Skip to content

පටුනට යන්න

අසනීපයෙන් සිටින පවුලේ කෙනෙකුව රැකබලා ගනිමින් දෙවි සමඟ මිත්‍රත්වය රැක ගන්න

අසනීපයෙන් සිටින පවුලේ කෙනෙකුව රැකබලා ගනිමින් දෙවි සමඟ මිත්‍රත්වය රැක ගන්න

අසනීපයෙන් සිටින පවුලේ කෙනෙකුව රැකබලා ගනිමින් දෙවි සමඟ මිත්‍රත්වය රැක ගන්න

අයර්ලන්තයේ ජීවත් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වන කිම්ට කොඳු ඇට පේළියේ පිළිකාවක් තිබෙන බව සොයාගත්තා. ඉන්පසු සිදු වූ දේ ගැන ඇගේ ස්වාමිපුරුෂයා ස්ටීව් මෙසේ පවසනවා. “කිම්ගේ පිළිකාව ඉවත් කළාට පස්සේ ඇයට විකිරණ ප්‍රතිකාරය ලබා දුන්නා. ඊට පස්සේ එයා දුර්වල වුණ නිසා එයාට ඇවිදින්න අමාරු වුණා.” *

තමාගේ ආදරණීය බිරිඳ දරුණු රෝගයක් නිසා දුක් විඳිනවා දකින විට ස්ටීව්ට දැනුණු වේදනාව ඔබට සිතාගත හැකිද? සමහරවිට ඔබේ පවුලේ සාමාජිකයෙක් යම් බරපතළ රෝගයකින් හෝ මහලු වයස නිසා ඇති වන දුර්වලතාවකින් දුක් විඳිනවා ඇති. (දේශ. 12:1-7) එවැනි කෙනෙකුව හොඳින් රැකබලා ගැනීමට නම් ඔබ ගැනත් සැලකිලිමත් විය යුතු බව ඔබ දැනටමත් දන්නවා ඇති. දෙවි සමඟ ඇති ඔබේ මිත්‍රත්වය දුර්වල කරගත්තොත් ඔබ මානසිකවත් ශාරීරිකවත් දුර්වල වෙන්න පුළුවන්. එවිට ඔබේ පවුලේ සාමාජිකයාට අවශ්‍ය උපකාර ලබා දීමට ඔබට අපහසු වෙනවා. එසේනම් ක්‍රිස්තියානියෙක් ලෙස ඔබට ඇති වගකීම් සමබරව ඉටු කරමින් අසනීපයෙන් හෝ මහලු වයසේ සිටින ඔබේ පවුලේ සාමාජිකයාව රැකබලා ගැනීමට ඔබට පුළුවන් කොහොමද? ක්‍රිස්තියානි සභාවේ සිටින සාමාජිකයන්ට ඒ සඳහා යමක් කළ හැකිද?

සමබරව ක්‍රියා කරන්න

ක්‍රිස්තියානියෙක් ලෙස ඔබේ වගකීම් ඉටු කරමින් සහ ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙමින් අසනීපයෙන් සිටින තැනැත්තාව රැකබලා ගැනීමට නම් ඔබ තත්වයන්ට අනුව හැඩගැසෙන්න ඉගෙනගන්න අවශ්‍යයි. ඒ වගේම ඔබේ කාලය හා ශක්තිය නිවැරදිව භාවිත කිරීමත් වැදගත්. ඒ ගැන හිතෝපදේශ 11:2හි මෙසේ පවසනවා. “නිහතමානී අය ප්‍රඥාවන්තය.” එහි “නිහතමානී අය” කියා සඳහන් කරන්නේ තමන්ට කළ හැකි දේවලට සීමාවක් තිබෙන බව තේරුම්ගන්නා අයටයි. ඔබ ඇත්තටම කළ හැකි දේට වඩා වැඩියෙන් කරනවාද කියා තේරුම්ගැනීමට ඔබේ කාලසටහන හා වගකීම් ගැන සෝදිසි කර බැලීම වැදගත්.

ස්ටීව් එසේ ක්‍රියා කිරීමෙන් ප්‍රඥාව හා නිහතමානිකම විදහාපෙන්නුවා. ඔහු තම රැකියාවට අමතරව සභාවේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක හා සේවා අවේක්ෂක මෙන්ම රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් සේවය කළා. නමුත් ස්ටීව් මෙවැනි දෙයක් පවසනවා. “කිම්ව නොසලකා හැරලා සභාවේ වගකීම් ඉටු කරනවා කියලා ඇය කවදාවත් කිව්වේ නැහැ. නමුත් මට තේරුණා මගේ වගකීම් මට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියි කියලා. මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා මගේ තත්වය ගැන හොඳින් කල්පනා කරලා බැලුවා. ඊට පස්සේ මම තීරණය කළා සම්බන්ධීකාරක ලෙස කළ සේවයෙන් ඉවත් වෙන්න. නමුත් මම දිගටම වැඩිමහල්ලෙක් විදිහට සේවය කළා. ඒ නිසා කිම්ට වැඩි කාලයක් හා අවධානයක් දෙන්න මට පුළුවන් වුණා.”

කාලයකට පස්සේ කිම්ගේ සෞඛ්‍ය තත්වය ටිකක් හොඳ අතට හැරුණා. ඒ නිසා ස්ටීව් හා කිම් ඔවුන්ගේ වැඩකටයුතු ගැන නැවත සෝදිසි කර බැලුවා. ඉන්පසු කිම්ගේ උපකාරය ඇතුව ස්ටීව්ට නැවතත් සභාවේ කලින් කළ වගකීම් දරන්න හැකි වුණා. ඒ ගැන ස්ටීව් මෙහෙම කියනවා. “අසනීපය නිසා අපට තිබුණ සීමාව තේරුම් අරගෙන වැඩ කරන්න අපි ඉගෙනගත්තා. මට උපකාර කිරීම ගැන මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කිම් මට දුන්න සහයෝගයට මම ඇයටත් ස්තුතිවන්ත වෙනවා.”

සංචාරක සේවකයෙක් ලෙස සේවය කරන ජෙරි හා මරියාගේ අද්දැකීම දැන් අපි සලකා බලමු. තමන්ගේ මහලු දෙමාපියන්ව රැකබලා ගැනීම සඳහා ඔවුන් ඔවුන්ගේ ඉලක්ක වෙනස් කරගත්තා. ඒ ගැන මරියා මෙසේ පවසනවා. “අපි දෙන්නට මිෂනාරිවරුන් වෙන්න ආශාවක් තිබුණා. නමුත් ජෙරි පවුලේ එකම ළමයා නිසා එයාට එයාගේ අම්මවයි තාත්තාවයි බලාගන්න සිද්ධ වුණා. ඒ නිසා අපි අයර්ලන්තයේම ඉන්න තීරණය කළා. ජෙරිගේ තාත්තා රෝහලේ හිටපු කාලය පුරාම එයාට උදව් කරන්න අපිට පුළුවන් වුණේ ඒ නිසයි. පස්සේ තාත්තා මිය ගියා. දැන් අපි ජෙරිගේ අම්මාව බලාගන්නවා. ඒ වගේම එයා යන සභාවේ අය එයාට ගොඩක් උදව් කරන නිසා අපිට දිගටම සංචාරක සේවකයන් ලෙස සේවය කරන්න පුළුවන් වෙලා තියෙනවා.”

වෙනත් අයට කළ හැකි උපකාර

සභාවේ සිටින මහලු වැන්දඹුවන්ට ලබා දිය හැකි උපකාර ගැන සඳහන් කරන විට පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “යමෙකු තමාගේම අයට, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි. ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය.” තම සෙසු සහෝදරයන්ගේ ක්‍රියා ‘දෙවි ප්‍රසන්න දෙයක් ලෙස සලකන්න’ නම් ඔවුන් ඔවුන්ගේ මහලු දෙමාපියන් හා ආච්චිලා සීයලාගේ වියහියදම් දැරිය යුතු බව පාවුල් ඔවුන්ට මතක් කර දුන්නා. (1 තිමෝ. 5:4, 8) කෙසේවෙතත් එවැනි අයට සභාවේ සහෝදර සහෝදරියන්ද උපකාර කළ යුතුයි. එය ඔවුන්ගේ වගකීමක්ද වෙනවා.

ස්වීඩනයේ ජීවත් වන මහලු යුවළක් වන හෝකන් හා ඉංගර්ගේ තත්වය සලකා බලන්න. හෝකන් මෙසේ පවසනවා. “මගේ බිරිඳ ශක්තිමත්ව හා හොඳ සෞඛ්‍යයකින් හිටිය කෙනෙක් නිසා එයාට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තාම අපිට හිතා ගන්න බැරි වුණා. ඒ කාලයේදී ඉංගර්ට ගෙදරම ඉන්න සිද්ධ වුණ නිසා මටත් ගෙදර ඉඳලා ඇයව බලාගන්න සිද්ධ වුණා.” මේ යුවළට ඔවුන්ගේ සභාවේ අය උපකාර කළේ කොහොමද?

ඔවුන්ට දුරකථනය මාර්ගයෙන් රැස්වීම්වලට සවන් දීමට සභාවේ වැඩිමහල්ලන් කටයුතු කළා. ඔවුන්ව නිවසටම ගොස් හමු වීමෙන් සහ දුරකථන ඇමතුම් ලබා දීමෙන් සභාවේ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ සැප දුක් විමසුවා. ඒ වගේම ලිපි හා කාඩ් පත් මාර්ගයෙන්ද ඔවුන්ව දිරිගැන්නුවා. ඔවුන්ට ලැබුණ උපකාර ගැන හෝකන් මෙවැනි දෙයක් පවසනවා. “යෙහෝවා දෙවිගේ උපකාරයත් සහෝදර සහෝදරියන්ගේ උපකාරයත් අපිට ලැබුණා. දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ඒ විදිහටම ශක්තිමත්ව තියාගන්න අපිට ඒක අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඉංගර්ගේ තත්වය යම් දුරකට හොඳ අතට හැරුණ නිසා අපිට රාජ්‍ය ශාලාවටම ගිහිල්ලා රැස්වීම්වලට සහභාගි වෙන්න පුළුවන් වුණා.” අසනීප හා මහලු අයට උපකාර කිරීමට සභාවේ සාමාජිකයන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම කරද්දී හිතෝපදේශයෙහි සඳහන් මේ දේ සත්‍යයක් බව ඔවුන් ඔප්පු කරනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝ. 17:17.

ඔබ ගන්නා වෑයම යෙහෝවා දෙවිට වටිනවා

අසනීපයෙන් සිටින පවුලේ කෙනෙකුට උපකාර කිරීම ඉතා වෙහෙසකර දෙයක්. ඒ වුණත් දාවිත් පැවසූ ලෙස “අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය” යන කාරණය අප මතක තබාගත යුතුයි.—ගීතා. 41:1.

අසනීපයෙන් හෝ දුක් විඳිමින් සිටින කෙනෙකුට උපකාර කරන අතරතුර සන්තෝෂයෙන් සිටීමට තිබෙන හේතු මොනවාද? එවැනි අයට දෙවි ආශීර්වාද කරන බව හිතෝපදේශ 19:17හි මෙසේ පවසනවා. “දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.” අසනීපයෙන් සිටින කෙනෙකුට කාරුණිකව සලකන අය යම් අසීරුතා හෝ විපත්වලට මුහුණ දෙන විට යෙහෝවා දෙවි ඔවුන්ට උපකාර කරන බව ස්ථිරයි. ඒ වගේම අසනීපයක් නිසා දුක් විඳින තම විශ්වාසවන්ත සේවකයන් ගැන යෙහෝවා දෙවි විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ ගැන දාවිත් මෙසේ පැවසුවා. “අසනීපව යහනේ සිටින විට යෙහෝවා දෙවි [එවැනි කෙනෙකුට] පිළිසරණක් වනු ඇත. දෙවි ඔහුව රැකබලා ගනු ඇත.”—ගීතා. 41:3.

අසනීපයෙන් සිටින පවුලේ සාමාජිකයෙකුට උපකාර කිරීමට අප ගන්නා වෑයම දෙවි දකින බවත් ඊට ඔහු සතුටු වන බවත් දැන සිටීම අපට මොන තරම් සතුටක් ගෙන දෙනවාද! එවැනි කෙනෙකුට උපකාර කිරීමට අප යම් පරිත්‍යාගයක් කළ යුතු වුණත් “එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු” වන බව බයිබලයේ අපට සහතික කරනවා.—හෙබ්‍රෙ. 13:16.

[පාදසටහන]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

[18වන පිටුවේ පින්තූර]

දෙවි සමඟ මිත්‍රත්වය ශක්තිමත්ව තබාගන්න. අන් අයගේ උපකාර පිළිගන්න