Skip to content

පටුනට යන්න

මුල් ක්‍රිස්තියානීන් හා රෝමයේ දෙවිවරු

මුල් ක්‍රිස්තියානීන් හා රෝමයේ දෙවිවරු

මුල් ක්‍රිස්තියානීන් හා රෝමයේ දෙවිවරු

බිතිනියේ ආණ්ඩුකාර කනිෂ්ඨ ප්ලිනි, රෝම අධිරාජ්‍යයා වූ ට්‍රේජන්ට ලියූ ලිපියක මෙසේ සඳහන් වුණා. “ක්‍රිස්තියානීන් ලෙස චෝදනා ලැබූ අයට මම මේ වගේ දෙයක් කළා. මුලින්ම ඔවුන් ක්‍රිස්තියානීන්ද කියා අහනවා. ඔවුන් ඒක පිළිගත්තොත් දෙවෙනි හා තුන්වෙනි වතාවටත් ඔවුන්ගෙන් ඒ ප්‍රශ්නයම අහනවා. හැබැයි එහෙම අහන්නේ ඔවුන්ට තර්ජනය කරලයි. ඒ අවස්ථාවේදීත් තමන් ක්‍රිස්තියානීන් කියා ඔවුන් කිව්වොත් මම ඔවුන්ව ඝාතනය කරන්න අණ කරනවා.” අධිකරණයේදී සමහරු තමන් ක්‍රිස්තියානියෙක් නොවන බව ඔප්පු කිරීම සඳහා ක්‍රිස්තුස්ට අපහාස කරමින් එහි තබා තිබූ දෙවිවරුන්ගේ රූපවලට හා අධිරාජ්‍යයාගේ රූපයට නමස්කාර කළා. ඒ අය ගැන ප්ලිනි මෙසේ ලිව්වා. “මම ඒ අයව නිදහස් කළා.”

මුල් ක්‍රිස්තියානීන් අධිරාජ්‍යයාට හා දෙවිවරුන්ගේ රූපවලට නමස්කාර නොකළ නිසා ඔවුන්ට බොහෝ පීඩා විඳින්න සිදු වුණා. ඒ කාලයේ රෝම අධිරාජ්‍යයයේ වෙනත් ආගම්වල සිටි අයටත් එවැනි පීඩා විඳින්න සිදු වුණාද? රෝමවරු නමස්කාර කළේ කුමන දෙවිවරුන්ටද? ඔවුන් ඒ දෙවිවරුන්ව සැලකුවේ කොහොමද? රෝම දෙවිවරුන්ට පුද පූජා ඉදිරිපත් නොකළ ක්‍රිස්තියනීන්ට පීඩා කළේ ඇයි? යෙහෝවා දෙවිට දක්වන පක්ෂපාතකම සම්බන්ධයෙන් මේ කාලයේදී ඇති වන තත්වයන්වලට හොඳින් මුහුණ දීම සඳහා ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම වැදගත්.

අධිරාජ්‍යය තුළ තිබූ ආගම්

රෝම අධිරාජ්‍යය පුරාම විවිධ භාෂා කතා කරන හා සංස්කෘතීන්ට අයත් ජනයා සිටි අතර ඔවුන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කළා. රෝමවරු යුදෙව් ආගම අමුතු දෙයක් ලෙස සැලකුවා විය හැකි වුණත් ඔවුන් පිළිගත් ආගම් අතර එයද තිබුණා. ඔවුන් එය ආරක්ෂා කිරීමටද පියවර ගත්තා. එමෙන්ම යුදෙව්වන් යෙරුසලමේ දේවමාලිගාවේ දවසකට දෙවතාවක් සීසර් හා රෝමවරුන් වෙනුවෙන් බැටළුවන් දෙදෙනෙකුව හා ගවයෙකුව පූජා කළා. ඉන් පැහැදිලි වුණේ ඔවුන් රෝමයට දැක්වූ පක්ෂපාතකමයි. රෝමවරුන්ට වැදගත් වුණේ එයයි. ඒ නිසා ඒවා සිදු කරන්නේ එක දෙවි කෙනෙකුටද නැත්නම් කිහිපදෙනෙකුටද කියා දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ.

රෝම අධිරාජ්‍යයයේ විවිධ ඇදහිලි ක්‍රම තිබුණු නිසා එහි ජනයාට බොහෝ මිත්‍යා විශ්වාසයන් තිබුණා. බොහෝදෙනෙක් ග්‍රීක මිත්‍යා කතා පිළිගත් අතර පේන කීම පොදු දෙයක්ව පැවතුණා. ඒ වගේම රෝම අධිරාජ්‍යයයේ පෙරදිග ප්‍රදේශවල තිබූ ඇදහිලි ක්‍රම තුළ අමරණීයභාවය ගැන විශ්වාසය හා විවිධ වත්පිළිවෙත් මාර්ගයෙන් දෙවි දේවතාවන්ගෙන් උපකාර පැතීමේ සිරිතද තිබුණා. පසුව ඒවා අධිරාජ්‍යය පුරාම පැතිර ගියා. ඊජිප්තුවේ සෙරාෆිස් දෙවියා හා අයිසිස් දේවතාවිය ඇදහීමත් සිරියාවේ මත්ස්‍ය දේවතාවිය වන ආටාගාටිස් හා පර්සියානු හිරු දෙවියා වන මිත්‍රා ඇදහීමත් මුල් සියවසේ ප්‍රසිද්ධ ඇදහිලි ක්‍රම අතර පැවතුණා.

ඒ කාලයේ තිබූ බොරු ආගමික විශ්වාසයන් ගැන බයිබලයේ ක්‍රියා පොතේද සඳහන් කර තිබෙනවා. ඒ ගැන උදාහරණ කිහිපයක් අපි සලකා බලමු. සයිප්‍රසයේ සිටි රෝමානු ආණ්ඩුකාරවරයා මන්තර ගුරුකම් කරන යුදෙව් ජාතිකයෙක් සමඟ ඇසුරු කළා. (ක්‍රියා 13:6, 7) එක් අවස්ථාවක පාවුල් සහ බානබස් ලිස්ත්‍රාවේ සිටින විට එහි වැසියන් ඔවුන් දෙදෙනා ග්‍රීක දෙවිවරුන් වන හර්මීස් සහ සියුස් කියා සිතුවා. (ක්‍රියා 14:11-13) ඒ වගේම පේන කීමේ හැකියාවක් තිබූ තරුණියක්ව පාවුල්ට ෆිලිප්පියේදී හමු වුණා. (ක්‍රියා 16:16-18) ඒ විතරක් නෙවෙයි පාවුල් ඇතන්ස්හි වැසියන් ගැන මෙවැනි දෙයක්ද පැවසුවා. “දෙවි දේවතාවන් ගැන අන් අයට වඩා ඔබ තුළ මහත් භක්තියක් ඇති බව මට පැහැදිලියි.” “නාඳුනන දෙවි කෙනෙකුටය” කියා සඳහන් කර තිබුණ පූජාසනයක්ද ඔහු එම නගරයේදී දුටුවා. (ක්‍රියා 17:22, 23) එමෙන්ම එෆීසයේ වැසියන් ආටෙමිස් දේවතාවියට නමස්කාර කළා. (ක්‍රියා 19:1, 23, 24, 34) මෝල්ටාවේදී පාවුල්ට සර්පයෙක් දෂ්ට කළත් කිසිම අනතුරක් සිදු නොවූ නිසා එහි වැසියන් ඔහු දෙවි කෙනෙක් බව කියා සිටියා. (ක්‍රියා 28:3-6) එවැනි පසුබිමක් යටතේ ක්‍රිස්තියානීන් ජීවත් වූ නිසා ඔවුන්ගේ නමස්කාරය දූෂ්‍ය කළ හැකි දේවල් ගැන ඔවුන් ඉතා පරෙස්සම් විය යුතු වුණා.

රෝමවරුන් ඇදහූ ආගම

අධිරාජ්‍යය ව්‍යාප්ත වෙනවාත් සමඟම ඔවුන් අලුත් දෙවි දේවතාවන්ව විශ්වාස කරන්න පටන්ගත්තා. ඔවුන් සිතුවේ ඒ දෙවිවරුන් තමන් දැනටමත් නමස්කාර කරන දෙවිවරුන්ගේ වෙනත් ස්වරූපයක් බවයි. රෝමවරු අලුත් විශ්වාසයන් ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒවා තමන්ගේ ආගමට සම්බන්ධ කරගත් බව ඉන් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම එක් දෙවි කෙනෙකුට පමණක් නමස්කාර කළ යුතුයි යන අදහස රෝමයේ ආගම තුළ තිබුණේ නැහැ. ඔවුන්ට තමන් කැමති දෙවිවරුන්ට නමස්කාර කිරීමට නිදහස තිබුණා.

රෝමයේ දෙවි දේවතාවන් අතර ප්‍රධානියා වුණේ ජුපිටර්. ඔහුව හොඳම හා ශ්‍රේෂ්ඨතම තැනැත්තා යන අදහස ඇති ඔප්ටිමස් මැක්සිමස් යන නමින්ද හැඳින්නුවා. ඔහු සුළඟ, වර්ෂාව හා විදුලි කෙටීමට අධිපති දෙවියා ලෙස සැලකුවා. ජුපිටර්ගේ සහෝදරිය හා බිරිඳ වන ජුනෝ සඳට අධිපති දේවතාවිය වූ අතර ඇය කාන්තාවන්ගේ සියලු කටයුතු ගැන සැලකිලිමත් වූ බව රෝමවරු විශ්වාස කළා. ජුපිටර්ගේ දුව වන මිනර්වා අත්කම්, වෘත්තීන්, චිත්‍ර හා යුද්ධයට අධිපති දේවතාවිය වුණා.

රෝමවරු විශ්වාස කළ දෙවිවරුන්ගේ සංඛ්‍යාවට නිමක් නැති තරම්. ඔවුන් පවුලේ කාරණාවලට උපකාර ලබාගැනීම සඳහා ලාරෙස් හා පෙනටස් යන දෙවිවරුන්ව ඇදහුවා. වෙස්ටා, ලිපට අධිපති දේවතාවිය ලෙස ඔවුන් සැලකුවා. සියල්ල ආරම්භ කළ දෙවියා වුණේ මුහුණු දෙකක් සහිත යානුස් දෙවියායි. සෑම වෘත්තියකටම අධිපති දෙවි කෙනෙක්ද සිටියා. ඒ වගේම සාමය ආරක්ෂා කිරීමට සිටියේ පැක්ස් දෙවියායි. සාලුස්, සෞඛ්‍යට අධිපති දෙවියායි. නිහතමානිකම හා පවිත්‍රභාවයේ දේවතාවිය පූඩිකිත්යායි. විශ්වාසවන්තකම වෙනුවෙන් ෆිඩිස්, ධෛර්යය වෙනුවෙන් වර්ටූස් හා සතුට වෙනුවෙන් වොලප්ටාස් යන දෙවි දේවතාවන් සිටියා. රෝමවරුන් කළ සියලුම දේවල් සිදු වුණේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව කියා ඔවුන් විශ්වාස කළා. ඒ නිසා ඔවුන් කරන ඕනෑම කාර්යයක් සාර්ථක කරගැනීමට නම් ඔවුන් ඒ විෂයට අදාළ දෙවියාට යාච්ඤා, පූජා හා උත්සව පැවැත්විය යුතු වුණා.

දෙවිවරුන්ගේ කැමැත්ත කුමක්ද කියා දැනගැනීම සඳහා ඔවුන් කළ එක් දෙයක් වුණේ නිමිති බැලීමයි. ඒ සඳහා ඔවුන් සතෙකුව පූජා කළා. පසුව උගේ සිරුර තුළ ඇති කොටස් පරීක්ෂා කර බලා ඒවා හොඳ තත්වයක පැවතුණා නම් ඒ කාරණය සඳහා දෙවිවරුන්ගේ අනුමැතිය තිබුණු බව ඔවුන් සිතුවා.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ අගභාගය වන විට තමන් නමස්කාර කළ ප්‍රධාන දෙවිවරුන් ග්‍රීක දෙවිවරුන්ට සමාන බව රෝමවරු තේරුම්ගත්තා. ඒ අනුව ජුපිටර්, සියුස්ටත් ජුනෝ, හේරාටත් සමාන බව ඔවුන් පිළිගත්තා. ඒ වගේම ග්‍රීක දෙවිවරුන්ට සම්බන්ධ මිත්‍යා කතන්දරද රෝමවරුන් තමන්ගේ ආගමට සම්බන්ධ කරගත්තා. නමුත් එම කතන්දරවලින් දෙවිවරුන්ට නම් කිසිම ප්‍රශංසාවක් ලැබුණේ නැහැ. එම කතන්දරවලින් කියැවුණේ මිනිසුන් හා සමාන දුර්වලකම් ඒ දෙවිවරුන්ට තිබුණු බවයි. උදාහරණයකට එක් කතන්දරයක සියුස් ස්ත්‍රී දූෂණ කරන, දරුවන්ව අතවරයට ලක් කරන, මිනිසුන් හා දෙවිවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනෙකු ලෙස විස්තර කර තිබෙනවා. ඒ දෙවිවරු කළ ලැජ්ජාසහගත දේවල් රෝමවරු සමහර අවස්ථාවලදී රඟ දැක්වුවා. ඒ තුළින් මිනිසුන්ටත් ඒ දෙවිවරුන්ගේ පහත් ක්‍රියා අනුකරණය කරන්න දිරිගැන්වීමක් ලැබුණා.

උගත් බොහෝදෙනෙක් ඒ කතන්දර සැබෑ ඒවා කියා පිළිගත්තේ නැහැ. සමහර අය ඒවා උපමා කතා කියා පැවසුවා. ඒ නිසා යම් දෙයක් සත්‍යයයි කියා නිවැරදිව පැවසීම අපහසු දෙයක් බවට උගත් අය අතර මතයක් තිබුණා. “සත්‍යය? ඒ මොකක්ද” කියා යේසුස්ගෙන් පිලාත් ඇසුවේ ඒ නිසා විය හැකියි.—යොහ. 18:38.

අධිරාජ්‍යයාට නමස්කාර කිරීම

අධිරාජ්‍යයාට නමස්කාර කිරීම ආරම්භ වුණේ ඔගස්ටස්ගේ පාලන සමයේදියි. (ක්‍රි.පූ. 27 සිට ක්‍රි.ව. 14 දක්වා) කාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුව ඔගස්ටස්ගේ පාලන කාලයේදී සාමය හා සෞභාග්‍යය ඇති වූ නිසා නැඟෙනහිර ප්‍රදේශවල සිටි ග්‍රීක භාෂාව කතා කරන ජනයා ඔහුට ගෞරවයෙන් සැලකුවා. ඔවුන්ට දිගටම බලවත් පාලකයෙකුගේ ආරක්ෂාව අවශ්‍ය වුණා. ඒ නිසා ආගම් අතර එකමුතුකම මෙන්ම ජනයා තුළ රටට ආදරයක් ඇති කළ හැකි හා මුළු ලෝකයම එක්සත් කළ හැකි ආණ්ඩුවකට ඔවුන් කැමැත්තක් දැක්වුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යයාව දේවත්වයෙන් සලකන්න පටන්ගත්තා.

ඔගස්ටස් නමස්කාරය ලබාගැනීමට කැමති වුණේ නැතත් ඔහු මිය ගිය පසු ඔහුව දෙවි කෙනෙක් ලෙස සැලකුවා. ඒ වුණත් ඔහු ජීවත්ව සිටි කාලයේදී රෝමය දේවතාවියක් බවට පත් කළා. ඉන්පසු ඇයට රෝමා ඩියා යන නම ලබා දුන් අතර සියලුදෙනාම ඇයට නමස්කාර කළ යුතු බවටද ඔහු බල කළා. ඉන්පසු මිනිසුන් තම භක්තිය පුද කළේ අධිරාජ්‍යයාට පමණයි. ඒ වගේම අධිරාජ්‍යයා ජීවත් වූ ප්‍රදේශයට ඔවුන් විශේෂ සැලකිල්ලක්ද දැක්වුවා. පසුව එය ප්‍රාන්තවලට ව්‍යාප්ත වූ අතර ඒ තුළින් ආණ්ඩුවට පක්ෂපාත බව පෙන්වීමටද ජනයාට හැකි වුණා.

රෝමවරු දෙවි කෙනෙක් ලෙස සැලකූ මුල්ම පාලකයා වුණේ ක්‍රි.ව. 81-96 දක්වා පාලනය කළ ඩොමීෂියන් අධිරාජ්‍යයායි. ඔහුගේ පාලන කාලයේදී යුදෙව් ආගම හා ක්‍රිස්තියානි ආගම අතර වෙනස රෝමවරු හඳුනාගත් නිසා එම “අලුත්” ඇදහිලි ක්‍රමයට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුන් පෙලඹුණා. “යේසුස් ගැන සාක්ෂි දැරූ නිසා” යොහන්ව පැට්මොස් දූපතේ සිර කර තැබුවේ ඔහුගේ පාලන කාලය තුළදී විය හැකියි.—එළි. 1:9.

යොහන් එළිදරව් පොත ලියනු ලැබුවේ පැට්මොස් දූපතේ සිටියදියි. අධිරාජ්‍යයාට නමස්කාර කිරීම බහුලව සිදු වූ පර්ගමම්වලදී අන්තිපස්ව ඝාතනය කළ බව ඔහු එහි සඳහන් කරනවා. (එළි. 2:12, 13) ඒ කාලය වන විට රෝමයේ ප්‍රධාන ආගම තුළ පැවති වත්පිළිවෙත් ක්‍රිස්තියානීන් විසින් අනුගමනය කළ යුතු බවට ඔවුන් බල කළා විය හැකියි. ඒ කෙසේවෙතත් ක්‍රි. ව. 112 වන විට බිතිනියේ ක්‍රිස්තියානීන් එම වත්පිළිවෙත් අනුගමනය කළ යුතු බවට ප්ලිනි ඔවුන්ට බල කර සිටියා. ඒ බව ඔහු ට්‍රේජන්ට ලියූ ලිපියේ සඳහන් වුණා.

ප්ලිනි ප්‍රශ්න විසඳූ ආකාරය ගැන ට්‍රේජන් ඔහුට ප්‍රශංසා කරමින් ලිපියක් ලියූ අතර එහි රෝම දෙවිවරුන්ට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ ක්‍රිස්තියානීන්ව මරා දමන්න කියාද ට්‍රේජන් උපදෙස් දී තිබුණා. එහි මෙසේද සඳහන් වුණා. “කෙසේවෙතත් පුද්ගලයෙක් තමන් ක්‍රිස්තියානියෙක් බව පිළි නොගෙන ඒ වෙනුවට අපේ දෙවිවරුන්ට නමස්කාර කරමින් ඊට සාක්ෂි ලබා දුන්නොත් ඔහු පසුතැවිලි වී ඇති නිසා ඔහුට සමාව දෙන්න.”

නමස්කාරය එකම දෙවි කෙනෙකුට පමණක් ලබා දිය යුතුයි යන අදහස පිළිගැනීම රෝමවරුන්ට අමාරු දෙයක් වුණා. රෝම දෙවිවරුන්ට තනි භක්තිය අවශ්‍ය නැත්නම් ක්‍රිස්තියානීන් නමස්කාර කරන දෙවිට තනි භක්තිය දිය යුත්තේ ඇයි? රෝම දෙවිවරුන්ට නමස්කාර කිරීමෙන් පමණක් එදා පැවති ආණ්ඩුවට පක්ෂපාතභාවය පෙන්වීමට හැකි වුණා. ඒ නිසා ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන කෙනෙක් රාජද්‍රෝහියෙක් ලෙස සැලකුවා. නමුත් ඒ සඳහා බොහෝ ක්‍රිස්තියානීන්ව නම්මාගැනීමට ප්ලිනිට හැකි වුණේ නැහැ. මන්ද ක්‍රිස්තියානීන් සිතුවේ ඔවුන් එසේ කළොත් එය යෙහෝවා දෙවිට අවිශ්වාසවන්ත වීමක් බවයි. ඒ නිසා ඔවුන් රෝම අධිරාජ්‍යයාට නමස්කාර කරනවාට වඩා මිය යෑමට කැමති වුණා.

ඉහත කරුණු ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි? වර්තමානයේදී සමහර රටවල සිටින ජනයාගෙන් එම රටේ ජාතික සංකේතවලට නමස්කාර කිරීම බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තියානීන් වන අපි ආණ්ඩුවට යටත් වන බව ඇත්තයි. (රෝම 13:1) කෙසේවෙතත් ජාතික කොඩිය සම්බන්ධ කර ඇති ඕනෑම උත්සවයකදී අප දෙවිට පමණක් නමස්කාර කිරීමට දී ඇති උපදෙස පිළිපදිනවා. ඒ වගේම අප “රූප වන්දනාවෙන් පලා දුවන්න” සහ “දේවතා රූපවලින් වැළකී සිටින්න” යන උපදෙසද පිළිපදිනවා. (1 කොරි. 10:14; 1 යොහ. 5:21; නාහු. 1:2) අප කළ යුතු දේ සම්බන්ධයෙන් යේසුස් මෙසේ පැවසුවා. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.” (ලූක් 4:8) ඒ නිසා අපි යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමට අධිෂ්ඨාන කරගනිමු.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට පමණයි

[3වන පිටුවේ පින්තූර]

මුල් ක්‍රිස්තියානීන් අධිරාජ්‍යයාට හෝ රූපවලට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළා

ඩොමිනියානු අධිරාජ්‍යයා

සියුස් දෙවියා

[හිමිකම් විස්තර]

Emperor Domitian: Todd Bolen/​Bible Places.com; Zeus: Photograph by Todd Bolen/​Bible Places.com, taken at Archaeological Museum of Istanbul

[4වන පිටුවේ පින්තූරය]

ආටෙමිස් දේවතාවියට නමස්කාර කිරීම එෆීසයේ සිටි ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කළා.—ක්‍රියා 19:23-41