Skip to content

පටුනට යන්න

හාරාන් පුරාණයේ ප්‍රසිද්ධ නගරයක්

හාරාන් පුරාණයේ ප්‍රසිද්ධ නගරයක්

හාරාන් පුරාණයේ ප්‍රසිද්ධ නගරයක්

හාරාන් කියන වචනය ඇසෙද්දී අපගේ මතකයට නැඟෙන්නේ දෙවිට විශ්වාසවන්තව සේවය කළ ආබ්‍රහම්වයි. ඔහු තම බිරිඳ වන සාරාද පියා වන තේරාද බෑනා වන ලොත්ද සමඟ ඌර් නගරයෙන් පිටත් වී, දෙවි පොරොන්දු කර තිබූ කානාන් දේශයට යන ගමනේදී හාරාන්වල නැවතී කාලයක් එහි ජීවත් වුණා. ඒ කාලය තුළ ආබ්‍රහම් බොහෝ ධන සම්පත් රැස් කළා. නැවතත් කානාන් දේශයට යන ගමන ඔවුන් ආරම්භ කළේ ආබ්‍රහම්ගේ පියා මිය ගියාට පසුවයි. (උත්. 11:31, 32; 12:4, 5; ක්‍රියා 7:2-4) පසු කලකදී ආබ්‍රහම් තම පුත් ඊසාක්ට බිරිඳක් සොයාගෙන එන්න කියා තම සේවකයන් අතරින් වයසින් වැඩිම සේවකයාව යැව්වේද හාරාන්වලට හෝ ඒ අසල පිහිටි ප්‍රදේශයකට විය හැකියි. ආබ්‍රහම්ගේ මුනුපුරා වන යාකොබ්ද වසර ගණනාවක් පුරා හාරාන් නගරයේ ජීවත් වුණා.—උත්. 24:1-4, 10; 27:42-45; 28:1, 2, 10.

සෙනකෙරිබ් රජ යූදාහි රජු වූ හෙසකියාට දුන් අවසාන පණිවිඩයේ තම මුතුන්මිත්තන් අල්ලාගත් විවිධ “දේශ” ගැන සඳහන් කළා. හාරාන් ඉන් එක් දේශයක්. එහිදී “හාරාන්” කියා සඳහන් කර ඇත්තේ ඒ නගරයට පමණක් නොව ඒ අවට පිහිටි මුළු ප්‍රදේශයටමයි. (2 රාජා. 19:11, 12) එසකියෙල්ගේ අනාවැකියේ පවසන පරිදි හාරාන් නගරය ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රසිද්ධ වී තිබුණා. ඉන් පැහැදිලි වන්නේ ඒ කාලයේ හාරාන් නගරය ප්‍රසිද්ධ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වූ බවයි.—එස. 27:1, 2, 23.

නවීන කාලයේ හාරාන් නගරය නැගෙනහිර තුර්කියේ ශාන්ලඌර්ෆා නගරයට ආසන්නව පිහිටි කුඩා නගරයක්. එය පුරාණයේ ප්‍රසිද්ධ නගරයක්ව පැවතුණත් දැන් එය ප්‍රසිද්ධ නගරයක් නොවෙයි. පුරාණයේ භාවිත කළ නම්වලින් තවමත් හඳුන්වන නගර තිබෙන්නේ කිහිපයක් පමණයි. ඒ අතරින් හාරාන් නගරය එකක්. ඇසිරියානු භාෂාවෙන් ඒ නම උච්චාරණය කරන්නේ කරානු කියායි. එහි අර්ථය “පාර” හෝ “තවලම්කරුවන් ගමන් කළ පාර” යන්නයි. ඉන් පැහැදිලි වන ආකාරයට ව්‍යාපාරිකයන් භාවිත කළ ප්‍රධාන පාරවල් දිව ගියේ හාරාන් නගරය හරහායි. හාරාන්වලින් සොයාගත් පුරාවස්තුවල සඳහන් වන පරිදි බැබිලෝනියේ රජ වන නැබොනිඩස්ගේ මව හාරාන්හි සඳ දෙවියන් වන සින්ගේ මාලිගාවේ ප්‍රධාන පූජකවරිය ලෙස කටයුතු කළා. නැබොනිඩස් රජ සින්ගේ මාලිගාව අලුත්වැඩියා කළ බව සමහරුන්ගේ මතයයි. ඉන්පසු ගත වූ වසර ගණනාව පුරා විවිධ අධිරාජ්‍යයන් බලයට පැමිණියත් හාරාන් නගරය දිගටම පැවතුණා.

වර්තමානයේ හාරාන් නගරය අතීතයේ තිබුණු නගරයට වඩා හුඟක් වෙනස්. අතීතයේ විවිධ කාල වකවානුවල ඒ නගරය දියුණු තත්වයක් අද්දැක්කා. නමුත් වර්තමානයේ හාරාන්හි ඇත්තේ කොතක හැඩැති නිවෙස් කිහිපයක් පමණයි. ඒ වටා පුරාණ නටබුන්ද දකින්න ලැබෙනවා. පාරාදීස පොළොවේදී ආබ්‍රහම් සාරා හා ලොත් ඇතුළු හාරාන් නගරයේ ජීවත් වූ බොහෝදෙනෙක් නැවත නැඟිටීමක් ලබනවා. එදාට අතීතයේ ඉතා ප්‍රසිද්ධ නගරයක් වූ හාරාන් නගරය ගැන තවත් තොරතුරු ඔවුන්ගෙන් දැනගන්න අපට හැකි වෙයි.

[20වන පිටුවේ පින්තූරය]

හාරාන් නගරයේ නටබුන්

[20වන පිටුවේ පින්තූරය]

කොතක හැඩය සහිත නිවෙස්

[20වන පිටුවේ පින්තූරය]

අද දින හාරාන් නගරය