගන්නවා. ඊට වෙනස්ව ‘දුෂ්ට දේවලට යොමු වී’ තිබෙන ඇසක් ඇති කෙනෙකු තුළ කපටිකම, තණ්හාව හා නිෂ්ඵල දේවලට ඇදී යෑමේ ආශාව තිබෙනවා.

19 අප බලන දේ මුලින්ම අපේ මනසටත් ඉන්පසු අපගේ ක්‍රියාවන්ටත් බලපාන බව මතක තබාගන්න. ඒ නිසා වැදගැම්මකට නැති දේවලට අපගේ මනස යොමු නොකර යහපත් දේවලට අපගේ මනස යොමු කර තබාගනිමු. (ෆිලිප්පි 4:8 කියවන්න.) ඒ වගේම අප ගීතිකාකරුමෙන් මෙසේ යාච්ඤා කරමු. “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.” අප එම යාච්ඤාවට එකඟව ජීවත් වෙන්න වෑයම් කරන විට යෙහෝවා දෙවි අපගේ ‘දිවි රැකෙන පිණිස ඔහුගේ මාවතේ අපව ගෙන යයි’ කියා අපට නිසැක විය හැකියි.—ගීතා. 119:37; හෙබ්‍රෙ. 10:36.

පහත සඳහන් දේවල් ගැන අප මතක තබාගත යුත්තේ කුමක්ද?

• ඇස, මනස හා ක්‍රියා අතර ඇති සම්බන්ධය?

• කාමුක දර්ශන නැරඹීමේ ඇති අනතුර?

• “ඇස වෙනතකට යොමු නොකර” තබාගැනීමේ වැදගත්කම?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතු වැදගැම්මකට නැති දේවල් මොනවාද?