Skip to content

පටුනට යන්න

ඔබේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කරන්න

ඔබේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කරන්න

ඔබේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කරන්න

“දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.”—1 තෙස. 5:11.

1. ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? අපගේ සහෝදර සහෝදරියන් මුහුණ දෙන්නේ කුමන තත්වයන්ටද?

ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වීම මොන තරම් ආශීර්වාදයක්ද! ඔබට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. එහිදී ඔබට ලැබෙන මඟ පෙන්වීම් ඔබ අදාළ කරගන්නා විට ක්‍රිස්තියානීන්ට නුසුදුසු ජීවන රටාවක් ගත කිරීමෙන් ඇති වන නරක ප්‍රතිඵලවලින් ආරක්ෂා විය හැකියි. ඒ වගේම ඔබ ගැන සැලකිලිමත් වන සැබෑ මිත්‍රයන් බොහෝදෙනෙක්ද සභාවෙන් සොයාගන්න පුළුවන්. කෙසේවෙතත් බොහෝ සහෝදර සහෝදරියන් විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. සමහරුන්ට බයිබලයේ ඇති ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමට උපකාර අවශ්‍යයි. තවත් අය අසනීප නිසා හෝ මානසික පීඩනය නිසා හෝ ඔවුන් ගත් අඥාන තීරණ නිසා දුක් විඳිනවා. අප ජීවත් වන්නේ දුෂ්ට ලෝකයක නිසා අපගේ සහෝදර සහෝදරියන් මෙන් අපටත් විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා.

2. අපගේ සහෝදර සහෝදරියන් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට අප කළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

2 පාවුල් ක්‍රිස්තියානි සභාව ශරීරයකට සමාන කරමින් මෙවැනි දෙයක් පැවසුවා. “එක අවයවයකට වේදනාවක් ඇති වන විට අන් සියලුම අවයවවලටද ඒ වේදනාව දැනේ.” ඇත්තයි අපගේ සහෝදර සහෝදරියන් දුක් විඳින විට අපට ඒ වේදනාව දැනෙනවා. (1 කොරි. 12:12, 26) ඒ නිසා ඔවුන්ට උපකාර කිරීමට අප දැඩි උත්සාහයක් දැරිය යුතුයි. සෙසු ක්‍රිස්තියානීන්ට ඇති වන ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දී ඒවා ජය ගන්න සභාවේ සිටින අය ඔවුන්ට උපකාර කළ ආකාරය ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. අප එවැනි අවස්ථා කිහිපයක් සලකා බලමු. ඒවා සලකා බලන විට යෙහෝවා දෙවිට දිගටම සේවය කිරීමට සෙසු ක්‍රිස්තියානීන්ට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් මොනවාද කියා කල්පනා කර බලන්න. ඒ තුළින් සභාව ශක්තිමත් කිරීමට ඔබටද හැකියි.

‘ඔහුව තම නිවසට ආරාධනා කළා’

3, 4. ප්‍රිසිලා සහ අකිලා අපොලොස්ට උපකාර කළේ කොහොමද?

3 අපි මුලින්ම අපොලොස් ගැන සලකා බලමු. ඔහු ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දෙවිගේ බලය ඔහු තුළ ප්‍රබලව ක්‍රියාත්මක වූ නිසා ඔහු ඉතා උද්‍යෝගයෙන් කටයුතු කළ අතර යේසුස් ගැන ඉතා නිවැරදිව කතා කරමින් හා උගන්වමින් සිටියේය. නමුත් ඔහු අවබෝධ කරගෙන සිටියේ යොහන් සිදු කළ බව්තීස්මය ගැන පමණි.” අපොලොස් ‘පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගෙන බව්තීස්ම වීම’ ගැන දැන සිටියේ නැහැ. ඊට හේතුව විය හැක්කේ ඔහුට යේසුස් ගැන තොරතුරු දැනගැනීමට ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 33ට පෙර යොහන්ගේ ගෝලයන්ගෙන් හෝ යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් විය හැකියි. අපොලොස් උද්‍යෝගයෙන් යේසුස් ගැන ඉගැන්නුවත් ඔහුට සමහර වැදගත් කාරණා ගැන අවබෝධයක් තිබුණේ නැහැ. සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීම නිසා ඔහුට ලැබුණ උපකාරය කුමක්ද?—ක්‍රියා 1:4, 5; 18:25; මතෙ. 28:19.

4 අපොලොස් යේසුස් ගැන කතා කරනවා සවන් දී සිටි ක්‍රිස්තියානි යුවළක් වන ප්‍රිසිලා සහ අකිලා ඔහුව තමන්ගේ නිවසට ආරාධනා කර, දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබා දුන්නා. (ක්‍රියා 18:24-26 කියවන්න.) ඔහුට වැඩිදුරටත් දැනගැනීමට අවශ්‍යව තිබුණේ අලුතෙන් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාව ගැන පමණයි. මේ යුවළ ඔහුව විවේචනය කරනවා යන හැඟීම ඇති නොවන ආකාරයට අපොලොස්ට කතා කළා. ඔවුන් කළේ ඉතා ප්‍රේමණීය ක්‍රියාවක්. අපොලොස්ද ඔවුන්ව අගය කළ බව ස්ථිරයි. ඔහු අලුතෙන් ඉගෙනගත් තොරතුරු නිසා ඔහුට ඇකේයාවේ සහෝදර සහෝදරියන්ට “මහත් උපකාරයක්” ලබා දීමට හැකි වුණ අතර වඩාත් හොඳින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමටද හැකි වුණා.—ක්‍රියා 18:27, 28.

5. සැබෑ ක්‍රිස්තියානීන් අන් අයට ලබා දෙන උපකාරය කුමක්ද? ඉන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

5 සභාවේ සිටින බොහෝදෙනා තමන්ට බයිබලයේ ඇති දේවල් අවබෝධ කර දුන් සහෝදර සහෝදරියන්ව බොහෝ සේ අගය කරනවා. ඔවුන් අතර සැබෑ මිත්‍රත්වයන්ද ඇති වී තිබෙනවා. එවැනි අය තුළ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති කිරීම සඳහා බයිබලයේ ඇති තොරතුරු පහදා දීමට ඔවුන්ට මාස ගණනාවක් ගත වෙන්න ඇති. නමුත් තමන් කරන්නේ ජීවිත ගලවන කාර්යයක් බව තේරුම්ගන්නා ක්‍රිස්තියානීන් ඒ සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් වී සිටිනවා. (යොහ. 17:3) කෙනෙක් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගෙන යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන විට එය ඔවුන්ට මොන තරම් ප්‍රීතියක්ද!

ඔහු “හොඳ නමක් දිනාගෙන” සිටියා

6, 7. (අ) පාවුල් තිමෝතිව මිෂනාරි ගමන්වලට හවුල් කරගත්තේ ඇයි? (ආ) තිමෝතිට ලැබුණු පුහුණුව කුමක්ද?

6 දැන් අපි තිමෝති ගැන සලකා බලමු. පාවුල් හා සීලස් ඔවුන්ගේ දෙවන මිෂනාරි ගමනේදී ලිස්ත්‍රාවට පැමිණි විට තිමෝතිව මුණගැසුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19ක් හෝ 20ක් පමණ වූවා විය හැකියි. ඔහු “ලිස්ත්‍රාවෙහි සහ ඉකෝනියෙහි සහෝදරයන් අතර හොඳ නමක් දිනාගෙන” සිටියා. ඔහුගේ මව වන යූනිස් හා ආච්චි ලොයිස් දෙවිට කැප වූ ක්‍රිස්තියානීන් වුණත් ඔහුගේ පියා යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙක් නොවෙයි. (2 තිමෝ. 1:5) වසර කිහිපයකට කලින් ලිස්ත්‍රාවට පැමිණි අවස්ථාවේදී පාවුල් මේ පවුලේ අයව දැන හඳුනා ගන්න ඇති. තම දෙවන මිෂනාරි ගමන අතරතුර තිමෝති උද්‍යෝගයෙන් දෙවිට සේවය කරමින් සිටිනවා පාවුල් දුටුවා. ඒ නිසා තිමෝති ගැන උනන්දුවක් දැක්වූ ඔහු තිමෝතිගේ සභාවේ වැඩිමහල්ලන්ගේ අනුමැතිය ඇතුව තමාගේ මිෂනාරි ගමන්වලට තිමෝතිව හවුල් කරගත්තා.ක්‍රියා 16:1-3 කියවන්න.

7 තමාට වඩා වයසින් වැඩි මේ මිතුරාගෙන් තිමෝති බොහෝ දේවල් ඉගෙනගත්තා. ඒ නිසා තමාගේ නියෝජිතයා ලෙස පාවුල්ට තිමෝතිව සභාවන් දිරිගැන්වීම සඳහා යෑවීමට හැකි වුණා. එතරම් අද්දැකීම් නොමැති, ලැජ්ජාශීලී තරුණයෙක් බව සිතිය හැකි තිමෝති, පාවුල් සමඟ ඇසුරු කළ වසර 15කට ආසන්න කාලය තුළ බොහෝ අද්දැකීම් ලබාගත්තා. ඒ නිසා ඔහුට දෙවිගේ රැළ රැකබලා ගත හැකි ප්‍රේමණීය එඬේරෙක් වීමට හැකි වුණා.—ෆිලි. 2:19-22; 1 තිමෝ. 1:3.

8, 9. සභාවේ සිටින යෞවන අයව දිරිගන්වන්න අපට පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

8 අද දිනත් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන බොහෝ යෞවන යෞවනියන් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය උපකාරයත් දිරිගැන්වීමත් ලබා දෙනවා නම් ඔවුන් වැඩියෙන් දෙවිට සේවය කිරීමට පෙලඹිය හැකියි. තිමෝති මෙන් දෙවිගේ සේවය තුළ වැඩියෙන් හවුල් වෙන්න කැමැත්තෙන් සිටින යෞවන යෞවනියන් ඔබේ සභාවෙත් සිටිනවාද? එවැනි අයට පුරෝගාමීන්, බෙතෙල් සේවකයන් හෝ සංචාරක සේවකයන් ලෙස සේවය කිරීම සඳහා ඉලක්ක තබාගෙන ඒවා අත් කරගන්න උපකාර කිරීමට ඔබට හැකියි.

9 එලෙස දිරිගැන්වීමක් ලැබූ කෙනෙක් වන මාටින්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු වසර 20ක කාලයක් පුරා බෙතෙල් සාමාජිකයෙක් ලෙස සේවය කරනවා. වසර 30කට පමණ පෙර ඔහු සංචාරක සේවකයෙක් සමඟ දේවසේවයේ යන විට ඔහු තමා ගැන පෞද්ගලික උනන්දුවක් දැක්වූ බව මාටින් පවසනවා. එම සංචාරක සේවකයා තරුණ කාලයේදී බෙතෙල් ගෘහයේ කළ සේවය ගැන ඉතා උද්‍යෝගයෙන් මාටින් සමඟ කතා කළා. එවැනි සේවයක් කිරීමට හැකිද කියා සිතා බලන ලෙස ඔහු මාටින්ව දිරිගන්වා තිබෙනවා. එම සාකච්ඡාව තමාගේ තීරණවලට ලොකු බලපෑමක් කළ බව මාටින් පවසනවා. ඔබේ සභාවේ සිටින යෞවන යෞවනියන්වත් ඔබ එලෙස දිරිගැන්නුවොත් මොන තරම් ප්‍රතිඵල ලැබිය හැකිද කියා සිතා බලන්න.

“කලකිරී සිටින අයව සනසවන්න”

10. එපෆ්‍රොදිතස්ට සිදු වුණේ කුමක්ද? එය ඔහුට බලපෑවේ කොහොමද?

10 දැන් අපි එපෆ්‍රොදිතස් ගැන සලකා බලමු. ඔහු ෆිලිප්පියේ සිට රෝමයට පැමිණියේ සිරභාරයේ සිටි පාවුල්ව මුණගැසීමටයි. එය ඉතා දුෂ්කර ගමනක්. ෆිලිප්පිවරුන් පවුල්ට දුන් තෑග්ගක් ඔහු රැගෙන ආ අතර පාවුල් සමඟ ටික කාලයකට නතර වී ඔහුට උපකාර කරන්නත් ඔහු අදහස් කරගෙන සිටියා. නමුත් එහිදී එපෆ්‍රොදිතස් “මරණාසන්න තත්වයට” පැමිණෙන තරමටම අසනීප වුණා. ඒ නිසා තම ගමන අසාර්ථක වුණු බව හැඟුණු එපෆ්‍රොදිතස් කලකිරුණා.—ෆිලි. 2:25-27.

11. (අ) එපෆ්‍රොදිතස්ට කළ යුතු උපකාරය ගැන පාවුල් පැවසුවේ කුමක්ද? (ආ) සභාවේ සිටින සමහරුන් අධෛර්යය වීම ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි?

11 එපෆ්‍රොදිතස්ට උපකාර කිරීම සඳහා ෆිලිප්පිවරුන්ට කළ හැකි දේ ගැන පාවුල් ඔවුන්ට මෙසේ ලිව්වා. “ඔබ සාමාන්‍යයෙන් ස්වාමීන්ගේ අනුගාමිකයන්ව සාදරයෙන් පිළිගන්නා ආකාරයට ඔහුවත් සාදරයෙන් පිළිගන්න. එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න. මන්ද ස්වාමීන් වෙනුවෙන් සේවය කළ ඔහු, තම ජීවිතය අනතුරේ හෙළමින් මරණයේ අබියසට පවා පැමිණියේය. එමගින් ඔබට කිරීමට නොහැකි වූ දෙයක් ඔහු මා වෙනුවෙන් කළේය.” (ෆිලි. 2:29, 30) අද දිනත් බොහෝදෙනා විවිධ හේතුන් නිසා මානසිකව පීඩා විඳිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලින් පෙන්නුම් කරන්නේ ලෝක ජනගහණයෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මානසික පීඩනයට ලක් වී ඇති බවයි. යෙහෝවා දෙවිගේ සෙනඟටත් එවැනි දේවලට මුහුණ දීමට සිදු විය හැකියි. පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි වීම, අසනීපයකට ගොදුරු වීම, තමන් අතින් වැරදි සිදු වීම වැනි දේවල් නිසා බොහෝදෙනෙක් කලකිරීමට පත් විය හැකියි.

12. කලකිරී සිටින අයව සනසවන්න අපට පුළුවන් කොහොමද?

12 අපගේ සහෝදර සහෝදරියන් කලකිරී සිටින විට අපත් ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම ලබා දිය යුතුයි. ඔවුන් සැබෑ ක්‍රිස්තියානීන් වීම සඳහා හෝ පූර්ණ කාලීනව සේවය කිරීම සඳහා සමහරවිට ඔවුන්ගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරන්න ඇති. ඔවුන් දැරූ ඒ වෑයම් අප වගේම යෙහෝවා දෙවිද බොහෝ සෙයින් අගය කරන බව ඔවුන්ට පවසන්න අපට පුළුවන්. තවත් අය අසනීප හෝ මහලු වයස නිසා කලින් කළ ප්‍රමාණයටම දැන් සේවය නොකළත් ඔවුන් කලින් කළ සේවය ගැන ඔවුන්ව අගය කරන්න අපට හැකියි. අපගේ සහෝදරයන් කුමන හේතුවක් නිසා කලකිරී සිටියත් එවැනි අයව “සනසවන්න කියාත් දුර්වල වී සිටින අයට උපකාර කරන්න කියාත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න” කියාත් යෙහෝවා දෙවි ඔහුගේ සියලුම සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.—1 තෙස. 5:14.

‘ඔහුට සමාව දී ඔහුව සනසවන්න’

13, 14. (අ) කොරින්ති සභාව ගත් බැරෑරුම් තීරණය කුමක්ද? ඒ ඇයි? (ආ) සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නිසා සිදු වුණේ කුමක්ද?

13 පළමු ශතවර්ෂයේ කොරින්ති සභාවේ සිටි පුද්ගලයෙක් දිගටම වේශ්‍යාකමේ යෙදුණු අතර ඔහුගේ ඒ ක්‍රියාකලාපය සභාව පවිත්‍රව තබාගැනීමට තර්ජනයක් වුණා. ඔහු කළ ඒ ක්‍රියාව ක්‍රිස්තියානීන් නොවූ අයව පවා පුදුමයට පත් කළා. ඒ නිසා ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කියා පාවුල් කොරින්තිවරුන්ට පැවසුවා.—1 කොරි. 5:1, 7, 11-13.

14 ඔහුට ලැබුණු හික්මවීම නිසා සභාව ආරක්ෂා වුණු අතර එම තැනැත්තාට ඔහු කළ වරද තේරුම්ගැනීමටත් ඒ ගැන පසුතැවිලි වීමටත් හැකි වුණා. ඔහුගේ පසුතැවිල්ල පෙන්වීමට අවශ්‍ය ක්‍රියා ඔහු කර තිබූ නිසා ඔහුව නැවත සභාවේ සාමාජිකයෙක් ලෙස පිළිගන්න කියා පාවුල් කොරින්තිවරුන්ට ලිවූ දෙවන ලිපියේ සඳහන් කළා. ඔහු වෙනුවෙන් තවත් දේවල් කළ යුතුව තිබුණා. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. පසුතැවිලි වූ එම තැනැත්තාට “කාරුණිකව සමාව දී ඔහුව සැනසිය යුතුයි. එසේ කළේ නැත්නම් එවැනි කෙනෙකුට දැනෙන අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් විය හැක.”2 කොරින්ති 2:5-8 කියවන්න.

15. සභා සාමාජිකයෙක් ලෙස නැවත පිළිගන්නා කෙනෙකුව අප සැලකිය යුත්තේ කොහොමද?

15 කොරින්ති සභාවේ සිදු වූ දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සභා සාමාජිකත්වයෙන් කෙනෙකුව ඉවත් කරන විට අපට දුකක් දැනෙනවා. ඔහුගේ හැසිරීම නිසා යෙහෝවා දෙවිගේ නාමයටත් ක්‍රිස්තියානි සභාවටත් නින්දාවක් සිදු වී තිබෙන්න පුළුවන්. සමහරවිට ඔහු ඒ වරද කර තිබෙන්නේ අපට විරුද්ධව විය හැකියි. ඒ කොහොමවුණත් යෙහෝවා දෙවි බයිබලයේ ලබා දී ඇති මඟ පෙන්වීම්වලට අනුව වැඩිමහල්ලන් ඒ කාරණය ගැන සොයා බැලීමෙන් පසු ඔහු පසුතැවිලි වී තිබෙන බව අවබෝධ වුණොත් ඔහුව නැවත සභා සාමාජිකයෙක් ලෙස පිළිගන්නවා. ඉන් පෙන්වන්නේ යෙහෝවා දෙවි ඔහුට සමාව දී ඇති බවයි. (මතෙ. 18:17-20) එසේනම් අපත් යෙහෝවා දෙවිව අනුකරණය කරමින් ඔහුට සමාව දිය යුතු නැද්ද? එසේ නොකර අපි ඒ තැනැත්තා සමඟ රළු ලෙස ක්‍රියා කරනවා නම් ඉන් පෙන්වන්නේ අප යෙහෝවා දෙවිට විරුද්ධ වී ඇති බවයි. ඒ වෙනුවට සභාවේ සාමය හා එක්සත්කම රැකගැනීමටත් යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගැනීමටත් අපට අවශ්‍ය නම් එවැනි කෙනෙක් වෙනුවෙන් ‘අපට තිබෙන ප්‍රේමය දැනෙන්න සලස්වන්න’ අවශ්‍යයි.—මතෙ. 6:14, 15; ලූක් 15:7.

‘ඔහු මට වටිනවා’

16. පාවුල්ට මාක් ගැන කලකිරීමක් ඇති වුණේ ඇයි?

16 අපගේ බලාපොරොත්තු කඩ කළ කෙනෙක් සමඟ අප අමනාප වීම සුදුසුද? ඒ ගැන දැනගැනීම සඳහා අපි උදාහරණයක් සලකා බලමු. පාවුල් සහ බානබස් ඔවුන්ගේ පළමු මිෂනාරි ගමනට මාක්වද රැගෙන ගියා. නමුත් හදිසියේම මාක් ඔවුන් දෙදෙනාව අත්හැර නැවත නිවසට පැමිණි නිසා ඔහු පාවුල්ගේ බලාපොරොත්තු කඩ කළා. පාවුල් ඒ ගැන බොහෝ සේ කලකිරීමට පත් වූ නිසා ඔවුන්ගේ දෙවන මිෂනාරි ගමන සඳහා මාක්ව රැගෙන යා යුතුයි කියා බානබස් පැවසූ විට ඔවුන් අතර මතභේදයක් ඇති වුණා.ක්‍රියා 13:1-5, 13; 15:37, 38 කියවන්න.

17, 18. පාවුල් හා මාක් අතර තිබූ මතභේදය ඔවුන් විසඳාගත් බව අප දන්නේ කොහොමද? ඉන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

17 මාක්ව රැගෙන යෑමට පාවුල් අකමැති වුණත් ඒ ගැන මාක් පමණට වඩා අධෛර්යයට පත් වුණේ නැහැ. ඔහු බානබස් සමඟ වෙනත් ප්‍රදේශයක මිෂනාරි සේවයේ හවුල් වීමෙන් ඒ බව පැහැදිලියි. (ක්‍රියා 15:39) ඒ වගේම මාක් විශ්වාසය තැබිය හැකි කෙනෙකු බව වසර කිහිපයකට පසුව පාවුල් රෝමයේ සිරභාරයේ සිටිද්දී තිමෝතිට ලියූ මේ දෙයින් පැහැදිලියි. “ඔබ පැමිණෙන විට මාක්වද රැගෙන එන්න. මන්ද ඔහු මා වෙනුවෙන් ඉතා වටිනා සේවයක් ඉටු කරයි.” (2 තිමෝ. 4:11) පාවුල් හා මාක් අතර තිබූ ප්‍රශ්නය ඒ වන විට විසඳී තිබූ බව අපට පැවසිය හැකියි.

18 ඒ සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? පාවුල් සමඟ ඇති වූ ප්‍රශ්නය නිසා මාක් අධෛර්යයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු මිෂනාරිවරයෙකු ළඟ තිබිය යුතු ගතිගුණ වර්ධනය කරගත්තා. ඒ වගේම පාවුල් හා මාක් යන දෙදෙනාටම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබූ නිසා ඔවුන් එකිනෙකාට වෛර කළේ නැහැ. ඒ වෙනුවට පාවුල් මාක්ව සැලකුවේ තමාට වටින කෙනෙක් ලෙසයි. අපත් කෙනෙකු සමඟ තිබූ ගැටලුවක් නිරාකරණය කරගත් පසු ඒ ගැන සිත සිතා නොසිට තවත් අයට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උපකාර කිරීමට කාලය වැය කළ යුතුයි. එලෙස ක්‍රියා කිරීමෙන් සභාව ශක්තිමත් කිරීමට අපට දායක විය හැකියි.

ඔබට කළ හැකි දේ

19. එකිනෙකාට උපකාර කිරීම සඳහා සභාවේ සිටින අයට කුමක් කළ හැකිද?

19 අප ජීවත් වන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ නිසා සභාවේ සිටින සහෝදර සහෝදරියන්ගේ උපකාරය අපට අවශ්‍යයි. ඒ වගේම ඔවුන්ටත් අපගේ උපකාරය අවශ්‍යයි. (2 තිමෝ. 3:1) ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමේදී කළ යුත්තේ කුමක්ද කියා සමහර අවස්ථාවලදී අපගේ සහෝදර සහෝදරියන් නොදන්නවා විය හැකියි. නමුත් යෙහෝවා දෙවි ඒ ගැන දන්න නිසා ඔවුන්ට උපකාර කිරීමට ඔබ ඇතුළුව සභාවේ සිටින සහෝදර සහෝදරියන්ව යොදාගන්න ඔහුට හැකියි. (යෙසා. 30:20, 21; 32:1, 2) එසේනම් අප සියලුදෙනාම පාවුල් දුන් මේ දිරිගැන්වීම සිතට ගැනීම මොනතරම් වැදගත්ද! “ඔබ දැනටමත් කරමින් සිටින ආකාරයට දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.”—1 තෙස. 5:11.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• සභාවේ සිටින අයව ශක්තිමත් කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

• අන් අයට උපකාර කිරීමට ඔබට හැක්කේ ඔවුන්ගේ කුමන ගැටලුවලදීද?

• සභාවේ සිටින අයගේ උපකාර අපට අවශ්‍ය වන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූරය]

සහෝදර සහෝදරියන් අසීරු තත්වයන්ට මුහුණ දෙන විට ඔවුන්ට උපකාර කරමු

[12වන පිටුවේ පින්තූරය]

උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන යෞවන යෞවනියන් බොහෝදෙනෙක් සිටිනවා