Skip to content

පටුනට යන්න

කෝපය පාලනය කිරීමෙන් ‘නපුරු දේවල් පරාජය කරන්න’

කෝපය පාලනය කිරීමෙන් ‘නපුරු දේවල් පරාජය කරන්න’

කෝපය පාලනය කිරීමෙන් ‘නපුරු දේවල් පරාජය කරන්න’

‘හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න.’—රෝම 12:19, 21.

1, 2. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තැබූ ආදර්ශය කුමක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 34දෙනෙක් ශාඛා කාර්යාලයක් කැප කිරීමේ උත්සවයකට ගුවන් යානයකින් ගමන් කරමින් සිටියා. එම ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහා පැයකට පමණ ගුවන් තොටුපොළක නතර කළා. පසුව එහි කාර්මික දෝෂයක් ඇති බව දැනගත් නිසා කාලය පැය 44ක් දක්වා දීර්ඝ වුණා. එම ගුවන් තොටුපොළ පිහිටා තිබුණේ ඉතා දුෂ්කර ප්‍රදේශයකයි. ඒ නිසා ගමන් කළ සියලුදෙනාටම ප්‍රමාණවත් ආහාර, ජලය, සනීපාරක්ෂක පහසුකම් එහි තිබුණේ නැහැ. ඒ ගැන කෝප වූ මගීන් බොහෝදෙනෙක් ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලයට තර්ජනය කළා. නමුත් අපගේ සහෝදර සහෝදරියන් සන්සුන්ව සිටියා.

2 ඔවුන්ට පැමිණීමට හැකි වුණේ කැප කිරීමේ කතාවේ අවසාන කොටස ඉදිරිපත් කරන විටයි. මහන්සියක් දැනුණත් කැප කිරීම අවසන් වූ පසු සහෝදර සහෝදරියන්ව ඇසුරු කිරීමට ඔවුන් එහි රැදී සිටියා. ගුවන් යානයෙන් පැමිණ සහෝදරයන්ගේ ඉවසීම ඔවුන් සමඟ පැමිණි සමහර මගීන්ගේ සිත්ගත් බව පසුව දැනගන්න ලැබුණා. පැමිණි මගීන්ගෙන් කෙනෙක් ගුවන් සමාගමට මෙසේ පවසා තිබුණා. “අපිත් එක්ක ආපු ක්‍රිස්තියානීන් 34දෙනා නොහිටියා නම් එතන ලොකු කෝලහලයක් සිද්ධ වෙන්න තිබුණා.”

කෝපයෙන් පිරුණු ලොවක්

3, 4. (අ) කෝප වී ක්‍රියා කිරීම මිනිසාට බලපා ඇත්තේ කොහොමද? එය ආරම්භ වුණේ කවදාද? (ආ) කායින්ට ඔහුගේ කෝපය පාලනය කිරීමට හැකියාව තිබුණද? පැහැදිලි කරන්න.

3 දැන් පවතින දුෂ්ට සමාජයෙන් එල්ල වන පීඩන නිසා ජනයා පහසුවෙන්ම කෝප වීමට ඉඩ තිබෙනවා. (දේශ. 7:7) කෝපය බොහෝවිට වෛරයටත් ප්‍රචණ්ඩත්වයටත් මඟ පාදනවා. ඒ වගේම යුද්ධ ඇති වීමටත් පවුල තුළ අඬදබර ඇති වීමටත් එය හේතු වී තිබෙනවා. කෝපය හා ප්‍රචණ්ඩකාරීව ක්‍රියා කිරීම ආරම්භ වුණේ අද ඊයේ නොවෙයි. ඊට දිගු ඉතිහාසයක් තිබෙනවා. ආදම් සහ ඒවගේ පළමු පුත්‍රයා වූ කායින් ඔහුගේ සහෝදරයා වූ ආබෙල්ව මරා දැමුවා. කායින්ට ඇති වූ කෝපය ඔහු පාලනය කරගන්නවා නම් ඔහුට ආශීර්වාද කරන බව යෙහෝවා දෙවි පවසා තිබුණා. නමුත් කායින් ඒ දුෂ්ට ක්‍රියාව කළා.උත්පත්ති 4:6-8 කියවන්න.

4 කායින් පාපය උරුම කරගෙන සිටියත් කෝපය පාලනය කරනවාද නැද්ද කියා ඔහුම තීරණය කළ යුතු වුණා. එය කිරීමට ඔහුට හැකියාවක් තිබුණත් ඔහු එය කළේ නැහැ. ඒ නිසා ඔහු කළ දුෂ්ට ක්‍රියාවට ඔහුම වග කිව යුතු වුණා. අපත් පාපය උරුම කරගෙන සිටින නිසා හා “අනතුරු සහිත කාලයක” ජීවත් වන නිසා කෝප වීමෙන් වැළකී සිටීමට කායින්ට වඩා අපට අසීරුයි. (2 තිමෝ. 3:1) ඒ විතරක් නොවෙයි ආර්ථික ප්‍රශ්න නිසාත් අප විශාල පීඩනයකට ලක් වෙනවා. ඒ නිසා නිවසේ අඬදබර ඇති වීම හා කෝපයෙන් ක්‍රියා කිරීම වැඩි වී තිබෙන බව පොලීසියට හා පවුල්වලට උපදෙස් සපයන සංවිධාන වාර්තා කරනවා.

5, 6. අප වැළකී සිටිය යුත්තේ කුමන ආකල්පවලින්ද?

5 අද දින සිටින බොහෝදෙනා ‘තමන් ගැනම සිතන, උඩඟු හා දරුණු’ අයයි. ඒ නිසා එවැනි නරක ගතිගුණ ඇති වී අපත් පහසුවෙන් කෝප විය හැකියි. (2 තිමෝ. 3:2-5) ඒ විතරක් නොවෙයි චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වල බොහෝ වෙලාවට පළිගැනීම යහපත් දෙයක් ලෙසත් ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය මෙන්ම ගැටලු විසඳිය හැකි හොඳ ක්‍රමයක් ලෙසත් පෙන්වා දෙනවා. එවැනි චිත්‍රපටවල දුෂ්ටයාට දඬුවම් ලැබෙන තෙක් නරඹන්නන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා. බොහෝවිට එය සිදු වන්නේ චිත්‍රපටයේ වීරයාගේ අතින් ඉතා දරුණු ආකාරයටයි.

6 ඒවායින් දිරිගන්වන්නේ දෙවිගේ ගතිගුණ විදහාපෙන්වීමට නොව “ලෝකයේ සිටින අයගේ බලපෑමට” හා කෝපයෙන් සිටින එහි පාලකයා වන සාතන්ගේ බලපෑමට යටත් වීමටයි. (1 කොරි. 2:12; එෆී. 2:2; එළි. 12:12) ඒ බලපෑමට හසු වූ කෙනෙක් තමන්ගේ පව්කාර ආශාවන් ඉටු කරගන්න පෙලඹෙනවා. එවිට ඔහු දෙවිට විරුද්ධව ක්‍රියා කරනවා. නමුත් යේසුස් ඉගැන්නුවේ අපව කෝපයට පත් කළ කෙනෙකුට එකට එක නොකළ යුතු බවයි. (මතෙව් 5:39, 44, 45 කියවන්න.) යේසුස්ගේ එම ඉගැන්වීම් වඩා හොඳින් අදාළ කරගත හැක්කේ කෙසේද කියා දැන් අපි බලමු.

හොඳ හා නරක ආදර්ශ

7. සිමියොන් හා ලෙවී ඔවුන්ගේ කෝපය පාලනය නොකිරීම නිසා සිදු වූයේ කුමක්ද?

7 කෝපය පාලනය කරගත හැකි ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම එය පාලනය කරගන්නා විට සිදු වන දේ හා පාලනය නොකරන විට සිදු වන දේ ගැන උදාහරණ බොහෝමයක්ද එහි සඳහන් වෙනවා. කෝපය පාලනය නොකිරීම නිසා සිදු වූ දෙයක් ගැන බලමු. යාකොබ්ගේ පුතුන් දෙදෙනෙක් වන සිමියොන් හා ලෙවී ඔවුන්ගේ සහෝදරිය වන දීනාව, ෂීකෙම් දූෂණය කළ නිසා ඒ ගැන “අතිශයින් කෝප” වී ඔහුගෙන් පළිගත්තා. (උත්. 34:7) පසුව යාකොබ්ගේ අනික් පුත්‍රයන් ෂීකෙම්ගේ නුවරට පහර දී එය කොල්ල කා, ඒ නුවරේ සිටි ස්ත්‍රීන් හා දරුවන්ව වහලුන් ලෙස ගෙන ගියා. ඔවුන් ඒ සියල්ල කළේ දීනාට සිදු වූ දේ නිසා පමණක් නොව ඔවුන්ට සිදු වූ ලැජ්ජාව නිසයි. ඔවුන් සිතුවේ ෂීකෙම් තමන්ටත් තමන්ගේ පියාටත් මදිපුංචිකමක් කළ බවයි. නමුත් ඔවුන්ගේ ක්‍රියාව ගැන යාකොබ් සිතුවේ කුමක්ද?

8. සිමියොන් හා ලෙවීගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 දීනාට සිදු වූ දේ නිසා යාකොබ් බොහෝ සේ දුක් වූවා විය හැකියි. ඒ වුණත් ඔහුගේ පුත්‍රයන්ගේ පළිගැනීම ඔහු හෙළා දැක්කා. නමුත් සිමියොන් සහ ලෙවී ඔවුන් කළ දේ සාධාරණ එකක් බව පෙන්වීමට මෙසේ පැවසුවා. “කාටවත් අයිතියක් තියෙනවාද අපේ සහෝදරියව ගණිකාවක් ලෙස සලකන්න.” (උත්. 34:31) ඔවුන් පළිගැනීම සැහැල්ලුවට ගත්තත් යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වුණේ නැහැ. සිමියොන් හා ලෙවීගේ දුෂ්ට ක්‍රියාව නිසා ඔවුන්ගෙන් පැවත එන අය ඊශ්‍රායෙල් ගෝත්‍ර අතර විසිරී ජීවත් වන බවට වසර ගණනාවකට පසු යාකොබ් අනාවැකියක් පැවසුවා. (උත්පත්ති 49:5-7 කියවන්න.) ඔවුන් තමන්ගේ කෝපය පාලනය කර නොගත් නිසා දෙවිගෙත් ඔවුන්ගේ පියාගෙත් අප්‍රසාදයට ලක් වුණා.

9. දාවිත් පළිගැනීමට පෙලඹුණු අවස්ථාවක් ගැන සඳහන් කරන්න.

9 දාවිත් රජ ක්‍රියා කළේ ඊට වඩා බොහෝ වෙනස් ආකාරයටයි. ඔහුට පළිගැනීම සඳහා බොහෝ අවස්ථා ලැබුණත් ඔහු එසේ කළේ නැහැ. (1 සාමු. 24:3-7) නමුත් එක් අවස්ථාවක දාවිත්ට සිදු වූ දේ සලකා බලන්න. දාවිත් සහ ඔහු සමඟ සිටි අය ධනවත් පුද්ගලයෙක් වූ නාබල්ගේ සතුන් හා උන්ව බලාගත් අයව ආරක්ෂා කළා. ඒත් දිනක් දාවිත් සමඟ සිටි මිනිසුන් නාබල්ගෙන් උපකාරයක් ඉල්ලා සිටි විට ඔහු ඒ අයට බැණවැදුණා. ඒ නිසා දාවිත් පළිගන්න තීරණය කළා. ඒ, තම මිනිසුන්ට සැලකූ ආකාරය ගැන දාවිත්ට කෝපයක් ඇති වූ නිසා විය හැකියි. දාවිත් සහ ඔහුගේ මිනිසුන් නාබල් හා ඔහුගේ ගෙයි වැසියන්ව මරා දමන්න පැමිණෙමින් සිටින අතරතුර නාබල්ගේ සේවකයෙක් සිදු වූ දේ ගැන නාබල්ගේ භාර්යාව වන අබිගායිල්ට දැනුම් දී ඉක්මනින් යමක් කරන්න කියා පැවසුවා. ඇය ඥානවන්තව ක්‍රියා කරමින් ඉතා වටිනා තෑගි රැගෙන දාවිත්ව මුණගැසීමට ගියා. නාබල් නපුරු ලෙස ක්‍රියා කිරීම ගැන ඇය ඉතා නිහතමානීව ඔහුගෙන් සමාව ඉල්ලුවා. ඒ වගේම කාරණාව යෙහෝවා දෙවිට බාර දෙන්න කියාද ඇය දාවිත්ගෙන් ඉල්ලා සිටියා. තමන් අතින් සිදු වීමට ගිය බරපතළ වරද ගැන අවබෝධ වූ දාවිත් අබිගායිල්ට මෙසේ පැවසුවා. ‘ලේ වැගිරවීමෙන් මාව වැළැක්වූ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!’—1 සාමු. 25:2-35.

ක්‍රිස්තියානීන් ක්‍රියා කළ යුතු ආකාරය

10. පළිගැනීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට තිබිය යුතු ආකල්පය කුමක්ද?

10 සිමියොන් හා ලෙවී මෙන්ම දාවිත් හා අබිගායිල්ගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ කෝපය පාලනය කර නොගැනීම හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම යෙහෝවා දෙවි දැඩි ලෙස හෙළා දකින බව හා සමාදාන වීමට ගන්නා වෑයම්වලට දෙවි ආශීර්වාද කරන බවයි. ඒ නිසා ක්‍රිස්තියානීන් වන අප සියලුදෙනාම පාවුල්ගේ මේ උපදෙස සිතට ගත යුතුයි. “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, ‘යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.’ එහෙයින්, ‘ඔබේ සතුරා බඩගින්නෙන් සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට බොන්න යමක් දෙන්න. යකඩ මත ගිනි අඟුරු ගොඩගසනවා හා සමානව ඔහුගේ දැඩි සිත මොළොක් කිරීමට ඔබට හැක.’ නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න.”—රෝම 12:18-21. *

11. කෝපය පාලනය කිරීමට එක් සහෝදරියක් ඉගෙනගත්තේ කොහොමද?

11 රෝම පොතේ සඳහන් එම උපදෙස අපටත් අදාළ කරගත හැකියි. එය අදාළ කරගත් සහෝදරියකගේ අද්දැකීමක් බලමු. ඇය රැකියා කළ ආයතනයේ අලුත් කළමණාකාරිණිය ඇයට අසාධාරණව හා අකාරුණිකව සැලකූ නිසා කෝප වූ ඇය රැකියාවෙන් ඉවත් වීමට තීරණය කළ බව සභාවේ වැඩිමහල්ලෙකුට පැවසුවා. එවැනි තත්වයක් උද්ගත වී තිබුණේ කළමණාකාරිණිය ඇයට සැලකූ ආකාරයට ඇය දැක්වූ ප්‍රතිචාරය නිසා බව වැඩිමහල්ලා තේරුම්ගත්තා. ඒ නිසා හදිසි වී ක්‍රියා නොකරන ලෙස ඔහු ඇයට පැවසුවා. (තීත. 3:1-3) එවැනි කෙනෙකු සමඟ කටයුතු කරන ආකාරය ඉගෙනගත්තේ නැත්නම් ඇය වෙනත් තැනක රැකියාවක් කළත් එම ප්‍රශ්නයම නැවත මතු විය හැකි බව වැඩිමහල්ලා ඇයට පැවසුවා. ඒ වගේම යේසුස් ඉගැන්වූ ලෙස තමාට සලකනවාට ඇය කැමති ආකාරයටම ඇගේ කළමණාකාරිණියටත් සැලකිය යුතු බව ඔහු ඇයට පෙන්වා දුන්නා. (ලූක් 6:31 කියවන්න.) ඇය එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කාලයකට පසු ඇගේ කළමණාකාරිණිය වඩාත් කාරුණිකව ක්‍රියා කරන්න පටන්ගත්තා. ඒ වගේම ඇය ආයතනයේ වැඩ කරන ආකාරය ගැන කළමණාකාරිණිය ඇයට ස්තුති කළා.

12. සභාවේ සිටින කෙනෙක් සමඟ ගැටලුවක් ඇති වන විට ඒ වේදනාව දරාගන්න අපට අපහසු වන්නේ ඇයි?

12 සාතන්ගේ මේ දුෂ්ට ලෝකයේ සිටින අය බොහෝවිට ක්‍රියා කරන්නේ අසාධාරණ ආකාරයට නිසා ඔවුන් සමඟ ගැටලු ඇති වීම ගැන අප පුදුම වන්නේ නැහැ. ඒ නිසා ඔවුන් සමඟ කෝප නොවී සිටීමට අප උත්සාහ කරනවා. (ගීතා. 37:1-11; දේශ. 8:12, 13; 12:13, 14) නමුත් සභාවේ සිටින සහෝදරයෙක් හෝ සහෝදරියක් සමඟ ගැටලුවක් ඇති වන විට ඒ වේදනාව දරාගන්න අපට අපහසු විය හැකියි. “මම බයිබලය පාඩම් කරන කාලයේදී යෙහෝවා දෙවිගේ සෙනඟ අතිනුත් වැරදි සිදු වෙනවා කියලා පිළිගන්න මට අමාරු වුණා” කියා එක් සහෝදරියක් පැවසුවා. අකාරුණික මිනිසුන්ගෙන් පිරී ලෝකයක සිට ක්‍රිස්තියානි සභාවට පැමිණෙන කෙනෙක් සභාවේ සිටින සියලුදෙනාම සෑමවිටම එකිනෙකාට කාරුණිකව සලකයි කියා බලාපොරොත්තු වෙනවා. එවැනි කෙනෙකුට සෙසු ක්‍රිස්තියානියෙක් විශේෂයෙන්ම සභාවේ වගකීම් දරන කෙනෙක් අකාරුණික ලෙස සලකනවා නම් ඔහුට වේදනාවක් හෝ කෝපයක් ඇති විය හැකියි. ‘යෙහෝවා දෙවිගේ සෙනඟත් මෙහෙමද’ කියා ඔහුට සිතෙන්න පුළුවන්. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අතර පවා ගැටලු ඇති වූ බව මතක තබාගන්න.—ගලා. 2:11-14; 5:15; යාකො. 3:14, 15.

13. මතභේද විසඳාගැනීමට අප වෑයම් කළ යුත්තේ ඇයි? ඒ කොහොමද?

13 කලින් සඳහන් කළ සහෝදරියට ඇගේ ආකල්පය වෙනස් කරගැනීමට හැකි වූ ආකාරය ගැන ඇය මෙසේ පවසනවා. “මාව රිදවන අය වෙනුවෙන් යාච්ඤා කිරීමේ පුරුද්ද ඇති කරගත්ත නිසා මට හුඟක් ප්‍රයෝජන ලැබුණා.” යේසුස් පැවසුවේද අපට පීඩා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න කියායි. (මතෙ. 5:44) එසේනම් අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අප ඊටත් වඩා කොපමණ වැඩියෙන් යාච්ඤා කළ යුතුද! තම දරුවන් අතර ප්‍රේමයක් තිබෙනවා දකින්න පියෙක් කැමති වෙනවා හා සමානව යෙහෝවා දෙවිද ඔහුගේ සේවකයන් එකිනෙකාට ප්‍රේම කරනවා දකින්න කැමතියි. අපගේ බලාපොරොත්තුව සාමයෙන් හා සතුටින් සදාකාලයටම ජීවත් වීම වන අතර දෙවි දැන් සිටම ඒ සඳහා අපව පුහුණු කරනවා. ඒ වගේම අප සියලුදෙනාටම බාර දී තිබෙන කාර්යය සහයෝගයෙන් කරනවා දකින්න ඔහු ආසයි. (හිතෝපදේශ 19:11 කියවන්න.) ප්‍රශ්න ගැටලු ඇති වන විට සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වෙනවා වෙනුවට ඔවුන් සමඟ එකමුතුව සිටීමට වෑයම් කරමු. එවිට සෙසු ක්‍රිස්තියානීන්ටත් එකමුතුව සිටීමට උපකාර කරන්න අපට හැකියි. අප එසේ කරන විට යෙහෝවා දෙවි ඔහුගේ ‘සවිමත් දෑත්වලින් අපව සදහටම උසුලයි.’—ද්වි. 33:27.

සියලුදෙනාට මෘදුකමින් සලකන්න

14. අපව භේද කිරීමට සාතන් ගන්නා වෑයම්වලට හසු නොවී සිටීමට අපට පුළුවන් කොහොමද?

14 සාතන් හා ඔහුගේ භූතයන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම නතර කීරීමයි. ඒ සඳහා ඔවුන් පවුල් හා සභාවන් තුළ භේද ඇති කිරීමට උපරිමයෙන් උත්සාහ කරනවා. එසේ කිරීමෙන් විශාල හානියක් සිදු කළ හැකි බව ඔවුන් දන්නවා. (මතෙ. 12:25) සාතන්ගේ ඒ උගුලට හසු නොවී සිටීමට නම් අප පාවුල්ගේ මෙම උපදෙස පිළිපැදිය යුතුයි. “ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.” (2 තිමෝ. 2:24) අප “දබර” හෝ සටන් කරන්නේ ‘ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව නොව භූත සේනාවන්ට විරුද්ධව’ බව අප මතක තබාගත යුතුයි. ඉන් ජය ගැනීමට නම් ‘නිතරම සමාදානයේ ශුභාරංචිය දේශනා කිරීමට සූදානම්ව’ සිටිය යුතු අතර දෙවි ලබා දී ඇති මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳ සිටිය යුතුයි.—එෆී. 6:12-18.

15. මිනිසුන් අපට විරුද්ධව එල්ල කරන ප්‍රහාරවලට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කොහොමද?

15 යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කරන මිනිසුන් ඔහුගේ සාමකාමී සෙනඟට විවිධාකාර දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. සමහරු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පහර දෙනවා. තවත් අය මාධ්‍ය හරහා හෝ උසාවිවලදී ඔවුන්ට විරුද්ධව බොරු චෝදනා එල්ල කරනවා. එවැනි දේවල් ඔවුන්ට සිදු වන බව යේසුස් කලින්ම පවසා තිබුණා. (මතෙ. 5:11, 12) නමුත් එවැනි අවස්ථාවලදී අප කිසිම ආකාරයකින් “නපුරට නපුර” නොකළ යුතුයි.—රෝම 12:17; 1 පේතෘස් 3:16 කියවන්න.

16, 17. එක් සභාවක් මුහුණ දුන්නේ මොන වගේ පීඩාකාරී අවස්ථාවකටද?

16 සාතන් අපට කුමන පීඩාව එල්ල කළත් අප “දිගටම යහපතින් නපුරු දේවල් පරාජය” කළ යුතුයි. අප එසේ කරන විට යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් වෙනවා. ඒ ගැන එක් උදාහරණයක් බලමු. පැසිෆික් දූපත්වල ඇති එක් සභාවක් යේසුස්ගේ මරණය සිහිකිරීම සඳහා ශාලාවක් කුලියට ගත්තා. ඒ බව දැනගත් පල්ලි නායකයන් සිහිකිරීමේ උත්සවය පැවැත්වෙන වේලාවටම දේවමෙහෙයක් සඳහා ඒ ශාලාවට පැමිණෙන්න කියා බැතිමතුන්ට පැවසුවා. නමුත් සාක්ෂිකරුවන්ට අවශ්‍ය වෙලාවට ශාලාව ලබා දෙන්න කියා පොලීසියේ ප්‍රධානියා පල්ලියට නියෝග කළා. කෙසේවෙතත් සිහිකිරීමේ උත්සවය පැවැත්වීමට නියමිත වෙලාව පැමිණියත් පල්ලියේ සාමාජිකයන් ශාලාවේ රැදී සිටියා. ඔවුන් දේවමෙහෙය ආරම්භ කළෙත් ඒ වෙලාවෙයි.

17 ඒ සෙනඟව බලහත්කාරයෙන් එතැනින් ඉවත් කිරීමට පොලීසිය සූදානම් වන විට පල්ලියේ නායකයා වැඩිමහල්ලෙකුගෙන් මෙසේ ඇසුවා. “ඔයාලා අද විශේෂ රැස්වීමක් පවත්වන්න අදහස් කරගෙන හිටියද?” සිහිකිරිමේ උත්සවය ගැන වැඩිමහල්ලා ඔහුට පැවසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “ඇත්තද මම දැනගෙන හිටියේ නැහැනේ!” එවිට එක පොලිස් නිලධාරියෙක් මෙසේ පැවසුවා. “අපි ඔයාට අද උදේ ඒ ගැන කිව්වා නේද?” පල්ලියේ නායකයා වැඩිමහල්ලා දෙසට හැරී කපටි සිනහවක් සමඟින් මෙසේ ඇසුවා. “මුළු ශාලාවෙම සෙනඟ පිරිලා. දැන් ඔයා මොකක්ද කරන්නේ? පොලීසියට අපිව එලවලා දාන්න කියන්නද හදන්නේ?” ඔහුගේ කපටි අරමුණ වුණේ සාක්ෂිකරුවන් අන් අයට කරදර කරන අය බව පෙන්වීමටයි. මේ අවස්ථාවේදී අපේ සහෝදරයන් ක්‍රියා කළේ කොහොමද?

18. තමන්ව කුපිත කිරීමට ගත් උත්සාහයකදී සහෝදරයන් ක්‍රියා කළේ කොහොමද? එහි ප්‍රතිඵලය කුමක්ද?

18 දේවමෙහෙය පැවැත්වීමට සාක්ෂිකරුවන් ඔවුන්ට පැය භාගයක කාලයක් ලබා දුන්නා. ඉන් පසුව සිහිකිරීමේ උත්සවය පවත්වන්න සහෝදරයන් තීරණය කළා. දේවමෙහෙය නියමිත වේලාව ඉක්මවා ගියත් ඉන් අනතුරුව සහෝදරයන් සිහිකිරීමේ උත්සවය පැවැත්වුවා. පසු දින ඒ සිද්ධිය ගැන සොයා බලන්න රජය කමිටුවක් පත් කළා. සියලු තොරතුරු සලකා බැලීමෙන් පසුව එම කමිටුව පල්ලියේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, ගැටලුව ඇති කළේ සාක්ෂිකරුවන් නොව පල්ලියේ ප්‍රධානියා බවට නිවේදනයක් නිකුත් කරන්න කියායි. ඒ වගේම ඒ අසීරු අවස්ථාවේදී ඉවසිලිවන්තව කටයුතු කිරීම ගැන එම කමිටුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ස්තුති කළා. “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට” සහෝදරයන් ගත් ඒ වෑයමට හොඳ ප්‍රතිඵල ලැබුණා.

19. අන් අය සමඟ සමාදානයෙන් සිටිය හැකි තවත් ආකාරයක් සඳහන් කරන්න.

19 අන් අය සමඟ සමාදානයෙන් සිටිය හැකි තවත් ආකාරයක් වන්නේ ඔවුන් සමඟ කාරුණිකව කතා කිරීමයි. එය වඩා හොඳින් කළ හැකි ආකාරය ගැන අප ඊළඟ ලිපියෙන් ඉගෙනගන්නවා.

[පාදසටහන]

^ 10 ඡේ. පුරාණ කාලවල යකඩ ලබාගැනීම සඳහා යපස් උණු කිරීමට ඊට උඩින් හා යටින් “ගිනි අඟුරු” ගොඩගසනවා. ඒ හා සමානව අපත් කාරුණිකව ක්‍රියා කරන විට අපට අකරුණාවන්ත වන අය සමහරවිට මෘදු වී යහපත් ගුණාංග විදහාපෙන්විය හැකියි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• අද දින මිනිසුන් නිතරම කෝපයෙන් සිටින්නේ ඇයි?

• කෝපය පාලනය කිරීමෙන් හා එය පාලනය නොකිරීමෙන් ඇති වන ප්‍රතිඵල ගැන බයිබලයේ සඳහන් උදාහරණ මොනවාද?

• සහෝදරයෙක් හෝ සහෝදරියක් අපගේ සිත රිදෙව්වා නම් අප ක්‍රියා කළ යුත්තේ කොහොමද?

• මිනිසුන් අපට විරුද්ධව එල්ල කරන ප්‍රහාරවලට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

සිමියොන් සහ ලෙවී කෝපය පාලනය කළේ නැහැ

[18වන පිටුවේ පින්තූර]

කරුණාවන්තව ක්‍රියා කිරීමෙන් දැඩි සිත් මොළොක් කළ හැකියි