Skip to content

පටුනට යන්න

කාරුණික කතාබහ බැඳීම් ශක්තිමත් කරයි

කාරුණික කතාබහ බැඳීම් ශක්තිමත් කරයි

කාරුණික කතාබහ බැඳීම් ශක්තිමත් කරයි

“නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න.”—කොලො. 4:6.

1, 2. කාරුණිකව කතා කිරීම නිසා සහෝදරයෙක් ලැබූ ප්‍රතිඵලය කුමක්ද?

දේවසේවයේ හවුල් වෙද්දී සිදු වූ දෙයක් සහෝදරයෙක් මෙසේ විස්තර කළා. “මම පුද්ගලයෙකුට කතා කරද්දී එයාට හුඟක් කේන්ති ගියා. එයාගේ තොල් විතරක් නෙවෙයි මුළු ඇඟම වෙව්ලන්න පටන්ගත්තා. මම සන්සුන්ව බයිබලයෙන් එයාට කාරණා පහදලා දෙන්න උත්සාහ කරද්දී එයාගේ කේන්තිය තවත් වැඩි වුණා. එයාගේ භාර්යාවත් දරුවනුත් මට බනින්න පටන්ගත්තා. තවත් මෙතන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා හිතුණ නිසා ගාලාති 5:22, 23 තියෙන ගුණාංග එයාට පෙන්නලා මෙහෙම කිව්වා. ‘මම ආවේ සමාදානයේ පණිවිඩයක් අරගෙනයි. ඔයාව කේන්ති ගස්සන්න හිතුවේ නැහැ. මම ගිහින් එන්නම්.’

2 “ඒ පාරේ අනික් පැත්තේ ගෙවල්වලට යන කොට ඒ පවුලේ අය ගේ ඉස්සරහ පඩිය උඩ ඉඳගෙන ඉන්නවා මම දැක්කා. ඒ අය මට කතා කළා. ‘දැන් මොකටද මට කතා කරනවා ඇත්තේ’ කියලා මට හිතුණා. ඒ පුද්ගලයා ළඟ වතුර ජෝගුවකුත් තිබුණා. ඔහු මට වතුර ටිකක් බොන්න දීලා, මට අකාරුණිකව සැලකුවාට මගෙන් සමාව ඉල්ලුවා. දෙවි කෙරෙහි තිබූ මගේ නොසැලෙන විශ්වාසය ගැන ඔහු මට ප්‍රශංසා කළා. කලින් වතාවේදී වගේ නෙමෙයි මේ වතාවේදී අපි වෙන් වුණේ මිත්‍රශීලීවයි.”

3. අප කෝප නොවී සිටිය යුත්තේ ඇයි?

3 අද දින මිනිසුන් ප්‍රශ්න ගැටලු රැසකට මුහුණ දෙන නිසා ඔවුන් සිටින්නේ දැඩි පීඩනයකින්. ඒ නිසා දේවසේවයේදී හා වෙනත් අවස්ථාවලදී අපට කෝපයෙන් සිටින මිනිසුන් හමු වීම සාමාන්‍ය දෙයක්. එවැනි අයට අප “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින්” කතා කිරීම ඉතා වැදගත්. (1 පේතෘ. 3:15) උදාහරණයකට, ඉහත සඳහන් පුද්ගලයා කෝප වූ විට ඒ සහෝදරයාත් කෝප වුණා නම් සමහරවිට ඒ පුද්ගලයා වෙනස් නොවී ඊට වඩා දරුණු ආකාරයෙන් ක්‍රියා කරන්න ඉඩ තිබුණා. නමුත් තම කෝපය පාලනය කරමින් සහෝදරයා කාරුණිකව කතා කළ නිසා හොඳ ප්‍රතිඵල ලැබුණා.

කාරුණිකව කතා කරන කෙනෙක් සැලකිලිමත් වන දේ

4. කාරුණිකව කතා කිරීම වැදගත් ඇයි?

4 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හා එසේ නොවන අය සමඟ මෙන්ම පවුලේ සාමාජිකයන් සමඟ පවා අපි කතා කරන විට පාවුල්ගේ මේ උපදෙස පිළිපැදීම වැදගත්. “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි.” (කොලො. 4:6) හොඳින් අදහස් හුවමාරු කරගැනීමටත් සමාදානය ඇති කිරීමටත් කාරුණිකව කතා කිරීම ඉතා වැදගත්.

5. හොඳින් අදහස් හුවමාරු කරන කෙනෙක් වැළකී සිටින්නේ කුමකින්ද? විස්තර කරන්න.

5 හොඳින් අදහස් හුවමාරු කරන කෙනෙක් තමන්ට හැඟෙන හැම දෙයක්ම පැවසීමට ඉක්මන් වන්නේ නැහැ. තමන්ගේ සිත කවුරුන් හෝ රිදවා ඇති අවස්ථාවකදී විශේෂයෙන්ම එය අදාළයි. බයිබලයේ පවසන්නේ කෝපයෙන් ක්‍රියා කිරීම දුර්වල කෙනෙකුගේ ගතිලක්ෂණයක් බවයි. (හිතෝපදේශ 25:28; 29:11 කියවන්න.) උදාහරණයකට මෝසෙස් ගැන සිතන්න. ඒ කාලයේ ජීවත් වූ සියලු මිනිසුන්ට “වඩා මෝසෙස් මෘදු ගුණැති කෙනෙක්” වුණත් ඔහු එක් අවස්ථාවක තම කෝපය පාලනය කිරීමට අසමත් වුණා. ඒ අවස්ථාවේදී ඔහු ඊශ්‍රායෙල්වරුන්ගේ කැරලිකාරකම නිසා කෝප වී තමාට හැඟුණ දේ පවසන්න ඉක්මන් වුණා. ඔහු දෙවිට දිය යුතු ගෞරවය දෙන්න අසමත් වූ නිසා යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 40ක් පුරා මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා ලෙස කටයුතු කළත් ඔවුන්ව පොරොන්දු දේශයට රැගෙන යෑමේ වරප්‍රසාදය ඔහුට අහිමි වුණා.—ගණන්. 12:3; 20:10, 12; ගීතා. 106:32.

6. සිතා බලා කතා කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

6 හොඳින් සිතා බලා යමක් පැවසීම ප්‍රශංසනීය දෙයක් බව බයිබලයේ මෙසේ පවසනවා. “කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය. එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි.” (හිතෝ. 10:19; 17:27) නමුත් සිතා බලා කතා කරනවා කීමෙන් අදහස් කරන්නේ තමාට හැඟෙන ආකාරය කිසිවිටකත් ප්‍රකාශ නොකර සිටීම නොවෙයි. ඒ වෙනුවට ඉන් අදහස් කරන්නේ තමාට හැඟෙන දේ “කාරුණිකව” ප්‍රකාශ කිරීමයි. එනම් අන් අයගේ සිත පෑරෙන ආකාරයෙන් නොව සිත සැනසෙන ආකාරයෙන් කතා කිරීමයි.හිතෝපදේශ 12:18; 18:21 කියවන්න.

‘නිහඬව සිටීමට හා කතා කිරීමට කාලයක්’

7. අප වැළකී සිටිය යුත්තේ කුමන දේවලින්ද? ඒ ඇයි?

7 අප රැකියා ස්ථානයේ හෝ දේවසේවයේ හමු වන අය සමඟ කාරුණිකව කතා කරනවා හා සමානව සභාවේ සහ පවුලේ අය සමඟද කාරුණිකව කතා කළ යුතුයි. කෝපයෙන් කතා කරන කෙනෙක් තමාගේ මෙන්ම අන් අයගේ මානසික, ශාරීරික සෞඛ්‍යයට හා දෙවි සමඟ ඇති මිත්‍රත්වයට සිදු වන බරපතළ හානිය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. (හිතෝ. 18:6, 7) නමුත් අපට උරුම වී තිබෙන පව්කාර ස්වභාවය නිසා උදහස් වීමට, කෝප වීමට, හා නින්දාසහගත ලෙස කතා කිරීමට අප තුළ පෙලඹීමක් ඇති විය හැකියි. කෙසේවෙතත් එලෙස ක්‍රියා කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසු නොවන නිසා අප ඒවායින් වැළකී සිටිය යුතුයි. (කොලො. 3:8; යාකො. 1:20) එසේ නොකළොත් අන් අය සමඟ මෙන්ම යෙහෝවා දෙවි සමඟ තිබෙන අපගේ වටිනා මිත්‍රත්වය විනාශ විය හැකියි. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින සෑම කෙනෙකුම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි. සඳහන් කිරීමට තරම්වත් සුදුසු නැති අවමන්සහගත වචනයකින් තම සහෝදරයාව අමතන ඕනෑම කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි. යමෙකුට ‘නීච මෝඩයා’ කියා පවසන ඕනෑම කෙනෙක් ගෙහෙන්නාවට සුදුස්සෙක් වෙයි.”—මතෙ. 5:22.

8. අප ගැටලුව ගැන කතා කළ යුත්තේ කුමන අවස්ථාවේදීද? එය කළ යුත්තේ කොහොමද?

8 සමහර අවස්ථාවලදී නිහඬව සිටීමට වඩා ගැටලුව ගැන කතා කිරීම සුදුසු විය හැකියි. උදාහරණයකට, සහෝදරයෙක් කළ කී දෙයක් නිසා අමතක කිරීමට නොහැකි තරමටම ඔබේ සිත රිදුණා නම් ඔහු ගැන වෛරයක් ඇති කරගන්න එපා. (හිතෝ. 19:11) එවැනි අවස්ථාවක ඔබේ හැඟීම් පාලනය කරගෙන එම ගැටලුව ගැන කතා කිරීමට අවශ්‍ය පියවර ගන්න. පාවුල් ඒ ගැන පැවසුවේ, “ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න” කියායි. (එෆීස 4:26, 27, 31, 32 කියවන්න.) ඒ නිසා සුදුසු වෙලාවක් තෝරාගෙන ඒ සහෝදරයා සමඟ ඒ ගැන පැහැදිලිව නමුත් කාරුණිකව කතා කරන්න. එසේ කරද්දී ඔබේ අරමුණ විය යුත්තේ ඔහු සමඟ සමාදාන වීමයි.—ලෙවී. 19:17; මතෙ. 18:15.

9. ගැටලුව ගැන කතා කිරීමට පෙර අප කළ යුත්තේ කුමක්ද?

9 “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියා බයිබලය පවසනවා. ඒ නිසා කතා කිරීමට සුදුසු වෙලාවක් තෝරාගැනීම ඉතා වැදගත්. (දේශ. 3:1, 7) ඔබේ සිත පෑරී තිබෙන විට ගැටලුව ගැන කතා කිරීමෙන් සමහරවිට එය තවත් උග්‍ර විය හැකියි. එවැනි අවස්ථාවක “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි” යන බයිබලයේ සඳහන් උපදෙස පිළිපැදීම ඉතා ඥානවන්තයි. (හිතෝ. 15:28) ඉන් අදහස් කරන්නේ ගැටලුවක් ගැන කතා කිරීමට සුදුසු කාලය එන තුරු බලා සිටිය යුතු බවයි. නමුත් ඒ සඳහා බොහෝ කාලයක් ගත වීමට ඉඩහැරීමත් සුදුසු නැහැ.

කාරුණික ක්‍රියා නිසා හොඳ බැඳීම් ඇති වෙයි

10. කාරුණික ක්‍රියා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

10 කාරුණිකව අදහස් හුවමාරු කිරීමෙන් යහපත් සබඳතා ඇති කරගන්නත් ඒවා ශක්තිමත් කරගන්නත් හැකි වෙනවා. ඒ වගේම උපකාර කිරීමට හැකි අවස්ථා ගැන සොයාබැලීම, තෑග්ගක් දීම හෝ ආගන්තුක සත්කාරය පිරිනැමීම වැනි කාරුණික ක්‍රියා කිරීමෙන්ද බැඳීම් තවත් ශක්තිමත් කරගත හැකියි. අප සමඟ ගැටලුවක් තිබෙන කෙනෙකුට අප එවැනි කාරුණික ක්‍රියා කිරීමෙන් ඔහුගේ සිත මොළොක් විය හැකි නිසා ඔහු සමඟ කාරණා විවෘතව කතා කිරීමට පහසු වෙනවා. එය හරියට ඔහු මත “ගිනි අඟුරු” ගොඩගසනවා හා සමානයි.—රෝම 12:20, 21.

11. ඒසව්ගේ සිත මොළොක් කිරීමට යාකොබ් කළේ කුමක්ද?

11 කෝපය නැති කිරීමට කාරුණික ක්‍රියා කිරීමේ වැදගත්කම යාකොබ් වටහාගත්තා. ඒසව් තමා සමඟ කෝපයෙන් සිටින නිසා තමාව මරා දමයි කියා සිතූ යාකොබ් පලා ගියා. වසර ගණනාවකට පසු යාකොබ් නැවත ඔහුගේ ගමට පැමිණෙන බව දැනගත් ඒසව් ඔහුව හමු වීමට තවත් මිනිසුන් 400ක් සමඟ ගියා. ඒ බව දැනගත් යාකොබ් තමාව ආරක්ෂා කරන මෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඉන්පසු ඔහු එසව්ට සතුන් විශාල ප්‍රමාණයක් තෑග්ගක් ලෙස යැව්වා. ඔහුගේ ඒ කාරුණික ක්‍රියාව නිසා ඒසව්ගේ සිත මොළොක් වුණා. ඔවුන් දෙදෙනා එකිනෙකාව දුටු විට ඒසව් දුවගෙන ඇවිත් යාකොබ්ව බදාගෙන ඔහුව සිපගත්තා.—උත්. 27:41-44; 32:6, 11, 13-15; 33:4, 10.

කාරුණිකව කතා කිරීම අන් අයට දිරිගැන්වීමක්

12. අප අපගේ සහෝදරයන්ට කාරුණිකව කතා කළ යුත්තේ ඇයි?

12 අප සේවය කරන්නේ මිනිසුන්ට නොව යෙහෝවා දෙවිටයි. ඒ නිසා දෙවිගේ ප්‍රසාදය දිනාගැනීමට අප තුළ ආශාවක් තිබෙනවා. ඒ වගේම අන් අයගේ ප්‍රසාදය දිනාගැනීමටද අප සියලුදෙනා තුළ ආශාවක් තිබෙනවා. අපගේ සහෝදර සහෝදරියන්ට කාරුණිකව කතා කරන විට ඔවුන්ගේ සිතට සතුටක් දැනෙන අතර සිතේ ඇති බරද යම් දුරකට අඩු විය හැකියි. නමුත් අප ඔවුන්ව විවේචනය කරනවා නම් ඔවුන්ගේ සිතේ බර තව වැඩි විය හැකි අතර යෙහෝවා දෙවිගේ ප්‍රසාදය අහිමි වී ඇති බවද ඔවුන්ට හැඟිය හැකියි. ඒ නිසා “සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න” අපි උනන්දු වෙමු.—එෆී. 4:29.

13. (අ) උපදෙස් ලබා දෙන විට වැඩිමහල්ලන් මතක තබාගත යුත්තේ කුමක්ද? (ආ) ලිපි ලියන විට වැඩිමහල්ලන් මතක තබාගත යුත්තේ කුමක්ද?

13 දෙවිගේ රැළ රැකබලා ගැනීමේදී වැඩිමහල්ලන් රැළට ‘ඉමහත් සෙනෙහසක්’ දැක්විය යුතුයි. (1 තෙස. 2:7, 8) එමෙන්ම අන් අයට උපදෙස් දීමේදී ඔවුන් එය ‘මෘදුකමින්’ කළ යුතු අතර උපදෙස්වලට “යම් විරෝධතා එල්ල කරන” අවස්ථාවලදී පවා මෘදු ලෙස කටයුතු කළ යුතුයි. (2 තිමෝ. 2:24, 25) ඒ වගේම වැඩිමහල්ලන් වෙනත් වැඩිමහල් මණ්ඩලයකට හෝ ශාඛා කාර්යාලයට ලිපි ලියන විට කාරුණික ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීම වැදගත්. ඒ සම්බන්ධයෙන් ඔවුන් මතෙව් 7:12හි ඇති උපදෙස මතක තබාගත යුතුයි.

පවුලේ අය සමඟ කාරුණිකව කතා කිරීම

14. පාවුල් ස්වාමිපුරුෂයන්ට දුන් උපදෙස කුමක්ද? ඒ ඇයි?

14 අප කතා කරන වචන, අපේ මුහුණේ ඉරියව් හා අංග චලනවලින් අප හිතනවාට වඩා විශාල බලපෑමක් අන් අය තුළ ඇති කළ හැකියි. තමන් පවසන දේ ස්ත්‍රියකට කොතරම් බලපෑමක් ඇති කරයිද කියා සමහර පුරුෂයන්ට නොතේරෙනවා විය හැකියි. ඒ ගැන එක් සහෝදරියක් මෙසේ පැවසුවා. “මගේ ස්වාමිපුරුෂයා කේන්තියෙන් කෑගහද්දී මට හුඟක් බය හිතෙනවා.” රළු ලෙස කතා කරන විට පුරුෂයෙකුට වඩා ස්ත්‍රියකට දැඩි වේදනාවක් දැනිය හැකි අතර එය බොහෝ කාලයක් පුරා ඇගේ මතකයේ රැදී තිබිය හැකියි. (ලූක් 2:19) තමන් බොහෝ සෙයින් ප්‍රේම කරන හා ගෞරව කරන කෙනෙක් තමාට රළු ලෙස කතා කරනවා නම් එහි බලපෑම වැඩියි. ඒ නිසා පාවුල් ස්වාමිපුරුෂයන්ට මෙලෙස උපදෙස් දෙනවා. “ඔබේ භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න.”—කොලො. 3:19.

15. ස්වාමිපුරුෂයෙක් භාර්යාවට මෘදු ලෙස සැලකිය යුත්තේ ඇයි?

15 ස්වාමිපුරුෂයන්ට වඩා “දුර්වල” අය වන භාර්යාවන්ට මෘදු ලෙස සැලකිය යුතු හේතුව, වසර ගණනාවක් පුරා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන එක් සහෝදරයෙක් මෙලෙස විස්තර කළා. “ඔබ ඉතා වටිනා බිඳෙන සුළු බඳුනක් හුඟක් තදින් අල්ලන්නේ නැහැ. එහෙම කළොත් ඒක බිඳෙන්න පුළුවන්. ඒක ආයෙමත් අලවා භාවිතයට ගත්තත් බිඳුණු තැන් දකින්න තියෙනවා. ස්වාමිපුරුෂයා භාර්යාවගේ හිත රිදෙන ආකාරයෙන් කතා කළොත් ඒකේ බලපෑම කාලයක් පුරා තියෙන්න පුළුවන්.”1 පේතෘස් 3:7 කියවන්න.

16. බිරිඳකට ඇගේ පවුල ගොඩනැඟිය හැක්කේ කොහොමද?

16 ස්වාමිපුරුෂයන්ද තමන්ගේ භාර්යාව හා අන් අය කියන දේවල් නිසා දිරිගැන්වීමක් ලැබීමට හෝ අධෛර්යයට පත් වීමට ඉඩ තිබෙනවා. “බුද්ධිමත් බිරිඳක්” ඇගේ ස්වාමිපුරුෂයා තමාට සලකනවාට කැමති ආකාරයට ඔහුටත් සලකනවා. ස්වාමිපුරුෂයා එවැනි බිරිඳක්ව ‘මුළු හදවතින්ම විශ්වාස කරනවා.’ (හිතෝ. 19:14; 31:11) ඇත්තෙන්ම බිරිඳකට මුළු පවුලටම හොඳ හෝ නරක බලපෑමක් ඇති කළ හැකියි. “ප්‍රඥාවන්ත ස්ත්‍රියක් ඇගේ පවුල ගොඩනඟා ගන්නීය. නමුත් අඥාන තැනැත්තිය තම දෑතින්ම එය බිඳ දමන්නීය” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—හිතෝ. 14:1.

17. (අ) දරුවන් දෙමාපියන් සමඟ කතා කළ යුත්තේ කොහොමද? (ආ) වැඩිහිටියන් දරුවන් සමඟ කතා කළ යුත්තේ කොහොමද? ඒ ඇයි?

17 දරුවන්ද දෙමාපියන් සමඟ කතා කරන විට කාරුණික විය යුතුයි. (මතෙ. 15:4) ඒ වගේම දෙමාපියන්ද කාරුණිකව ඔවුන්ට කතා කිරීමෙන් ඔවුන් තුළ “කෝපය” ඇති වීම වැළැක් විය හැකියි. (කොලො. 3:21; එෆී. 6:4) දරුවන්ට යම් හික්මවීමක් ලබා දිය යුතු අවස්ථාවකදී වුණත් දෙමාපියන් හා වැඩිහිටියන් ඔවුන්ට ගෞරවයෙන් කතා කිරීම අවශ්‍යයි. එසේ කරන විට දරුවන්ට ඔවුන්ගේ වැරදි හදාගෙන දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගත හැකියි. නමුත් ඔවුන්ට උපකාර කිරීමෙන් වැඩක් නැහැ යන හැඟීම දරුවන් තුළ ඇති නොකිරීමට වගබලා ගන්න. එසේ කළොත් දරුවන් ඔවුන්ගේ වැරදි හදාගැනීමට කිසි උත්සාහයක් නොගැනීමට ඉඩ තිබෙනවා. දරුවන්ට ලැබෙන සෑම උපදෙසක්ම ඔවුන්ගේ මතකයේ නොරැඳුණත් දෙමාපියන් හෝ වැඩිහිටියන් ඔවුන් සමඟ කාරුණිකව කතා කළ ආකාරය ඔවුන්ගේ මතකයේ රැදී තිබේවි.

සිත රිදවන වචනවලින් වළකින්න

18. ඔබේ කෝපය පාලනය කිරීමට ඔබ කළ යුත්තේ කුමක්ද?

18 කෝපය පාලනය කරනවා කියන්නේ සන්සුන්ව සිටින බව බොරුවට මවා පෙන්වීම නොවෙයි. අප ඇතුළතින් කෝපයෙන් පුපුර පුපුර පිටතින් සන්සුන්ව සිටින බව පෙන්වීමෙන් අප අපටම හානියක් කරගන්නවා. එසේනම් කෝපය සිතේ තද කරගෙන සිටිනවා වෙනුවට කළ හැකි හොඳම දේ වන්නේ එය පාලනය කිරීමට යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමයි. එසේ කළ පසු ඔබ සිතන ආකාරය වෙනස් කිරීමට යෙහෝවා දෙවිට ඉඩහරින්න.රෝම 12:2; එෆී. 4:23, 24 කියවන්න.

19. කෝප වී කටයුතු කිරීමෙන් වැළකී සිටීමට අප කුමක් කළ යුතුද?

19 කෝපය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්න. ඔබ තුළ කෝපයක් ඇති වන බව ඔබට හැඟුණොත් එතැතින් ඉවත් වීම සුදුසු දෙයක් විය හැකියි. එවිට ඔබව සන්සුන් කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. (හිතෝ. 17:14) අනෙක් අතට ඔබ සමඟ කතා කරමින් සිටින තැනැත්තා තුළ කෝපයක් ඇති වන බව ඔබට හැඟුණොත් වඩාත් කාරුණික වීමට උත්සාහ කරන්න. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.” (හිතෝ. 15:1) නමුත් එවැනි අවස්ථාවක ඔබ කාරුණික ස්වරයකින් වුණත් සිත රිදවන වචන පැවසුවොත් ඉන් සිදු වන්නේ ගින්නට පිදුරු දැමීම හා සමාන දෙයක්. (හිතෝ. 26:21) ඒ නිසා නිතරම ‘ඇහුම්කන් දීමට ඉක්මන් වී කතා කිරීමට ප්‍රමාද වන්න.’ ඒ වගේම සිත රිදවන වචන පැවසීමෙන් වැළකී කාරුණික වචන පැවසීමට ඔබට අවශ්‍ය උපකාරය ලබා දෙන ලෙස යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න.—යාකො. 1:19.

හදවතින්ම සමාව දෙන්න

20, 21. සමාව දීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? අප එසේ කළ යුත්තේ ඇයි?

20 අපට උරුම වූ පාපය නිසා අපි හැමෝම අපගේ දිව පාලනය කිරීමට අසමත් වෙනවා. (යාකො. 3:2) සමහරවිට අපගේ පවුලේ සාමාජිකයන් හා සහෝදර සහෝදරියන් අපගේ සිත රිදෙන ආකාරයෙන් කතා කිරීමට ඉඩ තිබෙනවා. ඒ ගැන ඉක්මනින්ම කෝප වෙනවා වෙනුවට ඔවුන් එසේ ක්‍රියා කිරීමට හේතු ගැන කල්පනා කරන්න. (දේශනාකාරයා 7:8, 9 කියවන්න.) ඒ අවස්ථාවේදී ඔවුන් ක්‍රියා කළේ යම් පීඩනයක්, බියක්, අසනීපයක් හෝ වෙනත් යම් ගැටලුවක් නිසාද කියා සිතා බලන්න.

21 කෙසේවෙතත් කෝපයෙන් ක්‍රියා කිරීමට ඒවා නිදහසට කරුණු නොවෙයි. නමුත් අප ඔවුන්ගේ තත්වය තේරුම්ගත් විට ඔවුන්ට සමාව දීමට වඩාත් පහසුයි. අපත් යම් අවස්ථාවලදී අන් අයගේ සිත රිදෙන ආකාරයෙන් යම් දේවල් කරන්න හෝ කියන්න ඇති. එවැනි අවස්ථාවලදී ඔවුන් අපට හදවතින්ම සමාව දෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. (දේශ. 7:21, 22) අප සියලුදෙනාටම දෙවිගෙන් සමාව ලැබෙන්නේ අප එකිනෙකාට සමාව දුන්නොත් පමණයි කියා යේසුස් පැවසුවා. (මතෙ. 6:14, 15; 18:21, 22, 35) ඒ නිසා අප සමාව ඉල්ලන්නත් සමාව දෙන්නත් නිතරම සූදානමින් සිටිමු. එසේ කිරීමෙන් අපගේ පවුල තුළත් සභාව තුළත් ප්‍රේමණීය බැඳීමක් ඇති කරගත හැකියි. එය එකිනෙකා අතර ‘එක්සත්කමට දායක වන හොඳම බැඳීමයි.’—කොලො. 3:14.

22. කාරුණිකව කතා කිරීමට වෑයම් කිරීම වැදගත් ඇයි?

22 කෝපයෙන් සිටින මිනිසුගෙන් පිරුණු මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟා වෙමින් තිබෙන නිසා අපගේ ප්‍රීතියට හා එක්සත්කමට බොහෝ අභියෝග ඇති වෙන්න පුළුවන්. නමුත් දෙවිගේ වචනයේ ඇති උපදෙස් අදාළ කරගන්නා විට අපගේ දිව අන් අයව රිදවීමට නොව ඔවුන්ව ගොඩනැංවීමට භාවිත කළ හැකියි. එවිට පවුල තුළත් සභාව තුළත් සාමකාමී සබඳතාවන් පවත්වාගෙන යෑමට හැකියි. එසේ කිරීමෙන් අපගේ “ප්‍රීතිමත් දෙවි” වන යෙහෝවාටත් ගෞරවයක් ලැබෙනවා.—1 තිමෝ. 1:11.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ගැටලු ගැන කතා කිරීමට සුදුසු වේලාවක් තෝරාගැනීම වැදගත් වන්නේ ඇයි?

• පවුලේ සාමාජිකයන් නිතරම එකිනෙකාට කාරුණිකව කතා කළ යුත්තේ ඇයි?

• සිත රිදෙන දේවල් පැවසීමෙන් වැළකී සිටිය හැක්කේ කොහොමද?

• සමාව දීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූර]

සන්සුන් වන්න. කතා කිරීමට සුදුසු වේලාවක් තෝරාගන්න

[23වන පිටුවේ පින්තූරය]

ස්වාමිපුරුෂයෙක් නිතරම තම භාර්යාවට කාරුණිකව කතා කළ යුතුයි