Skip to content

පටුනට යන්න

සහකරු හෝ සහකාරිය ඔබට ද්‍රෝහි වුණොත්?

සහකරු හෝ සහකාරිය ඔබට ද්‍රෝහි වුණොත්?

සහකරු හෝ සහකාරිය ඔබට ද්‍රෝහි වුණොත්?

රාවුල් හා ඔහුගේ භාර්යාව වන මාගරිටා පුරෝගාමීන් ලෙස වසර ගණනාවක් පුරා සේවය කළා. * නමුත් ඔවුන්ගේ පළමු දරුවා ලැබුණාට පසු රාවුල් ටිකෙන් ටික යෙහෝවා දෙවිගෙන් ඈත් වෙන්න පටන්ගත්තා. කාලයත් සමඟම ඔහු අනාචාර ජීවිතයක් ගත කරන්න පටන්ගත් නිසා ඔහුව සභා සාමාජිකත්වයෙන්ද ඉවත් කළා. මාගරිටා ඒ ගැන මෙසේ පවසනවා. “ඒ දවස්වලදී මගේ පපුව පැලෙන තරම් වේදනාවක් මට දැනුණා. මොනවා කරන්නද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. මට දැනුණේ මම මැරෙන්න යනවා වගෙයි.”

ජේන්ගේ අද්දැකීම සලකා බලන්න. ඇය විවාහ වූ අලුත ඇගේ ස්වාමිපුරුෂයා ඇයට පහර දෙන්න පටන්ගත්තා. ඒ ගැන ඇය මෙසේ විස්තර කරනවා. “එයා මුල්ම වතාවට මට පහර දෙද්දී මට පුදුම හිතුණා. ඊටපස්සේ එයා මගෙන් සමාව ඉල්ලුවා. මමත් එයාට සමාව දුන්නා. මට පහර දීලා සමාව ඉල්ලන එක පුරුද්දකට ගියා. මම සාක්ෂිකරුවෙක් නිසා සමාව දෙන්නත් ඒක අමතක කරන්නත් බැඳිලා ඉන්නවා කියලා මට හිතුණා. මේ ප්‍රශ්නය ගැන වැඩිමහල්ලන්ට හෝ වෙනත් කෙනෙකුට කිව්වොත් ඒක මගේ ස්වාමිපුරුෂයාට ද්‍රෝහි වීමක් කියලයි මම හිතුවේ. අවුරුදු ගණනාවක් ගියත් එයාගේ මේ පුරුද්ද වෙනස් වුණේ නැහැ. නිතරම මට හිතුණේ මගේ විවාහය රැකගන්න මම මොනවා හරි කරන්න ඕනේ කියලයි. ඒත් ඒ දේ කරන්න මම පරක්කු වුණා වැඩියි. මොකද ඒ වෙද්දි එයා මාවයි දුවවයි දාලා ගිහින් තිබුණා.”

ඔබත් මාගරිටා හෝ ජේන්ගේ තත්වයේ සිටිනවා විය හැකියි. ඒ නිසා ඔබ මානසිකව පීඩා විඳිනවා හෝ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා ඇති. එමෙන්ම දෙවි සමඟ ඇති ඔබේ මිත්‍රත්වයටද බරපතළ හානියක් සිදු වී තිබෙන්න පුළුවන්. සමහරවිට ස්වාමිපුරුෂයෙක් ඔහුගේ භාර්යාවගේ ද්‍රෝහි වීම නිසා මානසිකව පීඩා විඳිනවා විය හැකියි. අප ජීවත් වන්නේ, ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ කියා බයිබලයේ පවසා තිබෙන බව අමතක කරන්න එපා. ඒ වගේම “අවසාන කාලයේදී” තමන්ගේ පවුලේ අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති අය සිටින නිසා පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීම අඩු විය හැකියි. එමෙන්ම සමහරුන් දෙවිට සේවය කරන බව කියා සිටියත් ඔවුන් ජීවත් වන ආකාරයෙන් එය පැහැදිලිව දැකගැනීමට නොහැකි වෙන්න පුළුවන්. (2 තිමෝ. 3:1-5) එමනිසා ඔබේ සහකරු හෝ සහකාරිය ඔබට ද්‍රෝහි වුණොත් එම තත්වයට මුහුණ දීමට ඔබට හැකි ආකාර මොනවාද කියා දැන් අපි සලකා බලමු.

දෙවි ඔබ ගැන සැලකිලිමත්

ඔබ ආදරය කළ තැනැත්තා මේ තරම් වේදනාවක් දෙයි කියා ඔබ කවදාවත් සිතන්න නැතුව ඇති. ඒ නිසා සමහරවිට ඔහුගේ හෝ ඇගේ වැරදි ක්‍රියාව ගැන ඔබ ඔබටම දොස් පවරාගත හැකියි.

මේ ගැන සිතන්න. යේසුස් කිසිම වරදක් නොකළ පරිපූර්ණ මිනිසෙක් වුණත් ඔහු ප්‍රේම කළ හා විශ්වාස කළ ගෝලයෙක් වූ යූදස් ඔහුගේ විශ්වාසය කඩ කළා. යේසුස් ඔහුගේ නියෝජිතයන් 12දෙනාව තෝරාගත්තේ ඉතා හොඳින් කල්පනා කිරීමෙන් හා දීර්ඝ වේලාවක් යාච්ඤා කිරීමෙන් පසුවයි. ඒ වන විට ඔවුන් 12දෙනාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා. ඒ නිසා යූදස්, “ද්‍රෝහි වූ” අවස්ථාවේදී යේසුස් බොහෝ සෙයින් දුක් වූ බවට කිසිම සැකයක් නැහැ. (ලූක් 6:12-16) නමුත් යූදස් කළ දේට යේසුස් වග කිව යුතුයි කියා යෙහෝවා දෙවි කිසිවිටක පැවසුවේ නැහැ.

ඇත්තෙන්ම විවාහ වන කිසි කෙනෙක් පරිපූර්ණ නැහැ. දෙදෙනා අතින්ම වැරදි සිදු වෙනවා. නමුත් ඒ වැරදිවලට යෙහෝවා දෙවි සමාව දෙනවා. ගීතිකාකරු ඒ ගැන මෙසේ ලිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද?” (ගීතා. 130:3) යෙහෝවා දෙවිව අනුකරණය කරමින් එකිනෙකාගේ වැරදිවලට සමාව දෙන්න භාර්යාව හා පුරුෂයා වෑයම් කළ යුතුයි.—1 පේතෘ. 4:8.

ඒ කෙසේවෙතත්, “අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු” ලබනවා. (රෝම 14:12) ඒ අනුව කෙනෙක් තම සහකරුට හෝ සහකාරියට දිගින් දිගටම නින්දාසහගත ලෙස කතා කරනවා නම් හෝ ක්‍රියා කරනවා නම් ඔහුව හෝ ඇයව යෙහෝවා දෙවි විනිශ්චය කරනවා. හිංසා කිරීම හා නින්දාසහගත ලෙස කතා කිරීම යෙහෝවා දෙවි හෙළා දකිනවා. ඒ නිසා තම සහකරු හෝ සහකාරියට එලෙස සලකන කෙනෙකුට ඉදිරිපත් කිරීමට නිදහසට කරුණක් නැහැ. (ගීතා. 11:5; එෆී. 5:33; කොලො. 3:6-8) ඇත්තෙන්ම කෙනෙක් පසුතැවිලි නොවී දිගින් දිගටම හදිසි කෝපයෙන් ක්‍රියා කරනවා නම් ඔහුව හෝ ඇයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතුයි. (ගලා. 5:19-21; 2 යොහ. 9, 10) ඒ නිසා තම සහකරු හෝ සහකාරියගේ වැරදි හැසිරීම ගැන වැඩිමහල්ලන්ට දැනුම් දීමෙන් තමන් වරදක් කරන බව නිර්දෝෂ තැනැත්තා නොසිතිය යුතුයි. යෙහෝවා දෙවි නිර්දෝෂ තැනැත්තාට බොහෝ සෙයින් අනුකම්පා කරනවා.

අනාචාරයේ යෙදීම තම සහකරු හෝ සහකාරියට පමණක් නොව දෙවිට විරුද්ධවද කරන බරපතළ වරදක්. (මතෙ. 19:4-9; හෙබ්‍රෙ. 13:4) නමුත් නිර්දෝෂ තැනැත්තා දිගටම බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වී තිබෙනවා නම් සිදු වූ දේට තමන් වග කිව යුතු බව ඔහු හෝ ඇය නොසිතිය යුතුයි.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියව තම භාර්යාව ලෙස සැලකුවා. ඒ නිසා ඔවුන් දෙවිට ද්‍රෝහි වූ අවස්ථාවලදී ඔහුට ඒ ගැන කොතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! (යෙසා. 54:5, 6; යෙරෙ. 3:1, 6-10) ඒ නිසා ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට ද්‍රෝහි වූ නිසා ඔබට ඇති වී තිබෙන වේදනාව කොතරම්ද කියා යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා. (මලා. 2:13, 14) එමෙන්ම ඔබට සහනය හා දිරිගැන්වීම් අවශ්‍ය බවද ඔහු දන්නවා.

දෙවිගෙන් ලැබෙන සැනසීම

යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාව තුළින් ඔහුගේ සෙනඟට අවශ්‍ය සැනසීම ලබා දෙනවා. මුලින් සඳහන් කළ ජේන්ද එවැනි සැනසීමක් ලැබුවා. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “මම ගොඩක් මානසිකව වැටිලයි හිටියේ. ඒ දවස්වලම තමයි චාරිකා සතියත් පටන්ගත්තේ. මගේ ස්වාමිපුරුෂයා දික්කසාද වෙන්න තීරණය කරලා තිබුණු නිසා මම හිටිය තත්වය සංචාරක සේවක සහෝදරයා හොඳින් තේරුම්ගත්තා. ඔහු 1 කොරින්ති 7:15 හා තවත් බයිබල් පද පෙන්නලා මාව දිරිගැන්නුවා. මම වරදක් කර තිබෙනවා යන හැඟීම නැති කරගන්නත් සාමකාමී මනසක් ඇතුව ඉන්නත් ඔහුගේ කාරුණික වචන මට උපකාර වුණා.” *

යෙහෝවා දෙවි සභාව මාර්ගයෙන් අවශ්‍ය උපකාර ලබා දෙන බව කලින් සඳහන් කළ මාගරිටාද තේරුම්ගත්තා. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “මගේ ස්වාමිපුරුෂයා පසුතැවිලි වෙන්නේ නැහැ කියලා දැනගත්තාම මම මගේ දරුවෝ දෙන්නත් අරගෙන වෙනත් නගරයක පදිංචියට ගියා. පහුවෙනිදා අපේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. මම හිතුවේ ගේ අයිති කාන්තාව කියලයි. නමුත් ඇවිල්ලා හිටියේ අපිට පොඩි කාලේ බයිබලය ගැන උගන්නපු සහෝදරියයි. ඇය ඇවිත් තිබුණේ ගේ අයිති කාන්තාව සමඟ බයිබලය පාඩම් කරන්නයි. නමුත් මම මෙහේ ඉඳී කියලා ඇය හිතුවේ නැහැ. ඇයව දැක්කාම මට ලොකු සහනයක් දැනුණා. සිද්ධ වුණු හැම දෙයක්ම මම ඇයට කිව්වා. පස්සේ අපි දෙන්නා හොඳටම ඇඬුවා. එදාම හවස තිබුණු රැස්වීමට ඇය අපිව එක්කන් යන්න ඇය සැලසුම් කළා. සභාවේ අයත් අපිව හොඳින් පිළිගත්තා. ඒ වගේම මටත් මගේ දරුවෝ දෙන්නටත් වැඩිමහල්ලන් ගොඩක් උපකාර කළා.”

සභාවේ අයට කළ හැකි දේ

සභාවේ සිටින අයටත් එවැනි සහෝදර සහෝදරියන්ට උපකාර කළ හැකියි. මාගරිටාට එවැනි උපකාරයක් ලැබුණා. ඇයට රැකියාවක් සොයාගන්න සිදු වූ නිසා සමහර අවස්ථාවලදී ඇගේ දරුවන් පාසැල් ඇරී ගෙදර පැමිණි පසු ඔවුන්ව බලාගන්න කවුරුත් සිටියේ නැහැ. නමුත් ඔවුන්ව බලාගන්න සභාවේ සිටින පවුලක් ඉදිරිපත් වුණා.

මාගරිටාට ලැබුණු තවත් උපකාරයක් ගැන ඇය මෙසේ පවසනවා. “මාවයි මගේ දරුවෝ දෙන්නවයි දේවසේවයේ එක්ක යන්න සහෝදර සහෝදරියන් කැමති වුණ එක මට ලොකු සහනයක්.” සභාවේ සිටින අයට ‘තනිව දරාගත නොහැකි දේවල් ඉසිලීමට දිගටම උදව් කරන්න’ අපටත් හැකියි. එමගින් අපට “ක්‍රිස්තුස්ගේ නීතිය” ඉටු කිරීමට හැකියාව ලැබෙනවා.—ගලා. 6:2.

අන් අයගේ වැරදි නිසා දුක් විදින අයට යම් උපකාරයක් කළ විට ඔවුන් එය බොහෝ සේ අගය කරනවා. ඒ සම්බන්ධයෙන් මොනීක්ගේ අද්දැකීම සලකා බලමු. ඇගේ ස්වාමිපුරුෂයා රුපියල් 17,10,000ක පමණ ණයක් ඇයට ගෙවීමට සලස්වමින් ඇයව අත්හැර ගියා. ඒ වගේම ඇයට දරුවන් හතරදෙනාවත් බලාගන්න සිදු වුණා. ඒ වේලාවේ ඇයට ලැබුණු උපකාරය ගැන ඇය මෙසේ පවසනවා. “සභාවේ සහෝදර සහෝදරියෝ මට ගොඩක් ආදරෙන් සැලකුවා. ඔවුන්ගේ උපකාර ලැබුණේ නැත්නම් මට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. යෙහෝවා දෙවි මට දිලා තියෙන්නේ මට උපකාර කරන්න පුළුවන් හොඳම අයවයි. ඒ අය මගේ දරුවන්වත් බලාගත්තා. ඒ නිසා මගේ දරුවෝ යෙහෝවා දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තා. මඟ පෙන්වීම් අවශ්‍ය වෙද්දී වැඩිමහල්ලන් මට ඒවා ලබා දුන්නා. මගේ දුක කියන හැම වෙලාවෙම එයාලා මට ඇහුම්කන් දුන්නා.”—මාක් 10:29, 30.

සැබෑ මිතුරෙක් අනික් තැනැත්තාගේ ගැටලුව ගැන හැම වෙලාවෙම කතා කරන්නේ නැහැ. (දේශ. 3:7) ඒ ගැන මාගරිටා මෙසේ පවසනවා. “මට සිද්ධ වුණ දේ ගැන කතා නොකර දේවසේවයේ, බයිබල් පාඩම් හා මගේ ළමයි ගැන කතා කරන්න මම හරි ආසයි. මගේ ගැටලු ගැන නිතරම කතා කරනවා වෙනුවට පහුගිය දේවල් අමතක කරලා අලුතෙන් ජීවිතය පටන්ගන්න සභාවේ අය මට උදව් කරපු එක මම ගොඩක් අගය කරනවා.”

එකට එක කිරීමෙන් වළකින්න

ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව කරන වැරදිවලට ඔබ වග කිව යුතු නැහැයි කියා හැඟුණත් ඒ නිසා දුක් විඳීමට සිදු වීම ගැන ඔබට කෝපයක් ඇති විය හැකියි. ඔබ එලෙස දිගින් දිගටම කෝපයෙන් සිටිනවා නම් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔබ ගත් තීරණයට එය බාධාවක් වෙන්න පුළුවන්. උදාහරණයකට ඔබට ද්‍රෝහි වූ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට එකට එක කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති විය හැකියි.

ඔබ එවැනි තත්වයකට මුහුණ දෙනවා නම් යොෂුවා හා කාලෙබ් ගැන සිතා බැලීම ප්‍රයෝජනවත්. ඔවුන් දෙදෙනා දෙවි කෙරෙහි විශ්වාස කරමින් පොරොන්දු දේශයේ තොරතුරු සොයා බැලීමට ගියා. නමුත් ඔවුන් සමඟ ගිය අනික් දසදෙනාට යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් සෙනඟව බියගන්වා දෙවිට අකීකරු වීමට පෙලඹුවා. යොෂුවා හා කාලෙබ් දෙවි කෙරෙහි විශ්වාසය තබන්න කියා ඊශ්‍රායෙල් සෙනඟව දිරිගන්වන විට සමහරු ඔවුන්ට ගල් ගසන්න පවා සූදානම් වුණා. (ගණන්. 13:25–14:10) ඊශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ට ක්‍රියා නිසා ඔවුන්ට පමණක් නොව යොෂුවා හා කාලෙබ්ටත් වසර 40ක් පුරා පාළුකරයේ තැනින් තැන යන්න සිදු වුණා.

ඔවුන් දෙදෙනාට ඒ ගැන කලකිරීමක් ඇති වූ බවට කිසිම සැකයක් නැහැ. නමුත් තම සහෝදරයන් කළ වැරදිවලට තමන් වග කිය යුතු බව ඔවුන්ට හැඟුණේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවිට කරන සේවයට මුල් තැන දුන්නා. ඒ නිසා පාළුකරයේ වසර 40ක් ගත කිරීමෙන් පසුව ඔවුන්ට දෙවි ආශීර්වාද කළා. ඒ පරම්පරාවෙන් පොරොන්දු දේශයට ඇතුල් වීමට අවස්ථාව ලැබුණේ ඔවුන් දෙදෙනාටත් ලෙවීවරුන්ටත් පමණයි.—ගණන්. 14:28-30; යොෂු. 14:6-12.

ද්‍රෝහි වූ ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාවගේ හැසිරීම නිසා ඔබ සෑහෙන කාලයක් පුරා දුක් විඳින්න ඉඩ තිබෙනවා. සමහරවිට ඔබ දෙදෙනාගේ විවාහය දික්කසාදයෙන් අවසන් විය හැකියි. ඒ නිසා ආර්ථික ගැටලුවලට පවා මුහුණ දීමට ඔබට සිදු විය හැකියි. ඒ කෙසේවෙතත් ඔබට සිදු වූ දේ ගැන අධෛර්යයට පත් වෙනවා වෙනුවට ඔබේ බර යෙහෝවා දෙවිට භාර දෙන්න. දෙවිගේ ප්‍රතිපත්ති නොසලකා හැරිය ඊශ්‍රායෙල්වරුන්ට කළාක් මෙන් දැන දැනම ප්‍රතිපත්ති නොසලකා හරින අයට කළ යුත්තේ කුමක්ද කියා දෙවි දන්නවා.—හෙබ්‍රෙ. 10:30, 31; 13:4.

ඔබට සාර්ථක විය හැකියි!

නිතරම සිත්තැවුලෙන් හා කෝපයෙන් සිටිනවා වෙනුවට යෙහෝවා දෙවිට වඩාත් කිට්ටු වීමට වෑයම් කරන්න. ජේන් කළ දේ ගැන ඇය මෙසේ පවසනවා. “මුරටැඹ හා පිබිදෙව්! කලාපවල පටිගත කරන ලද කියවීම්වලට මම සවන් දුන්නා. රැස්වීම්වලින් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා. ඒවාට හොඳින් සූදානම් වුණ නිසාත් දේවසේවයේ හවුල් වුණ නිසාත් මගේ ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න මට වෙලාවක් තිබුණේ නැහැ. ඒ වගේම යෙහෝවා දෙවි ගැන දැනගන්න මම මිනිසුන්ට උපකාර කළා. ඒ නිසා දෙවි ගැන මට තිබුණ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. මම බයිබලය ගැන උගන්වපු අයගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වුණු නිසා වඩා වැදගත් දේවලට මගේ මනස යොමු කරන්න පුළුවන් වුණා.”

මොනීක් මෙවැනි දෙයක් පවසනවා. “මට හැම දෙයක්ම දරාගන්න පුළුවන් වුණේ මම රැස්වීම් අතපසු නොකළ නිසයි. දැන් මගේ පවුලේ සාමාජිකයන් අතර තියෙන බැඳීම ශක්තිමත් වෙලා වගේම අපිට සභාවේ සහෝදර සහෝදරියන් එක්කත් හොඳ සම්බන්ධයක් තියෙනවා. මගේ අතිනුත් අඩුපාඩුකම් වෙලා තියෙනවා කියලා මම අද්දැක්ක දේවලින් තේරුම්ගත්තා. අමාරු අවස්ථාවලදී ඒවාට මුහුණ දෙන්න යෙහෝවා දෙවිගේ උපකාරය නිසා මට පුළුවන් වුණා.”

අප මෙතෙක් සාකච්ඡා කළ ආකාරයේ ගැටලුවකට ඔබත් මුහුණ දෙනවා නම් ඔබ ඉමහත් වේදනාවක් අද්දකිනවා විය හැකියි. එසේනම් පාවුල් දුන් මෙම උපදෙස පිළිපැදීමට වෑයම් කරන්න. “අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.”—ගලා. 6:9.

[පාදසටහන්වල]

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 13 ඡේ. වෙන් වීම හා දික්කසාදය ගැන බයිබලයේ සඳහන් දේ දැනගැනීමට, “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” යන පොතේ 142-148 හා 251-253 දක්වා පිටු බලන්න.

[31වන පිටුවේ පින්තූරය]

දේවසේවයේ හවුල් වීමට ලැබෙන උපකාරය ඔවුන් බොහෝ සේ අගය කරනවා