Skip to content

පටුනට යන්න

සහෝදරයෙනි, අමතර වගකීම් දැරීමට උත්සාහ කරන්න!

සහෝදරයෙනි, අමතර වගකීම් දැරීමට උත්සාහ කරන්න!

සහෝදරයෙනි, අමතර වගකීම් දැරීමට උත්සාහ කරන්න!

“තම ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීමෙන් වපුරන තැනැත්තා දෙවිගෙන් සදාකාල ජීවනය නෙළාගනියි.”—ගලා. 6:8.

1, 2. මතෙව් 9:37, 38හි සඳහන් දෙය ඉටු වන්නේ කොහොමද? ඒ නිසා ඇති වී තිබෙන අවශ්‍යතාව කුමක්ද?

යේසුස් පැවසූ අනාවැකියක් දැන් පොළොව පුරාම සීඝ්‍රයෙන් ඉටුවෙමින් පවතිනවා. ඔහු පැවසුවේ මෙසේයි. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.” (මතෙ. 9:37, 38) දෙවිගේ සේවකයන් කරන එම යාච්ඤාවට ඔහු වෙන කවරදාටත් වඩා වැඩියෙන් අද දින පිළිතුරු දී තිබෙනවා. ඒ බව 2009 සේවා වසරේ ලෝක ව්‍යාප්තව සිදු වූ වර්ධනයෙන් පැහැදිලියි. පසුගිය සේවා වසරේ සභාවන් 2,031ක් වැඩි වී තිබෙන නිසා දැන් ලොව පුරා සභා 1,05,298 තිබෙනවා. ඒ වගේම එම වසර තුළ දවසකට 757දෙනෙක් බව්තීස්ම වී තිබෙනවා. වර්තමානයේ සිදු වන එම වර්ධනය ගැන දෙවිගේ සෙනඟ සදාකාලයටම කතා කරාවි.

2 එම වර්ධනයෙන් පැහැදිලි වන්නේ සභාවේ ඉගැන්වීමට හා සහෝදර සහෝදරියන්ව රැකබලා ගැනීමට සුදුසුකම් ලත් සහෝදරයන්ගේ අවශ්‍යතාවයි. (එෆී. 4:11) පසුගිය දශක ගණනාව පුරාම තම බැටළුවන් වැනි සෙනඟව රැකබලා ගැනීමට සුදුසුකම් ඇති පුරුෂයන්ව යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙනවා. ඔහු දිගටම එසේ කරයි කියා අපට ස්ථිර විය හැකියි. පවතින මේ සමාජයේ අවසාන දවස්වල දෙවිගේ සෙනඟව රැකබලා ගැනීමට ‘එඬේරුන් සත්දෙනෙක්’ සහ ‘අධිපතීන් අටදෙනෙක්’ සිටින බව මීකා 5:5හි සඳහන් වී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ දෙවිගේ සෙනඟ අතර පෙරමුණ ගෙන කටයුතු කිරීමට සුදුසුකම් ලත් සහෝදරයන් බොහෝදෙනෙක් සිටිනු ඇති බවයි.

3. දෙවිට වැඩියෙන් සේවය කිරීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

3 ඔබ බව්තීස්ම ලත් සහෝදරයෙක් නම් සභාවේ අමතර වගකීම් දැරීමට සුදුසුකම් අත් කරගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ සඳහා අවශ්‍ය වන ප්‍රධාන දෙයක් වන්නේ ‘ඔබේ ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීමයි.’ (ගලා. 6:8) එය සියලුම ක්‍රිස්තියානීන්ටද අදාළයි. ඒ නිසා ‘ඔබේ ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසින්’ ක්‍රියා නොකිරීමට අදිටන් කරගන්න. එනම් සැප පහසු ජීවිතයට, විවේකය සඳහා යොදවන කාලයට හා විනෝදාස්වාදයට ඔබ දෙවිට කරන සේවය අඩු කිරීමට ඉඩ නොදෙන්න. එසේ කරන පුරුෂයන්ට සභාවේ අමතර වගකීම් දැරීමට සුදුසුකම් අත් කරගත හැකියි. අද දින සහයක සේවකයන්ගේ හා වැඩිමහල්ලන්ගේ වැඩි අවශ්‍යතාවක් තිබෙන නිසා මෙම ලිපිය සකස් කර තිබෙන්නේ විශේෂයෙන් සහෝදරයන් වන ඔබටයි. ඒ නිසා සහෝදරයෙනි, මෙම ලිපියේ ඇති තොරතුරු ගැන දෙවිට යාච්ඤා කර, කල්පනා කිරීමට අපි ඔබට දිරිගන්වන්න කැමතියි.

සුදුසුකම් අත් කරගන්න

4, 5. (අ) බව්තීස්ම ලත් සහෝදරයන්ව දිරිගන්වා තිබෙන්නේ කුමන අමතර වගකීම් දැරීමටද? (ආ) කෙනෙකුට එය කරන්න පුළුවන් කොහොමද?

4 සහෝදරයෙකුට සභාව රැකබලා ගන්නා කෙනෙක් ලෙස සේවය කිරීමට අවශ්‍ය නම් ඔහු ඒ “යහපත් සේවය” ඉටු කිරීමට වෑයම් කළ යුතුයි. මන්ද එය ඔහුට ඉබේටම ලැබෙන්නේ නැහැ. (1 තිමෝ. 3:1) සෙසු නමස්කාරකයන්ගේ අවශ්‍යතා ගැන සැබෑ සැලකිල්ලක් දැක්වීම ඊට ඇතුළත් වෙනවා. (යෙසායා 32:1, 2 කියවන්න.) කෙනෙක් එම සේවය කිරීමට උත්සාහ කරන්නේ යහපත් චේතනාවකින් නම් ඔහු තමන්ටම ගෞරවය ලබාගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට අන් අයගේ යහපත වෙනුවෙන් සේවය කිරීමට ආශාවක් දක්වනවා.

5 කෙනෙකුට සහයක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් ලෙස සේවය කිරීමට අවශ්‍ය නම් ඔහු ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් අත් කරගැනීමට වෑයම් කළ යුතුයි. (1 තිමෝ. 3:1-10, 12, 13; තීත. 1:5-9) ඒ නිසා ඔබ දෙවිට කැප වී සිටිනවා නම් ඔබට ඔබගෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගත හැකියි. ‘මම හැකි උපරිමයෙන් දේවසේවයේ විවිධ අංගවල හවුල් වෙනවාද? එසේ කිරීමට මම අනික් අයටත් උදව් කරනවාද? සෙසු ක්‍රිස්තියානීන් ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ව ගොඩනංවන්න මම උත්සාහ කරනවාද? මම දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමට උනන්දුව දක්වන කෙනෙක් බව අන් අය දකිනවාද? රැස්වීම්වලදී මම දෙන උත්තර කොයි තරම් අර්ථවත්ද? වැඩිමහල්ලන් මට ලබා දෙන පැවරුම් මම උනන්දුවෙන් ඉටු කරනවාද?’ (2 තිමෝ. 4:5) එවැනි ප්‍රශ්න ගැන බැරෑරුම්ව සලකා බැලීම සුදුසුයි.

6. අමතර වගකීම් දැරීම සඳහා සුදුසුකම් අත් කරගැනීමට කළ යුතු තවත් දෙයක් වන්නේ කුමක්ද?

6 සභාවේ අමතර වගකීම් දැරීම සඳහා සුදුසුකම් අත් කරගත හැකි තවත් ආකාරයක් වන්නේ, ‘දෙවිගේ බලය ලබා ඇතුළාන්තයෙන්ම ශක්තිමත් පුරුෂයන් බවට පත් වීමයි.’ (එෆී. 3:16) සහයක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වීම සභාවේ වැඩිදෙනාගේ කැමැත්ත මත ලැබෙන තනතුරක් නොවෙයි. කෙනෙකුට එම වගකීම් ලැබෙන්නේ ඔහු යෙහෝවා දෙවි සමඟ ඇති මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එවැනි මිත්‍රත්වයක් ඇති කරගත හැකි එක් ආකාරයක් වන්නේ ඔබගේ ‘ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීම’ සහ ඒ තුළින් ඇති වන ගුණාංග වර්ධනය කරගැනීමයි. (ගලා. 5:16, 22, 23) අමතර වගකීම් දැරීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබෙන විට හා ඔබට ලැබෙන උපදෙස් ඔබ අදාළ කරගන්නා විට “ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.”—1 තිමෝ. 4:15.

කැප කිරීම් කරන්න අවශ්‍යයි

7. අන් අය වෙනුවෙන් සේවය කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

7 අන් අය වෙනුවෙන් සේවය කිරීමට නම් වෙහෙස වී වැඩ කරන්නත් කැප කිරීම් කරන්නත් අවශ්‍යයි. වැඩිමහල්ලන් දෙවිගේ රැළ රැකබලා ගන්නා නිසා රැළේ යම් ගැටලුවක් ඇති වූ විට ඔවුන් ඒ ගැන ඉතා සැලකිලිමත් වෙනවා. පාවුල්ට ඒ ගැන දැනුණු ආකාරය ගැන සිතා බලන්න. ඔහු කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. “මහත් කනස්සල්ලකින්ද සිත් වේදනාවකින්ද බොහෝ කඳුළු සලමින්ද මා ඔබට ලිව්වේ ඔබව දුකට පත් කිරීමට නොවේ. ඔබ සඳහා මට ඇති විශේෂ ප්‍රේමය ඔබ දැනගන්නවාට මා කැමති වූ නිසාය.” (2 කොරි. 2:4) පාවුල් තමා කළ කාර්යය මහත් කැප වීමකින් කළ බව ඉන් පැහැදිලි වෙනවා.

8, 9. අන් අයගේ අවශ්‍යතා වෙනුවෙන් පුරුෂයන් සැලකිලිමත් වූ ආකාරය පෙන්වන උදාහරණ දෙන්න.

8 දෙවිගේ සෙනඟ වෙනුවෙන් සේවය කළ පුරුෂයන් තුළ තිබූ කැපීපෙනෙන දෙයක් වුණේ කැප කිරීම් කිරීමට ඔවුන් තුළ තිබූ ආශාවයි. ඒ සම්බන්ධයෙන් මේ උදාහරණ සලකා බලන්න. ‘නැව හදලා ඉවර වුණාම මට කියන්න, එතකොට මම ඔයාලත් එක්ක යන්න එන්නම්’ කියා පවසනවා වෙනුවට නෝවා ඔහුගේ පවුලේ අය සමඟ එකතු වී කැප වීමෙන් වැඩ කළා. ඒ වගේම, ‘ඔයාලා දන්න විදිහට රතු මුහුද ළඟට එන්න. මමත් එතනට එන්නම්’ කියා මෝසෙස් පැවසුවා කියා අපට හිතන්න පුළුවන්ද? යොෂුවාද, ‘යෙරිකෝවේ තාප්ප වැටෙන කොට මට කියන්න’ කියා පැවසුවේ නැහැ. ඒ වගේම යෙසායා, ‘අර ඉන්නේ. එයාව යවන්න’ කියා පැවසුවේද නැහැ.—යෙසා. 6:8.

9 දෙවිගේ බලය තමා තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දුන් හොඳම ආදර්ශය වන්නේ යේසුස් ක්‍රිස්තුස්. මුළු මනුෂ්‍ය වර්ගයාගේම ගැලවුම්කරු ලෙස ක්‍රියා කිරීමට ඔහුට ලැබුණු පැවරුම ඔහු කැමැත්තෙන්ම පිළිගත්තා. (යොහ. 3:16) යේසුස් අප කෙරෙහි දැක්වූ ඒ ඉමහත් ප්‍රේමය නිසා ඒ හා සමාන ප්‍රේමයක් පෙන්වීමට අප තුළ පෙලඹීමක් ඇති වන්නේ නැද්ද? බොහෝ කාලයක් සේවය කළ වැඩිමහල්ලෙක් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “මාගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න කියලා යේසුස් පේතෘස්ට පැවසූ දේ මගේ හිතට තදින් කාවැදුණා. කාරුණික වචනයක් හෝ සුළු ක්‍රියාවක් කෙනෙකුට මොන තරම් දිරිගැන්වීමක් ලබා දෙනවාද කියලා මම අද්දැකීමෙන්ම දන්නවා. සහෝදර සහෝදරියන්ව හමුවෙලා ඔවුන්ව දිරිගන්වන එකෙන් මම ලොකු සතුටක් ලබනවා.”—යොහ. 21:16.

10. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට පුරුෂයෙකුව පොලඹවන්නේ කුමක්ද?

10 දෙවිගේ රැළ රැකබලා ගැනීමේදී පුරුෂයන්ට තිබිය යුත්තේ යේසුස්ට තිබූ ආශාවයි. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි.” (මතෙ. 11:28) කෙසේවෙතත් සභාවේ අමතර වගකීම් දැරීමේදී කැප කිරීම් කිරීමට සිදු වන නිසා එවැනි දෙයක් තමන්ට කළ නොහැකි බව පුරුෂයන් නොසිතිය යුතුයි. ඒ වෙනුවට දෙවි කෙරෙහි විශ්වාසයක් හා සහෝදරයන් කෙරෙහි ප්‍රේමයක් ඇති කරගැනීමෙන් අමතර වගකීම් දැරීමට ඉදිරිපත් වන්න සහෝදරයන්ට හැකියි. එසේ කිරීමට කෙනෙකුට උනන්දුවක් නැත්නම් ඔහුට කුමක් කළ හැකිද?

සේවය කිරීමට ආශාවක් ඇති කරගන්න

11. අන් අය වෙනුවෙන් සේවය කිරීමට ආශාවක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

11 ඔබට අමතර වගකීම් දැරීමට සුදුසුකම් නැහැයි කියා සිතෙනවා නම් යෙහෝවා දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරන්න. (ලූක් 11:13) මන්ද තමන්ට පරිශුද්ධ සේවය පිරිනැමීමට කෙනෙකු තුළ ආශාවක් ඇති කරන්නේ දෙවියි. ඒ නිසා ඔබට අවශ්‍ය උපකාරය ලබා දෙන්න ඔහුට හැකියි. (ෆිලි. 2:13; 4:13) එසේනම් යෙහෝවා දෙවිගෙන් උපකාරය ඉල්ලා සිටීම මොන තරම් වැදගත්ද!ගීතාවලිය 25:4, 5 කියවන්න.

12. වගකීම් නිසියාකාරව හැසිරවීමට කෙනෙකුට ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහොමද?

12 අමතර වගකීම් දැරීමේදී තමාගෙන් බොහෝ දෙවල් බලාපොරොත්තු වෙයි කියා සිතමින් කෙනෙක් එය අත් කරගැනීමට උත්සාහ නොකිරීමට ඉඩ තිබෙනවා. එසේ නැත්නම් තමන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව නොමැති බව කෙනෙකුට සිතෙන්න පුළුවන්. දෙවිගේ වචනය සහ ඒ මත පදනම් ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔහුට ප්‍රඥාව ලබාගත හැකියි. ඒ නිසා තමන්ගෙන්ම මෙසේ අසාගන්න. “මම බයිබලය අධ්‍යයනය කරන්න කාලය වෙන් කරනවාද? ප්‍රඥාව ඉල්ලා මම දෙවිට යාච්ඤා කරනවාද?” යාකොබ් මෙවැනි දෙයක් පවසනවා. “තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.” (යාකො. 1:5) ඔබ එය විශ්වාස කරනවාද? දෙවි එසේ කරන බව සලමොන්ගේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. සලමොන් කළ යාච්ඤාවට පිළිතුරක් වශයෙන් දෙවි ඔහුට “ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද ලබා” දුන්නා. ඒ නිසා විනිශ්චය කිරීමේදී හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමට ඔහුට හැකි වුණා. (1 රාජා. 3:7-14) සලමොන්ට මෙන් ආශ්චර්යවත් දෙයක් අද දින සිදු නොවෙන බව ඇත්තයි. නමුත් තම රැළ රැකබලා ගැනීමේ වගකීම දරන අයට දෙවි ප්‍රඥාව ලබා දෙන බවට නිසැක විය හැකියි.—හිතෝ. 2:6.

13, 14. (අ) ‘ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය’ පාවුල්ව පෙලඹුවේ කුමක් කිරීමටද? (ආ) එය අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?

13 අපගේ සහෝදර සහෝදරියන්ට සේවය කිරීමට අප තුළ ආශාවක් වර්ධනය කරගත හැකි තවත් ආකාරයක් වන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් අප වෙනුවෙන් කර ඇති දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමයි. උදාහරණයකට 2 කොරින්ති 5:14, 15හි (කියවන්න.) ‘ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි’ කියා සඳහන් කර තිබෙනවා. ඉන් අදහස් කරන්නේ කුමක්ද? දෙවිගේ කැමැත්තට එකඟව යේසුස් අප වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළා. යේසුස් පෙන්වූ ප්‍රේමය මොන තරම්ද කියා අවබෝධ කරගන්නා විට අන් අය වෙනුවෙන් සේවය කිරීමට අපත් පෙලඹෙනවා. යේසුස් පෙන්වූ ප්‍රේමය පාවුල්ටද ප්‍රබල බලපෑමක් ඇති කළා. ඒ නිසා ඔහු තමා ගැන පමණක් සිතා කටයුතු නොකර දෙවිටත් අන් අයටත් සේවය කිරීම ජීවිතයේ මූලික දේ කරගත්තා.

14 මිනිසුන් කෙරෙහි ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය ගැන ගැඹුරින් කල්පනා කරන විට ‘අපේ ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසින්’ ක්‍රියා කිරීම මොන තරම් නුසුදුසු දෙයක්ද කියා අප තේරුම්ගන්නවා. එවිට අපගේ ජීවිතය තුළ අවශ්‍ය වෙනස්කම් කරගෙන, දෙවි භාර දී ඇති කාර්යය ඉටු කිරීමට මුල් තැන දෙන්න අපට හැකියි. ඒ වගේම අප අපගේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන්නත් ඔවුන් “වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය” කරන්නත් පෙලඹෙනවා. (ගලාති 5:13 කියවන්න.) අප එලෙස සේවය කරන්නේ දෙවිට අයිති සෙනඟ වෙනුවෙන් බව නිතරම මතක තබාගන්නවා නම් ඔවුන්ව ගෞරවයෙන් සලකන්නත් අප පෙලඹෙනවා. ඒ වගේම සාතන්ගේ ගතිලක්ෂණයක් වන අන් අයව විනිශ්චය කිරීමෙන්ද අප වැළකී සිටිය යුතුයි.—එළි. 12:10.

පවුලේ සාමාජිකයන්ට කළ හැකි දේ

15, 16. සහෝදරයෙකුට සහයක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් ලෙස සේවය කිරීම සඳහා උපකාර කිරීමට ඔහුගේ පවුලේ අයට කුමක් කළ හැකිද?

15 විවාහක හෝ දරුවන් සිටින පුරුෂයෙකුව වැඩිමහල්ලෙක් හෝ සහයක සේවකයෙක් ලෙස පත් කිරීම සඳහා සුදුසුකම් සලකා බලන විට ඔහුගේ පවුලේ අයගේ ආදර්ශයද සලකා බලනවා. ඉන් පැහැදිලි වන්නේ ඔහුගේ පවුලේ අය නමස්කාර කටයුතුවල හවුල් වන ආකාරය හා සභාවේ අය ඔවුන් ගැන දරන ආකල්පය ඔහුගේ වගකීම් සඳහා බලපාන බවයි. එසේනම් පවුලේ අයගේ ආදර්ශය කොයි තරම් වැදගත්ද!1 තිමෝති 3:4, 5, 12 කියවන්න.

16 එලෙස පවුලේ සාමාජිකයන් එකිනෙකාට සහයෝගය දක්වන විට යෙහෝවා දෙවි ඒ ගැන ඉතා සතුටු වෙනවා. (එෆී. 3:14, 15) සභාවේ අමතර වගකීම් දරන අතරම තම පවුලේ අයව “හොඳින් හසුරුවන” පුරුෂයෙක් වීමට නම් ස්වාමිපුරුෂයා සමබරවද ක්‍රියා කළ යුතුයි. ඒ නිසා ඔහු සෑම සතියකම තම භාර්යාව හා දරුවන් සමඟ පවුලේ පාඩම කිරීම වැදගත්. එවිට සියලුදෙනාටම පවුලේ නමස්කාරය වෙනුවෙන් වෙන් කළ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකියි. ඊට අමතරව ඔහු නිතිපතා තම පවුලේ අය සමඟ දේවසේවයේ හවුල් විය යුතුයි. පවුලේ මූලිකයා ගන්නා එවැනි වෑයම්වලට අනික් සියලු සාමාජිකයන් ඔහුට සහයෝගය දැක්වීම අවශ්‍යයි.

නැවත උත්සාහ කළ හැකිද?

17, 18. (අ) අමතර වගකීම් දැරූ සහෝදරයෙක් නැවතත් එය අත් කරගන්න නම් කුමක් කළ යුතුද? (ආ) එවැනි සහෝදරයෙක් අධෛර්යයට පත් නොවී සිටීමට කළ යුත්තේ කුමක්ද?

17 ඔබ කලින් සහයක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් ලෙස සේවය කළත් දැන් එසේ නොකරනවා විය හැකියි. නමුත් ඔබ තවමත් යෙහෝවා දෙවිට ආදරෙයි. ඒ වගේම යෙහෝවා දෙවිත් ඔබට ආදරෙයි කියා අමතක කරන්න එපා. ඔහු ඇත්තෙන්ම ඔබ ගැන සැලකිලිමත් වෙනවා. (1 පේතෘ. 5:6, 7) සමහරවිට ඔබට තිබෙන යම් දුර්වලකමක් හදාගන්න කියා වැඩිමහල්ලන්ගෙන් උපදෙස් ලැබෙන්න ඇති. එසේනම් දෙවිගේ උපකාරය ඇතුව එය නිවැරදි කරගැනීමට කැමැත්තෙන් සිටින්න. ඔබට සිදු වූ දේ ගැන අමනාපයෙන් සිටිනවා වෙනුවට ඥානවන්තව කටයුතු කරන්න. ඒ වගේම නිතරම ශුභවාදීව සිතන්න. ඒ ගැන මේ උදාහරණය සලකා බලමු. වසර ගණනාවක් වැඩිමහල්ලෙක් ලෙස සේවය කළ සහෝදරයෙකුට පසුව ඉන් ඉවත් වීමට සිදු වුණා. ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “මම වැඩිමහල්ලෙක් වෙලා හිටිය කාලේ දේශනා සේවය, රැස්වීම්, බයිබලය කියවීම අතපසු කළේ නැහැ. මගේ වගකීම් අහිමි වුණාට පස්සෙත් ඒවා දිගටම කරගෙන යන්න මම අධිෂ්ඨාන කළා. ඒ වගේම මට ඒක කරන්නත් පුළුවන් වුණා. මම හිතුවේ අවුරුද්දකින් හෝ දෙකකින් ආයෙත් මට ඒ වගකීම් දරන්න පුළුවන් වෙයි කියලයි. නමුත් මට නැවත වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන්න වසර හතක් පමණ බලන් ඉන්න සිද්ධ වුණා. ඒ කාලය තුළ මම ඉවසීම ඉගෙනගත්තා. අත්හරින්නේ නැතුව සුදුසුකම් අත් කරගන්න දිගටම උත්සාහ කරන්න කියලා ලැබුණු දිරිගැන්වීම මට ලොකු උපකාරයක් වුණා.”

18 ඔබ දැන් සභාවේ අමතර වගකීම් දරන්නේ නැත්නම් ඒ ගැන අධෛර්යයට පත් වෙන්න එපා. ඔබගේ පවුලේ අයට සහ ඔබ කරන සේවයට දෙවිගේ ආශීර්වාදය ලැබෙන ආකාරය ගැන සිතන්න. ඔබගේ පවුලේ අයට දෙවි සමඟ ඇති මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්න උපකාර කරන්න. නමස්කාර කටයුතුවල උද්‍යෝගයෙන් හවුල් නොවන අයව දිරිගන්වන්න. අසනීපයෙන් සිටින අයව හමු වන්න. සියල්ලටම වඩා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස දිගටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා දෙවිට ප්‍රශංසා කිරීමට ඔබට ලැබී තිබෙන වරප්‍රසාදය අගය කරන්න. *ගීතා. 145:1, 2; යෙසා. 43:10-12.

ඔබටත් හැකිද කියා බලන්න

19, 20. (අ) සියලුම බව්තීස්ම ලත් සහෝදරයන්ට දිරිගන්වන්නේ කුමක් කිරීමටද? (ආ) අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

19 වෙන කිසි දිනකට වඩා සහයක සේවකයන් හා වැඩිමහල්ලන් ලෙස සේවය කිරීම සඳහා බොහෝ සහෝදරයන්ගේ අවශ්‍යතාවක් දැන් තිබෙනවා. ඔබ බව්තීස්ම ලත් සහෝදරයෙක් නම් අපි ඉල්ලා සිටින්නේ ඔබගේ තත්වය සෝදිසි කර බලා මෙම ප්‍රශ්නය ඔබගෙන්ම අසාගන්න කියායි. ‘මම සහයක සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් ලෙස තවමත් සේවය නොකරන්නේ ඇයි?’ ඊට සැබෑ හේතුව කුමක්ද කියා සොයාගැනීමටත් ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමටත් දෙවිගේ බලයේ උපකාරය ඉල්ලන්න.

20 සහෝදරයන් අනුන්ගේ යහපත උදෙසා ක්‍රියා කරන විට අන් අයට සේවය කිරීමෙන් හා ඔවුන්ගේ ජීවිත තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දැකීමට ඔවුන්ට හැකියි. ඒ වගේම ඉන් සභාවේ සියලුදෙනාද ප්‍රයෝජන ලබනවා. නමුත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් දීමෙන් අප වැළකී සිටිය යුතුයි. ඒ ගැන අප ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 18 ඡේ. වර්ෂ 2009 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 30-32 පිටු බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

මීකා 5:5හි ඇති අනාවැකිය තුළින් ලබා දෙන සහතිකය කුමක්ද?

• අන් අය වෙනුවෙන් සේවය කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

• අන් අයට සේවය කිරීමට ආශාවක් ඇති කරගැනීමට පුළුවන් කොහොමද?

• අමතර වගකීම් දැරීමට සහෝදරයෙකුට සහයෝගය දැක්වීමට ඔහුගේ පවුලේ අයට පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූර]

අමතර වගකීම් දැරීම සඳහා ඔබට කරන්න පුළුවන් මොනවාද?