Skip to content

පටුනට යන්න

වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න

වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න

වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න

ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් තම ශරීරය සමබරව තබාගෙන ක්ෂණිකව ඉරියව් වෙනස් කරන ආකාරය ඔබ දැක තිබෙනවාද? එවැනි දෙයක් කිරීමට ඔහුට හැකි වන්නේ ඔහු ලබා ඇති පුහුණුව නිසයි. ඒ හා සමානව අපත් අපගේ වටහාගැනීමේ හැකියාව භාවිත කරමින් හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට නම් පුහුණු විය යුතු බව බයිබලයේ පවසනවා.

ඒ සම්බන්ධයෙන් පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. “ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.” (හෙබ්‍රෙ. 5:14) පාවුල් එහිදී සඳහන් කරන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු ඔහුගේ මාංස පේශීන් නිවැරදි ආකාරයට හසුරුවන්න පුහුණු වෙනවා හා සමානව අපත් අපගේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීම සඳහා හොඳින් පුහුණු විය යුතු බවයි. ඔහු එසේ පැවසුවේ ඇයි? අපගේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන් කොහොමද?

“ඔබ ගුරුවරුන් විය යුතුයි”

යේසුස් “මෙල්කිසදෙක් හා සමාන උත්තම පූජකයෙකු” යන කාරණය පහදා දීමේදී පාවුල් මෙසේ පැවසුවා. “[යේසුස්] ගැන අපට බොහෝ දේවල් කීමට තිබුණත් ඒ දේවල් පැහැදිලි කර දීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. මන්ද ඔබේ තේරුම්ගැනීමේ හැකියාව මොට වී තිබේ. මේ කාලයට අනුව ඔබ ගුරුවරුන් විය යුතුයි. නමුත් දෙවිගේ ශුද්ධ පණිවිඩයට අයත් මූලික දේවල් ගැන නැවතත් මුල සිටම ඔබට ඉගැන්වීමට කෙනෙකු අවශ්‍ය බව පෙනේ. ඔබට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ගන ආහාර නොව කිරිය.”—හෙබ්‍රෙ. 5:10-12.

පළමු ශතවර්ෂයේ සිටි යුදෙව් ක්‍රිස්තියානීන් ඔවුන්ගේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගත්තේ නැහැ. ඒ නිසා ඔවුන්ට ක්‍රිස්තියානීන් ලෙස දියුණු වීමටද නොහැකි වුණා. උදාහරණයකට මෝසෙස්ට ලබා දුන් නීතිය හා චර්මච්ඡේදනය ගැන ඔවුන්ට ලැබුණු අලුත් තොරතුරු පිළිගැනීමට ඔවුන් අකමැති වුණා. (ක්‍රියා 15:1, 2, 27-29; ගලා. 2:11-14; 6:12, 13) තවත් අයට සබත් දවස හා සමඟි කිරීමේ දවස වෙනුවෙන් කළ චාරිත්‍රවලට හවුල් නොවී සිටීම අපහසු වුණා. (කොලො. 2:16, 17; හෙබ්‍රෙ. 9:1-14) ඒ නිසා පාවුල් ඔවුන්ට උනන්දු කළේ හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට හා “අවබෝධයෙන් ක්‍රියා කරන අය” බවට පත් වීම සඳහා ඔවුන්ගේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න කියායි. (හෙබ්‍රෙ. 6:1, 2) පාවුල්ගේ වදන් එදා සිටි සමහර අයට ඔවුන්ගේ වටහාගැනීමේ හැකියාව භාවිත කරන ආකාරය ගැන සිතා බැලීමට පොලඹවන්න ඇති. ඒ වගේම දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමටද එය ඔවුන්ට උපකාරයක් වෙන්න ඇති.

වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න

අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙක් වීම සඳහා අපගේ වටහාගැනීමේ හැකියාව දියුණු කිරීමට නම් අප එය ‘භාවිත කළ’ යුතු බව පාවුල් පැවසුවා. එවිට අපට හරි වැරැද්ද නිවැරදිව හඳුනාගත හැකියි.

මහාචාර්යවරයෙක් හා මනෝවෛද්‍යවරයෙක් වන ජෝන් රාටේ මෙවැනි දෙයක් පවසනවා. “ඔබේ මොළය මාංස පේශියක් හා සමාන නිසා එයට අවශ්‍ය ව්‍යායාම් ලබා දිය යුතුයි.” ජෝජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙක් වන ගෙන් කොහෙන් ඒ ගැන මෙවැනි දෙයක් පවසනවා. “අපි වැඩියෙන් කල්පනා කරද්දී මොළයේ ඇති ස්නායු අලුත් උපාගම (ස්නායු සෛල සම්බන්ධකයන්) ඇති කරනවා.”

අප බයිබලය අධ්‍යයනය කර ඒ පිළිබඳ දැනුම තව තවත් වැඩි කරගන්නා විට අප කරන්නේ මොළයට ව්‍යායාම් ලබා දීමක්. එවිට අපගේ වටහාගැනීමේ හැකියාව දියුණු වෙනවා. එමගින් ‘දෙවිගේ සම්පූර්ණ කැමැත්ත’ වඩාත් හොඳින් ඉටු කිරීමට අපට හැකියාව ලැබෙනවා.—රෝම 12:1, 2.

‘ගන ආහාරවලට’ ආශාවක් ඇති කරගන්න

අප “අවබෝධයෙන් ක්‍රියා කරන අය” වීමට කැමති නම් අපගෙන්ම මෙසේ අසාගැනීම අවශ්‍යයි. ‘මම බයිබලයේ ඇති දේවල් ගැන මා සතු දැනුම වැඩි කරගන්නවාද? අන් අය මාව සලකන්නේ මම බයිබල් ප්‍රමිතිවලට එකඟව කටයුතු කරන ක්‍රිස්තියානියෙක් ලෙසද?’ සාමාන්‍යයෙන් මවක් තමාගේ දරුවා ළදරු අවධියේ සිටින විට ඔහුට කිරි හා ළදරු ආහාර දෙනවා. නමුත් වසර කිහිපයක් ගත වූ පසු දරුවා ගන ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත්නම් මව ඒ ගැන මොන තරම් සැලකිලිමත් වෙනවාද! ඒ වගේම අප සමඟ බයිබලය පාඩම් කරන කෙනෙක් බව්තීස්ම වීම දක්වා දියුණු වෙනවා දකින විට අපට එය ලොකු සතුටක්. නමුත් ඔහු එතැන් සිට දියුණු වීමට උත්සාහයක් ගන්නේ නැත්නම් එය මොන තරම් කනගාටුවට හේතුවක් වෙයිද! (1 කොරි. 3:1-4) ඉන් පැහැදිලි වන්නේ තම ශිෂ්‍යයාත් දවසක ගුරුවරයෙක් වෙනවා දැකීම ගුරුවරයාගේ ආශාව බවයි.

යම් දෙයක් ගැන නිවැරදි අවබෝධය ලබාගැනීමට නම් ඒ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. (ගීතා. 1:1-3) නමුත් එවැනි දෙයක් කිරීම සැමවිටම පහසු නැහැ. ඒ වුණත් අප ඒ සඳහා වෑයම් කිරීම ඉතා වැදගත්. ඒ නිසා වැඩිපුර මනස වෙහෙස වීමට අවශ්‍ය නොවන දේවල් වන රූපවාහිනිය නැරඹීමෙන් හෝ වෙනත් විනෝදාංශයක නිරත වීමෙන් වඩා වැදගත් දේවල් අතපසු නොකිරීමට වගබලා ගැනීම වැදගත්. අපගේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට නම් අප බයිබලය හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දී ඇති ප්‍රකාශන අධ්‍යයනය කළ යුතුයි. (මතෙ. 24:45-47) ඊට අමතරව අපගේ දිනපතා බයිබල් කියවීමට මෙන්ම පවුලේ නමස්කාරය සඳහාත් බයිබලයේ ඇති විවිධ විෂයන් ගැඹුරින් අධ්‍යයනය කිරීමටත් කාලය වෙන් කිරීම වැදගත්.

මෙක්සිකෝවේ සංචාරක සේවයේ හවුල් වන ජෙරොනිමොගේ අද්දැකීම සලකා බලන්න. ඔහු අලුතෙන් ලැබෙන සෑම මුරටැඹ කලාපයක්ම අධ්‍යයනය කරන අතර බිරිඳ සමඟ පවුලේ පාඩමද කරනවා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “අපි පුරුද්දක් විදිහට හැමදාම බයිබලය කියවද්දී ‘සරුසාර දේශය’ නමැති පොතත් පාවිච්චි කරනවා.” රොනාල්ඩ් දිව්‍යාණ්ඩු සේවා පාසැලේ බයිබල් කියවීමේ කොටසට අනිවාර්යයෙන්ම සූදානම් වෙන කෙනෙක්. ඔහු ඉදිරියේදී අධ්‍යයනය කිරීම සඳහා කළ යුතු දේවල් කලින්ම සැලසුම් කරනවා. එහි ඇති ප්‍රයෝජනය ගැන ඔහු මෙසේ පවසනවා. “එහෙම කරන කොට ඊළඟට අධ්‍යයනය කරන්නේ මොනවාද කියලා කලින්ම මම දන්නවා.”

ඒ හා සමානව අපත් බයිබලය කියවීමට හා අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් වෙන් කරනවාද? බයිබල් ප්‍රමිති අනුව තීරණ ගනිමින් අප අපගේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගනිමින් සිටිනවාද? (හිතෝ. 2:1-7) ඒ ආකාරයට හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට සමත් අවබෝධයෙන් ක්‍රියා කරන අය බවට පත් වීමට අපි අදිටන් කරගනිමු!

[23වන පිටුවේ පින්තූරය]

අප වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්නේ එය ‘භාවිත කිරීමෙනුයි’