Skip to content

පටුනට යන්න

දෙවිගේ සෙනඟ සමඟ සිටීම ආරක්ෂාවක්

දෙවිගේ සෙනඟ සමඟ සිටීම ආරක්ෂාවක්

දෙවිගේ සෙනඟ සමඟ සිටීම ආරක්ෂාවක්

“රැස්ව සිටින සමූහය මැදදී මම ඔබව පසසන්නෙමි.”—ගීතා. 35:18.

1-3. (අ) සමහර ක්‍රිස්තියානීන් දෙවිගෙන් ඈත් වන්නේ කුමන හේතු නිසාද? (ආ) දෙවිගේ සෙනඟට ආරක්ෂාව ලැබෙන්නේ කොහෙන්ද?

ජෝහා ඔහුගේ භාර්යාව මුහුදේ පිහිනමින් අලංකාර කොරල්පර අසල ගැවසෙන, විවිධ පාටවලින් හා ප්‍රමාණයෙන් යුත් මසුන් නරඹමින් සිටියා. ඔවුන් ඈතට පිහිනා ගියේ තවත් අලංකාරවත් දේවල් දැකගැනීමේ අදහසිනුයි. නමුත් ඔවුන් ගැඹුරු මුහුදට පැමිණ ඇති බව දැනගත් ජෝගේ භාර්යාව, “අපි ඈතට ආවා වැඩියි” කියා ඔහුට පැවසුවා. එවිට ජෝ ඇයට මෙසේ පිළිතුරු දුන්නා. “කලබල වෙන්න එපා. මම දන්නවා අපි කොහේද ඉන්නේ කියලා.” ඒ සමඟම ඔවුන් අසල සිටි මාළු අතුරුදහන් වුණා. උන්ට මොකද වුණේ කියා ජෝ තේරුම්ගත්තේ මෝරෙකුව දුටු විටයි. ඌ ඔවුන් දෙසට කිට්ටු වෙද්දී ඔවුන් හොඳටම බය වුණා. ඒත් ඌ ඔවුන්ට අඩි කිහිපයක් ළං වී වෙනත් පැත්තකට පිහිනා ගියා.

2 වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන ජෝ තමන් ලැබූ ඒ අද්දැකීමෙන් ඉගෙනගත් දේ ගැන මෙසේ පවසනවා. “අපි නිතරම ඉන්න ඕනේ සුරක්ෂිත තැනක. ඒ කියන්නේ ක්‍රිස්තියානි සභාව තුළයි. අපිට සතුටින් ඉන්න පුළුවන් එකම තැන එතනයි.” විනෝද වීමට ඇති දැඩි ආශාව, රැකියාවට මුල් තැන දීම හා ධන සම්පත් රැස් කරගැනීමේ ආශාව වැනි දේවල් නිසා ක්‍රිස්තියානියෙක් නොදැනුවත්වම අනතුරුදායක තත්වයකට පත් විය හැකියි. ඒ නිසා ඔබ කවදාවත් සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන ආකර්ෂණීය දේවල්වලට ඇදී නොයා යුතුයි. මන්ද එවැනි දේවලට ඇදී ගියොත් ඔබ දෙවිගෙන් ඈත් වන අතර භයානක ප්‍රතිඵලවලටද මුහුණ දෙන්න සිදු වෙයි. ඔබ ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වන බව ඔබට හැඟෙනවා නම් ඉක්මනින්ම ඔහුගේ සෙනඟ සමඟ නැවතත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට පියවර ගන්න.

3 වර්තමානයේ ක්‍රිස්තියානීන් ජීවත් වන්නේ ඉතා භයානක කාලයකයි. (2 තිමෝ. 3:1-5) මන්ද තමාට තව ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා සාතන්, සෝදිසියෙන් නොසිටින අයව දෙවිගෙන් ඈත් කිරීමට මාන බලමින් සිටිනවා. (1 පේතෘ. 5:8; එළි. 12:12, 17) නමුත් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ආරක්ෂාව ලබාගත හැකි ස්ථානයක් ලබා දී තිබෙනවා. එය නම් ක්‍රිස්තියානි සභාවයි.

4, 5. බොහෝදෙනෙකුට අනාගතය ගැන හැඟෙන්නේ කොහොමද? ඒ ඇයි?

4 මේ දුෂ්ට ලෝකයෙන් අපට ලැබෙන ආරක්ෂාව ඉතා සීමා සහිතයි. ප්‍රචණ්ඩත්වය, ජීවන වියදම ඉහළ යාම හා ස්වාභාවික විපත් නිසා තමන්ට කිසිම ආරක්ෂාවක් නැහැයි කියා බොහෝදෙනෙක්ට හැඟෙනවා. වයසට යෑම හා විවිධාකාර අසනීප නිසාද බෙහෝදෙනා කනස්සල්ලෙන් සිටිනවා. රැකියාවක්, නිවසක්, අවශ්‍ය තරම් මිලමුදල් හා හොඳ සෞඛ්‍යයක් තිබෙන අය පවා ඒවා කොතරම් කාලයක් පවතීද කියා කල්පනා කරනවා.

5 මනසට සහනයක් සොයන බොහෝදෙනෙකුටද සහනයක් ලැබී නැහැ. විවාහය හා සන්තෝෂවත් පවුල් ජීවිතයක් තුළින් එය ලබාගන්න උත්සාහ කළත් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු වී නැහැ. ආගම තුළින්වත් ඔවුන්ට සහනයක් ලැබී නැහැ. ආගමික නායකයන්ගේ නුසුදුසු හැසිරීම හා බයිබලයට එකඟ නොවන ඉගැන්වීම් නිසා ඔවුන්ගේ මනස් තවත් අවුල් වී තිබෙනවා. ඒ නිසා බොහෝදෙනෙක් විද්‍යාව කෙරෙහි හෝ සහනය පතා වෙනත් පුද්ගලයන් කෙරෙහි විශ්වාස කරන්න පුරුදු වී තිබෙනවා. එසේනම් බොහෝදෙනෙකුට තම අනාගතය සුරක්ෂිත නැහැයි කියා හැඟීම ගැන හෝ ඔවුන් අනාගතය ගැන උනන්දු නොවීම ගැන අප පුදුම විය යුතුද!

6, 7. (අ) දෙවිගේ සෙනඟ හා අන් අය අතර තිබෙන වෙනසට හේතුව කුමක්ද? (ආ) අප ඊළඟට සලකා බලන්නේ කුමක් ගැනද?

6 ක්‍රිස්තියානි සභාවට අයත් අය හා එයින් පිටත සිටින අය අතර තිබෙන වෙනස මොන තරම්ද! අපේ අසල්වාසීන් මෙන් අපටත් විවිධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. නමුත් අප ඊට මුහුණ දෙන්නේ ඔවුන්ට වඩා වෙනස් ආකාරයටයි. (යෙසායා 65:13, 14; මලාකි 3:18 කියවන්න.) අප එසේ ක්‍රියා කරන්නේ ඇයි? ප්‍රශ්න ගැටලු ඇති වීමට සැබෑ හේතුව අප බයිබලය තුළින් ඉගෙනගෙන තිබෙන අතර ඒවාට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය මඟ පෙන්වීම්ද අපට ලැබී තිබෙනවා. ඒ නිසා අප අනාගතය ගැන පමණට වඩා කනස්සලුවන්නේ නැහැ. එමෙන්ම බයිබලයට පටහැනි තර්කවලට අප හසු වන්නේද නැහැ. ඒ වගේම වැරදි දේවල් කිරීමෙන් අප වැළකී සිටින නිසා ඒවායේ ඵලවිපාකවලට මුහුණ දීමට අපට සිදු වන්නේ නැහැ. ක්‍රිස්තියානි සභාවට අයත් අප, මනසේ සාමයක් භුක්ති විඳින්නේ ඒ නිසයි. එය අන් අයට වටහාගැනීමට අපහසුයි.—යෙසා. 48:17, 18; ෆිලි. 4:6, 7.

7 යෙහෝවා දෙවිගේ සෙනඟ වන අප, මොන තරම් සුරක්ෂිත තැනක සිටිනවාද කියා තේරුම්ගැනීමට උදාහරණ කිහිපයක් සලකා බලමු. එයින් අපගේ සිතුවිලි හා පුරුදු ගැන සෝදිසි කර බලන්නත් අපගේ ආරක්ෂාව සඳහා දෙවි ලබා දී තිබෙන උපදෙස් වඩාත් හොඳින් අදාළ කරගත හැකි ආකාර ගැන සොයා බලන්නත් අපට හැකියි.—යෙසා. 30:21.

“මාගේ පය ලිස්සීමට ආසන්නව තිබිණ”

8. දෙවිගේ සේවකයන් අතීතයේ සිටම ක්‍රියා කළේ කොහොමද?

8 අතීතයේ සිටම දෙවිගේ සේවකයන් දෙවිට නමස්කාර නොකළ අය සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තේ නැහැ. තමාට සේවය කරන හා නොකරන අය අතර සතුරුකමක් තිබෙන බව දෙවි පවසා තිබෙනවා. (උත්. 3:15) දෙවිගේ සෙනඟ ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන නිසා ඔවුන් ක්‍රියා කරන්නේ අන් අයට වඩා වෙනස්වයි. (යොහ. 17:15, 16; 1 යොහ. 2:15-17) එලෙස ක්‍රියා කිරීම සෑමවිටම පහසු දෙයක් නොවෙයි. ඒ නිසා පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කරමින් දෙවිට සේවය කිරීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවාද කියා අතීතයේ සිටි දෙවිගේ සේවකයන් සමහරදෙනෙක් කල්පනා කළා.

9. හැත්තෑතුන්වන ගීතිකාව ලියූ ලේඛකයාට ඇති වූ ප්‍රශ්නය කුමක්ද?

9 ආසාෆ්ගෙන් පැවතෙන්නෙක් බව සිතිය හැකි, 73වන ගීතිකාව ලියූ ලේඛකයා තමා දෙවිට සේවය කිරීමට ගත් තීරණය ඥානවන්තද කියා කල්පනා කළා. ඒ නිසා ඔහු මෙවැනි දෙයක් ඇසුවා. ‘දුෂ්ටයන් බොහෝවිට සාර්ථක, සන්තෝෂවත් හා සැප පහසු ජීවිතයක් ගත කරනවා. නමුත් දෙවිට සේවය කරන සමහර අය ප්‍රශ්න ගැටලුවලට හා පීඩාවලට මුහුණ දෙන්නේ ඇයි?’ගීතාවලිය 73:1-13 කියවන්න.

10. ගීතිකාකරුගේ මනසේ නැඟුණු ප්‍රශ්නය ගැන අප ගැඹුරින් කල්පනා කළ යුත්තේ ඇයි?

10 දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව සිටිනවා දකින විට ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවාද? ඔවුන් මෙන් ක්‍රියා කරමින් දෙවිගෙන් ඈත් වීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙනවාද? සාතන්ට අවශ්‍ය වන්නේ අප දෙවිගෙන් ඈත් වෙනවා දකින්නයි. නමුත් ඔබට එවැනි හැඟීමක් ඇති වුණොත් ඒ ගැන පමණට වඩා දුක් වෙන්න එපා. එමෙන්ම එවැනි හැඟීමක් ඇති වුණේ දෙවි කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය අඩු වූ නිසයි කියා සිතන්නත් එපා. බයිබලය ලියූ සමහර ලේඛකයන් ඇතුළු දෙවිට විශ්වාසවන්තව සිටි බොහෝදෙනෙකුටද ඒ හා සමාන ප්‍රශ්න ඇති වුණා. (යෝබ් 21:7-13; ගීතා. 37:1; යෙරෙ. 12:1; හබ. 1:1-4, 13) ඒ නිසා ක්‍රිස්තියානීන් වන අප සියලුදෙනාම මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් කල්පනා කිරීම ඉතා වැදගත්. ‘දෙවිට සේවය කරන්නත් ඔහුට කීකරු වෙන්නත් මම ගත් තීරණය ඥානවන්තද?’ ඒ ප්‍රශ්නය, සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ගැන සාතන් මතු කළ ප්‍රශ්නයට සම්බන්ධයි. (උත්. 3:4, 5) ඊට අප ලබා දෙන පිළිතුරෙන් අප සිටින්නේ කාගේ පැත්තේද කියා ඔප්පු වෙනවා.

11, 12. (අ) ගීතිකාකරුගේ මනසේ නැඟුණු ප්‍රශ්නයට ඔහු පිළිතුරු සොයාගත්තේ කොහොමද? ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) ගීතිකාකරු මෙන් දෙවිගේ සෙනඟ අතර සිටීමට ඔබ තීරණය කළේ ඇයි?

11 ගීතිකාකරුගේ මනසේ නැඟුණු ප්‍රශ්නයට ඔහු පිළිතුරු සොයාගත්තේ කොහොමද? ඒ වන විට ඔහු දෙවිගෙන් ඈත් වීමට ආසන්නවයි සිටියේ. නමුත් ඔහු දෙවිගේ ශුද්ධස්ථානය වෙතට ගිය විට එනම්, දෙවිගේ ගෘහයට ගොස් ඔහුගේ සෙනඟ සමඟ ඇසුරු කළ විට හා ඔහුගේ අරමුණු ගැන ගැඹුරින් කල්පනා කළ විට ගීතිකාකරුට යම් දෙයක් පැහැදිලි වුණා. එනම් දුෂ්ටයන් ගත කරන ජීවිතය හා ඔවුන් ගත් තීරණ නිසා ඔවුන් සිටින්නේ “ලිස්සනසුලු තැන්වල” බවයි. යෙහෝවා දෙවිව අත්හරින අය “එක් නිමේෂයකින්” විනාශ වන බවත් ඔහු තේරුම්ගත්තා. ඒ කනගාටුදායක තත්වය අද්දකින්න ගීතිකාකරුට නම් කොහෙත්ම අවශ්‍ය වුණේ නැහැ. ඊට වෙනස්ව දෙවිට සේවය කරන අය ඔහුගේ ආරක්ෂාව යටතේ සිටින බව ගීතිකාකරු දුටුවා. (ගීතාවලිය 73:16-19, 27, 28 කියවන්න.) දුෂ්ටයන් අද්දකින අයහපත් ප්‍රතිඵල ඔබත් දැක තිබෙනවා විය හැකියි. තමා ගැන පමණක් සිතමින් දෙවිගේ නීති නොසලකාහැර ජීවත් වීම ඉතා පහසු දෙයක් කියා බොහෝදෙනෙකුට හැඟෙන්න පුළුවන්. නමුත් එලෙස ජීවත් වන කෙනෙකුට අනිවාර්යයෙන්ම අයහපත් ප්‍රතිඵල අද්දකින්න සිදු වෙනවා.—ගලා. 6:7-9.

12 ගීතිකාකරු ලැබූ අද්දැකීමෙන් අපට තවදුරටත් ඉගෙනගත හැක්කේ කුමක්ද? දෙවිගේ සෙනඟ අතර සිටීම ඔහුට ආරක්ෂාවක් වූ අතර ප්‍රඥාවන්ත මඟ පෙන්වීම්ද ඔහුට ලැබුණා. එතැන් සිට ඔහු නිවැරදිව සිතන්න පටන්ගත්තා. ඒ හා සමානව සභා රැස්වීම්වලට සහභාගි වීමෙන් ඥානවන්ත මඟ පෙන්වීම් හා දෙවි ගැන නිවැරදි දැනුම අපට ලබාගත හැකියි. එහිදී අපට දිරිගැන්වීම් ලැබෙන අතර දෙවි සතුටු කරන ආකාරයෙන් ජීවත් වීමට පෙලඹීමක්ද ඇති වෙනවා. රැස්වීම් අතපසු නොකරන්න කියා යෙහෝවා දෙවි අපට පවසා තිබෙන්නේ ඒ නිසයි.—යෙසා. 32:1, 2; හෙබ්‍රෙ. 10:24, 25.

ඔබේ මිතුරන්ව ඥානවන්තව තෝරාගන්න

13-15. (අ) දීනාට සිදු වුණේ කුමක්ද? ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) දෙවිට නමස්කාර කරන අය සමඟ ඇසුරු කිරීම අපට ආරක්ෂාවක් වන්නේ ඇයි?

13 යාකොබ්ගේ දියණිය වන දීනාට සිදු වූ දේ සලකා බලන්න. දෙවිට නමස්කාර නොකරන අය සමඟ ඇසුරු කිරීම නිසා ඇය මහත් කරදරයක වැටුණා. උත්පත්ති පොතේ පවසන්නේ, ඇය කානානිය තරුණියන්ව ඇසුරු කිරීමට පුරුදු වී සිටි බවයි. කානානිවරු දෙවිගේ සෙනඟ මෙන් උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වූ අය නොවෙයි. පුරාවිද්‍යාවෙන් සොයාගෙන තිබෙන තොරතුරුවලින් පැහැදිලි වන්නේ ඔවුන් රූප වන්දනාව, අනාචාරය, ලිංග නමස්කාරය හා අපරාධ වැනි ක්‍රියාවල බහුලව නියැලුණු බවයි.—නික්. 23:23; ලෙවී. 18:2-25; ද්වි. 18:9-12.

14 කානානිය තරුණයෙක් වූ ෂීකෙම්, දීනා ගැන උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. ඔහු තම “පියාගේ නිවසේ සියල්ලන්ට වඩා ගෞරවාන්විත කෙනෙකු” වුණත් ඔහු දීනාව ‘දූෂණය කළා.’ (උත්. 34:1, 2, 19) තමාට එවැනි දෙයක් සිදු වෙයි කියා ඇය කිසි දිනක නොසිතන්න ඇති. ඇයට අවශ්‍ය වුණේ අහිංසකයි කියා ඇය සිතූ තරුණයන් සමඟ මිත්‍රත්වයක් පැවත්වීම පමණයි. නමුත් දීනා හොඳටම රැවටුණා. ඇත්තෙන්ම ඇයට සිදු වුණේ මොන තරම් කනගාටුදායක දෙයක්ද!

15 ඒ සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අය සමඟ කිට්ටුවෙන් ඇසුරු කිරීමෙන් අපට නරකක් සිදු නොවන බව අප කිසි දිනක නොසිතිය යුතුයි. මන්ද, “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියා බයිබලයේ පැහැදිලිවම පවසනවා. (1 කොරි. 15:33) නමුත් ඔබ මෙන් යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් ඔහුට නමස්කාර කරන හා ඔහුගේ උසස් සදාචාර ප්‍රමිති රකින අයව ඇසුරු කිරීම ඔබට ආරක්ෂාවක්. ඔවුන්ගෙන් ඥානවන්තව ක්‍රියා කිරීමට අවශ්‍ය දිරිගැන්වීම්ද ඔබට ලැබෙනවා.—හිතෝ. 13:20.

“ඔබව සෝදා පවිත්‍ර කර ඇත”

16. කොරින්ති සභාවේ සිටි සමහරුන් ගැන පාවුල් පැවසුවේ කුමක්ද?

16 බොහෝදෙනෙකුට තම අපවිත්‍ර පුරුදු අත්හැර දැමීමට ක්‍රිස්තියානි සභාවෙන් උපකාර ලැබී තිබෙනවා. උදාහරණයකට පාවුල් කොරින්ති සභාවට ලියූ ඔහුගේ පළමු ලිපියේ එහි සිටි අය දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම සඳහා කළ වෙනස්කම් ගැන සඳහන් කළා. එදා සිටි සමහරුන් වේශ්‍යාකම් කළා. රූප වන්දනාවේ යෙදුණා. අනාචාරයේ හැසිරුණා. සමලිංගික ක්‍රියාවල නියැලුණා. සොරකම් කළා. බේබද්දන්ව සිටියා. නමුත් ඒ අය ගැන පාවුල් පැවසුවේ, “දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත” කියායි.—1 කොරින්ති 6:9-11 කියවන්න.

17. බයිබල් ප්‍රමිතිවලට අනුව ජීවත් වීම නිසා බොහෝදෙනෙකුගේ ජීවිත වෙනස් වී තිබෙන්නේ කොහොමද?

17 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසයක් නැති අයට ඔහුගෙන් ඥානවන්ත මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් තමන්ට කැමති ආකාරයට ජීවත් වීමට හෝ ඔවුන් අවට සිටින අයව අනුකරණය කරමින් අනාචාර ජීවිතයක් ගත කිරීමට පුරුදු විය හැකියි. (එෆී. 4:14) නමුත් දෙවිගේ වචනය හා ඔහුගේ අරමුණු පිළිබඳව දැනුම ලබාගෙන එය අදාළ කරගන්නා කෙනෙකුට තම ජීවිතය වෙනස් කරගත හැකියි. (කොලො. 3:5-10; හෙබ්‍රෙ. 4:12) එවැනි අද්දැකීම් තිබෙන බොහෝදෙනෙකු ඔබේ සභාවේද සිටිනවා ඇති. ඔවුන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමට පෙර ගත කළ ජීවිතය ගැනත් දෙවි ගැන ඉගෙනගෙන ඔහුගේ සෙනඟ සමඟ ඇසුරු කිරීමට පටන්ගත් පසු ඔවුන්ට ලැබී තිබෙන සතුට ගැනත් ඔබට පවසාවි.

18. එක් තරුණියක් ලැබූ අද්දැකීම කුමක්ද? ඉන් ඔප්පු වන්නේ කුමක්ද?

18 ජෝ සහ ඔහුගේ බිරිඳ නොගැඹුරු ස්ථානයක පිහිනමින් සිටියත් තවත් දේවල් නැරඹීමට තිබෙන ආශාව නිසා ගැඹුරු මුහුදට ගිය බව ඔබට මතක ඇති. ඒ හා සමානව සමහර අය සුරක්ෂිත තැනක් වන ක්‍රිස්තියානි සභාව අත්හැර ගොස් තිබෙනවා. නමුත් ඔවුන් ගත් ඒ තීරණය ගැන දැන් ඔවුන් පසුතැවෙනවා. යෙහෝවා දෙවිට නමස්කාර කරන පවුලක හැඳී වැඩුණු ටානියා වයස අවුරුදු 16දී සභාව අත්හැර සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන දේවලට ඇදී ගියා. ඒ නිසා ඇයට බොහෝ කරදරවලට මුහුණ දෙන්න සිදු වුණා. ඇය අනපේක්ෂිත ලෙස ගැබ්ගත් අතර පසුව ඒ දරුවාව ගබ්සා කළා. දැන් ඇය ඒ ගැන මෙසේ පවසනවා. “මම සභාව අත්හැරලා ගත කරපු අවුරුදු තුන ඇතුළත මට කිසිම යහපතක් වුණේ නැහැ. මට ඉතුරු වුණේ වේදනාව විතරයි. මගේ නූපන් දරුවාව මරා දාපු එක ගැන මගේ හිත මට තාමත් වධ දෙනවා. සුළු මොහොතකට හරි සාතන්ගේ ලෝකයේ ‘රස බලන්න’ ආශාවෙන් ඉන්න තරුණ තරුණියන්ට මම කියන්නේ, ‘කවදාවත් එහෙම කරන්න එපා.’ මුලදී වින්දනයක් ලැබුණත් ජීවිත කාලය පුරාම දුක් විදින්න වෙනවා. මම මේක කියන්නේ අද්දැකීමෙන්මයි, සාතන්ගේ ලෝකය අපට දෙන්නේ වේදනාව විතරයි. ඒ නිසා කවදාවත් දෙවිගේ සංවිධානය නම් අත්හැරලා යන්න එපා. අපිට සතුටින් ඉන්න පුළුවන් එකම තැන එතනයි.”

19, 20. ක්‍රිස්තියානි සභාවෙන් ලැබෙන්නේ කුමනාකාරයේ ආරක්ෂාවක්ද? එය ලබාගන්න පුළුවන් කොහොමද?

19 දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව තම ජීවිත වෙනස් කරගෙන සිටින අය ඔවුන් කලින් ගත කළ ජීවිතය ගැන හිතන්නවත් කැමති නැහැ. (යොහ. 6:68, 69) සාතන්ගේ ලෝකයෙන් ඇති වන දුක හා වේදනාව අත් නොදැක සිටීමට නම් ඔබ සභාවේ සහෝදර සහෝදරියන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම අවශ්‍යයි. ඔවුන්ගේ ආශ්‍රයෙන් හා රැස්වීම්වලින් දෙවිගේ ප්‍රමිති රැකීමට ඔබට දිරිගැන්වීම් ලැබෙනවා. ක්‍රිස්තියානි සභාවෙන් ලැබෙන ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරීම මොන තරම් අඥාන දෙයක්ද! ඒ නිසා ගීතිකාකරු පැවසූ ලෙස, ‘යෙහෝවා දෙවිව පසසමින් රැස්ව සිටින සමූහය මැද’ එනම්, ක්‍රිස්තියානි සභාව තුළම රැඳී සිටින්න.—ගීතා. 35:18.

20 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීම අපහසු දෙයක් කියා සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානීන්ට හැඟෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වන්නේ දිරිගැන්වීමක් පමණක් විය හැකියි. එසේනම් ඔවුන්ව ‘සනසා ශක්තිමත් කරන්න’ ඔබට කළ හැක්කේ කුමක්ද? ඒ ගැන ඊළඟ ලිපියෙන් අපි සලකා බලමු.—1 තෙස. 5:11.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• හැත්තෑතුන්වන ගීතිකාව ලියූ ලේඛකයාගේ අද්දැකීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

• දීනාගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ කුමක්ද?

• ආරක්ෂාව ලැබිය හැකි හොඳම තැන ක්‍රිස්තියානි සභාව කියා පවසන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ පින්තූර]

ආරක්ෂිත ස්ථානය වෙතට පිහිනන්න