Skip to content

පටුනට යන්න

දෙවිට දුක් නොදෙන්න

දෙවිට දුක් නොදෙන්න

දෙවිට දුක් නොදෙන්න

‘දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න. මන්ද ඔබව මුද්‍රා කර තිබෙන්නේ ඒ බලයෙනි.’—එෆී. 4:30.

1. යෙහෝවා දෙවි මිලියන ගණනකට ලබා දී තිබෙන අවස්ථාව කුමක්ද? ඔවුන්ට තිබෙන වගකීම කුමක්ද?

යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් තමා වෙතට ළං වීමට යෙහෝවා දෙවි මේ දුෂ්ට ලෝකයේ සිටින මිලියන ගණනක් මිනිසුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. එය දෙවි කර තිබෙන ඉතා ප්‍රේමණීය දෙයක්. (යොහ. 6:44) ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පිළිගෙන ඔහුට කැප වී සිටිනවා නම් ඔබත් ඒ අය අතරින් කෙනෙක්. එමෙන්ම ඒ බලයේ මඟ පෙන්වීමට එකඟව ජීවත් වීමේ වගකීමද ඔබට තිබෙනවා.—මතෙ. 28:19.

2. අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

2 ‘අපගේ ජීවිත තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දෙන’ විට අප අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නවා. (ගලා. 6:8; එෆී. 4:17-24) නමුත් අප දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කළොත් දෙවිට දුක් දිය හැකි බව පාවුල් පැවසුවා. (එෆීස 4:25-32 කියවන්න.) දැන් අපි ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න සලකා බලමු. දෙවිට දුක් නොදෙන්න කියා පාවුල් පැවසුවේ ඇයි? දෙවිට කැප වූ කෙනෙක් ඔහුට දුක් දෙන්නේ කුමන ආකාරවලින්ද? දෙවිට දුක් දීමෙන් වැළකී සිටින්න අපට පුළුවන් කොහොමද?

පාවුල් අදහස් කළ දේ

3. එෆීස 4:30හි ඇති අදහස පැහැදිලි කරන්න.

3 අපි මුලින්ම එෆීස 4:30හි පාවුල් පැවසූ මේ දේ සලකා බලමු. “දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න. මන්ද ගෙවා ඇති වන්දිය මාර්ගයෙන් නිදහස ලැබෙන දවස පැමිණෙන තුරු බලා සිටින ඔබව මුද්‍රා කර තිබෙන්නේ ඒ බලයෙනි.” තම ප්‍රේමණීය සහෝදර සහෝදරියන් දෙවි සමඟ ඇති කරගෙන තිබෙන මිත්‍රත්වයට හානියක් කරගන්නවාට පාවුල් කැමති වුණේ නැහැ. මන්ද ඔවුන්ව ‘මුද්‍රා කර’ තිබුණේ යෙහෝවා දෙවිගේ බලයෙනුයි. එදා මෙන් අදත් දෙවිගේ විශ්වාසවන්ත අභිෂේක ලත් සේවකයන්ට ‘ඉදිරියේ ලැබෙන්න තිබෙන දෙයට සහතිකයක් සපයන්නේ’ නැතහොත් ඔවුන්ව මුද්‍රා කරන්නේ දෙවිගේ බලයෙනුයි. (2 කොරි. 1:22) එසේ මුද්‍රා කළ 1,44,000දෙනා දෙවිගේ උරුමය බවට පත් වන අතර ඔවුන් ස්වර්ගික ජීවිතයක් ලැබීමට සුදුසුකම් ලබනවා.—එළි. 7:2-4.

4. දෙවිට දුක් දීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

4 ක්‍රිස්තියානියෙක් දිගින් දිගටම දෙවිට දුක් දෙනවා නම් අවසානයේදී ඔහුට දෙවිගේ බලයේ උපකාරය සම්පූර්ණයෙන්ම නැති වී යා හැකියි. ඒ කාරණය සත්‍යයක් බව දාවිත් බැත්-ෂෙබා සමඟ කළ පාපයෙන් පසු පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. ඔහු පසුතැවිලි වෙමින් දෙවිට මෙසේ ආයාචනා කළා. “ඔබ ඉදිරියෙන් මාව ඉවතට නොදමන්න. ඔබේ බලය මට දිගටම ලබා දෙන්න. එය මාගෙන් ඉවත් නොකරන්න.” (ගීතා. 51:11) එසේනම් අපි සියලුදෙනාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඔහුට දුක් නොදීමට වගබලා ගත යුතුයි. මන්ද අභිෂේක ලත් අයට ස්වර්ගයේ අමරණීය ජීවිතය නමැති “ඔටුන්න” ලැබෙන්නේ ඔවුන්ට ‘මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටියොත්’ පමණයි. (එළි. 2:10; 1 කොරි. 15:53) ඒ වගේම පොළොව මත සදාකාල ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටින ක්‍රිස්තියානීන්නුත් දෙවිට විශ්වාසවන්තව සිටින්න අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ බලයේ මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. ඔවුන්ට සදාකාල ජීවිතය නමැති ඒ ත්‍යාගය ලැබෙන්නේ ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව නිසයි.—යොහ. 3:36; රෝම 5:8; 6:23.

දෙවිව දුකට පත් කරන ආකාර

5, 6. ක්‍රිස්තියානියෙක් දෙවිට දුක් දෙන්නේ කුමන ආකාරවලින්ද?

5 දෙවිට කැප වූ ක්‍රිස්තියානීන් ලෙස ඔහුට දුක් දීමෙන් වැළකී සිටින්න අපට පුළුවන්. එසේ කිරීමට නම් අප ‘දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් විය’ යුතුයි. අප එසේ ජීවත් වන විට පව්කාර ආශාවලින් හා නරක ගුණාංග විදහාපෙන්වීමෙන්ද වැළකී සිටිනවා. (ගලා. 5:16, 25, 26) එහෙත් අප ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙනවා නම් අප යම් ප්‍රමාණයකට දෙවිට දුක් දෙනවා. සමහරවිට එය අපට නොදැනීම සිදු විය හැකි අතර දෙවි පිළිකුල් කරන ක්‍රියාවල නිරත වීම දක්වා එය දුර දිග යා හැකියි.

6 එසේ දිගින් දිගටම දෙවිගේ මඟ පෙන්වීම්වලට විරුද්ධව ක්‍රියා කරනවා නම් අප ඔහුට බොහෝ සේ දුක් දෙනවා. ක්‍රිස්තියානීන් ලෙස අප හැසිරිය යුතු ආකාරයත් ඒ තුළින් දෙවිට දුක් නොදී සිටිය හැකි ආකාරයත් එෆීස 4:25-32 දක්වා පදවලින් දැන් අපි සලකා බලමු.

දෙවිට දුක් නොදී සිටිය හැකි ආකාර

7, 8. අප ඇත්ත කතා කළ යුත්තේ ඇයි?

7 අප ඇත්ත කතා කළ යුතුයි. එෆීස 4:25හි පාවුල් මෙසේ සඳහන් කරනවා. “ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි. එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.” අප “එකම ශරීරයට අයත්” අය නිසා හිතාමතා හෝ කපටි ලෙස අපගේ සහෝදර සහෝදරින්ව මුළා නොකළ යුතුයි. එය බොරු කියනවා හා සමානයි. එලෙස ක්‍රියා කරන කිසිම කෙනෙකුට දෙවි සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීමට හැකි වන්නේ නැහැ.හිතෝපදේශ 3:32 කියවන්න.

8 අන් අයව මුළා කරන ආකාරයෙන් කතා කරන හෝ ක්‍රියා කරන කෙනෙක් සභාවේ එකමුතුකමට බාධාවක් විය හැකියි. ඒ නිසා දානියෙල් මෙන් අප කිසිම දූෂිත ක්‍රියාවක් නොකර නිතරම අවංකව කටයුතු කළ යුතුයි. (දානි. 6:4) ඒ වගේම ස්වර්ගික බලාපොරොත්තුව ඇති ක්‍රිස්තියානීන්ට පාවුල් දුන් උපදෙස අප මතක තබාගැනීම වැදගත්. ඔහු පැවසුවේ අභිෂේක ලත් සෑම සාමාජිකයෙක්ම ‘ක්‍රිස්තුස්ගේ ශරීරයට’ අයත් නිසා ඔවුන් එකමුතුව සිටීම අවශ්‍ය බවයි. (එෆී. 4:11, 12) පාරාදීස පොළොව තුළ සදාකාල ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටින අපත් ඇත්ත කතා කළ යුතු නැද්ද! එසේ කිරීමෙන් අප ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයේ එකමුතුකමට දායක වෙනවා.

9. එෆීස 4:26, 27හි ඇති දේට එකඟව ක්‍රියා කිරීම වැදගත් ඇයි?

9 දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට හානියක් කිරීමට සාතන්ට කිසිම ඉඩක් නොදිය යුතුයි. (යාකො. 4:7) සාතන්ගේ පෙලඹීම්වලට විරුද්ධව සිටීමට දෙවි ඔහුගේ බලය තුළින් අපට උපකාර කරනවා. උදාහරණයකට අපගේ කෝපය පාලනය කිරීමෙන් අපට සාතන්ට විරුද්ධව සිටිය හැකියි. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට කිසි ඉඩක් නොදෙන්න.” (එෆී. 4:26, 27) සාධාරණ හේතුවක් නිසා අපට කෝපයක් ඇති විය හැකියි. එවැනි අවස්ථාවකදී අප ඉක්මනින්ම නිහඬ යාච්ඤාවක් කළොත් ‘කලබල නොවී’ සිටීමට අපට හැකියි. එලෙස අපව පාලනය කරගැනීමෙන් දෙවිට දුක් නොදී සිටීමට අපට හැකි වෙනවා. (හිතෝ. 17:27) අනික් අතට අප දිගටම කෝපයෙන් සිටියොත් අප ලවා නපුරු දෙයක් කිරීමට සාතන්ට හැකියි. (ගීතා. 37:8, 9) ඒ නිසා අප යේසුස්ගේ මඟ පෙන්වීම්වලට එකඟව ගැටලුවක් ඉක්මනින් විසඳාගැනීමට ක්‍රියා කරමු.—මතෙ. 5:23, 24; 18:15-17.

10, 11. අප සොරකම් කිරීමෙන් හෝ වංක ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

10 අප සොරකම් කිරීමෙන් හෝ වංකව ක්‍රියා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. සොරකම ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.” (එෆී. 4:28) දෙවිට කැප වූ ක්‍රිස්තියානියෙක් සොරකම් කළොත් එය ‘දෙවිගේ නාමයට නින්දාවක්.’ (හිතෝ. 30:7-9) දිලිඳු කෙනෙක් වුණත් තමන්ගේ දිලිඳුකම සොරකම් කිරීමට සාධාරණ හේතුවක් කර නොගත යුතුයි. ඒ නිසා දෙවිට හා අසල්වාසීන්ට ප්‍රේම කරන අප, ඕනෑම ආකාරයක සොරකමකින් වැළකී සිටීම අවශ්‍යයි.—මාක් 12:28-31.

11 පාවුල් එහිදී අපට නොකළ යුතු දේවල් ගැන පමණක් නොව අප කළ යුතු දේවල් ගැනත් සඳහන් කරනවා. අප දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් අපගේ පවුලේ අයව රැකබලා ගැනීමට හා “අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ” වෙහෙස මහන්සි වී වැඩ කරනවා. (1 තිමෝ. 5:8) යේසුස් හා ඔහුගේ නියෝජිතයන් දිලිඳු අයට යම් මුදලක් වෙන් කළා. නමුත් යූදස් ඉස්කාරියොත් එහි දැමූ මුදල් තමාගේ ප්‍රයෝජනය සඳහා සොරකම් කළා. (යොහ. 12:4-6) ඔහු දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා නොකළ බව ඉන් පැහැදිලියි. නමුත් අප දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කරන නිසා පාවුල් මෙන් “සෑම දෙයකදීම අවංකව කටයුතු” කරනවා. (හෙබ්‍රෙ. 13:18) එසේ කිරීමෙන් දෙවිට දුක් දීමෙන් වැළකී සිටිය හැකියි.

පරෙස්සම් විය යුතු තවත් පැති

12, 13. (අ) එෆීස 4:29හි සඳහන් වන ආකාරයට අප වැළකී සිටිය යුත්තේ කුමනාකාරයේ කතාබහෙන්ද? (ආ) අපගේ කතාබහ කුමනාකාර විය යුතුද?

12 කතාබහ ගැන සැලකිලිමත් වන්න. ඒ ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.” (එෆී. 4:29) පාවුල් නැවතත් අප නොකළ යුතු දේවල් ගැන පමණක් නොව අප කළ යුතු දේවල් ගැනත් සඳහන් කරනවා. ඔහු පැවසූ ලෙස “සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා” කිරීමට අපට හැකි වන්නේ දෙවිගේ බලයේ උපකාරය ලැබෙන විට පමණයි. ඒ වගේම අපගේ මුවින් කිසි “අසභ්‍ය වචනයක්” පිට නොකිරීමට අප වගබලා ගත යුතුයි. “අසභ්‍ය” යන වචනය සඳහා යොදා ඇති ග්‍රීක වචනයේ මුල් අදහස “කුණු වූ” යන්නයි. නරක් වූ පලතුරු, මාලු හෝ මස් විස්තර කිරීමට යොදාගන්නේ එම වචනයයි. එවැනි කුණු වූ ආහාර අප පිළිකුල් කරනවා හා සමානව යෙහෝවා දෙවි නුසුදුසුයි කියා සලකන වචන අප පිළිකුල් කළ යුතුයි.

13 අප කතාබහ කරන ආකාරයෙන් අප වෙනස් පුද්ගලයන් බව මිනිසුන්ට දැනෙන්න අවශ්‍යයි. එසේ වීමට නම් අපගේ කතාබහ විනීත, කාරුණික හා “ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි.” (කොලො. 3:8-10; 4:6) අප අන් අය සමඟ කතා කරන විට නිතරම “යම් දිරිගන්වනසුලු දෙයක්” කතා කිරීමට උත්සාහ කරමු. ඒ සම්බන්ධයෙන් ගීතිකාකරුට තිබූ මේ හැඟීම අපට තිබිය යුතුයි. “මාගේ පර්වතයද මාගේ ගැලවුම්කරුද වන යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා!”—ගීතා. 19:14.

14. එෆීස 4: 30, 31ට අනුව අප වැළකිය යුත්තේ කුමන දේවලින්ද?

14 වෛරය, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා වැනි දේවල් අපගේ ජීවිතයෙන් දුරස් කරමු. යෙහෝවා දෙවිට දුක් නොදෙන්න කියා සඳහන් කිරීමෙන් පසු පාවුල් මෙසේ ලිව්වා. “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.” (එෆී. 4:30, 31) අපට උරුම වී තිබෙන පාපය නිසා අපගේ හැඟීම් හා ක්‍රියා පාලනය කිරීමට අප දැඩි වෑයමක් දැරිය යුතුයි. අනික් අතට අප තුළ “දැඩි වෛරය, උදහස, කෝපය” වැනි නරක ගතිගුණ තිබෙනවා නම් හෝ අන් අය අපට විරුද්ධව කරන වැරදි මතක තබාගෙන අමනාපයෙන් සිටිනවා නම් අප දෙවිට දුක්දෙන බව පැවසිය හැකියි. අප සුළුවෙන් හෝ බයිබල් උපදෙස් නොසලකාහරිනවා නම් දෙවිගේ බලයට විරුද්ධව පව් කිරීමට අපව පොලඹවන නරක පුරුදු අප තුළ ඇති විය හැකියි. ඒ වගේම එහි භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමටද අපට සිදු වෙනවා.

15. කෙනෙක් අපට යම් වරදක් කළ විට අප කළ යුත්තේ කුමක්ද?

15 කාරුණික, අනුකම්පාසහගත හා සමාව දීමට කැමති අය වන්න. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.” (එෆී. 4:32) කෙනෙක් අපට විරුද්ධව කළ වරදක් නිසා අපි බොහෝ සේ වේදනාවට පත් වී සිටියත් දෙවි මෙන් ඔහුට සමාව දෙමු. (ලූක් 11:4) අපගේ සහෝදරයෙක් අප ගැන යම් නුසුදුසු දෙයක් පැවසුවා කියා සිතන්න. ගැටලුව විසඳාගැනීම අවශ්‍ය නිසා අප ඔහු සමඟ කතා කරනවා. ඔහු අවංකව ඒ ගැන කනගාටුව ප්‍රකාශ කර ඔබගෙන් සමාව ඉල්ලන විට ඔබ ඔහුට සමාව දෙනවා. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ ලෙවී කතාව 19:18හි සඳහන් මේ දෙයත් කළ යුතුයි. “පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න. ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.”

සුපරීක්ෂාකාරීව සිටින්න

16. දෙවිට දුක් නොදීමට නම් අප යම් සකස් කිරීම් කළ යුතු බව පෙන්වන උදාහරණයක් දෙන්න.

16 අප තනිවම සිටින විටත් දෙවිට දුක් දිය හැකි ක්‍රියා කරන්න පෙලඹිය හැකියි. උදාහරණයකට, කෙනෙක් ක්‍රිස්තියානීන්ට නුසුදුසු සංගීතයට සවන් දෙනවා කියා සිතන්න. නමුත් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දී ඇති බයිබලය මත පදනම් උපදෙස් නොසලකාහැරීම ගැන ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට වධ දෙන්න පටන්ගන්නවා. (මතෙ. 24:45) පසුව ඔහු තමාගේ ගැටලුව ගැන දෙවිට යාච්ඤා කර එෆීස 4:30හි ඇති පාවුල්ගේ වචන මතකයට නඟාගන්නවා. දෙවිට කිසිම ආකාරයකින් දුකක් නොදීමට අදිටන් කරගන්නා ඔහු එම සංගීතයට සවන් දීම නතර කිරීමට තීරණය කරනවා. එම සහෝදරයා ගත් වෑයමට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබෙන බව ස්ථිරයි. අපත් දෙවිට දුක් නොදී සිටීමට නම් අප ගැන නිතරම හොඳසෝදිසියකින් සිටීම වැදගත්.

17. අප සුපරීක්ෂාකාරීව සිටියේ නැත්නම් කුමක් සිදු විය හැකිද?

17 අප සුපරීක්ෂාකාරීව සිටියේ නැත්නම් වැරදි දේවලට හසු වී දෙවිට දුක් දිය හැකියි. එසේ කිරීමෙන් දෙවිව දුකට පත් කිරීමට අප කිසි කෙනෙකු කැමති නැහැ. (එෆී. 4:30) නමුත් පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන් යේසුස් බලවත් ක්‍රියා කළේ සාතන් මාර්ගයෙන් බව කියා සිටියා. ඒ තුළින් ඔවුන් “දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක එයට විරුද්ධව අපහාස” කිරීමෙන් සමාව ලැබිය නොහැකි පාපයක් කළා. (මාක් 3:22-30 කියවන්න.) අප ඔවුන් මෙන් කිසි දිනක ක්‍රියා නොකරමු!

18. අප සමාව ලැබිය නොහැකි පාපයක් කර නැති බව දැනගන්නේ කොහොමද?

18 සමාව නොලැබෙන පාපයක් කිරීමට අප කිසි දිනක කැමති නැහැ. ඒ නිසා දෙවිට දුක් නොදීම සම්බන්ධයෙන් පාවුල් දුන් අවවාදය අප නිතර මතක තබාගැනීම වැදගත්. නමුත් කෙනෙක් බරපතළ වරදක් කර තිබෙනවා කීමෙන් සෑමවිටම අදහස් කරන්නේ ඔහු සමාව නොලැබෙන පාපයක් කර තිබෙන බවද? නැහැ. ඔහු ඒ ගැන පසුතැවිලි වී, වැඩිමහල්ලන්ගේ උපකාරය ලබාගෙන තිබෙනවා නම් ඉන් පැහැදිලි වන්නේ දෙවි ඔහුට සමාව දී ඇති බවයි. නැවතත් පාපයක් කර දෙවිට දුක් දීමෙන් වැළකී සිටීමට නම් ඔහු දිගටම දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා සිටිය යුතුයි.

19, 20. (අ) අප වැළකී සිටිය යුතු සමහර දේවල් මොනවාද? (ආ) අප අදිටන් කරගත යුත්තේ කුමක් කිරීමටද?

19 දෙවි තම බලය යොදාගෙන ඔහුගේ සෙනඟගේ ප්‍රේමය, ප්‍රීතිය හා එක්සත්කම ආරක්ෂා කරනවා. (ගීතා. 133:1-3) ඒ නිසා අපි සහෝදර සහෝදරියන් ගැන ඕපාදූප කතා කිරීමෙන් හෝ දෙවිගේ බලයෙන් පත් කර තිබෙන වැඩිමහල්ලන්ව අගෞරවයට පත් වන ආකාරයෙන් කතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ කිරීමෙන් දෙවිට දුක් නොදී සිටීමට අපට හැකියි. (ක්‍රියා 20:28; යූද් 8) එමෙන්ම සහෝදර සහෝදරියන්ට එකමුතුව සිටින්නත් එකිනෙකාට ගෞරව කිරීමටත් අප උපකාර කළ යුතුයි. ඒ වගේම දෙවිගේ සෙනඟ අතර කල්ලි ඇති කිරීමෙන් අප වැළකී සිටිය යුතුයි. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඔබෙන් යමක් ඉල්ලීමට කැමැත්තෙමි. එනම් ඔබ පවසන දේවල් අතර එකඟතාවක් තිබිය යුතු බවයි. ඔබ අතර කිසි භේදයක් නොතිබිය යුතුයි. ඔබ සියලුදෙනා අතර පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි. එසේ කළ හැක්කේ එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමෙනි.”—1 කොරි. 1:10.

20 දෙවිට දුක් නොදී සිටීමට අප තුළ කැමැත්තක් තිබෙනවා නම් ඒ සඳහා අපට උපකාර කිරීමට දෙවිට හැකියාවක් තිබෙන අතර ඒ සඳහා ඔහු ඉතා ආශාවෙන්ද සිටිනවා. අප දිගටම දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කළ යුතු අතර කිසිම විටක දෙවිට දුක් නොදී සිටීමටත් අදිටන් කරගත යුතුයි. අපි දිගටම ‘දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දෙමු.’ එවිට දැනුත් අනාගතයේදීත් දෙවිගේ බලය අපට මඟ පෙන්වාවි.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• දෙවිට දුක් දීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• යෙහෝවා දෙවිට කැප වූ කෙනෙක් ඔහුට දුක් දිය හැක්කේ කොහොමද?

• දෙවිට දුක් දීමෙන් වැළකී සිටිය හැකි ආකාර මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[30වන පිටුවේ පින්තූරය]

ගැටලු ඉක්මනින්ම විසඳාගන්න

[31වන පිටුවේ පින්තූරය]

ඔබේ කතාබහ මොන වගේද?