Skip to content

පටුනට යන්න

අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වන්න

අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වන්න

අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වන්න

“ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.”—1 කොරි. 15:58.

1. යේසුස් තම අනුගාමිකයන්ට කළ ආරාධනාව කුමක්ද?

ක්‍රිස්තු වර්ෂ 30 අගභාගයේදී යේසුස් සමාරිය ප්‍රදේශයේ ගමන් කරන විට මදක් විවේක ගැනීම සඳහා සිකාර් නම් නගරයේ ළිඳක් අසල නතර වුණා. ඔහු එහිදී ගෝලයන්ට මෙසේ පැවසුවා. ‘ඔබේ ඇස් ඇර බලන්න. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න.’ (යොහ. 4:35) යේසුස් එහිදී කතා කරමින් සිටියේ තම අනුගාමිකයන් වීමට ආශාවක් දක්වන අයව එකතු කිරීමේ කාර්යය ගැනයි. ඉතුරු වී ඇති කෙටි කාලය තුළ බොහෝ වැඩ කිරීමට තිබෙන නිසා තම අනුගාමිකයන්ට ඒ වෙනුවෙන් වෙහෙසී වැඩ කරන්න කියා යේසුස් ඔවුන්ව දිරිගැන්නුවා.

2, 3. (අ) අප ජීවත් වන්නේ අස්වැන්න නෙළීමේ කාලයක බව පවසන්න පුළුවන් ඇයි? (ආ) මෙම ලිපියෙන් අප සලකා බලන්නේ මොනවාද?

2 අප ජීවත් වන්නේ “කරල් පැසී තිබෙන” කාලයක නිසා යේසුස්ගේ වචන අපගේ කාලයට බොහෝ සෙයින් අදාළයි. සෑම වසරකම මිලියන ගණන් ජනයාට ජීවනය ගෙන දෙන පණිවිඩය දැනගැනීමට අවස්ථාව ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත අය දෙවිට කැප වී බව්තීස්ම වෙනවා. අස්වැන්නේ ස්වාමියා වන යෙහෝවා දෙවි යටතේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ හවුල් වීමට ලැබීම අපට මහත් ආශීර්වාදයක්. ඔබ “වෙහෙස මහන්සි නොබලා” එම කාර්යයෙහි නියැලෙනවාද?—1 කොරි. 15:58.

3 යේසුස් මේ පොළොවේ සිටි අවුරුදු තුනහමාරක කාලය තුළදී අස්වැන්න නෙළීමේ කාර්යය කිරීමට ඔහුගේ අනුගාමිකයන්ට හොඳ පුහුණුවක් ලබා දුන්නා. යේසුස් ඔවුන්ට ඉගැන්වූ බොහෝ දේවල් අතරින් පාඩම් තුනක් ගැන අප මෙම ලිපියෙන් සලකා බලනවා. ඒ එක් එක් පාඩමෙන් අස්වැන්න නෙළීමේ කාර්යය කිරීමට උපකාරවත් වන ගුණාංග තුනක් අප සාකච්ඡා කරනවා.

නිහතමානිකම අවශ්‍යයි

4. නිහතමානිකමේ ඇති වැදගත්කම යේසුස් තම ගෝලයන්ට ඉගැන්නුවේ කොහොමද?

4 මේ සිදුවීම සලකා බලන්න. යේසුස්ගේ ගෝලයන් ඔවුන් අතර වඩාත් උතුම් කවුද යන්න පිළිබඳව වාද කරමින් සිටියා. ඔවුන්ගේ මුහුණුවල ඒ ප්‍රශ්නය නිසා ඇති වී තිබුණු කේන්තිය පැහැදිලිව දකින්න තිබුණා. එය තේරුම්ගත් යේසුස් ඔවුන් ඉදිරිපිට කුඩා දරුවෙකුව සිටුවා මෙසේ පැවසුවා. කෙනෙක් “මේ කුඩා දරුවා මෙන් නිහතමානී වෙනවා නම් ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේ ඔහුයි.” (මතෙව් 18:1-4 කියවන්න.) කෙනෙකු කොතරම් උසස්ද කියා මිනිසුන් මනින්නේ ඔහුට තිබෙන බලය, වස්තුව හා තත්වය වැනි දේවලිනුයි. නමුත් ඊට වෙනස්ව දෙවිගේ සේවයකයන් උතුම් වන්නේ ඔවුන් නිහතමානී වීමෙන් බව යේසුස්ගේ ගෝලයන් තේරුම් ගත යුතු වුණා. යෙහෝවා දෙවි ආශීර්වාද කරන්නේ හා ඔහුගේ සේවය සඳහා යොදාගන්නේ සැබෑ ලෙස නිහතමානී වන අයව පමණයි.

5, 6. අස්වැන්න නෙළීමේ කාර්යය කිරීමට අප නිහතමානී විය යුත්තේ ඇයි? උදාහරණයක් දෙන්න.

5 අද දින සිටින බොහෝදෙනෙක් ධනය, බලය හා තත්වය ලබාගැනීමට ඔවුන්ගේ ජීවිත කැප කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ට දෙවි ගැන ඉගෙනගැනීමටවත් ඔහුට සේවය කිරීමටවත් කාලයක් නැහැ. (මතෙ. 13:22) නමුත් දෙවිගේ සේවකයන් ඒ දේවල් පසුපස හඹා යන්නේ නැහැ. ඒ වෙනුවට අස්වැන්නේ ස්වාමියාගේ ආශීර්වාද හා අනුමැතිය ලබාගැනීම සඳහා ඔවුන් ජීවිතය සරල කරගෙන නිහතමානීව කටයුතු කරනවා.—මතෙ. 6:24; 2 කොරි. 11:7; ෆිලි. 3:8.

6 දකුණු ඇමරිකාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන ෆ්‍රැන්සිස්කෝගේ අද්දැකීම සලකා බලන්න. ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර පුරෝගාමී සේවය තෝරාගත්තා. ඉන්පසු සිදු වූ දේවල් ගැන ඔහු මෙසේ පැවසුවා. “කාලයකට පස්සේ මම විවාහ වෙන්න තීරණය කළා. මටයි මගේ භාර්යාවටයි සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් හොඳ රැකියාවක් තෝරාගන්න මට පුළුවන්කම තිබුණා. ඒත් අපි අපේ ජීවිතය සරල කරගෙන දිගටම පූර්ණ කාලීන සේවය කරන්න තීරණය කළා. දරුවෝ ලැබුණාම අපිට තිබුණු අමාරුකම් තවත් වැඩි වුණා. නමුත් දිගටම ජීවිතය සරලව ගත කරන්න යෙහෝවා දෙවි අපිට උපකාර කළා. මම දැන් අවුරුදු 30ක් වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා. ඒ වගේම මට වෙනත් බැරෑරුම් වගකීම් දරන්නත් අවස්ථාව ලැබුණා. ජීවිතය සරලව ගත කරන්න ගත්ත තීරණය ගැන අපි කවදාවත් දුක් වෙන්නේ නැහැ.”

7. රෝම 12:16හි සඳහන් උපදෙස අදාළ කරගැනීමට ඔබ උත්සාහ කර තිබෙන්නේ කොහොමද?

7 දෙවිගෙන් ඈත් වූ මිනිසුන් මෙන් ‘උඩඟුකමට’ දිරිදෙන දේවල් නොකර “නිහතමානීව” ජීවත් වීමට අපි උත්සාහ කරමු. එසේ කරනවා නම් අස්වැන්න නෙළීමේ කාර්යයෙහි අපට බොහෝ ආශීර්වාද හා විවිධ වගකීම් ඉසිලීමට හැකියි.—රෝම 12:16; මතෙ. 4:19, 20; ලූක් 18:28-30.

කඩිසර වීමෙන් ලැබෙන ආශීර්වාද

8, 9. (අ) තලෙන්ත පිළිබඳ උපමාව පැහැදිලි කරන්න. (ආ) එම උපමාවෙන් විශේෂයෙන් දිරිගැන්වීමක් ලැබිය හැක්කේ කාටද?

8 අස්වැන්න නෙළීමේ කාර්යයේ හවුල් වීමට අපට උපකාරවත් වන තවත් ගුණාංගයක් වන්නේ කඩිසරකමයි. යේසුස් එම ගුණාංගයේ ඇති වැදගත්කම පෙන්වා දීමට තලෙන්ත පිළිබඳ උපමාව යොදාගත්තා. * පිටරටකට යෑමට සූදානම් වන ස්වාමියෙක් තමන් සතු දේ දාසයන් තුන්දෙනෙකුට පැවරූ ආකාරය එම උපමාවේ සඳහන් වෙනවා. ඔහු පළමුවෙනි දාසයාට තලෙන්ත පහක්ද දෙවෙනි දාසයාට තලෙන්ත දෙකක්ද තුන්වෙනි දාසයාට තලෙන්තයක්ද ලබා දුන්නා. ස්වාමියා පිටත් වීමෙන් පසු පළමුවෙනි හා දෙවෙනි දාසයන් ඔවුන්ට ලැබුණු තලෙන්තවලින් ඉතා කඩිසරව “වෙළදාම්” කළා. නමුත් තුන්වෙනි දාසයා “කම්මැළි” දාසයෙක්. ඔහු තමන්ට ලැබුණු තලෙන්තය පොළොවේ සඟවා තැබුවා. ස්වාමියා නැවත පැමිණි විට, පළමුවෙනි හා දෙවෙනි දාසයන් කඩිසරව වෙළඳාම් කර තිබූ නිසා ඔවුන්ට තවත් “බොහෝ දේවල්” භාර දුන්නා. නමුත් කම්මැළි දාසයාට දුන් තලෙන්තය ඔහුගෙන් ලබාගෙන ඔහුව සේවයෙන් ඉවත් කළා.—මතෙ. 25:14-30.

9 උපමාවේ සඳහන් කඩිසර දාසයන්ව අනුකරණය කරමින් ශුභාරංචිය දේශනා කිරීමෙහි උද්‍යෝගයෙන් හවුල් වීමට ඔබත් කැමති බවට කිසිම සැකයක් නැහැ. නමුත් යම් තත්වයන් නිසා ඔබට දේවසේවයේ යෙදිය හැකි කාලය අඩු වෙන්න පුළුවන්. උදාහරණයකට, ඔබට තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා වැඩිපුර වෙලාවක් රැකියාවේ නිරත වීමට සිදු විය හැකියි. එසේත් නැත්නම් මහලු වයස නිසා ඔබට පෙර සේ සේවය කිරීමට නොහැකි වෙන්න පුළුවන්. ඔබ සිටින්නේ එවැනි තත්වයක නම් තලෙන්ත පිළිබඳ යේසුස් පැවසූ උපමාවෙන් ඔබට දිරිගැන්වීමක් ලැබිය හැකියි.

10. තලෙන්ත පිළිබඳ උපමාවේ සඳහන් කළ ස්වාමියා සාධාරණව ක්‍රියා කළේ කොහොමද? ඔබට එය දිරිගැන්වීමක් වන්නේ ඇයි?

10 එම උපමාවේ සඳහන් කළ ස්වාමියා එක් එක් දාසයා සතු හැකියාවන් තේරුම්ගෙන සිටියා. “ඔහු ඒවා භාර දුන්නේ එකිනෙකාගේ හැකියාව අනුවයි” කියා යේසුස් පැවසූ දෙයින් එය පැහැදිලියි. (මතෙ. 25:15) ස්වාමියා බලාපොරොත්තු වූ පරිදි පළමුවෙනි දාසයා දෙවෙනි දාසයාට වඩා වැඩිපුර උපයා තිබුණා. කෙසේවෙතත් ඒ දාසයන් දෙදෙනාම කඩිසරව ක්‍රියා කර තිබුණු නිසා ඔවුන්ව “ඉතා යහපත්, විශ්වාසවන්ත” දාසයන් ලෙස හැඳින්වූ අතර ස්වාමියා ඔවුන් දෙදෙනාටම එක හා සමානව සැලකුවා. (මතෙ. 25:21, 23) ඒ හා සමානව ඔබගේ තත්වයට අනුව ඔබට සේවය කළ හැකි ප්‍රමාණය අස්වැන්නේ ස්වාමියා වන යෙහෝවා දෙවි දන්නවා. ඔබ ඔහුට උපරිමයෙන් සේවය කිරීමට දරන වෑයම ඔහු අගය කරන අතර ඔහු ඔබට ආශීර්වාද කරනවා නිසැකයි.—මාක් 14:3-9; ලූක් 21:1-4 කියවන්න.

11. අසීරුතා මැද වුණත් කඩිසරව සේවය කිරීමෙන් ලැබුණු ආශීර්වාද ගැන දැක්වෙන අද්දැකීම කුමක්ද?

11 බ්‍රසීලයේ ජීවත් වන සහෝදරී සෙල්මෙරේගේ අද්දැකීම සලකා බලමු. ජීවිතේ අසීරු තත්වයන්ට මුහුණ දීමට සිදු වුණත් දෙවිට කරන සේවයේ කඩිසරව නියැලීමට අපට හැකි බව ඇගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. අවුරුදු 20කට පමණ පෙර ඇගේ ස්වාමිපුරුෂයා සොරුන් කණ්ඩායමකගේ වෙඩි පහරකට ලක් වී මිය ගියා. ඒ නිසා දරුවෝ තුන්දෙනාගේ වගකීම් තනිවම ඉසිලීමට ඇයට සිදු වුණා. ඒ වගේම ඇයට ගෘහ සේවිකාවක් ලෙස වැඩි පැය ගණනක් සේවය කිරීමට සිදු වූ අතර ඇයට ගමන් කිරීමට සිදු වුණේ සෙනඟ පිරුණු බස් රථවලයි. ඇයට එතරම් බාරදූර වගකීම් තිබුණත් ඇය ස්ථාවර පුරෝගාමී සේවය කිරීම සඳහා කාලය සොයාගත්තා. පසු කාලයේදී ඇගේ දරුවන් දෙදෙනෙක්ද පුරෝගාමී සේවය ආරම්භ කළා. දැන් ඇය මෙසේ පවසනවා. “මට පහුගිය කාලය ඇතුළත 20දෙනෙකුට බයිබල් සත්‍යය කියා දෙන්න පුළුවන් වුණා. දැන් ඔවුන් මගේම පවුලේ අය වගෙයි. ඒ වගේ බැඳීමක් සල්ලිවලට නම් කවදාවත් ලබාගන්න බැහැ.” සෙල්මෙරේ කඩිසරව කළ සේවයට අස්වැන්නේ ස්වාමියා බෙහෝ සේ ඇයට ආශීර්වාද කර තිබෙන බව පැහැදිලියි.

12. දේවසේවයේ කඩිසරව නියැලෙන්න අපට පුළුවන් කොහොමද?

12 ඔබ දැන් සිටින තත්වය නිසා දේවසේවය සඳහා වැඩි කාලයක් වැය කිරීමට ඔබට නොහැකි විය හැකියි. නමුත් උත්සාහයක් දැරීමෙන් වැඩි සේවයක් කිරීමට ඔබට කාලය සොයාගන්න පුළුවන්. සෑම සතියකම සේවා රැස්වීමේදී ඉදිරිපත් කරන යෝජනා අදාළ කරගැනීමෙන් ඔබට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ දක්ෂතා වැඩි දියුණු කරගන්නත් විවිධ ක්‍රමවලින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් හැකියි. (2 තිමෝ. 2:15) ඒ වගේම එතරම් වැදගත් නොවන වැඩකටයුතුවලට යොදවන කාලය දේවසේවය සඳහා යොදාගැනීමට ඔබට හැකිද කියා කල්පනා කර බලන්න.—කොලො. 4:5.

13. කඩිසරව දේවසේවයේ නියැලීමට අපට අවශ්‍ය වන්නේ කුමක්ද?

13 තුන්වෙනි දාසයා ඔහුට ලැබුණු තලෙන්තයෙන් ප්‍රයෝජනයක් නොගත්තේ ඔහු තම ස්වාමියාට බිය වූ නිසයි. ඔහු සිතුවේ තම ස්වාමියා අසාධාරණ ලෙස දේවල් බලාපොරොත්තු වන කෙනෙක් බවයි. අස්වැන්නේ ස්වාමියා වන යෙහෝවා දෙවි කෙරෙහි අප තුළ එවැනි ආකල්පයක් ඇති නොවීමට නම් ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගත යුතුයි. දේවසේවයේ කඩිසරව නියැලීමට අපට හැකි වන්නේ දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක් තිබෙනවා නම් පමණයි. (ගීතා. 40:8) ඒ නිසා අප ප්‍රේමය, ඉවසිලිවන්තකම හා කරුණාවන්තකම වැනි දෙවිගේ ගුණාංග ගැන අධ්‍යයනය කිරීමට හා ඒවා ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට කාලය ගැනීම වැදගත්. එවිට දෙවිට හැකි උපරිමයෙන් සේවය කිරීමට අප පෙලඹෙනවා.—ලූක් 6:45; ෆිලි. 1:9-11.

‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’

14. අස්වැන්න නෙළීමේ කාර්යයේ හවුල් වීමට කැමති කෙනෙකුගෙන් දෙවි බලාපොරොත්තු වන්නේ කුමක්ද?

14 දෙවි ඔහුගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වන දේ පේතෘස් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙන් මෙසේ ගෙනහැර දැක්වුවා. “ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි. මන්ද, ‘මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි’ කියා ලියා ඇත.” (1 පේතෘ. 1:15, 16; ලෙවී. 19:2; ද්වි. 18:13) අස්වැන්න නෙළීමේ කාර්යයේ හවුල් වන අය සෑම අතින්ම ශුද්ධව සිටිය යුතු බව ඉන් පැහැදිලි වෙනවා. එවැනි කෙනෙකුට ශුද්ධව සිටීමට උපකාරවත් වන්නේ දෙවිගේ වචනයේ සඳහන් සත්‍යයයි.

15. දෙවිගේ වචනයට බලයක් තිබෙන්නේ කුමක් කිරීමටද?

15 ජලයෙන් යමක් පිරිසිදු කරනවා හා සමානව දෙවිගේ වචනය නමැති සත්‍යයයෙන් කෙනෙකුට දෙවි ඉදිරියේ පිරිසිදු ජීවිතයක් ගත කළ හැකියි. උදාහරණයකට ක්‍රිස්තුස් තම මනාලිය වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ‘දේවවචනය නමැති වතුරෙන් සෝදා පිරිසිදු කළ නිසා ඔවුන් ශුද්ධ මෙන්ම නිකැළැල්’ තත්වයක සිටින බව පාවුල් පැවසුවා. (එෆී. 5:25-27) එමෙන්ම තමා ප්‍රකාශ කළ දෙවිගේ වචනය නමැති සත්‍යයට පිරිසිදු කිරීමේ බලයක් තිබෙන බව යේසුස්ද සඳහන් කළා. ඔහු තම ගෝලයන් ගැන මෙසේ පැවසුවේ ඒ නිසයි. “මා ඔබට පැවසූ දේවල් ඔබ ඇසූ නිසා ඔබ දැනටමත් පවිත්‍රයි.” (යොහ. 15:3) ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ අසත්‍ය ඉගැන්වීම්වලින් හා වැරදි හැසිරීමෙන් ඉවත් වී පිරිසිදු ජීවිතයක් ගත කිරීමට අපට උපකාර කරන්න දෙවිගේ වචනයට හැකි බවයි. දෙවිඅපගේ නමස්කාරය පිළිගන්නේ අප දෙවිගේ වචනයට අපව පිරිසිදු කිරීමට ඉඩ දෙනවා නම් පමණයි.

16. අපට සෑම අතින්ම පවිත්‍රව සිටින්න පුළුවන් කොහොමද?

16 අස්වැන්න නෙළීමේ කාර්යය සඳහා දෙවි අපව යොදාගන්නේ ඔහු අපවිත්‍රයි කියා සලකන සියලු පුරුදුවලින් අපි ඉවත් වී සිටිනවා නම් පමණයි. ඒ විතරක් නොවෙයි අප දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති රකිමින් සියලු අසත්‍ය ඉගැන්වීම්වලින් ඈත් වී පවිත්‍රව සිටිය යුතුයි. (1 පේතෘස් 1:14-16 කියවන්න.) අප නිතිපතා අපගේ ශාරීරික පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා හා සමානව දෙවිගේ වචනයට අපව පිරිසිදු කිරීමට ඉඩහැරිය යුතුයි. බයිබලය කියවීමෙන් හා රැස්වීම්වලින් ලැබෙන මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගැනීමට උත්සාහ දැරීමෙන් අපට එය කළ හැකියි. අප එසේ කරනවා නම් පව්කාර නැඹුරුවාවන්ට මෙන්ම මේ ලෝකයෙන් එල්ල වන බලපෑම්වලට විරුද්ධ විය හැකියි. (ගීතා. 119:9; යාකො. 1:21-25) බරපතළ පාපවලින් පවා අපව “සෝදා පවිත්‍ර” කිරීමේ හැකියාව දෙවිගේ වචනයට තිබෙන බව දැන සිටීම මොන තරම් සහනයක්ද!—1 කොරි. 6:9-11.

17. පවිත්‍රව සිටීම සඳහා ඔබ පිළිපැදිය යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

17 දෙවිගේ වචනයට ඔබව පවිත්‍ර කිරීමේ හැකියාව තිබෙනවා. ඔබ ඊට ඉඩ දෙනවාද? උදාහරණයකට, නරක විනෝදාංශවලින් සිදු වන හානිය ගැන දෙන අනතුරු ඇඟවීම් ඔබ පිළිගන්නවාද? (ගීතා. 101:3) පාසැලේදී හෝ වැඩපළේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන අය සමඟ ඔබ කිට්ටු මිත්‍රත්වයක් පවත්වනවාද? (1 කොරි. 15:33) දෙවි අකමැති පුරුදු ඔබට තිබෙනවා නම් ඒවායින් ගොඩ ඒමට ඔබ අවංකවම වෑයම් කරනවාද? (කොලො. 3:5) ජාති ආලය අවුස්සන තරඟවලින් හා දේශපාලන වාද විවාදවලින් ඔබ ඈත් වී සිටිනවාද?—යාකො. 4:4.

18. සෑම අතින්ම පවිත්‍රව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 ඔබ ඉහත සඳහන් දේවලින් ඉවත් වී දෙවිට කීකරු වෙනවා නම් ඔබට එයින් බෙහෝ ප්‍රයෝජන අත් වෙනවා. යේසුස් ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ව මිදි වැලේ අතුවලට සමාන කරමින් මෙසේ පැවසුවා. “පල නොදරන සෑම අත්තක්ම මට සම්බන්ධ වී තිබුණත් [මගේ පියා] ඒවා ඉවත් කරනවා. නමුත් පල දරන සෑම අත්තකින්ම වැඩි පලදාවක් ලබාගැනීමට ඔහු ඒවා පවිත්‍ර කරනවා.” (යොහ. 15:2) දේවවචනය නමැති ජලයට ඔබව පිරිසිදු කිරීමට ඔබ ඉඩහරිනවා නම් ඔබට බෙහෝ පල දැරිය හැකියි.

දැනුත් අනාගතයේදීත් ලැබෙන ආශීර්වාද

19. අස්වැන්න නෙළන්නන් ලෙස යේසුස්ගේ ගෝලයන් ලැබූ ආශීර්වාද මොනවාද?

19 යේසුස්ගේ ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගත් ඔහුගේ ගෝලයන්ට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී “පොළොවේ දුර ඈත කෙළවරවල” දක්වා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවිගේ බලය ලැබුණා. (ක්‍රියා 1:8) ශුභාරංචිය ‘අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයාට’ ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් පාලක මණ්ඩලයේ සාමාජිකයන්, මිෂනාරිවරුන්, සංචාරක සේවකයන් ලෙස සේවය කළා. (කොලො. 1:23) එමගින් ඔවුන් බෙහෝ ආශීර්වාද අද්දැක්ක අතර අන් අයටද ඉන් බොහෝ ප්‍රයෝජන අත් වුණා.

20. (අ) අස්වැන්න නෙළීමේ කාර්යයෙහි නියැලීමෙන් ඔබ ලබා තිබෙන ආශීර්වාද මොනවාද? (ආ) ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

20 නිහතමානී වීමෙන්, කඩිසර වීමෙන් හා දෙවිගේ උසස් ප්‍රමිතිවලට කීකරු වීමෙන් දැන් සිදු වෙමින් පවතින අස්වැන්න නෙළීමේ කාර්යයට සම්බන්ධ විවිධ අංගවල හවුල් වීමට අපට හැකියි. බෙහෝදෙනෙක් සැප සම්පත් හා සුඛෝපභෝගී ජීවන රටාවක් පසුපස හඹා යෑම නිසා ඔවුන්ට අත් වී තිබෙන්නේ දුක හා කලකිරීමයි. නමුත් දෙවිගේ සේවකයන් සැබෑ සන්තෝෂයත් තෘප්තියත් අද්දකිනවා. (ගීතා. 126:6) එමෙන්ම ‘ස්වාමීන් වෙනුවෙන් දරන වෙහෙස නිෂ්ඵල නොවන බව’ ඔවුන් දන්නවා. (1 කොරි. 15:58) අස්වැන්නේ ස්වාමියා වන යෙහෝවා දෙවි ‘අප කළ සේවය හා ඔහුගේ නාමය කෙරෙහි පෙන්වූ ප්‍රේමය’ කිසිදා අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඔහු අපට සදාකාලයටම ආශීර්වාද කරනවා.—හෙබ්‍රෙ. 6:10-12.

[පාදසටහන]

^ 8 ඡේ. මෙම තලෙන්ත පිළිබඳ උපමාව මූලිකවම අදාළ වන්නේ යේසුස් හා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට වුණත් එහි ඇති ප්‍රතිපත්ති සියලුම ක්‍රිස්තියානීන්ටද අදාළයි.

ඔබට මතකද?

ඔබ අස්වැන්න නෙළීමේ කාර්යයේ විවිධ අංගවල හවුල් වීමට වෑයම් කරන විට,

• නිහතමානී වීම අවශ්‍ය වන්නේ ඇයි?

• දිගටම කඩිසරව ක්‍රියා කළ යුත්තේ ඇයි?

• සෑම අතින්ම පවිත්‍ර විය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍යයට මුල් තැන දීම සඳහා ජීවිතය සරල කරගන්න අපට උපකාරවත් වන්නේ නිහතමානිකමයි