Skip to content

පටුනට යන්න

භාර්යාව ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් විය යුත්තේ ඇයි?

භාර්යාව ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් විය යුත්තේ ඇයි?

භාර්යාව ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් විය යුත්තේ ඇයි?

‘ස්ත්‍රියගේ හිස පුරුෂයායි.’—1 කොරි. 11:3.

1, 2. (අ) මූලිකත්වය හා ඊට යටත් වීම පිළිබඳ යෙහෝවා දෙවිගේ සැලැස්ම ගැන පාවුල් පැවසුවේ කුමක්ද? (ආ) මෙම ලිපියේ අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

‘සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් කියාත් ක්‍රිස්තුස්ගේ හිස දෙවි’ කියාත් පාවුල් පැවසූ දෙයින් පැහැදිලි වන්නේ, යෙහෝවා දෙවි පිළිවෙළකට ක්‍රියා කිරීමට කැමති දෙවි කෙනෙක් බවයි. (1 කොරි. 11:3) දෙවිගේ මූලිකත්වයට යටත් වීම යේසුස් වරප්‍රසාදයක් හා ප්‍රීතියක් ලෙස සැලකූ බව අප කලින් ලිපියේ සාකච්ඡා කළා. එමෙන්ම පුරුෂයෙකුගේ හිස ක්‍රිස්තුස් බවද අප එහිදී ඉගෙනගත්තා. ඒ වගේම යේසුස් මිනිසුන් සමඟ කාරුණික, මෘදු, අනුකම්පාසහගත හා පරිත්‍යාගශීලීව ක්‍රියා කළ ආකාරයටම පුරුෂයන්ද අන් අයට, විශේෂයෙන් තමන්ගේ භාර්යාවට සැලකිය යුතු බවද අප දැනගත්තා.

2 ස්ත්‍රීන්ද මූලිකත්වයට යටත් විය යුතු බව යෙහෝවා දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ‘ස්ත්‍රියගේ හිස පුරුෂයා’ කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. දෙවිගේ ඒ සැලැස්ම ස්ත්‍රීන් සැලකිය යුත්තේ කොහොමද? ස්වාමිපුරුෂයා යෙහෝවා දෙවිට නමස්කාර නොකරන කෙනෙක් නම් එම සැලැස්ම අදාළ වෙනවාද? භාර්යාව ස්වාමිපුරුෂයාට යටත්ව සිටිනවා කීමෙන් අදහස් කරන්නේ ඇය නිතරම නිශ්ශබ්දව සිටිය යුතු බවද? තමන්ට ප්‍රශංසාව ලැබෙන ආකාරයෙන් ස්ත්‍රියකට කටයුතු කරන්න පුළුවන් කොහොමද? එම ප්‍රශ්න ගැන අපි දැන් සලකා බලමු.

“ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි”

3, 4. විවාහයේදී මූලිකත්වය පිළිබඳ සැලැස්මට යටත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

3 පවුල තුළ මූලිකත්වය මෙහෙයවිය යුත්තේ කවුද යන්න තීරණය කළේ යෙහෝවා දෙවියි. ආදම්ව නිර්මාණය කිරීමෙන් පසු දෙවි පැවසූ මේ දෙයින් එය තේරුම්ගත හැකියි. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.” ඉන්පසු දෙවි ඒවව නිර්මාණය කළා. තමාට මිත්‍රයෙක් හා සහකාරියක් ලැබීම ගැන ආදම් බොහෝ සේ සතුටු වුණ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “මේ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය.” (උත්. 2:18-24) ඒ වගේම ඔවුන් දෙදෙනාට පරිපූර්ණ දරුවන් බිහි කරමින් සදාකාලයට ජීවත් වීමේ අගනා වරප්‍රසාදයද තිබුණා.

4 නමුත් ඔවුන් දෙවිට විරුද්ධව කැරලිගැසූ නිසා ඔවුන්ට ඒ සියල්ල අහිමි වුණා. (රෝම 5:12 කියවන්න.) කෙසේවෙතත් මූලිකත්වය පිළිබඳ දෙවිගේ සැලැස්ම වෙනස් වුණේ නැහැ. භාර්යාව හා පුරුෂයා යන දෙදෙනාම එය නිවැරදිව අනුගමනය කළොත් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ හැකියි. යෙහෝවා දෙවිගේ මූලිකත්වයට යටත් වූ නිසා යේසුස් පවා “නිතරම ඔහු ඉදිරියේ සතුටින්” සිටියා. (හිතෝ. 8:30) ඇත්තයි, මිනිසාට උරුම වූ පාපය නිසා පරිපූර්ණව මූලිකත්වය මෙහෙයවීමටවත් පරිපූර්ණව ඊට යටත් වීමටවත් ඔවුන්ට හැකියාවක් නැහැ. ඒ කොහොමනමුත් දෙවි ඇති කළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ස්වාමිපුරුෂයා හා භාර්යාව තමන්ට හැකි සියල්ල කරන විට විවාහ ජීවිතය තුළ සන්තෝෂය අත් කරගත හැකියි.

5. රෝම 12:10හි ඇති උපදෙස විවාහක යුවළයන් සැලකිල්ලට ගත යුත්තේ ඇයි?

5 විවාහක යුවළක් බයිබලයේ ඇති මෙම උපදෙස අදාළ කරගැනීම ඔවුන්ගේ විවාහය සාර්ථක කරගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. “ඔබේ සහෝදර ප්‍රේමයට සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) ඒ වගේම දෙදෙනාම ‘එකිනෙකාට කරුණාව හා ඉමහත් දයානුකම්පාව පෙන්වීමටද එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දීමටද’ දැඩි වෑයමක් දැරිය යුතුයි.—එෆී. 4:32.

එක් අයෙක් දෙවිට නමස්කාර නොකරන විට

6, 7. දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයෙකුගේ මූලිකත්වයට භාර්යාව යටත් වෙද්දී ඇති විය හැකි ප්‍රතිඵල මොනවාද?

6 භාර්යාව හෝ පුරුෂයා යෙහෝවා දෙවිට නමස්කාර නොකරන පවුලක් තුළ මූලිකත්වය පිළිබඳ සැලැස්ම අදාළ වන්නේ කොහොමද? එවැනි පවුල්වල බොහෝවිට දෙවිට නමස්කාර කරන්නේ භාර්යාවයි. එවැනි අවස්ථාවකදී භාර්යාව ස්වාමිපුරුෂයාට සැලකිය යුත්තේ කොහොමද? ඊට බයිබලයේ මෙසේ පිළිතුරු දෙනවා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත.”—1 පේතෘ. 3:1, 2.

7 දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයන්ට භාර්යාව දිගටම යටත් විය යුතු බව ඉන් පැහැදිලි වෙනවා. භාර්යාව එලෙස හැසිරෙන විට ඊට හේතුව කුමක්ද කියා සොයා බැලීමට ස්වාමිපුරුෂයා පෙලඹිය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස තම භාර්යාවගේ ආගමික විශ්වාසයන් සොයා බැලීමටත් පසුව බයිබලයේ ඇති ඉගැන්වීම් පිළිගැනීමටත් ඔහු පෙලඹෙන්න පුළුවන්.

8, 9. භාර්යාවගේ ආගමික විශ්වාසයන්ට ස්වාමිපුරුෂයා විරුද්ධ වෙනවා නම් ඇය කුමක් කළ යුතුද?

8 ස්වාමිපුරුෂයා භාර්යාවගේ ආගමික විශ්වාසයන්ට විරුද්ධ වෙනවා නම් ඇය කුමක් කළ යුතුද? ඊට මුහුණ දීම මොන තරම් අසීරු කාර්යයක් වුණත් එවැනි අවස්ථාවලදීද ඇය යහපත් ගුණාංග විදහාපෙන්විය යුතු බවට බයිබලයේ දිරිගන්වා තිබෙනවා. උදාහරණයකට 1 කොරින්ති 13:4හි මෙසේ සඳහන් වෙනවා. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය.” ඒ නිසා භාර්යාවක් “නිතරම නිහතමානිකමින්, මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින්” ක්‍රියා කළ යුතුයි. (එෆී. 4:2) ඒ සඳහා දෙවිගේ බලයේ උපකාරය ලැබෙන නිසා දුෂ්කර තත්වයන් යටතේ වුණත් එසේ කිරීමට භාර්යාවන්ට හැකියි.

9 ඒ පිළිබඳව පාවුල් මෙවැනි දෙයක් සඳහන් කළා. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.” (ෆිලි. 4:13) තමන්ගේ හැකියාවෙන් පමණක් කළ නොහැකි බොහෝ දේ කිරීමට දෙවිගේ සේවකයන්ට ඔහුගේ බලය ලැබෙනවා. උදාහරණයක් ලෙස එක් පාර්ශ්වයක් රළු ලෙස ක්‍රියා කළොත් අනික් පාර්ශ්වයද එලෙසම ක්‍රියා කිරීමට පෙලඹිය හැකියි. නමුත් බයිබලයේ සියලුම ක්‍රිස්තියානීන්ට මෙවැනි උපදෙසක් දී තිබෙනවා. ‘කාටවත් නපුරට නපුර නොකරන්න. මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”’ (රෝම 12:17-19) ඒ හා සමාන අදහසක් 1 තෙසලෝනික 5:15හි මෙසේ සඳහන් වෙනවා. “කිසිවෙකුට තවත් කෙනෙකුට විරුද්ධව එකට එක කිරීමට ඉඩ නොතබන්න. එකිනෙකාටත් අන් සියලුදෙනාටත් නිතරම යහපත් වූ දේවල් කිරීමටද වගබලා ගන්න.” ඒ නිසා අපගේ හැකියාවෙන් කිරීමට නොහැකි දේවල් කිරීම සඳහා දෙවිගේ බලයේ උපකාරය ඉල්ලීම කොතරම් උචිතද!

10. තමන් සමඟ රළු ලෙස ක්‍රියා කළ හා කතා කළ අය සමඟ යේසුස් කටයුතු කළේ කොහොමද?

10 තමාට රළු ලෙස සැලකූ හා කතා කළ අය සමඟ යේසුස් ක්‍රියා කළ ආකාරය ඉතා විශිෂ්ටයි. ඒ ගැන 1 පේතෘස් 2:23හි මෙසේ සඳහන් වෙනවා. “ඔහුට නින්දා කළ විට ඔහු නින්දා කළේ නැත. වධ හිංසාවලට ලක් වූ විට ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.” ඒ නිසා අප ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීම වැදගත්. බයිබලයේ සියලුම ක්‍රිස්තියානීන්ට මෙසේද උනන්දු කර තිබෙනවා. ‘ගැඹුරු දයානුකම්පාවෙන් හා නිහතමානීව ක්‍රියා කරමින් නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකරන්න.’ එසේනම් කෙනෙක් ඔබට රළු ලෙස සැලකුවොත් ඒ ගැන කෝප නොවී සිටීමට උත්සාහ කරන්න.—1 පේතෘ. 3:8, 9.

නිතරම නිහඬව සිටිය යුතුද?

11. සමහර ස්ත්‍රීන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදය කුමක්ද?

11 ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට යටත් වීමෙන් අදහස් කරන්නේ භාර්යාව පවුලේ කාරණා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා නොකර සිටිය යුතු බවද? කොහෙත්ම නැහැ. පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද යෙහෝවා දෙවි බොහෝ වරප්‍රසාද දී තිබෙනවා. උදාහරණයකට රජවරුන් හා පූජකයන් ලෙස ක්‍රිස්තුස් යටතේ ස්වර්ගයේ සිට පොළොව පාලනය කරන 1,44,000දෙනාට ස්ත්‍රීන්ද ඇතුළත්. එය ඔවුන්ට ලැබී තිබෙන මොන තරම් ගෞරවයක්ද! (ගලා. 3:26-29) ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ස්ත්‍රීන්ටද විශේෂ කාර්යයන් පවරා තිබෙන බවයි.

12, 13. ස්ත්‍රීන් අනාවැකි පැවසූ බව අප දන්නේ කොහොමද?

12 යෙහෝවා දෙවි අනාවැකි කීමටද ස්ත්‍රීන්ව යොදාගත්තා. ඒ සම්බන්ධයෙන් යෝවෙල් 2:28, 29හි මෙසේ පවසනවා. ‘පසුව මම සියලු ජනයාට මගේ බලය නොඅඩුව දෙන්නෙමි. එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. ඒ කාලයේදී දාසදාසීන්ටද මම මගේ බලය දෙන්නෙමි.’

13 එම අනාවැකිය ඉටු වූ ආකාරය අපි දැන් සලකා බලමු. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමේ නිවසක උඩුමහලට රැස්ව සිටි යේසුස්ගේ ගෝලයන් 120දෙනාට දෙවිගේ බලය ලැබුණා. ඊට පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද ඇතුළත් වුණා. ඒ නිසා යෝවෙල්ගේ අනාවැකිය පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද අදාළ වූ බව පැවසීමට පේතෘස්ට හැකි වුණා. ඔහු පැවසුවේ මෙසේයි. ‘දැන් මේ ඉටු වී තිබෙන්නේ අනාගතවක්තෘ යෝවෙල් මාර්ගයෙන් කියනු ලැබූ දෙයයි. “දෙවි මෙසේ කියන්නේය. ‘අන්තිම දවස්වලදී මම සියලු ජනයාට මාගේ බලය ලබා දෙන්නෙමි. එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. මම මාගේ දාසයන් හා දාසීන්ට පවා ඒ දවස්වලදී මාගේ බලය ලබා දෙන්නෙමි. එවිට ඔවුහු අනාවැකි කියන්නෝය.’”’—ක්‍රියා 2:16-18.

14. ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ කාර්යයට ස්ත්‍රීන් හවුල් වුණේ කොහොමද?

14 පළමු ශතවර්ෂයේදී ශුභාරංචිය ව්‍යාප්ත කිරීම සඳහා ස්ත්‍රීන්ද විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කළා පමණක් නොව ඊට වෙනත් ආකාරවලින්ද උපකාර කළා. (ලූක් 8:1-3) උදාහරණයකට “සෙන්ක්‍රේයාය නුවරෙහි තිබෙන සභාවේ සේවය කරන” ෆීබි ගැන පාවුල් සඳහන් කළා. ඒ වගේම ඔහු සෙසු සේවකයන්ට සුබ පැතුම් යවන අවස්ථාවේදී ‘බොහෝ වෙහෙස මහන්සි වී සේවය කරන ත්‍රිෆේනා සහ ත්‍රිෆෝසා’ වැනි ස්ත්‍රීන් ගැනද සඳහන් කළා. ‘ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස බොහෝ වෙහෙස මහන්සි වී සේවය කළ ඉතා හිතවත් පර්සිස්’ ගැනද ඔහු සඳහන් කළා.—රෝම 16:1, 12.

15. වර්තමානයේදී ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ස්ත්‍රීන් හවුල් වන්නේ කොහොමද?

15 වර්තමානයේදීද ශුභාරංචිය ප්‍රකාශ කරන මිලියන හතකට වඩා වැඩි පිරිසකගෙන් බොහෝදෙනෙක් ස්ත්‍රීන්. සෑම වයස් මට්ටමක සිටින අය ඊට ඇතුළත්. (මතෙ. 24:14) ඒ අය අතර පූර්ණකාලීනව සේවය කරන අය, මිෂනාරිවරුන් හා බෙතෙල් සාමාජිකයන් සිටිනවා. දාවිත් පැවසූ මෙම වචන මොන තරම් සත්‍යයක්ද! “යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය. එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.” (ගීතා. 68:11) ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා දෙවි තම අරමුණු ඉටු කරද්දී ඊට සහය වීමට ස්ත්‍රීන් කරන කාර්යය දෙවිට බොහෝ සේ වටිනවා. ස්ත්‍රීන් මූලිකත්වයට යටත් විය යුතු බව පැවසීමෙන් ඔවුන් නිශ්ශබ්දව සිටිය යුතු බව දෙවි කොහෙත්ම අදහස් නොකළ බව ඒ සියල්ලෙන් පැහැදිලියි.

නිහඬව නොසිටි ස්ත්‍රීන් දෙදෙනෙක්

16, 17. භාර්යාව නිහඬව නොසිටිය යුතු බව සාරාගේ උදාහරණයෙන් පැහැදිලි වන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවි ස්ත්‍රීන්ට බොහෝ වරප්‍රසාද ලබා දී තිබෙනවා. එසේනම් ස්වාමිපුරුෂයන් වැදගත් තීරණ ගන්නා විට භාර්යාවගෙන් ඒ ගැන කරුණු විමසීම සුදුසු දෙයක් නොවේද? ඔවුන් එසේ කිරීම ඥානවන්ත දෙයක්. සමහර අවස්ථාවලදී භාර්යාවන් ගත් ඥානවන්ත තීරණ ගැන බයිබලයේ සඳහන් වෙනවා. එවැනි අවස්ථා දෙකක් අපි දැන් සලකා බලමු.

17 හාගර් හා ඇගේ පුතා, ඊසාක්ට ගෞරව නොකළ නිසා ඔවුන් දෙදෙනාව පිටමං කරන්න කියා සාරා ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියා. නමුත් ‘ආබ්‍රහම් ඒ ගැන දැඩි ලෙස අමනාප වුණා.’ යෙහෝවා දෙවි නම් එය සැලකුවේ වෙනස් ආකාරයටයි. දෙවි ආබ්‍රහම්ට මෙසේ පැවසුවා. “ඔබේ දාසිය හා ඇගේ පුත්‍රයා ගැන සාරා කියන දේවල් නිසා ඇය සමඟ අමනාප නොවන්න. ඇයට සවන් දෙන්න.” (උත්. 21:8-12) ආබ්‍රහම් යෙහෝවා දෙවිට කීකරු වී සාරා කියූ දේ කළා.

18. අබිගායිල් කළ ඥානවන්ත දෙය කුමක්ද?

18 නාබල්ගේ භාර්යාව වන අබිගායිල් ගැන දැන් අපි බලමු. සාවුල් රජගෙන් පලා යමින් සිටි කාලයේදී නාබල් නම් ධනවත් මිනිසාට අයත් තණබිම් අසල දාවිත් කඳවුරු බැඳගෙන සිටියා. ඒ කාලයේදී නාබල් සතු කිසි දෙයක් නොගෙන දාවිත් සහ ඔහු සමඟ සිටි අය ඒ දේවල් ආරක්ෂා කළා. නමුත් නාබල් කියන්නේ ‘කිසි කමකට නැති, හරිම මෝඩ විදිහට වැඩ කරන, ඉතා නපුරු, සැරපරුෂ කෙනෙක්.’ දාවිත් සමඟ සිටි අය ඔහුගෙන් ඉතා ගෞරවාන්විතව යම් දේවල් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔවුන්ට “බැණවැදුණා.” සිදු වූ දේ ගැන අබිගායිල් දැනගත් විට ඇය කළේ කුමක්ද? නාබල්ට කිසි දෙයක් නොකියා ඇය “රොටි දෙසියයක්ද විශාල වයින් භාජන දෙකක්ද කෑමට සූදානම් කළ බැටළුවන් පස්දෙනෙක්ද බැදපු ධාන්‍ය සෙයා මිනුම් පහක්ද වියළි මිදි කුට්ටි සියයක්ද වියළි අත්තික්කා කුට්ටි දෙසියයක්ද” දාවිත් සහ ඔහු සමඟ සිටි අයට ලබා දුන්නා. අබිගායිල් කළේ වැරදි දෙයක් නොවන බව පසුව සිදු මේ දෙයින් පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවි නාබල්ට පහර දුන්නේය. ඔහු මිය ගියේය.” පසුව දාවිත් අබිගායිල්ව විවාහ කරගත්තා.—1 සාමු. 25:3, 14-19, 23-25, 38-42.

‘ප්‍රශංසාව ලබන ස්ත්‍රිය’

19, 20. දෙවි ඉදිරියේ වැඩියෙන්ම ප්‍රශංසාව ලබන්නේ මොන වගේ ස්ත්‍රියක්ද?

19 දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කරන භාර්යාවන්ව බයිබලයේ ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. “ගුණවත් බිරිඳක්” ගැන හිතෝපදේශයේ මෙවැනි දෙයක් සඳහන් කරනවා. ‘ඇය අනර්ඝ මැණික්වලටත් වඩා අගනේය. ඇගේ ස්වාමිපුරුෂයා මුළු හදවතින්ම ඇයව විශ්වාස කරයි. ඔහුට කිසිම දෙයකින් අඩුවක් නැත. ඇගේ මුළු ජීවිත කාලය පුරාම ඇය ඔහුට යහපතක් මිස අයහපතක් නම් සිදු නොකරන්නීය. ඇය ඥානවන්තව කතා කරන්නීය. ප්‍රේමය නමැති නීතිය රකිමින් ඇය වචන හසුරුවන්නීය. ඇගේ ගෙයි වැසියන්ගේ ඕනෑ එපාකම් ගැන ඇය සෝදිසියෙන් සිටින්නීය. ඇය අලසකමින් කටයුතු කර කෑම කන්නේ නැත. ඇගේ පුත්‍රයෝ නැඟිට ඇයට ප්‍රශංසා කරති. ඇගේ ස්වාමිපුරුෂයාද නැඟිට ඇයට ප්‍රශංසා කරයි.’—හිතෝ. 31:10-12, 26-28.

20 දෙවි ඉදිරියේ වැඩියෙන්ම ප්‍රශංසාව ලබන්නේ මොන වගේ ස්ත්‍රියක්ද? ඊට හිතෝපදේශ 31:30හි මෙසේ පිළිතුරු දෙනවා. “රූමත්බව නිෂ්ඵලය. ප්‍රියමනාප පෙනුම රැවටෙනසුලුය. එහෙත් ප්‍රශංසාව ලබාගන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දක්වන කාන්තාවයි.” කෙනෙක් මූලිකත්වය පිළිබඳ යෙහෝවා දෙවිගේ සැලැස්මට කැමැත්තෙන්ම යටත් වෙනවා නම් ඔහු හෝ ඇය දෙවිට ගරුබිය දක්වනවා කියා පැවසිය හැකියි. එම මූලිකත්වය ගැන බයිබලයේ සඳහන් කරන්නේ මෙසේයි. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත් ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.”—1 කොරි. 11:3.

දෙවි ලබා දුන් ත්‍යාගයට ස්තුතිවන්ත වන්න

21, 22. (අ) විවාහය නමැති ත්‍යාගය ලබා දීම ගැන විවාහකයන් දෙවිට ස්තුති කළ යුත්තේ ඇයි? (ආ) මූලිකත්වය හා යටත්කම දැක්වීම ගැන යෙහෝවා දෙවිගේ සැලැස්මට අප ගෞරවය කළ යුත්තේ ඇයි? (17වෙනි පිටුවේ කොටුව බලන්න.)

21 දෙවිට ස්තුතිවන්ත වීමට විවාහක ක්‍රිස්තියානීන්ට බොහෝ හේතු තිබෙනවා. යුවළකට සතුටින් ජීවිතය ගත කිරීමට ඒ තුළින් හැකියාව ලැබී තිබීම ඊට එක් හේතුවක්. ඒ වගේම යුවළක් ලෙස දෙවිගේ කැමැත්ත ඉටු කිරීමට අවස්ථාව ලබා දීම ගැනද යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වන්න ඔවුන්ට හැකියි. (රූත් 1:9; මීකා 6:8) මන්ද සන්තෝෂවත් විවාහයක් සඳහා අවශ්‍ය කුමක්ද කියා හොඳින්ම දන්නේ එහි නිර්මාතෘ වන දෙවි පමණයි. ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව දේවල් කරන විට මේ අසීරු කාලයේදී වුණත් ‘යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක් මෙන්’ වෙයි. එනම් ඔබගේ විවාහ ජීවිතය ආරක්ෂා කරගත හැකියි.—නෙහෙ. 8:10.

22 තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කරන ස්වාමිපුරුෂයෙක් මූලිකත්වය මෙහෙයවන්නේ මෘදු ලෙස හා ඇය ගැන සැලකිලිමත් වෙමිනුයි. එමෙන්ම භාර්යාව ස්වාමිපුරුෂයාට ගෞරවය සහ සහයෝගය දක්වන විට ඇයට ප්‍රේම කිරීමට ඔහු නිරායාසයෙන්ම පෙලඹෙනවා. එලෙස ආදර්ශවත් විවාහ ජීවිතයක් ගත කරන විට සිදු වන වඩාත්ම වැදගත් දේ වන්නේ අපගේ දෙවි යෙහෝවාට ගෞරවය ලැබීමයි.

ඔබට මතකද?

• මූලිකත්වය හා යටත්කම දැක්වීම ගැන යෙහෝවා දෙවිගේ සැලැස්ම කුමක්ද?

• විවාහක යුවළයන් එකිනෙකාට ගෞරව කළ යුත්තේ ඇයි?

• දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයෙකුට ක්‍රිස්තියානි භාර්යාවක් සැලකිය යුත්තේ කොහොමද?

• බැරෑරුම් තීරණ ගන්නා විට පුරුෂයෙක් භාර්යාවගේ අදහස් විමසිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ කොටුව]

මූලිකත්වයට යටත් විය යුත්තේ ඇයි?

යෙහෝවා දෙවි දේවදූතයන් හා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මූලිකත්වය පිළිබඳ සැලැස්මක් ඇති කර තිබෙනවා. දෙවිට කැමැත්තෙන්ම කීකරු වෙනවාද නැද්ද කියා පෙන්වීමටත් එකමුතුව දෙවිට සේවය කිරීමටත් එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.—ගීතා. 133:1.

අභිෂේක ලත් ක්‍රිස්තියානීන් යේසුස් ක්‍රිස්තුස්ගේ මූලිකත්වයට යටත් වෙනවා. (එෆී. 1:22, 23) ඒ වගේම යේසුස්ද “තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාණන්ට යටත් වනු ඇත. එසේ කරන්නේ දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහාය.” (1 කොරි. 15:27, 28) ඒ නිසා යෙහෝවා දෙවිට කැප වූ සියලුදෙනාම සභාව තුළත් පවුල තුළත් මූලිකත්වය පිළිබඳ දෙවි ඇති කර තිබෙන සැලැස්මට යටත් වීම කොයි තරම් වැදගත්ද! (1 කොරි. 11:3; හෙබ්‍රෙ. 13:17) එසේ කරන විට යෙහෝවා දෙවිගේ අනුමැතිය හා ආශීර්වාද ලබාගැනීමට අපට හැකියි.—යෙසා. 48:17.

[13වන පිටුවේ පින්තූරය]

භාර්යාවකට යහපත් ගුණාංග විදහාපෙන්වීමට යාච්ඤාව උපකාරයක්

[15වන පිටුවේ පින්තූර]

ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට ස්ත්‍රීන් කරන කාර්යය යෙහෝවා දෙවි බොහෝ සෙයින් අගය කරනවා