Skip to content

පටුනට යන්න

දෙවිගේ කැමැත්ත කිරීමෙන් සතුට හා තෘප්තිය ලබන්න

දෙවිගේ කැමැත්ත කිරීමෙන් සතුට හා තෘප්තිය ලබන්න

දෙවිගේ කැමැත්ත කිරීමෙන් සතුට හා තෘප්තිය ලබන්න

‘මා ඔබ පිට තබන වියගහ පිළිගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.’—මතෙ. 11:29.

1. දෙවි මෝසෙස්ට ලබා දුන් නීතියේ ඇතුළත් වුණේ කුමක්ද? ඔහු එවැනි නීතියක් දුන්නේ ඇයි?

සීනයි කන්ද අසලදී යෙහෝවා දෙවි මෝසෙස්ට ලබා දුන් නීතියේ සබත පැවැත්වීම සම්බන්ධ නීතිද ඇතුළත් කළා. ඒ ගැන යෙහෝවා දෙවි පැවසුවේ මෙසේයි. “දවස් හයක් ඔබ වැඩ කළ යුතුයි. ඔබේ ගවයාට හා බූරුවාට විවේකයක් ලබා දෙන පිණිසත් ඔබේ දාසියගේ පුත්‍රයාට හා විදේශිකයන්ට නිවාඩුවක් දෙන පිණිසත් හත්වන දවසේදී වැඩ නොකරන්න.” (නික්. 23:12) තම සෙනඟ ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වූ නිසා සතියකට දවසක් ඔවුන්ට “නිවාඩු” ලබා දුන්නා. ඒ නිසා ඔවුන්ට විවේකගැනීමට අවස්ථාවක් ලැබුණා.

2. සබත පැවැත්වීමෙන් ඊශ්‍රායෙල්වරු ලැබූ ප්‍රයෝජන මොනවාද?

2 සබත් දවස වෙන් කර තිබුණේ විවේකගැනීම සඳහා පමණද? නැහැ. ඒ දවසේ ඊශ්‍රායෙල්වරුන් කළ ප්‍රධානතම දේ වුණේ නමස්කාර කටයුතුවල නියැලීමයි. ‘යෙහෝවා දෙවි පෙන්වන මාර්ගයේ ගමන් කිරීමටත් ධර්මිෂ්ඨ’ දේවල් කරන ආකාරය තම පවුලේ අයට ඉගැන්වීමටත් පවුල් මූලිකයන් සබත් දවස යොදාගත්තා. (උත්. 18:19) ඒ වගේම ඒ දවසේදී පවුලේ සාමාජිකයන්ට හා මිත්‍රයන්ට එකතු වී යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන කතා කරන්නත් හොඳ ඇසුරක් භුක්ති විඳින්නත් අවස්ථාව ලැබුණා. (යෙසා. 58:13, 14) නමුත් සබත් දවසෙන් අනාගතයේ සිදු වන වැදගත් දෙයක් නියෝජනය වුණා. එනම් යේසුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී සැබෑ සහනය ලැබෙන කාලය ගැන යම් බලාපොරොත්තුවක් ඉන් ලැබීමයි. (රෝම 8:21) සබත් දවසේදී ඊශ්‍රායෙල්වරුන් ලැබූ ප්‍රීතිය ලබන්න අපට පුළුවන් කොහොමද?

ඇසුරු කිරීමෙන් සතුටක් ලබන්න

3. පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් එකිනෙකාට උපකාර කළේ කොහොමද? ඉන් ලැබූ ප්‍රතිඵල මොනවාද?

3 පාවුල් ක්‍රිස්තියානි සභාව ‘සත්‍යය උසුලන කණුවක් හා ආධාරකයක්’ ලෙස හැඳින්නුවා. (1 තිමෝ. 3:15) පළමු ශතවර්ෂයේ තිබූ සභාවල සිටි ක්‍රිස්තියානීන් එකිනෙකාව දිරිගැන්වූ නිසා ඔවුන් එකිනෙකාගේ විශ්වාසයද ශක්තිමත් වුණා. (එෆී. 4:11, 12, 16) ඒ ගැන අපි උදාහරණ කිහිපයක් බලමු. පාවුල් එෆීසයේ සිටියදී කොරින්ති සභාවේ සිටි සහෝදරයන් කිහිපදෙනෙකු ඔහුව බැලීමට පැමිණියා. ඉන් තමාට ලැබුණ දිරිගැන්වීම ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘ස්තෙෆනස්, ෆෝටුනාටස් සහ අකායිකස් මා ළඟ සිටීම ගැන මට මහත් ප්‍රීතියක් දැනේ. ඔවුන් මට මහත් සහනයක් ගෙන දී ඇත.’ (1 කොරි. 16:17, 18) එමෙන්ම කොරින්තියේ සිටි සහෝදරයන්ට උපකාර කිරීමට තීතස් එහි ගියා. එවිට එම සහෝදරයන් නිසා තීතස්ද “මහත් සහනයක්” ලැබූ බව පාවුල් පසුව කොරින්ති සභාවට ලිව්වා. (2 කොරි. 7:13) අද දිනත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකිනෙකාව ඇසුරු කිරීමෙන් සැබෑ සතුටක් අද්දකිනවා.

4. සභා රැස්වීම් අපට දිරිගැන්වීමක් වන්නේ කොහොමද?

4 සභා රැස්වීම්වලදී ‘ඔබට අන් අයගේ විශ්වාසයෙන් මෙන්ම අන් අයට ඔබේ විශ්වාසයෙන් දිරිගැන්වීමක්’ ලැබෙනවා. එය මොන තරම් ප්‍රීතිමත් දෙයක්ද! (රෝම 1:12) අපගේ සහෝදර සහෝදරියන් සමඟ අපට තිබෙන බැඳීම විශේෂ එකක්. ඔවුන් සැබෑ මිත්‍රයන්. ඔවුන්ට අප ප්‍රේම කරනවා වගේම ගෞරව කරනවා. රැස්වීම්වලදී ඔවුන් සමඟ ආශ්‍රය කරන විට අප ඉන් මහත් ප්‍රීතියක් හා සැනසිල්ලක් ලබනවා.—ෆිලෙ. 7.

5. සමුළු සහ එක්රැස්වීම්වලදී එකිනෙකාව දිරිගන්වන්න අපට පුළුවන් කොහොමද?

5 එක්රැස්වීම් හා සමුළු තුළින්ද අපට දිරිගැන්වීමක් ලැබිය හැකියි. ඒවාට සහභාගි වීමෙන් අපට දැනුම ලැබෙනවා පමණක් නොව අන් අයව ඇසුරු කිරීමෙන් අපගේ ‘හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්නද’ හැකි වෙනවා. (2 කොරි. 6:12, 13) නමුත් ඔබ ලැජ්ජාශීලී කෙනෙක් නම් ඔබට ඔබේ ප්‍රේමය වැඩි කරගත හැක්කේ කොහොමද? එක් ආකාරයක් වන්නේ සමුළුවල විවිධ අංශවලට සහාය වීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීමයි. ජාත්‍යන්තර සමුළුවකදී පිරිසිදු කිරීමේ කටයුතුවල හවුල් වීමෙන් පසු එක් සහෝදරියක් මෙසේ පැවසුවා. “මගේ පවුලේ අය හා යහළුවන් ටිකදෙනෙක් ඇරෙන්න මම ගොඩක් අයව දැනගෙන හිටියේ නැහැ. නමුත් පිරිසිදු කිරීමේ අංශයේ වැඩ කරද්දී මට සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක්ව දැන හඳුනා ගන්න පුළුවන් වුණා. ඒකෙන් මම ලොකු සතුටක් ලැබුවා.”

6. නිවාඩු කාලයේදී ප්‍රීතිය අද්දැකිය හැකි එක් ක්‍රමයක් සඳහන් කරන්න.

6 ඊශ්‍රායෙල්වරු දෙවිට නමස්කාර කිරීම සඳහා වසරකට තුන්වතාවක් යෙරුසලමට ගමන් කළා. (නික්. 34:23) ඒ සඳහා ගොවිතැන් හා ව්‍යාපාර කටයුතු නවතා දැමීමට ඔවුන්ට සිදු වුණා. ඒ විතරක් නොවෙයි ඔවුන්ට දූවිලි සහිත මාවත් දිගේ දවස් ගණනාවක් ගමන් කරන්නත් සිදු වුණා. නමුත් ‘යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න හවුල් වීමෙන් ඔවුන් මහත් ප්‍රීතියක්’ අද්දැක්කා. (2 ලේක. 30:21) ඒ හා සමානව අද දිනත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බෙතෙල් නිවස නැරඹීමට යෑමෙන් මහත් ප්‍රීතියක් අද්දකිනවා. ඊළඟ නිවාඩු කාලයේදී බෙතෙල් ගෘහය නැරඹීමට සැලසුම් කරන්න ඔබටත් හැකිද?

7. (අ) පවුලේ අය හා හිත මිතුරන් සමඟ එකට එකතු වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ආ) සියලුදෙනාටම දිරිගැන්වීමක් ලබාගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

7 ප්‍රීතිය අද්දැකිය හැකි තවත් ක්‍රමයක් වන්නේ පවුලේ අය හා හිත මිතුරන් සමඟ එකට එකතු වී ආශ්‍රය කිරීමයි. ප්‍රඥාවන්ත සලමොන් රජ මෙවැනි දෙයක් පැවසුවා. “මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත.” (දේශ. 2:24) අපගේ සහෝදර සහෝදරියන් සමඟ එකට එකතු වී ආශ්‍රය කිරීමෙන් ඔවුන්ව වඩා හොඳින් දැන හඳුනා ගැනීමටත් බැඳීම් ශක්තිමත් කරගැනීමටත් අපට අවස්ථාවක් ලැබෙනවා. එහිදී සියලුදෙනාටම දිරිගැන්වීමක් ලැබීමට හා එය මතකයේ රැඳෙන අවස්ථාවක් කරගැනීමට නම් සුළු පිරිසකට ආරාධනා කිරීම සුදුසු විය හැකියි. එවැනි අවස්ථාවකදී මත්පැන් පිළිගන්වනවා නම් එය නිසි ආකාරයෙන් අධීක්ෂණය කිරීමද වැදගත්.

දේවසේවයෙන් සතුටක් ලබන්න

8, 9. (අ) යේසුස් හා පරිසිවරුන් අතර තිබූ වෙනස කුමක්ද? (ආ) බයිබලයේ සඳහන් වටිනා ඉගැන්වීම් අන් අයට කියා දීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

8 යේසුස් මහත් උද්‍යෝගයකින් දේවසේවය කළා වගේම තම ගෝලයන්ටත් එසේ කිරීමට දිරිගැන්නුවා. ඔහු ඒ ගැන පැවසුවේ මෙසේයි. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.” (මතෙ. 9:37, 38) යේසුස් ප්‍රකාශ කළේ ‘ශුභාරංචියක්’ නිසා ජනයාට ඉන් සැබෑ සහනයක් ලැබුණා. (මතෙ. 4:23; 24:14) නමුත් පරිසිවරුන් ජනයාගේ කර පිට මහත් බරක් හා සමාන නීති තැබුවා. එය ඔවුන්ට විශාල පීඩාවක් වුණා.—මතෙව් 23:4, 23, 24 කියවන්න.

9 අද දිනත් දේවරාජ්‍යයයේ පණිවිඩයට සවන් දෙන ජනයාට ඉන් සහනයක් ලැබෙනවා. ඒ වගේම බයිබලයේ සඳහන් වටිනා ඉගැන්වීම් අපගේ මනසටද තදින් කාවදිනවා. “ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. අපේ දෙවිට ප්‍රශංසා ගී ගැයීම කොතරම් අගනේද! ඔහුට ගී ගැයීම කොතරම් ප්‍රීතියක්ද!” කියා ගීතිකාකරු පැවසූ දේ මොන තරම් සත්‍යයක්ද! (ගීතා. 147:1) යෙහෝවා දෙවි ගැන කතා කිරීමට වැඩි කාලයක් ගත කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රීතිය තවත් වැඩි කරගත හැකිද?

10. අපගේ දේවසේවය සාර්ථකද නැද්ද යන්න රඳා පවතින්නේ ජනයා ශුභාරංචියට දක්වන ප්‍රතිචාරයට අනුවද? විස්තර කරන්න.

10 සමහර ප්‍රදේශවල ජනයා ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දක්වනවා. (ක්‍රියා 18:1, 5-8 කියවන්න.) නමුත් ඔබේ ප්‍රදේශයේ ජනයා එතරම් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් අධෛර්යයට පත් වෙන්න එපා. ඔබගේ දේවසේවය සාර්ථකද නැද්ද යන්න රඳා පවතින්නේ ජනයා ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය අනුව නොවෙයි. ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වුණත් ඔබ කරන සේවය නිසා යෙහෝවා දෙවිගේ නාමය අන් අයට දැනගන්න ලැබෙනවා. ඔබ ඒ වෙනුවෙන් දරන වෙහෙස කිසි දිනක නිෂ්ඵල වන්නේ නැහැ. (1 කොරි. 15:58) ඒ වගේම යම් ප්‍රදේශයක ශුභාරංචිය පිළිගැනීමට කැමති අය සිටිනවා නම් ඔවුන්ට ශුභාරංචිය ඇසීමට සලස්වන්න යෙහෝවා දෙවිට හැකියි.—යොහ. 6:44.

පවුලේ නමස්කාරයෙන් සතුටක් ලබන්න

11. යෙහෝවා දෙවි දෙමාපියන්ට දී තිබෙන වගකීම කුමක්ද? ඔවුන්ට එය ඉටු කරන්න පුළුවන් කොහොමද?

11 යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ මඟ පෙන්වීම් ගැනත් තම දරුවන්ට කියා දීමේ වගකීම ක්‍රිස්තියානි දෙමාපියන්ට තිබෙනවා. (ද්වි. 11:18, 19) ඒ සඳහා ඔබ කාලය වෙන් කරනවාද? ඔබට එම වගකීම ඉටු කිරීම සඳහා දෙවි ඔහුගේ සංවිධානය තුළින් පොත්, සඟරා, විඩියෝ පට, CD තැටි හා කැසට් පට ලබා දී තිබෙනවා.

12, 13. (අ) පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ සැන්දෑවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ආ) ඒ තුළින් පවුලේ අයට සතුටක් ලබා දෙන්න දෙමාපියන්ට කරන්න පුළුවන් කුමක්ද?

12 පවුලේ නමස්කාරය සඳහා සැන්දෑවක් වෙන් කිරීමට විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අපට අවස්ථාවක් දී තිබෙනවා. ඒ කාලය වෙන් කර තිබෙන්නේ පවුලක් ලෙස බයිබලය අධ්‍යයනය කිරීමටයි. එමගින් පවුලේ අය අතර තිබෙන බැඳීමත් යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයත් තවත් ශක්තිමත් වී ඇති බව ඉන් ප්‍රයෝජන ගත් බොහෝදෙනෙකු පවසනවා.

13 පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ කාලයෙන් සියලුදෙනාට සතුටක් ගෙන දෙන්න දෙමාපියන්ට කරන්න පුළුවන් කුමක්ද? නිකම්ම කාලය නාස්ති කරන්න එපා. අප නමස්කාර කරන්නේ “ප්‍රීතිමත් දෙවි” කෙනෙකුට නිසා ඔහුට නමස්කාර කිරීමේදී අප සතුටක් ලබනවාට ඔහු කැමතියි. (1 තිමෝ. 1:11; ෆිලි. 4:4) බයිබලයේ ඇති ඉතා වටිනා තොරතුරු ගැන සාකච්ඡා කිරීමට කාලයක් ලැබීම ඇත්තෙන්ම ආශීර්වාදයක්. දෙමාපියන්ට එය කළ හැකි ආකාරය ගැන උදාහරණයක් බලමු. අවුරුදු දහයක් වු බ්‍රැන්ඩන්, සර්පයන්ට කැමති නිසා සාතන්ව සර්පයෙකුට සමාන කර තිබීම ගැන ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා “යෙහෝවා දෙවි සාතන්ව සර්පයෙකුට සමාන කර තිබෙන්නේ ඇයි?” යන මතෘකාව යටතේ තොරතුරු සොයාගෙන, එය පවුලේ පාඩමේදී ඉදිරිපත් කරන්න කියා දෙමාපියන් ඔහුට පැවසුවා. සමහර පවුල් විටන් විට බයිබලයේ යම් කොටසක් තෝරාගෙන එහි ඇති චරිත බෙදාගෙන කියවනවා. එසේත් නැත්නම් සියලුදෙනාම එකතු වී එය රඟ දක්වනවා. දරුවන්ට ඉගැන්වීමේදී එවැනි ක්‍රම යොදාගැනීමෙන් ඔවුන් සතුටක් ලබනවා වගේම ඊට හොඳින් සහභාගි වීමටද ඔවුන්ට හැකියි. ඉන් සිදු වන්නේ බයිබල් ප්‍රතිපත්ති ඔවුන්ගේ සිත්වලට හොඳින් කාවැදීමයි. *

සතුට අහිමි කරන දේවලින් වැළකී සිටින්න

14, 15. (අ) අද දින පීඩන හා අනාරක්ෂිත බව වැඩි වී තිබීමට හේතු මොනවාද? (ආ) ඊට අමතරව ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට තිබෙන පීඩාව කුමක්ද?

14 අපගේ සතුට දිගටම පවත්වාගැනීමට නම් අප වැළකිය යුතු දේවල්ද තිබෙනවා. මේ දුෂ්ට සමාජයේ අවසාන කාලයේ මිනිසුන් නිතරම සිටින්නේ පීඩනයෙන්. ඔවුන්ට දැනෙන අනාරක්ෂිත බව දැන් වැඩි වී තිබෙනවා. රැකියා නැතිකම හා වෙනත් ආර්ථික දුෂ්කරතා මිලියන ගණනකගේ ජීවිතවලට බලපා තිබෙනවා. ඒ වගේම රැකියාවක් තිබෙන අයටත් තමන් උපයන මුදල් තම පවුලේ අයගේ වියහියදම් සඳහා ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට දැනෙන්නේ එය හරියට හිල් ඇති පසුම්බියකට මුදල් දමනවා වගෙයි. (හග්ගයි 1:4-6 බලන්න.) ඒ විතරක් නොවෙයි ත්‍රස්තවාදය සහ වෙනත් දුෂ්ට දේවල් නැති කරන්න දේශපාලඥයන් හා වෙනත් නායකයන් ගන්නා උත්සාහයන් බොහෝවිට අසාර්ථක වී තිබෙනවා. තවත් බොහෝදෙනා තමන් අතින් සිදු වන වැරදි නිසා අධෛර්යයට පත් වී සිටිනවා.—ගීතා. 38:4.

15 මේ දුෂ්ට ලෝකයේ මිනිසුන් අද්දකින එවැනි දේවලට සැබෑ ක්‍රිස්තියානීන්ටද මුහුණ දීමට සිදු වෙනවා. (1 යොහ. 5:19) ඊට අමතරව යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීම නිසාත් ඔවුන්ට පීඩාවලට මුහුණ දීමට සිදු විය හැකියි. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.” (යොහ. 15:20) නමුත් මිනිසුන් ‘අපට පීඩා කළත් දෙවි අපව අත්හැර දමන්නේ’ නැති බවට ඔහු පොරොන්දු වී තිබෙනවා.—2 කොරි. 4:9.

16. පීඩාවලට මුහුණ දුන්නත් දිගටම සන්තෝෂයෙන් සිටින්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

16 අප පීඩාවලට මුහුණ දෙන විට අපට අවශ්‍ය සහනය ලබා දෙන බවට යේසුස් මෙසේ පොරොන්දු වුණා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි.” (මතෙ. 11:28) යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම අපගේ ජීවිත යෙහෝවා දෙවිට බාර දෙනවා හා සමානයි. එවිට දෙවි අපට “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දෙනවා. (2 කොරි. 4:7) ඒ බලයේ “උපකාරය” තුළින් අපට ඔහු කෙරෙහි ඇති විශ්වාසය තවත් වැඩි වන අතර පීඩා විඳදරාගෙන දිගටම සන්තෝෂයෙන් සිටින්න හැකියාවද ලැබෙනවා.—යොහ. 14:26; යාකො. 1:2-4.

17, 18. (අ) අප වැළකී සිටිය යුත්තේ කුමන ආකල්පයෙන්ද? (ආ) පාලනයකින් යුතුව දේවල් කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

17 අද දින සිටින මිනිසුන් බොහෝදෙනෙක් සිතන්නේ තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීම ගැන පමණයි. නමුත් සන්තෝෂයෙන් සිටීමට නම් අප එම ආකල්පයෙන් වැළකී සිටිය යුතුයි. (එෆීස 2:2-5 කියවන්න.) එසේ නොවුණොත් අප ‘ඉඳුරන් පිනවීමේ ආශාවටත් දකින දකින දේ ලබාගැනීමේ ආශාවටත් තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවටත්’ හසු විය හැකියි. (1 යොහ. 2:16) එසේත් නැත්නම් සතුටක් ලබන්න නම් වැරදි ආශාවන් තෘප්තිමත් කරගත යුතුයි කියා අපට සිතෙන්න පුළුවන්. (රෝම 8:6) උදාහරණයකට, සමහරුන් වින්දනයක් ලබාගැනීම සඳහා මත්ද්‍රව්‍ය ගැනීම, මත්පැන් අනිසි භාවිතය, කාමුක දර්ශන නැරඹීම, අවධානම් සහිත ක්‍රීඩාවල යෙදීම හෝ වෙනත් නීති විරෝධි ක්‍රියාවල යෙදෙනවා. ඇත්තෙන්ම සාතන් ඇති කර තිබෙන එවන් ‘කපටි ක්‍රියාවන්වල’ අරමුණ වන්නේ කෙනෙකුට තාවකාලික සතුටක් ලබා දීමෙන් ඔහුව මුළා කිරීමයි.—එෆී. 6:11, පාද සටහන.

18 කෑම, බීම ගැනීමෙහි සහ යහපත් විනෝදාංශවල යෙදීමෙහි වරදක් නැති බව ඇත්තයි. නමුත් අප ජීවත් වන කාලය ගැන සැලකිලිමත් වෙමින් පාලනයකින් යුතුව ඒ දේවල් කිරීම වැදගත්. එසේ නොකර අපේ සතුට ගැන පමණක් සිතා කටයුතු කළොත් “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔබ ලබා ඇති නිවැරදි දැනුමට අනුව ජීවත් වීමේදී ඔබ අක්‍රියාශීලී හෝ පල නොදරන තත්වයකට” පත් වීමට ඉඩ තිබෙනවා.—2 පේතෘ. 1:8.

19, 20. සැබෑ සතුට ලබාගන්නේ කොහොමද?

19 අප යෙහෝවා දෙවි සිතන ආකාරයට සිතන විට මේ දුෂ්ට ලෝකය ඉදිරිපත් කරන සතුට තාවකාලික බව අපට වැටහෙයි. මෝසෙස්ද ඒ බව තේරුම්ගත්තා. (හෙබ්‍රෙ. 11:25) ඇත්තෙන්ම සැබෑ සතුට හා තෘප්තිය ලැබෙන්නේ අපගේ ස්වර්ගික පියාගේ කැමැත්ත කිරීමෙන් පමණයි.—මතෙ. 5:6.

20 එසේනම් අපි දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් සතුටක් අද්දකිමු. එමගින් අපට ‘දෙවිව අගෞරවයට පත් කරන ක්‍රියා හා පව්කාර ආශාවන් ප්‍රතික්ෂේප කරමින් අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද පැමිණෙන තුරු බලා’ සිටිය හැකියි. (තීත. 2:12, 13) ඒ අතරතුර යේසුස්ගේ අධිකාරියට හා මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් ඔහු අප පිට තබන වියගහ පිළිගනිමු. එවිට අපට සැබෑ සතුට හා සහනය ලැබිය හැකියි.

[පාදසටහන]

^ 13 ඡේ. පවුලේ පාඩම ප්‍රයෝජනයක් හා සතුටක් ලැබෙන ආකාරයෙන් පැවැත්විය හැකි ආකාරය සඳහා තවත් තොරතුරු දැනගැනීමට 2009 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ 29-31 දක්වා පිටු බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• යෙහෝවා දෙවිගේ සෙනඟ අද දින සතුට සොයාගන්නේ කොහොමද?

• ශුභාරංචිය ප්‍රකාශ කිරීම තුළින් අපටත් අපට සවන් දෙන අයටත් සතුට ලබන්නේ කොහොමද?

• පවුලේ නමස්කාරයෙන් සතුට ලබන්න නම් දෙමාපියන් කුමක් කළ යුතුද?

• දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට බාධාවක් විය හැකි දේවල් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූර]

යේසුස් අප පිට තබන වියගහ පිළිගැනීමෙන් සතුට ලැබිය හැකියි