Skip to content

පටුනට යන්න

වාර්ෂික රැස්වීම් වාර්තාව ‘ප්‍රේමයෙන් එකමුතු වී’

වාර්ෂික රැස්වීම් වාර්තාව ‘ප්‍රේමයෙන් එකමුතු වී’

වාර්ෂික රැස්වීම් වාර්තාව ‘ප්‍රේමයෙන් එකමුතු වී’

වර්ෂ 2009 ඔක්තෝබර් තුන්වන දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි නුවරේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවට රැස්වූ අමුත්තන් 5,000දෙනා ඉතා නොඉවසිල්ලෙන් බලා සිටියා. ඒ, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් 125වන වරටත් පවත්වන වාර්ෂික රැස්වීම ආරම්භ වන තුරුයි. ඊට අමතරව එක්සත් ජනපදයේ හා කැනඩාවේ බෙතෙල් පවුලේ සාමාජිකයන්ද ශ්‍රව්‍ය දෘෂ්‍ය මාර්ගයෙන් ඊට සම්බන්ධ වී සිටියා. එලෙස රැස්වූ 13,235දෙනාම පැය තුනහමාරක් පුරා පැවැත්වූ ඒ රැස්වීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබුවා.

එම රැස්වීමේ සභාපති ලෙස කටයුතු කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන සහෝදර ජෙෆ්රි ජැක්සන්. මුලින්ම බෙතෙල් සාමාජිකයන්ගෙන් සෑදුණු කණ්ඩායමක් අලුත් ගීතිකා පොතෙන් ගීතිකා කිහිපයක් ගායනා කළා. එම කණ්ඩායම මෙහෙයවූ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ඩේවිඩ් ස්ප්ලෙන් ගීතිකා ගායනා කිරීමේ වැදගත්කම ගැන කෙටියෙන් පැවසූ පසු රැස්ව සිටි අයටත් අලුත් ගීතිකා තුනක් ගායනා කරන්න කියා ආරාධනා කළා. මුලින්ම ගීතිකා කණ්ඩායම එක් ගීතිකාවක් ගායනා කළ අතර පසුව රැස්ව සිටි අය සමඟ එක්ව නැවතත් එම ගීතිකාවම ගායනා කළා. එය එම විශේෂ අවස්ථාව සඳහා පමණක් වූ නිසා රැස්වීම්, එක්රැස්වීම් හා දිස්ත්‍රික් සමුළුවලදී එය අනුගමනය නොකළ යුතුයි.

ශාඛා කාර්යාලවලින් ලැබුණු වාර්තා

ශාඛා කාර්යාල පහක කමිටු සාමාජිකයන් විසින් ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පවතින රටවල සිදු වන දේවල් ගැන වාර්තාවක් ඉන්පසුව ඉදිරිපත් කළා. සහෝදර කෙනත් ලිට්ල් පැවසුවේ ඉතා ඉක්මනින්ම එක්සත් ජනපදයට හා කැනඩාවට අවශ්‍ය සඟරාවලින් වැඩි ප්‍රමාණයක් කැනඩාවේදී මුද්‍රණය කිරීමට යන බවයි. එවිට කැනඩා ශාඛාවේ මුද්‍රණ කටයුතු සියයට 10කින් වැඩි වෙනවා. ඒ සඳහා අලුතෙන් මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගෙන තිබෙන අතර එය දවසකට පැය 16ක් පුරා ක්‍රියා කරවීමට සැලසුම් කර තිබෙනවා.

සහෝදර රේනර් තොම්සන් ඩොමිනිකන් ජනරජය ගැන වාර්තාවක් ඉදිරිපත් කළා. සහෝදර ඇල්බට් ඕලේ නයිජීරියාවේ වර්ධනය ගැන පැවසුවා. සහෝදර එමිල් ක්‍රිස්ට්සිංගර් පැවසුවේ, දශක ගණනාවක් පුරා මොසැම්බික්වල පැවති පීඩාවලින් පසුව 1992දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ලියාපදිංචි කළ බවයි. එම රටවල් තුනෙහි මෑතක සිට ප්‍රචාරකයන්ගේ විශාල වර්ධනයක් දකින්න තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙන් පැමිණි සහෝදර විව් මොරිට්ස් නැඟෙනහිර ටිමෝරය ගැන වාර්තාවක් ඉදිරිපත් කළා.

පාලක මණ්ඩලයේ කමිටු

වර්ෂ 1976 සිට සාක්ෂිකරුවන්ගේ සියලුම ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සෑදුණු කමිටු හයක් විසිනුයි. පසුව වෙනත් බැටළුවන්ගෙන් සමහරදෙනෙක්වත් එම කමිටුවල සහයට පත් කළා. වර්තමානයේ සහෝදරයන් 23දෙනෙක් එම කමිටුවලට සහය වෙනවා. ඉන් හයදෙනෙකුව මෙම රැස්වීමේදී සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. ඔවුන් සියලුදෙනාම පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය අවුරුදු 57ක්. ඔවුන් පාලක මණ්ඩලයේ කමිටු හය ගැන විස්තර කළා.

වර්ෂ 1943දී බෙතෙල් සේවයට පැමිණි සහෝදර ඩෑන් ඇඩම්ස් සංවිධායක කමිටුව ගැන විස්තර කළා. එම කමිටුව සෑදී තිබෙන්නේ අනික් කමිටු පහේ එක් සාමාජිකයෙකු බැගින් එකතු වීමෙනුයි. ඒ නිසා අනික් කමිටු පහම හොඳින් ක්‍රියාත්මක වෙනවාද කියා අධීක්ෂණය කිරීමට සංවිධායක කමිටුවට හැකි වන බව ඔහු පැවසුවා. ඊට අමතරව හදිසි තත්වයන්, පීඩා, අධිකරණ කටයුතු හා තවත් විවිධ කාරණා එම කමිටුවෙන් අධීක්ෂණය කරන බව ඔහු සඳහන් කළා.

ලොව පුරා සිටින බෙතෙල් සේවකයන් 19,851දෙනාට දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය උපකාර සපයන්නෙත් ඔවුන්ගේ සේවයට අවශ්‍ය මූලික පහසුකම් අධීක්ෂණය කරන්නෙත් බෙතෙල් කමිටුව විසින් බව සහෝදර ඩෑන් මොල්චෙන් පැවසුවා. ශාඛා කාර්යාලවලට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාගැනීම ප්‍රකාශන කමිටුව විසින් අධීක්ෂණය කරන බව සහෝදර ඩේවිඩ් සින්ක්ලෙයාර් සඳහන් කළා. වසර 60කට ආසන්න කාලයක් බෙතෙල්හි සේවය කළ සහෝදර රොබට් වොලන් පැවසුවේ සභා රැස්වීම් හා දේශනා කිරීමේ කාර්යය අධීක්ෂණය කරන්නේ සේවා කමිටුව විසින් බවයි. එක්රැස්වීම් හා දිස්ත්‍රික් සමුළුවලදී සාකච්ඡා කරන තොරතුරු සපයන්නේ ඉගැන්වීම් කමිටුව විසින් බව සහෝදර විලියම් මාලෙන්ෆන්ට් පැවසුවා. සහෝදර ජෝන් විෂ්ක් පැවසුවේ ලේඛන කමිටුව විසින් අපගේ ප්‍රකාශනවලට ඇතුළත් විය යුතු තොරතුරු පිළියෙල කරන බවයි. *

2010 වාර්ෂික පදය

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ගෙරිට් ලෝෂ් ඔහුගේ කතාව ආරම්භ කළේ ‘අන් අය ඔබට ප්‍රේම කරනවාට ඔබ කැමතිද’ යන ප්‍රශ්නය සමඟිනුයි. ප්‍රේමය සෑම මිනිසෙකුටම අත්‍යවශ්‍ය දෙයක් බවත් එය ලබන්න අප ඉතා ආශාවෙන් සිටින බවත් ඔහු පැවසුවා. යෙහෝවා දෙවි අපව නිර්මාණය කළේ ඔහු ප්‍රේමණීය දෙවි කෙනෙක් නිසයි. ඒ නිසා අපත් අන් අයට ප්‍රේම කිරීමට බැඳී සිටින බව ඔහු පැවසුවා. එමෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා බයිබලය ගැන ඉගැන්වීමට ප්‍රධාන හේතුව වන්නේ දෙවි කෙරෙහි ඇති ප්‍රේමය බව ඔහු සඳහන් කළා.

අප ‘අසල්වාසීන්ට’ පමණක් නොව අපගේ සතුරන්ටත් ප්‍රේමය පෙන්විය යුතුයි. (මතෙ. 5:43-45) උදාහරණයකට යේසුස් ගැන සිතන්න. මිනිසුන් ඔහුට නින්දා අපහාස කළා, කෙළ ගැසුවා. පසුව ඔහුව මරණයට පත් කළා. නමුත් යේසුස් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළා. ඔහු ඒ සියල්ල විඳදරාගත්තේ මිනිසුන් කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමය නිසයි. ඒ ගැන කල්පනා කිරීම යේසුස්ට බොහෝ සෙයින් ප්‍රේම කිරීමට අපව පොලඹවන්නේ නැද්ද? සහෝදර ලොෂ් ඉන්පසුව 2010 වාර්ෂික පදය නිවේදනය කළා. එනම් 1 කොරින්ති 13:7, 8 මත පදනම්, ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන්නා සියල්ල විඳදරාගනියි. ප්‍රේමය සදාතනිකයි’ යන්නයි. අපට සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව පමණක් නොව සදහටම ප්‍රේම කිරීමේ හා ප්‍රේමය ලැබීමේ බලාපොරොත්තුවද තිබෙන බව ඔහු පැවසුවා.

දෙවි පිළිබඳ දැනුමෙන් ඔබේ මනස පුරවාගන්න

සහෝදර සැමුවෙල් හර්ඩ් මෙම උදාහරණය සමඟින් ඔහුගේ කතාව ආරම්භ කළා. ඔබ මිතුරෙක් සමඟ කිලෝමීටර් 50ක දුරක් වාහනයකින් යනවා කියා සිතන්න. ටික දුරක් යන විට වාහනයේ ඉන්ධන අවසන් වී ඇති බව ඔබ මීටරයෙන් දකින අතර ඒ බව ඔබේ මිත්‍රයාට දන්වනවා. එහි එසේ පෙන්නුවත් ටැංකියේ තව ඉන්ධන ලීටර් හතරක් පමණ තිබෙන බව මිතුරා ඔබට පවසනවා. නමුත් ටික වේලාවකින් එම ඉන්ධන ප්‍රමාණයද අවසන් වෙනවා. ටැංකියේ ඉන්ධන අඩු වී ඇති බව දැන දැනත් වාහනය පදවාගෙන යෑම ඥානවන්ත දෙයක්ද? ටැංකිය පිරෙන්න ඉන්ධන තිබෙනවා නම් ඉන් අත් වන ප්‍රයෝජන ගැන සිතා බලන්න. ඒ හා සමානව දෙවි පිළිබඳ දැනුම නමැති ඉන්ධනවලින් අපේ මනස් නිතරම පිරී තිබිය යුතුයි.

අපට එය කළ හැකි ක්‍රම හතරක් තිබෙනවා. පළමු එක නම් පෞද්ගලික අධ්‍යයනය හා දිනපතා බයිබලය කියවීමයි. එය නිකම්ම කියවනවාට වඩා කියවන දේ අපට හොඳින් තේරෙනවාද කියා කල්පනා කර බැලීම වැදගත්. දෙවන එක නම් පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ සැන්දෑවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි. මේ ගැන කල්පනා කර බලන්න. අපි සතිපතා අපගේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවාගන්නවාද? නැත්නම් පුරවන්නේ අඩුවෙන්ද? තුන්වන ක්‍රමය සියලුම රැස්වීම්වලට සහභාගි වීමයි. හතරවන ක්‍රමය වන්නේ දෙවිගේ නීති ප්‍රතිපත්ති ගැන ගැඹුරින් කල්පනා කිරීමයි. ඒ ගැන ගීතාවලිය 143:5හි මෙසේ පවසනවා. “අතීතය ගැන මම සිහි කළෙමි. ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි.”

‘ධර්මිෂ්ඨයන් දීප්තියෙන් බැබළෙයි’

වැඩසටහනේ අවසාන කතාව ඉදිරිපත් කළේ සහෝදර ජෝන් බා විසිනුයි. ඔහු තිරිඟු හා කිරිඳි පිළිබඳ උපමාව ගැන කතා කළා. (මතෙ. 13:24-30, 38, 43) එම උපමාවේ සඳහන් ආකාරයට ‘කපන කාලයේදී’ එනම්, ‘රාජ්‍යයේ පුත්‍රයන්’ රැස් කිරීමෙන් පසු කිරිඳි වෙන් කර පුලුස්සා දැමීමට නියමිතයි.

එම රැස් කිරීම සදාකාලයටම සිදු නොවන බව සහෝදර බා ඔහුගේ කතාවේදී පැහැදිලිවම පැවසුවා. ඔහු මතෙව් 24:34හි ඇති මේ දේ ගැනත් සඳහන් කළා. ‘මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසි ලෙසකින්වත් පහව යන්නේ නැත.’ ඉන්පසු ඔහු මෙම විස්තරය දෙවතාවක් කියෙව්වා. “එම පදයෙහි ‘පරම්පරාව’ කියා සඳහන් කරන්නේ යම් කාල පරිච්ඡේදයක සිටින අභිෂේක ලත් කණ්ඩායමකටයි. එම කණ්ඩායමට අයත් සමහරදෙනෙක් යේසුස් පැවසූ ලකුණ ඉටු වීමේ ආරම්භය දුටුවා. ලකුණ ඉටු වීම ආරම්භ වුණේ 1914දීයි. ඒ කණ්ඩායමට අයත් තවත් අය එනම් ලකුණේ ආරම්භය දුටු අය මිය යෑමට කලින් ඉපදුණු අය, ලකුණේ අවසානය වන මහත් පීඩාවේ ආරම්භය දකිනවා.” ඒ පරම්පරාව කොතරම් දීර්ඝ එකක් වෙයිද කියා අප දන්නේ නැහැ. නමුත් ඊට කණ්ඩායම් දෙකක් ඇතුළත්. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් විවිධ වයස් මට්ටම්වල සිටියත් පරම්පරාව සෑදෙන කණ්ඩායම් දෙක අවසාන කාලයේ මුල් කොටසේ හෝ අවසාන කොටසේ ජීවත් වෙනවා. ඒ පරම්පරාවට අයත් එක් කණ්ඩායමක් මහත් පීඩාව ආරම්භය වන විටත් සිටීම අපට මොන තරම් සහනයක්ද!

‘රාජ්‍යයේ පුත්‍රයන්’ ඔවුන්ගේ ස්වර්ගික ත්‍යාගය ලැබෙන තුරු බලා සිටිනවා. අප සියලුදෙනාත් අවසානය පැමිණෙන තුරු දීප්තියෙන් බැබළෙමින් දෙවිට විශ්වාසවන්තව සිටිය යුතුයි. “තිරිඟු” රැස් කරන කාලය තුළ ජීවත් වීමට ලැබීම අපට මොන තරම් වරප්‍රසාදයක්ද!

අවසන් ගීතිකාවෙන් පසු පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර තියඩෝර් ජැරස් යාච්ඤාව ඉදිරිපත් කළා. ඇත්තෙන්ම වාර්ෂික රැස්වීමට සහභාගි වූ සියලුදෙනා මොන තරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද!

[පාදසටහන]

^ 10 ඡේ. පාලක මණ්ඩලයේ කමිටු පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා මැයි 15 මුරටැඹ කලාපයේ 29වන පිටුව බලන්න.

[5වන පිටුවේ කොටුව]

වැඩිමහල්ලන්ට පාසැලක්

වර්ෂ 2008දී නිව් යෝක් පැටසන්හි වැඩිමහල්ලන්ව පුහුණු කිරීම සඳහා පාසැලක් ආරම්භ කළා. එහි 72වන කණ්ඩායම ඔවුන්ගේ පුහුණුව මේ වන විට අවසන් කර තිබෙනවා. එම පාසැලෙන් වැඩිමහල්ලන් 6,720ක්ව පුහුණු කර තිබෙනවා. එක්සත් ජනපදයේ පමණක් වැඩිමහල්ලන් 86,000ක් සිටින නිසා තව බොහෝදෙනෙකුව පුහුණු කිරීමට තිබෙන බව පැහැදිලියි. පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්ටනි මොරිස් වැඩිමහල්ලන්ව පුහුණු කිරීමේ අලුත් පාසැලක් ගැන වාර්ෂික රැස්වීමේදී නිවේදනය කළා. ඒ අනුව 2009 දෙසැම්බර් 7වනදා සිට වැඩිමහල්ලන් සඳහා තවත් පාසැලක් බෲක්ලීන්වල ආරම්භ කිරීමට පාලක මණ්ඩලය අනුමැතිය දී තිබුණා.

එම පාසැලේ උපදේශකයන් ලෙස මාස දෙකක් තුළදී සංචාරක සේවකයන් හතරදෙනෙකුව පැටසන්වලදී පුහුණු කිරීමට නියමිතයි. ඔවුන් බෲක්ලීන්වල පැවැත්වෙන පාසැලේ උපදේශකයන් ලෙස කටයුතු කරන්න යනවා. ඒ සඳහා තවත් හතරදෙනෙකුව පුහුණු කිරීමටද නියමිතයි. ඔවුන් බෲක්ලීන්වල සේවය කිරීමට යන විට මුලින්ම ගිය හතරදෙනා එක්රැස්වීම් ශාලා හා නමස්කාර මධ්‍යස්ථානවල පැවැත්වීමට නියමිත වැඩිමහල්ලන්ගේ පාසැල්වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. එලෙස එක්සත් ජනපදයේ පාසැල් හයක් පැවැත්වීම සඳහා උපදේශකයන් 12දෙනෙක්ව පුහුණු කිරීමට නියමිතයි. එමෙන්ම ස්පාඤ්ඤ භාෂාවෙන් උපදේශකයන් හතරදෙනෙකුවද පුහුණු කිරීමට සැලැසුම් කර තිබෙනවා. කෙසේවෙතත් දැනට වැඩිමහල්ලන් සඳහා පැවැත්වෙන රාජ්‍ය සේවා පැසැලේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. ලෝක ව්‍යාප්තව ඇති ශාඛා කාර්යාල විසින් 2011 සේවා වසර තුළදී එක්රැස්වීම් ශාලාවල හා නමස්කාර මධ්‍යස්ථානවල වැඩිමහල්ලන් සඳහා පාසැල් පැවැත්වීමට නියමිතයි. එහි අරමුණ වන්නේ වැඩිමහල්ලන්ට ඔවුන්ගේ පැවරුම හොඳින් ඉටු කිරීමට උපකාර කිරීමයි.

[4වන පිටුවේ පින්තූර]

රැස්වීම ආරම්භ කළේ “ගයමු ගී දෙවි යෙහෝවාට” නමැති අලුත් පොතෙන් ගීතිකාවක් ගායනා කිරීමෙනුයි